මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මහ බැංකුවේ නිලධාරීන් කැඳවා ජනපති ගෝඨා කළ වේගවත් කරුණු දැක්වීම

දේශපාලන අර්ථ දැක්වීම් දක්වා දුරදිග යනු ඇත. ඇතැම් පිරිස්වලට මෙය ගෝඨා තුළ සිටින යක්ෂයා අවදිවීමක් ලෙස පෙනිය හැකිය. තවත් අතෙකින් මෙය ගෝඨා, සිරිසේන පන්නයේ අසරණයෙක් වෙමින් ඇති බව ඉඟි කරනු ඇත. මේ තත්ත්වයන් දෙකම නරකය.

ගෝඨා තුළ යකෙක් හොයන අයට මේ කතාව වරු ගණන් කතා කළ හැකි මාතෘකාවක් වනු ඇත. එහෙත් ජනපති ගෝඨාගේ එම කතාව පෙන්වනුයේ මෙරට දේශපාලනයේම අජූවය.

ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ පිනුම් ගැසූ අයට ජේ.ආර්.ගේ බෑනා කෙනකු වූ රනිල් ඇටවූ 19 නම් උගුලේ විහිළුකාරයන් වන්නට සිදුව ඇත. මේ ව්‍යවස්ථා අර්බුද රට නන්නත්තාර කරනු ඇත. 19 හරහා සිරිසේන රනිල් පාලනය විගඩමක් විය. එයම දැන් ගෝඨාටද අත් විඳින්නට සිදුව ඇත. චිත්‍රය පේන තරම් සුන්දර නැත. එය ඉදිරියේදී බලියක් බවට පත්වෙනු ඇත.

 

මහින්දගේ ගැට

MahindaRමහින්ද ගෝඨාව ජනපති කළේ අවංකවම සතුටෙන් යැයි කිව නොහැකිය. ඒ මොහොතේ කළ හැකි දේ එයම නිසා විය යුතුය. තමන්ටත් ඉදිරිපත් වන්නට නොහැකි තැන ඒ සඳහා ඉදිරිපත් කළ හැකි හොඳම තුරුම්පුව ගෝඨා විය.

ගෝඨා දින්නේ මහින්දගේ ඡන්දවලින් බව සැබෑය. එහෙත් ඒ ඡන්ද ලබන්නට ගෝඨා ගොඩ නගා ගත් ප්‍රතිරූපයක් සමාජයේ විය. සුළු පිරිසකට දේශපාලන කියැවීම් ඇතුළේ ගෝඨාගේ හරස්කඩක් කියැවිය හැකි වුවත් පොදු ජනයා ඔහු කියැවූයේ කෙළින් වැඩ කළ හැකි අයකු ලෙසය. අටුව කඩා හෝ පුටුව හැදියි හැකි පන්නයේ කෙනකු හැටියටය.

එහෙත් එදා ආරක්ෂක ලේකම්කමේදී කළ කෙරුම්වත් අද කළ නොහැකි වී ඇත. මහින්ද තෙම්පරාදු දේශපාලකයෙකි. පනස් වසරක අත්දැකීම් ඇත්තෙකි. එහෙත් ගෝඨා දේශපාලන අත්දැකීම් රහිත කෝඩුකාර හිතුවක්කාරයෙකි. දැන් ඔහුට සිදුව ඇත්තේ අඳෝනාව කීමටය. අද ඔහු ආර්ථිකය නගා සිටුවිය නොහැකි යැයි කියන විට මුදල් ඇමති මහින්දය. ඔහුට ඒ බැනුම් අදාළ නැත්ද?

''ගෝඨා දේශපාලන අත්දැකීම් රහිත කෝඩුකාර හිතුවක්කාරයෙකි. දැන් ඔහුට සිදුව ඇත්තේ අඳෝනාව කීමටය. අද ඔහු ආර්ථිකය නගා සිටුවිය නොහැකි යැයි කියන විට මුදල් ඇමති මහින්දය. ඔහුට ඒ බැනුම් අදාළ නැත්ද?''

රනිල් ගෙනා මේ 19ට මහින්දත් කැමතිය. මෑත ඉතිහාසයේ මෙරට සිටින අති ජනප්‍රියතම දේශපාලකයා මහින්ද වන විට රනිල් එහි කපටි ආරක්ෂකයාය. මේ දෙපළ එකම කාසියේ පැති දෙකකි. අභාග්‍ය රනිල්ට ජනතාව දිනාගත නොහැකිවීමය. එහෙත් ගැට කැපීමේ ශූරයෙකි. රනිල් 19 ගෙනාවේම සිරිසේන පඹයෙකු කරන්නටය. ඒ අස්සේ තමා කෙරුමකුවීමටය.

 

''මේ ක්‍රමය යටතේ බලය ඇත්තේ අගමැතිට''

ඒ අත්දැකීම මනාව දත් මහින්ද ගෝඨාව කරට ගත්තේ මේ ක්‍රමය යටතේ බලය ඇත්තේ අගමැතිට වන බැවිනි. දැන් අගමැති ලෙස සියලු බලය මහින්ද ගන්නට ලෑස්තිය. එවිට ගෝඨා මීට වඩා අසරණ වනු ඇත.

 මහින්ද යනු අතිශූර දේශපාලන කපටියෙකි. ඔහු ගෝඨා නොව නාමල් බලයට ගෙනාවද තම බලය ස්ථාපිතව තබා ගන්නේය. මහින්ද මේ මොහොතේ කරනුයේ ගෝඨා පළිහක් ලෙස භාවිත කිරීමය.

ඡන්ද හැට නව ලක්ෂයකට එහා ලැබුණු කල ගෝඨා සිතුවේ තමා සමග ජනතාව ඇත. තමා හිතුමගේ මේ නෞකාව පදින බවය. එහෙත් මහින්ද කළේ ගෝඨාගේ පිටුපසින් පී.බී. ජයසුන්දර සිටුවීමය. ගෝඨා මොන දේ සිතුවත් කන්නට වන්නේ ජයසුන්දර දෙන ලණුය. ඒවා අඹරනුයේ මහින්ද සහ බැසිල්ය. මහින්ද, බැසිල් සහ ජයසුන්දර යනු නියම බඩු තුනක්ය. මේ තුනම ගහේ බඩුය.

ජයසුන්දරව ගෝඨා පිටුපසට දමන මහින්ද තම පිටුපසට බැසිල්ව ගන්නේ කොරෝනා මුවාවෙනි. කාට මුවා වී හෝ වැඬේ සිදුවී ඇත. දැන් නැවත දුවන්නේ මහින්දගේ ආණ්ඩුවකි.

 

''බැසිල් සහ මහින්ද එක්ව වියත්මග විපත්මගට ඇද දැම්මේය.''

ජනපති ගෝඨා වියත්මග දමාගෙන අලුත් ගමනක් යන්නට සිතුවේය. අන්තිමේදී බැසිල් සහ මහින්ද එක්ව වියත්මග විපත්මගට ඇද දැම්මේය. වියත් මගේ පිරිසට අද ජනපති ගෝඨා වෙනුවෙන් එදා තරම් කෑගසන්නට හයියක් නැත. ඔවුහු අග්ගලා කෑ ගොළුවෝ වී සිටිති. ගෝඨාව මහින්ද උපරිම හිරකර හමාරය. මහ මැතිවරණයෙන් බලය ගෙන අගමැති වූ කල ඉතිරි වසර ටික ඔහුම පාලනය කරගෙන යනු ඇත.

ඉදිරියේදී ගෝඨාට වන්නේ මීට වඩා කෑගසන්නටය. බැණ වදින්නටය. සිරිසේනට රනිල් මෙන්ම ගෝඨාටත් හමුවන්නේ මහින්ද වීම තුළ අමුතු වෙනසක් වන්නේ නැත. ගෝඨා යනු තනි පුද්ගලයෙකි. මාස අටට ඔහු අසරණ වන ප්‍රමාණය ඉදිරියේදී තවත් දරුණු වනු ඇත. මේ සෙල්ලම පටන් ගත්තා පමණය. හොඳ සෙල්ලම් දැකිය හැකි වනුයේ මහ මැතිවරණයෙන් පසුවය. මහින්ද 19 ඉවත් කරනු ඇතැයි සිතිය නොහැකිය.

''ඉදිරියේදී ගෝඨාට වන්නේ මීට වඩා කෑගසන්නටය. බැණ වදින්නටය. සිරිසේනට රනිල් මෙන්ම ගෝඨාටත් හමුවන්නේ මහින්ද වීම තුළ අමුතු වෙනසක් වන්නේ නැත. ගෝඨා යනු තනි පුද්ගලයෙකි. මාස අටට ඔහු අසරණ වන ප්‍රමාණය ඉදිරියේදී තවත් දරුණු වනු ඇත. මේ සෙල්ලම පටන් ගත්තා පමණය. හොඳ සෙල්ලම් දැකිය හැකි වනුයේ මහ මැතිවරණයෙන් පසුවය. මහින්ද 19 ඉවත් කරනු ඇතැයි සිතිය නොහැකිය.''

රාජ්‍ය සේවකයා: පවතින ක්‍රමයේ බල්ටි ගහන බඩගෝස්තරවාදියෝ..

දේශපාලකයා තරම්ම ඇතැම්විට ඊටත් වඩා රාජ්‍ය සේවකයා නරක බව අපි පුන පුනා ලියූවෙමු. රාජ්‍ය සේවකයන් වූ කලී පවතින ප්‍රවාහය තුළ තම ජාමේ බේරා ගන්නා රට කපටින්ය. දේශපාලකයන්ට මේ පිරිස නැතිව බැරිය. මේ පිරිසටද දේශපාලකයා නැතිව බැරිය. මේ දෙකම ගමන් කරනුයේ සමාන්තරවය.

ජනපති ගෝඨා මහ බැංකු නිලධාරීන්ට අපූරු කතාවක් කීවේය. එනම් මහ බැංකු බැඳුම්කරය වෙලාවෙත් ඔය අයමනේ හිටියේ යන්නය. ඇතැම්විට කබ්රාල්ලා බැඳුම්කර මගඩි කරන විටත් හිටියේ මේ අයමය. රාජ්‍ය නිලධාරීහු පවතින ක්‍රමයේ බල්ටි ගහන බඩගෝස්තරවාදියෝය.

ආමි මානසිකත්වයෙන් හැදී වැඩී ඇති ගෝඨා මෙය දන්නේ නැත. ඔහු සිතනුයේ ආමි පිරිස මෙන් අනෙක් හැම පිරිසම පාලනය පහසුය කියාය. වමට හැරෙන්නයි කී කල වමට හැරෙන දකුණට හැරෙන්න කී කල දකුණට හැරෙන හිස් යුනිෆෝම්කාරයන් සමග යා හැකි උපරිම දුර මරපන් කියන විට මරණ එක පමණක් බව උගත් සමාජය දනිති. ඒ නිසා මහින්ද සමග හිටගත්තද බොහෝ අය ගෝඨාට ළංවෙන්නට බයය.

RMVරාජ්‍ය ආයතනවලට කඩා පැනීම

මාස අටට මුකුත් නොකළ ගාණට ගෝඨා කතා කළත් මේ මාස අටම ඔහුගේ වැඩවලින්ම පිරී ඇත. රාජ්‍ය ආයතනවලට කඩා පැනීම එහි සංදර්ශන පෑම ඔහු ආ කලම කළ දෑය.

කොරෝනා සමග එය බකල් විය. ඉන්පුස හැම මුදුනකම ආමිකාරයෙක් තැබුවේය. ගෝඨා සිතනුයේ ආමි එකට කළ නොහැකි දෙයක් නැති බවය. ගෝඨා දේශපාලනය ගැන දන්නා දෙයක් නැත. ඒ නිසා ඔහු පැන්ෂන් ගිය ආමිකාරයන්ට වැඩ භාරදී අත් බැඳගෙන සිටියි. ඒ අය දන්නා කෙන්ගෙඩියක් නැත. පරිපාලන නිලධාරීන් සිටිනුයේ ඒවාටය.

 

හෙට අනිද්දා ම මහ බැංකුවටත් පැන්ෂන් ගිය හමුදා ප්‍රධානියෙක්...

හෙට අනිද්දා මහ බැංකු ප්‍රධානියා බවට හමුදා ප්‍රධානියකු දැම්මද අපි පුදුම විය යුතු නැත. ගෝඨාට මේ සෙල්ලම නටන්නට වන්නේ මහින්ද බලසහිත අගමැති වන තෙක්ය. එතෙක් මහින්ද ගෝඨාට බැන්නද ඒ රහසේමය. අවුල්, මන්දිර ඇතුළේමය. මන්ද රාජපක්ෂලා කොතෙක් වෙනස් මත දැරුවද ගොදුරට පනිනුයේ සමගිව එකටය.

 ඒ නිසා ඉදිරි ඡන්දය ඒ අයගේ ගොදුරය. එයට එකාවන්ව පනිනු ඇත. ඉන්පසු එළියට ගිනි නොදී ඇතුළේ ගිනි තබා ගනු ඇත.

රාජ්‍ය සේවය සුද්ධ විය යුතු වුවත් එය ගෝඨා පන්නයට කර පළක් නැත. ඒ හරහා වන්නේ ඉඟුරු දී මිරිස් ගත්තා වැනි වැඩය. මහින්ද හරහා එය සිදුවන්නේම නැත. නැවතත් සුපුරුදු පරණ ගමනමය.

 

සිරිසේනගේ ගමන:

මේ අස්සේ සිරිසේන යන්නේ අමුතුම ගමනකි. ඔහු ජනපතිට ආණ්ඩුවක් ලබා දිය යුතු යැයි කියනමුත් මහින්දගේ නම නොකියයි. ඔහුගේ කපටි දැනුමට අනුව ඔහු බලනුයේ මහින්දට වඩා ගෝඨාගේ ළඟම කෙනා වන්නටය. මහින්ද වෙනුවට ගෝඨා දිනාගන්නටය. හැකිනම් අගමැති දක්වා හෝ යන්නටය.

සිදුවිය නොහැකි වුවත් සිරිසේන එවැනි බලාපොරොත්තුවලට කැමතිය. සිරිසේන කතා නායකයා වුවත් නටනුයේ ගෝඨාගේ පදයට විනා මහින්දගේ පදයට නොවන බව කිව යුතුය.

 

ඉක්මන් වෙනස්වීම්:

ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු වී ඇති නිසා ඉක්මන් වෙනස්වීම් සිදුවෙමින් පවතී. මේ වසර පහෙන් නැවත රාජපක්ෂලා විසිවිය හැකිය. ජනතාව ඉන්නේ අමුතුම ලෝකයකය. ආණ්ඩු වෙනස් කිරීමත් ඉදිරියේදී ජනතාවට සෙල්ලමක් වනු ඇත. දැන් මෙයාට දීලා බලන්න ඕන පන්නයේ තැනකට තල්ලු වනු ඇත.

එතෙක් මහින්ද – ගෝඨා පැටලීම ජොලියක් සේ නොගත යුතුය. මන්ද එහි බලිය විය හැක්කේ ජනතාව වන බැවිනි. එවිට ගෝඨාගේ ගිණුමට බැර කළ හැකි බොහෝ දේ මහින්ද පිලෙන් වුව විය හැකි බැවිනි. එවිට දෙපැත්තෙන්ම එකම දේ එක් අයකුගේ ගිණුමට බැර කරන විට තත්ත්වය බරපතළ වනු ඇත.

Sri lanka Parliament Rapaksha PM

නව ව්‍යවස්ථා හෝ නව සංශෝධන ඇතිවිය යුත්තේ අලුත් පිරිස් සමගය. මේ ඇටුවම් බැසූ තක්කඩි රැළ සමග මොන වෙනස්කම් කළද එහි නියම ඵල නියම තක්කඩි දේශපාලකයා විඳිනු ඇත. රනිල් සේ ම මහින්ද සිටින තාක් මේ දේශපාලනය පරණ පිටපතමය. කවුරු ආවද ඒ පිටපත දුවන්නේ මේ ආකාරයටමය.

හෙට ගෝඨාට වැඩ කරන්න දුන්නේ නැතැයි අඳෝනා ආවද? ඒ වෙනුවට රාජ්‍ය නිලධාරීන්ට හෝ කාට බැණ වැදුණද ඒ සියල්ල ප්‍රවෘත්ති අතර යන නාට්‍ය මෙන් මිස ලොකු අරුත් නොසපයනු ඇත. කොහොම වුණත් බොහෝ අයට ගුටි කෑමට, අතපය කඩා ගැනීමට මෙන්ම මියයෑම දක්වා මේ සෙල්ලම වර්ධනය වනු ඇත.

හොඳ රාජපක්ෂ තෝරනු වෙනුවට රාජපක්ෂලා තේරුම් ගැනීම වටී. මන්ද මේ හැමදේකම අවසාන ප්‍රතිඵල භුක්ති විඳිය යුත්තේ ජනතාවය.

වැදගත්ම දේ නම් ගෝඨා බැන්න මේ මහ බැංකුවද අයිති මුදල් ඇමති මහින්දට වීමය. ආර්ථිකව බංකොළොත් මුදල් ඇමති ප්‍රමුඛ පිරිස බව ජනපති නොකියා කියන කතාව නොවේද?

(ටිරන් කුමාර බංගගමආරච්චි - ravaya.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්