ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙදා අනුගමනය කරන්නේ එදා මහින්ද රාජපක්ෂ අනුගමනය කළ ක්‍රියාමාර්ගය ම බව

'කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

'' අවසානායේදී ගෝටාද බූරුවාට වැඳීම නතර කළේය!'' යන සිරස්තලයෙන් යුතුව ඔහු සිය 'ෆේස් බුක්' පිටුවේ සටහනක් තබමින් එවැනි අදහසක් ඉදිරිපත් කර ඇත්තේ, පෙරේදා (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී ජනාධිපති ගෝඨාභයගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පවා හරි හැටි කරුණු කාරනා නොදන්නා බවට ඉදිරිපත් වූ පැමිණිලි හමුවේ විසිවන සංශෝධනයට අදාලව කරුණු පැහැදිලි කිරීම සඳහා එම මන්ත්‍රී කණ්ඩායම් හමුව අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවා තිබු අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්වයක් මතුව තිබිණ.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් සිය පක්ෂවල අදහස් ඉදිරිපත් කිරීමට විමල් විරවංශ, වාසුදේව නානායක්කාර හා ගෙවිඳු කුමාරණතුංග ඉදිරිපත්වූ අවස්ථාවල දී ජනාධිපතිවරයා ඔවුනට කතා කිරිමටවත් ඉඩ නොතබා දැඩි ආවේගයෙන් යුතුව අදහස් දක්වා තිබු බව  ''ආණ්ඩු පක්ෂ රැස්වීම උණුසුම් : ජනපතිට මලපනි ! - විමල්, නිමල්ට තක්කඩියා කියා බැන වදී !!'' යන සිරස්තලයෙන් යුතුව theleader.lk ඊයේ වාර්තා කළේය.

ජනාධිපතිවරයාගේ එම හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උවිඳු කුරුකුලසූරිය ඊයේ (10) රාත්‍රී පළකර ඇති ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ.

 

අවසානායේදී ගෝටාද බූරුවාට වැඳීම නතර කළේය!

ඊයේ විමල් ඇතුලු ඔය කියන "ජාතික බලවේගවලට" ගෝටා සලකපු ආකාරය නිසා මට මතක් උනේ මම ඉස්සර ලියපු කතාවක් [April 9, 2006].

ජේසු ගැන කතාව ඉඟෙන ගත්තෙ අනුර බණ්ඩාරනයකගෙන්.

අනුර කිව්ව "ක්‍රිස්තුස් වහන්සේ බූරුවෙක් පිට නැගල යන කොට මිනිස්සු වැන්දලු, එතකොට බූරුවා හිතුවලු මිනිස්සු වඳින්නෙ බූරුවට කියල”

ඇත්ත වශයෙන්ම ඔය කියන ජාතික බලවේග හිතන් ඉන්නේ ගෝටා දින්නේ ඒ අය නිසා බවය.

බූරූවාට ඇඳගෙන ඉන්නේ ඒ නිසාය.

ඊයේ ගෝටා බූරූවාගේ ආත්ම ගරුත්වය නැති කළේය.

ගෝටා සිතන්නේ එයා බලයට ආවේ එයාගෙ හැකියාව නිසා බව ඊයේ ඇරපු ඇරිල්ලෙන් හොඳටම පෙනේ.

''ඊයේ ගෝටා බූරූවාගේ ආත්ම ගරුත්වය නැති කළේය. ගෝටා සිතන්නේ එයා බලයට ආවේ එයාගෙ හැකියාව නිසා බව ඊයේ ඇරපු ඇරිල්ලෙන් හොඳටම පෙනේ.''

2006 පලාත් පාලන මැතිවරණයෙන් පසු මහින්ද ජවිපෙට ඇරියේත් ඒවගේ ඇරිල්ලකි.

ජවිපෙ කර ගහගෙන ගිය, හෙළ උරුමය කර ගහගෙන ගිය ජාතිකවාදයයි, ඒකත් එක්ක අන්තයට ගිය ජාතිවාදයයි එක්ක මුසු උන සටන් පාඨ රාජපක්‍ෂල ගසා කාල ඉවරයි දැන්.

ඒක ගසා කලා ඉවර උනේ 2006දිමයි.

ජවිපෙන් විමල්ව කඩල අරන් වේදිකා කථිකයෙක් විදියට තියාගත්ත. සැප දුන්න, ඉතිං බූරුවට ඇන්ද.

අවශ්‍ය අය මහින්දගෙ නම වෙනුවට ගෝටාගෙ නම දාගෙන පහත ලිපිය කියවගන්න.

Uvindu Paper arti(රාවය April 9, 2006 - උවිඳු එකල රාවය පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙකි)

මේ ඒ කාලෙ අයිය ඇරපු ඇරිල්ල.

බලය ගත්තට පසු, ඔය ජාතික බලවේග වැඩක් නැත, දැන් තියෙන බලය අනුව කොහොමත්ම අවශ්‍ය නැත.

මම ඒ ලිපියෙ ලියල තියෙනව මෙහෙමත් එකක්, "මහින්ද වටා සිදුවෙමින් තිබෙන සියල්ලෙන් පෙනී යන්නේ රාජාණ්ඩුවාදී පෙල ගැස්මක අනතුරක් රට ඉදිරියේ තිබෙන බවය."

 

විමල්ලා එලියට දමා තුනෙන් දෙක හදන බැසිල් !

මේ අතර සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටිමින්, පෙරේදා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීම ගැන theleader.lk වෙත අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසුයේ, එම රැස්වීමේදී ජනාධිපතිවරයාගේ මුරණ්ඩු හැසිරීම මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂගේ නොන්ජල් හැසිරීම තමන්ට අදහාගත නොහැකි වූ බවයි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වෙන් වෙන් කණ්ඩායම් නියෝජනය කරන බවක් සමාජයට පෙනුනද ඔවුන් සියලුදෙනා කරන්නේ අනෙකුත් අය 'ගොනාට අන්දමින්' රාජ්‍ය බලය තම පවුල තුළ රඳවා ගැනීමේ මෙහෙයුමක් බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් මේවනවිට තේරුම් ගෙන සිටින නමුත් ඊට එරෙහිව කටයුතු කිරීමේ ශක්තියක් ඉතිරිව නැතැයි ඔහු කියා සිටියේය.

''විමල්ලා කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ. විමල්ලා නැතත් විපක්ෂයේ 10ක් 15 අරගෙන බැසිල් විස්සට තුනෙන් දෙක ගන්නවා. මෙවනකොට රිෂාඩ් ගේ පක්ෂයේ හතර දෙනාගෙන් දෙන්නෙක් ඉන්නේ බැසිල් එක්ක. මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ්ලා ඉන්නේ බැසිල් එක්ක. දෙමල පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් ඉන්නේ බැසිල් එක්ක. සජිත්ගේ පක්ෂයේ කිහිප දෙනෙකුත් මේවෙනකොට බැසිල් එක්ක ඩීල් එකකට ඇවිත්. ඒ විතරක් නෙමෙයි විමල්ගේ පක්ෂයේ දෙන්නෙකුත් බැසිල් එක්ක ඩීල් දාලා කියලා ආරංචියි. '' ඔහු කියාගෙන කියාගෙන ගියේය.

විමල් කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කල ද මහින්ද -ශිරන්ති යුවලගේ එකම අපේක්ෂාව වී ඇත්තේ නාමල් රාජපක්ෂ ජනාධිපති කරවීම බව යයි පැවසු ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එම අපේක්ෂාව ඉටුකර දෙන බවට බැසිල් රාජපක්ෂ සිය සොයුරු මහින්දට සහතික වී ඇති හෙයින් අගමැතිවරයා විස්සට එරෙහි වනු ඇතැයි කිසිඳු ලෙසකින් විශ්වාස කල නොහැකි බවයි.

 

'රාජපක්ෂවාදය' !

Rajapaksaism Lanka''සමහරුන්ට මෙය පෞරාණික රාජත්වයේ සොඳුරු අපේක්ෂාවකි.''

රාජපක්ෂ පවුල විසින් එකිනෙකාට එරෙහි බලවේග තම පවුලේ සාමාජිකයින් හරහා නඩත්තු කරන ආකාරය කදිමට විග්‍රහ කෙරෙන දේශපාලන සටහනක් මෙවර 'අනිද්දා' පුවත්පතේ පලවී ඇත.

ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ විසින් සම්පාදිත එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.

''ඕනෑම භාෂාවක පහසුවෙන් පැහැදිලි කළ හැකි වචන මෙන්ම, මොන විදිහකින්වත් පරිපූර්ණ නිර්වචනයක් සැපයිය නොහැකි වචන සමුදායකුත් තිබේ.

වචනයක් යනු, යම් අදහසක් ප්‍රකාශයට පත්කරන සංකේතයකි.

'බඩගින්න' යන අදහස ගැන ගැටළුවක් නැත.

 එහෙත් 'ආදරය' යන වචනය එසේ නොවේ.

එකක් සරල ය. කායික ය. අනෙක, සංකීර්ණ ය. මානසික ය.

'රාජපක්ෂවාදය' යන වචනය මේ සරල සහ සංකීර්ණ ද්විත්වයේ සංයෝගයකි.

 ඒ නිසාම එය නිර්වචනය කිරීම පහසු නැත.

 

පෞරාණික රාජත්වයේ සොඳුරු අපේක්ෂාවක් !

මහින්ද රාජපක්ෂට නොතිබුණු 'දැක්මක්' ගෝඨාභය රාජපක්ෂට තිබේ.

එහෙත් මහින්ද වටේ සිටින දූෂිතයන් සහ හොරු ඒ  'දැක්ම' ක්‍රියාවට නැඟීමට ගෝඨාභයට ඉඩ නොදෙති.

ඒ  නිසා මහින්ද පාර්ශ්වය පරාජය කොට ගෝඨා පාර්ශ්වය ශක්තිමත් කළ යුතුය.

අනිත් අතට, ගෝඨාභය යනු හමුදා මානසිකත්වයක් සහ උග්‍ර ජාතිකත්වයක් සහිත කෙනෙකි.

බැසිල් රාජපක්ෂ එසේ නොවේ.

ඒ නිසා, මේ මොහොතේ අප කළ යුත්තේ, බැසිල් පාර්ශ්වය ශක්තිමත් කිරීමයි.

මේ සියල්ල එකට ගත් විට, සමහරුන්ට එය, පෞරාණික රාජත්වයේ සොඳුරු අපේක්ෂාවකි.

තවත් අයට, සීග්‍ර සංවර්ධනයේ මාවතකි.

තවත් අයට, නූතන අධිකාරීවාදී තන්ත්‍රයක බියකරු අනාවැකියකි.

රාජපක්ෂවාදය දෙස ඒ ඒ අය බලන ආකාරය සහ තැන අනුව, විවිධාකාරයේ රෝග විනිශ්චයන්වලට එලැඹීමට තරම් 'රාජපක්ෂවාදය'  නමැති සංකල්පය මේ වන විට ප්‍රවර්ධනය වී තිබේ.

''රාජපක්ෂවාදය දෙස ඒ ඒ අය බලන ආකාරය සහ තැන අනුව, විවිධාකාරයේ රෝග විනිශ්චයන්වලට එලැඹීමට තරම් 'රාජපක්ෂවාදය' නමැති සංකල්පය මේ වන විට ප්‍රවර්ධනය වී තිබේ.''

මේ ලියුම්කරු දකින විදිහට, 'රාජපක්ෂවාදය' යනු, නොවිසඳුණු කේන්ද්‍රීය ප්‍රශ්නයක අනිවාර්ය ප්‍රතිවිපාකයකි.''

වැඩිදුරටත් කියවන්න

රාජපක්ෂවාදය හඳුනාගැනීමේ අපූරු දර්ශකයක් - ගාමිණී වියන්ගොඩ

 

සබැඳි පුවත් :

ආණ්ඩු පක්ෂ රැස්වීම උණුසුම් : ජනපතිට මලපනි ! - විමල්, නිමල්ට තක්කඩියා කියා බැන වදී !! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්