පිරිසිදු දේශපාලනයක් සඳහා වන 'මාර්තු 12 ව්‍යාපාරයේ' වයස දැන් වසර පහක් පසු කර ඇත.

මේ වසර පහක ගමනේ ප්‍රතිඵල සැබෑවටම පරීක්ෂාවට ලක්වන්නේ මහජන ඡන්ද වලින් මිස අන් කිසිවකින් නොවේ. තව සති දෙකකින් එවැනි පරීක්ෂණයක් උදාවේ. යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් 'මාර්තු 12 ව්‍යාපාරය' නිර්ණායකයන් ඉදිරිපත් කර තිබේ. එහෙත් සැබෑ අභියෝගය නිර්ණායක බිහි කිරීම නොව ඒවා සමාජයේ පැල කිරීමයි.

samanසමන් හමන්ගොඩ යනු විකල්ප සොයා යන පුද්ගලයන් සහ සංවිධාන බලගැන්වීමෙහි කාර්යයේ දශක ගණනාවක අත්දැකීම් වලින් සපිරි ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙක් සහ උපදේශකවරයෙකි. එසේම ඔහු 'මාර්තු 12 ව්‍යාපාරයේ' මෙහෙයුම් කමිටු සාමාජිකයෙක් ලෙසද කටයුතු කරයි. මාර්තු 12 නිර්ණායකයන් සමාජයේ සැබෑ ඉල්ලීම් සහ අවශ්‍යතාවයන් බවට පත් කිරීමේ අභියෝගයට ඔහු ද මුහුණ දී සිටියි. අගෝස්තු 05 වැනිදා මහමැතිවරණයේදී පුරවැසියන් ගත යුතු මඟ, යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ සැබෑ අභියෝගයන් සහ ඒ සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ මග පෙන්වීම පිළිබඳව ඔහු සමඟ සමබිම සිදු කළ සංවාදයකින් මෙම ලිපිය සැකසී ඇත.

 

පිරිසිදු දේශපාලනයක නිර්ණායක:

අද දේශපාලන පක්ෂ වගේම පුරවැසියන් තමන්ගේ වගකීම් දරන්න අසමත් වෙලා තියෙනවා. නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා, දේශපාලන සංස්කෘතියේ බරපතළ පිරිහීමක් අපි අත්දකින්නේ. මේ කියන්නා වූ කාරණා වෙනස් කිරීමේ අදහසින් තමයි 2015 වසරේ මාර්තු 12 ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. එය රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය ඇතුළත් සිවිල් සමාජ කණ්ඩායම් වලින් සමන්විත සංවිධාන ව්‍යුහයක්. 

පිරිසිදු දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමේ උවමනාවෙන් අපි මූලික නිර්ණායක අටක් ඉදිරිපත් කරල තිබෙනවා. තමන්ගේ පක්ෂවල අපේක්ෂකයන් තෝරා ගැනීමේදී වගේම ජනතාව තමන්ගේ නියෝජිතයා තෝරා ගැනීමේදී කාට ඡන්දය දිය යුතු ද කියන එක සම්බන්ධයෙනුත් යම් අදහසක් ඇති කරන්න මේ නිර්ණායක ඔස්සේ උත්සාහ දරනවා.

ඇත්තටම මේ නිර්ණායක මොනවද කියල හරියට අධ්‍යයනය කළොත් පෙනෙනවා දියුණු සමාජයක තිබිය යුතු වටිනාකම්, සාරධර්ම ගණනාවක් තමයි මේ ඉදිරිපත් කරල තිබෙන්නෙ. දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලැබූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදියට ජනතාවගේ එකඟත්වයෙනුයි මේ මූලික වටිනාකම් ටික හැදෙන්නේ. ඒත් සැබෑ අභියෝගය තිබෙන්නේ මේ වටිනාකම් අනුව කටයුතු කරන සමාජයක් ගොඩනගන්නේ කොහොමද කියන එකත් එක්ක.

 

නිර්ණායකවලට එකඟයි 
ඒත් දාපු අපේක්ෂකයෝ මෙහෙමයි

අපේක්ෂකයන් නම් කිරීමේදි නිර්ණායක සලකා බලන බවට අනුමත කරමින් ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ නිර්ණායකවලට අත්සන් තැබුවා. නමුත් ඉතාම පැහැදිලිව පෙනෙන දෙයක් තමයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි ප්‍රධාන දේශපාලන පක්ෂ බහුතරයක් මෙම නිර්ණායක සම්බන්ධව කිසිදු අවධානයක් යොමු කර නැති බව.

''මෙවර මැතිවරණයට පෙරම පොදුජන පෙරමුණේ මතුව තිබුන අදහසක්, වියත් මඟ සාමාජිකයින් වැඩි දෙනෙකුට අපේක්ෂකත්වය ලබා දෙනවා කියල. යම් යම් ගැටලු‍ තිබුනත් අවම වශයෙන් විවිධ ක්ෂේත්‍රවල උගතුන් එහි සාමාජිකත්වය දරන බව පැවැසුවා. නමුත් අන්තිමේ සුපුරුදු පිරිසටම තමයි නැවත වතාවක් අපේක්ෂකත්වය ලැබිලා තිබෙන්නෙ. ''

දැන් බැලු‍වොත් මෙවර මැතිවරණයට පෙරම පොදුජන පෙරමුණේ මතුව තිබුන අදහසක්, වියත් මඟ සාමාජිකයින් වැඩි දෙනෙකුට අපේක්ෂකත්වය ලබා දෙනවා කියල. යම් යම් ගැටලු‍ තිබුනත් අවම වශයෙන් විවිධ ක්ෂේත්‍රවල උගතුන් එහි සාමාජිකත්වය දරන බව පැවැසුවා. නමුත් අන්තිමේ සුපුරුදු පිරිසටම තමයි නැවත වතාවක් අපේක්ෂකත්වය ලැබිලා තිබෙන්නෙ.

වියත් මඟ ඍජුව සම්බන්ධ ජනාධිපතිවරයාට. සාමාන්‍ය මිනිස්සු හිතනවා ඔහු ඉතා තද, ප්‍රතිපත්ති මත කටයුතු කරන නායකයෙක් කියල. නමුත් එහෙම තත්ත්වයක වුනත් පේන්න තිබෙන්නේ අවම වශයෙන් මේ දක්වා දූෂණ සම්බන්ධ චෝදනා නැති, උගත් තරුණ පිරිසකට වැඩි අවස්ථාවක් ලබා දීමට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන බලපෑම.

 

කුණු ලොරියටත් සල්ලි දෙන
සමාජයක මහජන නියෝජිතයා

ලංකාවේ දේශපාලන සංස්කෘතියේ පිරිහීම ආරම්භ වෙන්නේ 1970 වගේ ඉඳල. මම හිතන්නේ ඒ තත්ත්වය 1977 න් පසුව වඩාත් තිව්‍ර වුනා. ඒ කාලේ පාසල්වලට ගුරු පත්වීම් ලබාදීමේදි පවා ලිංගික අල්ලස් ගැනීම් පිළිබඳ සිදුවීම් සුලබව වාර්තා වුනා. මොකද අපේ සමාජය හොරකම් කරන, දූෂණ කරන, අල්ලස් ගන්න පුද්ගලයාව ප්‍රතික්ෂේප කරන්න, හෙළා දකින්න නෙවෙයි ක්‍රමයෙන් පිළිගන්න තත්ත්වයකට පත් වුනා. හොරකම, දුෂණය අපේ සිස්ටම් එකේ කොටසක් බවට පත් වුනා.

මේ තත්ත්වය කොච්චර උඩුදුවල ද කියන එකට හොඳම උදාහරණය තමයි අද කුණු එකතු කරන මනුස්සයට සල්ලි නොදී කුණු ඉවත් කර ගන්න බැහැ. දැන් අපිත් හිතන්න පුරුදු වෙලා ඒ මිනිස්සුන්ට සල්ලි දීලා තමයි කුණු අයින් කරන්න ඕන කියල. මේ වගේ ඉතාම සුළු කාරණයක ඉඳලා මහා පරිමාණ හොරකම් දූෂණ දක්වා ගියොත් අපි මේවා කොයිතරම් ප්‍රතික්ෂේප කරනවද කියන ප්‍රශ්නය තිබෙනවා.

බාර් ලයිසන් තියෙනවද, එතනෝල් විකුණනවද, ස්ත්‍රී දූෂකයන්ද, හොරකම් කරල තියෙනවද, ඔවුන්ට මුදල් ලැබුන මුලාශ්‍රය මොකක්ද කියන දේ ගැන අවධානයෙන් ද අපි මහජන නියෝජිතයන් තෝරාපත් කර ගෙන තිබෙන්නෙ?

බාර් ලයිසන් තියෙනවද, එතනෝල් විකුණනවද, ස්ත්‍රී දූෂකයන්ද, හොරකම් කරල තියෙනවද, ඔවුන්ට මුදල් ලැබුන මුලාශ්‍රය මොකක්ද කියන දේ ගැන අවධානයෙන් ද අපි මහජන නියෝජිතයන් තෝරාපත් කර ගෙන තිබෙන්නෙ?

අපි දන්නවා කිසියම් ම හෝ වරදකට අදාළව අත්අඩංගුවට ගත්ත දේශපාලනඥයන් ඒ අවස්ථාවත් පාවිච්චි කරනවා ඡන්ද ගැනීමේ උපක්‍රමයක් හැටියට. අපි දැකල තියෙනවා ඔවුන් සියලු‍ හොර මැරකම් කරල බන්ධනාගාර බස් එකට ගොඩ වෙන්නේ මාංචු දාපු අත් ඔසවගෙන මහා වීරත්වයක් ආරෝපණය කරගෙන. නමුත් කණගාටුදායක දේ තමයි එවැනි රංගනයන්ටත් සමාජයේ යම් වටිනාකමක් ලැබිල තිබීම.

ඉතාම පහත් හැසිරීම් පෙන්නපු, බරපතළ චෝදනාවන්ට ලක්වුන ඒ නිසාම අත්අඩංගුවට පත්වුන මහජන නියෝජිතයෝ අති බහුතරයක් වැඩි මනාපවලින් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට තේරිපත් වෙලා තිබෙනවා. පසුගිය යහපාලන ආණ්ඩු සමයේත් වත්මන් ආණ්ඩුව යටතෙත් අපි දකින්නේ හොරකම්, මැරකම්, දූෂණ විමර්ශනය කරන්න ගියාම දේශපාලන පළිගැනීම් කියල ඒවා සාධාරණීකරණය කරන්න ගන්න උත්සාහයක්. අනික් අතට සමාජය ඒවා ඒ ආකාරයෙන්ම පිළිගන්න බවකුත් පෙනෙන්න තිබෙනවා.

 

මැතිවරණ ප්‍රචාරණය වියදම ආයෝජනයක් වීම

campaign

මැතිවරණයක් ආසන්න වෙන කොට සියලු‍ වටිනාකම් යටපත් කරගෙන මතු වෙන්නේ මුදල්. මේ මැතිවරණය වෙනුවෙන් යන වියදම කොතෙක්ද ඒ වියදම සොයා ගන්නේ කොහොමද කියන එක දේශපාලන පක්ෂවල බරපතළ කාරණයක් විදියට මතු වෙනවා.

අපේ දේශපාලන සංස්කෘතිය හැදිල තියෙන්නේ අවම වියදමකින් මැතිවරණ ක්‍රියාදාමයක් මෙහෙයවන්න නෙවෙයි. දැන් මැතිවරණ නීතිය අනුව පෝස්ටර් ගහන්න අවස්ථාවක් නැහැ. පරිසරය අතින් ගත්තම එය ඉතාම හොඳ තත්ත්වයක් වුනත් මම කල්පනා කරන දෙයක්, අනෙකුත් ප්‍රචාරණ ක්‍රමවලට සාපේක්ෂව අවම වියදමක් යටතේ කළ හැකි දේ තමයි පෝස්ටරයක් ගහන එක.

දැන් ප්‍රචාරණ ක්‍රමවේද අන්තර්ජාලයට ගියාට ඈත ගම්වල මිනිස්සු දැනුවත් කරන්න බැහැ අන්තර්ජාලයෙන්. රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් දැන්වීමක් වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වාතාවාරණය ඇතුලේ මුදල් තියෙන අයට තමයි අවස්ථාව හිමිවෙන්නෙ.

අනෙක් අතින් මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් පුද්ගලයෙක්ට දරන්න සිදුවෙන මේ අධික වියදම නැවත උපයා ගන්න පාර්ලිමේන්තුවට පළාත් සභාවට ගියාම වෙන වෙන අයථා ක්‍රමෝපායන් භාවිත කරන්න සිදුවෙලා තිබෙනවා.

 

කාන්තා – තරුණ සැබෑ නියෝජනය:

women

'මාර්තු 12 ව්‍යාපාරය' නාමයෝජනා දෙන විට කාන්තා හා තරුණ නියෝජනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරවන්න උත්සාහ දරනවා. නමුත් අපි දන්නවා මැතිවරණයට ඉදිරිපත් වෙන කාන්තාවන් දේශපාලන වේදිකාවල කොයිතරම් නින්දා අපහාසයන්ට ලක්වෙනවද කියල. විරුද්ධ පක්ෂයේ විතරක් නෙවෙයි තමන්ගේම පක්ෂයේ අපේක්ෂිකාවන්ට එරෙහිව පවා විශේෂයෙන්ම ලිංගිකත්වය පදනම් කරගෙන විශාල වශයෙන් මඩ ගැසීම් සිදුවෙනවා.

''විරුද්ධ පක්ෂයේ විතරක් නෙවෙයි තමන්ගේම පක්ෂයේ අපේක්ෂිකාවන්ට එරෙහිව පවා විශේෂයෙන්ම ලිංගිකත්වය පදනම් කරගෙන විශාල වශයෙන් මඩ ගැසීම් සිදුවෙනවා.

මේ තත්ත්වය දේශපාලනය සඳහා කාන්තාවන් එකතු වීම අධෛර්යමත් කරන එක බරපතළ හේතුවක්.

තරුණ නියෝජනය කියන දේ ගත්තොත් සෑම පක්ෂයකම තරුණ නියෝජනයට යම් අවස්ථාවක් ලබා දෙන්න උත්සාහ ගෙන තිබෙනවා. ඒ පිළිබඳව සතුටු විය හැකි වුනත් මේ තරුණ නියෝජනයේ යම් ඛේදවාචකයක් මම දකිනවා.

විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුනේ යම් යම් දිස්ත්‍රික්කවල කැපී පෙනෙන ලෙස ඉස්මතුව සිටින තරුණ අපේක්ෂකයන් කිහිප දෙනෙකුම දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගේ දරුවෝ. ඔවුන් විදෙස් අධ්‍යාපන ලබපු අය. නමුත් කොහොමද ඔවුන් යුරෝපීය රටවල විදෙස් අධ්‍යාපනය ලැබුවේ, ඔවුන්ගේ දෙමාව්පියන් දේශපාලනය නිසා අයුතු ලෙස හම්බ කරපු මුදල්වලින්.

අපිට බිම්මට්ටමේ වැඩවලදි උගත්, දේශපාලන සවිඥානික බවක් තිබෙන, තමන්ගේ පොළොවේ ඇත්ත ප්‍රශ්න හඳුන ගත්ත පොදු අරමුණු වෙනුවෙන් වැඩ කරන තරුණ තරුණියෝ හමුවෙනවා. මේ අයට කොහොමද ප්‍රධාන දේශපාලන ප්‍රවාහය තුළ ඉඩක් හදන්නේ කියන කාරණය අභියෝගාත්මකයි. නමුත් ඇතැම් දේශපාලන පක්ෂ මේ කාරණා පිළිබඳ අවධානයෙන් තමන්ගේ අපේක්ෂකයන් කවුද කියන එක මෙවර තෝරල තිබෙනවා වුනත් ඒ අයට පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්න ලැබෙන ඉඩ අවමයි.

 

පුරවැසියාගේ පටු බව:

මෙතනදි දේශපාලන පක්ෂවලට වගේම පුරවැසියන්ට විශාල වගකීමක් තිබෙනවා කවුද තමන්ව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කියල තීරණය කරන්න. නමුත් එක්තරා විදියකට පාර්ලිමේන්තුව කියන්නේ අඩු වැඩි වශයෙන් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ නියෝජනයක්. මේ තෝරා පත්කර ගන්න පිරිසගෙන් පිළිබිඹු වෙන්නේ ඡන්දදායකයාගේ අගයන්.

තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව ආවම රට ගැන, රටේ ප්‍රතිපත්තිය, රටේ අනාගතය මෙසේ විය යුතුයි වගේ දේවල් ගැන හිතල නෙවෙයි මගේ කුලේ කෙනාව පත් කරගන්න වගේ පටු තැනකින් තමයි ඒ ඡන්දේ පාවිච්චි වෙන්නේ.

අපි ඉදිරිපත් කරපු වටිනාකම් පිළිඅරන් ඒ අනුව ක්‍රියාකරන්න සපථ කරමින් මේ වන විට පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක් 'මාර්තු 12 ව්‍යාපාරය' එක්ක ඉන්නවා. විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරු ගණනාවක් මේ කණ්ඩායම් නියෝජනය කරනවා.

මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් වුනත් මෙහි තිබෙන තවත් එක අභියෝගයක් තමයි විපක්ෂයේ සිටියදි මේ වටිනාකම් අනුයන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්න දක්වන උනන්දුව ආණ්ඩු බලය ලැබුනට පසුවත් කොතෙක්දුරට තිබෙයිද කියන අවිනිශ්චිතතාව. සමහර විට ඉදිරි කාලයේදි මේ අවිනිශ්චිතතාවයට පිළිතුරු ලැබේවි.

 

ප්‍රශ්න නොකරන මාධ්‍ය:

පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ කළ සාකච්ඡාවකදි ඔවුන් සියලු‍ දෙනා කියපු දෙයක් තමයි පාර්ලිමේන්තුවෙදි කොයිතරම් වැදගත් කතාවක් කළත් මාධ්‍යවල ඒවට ඉඩක් ලැබෙන්නේ නැහැ හැබැයි කවුරු හරි කියන කුණුහරුපෙකට කාගේ හරි විකාර සහගත හැසිරීමකට තමයි ඉඩ දෙන්නේ කියල. ජනමාධ්‍ය කියන්නේ අපිට තිබෙන බරපතළ අභියෝගයක්. අද ජනමාධ්‍යවල වැඩි ඉල්ලු‍මක් තිබෙන්නේ ජාතිවාදය, ආගම්වාදය මතුකරමින් ජනප්‍රිය රැල්ලේ කතා පවත්වන අයට.

''අද ජනමාධ්‍යවල වැඩි ඉල්ලු‍මක් තිබෙන්නේ ජාතිවාදය, ආගම්වාදය මතුකරමින් ජනප්‍රිය රැල්ලේ කතා පවත්වන අයට.''

විචාරශීලි මාධ්‍ය කලාවක් නැති එක අපේ රටේ තිබෙන විශාල අඩුවක්. මහජන නියෝජිතයන් ගන්න තීන්දු තීරණ ප්‍රතිපත්ති උන්හිටි ගමන් පක්ෂ මාරුවීම් සමඟ වෙනස් වෙනවා. එකම කාරණාවක් සම්බන්ධයෙන් විපක්ෂයේ සිටියදි තිබුන ප්‍රතිපත්තිය නෙවෙයි ආණ්ඩු පක්ෂයට මාරු වුනාම තියෙන්නේ.

හැබැයි මාධ්‍ය ඉස්සරහ මේවා කියද්දි කිසිම මාධ්‍යවේදියෙක් මේවා ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද මාධ්‍යවේදීන් කැමරා එක මයික්‍රෆෝන් එක අරන් ආවට හෝම්වර්ක් කරල එන්නේ නැහැ. මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය නැති වෙන්නේ ඔවුන්ගේම භාවිතාව තුළින්. අපි දන්නවා සියලු‍ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගත්තොත් ඒවායේ හිමිකාරීත්වය කිසියම්ම හෝ දේශපාලන පාක්ෂිකභාවයක් දරනවා.

එනිසාම මේ වටිනාකම් පිළිගන්න ජනතාව ඒකරාශි කරගෙන පුළුල් සාකච්ඡාවක් ඇති කරගන්න, එවැනි වැඩපිළිවෙළකට යන්න ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ඔස්සේ අවස්ථාව ලැබෙයි කියල හිතන්න බැහැ. ඒ නිසාම විකල්ප මාධ්‍ය අවකාශයන් වෙත යොමු වෙන්න අපට සිදුවෙනවා. මොකද මේ වටිනාකම් මිනිස්සුන්ට පන්සිල් පද පහ වගේ දස පනත වගේ සමීප දෙයක් විය යුතුයි.

 

සිවිල් සමාජ වගකීම:

යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සිවිල් සමාජ සංවිධානවලට විශාල කාර්ය භාරයක් කළ හැකියි. නමුත් එතනදි මම දකින ගැටලු‍ තමයි පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් අපි මිනිස්සු අතරට ගෙනියන වටිනාකම් පිළිබඳ විවෘත සංවාදයක් හදාගන්න සිවිල් සමාජය මැදිහත් වීමෙදි ඔවුන්ගේ සුජාතභාවය, විනිවිදභාවය පිළිබඳ යම් යම් ප්‍රශ්න මතුවෙනවා.

 ඒ වගේම සිවිල් සමාජයේ දේශපාලන පාක්ෂිකත්වයන් සම්බන්ධ ගැටලු‍ මතු වෙනවා. බටහිර අධිරාජ්‍යවාදි සංවිධාන විදියට ඔවුන්ට චෝදනා එල්ල වෙලා තිබෙනවා. නමුත් මේ චෝදනාවලට නිසි ප්‍රමාණවත් පිළිතුරක් දෙන්න තවමත් සිවිල් සමාජය සමත් වෙලා තිබෙනවද කියන ප්‍රශ්නය තිබෙනවා.

උදාහරණයකට කිව්වොත් එන්ජීඕවලට මුදල් දෙන යුරෝපා සංගමය වගේ ආයතන ආණ්ඩුවටත් මූල්‍යමය අනුග්‍රහයන් දක්වනවා. එන්ජීඕවලට එරෙහිව බොරු බටහිර විරෝධයක් හදන ඇතැම් මහජන නියෝජතයන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ එංගලන්තේ ඇමෙරිකාව වගේ බටහිර රටවල්වල කියල පෙන්ව ගන්න සිවිල් සමාජය සමත් වෙලා නැහැ.

''එන්ජීඕවලට මුදල් දෙන යුරෝපා සංගමය වගේ ආයතන ආණ්ඩුවටත් මූල්‍යමය අනුග්‍රහයන් දක්වනවා. එන්ජීඕවලට එරෙහිව බොරු බටහිර විරෝධයක් හදන ඇතැම් මහජන නියෝජතයන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ එංගලන්තේ ඇමෙරිකාව වගේ බටහිර රටවල්වල කියල පෙන්ව ගන්න සිවිල් සමාජය සමත් වෙලා නැහැ.''

ඒ වගේම සිවිල් සමාජය මේ රටේ මානව හිමිකම්, පරිසරය, සාමය සහජීවනය ඇතුළුව විවිධ ක්ෂේත්‍ර වෙනුවෙන් කළ හොඳ වැඩ සහ ඒවායේ සමාජ ප්‍රතිලාභ මොනවද කියල පෙන්වන්න මාධ්‍යයක් නොමැතිකම නිසා හෝ අසමත් වෙලා තිබෙනවා.

මේ ගැටලු‍කාරී බව එක්ක මාර්තු 12 ව්‍යාපාරයට සිවිල් ව්‍යාපාරයක් විදියට පිරිස් ඒකරාශී කර ගනිමින් එයට තිබෙන සමාජ පිළිගැනීම එක්ක අවස්ථාව තිබෙනවා බිම්මට්ටමේ මහජනතාව අතරට මේ වටිනාකම් පද්ධතිය ගෙනියන්න. ගමේ මරණාධාර සමිතියක නිලධාරීන් පත් කිරීමේ ඉඳලා මේ වටිනාකම් මත ක්‍රියාකරන තැනකට එන්න පුලු‍වන් නම් එය විශාල ජයග්‍රහණයක්.

 

මාර්තු 12 සීමාව:

දශක ගණනාවක් මේ ආකාර අපේ දේශපාලන අත්දැකීම්වල සැලකිය යුතු වෙනසක් සිදුවෙලා නැහැ. එවැනි වටපිටාවක මාර්තු 12 ව්‍යාපාරය වසර පහක් වගේ කෙටි කාලයක් තුළ යම් විදියකට උත්සාහ දරලා තිබෙනවා පිරිසිදු දේශපාලනයක් කියන වචනය සහ එහි අවශ්‍යතාවය සමාජ ගත කරන්න.

පාර්ලිමේන්තුව තුළ ඒ වෙනුවෙන් එකඟත්වය පළ කරන නියෝජිත කණ්ඩායමක් ඒකරාශී කරගන්න. නමුත් මාර්තු 12 ව්‍යාපාරයට තිබෙන එක් වැදගත් කර්තව්‍යයක් තමයි මෙවැනි දේශපාලන සංස්කෘතියක් ඇතුලේ මේ තත්ත්වයට එරෙහිව කටයුතු කරන හෝ මෙවැනි තත්ත්වයන් ප්‍රතික්ෂේප කරන කණ්ඩායම් සහ පුද්ගලයන් සමඟ සංවාදයක් ඔස්සේ මේ වටිනාකම් එකතුව තවදුරටත් සමාජගත කරන්න ක්‍රියාත්මක වීම. නමුත් ගැටලු‍වේ තිබෙන බරපතලකම නිසාම එවැනි පුළුල් වැඩපිළිවෙළකට ගමන් කරන්න තවමත් මාර්තු 12 ව්‍යාපාරය සමත් වෙලා නැහැ.

 

මේ ඡන්දෙන් අරඹමු:

vote new

යහපත් දේශපාලන සංස්කෘතියක් නැතිවීමේ අර්බුදය හුදෙකලා නැහැ. ආදායම් බෙදීයාමේ විෂමතාව, ආයෝජනවලට නිසි ප්‍රතිලාභ නොලැබී යාම, පාරිසරික විනාශය, දූෂණ හා අක්‍රමිකතා, නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම, තරුණ තරුණියන්ට අවස්ථා නොලැබී යාම, කාන්තා හිංසනය ආදි ගැටලු‍ රැසකට එය හේතුවක්.

අපි දන්නවා සමාජ අසාධාරණයන් දරා සිටීමේ අවසානයට ඉතිහාසයේ හැම විටම පිළිතුරු ලැබිලා තියෙන්නේ ප්‍රඩණ්ඩත්වයෙන්. ඒ නිසාමයි තේරෙන භාෂාවකින් මේ වටිනාකම් සමාජයේ බිම් මට්ටම දක්වා අරගෙන යායුතු වෙන්නේ.

නමුත් මම විශේෂයෙන්ම කිව යුතුයි මේ වටිනාකම් පද්ධතිය සමාජගත කිරීමෙන් පමණක්ම පිරිසිදු දේශපාලන සංස්කෘතියක් බිහිවෙන්නේ නැහැ. ඒත් පිරිසිදු දේශපාලන සංස්කෘතියක් බිහිකර ගැනීමේ මූලික අඩිතාලම වැටී තිබෙන්නේ මේ වටිනාකම් පද්ධතිය හරහා. දේශපාලන පක්ෂ, දේශපාලනඥයන්, මහජනතාව, සිවිල් සමාජය වගේම මාධ්‍යයටත් ඒ අඩිතාලම දැමීම වෙනුවෙන් මඟ හැර යා නොහැකි කාර්ය බාරයක් තිබෙන බව අමතක නොකළ යුතුයි.

''මේ පාර්ලිමේන්තුවට හොඳ අය පත්කිරීමෙන් පමණක් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඉඩ ලැබෙන හැම අවස්ථාවක්ම අපි ඒ සඳහා භාවිතා කළ යුතුයි.''

ඒ වගේම මේ පාර්ලිමේන්තුවට හොඳ අය පත්කිරීමෙන් පමණක් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නේ නැහැ. නමුත් ඉඩ ලැබෙන හැම අවස්ථාවක්ම අපි ඒ සඳහා භාවිතා කළ යුතුයි.

මෙවර ඡන්දෙදි පුරවැසියෝ විදියට අපිට පුලු‍වන් නම් මේ සියලු‍ දේශපාලන කතා බහ වලටත් ඇහුම්කන් දීලා අවසාන පැය 24 දී හරි නැවත හිතල කිසිවෙක්ම දැන ගන්නේ නැති තමන්ගේ රහස් ඡන්දය හරිම කෙනාට දෙන්න, ඒක ලොකු වෙනසක ආරම්භය වේවි. මාර්තු 12 නිර්ණායක ඒ තීරණය ගන්න ඔබට උපකාරයක් වේවි.

(මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික සමන් හමන්ගොඩ සමඟින් සාකච්ඡා කර සකස් කළේ ජයනි අබේසේකර)

 

අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදීමේදී දේශපාලන පක්ෂ සලකා බැලීමට එකඟවූ පොදු නිර්ණායක

nomination

1. සමස්ත ජන ප්‍රජාවට සංවේදී, ගෝලීය දැක්මක් සහ දේශිය චින්තනයක් ඇති නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට සහ මූල්‍ය කලමනාකරණයට හැකියාව ඇති ප්‍රායෝගික පුද්ගලයෙකු වීම.

2. අපරාධ වරදක් සඳහා සිරදඬුවමකට ලක්වූ හෝ අත්හිටවූ සිරදඬුවම්වලට ලක්වූවකු නොවිය යුතුයි.

3. අල්ලස් හෝ දූෂණ පිළිබඳ වරදකරුවෙකු නොවූ සමාජය පිළිගත් චරිතවත් අයෙකු විය යුතුයි. එමෙන්ම අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා ලැබූ අය ගැන පරීක්ෂාකාරී විය යුතුයි.

4. මද්‍යසාර, මත්ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු රටේ යහ පැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එසේ නොකළ අයෙකු විය යුතුයි.

5. ජීව ආධාරක ව්‍යූහය විනාශ කරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාරවල යෙදුණු හෝ යෙදෙන අයෙකු නොවිය යුතුයි.

6. මහජන නියෝජිතයෙකු වන්නට පෙර රටට අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් සහ මහජන නියෝජිතයෙකුව සිටිමින් තම දේශපාලන බලය අයුතු ලෙස භාවිත කර රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් හෝ ගිවිසුමක පාර්ශ්වකරුවෙකු නොවන්නෙකු විය යුතුයි.

7. නාමයෝජනා ලබාදීමේදී කාන්තා සහ තරුණ නියෝජනය සඳහා ප්‍රමාණවත් අවස්ථා ලබාදීමට ක්‍රියා කළ යුතුයි.

8. ආගමික නායකයින් දේශපාලන භේදයකින් තොරව සමස්ත ජනතාවගේ ගෞරවය ලැබිය යුතු බැවින් ඔවුනට දේශපාලන පක්ෂ තුළින් නාම යෝජනා ලබා නොදිය යුතුයි.



දෙවනුව සලකා බැලිය යුතු පොදු නිර්ණායක:

1. නායකයෙකු සතුවිය යුතු ගුණාංග සහ මනා සන්නිවේදන හැකියාවක් ඇති අයෙකු විය යුතුයි.

2. ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට අපේක්ෂකත්වය ලබා දීමේදි වඩාත් පරීක්ෂාකාරී විය යුතුයි.

3. එකම පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට හෝ වැඩි ගණනකට නාම යෝජනා ලබා දීමේදී දක්ෂතාව පමණක් සැලකිල්ලට ගත යුතුයි.

 4. පූජ්‍ය/පූජක පක්ෂයේ නොවන අයෙකු විය යුතුයි.

   


පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකත්වය ලබා දීමේදී සලකා බැලිය යුතු නිර්ණායක

1. අවම වශයෙන් අ.පො.ස. උසස් පෙළ හෝ ඊට සමාන්තර අධ්‍යාපන සුදුසුකමක් හෝ වෘත්තීය නිපුණතාවයක් තිබෙන හෝ දේශපාලනික අධ්‍යාපනය ලබාදෙන කාලීන පාඨමාලාවක් හදාරා තිබිය යුතුයි.

2. රටේ ප්‍රතිපත්ති/නීති සම්පාදනයට සක්‍රීය ලෙස දායකවීමට අවශ්‍ය දැනුම, අවබෝධය සහ අත්දැකීම් සහිත නිර්මාණශීලී පුද්ගලයෙකු විය යුතුයි.

3. වයස් සීමාව අවුරුදු 30 ට අඩු ප්‍රථම වරට තරග කරන අපේක්ෂකයෙකු පළාත් සභා/පළාත් පාලන මට්ටම්වලින් අවුරුදු පහක දේශපාලන අත්දැකීම් සහිත විය යුතුයි.

 4. පළාත් සභා/ පළාත් පාලන මට්ටම්වලින් දේශපාලන අත්දැකීම් නොමැති ප්‍රථම වරට තරග කරන අයගේ වයස් සීමාව අවුරුදු 30 ට වැඩි විය යුතුයි.

5. රටේ ආර්ථික, සමාජයීය හා දේශපාලන ගැටලු‍ ගැන මනා වැටහීමක් සහිත සියලු‍ ආගමික ජනවර්ග සහ ජන කොට්ඨාස වලට ඇති සමාන අයිතිය පිළිගනු ලබන අයෙකු විය යුතුයි.

(උපුටා ගැනීම -සමබිම ඉරිදා අතිරේකය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්