කාට ඡන්දය දුන්නත් එක යැයි මැතිවරණ සමයේ මගෙන් ඡන්දය ගැන ඇසූවන්ට මම කීවෙමි.

“කාටවත් කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ.” මම එයට හේතු දැක්වූයෙමි.

කෝවිඞ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් සිව් මසකට ආසන්න කාලයක් ප්‍රමාද වූ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. අමාත්‍ය මණ්ඩලයත් රාජ්‍ය අමාත්‍යවරුනුත් ආණ්ඩුවේ දේශපාලන දිස්ත්‍රික් සම්බන්ධිකාරකයිනුත් පත්කර දිවුරුම් දී තනතුරු බාර ගෙනද අවසන්ව ඇත.

සමාජ මාධ්‍ය ජාලවල ඒ සමග විශේෂයෙන් රාජ්‍ය ඇමති ලේඛනය වහා උපහාසයට ලක් කෙරුණි. රාජ්‍ය ඇමතිවරුන්ට පවරා ඇති වගකීම් හඳුන්වන්නට වූයේ කඬේ යෑමට හැදූ බඩු ලැයිස්තු ලෙසිනි. ඇතැම් රාජ්‍ය ඇමතිවරුන් වැඩියෙන් උපහාසයට ලක් විය.

Cartoon Ministers lanka

 

“සමාජ මාධ්‍ය ජාල” පුද්ගල කේන්ද්‍රීය භාවිතයක :

අලුත් තාක්ෂණික මෙවලම් ලෙස සමාජ මාධ්‍ය ජාල භාවිතය සතු නිදහස සමග ඊට ගොඩවන අයගේ හැදියාව සහ දැනුම ඉන් මැනවින් දිස් වන්නේය. “සමාජ මාධ්‍ය ජාල” යැයි හැඳින්වුනද, ඒවායේ පුද්ගල කේන්ද්‍රීය භාවිතයෙහි සමාජ වගකීමක් ඇත්තේ නැත. ඒවාට ගොඩවන අති බහුතරයක් සමාජ මධ්‍යයක තිබිය යුතු සමාජ වගකීම ගැන දන්නේද නැත.

සමාජ මාධ්‍ය ජාලාවන්හි නිතර දෙවේලේ සැරිසරණවුන්ට දැන් කෝවිඞ්-19 වසංගතය අමතක වූ විෂයකි. එනිසා ඒ මැදිහත්වීම් කිසිවක කෝවිඞ්-19 ගෝලීය වසංගතයෙන් මුදා හැරි අර්බූද ඉල්ලා සිටින නව අනාගතයක් සඳහාවන අලුත් සාමුහික සංවාදයක් ඇත්තේ නැත.

විවෘත වෙළඳපල විසින් ඉතිරි කළ මනුස්සකමක් නැත. අනෙකා ගැන කිසිදු හැඟීමක් එහි නැත. අපට ඉතිරිකර ඇත්තේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇති බරපතල අපරාධ, මත්කුඩු ජාවාරම්, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, පාරිසරික විනාශ හා ආගමික - වාර්ගික භේද වැනි ඛේදවාචක ය.

 

''විවෘත වෙළඳපල විසින් ඉතිරි කළ මනුස්සකමක් නැත''

''විවෘත වෙළඳපල විසින් ඉතිරි කළ මනුස්සකමක් නැත. අනෙකා ගැන කිසිදු හැඟීමක් එහි නැත. අපට ඉතිරිකර ඇත්තේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇති බරපතල අපරාධ, මත්කුඩු ජාවාරම්, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, පාරිසරික විනාශ හා ආගමික - වාර්ගික භේද වැනි ඛේදවාචක ය.''

කෝවිඞ්-19 විසින් මේ සමාජය අවුරුදු 40 ට වැඩි කාලයක් පුරා ගෝලීය නව ලිබරල් වෙළඳපල ආර්ථිකයට ගැට ගසා තිබූ සියලු බැඳීම් ක්ෂණිකව කඩා දමනු ලැබිණ. මහා සාගරයේ රුවල අහිමි වූ පාරුවක් මෙන් අපි දැන් අතරමංව සිටිමු.

ගෙවුනු අවුරුදු 40 ට වැඩි කාලයේ නව ලිබරල් ආර්ථිකය විසින් අපව කොටුකර ඇත්තේ කොළඹ කේන්ද්‍රීය වෙළඳපළකට ය. ඒ මුලු කාලය පුරා ගම අතහැර දමා තිබිණ. ආදායම් හා වත්කම් විෂමතා බරපතල ලෙස වර්ධනය විය.

ඒ සමග විවෘත වෙළඳපල විසින් ඉතිරි කළ මනුස්සකමක් නැත. අනෙකා ගැන කිසිදු හැඟීමක් එහි නැත. අපට ඉතිරිකර ඇත්තේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇති බරපතල අපරාධ, මත්කුඩු ජාවාරම්, ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, පාරිසරික විනාශ හා ආගමික - වාර්ගික භේද වැනි ඛේදවාචක ය. විවෘත වෙළඳපල සමගින් හැදූ මේ සමාජය මිථ්‍යාවෙන් පිරි අතිශය ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයකි.  

JJBජවිපෙ සමග හවුල් වූ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් හැලුණු නාගරික කණ්ඩායම්

මේ සියලු සාදාචාරත්මක හා බුද්ධිමය පිරිහීම් විවෘත වෙළඳපල ආර්ථිකය පවත්වා ගැනීමේ උකස් හා කල් බදු ක්‍රම, ක්‍රෙඩිට් කාඞ් පත් හා ණය වාරික මත හදා ඇති හිස් පාරිභෝගික තරගකාරිත්වය විසින් වසන්කර ඇත.

විවෘත වෙළඳපල ආර්ථිකයෙහි සමාජය සමස්ථයක් ලෙස බිඳ වැටුනද, එය පවත්වා ගෙන යාමට අවශ්‍ය මතවාදය හැදුවේ, එහි හවුල්කාර පාර්ශවයන් වන වෘත්තිකයින්, උසස් නිලධාරීන්, ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පැත්තකින් තබා, සියලු වගකීම් දේශපාලකයින් මත පැටවීමෙනි.

එනිසා එය පිරිසිදු කළ හැකි යැයි නාගරික මැද පංතික උගතුන් සූත්තර ගෙතූහ. අවංක උගතුන් පාර්ලිමේන්තු යැවීමට දේශන පැවැත්වූහ. දූෂණයෙන් තොර විවෘත වෙළඳපල ආර්ථිකයක් මගින් සමාජය යළි ගොඩ ගත හැකි යැයි දේශපාලනයක් සමාජය හමුවේ තැබීමට ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණ සමග හවුල් වූ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් හැලුණු නාගරික කණ්ඩායම් ය.

ලොව කොතැනකවත් කාටවත් පිරිසිදු කළ නොහැකි වූ සහ අශීලාචාර විවෘත වෙළඳපල ආර්ථික පැවැත්ම සාධාරණය කිරීමට හා ඊට සුජාත බවක් දීමට ඔවුන් සෘජුව දායකවන බව හෝ ඔවුන් දන්නේ නැත.

''ලොව කොතැනකවත් කාටවත් පිරිසිදු කළ නොහැකි වූ සහ අශීලාචාර විවෘත වෙළඳපල ආර්ථික පැවැත්ම සාධාරණය කිරීමට හා ඊට සුජාත බවක් දීමට ඔවුන් සෘජුව දායකවන බව හෝ ඔවුන් දන්නේ නැත.''

 

''අප ඉන්නේ මැහුම් දමා, පැලැස්තර අලවා යා හැකි අවදියක නොවේ''.

අද අප ඉන්නේ මැහුම් දමා, පැලැස්තර අලවා රෝගී ආයු කාලය තව ටික කලක් හෝ ඇදගෙන යා හැකි අවදියක නොවේ. කෝවිඞ්-19 විසින් අප හමුවේ තේරීම් දෙකක් තබා ඇත.

Arundathi royවිශ්ව කීර්තියට පත්ව ඉන්නා ඉන්දීය නවකතාකාරිනියක් මෙන්ම විකල්ප ධාරාවේ බුද්ධිමය සමාජ ක්‍රියාකාරිනියක්ද වන අරුන්දති රෝයි කෝවිඞ්-19 න් ඉතිරි කළ අර්බූද ගැන පසුගිය අප්‍රේල් මාසයේදී කියා තිබුණේ, ඓතිහාසිකව ගෝලීය වසංගත විසින් මිනිසාට තම අතීතයෙන් ගැලවී ලෝකය දෙස අලුතින් බලන්නට අවසථාවක් ලබා දෙන්නේ යැයි කියා ය.

ඒ කතාව ඇය පැහැදිලිකර තිබූයේ “අපට ඒ හරහා, අපගේ පක්ෂග්‍රාහීත්වයේ, වෛරයේ මළ කඳන්, ධනයට ඇති අපගේ කෑදරකම්, අපගේ දත්ත බැංකු සහ මියගිය අදහස්, මිය ඇදුණු ගංගා, දුම් බැඳුණු අහස අප පසුපසින් ඇද ගෙන යා හැකිය. එසේත් නැතිනම්, වැඩි බරක් නැතිව, වෙනත් ලෝකයක් ගැන සිතන්නට අපට සැහැල්ලු ගමනක් යා හැකිය. එය දිනා ගැනීමට සූදානම් විය හැකිය” යනුවෙනි.

අප තෝරා ගෙන ඇත්තේ මේ බිඳ වැටුනු විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගෙන, මේ ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයෙහිම ලැග ඉඳීමේ තේරීමය. නාගරික මැද පංතික වෘත්තිකයින් තවමත් සිතන්නේ මේ විවෘත වෙළඳපල සමග තමන්ගේ වත් පොහොසත් පාරිභෝගික ජීවිතය බේරා ගැනීම ගැන පමණි.

සමාජ කතිකා හා මාධ්‍ය වාර්තා අනුව අප සූදානම් වෙමින් සිටින්නේ යෝධ බරක් ඇදගෙන යන්නට ය. අප තෝරා ගෙන ඇත්තේ මේ බිඳ වැටුනු විවෘත වෙළඳපල ආර්ථිකය යළි ගැට ගසා ගෙන, මේ ආත්මාර්ථකාමී, අවිනීත, අශීලාචාර සමාජයෙහිම ලැග ඉඳීමේ තේරීමය.

 

නාගරික මැද පංතික වෘත්තිකයින් තවමත් සිතන හැටි...

නාගරික මැද පංතික වෘත්තිකයින් තවමත් සිතන්නේ මේ විවෘත වෙළඳපල සමග තමන්ගේ වත් පොහොසත් පාරිභෝගික ජීවිතය බේරා ගැනීම ගැන පමණි.

දේශපාලන පක්ෂ වලටද විකල්ප ගැන සිතන්නට හුරුවක් හා බුද්ධිමය සම්පත් නැත. ගෝලීය වශයෙන්ද පරිසරය හා මිනිස් ජීවිත විනාශ කරමින් ලාභ හා කොමිස් මුදල් කඳු ගැසූ යෝධ ව්‍යාපාරික මැදිහත්වීම් ඇත්තේද නව ලිබරල් ආර්ථිකය යළි පිළිසකර කර ගැනීම සඳහා ය.  

''දේශපාලන පක්ෂ වලටද විකල්ප ගැන සිතන්නට හුරුවක් හා බුද්ධිමය සම්පත් නැත. ගෝලීය වශයෙන්ද පරිසරය හා මිනිස් ජීවිත විනාශ කරමින් ලාභ හා කොමිස් මුදල් කඳු ගැසූ යෝධ ව්‍යාපාරික මැදිහත්වීම් ඇත්තේද නව ලිබරල් ආර්ථිකය යළි පිළිසකර කර ගැනීම සඳහා ය.''

අපගේද අවුරුදු 40 ට වැඩි කලක ඉතිහාසය සාක්ෂි සමගින් ඉතිරිකර ඇත්තේ අශීලාචාර, අසංවර, ධනයට ගිජු සමාජයකි. ඒ මගින් ඔප්පුකර ඇත්තේ සමාජීය සංවර්ධනයක් විවෘත වෙළඳපල ආර්ථිකයෙන් ලැබිය නොහැකි බව ය. බරපතල ගැටළුව වන්නේ විවෘත වෙළඳපල ආර්ථිකය විසින් හදා ඇති ජාවාරම්කාර දේශපාලනයෙහි ය. අතිශය කෑදර පාරිභෝගික සමාජයන්හි ඉදිරිය තීන්දු කිරීමේ බලය ඇත්තේ ඔවුන් අතය.

Noam Chomskyපශ්චාත් කෝවිඞ්-19 යුගය සඳහා වන තේරීම් ගැන “ද ඉන්ක්” (the.ink) නැමැති අන්තර්ජාල පුවත් අඩවිය සමග විශ්ව කීර්තියට පත්ව ඇති, විකල්ප මත දරණ බුද්ධිමතෙකු සේ පිළිගනු ලබන විද්වත් මහාචාර්ය (Laureate Professor) නොආම් චොම්ස්කි කළ දිගු සාකච්ඡාවේදී කියා තිබුණේ “අවුරුදු 40 ක් නව ලිබරල් ප්‍රහාරයට ලෝක ජනතාව ලක් කළ මේ අර්බූදයේ නියත නිර්මාණකරුවන් මේ ක්‍රියාදාමයට පාදක වූනු සියල්ලෙහි වඩා දරුණු ආකෘතියක් හැදීමට උත්සාහ කරති. කෙළවරක් නැතිව වෙහෙසෙති. එය වඩා තියුණු රහස්‍ය සෝදිසි කිරීම් හා දරුණු පාලනයක් සමගින් හැදෙන්නකි.” (අගෝස්තු 11 වන දින පළ කෙරුණකි) “අතීතය” අනාගතයට රැගෙන යාමේ උත්සාහය කෙළවර විය හැක්කේ එළෙසිනි.

දුගඳ හමන, දුර්වර්ණ, දූෂිත අවුරුදු 40 ක අතීතය බිම දමා අලුත් ගමනක් ආරම්භ කිරීමට කෝවිඞ්-19 න් ලබා දුන් ඓතිහාසික අවසථාව අප බාර ගත යුතුව ඇත්තේ එබැවින්ය.

ආණ්ඩුවේ දූෂණ සෙවීමේත් මැතිවරණයේදී දුන් පොරොන්දුත් ඉටු කරන්නට යැයි ගෝසා කිරීමේ පැරණි විරෝධාකල්ප දේශපාලනයෙන් අලුත් ලොවක් ගැන අදහසක් හදා ගැනීමට අලුත් ගමන් යා නොහැකිය.

''ආණ්ඩුවේ දූෂණ සෙවීමේත් මැතිවරණයේදී දුන් පොරොන්දුත් ඉටු කරන්නට යැයි ගෝසා කිරීමේ පැරණි විරෝධාකල්ප දේශපාලනයෙන් අලුත් ලොවක් ගැන අදහසක් හදා ගැනීමට අලුත් ගමන් යා නොහැකිය.''

 

මේ ක්‍රමයෙහි දූෂණ නතර කළ නොහැක:

දූෂණ සෙවිය හැකිය. එහෙත් මේ ක්‍රමයෙහි දූෂණ නතර කළ නොහැක. රාජපක්ෂලාගෙන් යහපාලනයට මාරුවීම ඔප්පු කෙරුවේ එය ය. දුන් පොරොන්දු ඉටු කරන මෙන් ඉල්ලා සිටිය හැකිය. එහෙත් මේ ක්‍රමය ඇතුළත කිසිදු ආණ්ඩුවකට පොරොන්දු ඉටු කළ නොහැකිය. එයද යහපාලනයෙන් ඔප්පු කෙරුවකි.

යහපාලනයක් වෙනුවෙන් පොරොන්දු දුන් නාගරික මැද පංතිකයින්ට සහ ජ.වි.පෙ ට මෙවර සිදුවූයේ අලුතින් පොරොන්දු දෙන්නටය.

 

අලුතින් සිදු කරන සමාජ මැදිහත්වීමක අවශ්‍යතාවය :

ශීලාචාර, ශිෂ්ට අලුත් සමාජ නිර්මාණයක් සඳහා ගමන් ආරම්භ කළ හැක්කේ විෂය කරුණු දෙකක් වෙනුවෙන් අලුතින් සිදු කරන සමාජ මැදිහත්වීම් සමගින් ය. එක් විෂයක් වන්නේ පරිසරිය සුරැකීම ය. මේ ආණ්ඩුව තමන් බරපතල ආර්ථික අර්බූදයක කොටුව ඉන්නා බව පත් කෙරුණු ඇමති මණ්ඩලයට වඩා රාජ්‍ය අමාත්‍ය ලේඛනයෙන් පෙන්වන්නකි.

ඉන් ගොඩ එන්නට අපනයනය සඳහා ජාතික නිෂ්පාදන දියුණු කිරීම ගැන කෙරෙන ආණ්ඩුවේ සැළසුම් විරහිත කතා මගින් කියනු ලබන්නේ පරිසරය කෙසේ වෙතත් නිෂ්පාදනය වැදගත් බවය. පරිසරයට අදාලව කටයුතු කළ හැකි රාජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකු ඉන්නා විට, දූෂිත ආර්ථිකයක එයම පරිසර විනාශය සඳහාවන අවසර පත්‍රයකි.

 

“දේශප්‍රේමීන්” බවට පත්ව ඇති පරිසරවේදීන් :

එය වඩාත් තීව්‍ර කෙරෙන්නේ පරිසරය සුරැකීමට ඉදිරිපත්ව ඉන්නා ක්‍රියාධරයින් බොහෝමයක් “දේශප්‍රේමීන්” බවට පත්ව ඇති හෙයිනි. එබැවින් විල්පත්තු ගිය බොහෝ දෙන සිංහරාජයට නොයති. තවමත් පරිසරය සුරැකීමට වෙර දරණ අවංක අතළොස්ස කොටුවී ඉන්නේ කෑලි ක්‍රමයට කෙරෙන පරිසරය රැකීමේ විරෝධතා හා උද්ඝෝෂණ සමගින් ය.

''එය වඩාත් තීව්‍ර කෙරෙන්නේ පරිසරය සුරැකීමට ඉදිරිපත්ව ඉන්නා ක්‍රියාධරයින් බොහෝමයක් “දේශප්‍රේමීන්” බවට පත්ව ඇති හෙයිනි. එබැවින් විල්පත්තු ගිය බොහෝ දෙන සිංහරාජයට නොයති. තවමත් පරිසරය සුරැකීමට වෙර දරණ අවංක අතළොස්ස කොටුවී ඉන්නේ කෑලි ක්‍රමයට කෙරෙන පරිසරය රැකීමේ විරෝධතා හා උද්ඝෝෂණ සමගින් ය. ''

ඔවුහු එක ප්‍රශ්නයකට නඩුවක් පවරති. තවත් ප්‍රශ්නයකට විරෝධතාවක් පවත්වති. තවත් තැනක පරිසරය සුරැකීමේ පුහුණුවීම් වැඩසටහන් කරති. පරිසරය ගැන දන්නා අලුත් ඇමතිවරුන් එන තෙක් බලාපොරොත්තු තබති. මේ කිසිවකින් අවුරුදු 30 ට වැඩි කාලයක්, පැවති මට්ටමෙන් හෝ පරිසරය රැක ගැනීමට නොහැකිව ඇත. ඒ මන්දැයි එනමුත් පසු විපරමක් කෙරෙන්නේද නැත.

ඉතා කෙටියෙන් කිවහොත් ජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය. සංවර්ධන උපා මාර්ග තීන්දු විය යුත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියද ඇතුළුව ය.

පරිසරය සුරැකීමේ අනාගත විසඳුම ඇත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් සමගින් ය. එය නගරවල වායු දූෂණයේ සිට නාය යෑම් දක්වාත් වන සංරක්ෂණයේ සිට ශබ්ද දූෂණය දක්වාත් කසළ ඉවත් කිරීමේ සිට ප්‍රතිචක්‍රීකරණය දක්වාත් ලංකාණ්ඩුව බැඳී ඉන්නා සියලු ජාත්‍යන්තර ප්‍රඥප්තීන් ක්‍රියාවට දැමීම දක්වාත් සියල්ල ආවරණය කෙරෙන ජාතික ප්‍රතිපත්තියක් විය යුතුය.

environmentජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය.

එවැන්නක් සැකසිය යුත්තේ වායු සමීකරණය කළ කාමර තුල නොවේ. එවැන්නක් සැකසිය යුත්තේ ජනතා ව්‍යාපාරයක් සමගින්ය. ජන සහභාගිත්වය ඇතිවය. ඉතා කෙටියෙන් කිවහොත් ජාතික පරිසර ප්‍රතිපත්තියෙහි අයිතිකරුවන් විය යුත්තේ ජනතාව ය. සංවර්ධන උපා මාර්ග තීන්දු විය යුත්තේ ජාතික පරිසර ප්‍රතිපත්තියද ඇතුළුව ය. පරිසර ක්‍රියාකාරීන් හා සංවිධාන ආණ්ඩුවකින් ඉල්ලා සිටිය යුත්තේ එවැනි ජාතික පරිසර ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවේ සම්මත කරන මෙන් ය.

අනතුරුව පළාත් සභාවන්හිත් පළාත් පාලන ආයතන සියල්ලෙහිත් ඊට අනුකූලව ඔවුන්ගේ පරිසර ප්‍රතිපත්ති සකස් කරන මෙන් ඉල්ලීමට ය. කෝවිඞ්-19 අර්බූද හමුවේ එවැනි අලුත් ගමනකට මුල පිරිය හැක්කේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් සැකසීමට පරිසර ක්‍රියාකාරීන් හා සංවිධාන ජන සහභාගිත්වයක් ගොනු කරන්නට සූදානම් වන්නේ නම් පමණි.

''අතිශය වැදගත් දෙවැනි විෂය කරුණ වන්නේ “සමාජ රක්ෂණය” සඳහා ප්‍රතිපත්තියක් සමාජගත කිරීම සමගින් ඊට අදාල වැඩ සටහනක් ක්‍රියාවට නංවා ගැනීම ය. එවැන්නක් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි පැවතෙන්නේ ස්ථාවර, නිරෝගී සමාජ පැවැත්මක් වෙනුවෙනි.''

අතිශය වැදගත් දෙවැනි විෂය කරුණ වන්නේ “සමාජ රක්ෂණය” සඳහා ප්‍රතිපත්තියක් සමාජගත කිරීම සමගින් ඊට අදාල වැඩ සටහනක් ක්‍රියාවට නංවා ගැනීම ය. එවැන්නක් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි පැවතෙන්නේ ස්ථාවර, නිරෝගී සමාජ පැවැත්මක් වෙනුවෙනි. එවැනි සමාජ රක්ෂණයක් අපට අද වඩාත් වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් සඳහා අවශ්‍ය සමාජ ස්ථාවරත්වය වෙනුවෙනි.

සම්පූර්ණයෙන්ම මෙන් ගෝලීය වෙළඳපලෙන් යැපුණු අපට, එය කඩා වැටීම හේතුවෙන් අපගේ අපනයන නිෂ්පාදන සියල්ලට හිටි අඩියේ වෙළඳපලක් අහිමි විය. සංක්‍රමණික ශ්‍රමික ඉල්ලුමද දැන් අවම වී ඇත.

ගුවන් සමාගම් විසින් ඔවුන්ගේ යානා නැවත ගුවන්ගත කෙරෙන දින වකවානු ගැන කිසිදු ගණන් හැදීමක් නොමැති ලෝකයක සංචාරක ව්‍යාපාරයකට පැවතිය නොහැක. අවිධිමත් ආර්ථිකය අඩකින් පමණ හැකිලී ඇත.

 

ලක්ෂ ගණනින් රැකියා අහිමිවීමේ අනාගතයකට:

Job 2020පෞද්ගලික අංශයේ පමණක් රැකියා ලක්ෂ 03 ට වැඩි සංඛ්‍යාවක් නුදුරු අනාගතයේදී අහිමි වන්නට ඉඩ ඇත.

අප මුහුණ දෙන්නේ ලක්ෂ ගණනින් රැකියා අහිමිවීමේ ආසන්න අනාගතයකට ය. කම්කරු දෙපාර්තමේන්තුවේ නිල සමීක්ෂණයකට අනුව විධිමත් පෞද්ගලික අංශයේ පමණක් රැකියා ලක්ෂ 03 ට වැඩි සංඛ්‍යාවක් නුදුරු අනාගතයේදී අහිමි වන්නට ඉඩ ඇත. ඒ හා සමාන අනුමාන කිරීම් ව්‍යාපාරික ප්‍රධානීන්ද මාධ්‍ය සමග පවසා තිබිණ.

පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියා සොයන්නට වාර්ෂිකව සමාජයට පැමිණෙන තරුණ සංඛ්‍යාවට අමතරව, මෙලෙසින් හදිසියේ රැකියා අහිමි වන්නට පටන් ගත් විට සමාජය බරපතල අස්ථාවර තත්ත්වයකට හසු වන්නේය.

කෝවිඞ්-19 අර්බූදයෙන් රැකියා අහිමිවන අය විවිධ වගකීම් කර ගැසූවන් ය. ඔවුන්ට තම දරුවන්ගේ වගකීම්, වයෝවෘද්ධ තම දෙමාපියන්ගේ වගකීම්, ණය ගෙවීම් හා පවත්වාගෙන පැමිණි ජීවන රටාව නඩත්තු කර ගැනීමේ ගැටළු සමග විවිධ අසීරුකම් වලට මුහුණ දෙන්නට සිදුවන්නේය.

''කෝවිඞ්-19 අර්බූදයෙන් රැකියා අහිමිවන අය විවිධ වගකීම් කර ගැසූවන් ය. ඔවුන්ට තම දරුවන්ගේ වගකීම්, වයෝවෘද්ධ තම දෙමාපියන්ගේ වගකීම්, ණය ගෙවීම් හා පවත්වාගෙන පැමිණි ජීවන රටාව නඩත්තු කර ගැනීමේ ගැටළු සමග විවිධ අසීරුකම් වලට මුහුණ දෙන්නට සිදුවන්නේය. ''

 

සමාජ රක්ෂණ වැඩපිළිවෙලක් :

ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු සියල්ලන්ට අනාගත ඉදිරි ගමනට ස්ථාවර සමාජයක් අවශ්‍ය වන්නේය. එවැනි ස්ථාවර සමාජයක් වෙනුවෙන් ගත හැකි දියුණු සාර්ථක පියවර වන්නේ සමාජ රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමය.

මේ තත්ත්වයට මුහුණ දීමට දැනුම් තේරුම් ඇති වෘත්තීය සමිති නායකයින් අපේ රටේ ඇත්තේ නැති තරම් ය. ඔවුන් දන්නා යල් පිනූ භාවිතය මත විරෝධතා සංවිධානය කිරීමෙන්, පිකට් කිරීමෙන්, පෙළපාලි යාමෙන් ලක්ෂ ගණන් රැකියා බේරා ගැනීමට නොහැක.

ආණ්ඩුවකටද මේ පිරිස් සඳහා අලුතින් රැකියා උත්පාදනයකට හැකියාවක් නැත. එහෙත් ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු සියල්ලන්ට අනාගත ඉදිරි ගමනට ස්ථාවර සමාජයක් අවශ්‍ය වන්නේය. එවැනි ස්ථාවර සමාජයක් වෙනුවෙන් ගත හැකි දියුණු සාර්ථක පියවර වන්නේ සමාජ රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමය.

 

මූලික යෝජනා දෙකක් :

එවැන්නක් වෙනුවෙන් මූලික යෝජනා දෙකක් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය මැතිවරණයට පෙර කම්කරු ඇමති වෙත ඉදිරිපත් කරනු ලැබිණ. අනෙක් වෘත්තීය සමිති වෙතද ඔවුන් එය ඉදිරිපත් කර තිබිණ. ඔවුන් යෝජනා කර තිබූයේ පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයින්ට සමාජ රැකවරණයක් ලෙස මාසික අවම දීමනාවක් ගෙවීමටද රැකියා ලැබෙන තෙක් කුසලතා වර්ධන වැඩපිළිවෙලක් සමග මාසික අවම විරැකියා දීමනාවක් ගෙවීමට ය.

මේ යෝජනා තව දියුණු කළ යුතුව ඇත. විශ්‍රාමිකයින්ගේ සමාජ රැකවරණය පෞද්ගලික අංශයට පමණක් නොව, විශ්‍රාම යෑමේ වයසට එළැඹෙන කෘෂි, ධීවර හා අවිධිමත් වැනි සියලු ක්ෂේත්‍රයන්හි සියල්ලන්ට හිමිවන ලෙස සැළසුම් කළ යුත්තකි. ඔවුන්ගේ සෞඛ්‍ය රැක බලා ගැනීමේ විශේෂ සේවා පහසුකම්ද එහි අඩංගු විය යුතුය.

විරැකියා දීමනාව කෝවිඞ්-19 අර්බූදය හමුවේ රැකියා අහිමිවන සියල්ලන්ටද අදාල විය යුතුය. විරැකියාවෙන් සිටින කාලය තුල වැඩි දුර අධ්‍යාපනයට හා වෘත්තියාභිමුඛ කුසලතා වර්ධනයට පුහුණු වැඩසටහන් තිබිය යුතුය. ඔවුන්ට හා ඔවුන්ගෙන් යැපෙන අයටද අවශ්‍ය විටෙක ප්‍රතිකාර ගැනීමේ පහසුවද ඊට ඇතුළත් විය යුතුය.

''ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ යෝජනාව සමග මේ සමාජ රක්ෂණ යෝජනාව සමාජ කතිකාවක් සමගින් ආණ්ඩුව හමුවේ තැබීමට පරිසර සංවිධාන, වෘත්තීය සමිති පමණක් නොව, සමාජයේ අනෙක් පාර්ශවද හවුල් විය යුතු ය.''

ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමේ යෝජනාව සමග මේ සමාජ රක්ෂණ යෝජනාව සමාජ කතිකාවක් සමගින් ආණ්ඩුව හමුවේ තැබීමට පරිසර සංවිධාන, වෘත්තීය සමිති පමණක් නොව, සමාජයේ අනෙක් පාර්ශවද හවුල් විය යුතු ය.

පරිසරය රැක ගැනීම පරිසරවේදීන්ට පමණක් පැවරෙන වගකීමක් නොවන්නකි. නගරයේ වායු දූෂණයට හා නාය යෑමට හසු වන්නේ පරිසරවේදීන්ම නොවේ. සමාජ රක්ෂණයකින් වාසි ලබන්නේ විශ්‍රාමිකයින් හා විරැකියාවෙන් සිටිනවුන් පමණක් නොවේ. ස්ථාවර සමාජයක වාසිය සියල්ලන්ට ඇති වාසියකි. එවැනි ස්ථාවර සාමකාමී සමාජයක පරිසරය සුරැකීමත් පහසු ය.

එබැවින් මේ යෝජනා වෙනුවෙන් සක්‍රීය ජනතා ව්‍යාපාරයක් සමග දියුණු කතිකාවක අවශ්‍යතාව දැන් මග හැරිය නොහැක්කකි.

කෝවිඞ්-19 විසින් අපට විවෘත කර ඇති වැදගත්ම තේරීම වන අලුත් ලෝකයක් වෙනුවෙන් ගමන් ඇරඹීම සඳහා වෙනත් මැදිහත්වීමක් අපට ඉතිරිව නැත. තව දුරටත් අශීලාචාර, අසංවර, දූෂිත සමාජයක් ලෙස පැවතිය නොහැකි බැවිනි.

Kusal perera Writer(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2020 අගෝස්තු 14 වන දින

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්