''දේශපාලනඥයින් මැතිවරණ කාලෙට මේ පාවිච්චි කරන ‘මේ රට බේරගන්න’ කියන එකෙන් අදහස් කරන්නෙ,

මේ රට පරිසර විනාශයෙන් බේරගන්න එක, මේ රට ආර්ථික විනාශයෙන් බේරගන්න එක, මේ රට සමාජයේ බේද බින්න වලින් කැඩිලා යන එක බේරගන්න එක විය යුතුයි. එහෙම නොවී මේ ජාතිය, ආගම ගැන කතාව තාවකාලික මැතිවරණ වාසි උදෙසා සමාජය බේදබින්න කරන්න පාවිච්චි කළොත් ඇති වෙන ප්‍රතිඵලය ඉතාම භයානක බව අපි ඇස් දෙකෙන්ම පහුගිය කාලෙ දැක්කා'' යයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

ඔහු එබව සඳහන් කර තිබුනේ, 'සමබිම' පුවත්පතට ප්‍රකාශයක් කරමිනි.

ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන සමග සාකච්ඡා කර රුවිනි අයේෂා බියගම විසින් සකස් කරන ලද වාර්තාව පහත පළවේ.

 

මහජන නියෝජිතයගේ කාර්යභාරය:

Parliamentlanka

මහජන මන්ත්‍රීවරයෙක් කියන්නේ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක්, ව්‍යවස්ථාදායකය කියන්නේ රටක අවශ්‍ය නීති සම්පාදනය කරන ඒ නීති වලට අනුමැතිය දෙන ආයතනයයි. ඉතින් ඒ ආයතනය නියෝජනය කරන මන්ත්‍රීවරයන් හැටියට තෝරගන්නා තැනැත්තා පනත් කෙටුම්පත් කියවන්න පුලුවන්, ඒවා තේරුම් ගන්න පුලුවන්, ඒ වගේම ඒවා තේරුම් අරගෙන ජනතාවට වඩාත්ම හිතකර අණපනත්, සංශෝධන හෝ නියෝග සම්මත වන බවට වග බලාගන්නා කෙනෙක් වෙන්න ඕනි.

අපේ මහජන නියෝජිතයින්ට නිතරම අමතක වෙන ඔවුන් සතු ප්‍රධානම කාර්යභාරයක් වෙන්නේ මේ ජනතාව සතු බලය නිවැරදිව පාවිච්චි කරන විදියයි.

''අපේ මහජන නියෝජිතයින්ට නිතරම අමතක වෙන ඔවුන් සතු ප්‍රධානම කාර්යභාරයක් වෙන්නේ මේ ජනතාව සතු බලය නිවැරදිව පාවිච්චි කරන විදියයි.''

රටේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් සහ රට ගමන් කරන දිශානතිය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගෙන ඒ වෙනුවෙන් යන ගමනෙදි රජය හෝ විපක්ෂය සිදු කරන වරදක් තියේ නම් එය පෙන්වලා දීමේ හැකියාව ඔවුන්ට තිබිය යුතුයි.

අවම වශයෙන් තව අවුරුදු 10ක් හෝ 20ක් අතර කාලයක් තිස්සේ මේ රට කොයි විදිහටද ඉස්සරහට යන්න ඕනි කියන එක ගැනත් ඔහුට හෝ ඇයට අවබෝධයක් සහ දර්ශනයක් තිබිය යුතුයි.

විශේෂයෙන්ම මහජන නියෝජිතයෙක් ප්‍රධාන කාරණා තුනකින් සමන්විත විය යුතුයි. ජනතාව විසින් බලය ලබාදෙන කෙනා යම්කිසි උගත් කමක් තියෙන, හෘද සාක්ෂියට අනුව වැඩ කරන්නට තරම් ශක්තියක් තියෙන, ආර්ථික වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් අවංක කෙනෙක් වෙන්න ඕනි. මේ කාරණා තුනේදි දුර්වල අය තමයි බලය ලබාගෙන වරද වෙතම ගමන් කරන්නේ.

 

පරිසර සංවේදිත්වයෙන් යුතු පාලකයින්

ttree

පරිසරය කියන්නේ පුරවැසියො බොහෝ දෙනෙක්ට අහු නොවෙන නමුත් දේශපාලනඥයන්ගේ බලපෑමෙන් විනාශ වෙන සම්පතක්. මේ පරිසරයට අද තියෙන තත්ත්වයට වඩා යහපත් තත්ත්වයකින් අනාගතයට භාර දෙන්න ඕනි කියන එක කිසිම කෙනෙක් අමතක නොකළ යුතුයි.

ඒ නිසාම දේශපාලනඥයන් විසින් අද ගන්න ප්‍රතිපත්ති සහ තීරණ පරිසරය අදට වැඩිය හෙට යහපත්ව දකින්න පුලුවන් විදියෙ ඒවා විය යුතුමයි.

අපේ සමහර පරිසර නිර්ණායකයන් පරීක්ෂා කරද්දි අපි ඉන්නේ ඉතාම අවදානම් තත්ත්වයකයි. දැනට ගණුදෙනු කරන විදියටම අපිට මේ පරිසරයත් එක්ක තවදුරටත් ගණුදෙනු කරන්න පුලුවන් කමක් නැහැ. ඒක නිසා මහජන නියෝජිතයෝ කල්පනා කරන්න ඕනි තව අවුරුදු 1000 කින් මේ රටේ මිනිස්සුන්ට කොයි විදිහටද මේ පරිසරය අදාල වෙන්නේ කියන එක ගැන.

''මහජන නියෝජිතයෝ කල්පනා කරන්න ඕනි තව අවුරුදු 1000 කින් මේ රටේ මිනිස්සුන්ට කොයි විදිහටද මේ පරිසරය අදාල වෙන්නේ කියන එක ගැන. '

ඒ වෙනුවෙන් දීර්ඝකාලීන දැක්මකින් යුතුව පරිසරය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ අරගෙන පරිසරය ආරක්ෂා කර ගන්න ඕනි. එහෙම නැතුව ඉතිරි අවුරුදු 5 තුල තමන්ගේ ඡන්දදායකයින්ව පිනවන ප්‍රතිපත්තිය හෝ තමන්ගේ හෝ තමන්ගේ සහචරයන්ට ආර්ථික ශක්තිය ලබා ගැනීමේ ප්‍රතිපත්තිය එක්ක වැඩ කළොත් රටේ අනාගතය විනාශ වෙලා යනවා.

දේශපාලනඥයින් තුළ තියෙන අදූරදර්ශිභාවය, ආත්මාර්ථකාමීත්වය සහ අවස්ථාවාදීබව කියන තුනම එකතු වෙලා තමයි අද දේශපාලනය තුල පරිසරය දිහා බලන්නේ. පරිසර අර්බුදය කියන්නේ අද ලෝකය පුරාම තියෙන ලොකුම අර්බුදයක්. ඒ නිසා ජනතාව තෝරා ගන්න කෙනාට මේ බව හරිහැටි වටහා ගෙන රටක් වශයෙන් අපි කළ යුත්තේ කුමක්ද කියන එක ගැන අවම දැනුමක් හෝ තිබිය යුතු වෙනවා.

 

අපේ රටේ ඡන්ද දායකයා:

vote lanka

‘ඔබේ ජනතා නියෝජිතයාගෙන් පිලිබිඹු වෙන්නේ ඔබමය’ කියලා අපි ඉතිහාසයේ ඉදන්ම කියනවා. රටේ ජනතාව විසින් තෝරා ගන්නේ ඔවුන්ටම ගැළපෙන අයවයි. ඉතින් බලන් යද්දි ඇත්තටම ප්‍රශ්නය තියෙන්නේ ඡන්දදායකයා තුළයි. 

ඡන්දදායකයා විසින් නියෝජිතයෙක් වෙන්න නුදුසුදු අයව ප්‍රතික්ෂේප කරනවානම් පක්ෂයක් එවැනි පුද්ගලයන්ට නාම යෝජනා දෙන්න බය වෙනවා. ඒ නිසාම ‘පක්ෂය නාම යෝජනා දෙන අයට අපිට ඡන්දය දෙන්න වෙනවා’ කියන නිර්ණායකයට මම එකඟ වෙන්නේ නැහැ. ඇත්තම කතාව නම් මිනිස්සු ඡන්දය දෙන නිසා තමයි පක්ෂය ඒ වගේ මිනිස්සුන්ට නාම යෝජනා දෙන්නේ.

''ඡන්දදායකයා විසින් නියෝජිතයෙක් වෙන්න නුදුසුදු අයව ප්‍රතික්ෂේප කරනවානම් පක්ෂයක් එවැනි පුද්ගලයන්ට නාම යෝජනා දෙන්න බය වෙනවා. ඒ නිසාම ‘පක්ෂය නාම යෝජනා දෙන අයට අපිට ඡන්දය දෙන්න වෙනවා’ කියන නිර්ණායකයට එකඟ වෙන්න බැහැ. ඇත්තම කතාව නම් මිනිස්සු ඡන්දය දෙන නිසා තමයි පක්ෂය ඒ වගේ මිනිස්සුන්ට නාම යෝජනා දෙන්නේ.''

මේ රටේ ජනතාවගේ චින්තනය සහ පරිකල්පනය පිලිබඳව ලොකු ගැටලුවක් අපි දකිනවා, මේක ඉතිහාසයේ පටන්ම ආපු ප්‍රශ්නයක්. කාලයක් යද්දි මේක හරියයි කියල හිතුවත් එහෙම වුනේ නැහැ. මේ රටේ ජීවත් වෙන ජනතාව අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් නැති, විශ්වාසයක් නැති ජන කොට්ඨාසයක් බවට පත්වෙලා.

ජනතාව ගොඩක් අවස්ථා වලදී පුද්ගලයෙක් පිලිබඳව ගැඹුරින් විමසා බලනවාට වැඩියෙන් බාහිරින් තියෙන ආටෝපය එක්ක තීරණ ගන්න බව පෙනී යනවා. මේ ජනතාවගෙන් දකින්න තියෙන විකෘති චින්තනය සහ පරිකල්පනය අද ඊයෙ වුන දෙයක් නෙමෙයි.

යටත් විජිත කාලෙ හදපු දෙයක් තමයි මේ විදියට පසුකාලීනව රටේ පාලනතන්ත්‍රයට, අධ්‍යාපනයට සහ අනෙක් හැමදේටම බලපාලා තියෙන්නේ. මේක පාවිච්චි කරන දේශපාලනඥයෝ මාධ්‍ය මඟින් කෘතිම ප්‍රතිරූපයක් ඇතිකරගෙන ඒකෙන් ජනතාව මුලා කරලා ජනතාව කැමැත්ත ගන්න පුරුදු වෙලා ඉන්නවා.

 

සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්ගේ වගකීම:

ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ඉන්නේ උද්ගාමී මානසික තත්ත්වයක නෙවෙයි බොහොම නිගාමී මානසික තත්ත්වයකයි. ඒ බිඳවැටිච්ච මානසික තත්ත්වය, ආත්මවිශ්වාසය, ශක්තිය, පරිකල්පනය යහපත් පැත්තට ගන්න නම් ලොකු ප්‍රයත්නයක් දරන්න වෙනවා.

ඒ ප්‍රයත්නය සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් පුංචි මට්ටමකින් දරන්න උත්සාහ කළත් එය සිදුවිය යුත්තේ ඊට වඩා ඉහළ මට්ටමක සිටයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ පටන් සියලු දේවල් ඒ සඳහා ප්‍රතිසංස්කරණය කළ යුතු වෙනවා. එහෙමත් නැත්නම් මේ සඳහා අපි සමාජය තුල බරපතල කතිකාවතක් ඇතිකල යුතුයි.

''ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ඉන්නේ උද්ගාමී මානසික තත්ත්වයක නෙවෙයි බොහොම නිගාමී මානසික තත්ත්වයකයි. ඒ බිඳවැටිච්ච මානසික තත්ත්වය, ආත්මවිශ්වාසය, ශක්තිය, පරිකල්පනය යහපත් පැත්තට ගන්න නම් ලොකු ප්‍රයත්නයක් දරන්න වෙනවා. ''

නමුත් මේ දෙකම වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ. ඒ කතිකාවත සමහර අය විසින් සිදු කරනවා, සමහරු එය සිදු කරන්නේ නැහැ. ඒ වගේම තවත් සමහර අය ඒ කතිකාවත හරහා තම තමන්ගේ කෝණයන්, දෘශ්ටිවාදයන් සමාජගත කරනවා. නමුත් මම යෝජනා කරන කතිකාවත ඊට වඩා පුළුල් එකක්.

සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ චින්තනය ජනතාවගේ බලාපොරොත්තු, අභිමතාර්ථ ගැන හිතලා ජනතාව හිතන්න යොමු කරවන චින්තනයක් වෙන්න ඕනි. අද වෙද්දි සමාජය තියෙන්නේ අවපාතකයට යන මානසික චින්තනයකයි. ඉතින් ඒ අවපාතයකට ගිහින් තියෙන චින්තනය ආපස්සට ගන්නවා කියන එක සෑහෙන බරපතල වැඩක්.

නමුත් සමාජ ක්‍රියාකාරිකයෙක් වශයෙන් එය අපගෙන් සිදු විය යුතු යුතුකමක් විදියට මම දකිනවා. එක් අයෙක්ව හරි නිවැරදි චින්තනයක් කරා මෙහෙයවන්න පුලුවන් නම් ඒක හුගක් වටිනවා. ඒක එහෙම නොවුනොත් තව කාලයක් යනකොට මේ අලුත් පරපුරත් මේ අගාධයටම වැටිලා රට ජරාජීර්ණ වෙලා යන්න ඉඩ තියෙනවා.

 

රට ජාතිය බේර ගැනීමට ඡන්දෙ දෙන්න

Vote for 2020

ජාතිකත්වයේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සමාජ ජාතිකත්වය හෙවත් Civic Nationalism, කියලා කියන අයට තියෙන්නේ එහෙම ජාතිකත්වයක්. එහෙම අය ලංකාවේ ඉන්න හැම කෙනෙක්වම අපේ අය විදියට තමයි දකින්නේ. අනෙක් එක තමයි Ethnic Nationalism, ‘අපේ ජාතිය වෙනුවෙන් වැඩ කළ යුතුයි’ කියන අයට තියෙන්නේ එහෙම ජාතිකත්වයක්. මේ ජාතිකත්ව දෙකම සාධනීය විදියට හෝ ඉතාමත්ම නරක විදියට පාවිච්චි කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්.

උදාහරණයක් විදියට ‘අපේ මේ රට පොඩි රටක්, අපිට මේ රටේ සම්පත් තියෙනවා, මේ රටේ සුවිශේෂී දේවල් තියෙනවා මේ දේවල් ආරක්ෂා කරගන්න එක අපේ යුතුකමක් සහ වගකීමක් මේ දේවල් වලින් ප්‍රයොජනයක් අරගෙන දියුණු වෙන එක අපේ වගකීමක්’ කියන සාධනීය පැත්තෙන් හිතන්න පුලුවන්. ඒ වගේම තමන් වෙනම ජාතියක් විදියට හිතුවත් ‘මේ අනෙක් ජාතීනුත් අපේ නෑදෑයෝ වෙනවා, එයාල සතුරෝ නෙවෙයි, ඒ විවිධත්වයට අපි ගරු කළ යුතුයි’ කියල හිතන්න පුලුවන්.

නමුත් අද මේ හැම සංකල්පයක්ම භාවිතා වෙන්නේ ලංකාවේ ඝර්ෂණයක්, ඝට්ටනයක් ඇති කිරීම සඳහායි. ‘අර ජාතිය අපේ විනාශයට පාර කපනවා’ කියන මේ කතාව යටත් විජිත කාලයේ මේ සමාජය බෙදා වෙන්කිරීම උදෙසා පාලනතන්ත්‍රයන් විසින් නිර්මාණය කල කතාවක්.

ආරම්භයේදි මේ කතාව ගෙන ආවේ සුලු ජාතික පක්ෂ වලිනුයි. දැන් ඒක බහුතර මතවාදයක් කරා ගිහින් තියෙනවා. 1948 ඉදන් 2000 වෙනකන් මේ මතවාදය ගෙන ගියේ සුළු ජාතීන් විසින් ප්‍රධාන ජාතියට විරුද්ධවයි. අද ඒක ප්‍රතික්‍රියාවක් විදිහට අනෙක් පැත්තට අරන් යන බව පේනවා. මේ දෙකම ඉතාම නරකයි.

''මේ ජාතිවාදය, ආගම්වාදය පටු වාසි වෙනුවෙන් යම් කෙනෙක් අවුස්සනවා නම් ඔහු කුමන ජාතිකයෙක් වුවත් මහජන නියෝජිතයෙක් විදියට ජනතාව නියෝජනය කරන්න සුදුසුකම් ලබන්නෙක් නෙවෙයි.''

මේ රට ඉදිරියට ගමන් කරන්න නම් රටේ භූගෝල පද්ධතිය තුළ තියෙන දේශපාලන පද්ධතිය, රටේ සම්පත් ආරක්ෂා කර ගත යුතුයි. ඒකට ආගම හෝ ජාතිය අදාළ නැහැ, මේ හැමදේම පොදුවේ අපි හැමෝගෙමයි. ජාති, ආගම්, කුල භේදයකින් තොරව මේ රට අපේ, මේ රටේ සම්පත් අපේ කියන තැනින් දකිනවා නම් පොඩි පොඩි කෝන්තර අමතක කරලා රටක් වෙනුවෙන් එකතු වෙලා ගමනක් යන්න පුලුවන් වෙනවා.

දේශපාලනඥයින් මැතිවරණ කාලෙට මේ පාවිච්චි කරන ‘මේ රට බේරගන්න’ කියන එකෙන් අදහස් කරන්නෙ, මේ රට පරිසර විනාශයෙන් බේරගන්න එක, මේ රට ආර්ථික විනාශයෙන් බේරගන්න එක, මේ රට සමාජයේ බේද බින්න වලින් කැඩිලා යන එක බේරගන්න එක විය යුතුයි.

එහෙම නොවී මේ ජාතිය, ආගම ගැන කතාව තාවකාලික මැතිවරණ වාසි උදෙසා සමාජය බේදබින්න කරන්න පාවිච්චි කළොත් ඇති වෙන ප්‍රතිඵලය ඉතාම භයානක බව අපි ඇස් දෙකෙන්ම පහුගිය කාලෙ දැක්කා. දැනටමත් මේ ඇති වෙලා තියෙන තුවාල අපි යම්කිසි දවසක සුව කරගත යුතුයි. ඒ සඳහා පක්ෂ භේදයකින් තොරව සියලුම මහජන නියෝජිතයින් සහ ජනතාව එක එක්විය යුතුයි.

නමුත් මේ ජාතිවාදය, ආගම්වාදය පටු වාසි වෙනුවෙන් යම් කෙනෙක් අවුස්සනවා නම් ඔහු කුමන ජාතිකයෙක් වුවත් මහජන නියෝජිතයෙක් විදියට ජනතාව නියෝජනය කරන්න සුදුසුකම් ලබන්නෙක් නෙවෙයි.

ඉතින් මේ දේවල් ගැන හිතලා ඇත්තටම රට ජාතිය බේර ගැනීම වෙනුවෙන් හිතන, මේ රට යහපත් තැනකට ගේන්න පුලුවන් මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට යවන එක ජනතාවගේ වගකීමක් බව අමතක නොකළ යුතුයි.

Jagath Gunawardhana- ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්