මේ ප්‍රශ්නයට පිළිතුරු බැඳීමට කලින්, 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය' තුළ

ඔබ කවුද යන්න පැහැදිලි කර ගත යුතුය.

එම ජනරජය තුළ 'පරම අධිපතියා' ඔබ ය.

එනම්, ඔබට ඉහළින් වෙනත් අධිපතියෙකු නැති බව ය.

තවත් විදිහකින් කිවහොත්, බලයේ උල්පත ඔබ බව ය.

එහෙත් මේ කියන පරම බලය තුන්තිස් පැයේ භුක්ති විඳීමේ, අභ්‍යාස කිරීමේ සහ ආරක්ෂා කිරීමේ හැකියාවක් ඔබට නැත.

ඒ නිසා ඔබ කරන්නේ, එම රාජකාරිය ඔබ වෙනුවෙන් ඉටු කිරීම සඳහා වෙනත් පිරිසක් සහ ආයතන පද්ධතියක් පත්කරගෙන, ඉහතින් කී ඔබේ 'පරම අධිපතිභාවය' හෙවත් 'පරමාධිපත්‍යය' ඔවුන් අතරේ ඛෙදා හැරීමයි.

දැන් මොහොතකට අපේ පැරණි රජ කාලයට යන්න.

 එදා 'පරම අධිපතියා' වුණේ ඔබ නොව, රජතුමා ය. ඒ බලය තනිකරම ඔහු/ඇය සතු විය.

 ඒ බලය යම් අවස්ථාවක ඛෙදා හැරීමක් අවශ්‍ය කෙළේ, රජතුමාට තනියෙන් සියල්ල කරගත නොහැකි වූ නිසාම පමණි.

එනම්, එය පරිපාලනමය ඛෙදා හැරීමක් පමණක් වූ බවයි.

ඇමතිවරු සහ අදිකාරම්ලා වැනි තනතුරු තිබුණේ රජුගේ කැමැත්ත ඇති තාක් පමණි.

 කැමැත්ත නැති වූ තැන, ඔවුන්ගේ හිස ගසා දැමීමටත් රජුට බලය තිබුණි.

එනම්, පරමාධිපත්‍යය තිබුණේ තනිකර රජුගේ අතේ බව ය.  

අද, අර කියන ඔබේ පරම බලය ඔබ ඛෙදා හරින්නේ, එදා රජු මෙන්, ඔබට එය තනියෙන් කරගත නොහැකි නිසා පමණක්ම නොවේ.

එදා තනි රජුට වෙනස්ව, අද ඔබ යනු විශාල රාශියක් හෙවත් සාමූහිකයක්ද වන හෙයිනි.

ලංකාව සම්බන්ධයෙන් ගත් විට දෙකෝටියක රාශියකි.

ඉතිං, වර්තමානයේ ඔබ නමැති මේ දෙකෝටිය විවිධාකාර වන නිසා, ඔබ නමැති සාමූහිකයේ අවශ්‍යතා එකිනෙකට පරස්පර වීමට බොහෝ විට ඉඩ තිබේ.

ඒ නිසා, ඔබ නමැති සාමූහිකයේ බලය අභ්‍යාස කෙරෙන විධිමත් යාන්ත්‍රණයක්, සමානාත්මතාව සහ සාධාරණත්වය මත පිහිටුවාගත යුතු වෙයි.

මේ ලිපියේ මුල් ඡේදයේ අවසානයට කී පරිදි වර්තමාන ඔබ ඔබේ පරමාධිපත්‍ය බලය වෙනත් පිරිසක් සහ ආයතන පද්ධතියක් අතරේ ඛෙදා හැරීමේදී, ඒ කිසි තනි පුද්ගලයෙකු/පුද්ගල කණ්ඩායමක් හෝ ආයතනයක්, තවත් පුද්ගලයෙකු/පුද්ගල කණ්ඩායමක් හෝ ආයතනයක් හිතුවක්කාරීව හෝ තනි මතයට යටපත් කිරීමට ඇති ඉඩකඩ අහුරාලීම සැලකිල්ලට ගනී.

මේ ලිපියේ මුල් ඡේදයේ අවසානයට කී පරිදි වර්තමාන ඔබ ඔබේ පරමාධිපත්‍ය බලය වෙනත් පිරිසක් සහ ආයතන පද්ධතියක් අතරේ ඛෙදා හැරීමේදී, ඒ කිසි තනි පුද්ගලයෙකු/පුද්ගල කණ්ඩායමක් හෝ ආයතනයක්, තවත් පුද්ගලයෙකු/පුද්ගල කණ්ඩායමක් හෝ ආයතනයක් හිතුවක්කාරීව හෝ තනි මතයට යටපත් කිරීමට ඇති ඉඩකඩ අහුරාලීම සැලකිල්ලට ගනී.

එනම්, සෑම පුද්ගලයෙකු සහ සෑම ආයතනයක්ම එකිනෙකාට වගකියන සහ වගවෙන තත්වයක් ඇති කරගනු ලැබේ.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු, අඩුවැඩි වශයෙන්, මෙකී ප්‍රතිපත්තිය මත පිහිටා සකස් කරන ලද සාරාර්ථ ලියවිල්ලයි.

අපේ ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි:

''ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට, පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේය.''

 ඊළඟට, ජනතාව වන ඔබ විසින් මේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමත්, භුක්ති විඳීමත් සිදු විය යුතු ආකාරය, අපේ ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ මෙසේ දැක්වෙයි:

(අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද, ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේය.

(ආ) රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.

(ඇ) ....... ජනතාවගේ අධිකරණ බලය...... අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.

 

දැන් ඔබ තේරුම්ගත යුතු දෙය මෙයයි:

ඔබේ ව්‍යවස්ථාදායක බලය ඔබ භුක්ති විඳින්නේ එය පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක කරවීමෙනි.

ඔබේ විධායක බලය ඔබ භුක්ති විඳින්නේ ජනාධිපතිවරයා මගින් එය ක්‍රියාත්මක කරවීමෙනි.

ඔබේ අධිකරණ බලය ඔබ භුක්ති විඳින්නේ, අධිකරණ මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරවීමෙනි.

කෙසේ වෙතත්, පරමාධිපතියා වශයෙන් ඔබේ ප්‍රධාන බල ධාරා තුනෙන් දෙකක් ඔබ ක්‍රියාක්මත කරන්නේ පාර්ලිමේන්තුව හරහා වන බව මෙයින් පැහැදිලි ය.

 120747622 10158671919750420 5165862461859981339 o20 වැනි සංශෝධනය අරභයා ශ්‍රේෂ්ඨාධිකරණයට පුරවැසියන් ගියේ ප්‍රධාන පැමිණිලි දෙකක් ඔස්සේ ය.

20 වැනි සංශෝධනය අරභයා ශ්‍රේෂ්ඨාධිකරණයට පුරවැසියන් ගියේ ප්‍රධාන පැමිණිලි දෙකක් ඔස්සේ ය.

ඉන් එකක් වුණේ, 20 වැනි සංශෝධනය තුළ ඇතුළත් ඇතැම් යෝජිත කරුණු, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක අනුමැතියක් යන දෙකේම එකතුවෙන් පවා සම්මත කරගැනීමට ඉඩ දිය යුතු නැතැයි යන අදහසයි.

මේ මතය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කොට ඇත.

අනිත් මතය වුණේ, 20 වැනි සංශෝධනය තුළ අඩංගු ඇතැම් කරුණු වෙනස් කිරීමට, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, තුනෙන් දෙකේ බහුතරයට අමතරව ඒවා සඳහා ජනමත විචාරණයකින් ලබන අනුමැතියකුත් අවශ්‍ය වන්නේය යන්නත් ය.

ඉතිං, අවසානයේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලූවේ, තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක අනුමැතියකුත් අවශ්‍ය කරන කාරණා කවරේද, ජනමත විචාරණයක අනුමැතියක් නැතිව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් පමණක් වෙනස් කරගත හැකි කරුණු කවරේද යන්නත් ය.

අපේ ආණ්ඩුක්‍රම නීතියේ පිළිගැනෙන පොදු මතය වන්නේ, ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳ කාරණා වෙනස් කිරීම සඳහා තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයකුත් අවශ්‍ය කරන්නේය යන්නයි.

එහි අදහස වන්නේ, ඔබේ පරමාධිපති බලය එසේමෙසේ එකක් නොවන බව ය.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න වැනි ව්‍යවස්ථා විශාරදයෝ මේ කාරණයත් දෙවගකට ඛෙදති.

එනම්, ඔබේ පරමාධිපත්‍යය උසස් කරවන සහ ශක්තිමත් කරවන වෙනසක් සම්මත කරගැනීම සඳහා තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය නොකරන අතර, ඔබේ පරමාධිපත්‍ය පහත හෙළන සහ දුර්වල කරන හෝ උදුරා ගැනෙන වෙනසක් සඳහා අනිවාර්යයෙන්ම, තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයකුත් අවශ්‍ය කරන බව ය.

එනම්, ඔබේ පරමාධිපත්‍යය උසස් කරවන සහ ශක්තිමත් කරවන වෙනසක් සම්මත කරගැනීම සඳහා තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය නොකරන අතර, ඔබේ පරමාධිපත්‍ය පහත හෙළන සහ දුර්වල කරන හෝ උදුරා ගැනෙන වෙනසක් සඳහා අනිවාර්යයෙන්ම, තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයකුත් අවශ්‍ය කරන බව ය.

පරමාධිපති වන ඔබට ඒකාරණය පහසුවෙන්ම අවබෝධ විය යුතුය.

ඒ අනුව, 19 වැනි ව්‍යවස්ථාව සම්මත කරගත්තේ ජනමත විචාරණයකින් තොරව තුනෙන් දෙකේ බහුතරයකින් පමණක් වන නිසා, ඒ සංශෝධනයේ අඩංගු කරුණු අද වෙනස් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැතැයි යන තර්කය ප්‍රතික්ෂේප කෙරේ.

මන්ද යත්, නිර්නායකය වන්නේ, අදාළ වෙනස් කිරීම මගින් ඔබේ පරමාධිපත්‍යය අඩු කරන්නේද වැඩි කරන්නේද යන්න පමණක් වන බැවිනි. කාරණා හතරක් හැරුණු කොට අනෙක් සියලූ කාරණා ජනමත විචාරණයකින් තොරව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කරගත හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තීන්දු කොට ඇති බව වාර්තා වෙයි.

ජනමත විචාරණයක් අවශ්‍ය කරතියි අධිකරණය තීන්දු කොට ඇති කරුණු දෙකක්, ජනතාව විසින් ආණ්ඩුවක් හරහා ස්වකීය පරමාධිපත්‍යය පිහිටුවීම සඳහා කෙරෙන එක් නිශ්චිත අවස්ථාවකට සම්බන්ධිත ය.

එනම් ඡන්දය පිළිබඳ කාරණාවයි.

ජනතාව, ස්වකීය පරමාධිපත්‍ය බලය පාලන තන්ත්‍රයක් වෙත පවරන්නේ ඡන්දයක් පාවිච්චි කිරීමෙනි.

එය, ජනතා බලය සහ පාලක බලය හුවමාරු කෙරෙන නිශ්චිත භෞතික දොරටුවයි.

මේ දොරටුව ශක්තිමත් කිරීම, පරමාධිපත්‍යය ශක්තිමක් කිරීම සඳහා අත්‍යාවශ්‍ය බව අධිකරණය සලකා තිබේ.

එය සාකල්‍යයෙන්ම යුක්ති යුක්ත ය.

ඒ  අනුව, 20 වැනි සංශෝධනයේ අඩංගු, ස්වාධීන මැතිවරණ කොමිසමේ නියෝග නොතකා කටයුතු කළ හැකි වන සේ ජනාධිපතිවරයාට බලය පැවරීමේ යෝජනාව නීතිගත වීමට නම් ඒ සඳහා ජනමත විචාරණයකුත් අවශ්‍ය කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබේ.

ඊළඟට, පාර්ලිමේන්තුවක් ඔබේ කැමැත්තෙන් තේරී පත්වීමෙන් පසු අවුරුද්දක් ගිය තැන, තමන්ගේ හිතුමතේට එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පවරාදීමට 20 මගින් කෙරුණු යෝජනාවටත්, ජනමත විචාරණයක් අවශ්‍ය කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබේ.

එයද තේරුම්ගැනීම අපහසු නැත.

උදාහරණයක් වශයෙන්, පසුගිය නොවැම්බර් මැතිවරණයේදී සියයට 97 ක් වූ ඔබලාගෙන් පත්වූ පාර්ලිමේන්තුව, සියයට 52 ක් ඔබලාගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයාගේ හිතුමතේට විසුරුවා හැරීමට ඉඩ හැරියොත් එය ඔබලා නොව වෙනත් පුද්ගලයෙකු (ජනාධිපතිවරයා) පරමාධිපතියෙකු කිරීමට පාර කැපීමක් වන බැවිනි.

 

අධිකරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ආකල්පය !

Court Armyඉහළ විනිසුරුවරුන් පත්කිරීමේ බලය, 20 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයා තමන්ගේ තනි අතට ගැනීමට යයි.

එසේ වෙතත්, ඔබ පරමාධිපත්‍යය බලය හොබවන එක ආයතනයක් වන අධිකරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි ආකල්පයක් දරා ඇති බවක් නොපෙනේ.

වර්තමානයේ උසස් අධිකරණ විනිසුරුවරුන් පත්කෙරෙන්නේ, 'ව්‍යවස්ථා සභාවේ' අනුමැතියට යටත්ව ය.

'ව්‍යවස්ථා සභාව' යනු අගමැතිවරයා, කතානායකවරයා සහ විරුද්ධ පක්ෂ නායකවරයාට අමතරව, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයන් 7 දෙනෙකු ඇතුළත්ව 10 දෙනෙකුගෙන් සමන්විත ආයතනයකිනි.

ඒ  වෙනුවට දැන් ඉහළ විනිසුරුවරුන් පත්කිරීමේ බලය, 20 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයා තමන්ගේ තනි අතට ගැනීමට යයි.

ඊළඟට, වෙනත් අධිකරණ කටයුතු මෙහෙයවීම සඳහා සාමාජිකයන් 3 දෙනෙකුගෙන් සමන්විත 'අධිකරණ සේවා කොමිසමක්' තිබේ.

අගවිනිසුරුවරයා නිල බලයෙන් එහි සභාපතිවරයා ය. අනිත් සාමාජිකයන් දෙන්නා වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟට ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් දෙන්නා ය.

දැන් 20 වැනි සංශෝධනය තුළින්, ඔවුන් දෙන්නා පත්කිරීමේ බලයත් ජනාධිපතිවරයා අතට ගැනේ.

අධිකරණය සම්බන්ධයෙන් මේ කියන කාරණා දෙකම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැතැයිද, තුනෙන් දෙකක් පමණක් ප්‍රමාණවත් යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබේ.  

ගේට්ටුව මුරකාවල් කිරීම පමණක් ජනතා පරමාධිපත්‍යයේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් නොවන්නේය.

මැතිවරණ කොමිසම ඒ ගේට්ටුවේ සිටින රැකවලා නිසාදෝ, අනෙක් සියලූ කොමිෂන් සභා අතුරින් මැතිවරණ කොමිසම පමණක් ආරක්ෂා කිරීමට අධිකරණය සිතා ඇති සෙයකි.

ගේට්ටුව මුරකාවල් කිරීම පමණක් ජනතා පරමාධිපත්‍යයේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් නොවන්නේය. මැතිවරණ කොමිසම ඒ ගේට්ටුවේ සිටින රැකවලා නිසාදෝ, අනෙක් සියලූ කොමිෂන් සභා අතුරින් මැතිවරණ කොමිසම පමණක් ආරක්ෂා කිරීමට අධිකරණය සිතා ඇති සෙයකි.

එහෙත් ජනතා පරමාධිපත්‍යය වැඩියත්ම අවභාවිතයට ලක්වන්නේ, ඇතුල් වීමේ දොරටුවට වඩා, ඇතුළු වීමෙන් පසු හමුවන අභ්‍යන්තර අවකාශය තුළ ය.

ඔබේ නාමයෙන්, ඔබ වෙනුවෙන් පෙනී සිටින බල මධ්‍යස්ථාන (ජනාධිපති, පාර්ලිමේන්තුව සහ අධිකරණය) ශක්තිමත් වන තරමට, ඔබ ශක්තිමත් වන්නේ යැයි කියති.

ඔබේ පරමාධිපත්‍යය තහවුරු වන්නේ යැයි කියති.

එහෙත් සත්‍ය භාවිතාව තුළ මේ ආයතන අතරින් ඔබේ නාමයෙන් තමන් පරමාධිපති වන එක ආයතනයක් තිබේ.

ඒ, විධායක ජනාධිපති තනතුරයි. එම තනතුරේ බලය ඔබේ නාමයෙන් වැඩි කරගන්නා තරමට, අනිත් ආයතන දෙකේ ඇති ඔබේ බලය හීන කරනු ලැබේ.

 20 වැනි සංශෝධනය හරහා සිදුවීමට නියමිතව ඇත්තේ එයයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක වඩාත් විශ්වාසය තැබිය හැකි ජීවනාලිය විය හැක්කේ අධිකරණයටයි.

හේතුව ඉතා සරල ය.

අධිකරණය යනු, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මෙන් පුද්ගලබද්ධ දෙයක් නොව, ප්‍රතිෂ්ඨාපිත නීති පද්ධතියක් මත සංස්ථාපනය වූ ආයතනයකි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක වඩාත් විශ්වාසය තැබිය හැකි ජීවනාලිය විය හැක්කේ අධිකරණයටයි. හේතුව ඉතා සරල ය. අධිකරණය යනු, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මෙන් පුද්ගලබද්ධ දෙයක් නොව, ප්‍රතිෂ්ඨාපිත නීති පද්ධතියක් මත සංස්ථාපනය වූ ආයතනයකි.

ඒ නිසා ඔබේ නාමයෙන් අධිකරණය ශක්තිමත් වීම යනු සැබවින්ම ඔබේ පරමාධිපත්‍යය ශක්තිමත් වීමකි.

එහෙත් 20 වැනි සංශෝධනය මගින් දැන් සිදු කිරීමට යන්නේ, එම ආයතනය ඛෙලහීන කොට ජනාධිපතිවරයා තීරණාත්මක බලධාරී තත්වයට උසස් කිරීමයි.

ඒ සඳහා අවශ්‍ය අවසරය දැන් අධිකරණයෙන්ම සැපයී තිබේ.

Gamini Viyangoda(ගාමිණි වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

subscribeYT

නවතම පුවත්