පසුගිය දා ජනාධිපතිවරයා හමුවේ එළිදක්වනු ලැබු ජාතික කොඩියේ

යම් වරදක් අඩුපාඩුවක් වේ නම්, එහි වගකීම තමා බාරගන්නා බවත්, වැරැදි අඩුපාඩු නිවැරැදි කරගනිමින්, වැටි වැටී හෝ අපි ඉදිරියට ම යන බවත් බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, ''තලයෙන් කඩුව අතින් ගත් සිංහයාගේ කොඩිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි'' බව සඳහන් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමිනි. 

සිතාමතා විකෘති කරන ලද හෝ අත්වැරැද්දකින් විකෘති ලෙස මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කළේ යැයි කියන ‘මිටෙන් නොව තලයෙන් කඩුව අතට ගත් සිංහයෙකුගේ රුවක් සහිත‘ ජාතික කොඩිය වහා අලෙවියෙන් ඉවත් කළ යුතු යැයි රජිත් කිර්ති තෙන්නකෝන් සිය නිවේදනය මගින් අවධාරණය කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරන දයාසිරි ජයසේකර අමාත්‍යවරයා, පසුගිය දා ජනාධිපතිවරයා හමුවේ එළිදක්වනු ලැබුවේ ආකෘති කීපයක් මිස අවසාන නිමැවුම නොවන බවත්, ඒවා තවමත් ඇත්තේ වැඩි දියුණු කෙරෙමින් බවත් කියා සිටියි.

ඇමතිවරයා ගේ ෆේස්බුක් සටහනේ මෙසේ සඳහන් වේ.

Sri Lanka

 

ආයුබෝවන්!

නිදහස ලබා දශක ගණනක් ගියත්, ලංකාවේ නිදහස් දාට ඔසවන ජාතික කොඩිය පවා විදේශයන්ගෙන් ආනයනය කරන රටක් තමයි, වර්ෂ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අප බාරගත්තේ. 

අප සමරන නිදහස සංකේතාත්මක ව හෝ අර්ථවත් කරනු පිණිස, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මෙතෙක් චීනයෙන් ආනයනය කරණු ලැබූ සිංහ කොඩිය වෙනුවට “ස්වදේශීය බතික් කර්මාන්ත කරුවන් ගේ නිර්මාණයක් වූ” ජාතික කොඩියක් හා බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීමට අප විසින් පසුගිය දා පියවර ගනු ලැබුවා.

 එහිදී, නුදුරු අනාගතයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන, දේශීය නිර්මාණ කරුවන් විසින් අප වෙත ලබා දුන් ආකෘතීන් කිහිපයක් අතිගරු ජනාධිපති තුමන් වෙත සංකේතාත්මක ව ලබාදුන් අතර එය එතුමන්ගේ මහත් වූ පැසසුමට බඳුන් වුණා.

කෙසේ වෙතත්, මෙහිදී එළිදක්වනු ලැබුවේ ආකෘති කීපයක් මිස අවසාන නිමැවුම නොවෙයි. ඒවා තවමත් ඇත්තේ වැඩි දියුණු කෙරෙමින්. 

 

'' ප්‍රශංසා මෙන් ම විවේචනත් අපේක්ෂා කරනවා.''

එහිදී අප වෙත ලැබෙන ප්‍රශංසා මෙන් ම විවේචනත් සැලකිල්ලට ගැනීමට අප උදක් ම අපේක්ෂා කරනවා. 

විශේෂයෙන් ම, සමාජ මාධ්‍යවල මේ පිළිබඳ කතාබහක් ඇති වී ඇති බව අප නිරීක්ෂණය කළා. ඒ සියලු විවේචන, සුහද හදින් යුතු ව අප බාරගන්නා බව මෙහිදී කිවයුතුයි.

ජාතික කොඩියේ සිංහයාගේ ලාංඡනයට සාධාරණයක් වීමට නම්, සිංහ කොඩියේ, සිංහයාගේ ඉදිරි බාහූන්ගෙන් සංඛේතවත් කරන “සම්පත් පරිහරණයේ ඇති නිර්වද්‍යතාවය” අනිවාර්යයෙන් ම තිබිය යුතුයි. 

''ජාතික කොඩියේ සිංහයාගේ ලාංඡනයට සාධාරණයක් වීමට නම්, සිංහ කොඩියේ, සිංහයාගේ ඉදිරි බාහූන්ගෙන් සංඛේතවත් කරන “සම්පත් පරිහරණයේ ඇති නිර්වද්‍යතාවය” අනිවාර්යයෙන් ම තිබිය යුතුයි. ''

එබැවින්, මෙරට මුදල් පිටරටට යෑම නැවැත්වීම උදෙසා, අපේ රටේ නිපදවිය හැකි සියලු දේ මෙරට තුළ ම නිෂ්පාදනය කිරීම සහ එමගින් මෙරට ස්වයංපෝෂිත කිරීම අපේ අරමුණයි. 

ඒ සඳහා බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමත්‍යාංශයත්, සළුසල ආයතනයත් උපරීම ලෙස සහයෝගය දක්වනවා. 

එහි තවත් එක ව්‍යාපෘතියක් ලෙසයි, දේශීය ඇඟලුම් හා දේශීය අමුද්‍රව්‍ය වලින් ම නිෂ්පාදිත ජාතික සහ බෞද්ධ කොඩි ජනධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබුවේ.

Sri Lanka Flag fake

අපට ලැබෙන අදහස් උදහස් සහ අතිගරු ජනපතිතුමන්ගේ උපදෙස් මත එම ආකෘති වැඩි දියුණු කොට, ආර්ථිකමය නිදහසේ වසර ලෙස අප සලකන, ලබන වසරේ නිදහස් දිනය දා රටට ම හඳුන්වාදීමට අප අදහස් කරනවා. 

එමෙන් ම එම වසරේ වෙසක් පුන්පොහෝ දිනය නිමිති කරගෙන අපේ රටේ අපේ මිනිසුන්ගේ අතින් නිමැවෙන බෞද්ධ කොඩිය ද එලෙස ම හඳුන්වා දී, මෙරටේම නිෂ්පාදිත ජාතිත කොඩියක් සහ බෞද්ධ කොඩියක් රටට දායාද කිරීම අපේ පරම අභිලාෂය යි.

එපමණක් නොවෙයි. ඊයේ පෙරවරුවේ බිසෝපුර ගම්වැසියෝ, උදෑසන එළඹි සුබ මොහොතින් අත්යන්ත්‍ර භාවිත කරමින් කඨිනය ලෙස පිරිනැමීමට අවශ්‍යය සිවුර මැසීම ආරම්භ කළා. 

එතැන් පටන් පුරා සතියක් වියනු ලබන තනිපොට සිවුර හත් වෙනිදා, මහ පෙරහැරකින් සෝමාවතී පුද බිමට වැඩම කිරීමට නියමිතයි. 

''එතැන් පටන් පුරා සතියක් වියනු ලබන තනිපොට සිවුර හත් වෙනිදා, මහ පෙරහැරකින් සෝමාවතී පුද බිමට වැඩම කිරීමට නියමිතයි. ''

එදින ම, එනම් නොවැම්බර් මස හත් වෙනිදා, රාජ්‍ය කඨිණ මහෝත්සවයේදී මෙම කඨීණ චීවරය සාංඝික කෙරෙනු ඇති.  ඊට පසු දින, එනම් නොවැම්බර් අට වෙනිදා සංඝයා වහන්සේලා විසින් මසා නිමවන ලද කඨිණ චීවරය, ශාඛානුසාරයෙන් - දේශීය අමු ද්‍රව්‍ය යොදා පඬු පොවනු ලබනවා. 

ඊට සමගාමී ව, සෝමාවතී පුදබිමේදී, ස්වාමීන් වහන්සේලා පනස් නමකට සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමෙනවා. 

මේ මහානිසංස - මහත්ඵල පුණ්‍යකර්මය, මින්මතු සෑම වසරක ම, ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති සියලු විහාරස්ථාන ආශ්‍රිතව කපු වගා කරමින්, කපු නූල් කටිමින්, එම කපු නූලින් ම වියන ලද කපු රෙදි භාවිතා කර කඨිණ චීවරය මසා නිමවා, සාංඝික කර, ඉනික්බිති, දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් පඬු පොවීමටත්, එය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමටත් අපේක්ෂිතයි.

ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා අප යාමට තැත්කරන මේ ගමන දුෂ්කරයි, කටුකයි. නමුත් ඒ ගමනේ අවසාන ප්‍රතිඵලය අපේ නිවහල් බව සහ ආර්ථික නිදහසයි. 

ඒ ගමනේදී අප කරන විවිධ දේවල කුඩා අඩුපාඩු තියෙන්න පුළුවනි. ඒ සියලු වැරදි අඩුපාඩුවල වගකීම, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා පුද්ගලික ව බාරගන්නවා. 

''අප කරන විවිධ දේවල කුඩා අඩුපාඩු තියෙන්න පුළුවනි. ඒ සියලු වැරදි අඩුපාඩුවල වගකීම, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා පුද්ගලික ව බාරගන්නවා. ''

නමුත් ඒ සමග ම, මේ මහා ක්‍රියාන්විතය පසුපස සිටින සිය දහස් ගණනක් වූ අපේ ම මිනිසුන්ගේ දහදිය මහන්සියට හිමි ගරුත්වය ඔවුන්ට දීමට අපි කාරුණික වෙමු. 

එදිනෙදා කතාබහේදී, සමාජ මාධ්‍යවලදී, අපේ මිනිසුන්ගේ මහන්සියෙන් නිපැයෙන අපේ දෙයට ගැරහීමෙන් තොර ව, අපේ දේ ගැන සාඩම්බර වෙන්නැයි මා ඔබෙන් ඉතා නිහතමානී ව ඉල්ලා සිටිනවා.

යළිත් මතක් කරන්නම්, වරදක් අඩුපාඩුවක් වේ නම්, එහි වගකීම මගේ. 

නමුත් මේ මහා ක්‍රියාන්විතයේ ගෞරවය, ඒ පසුපස සිටි සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ. වැරැදි අඩුපාඩු නිවැරැදි කරගනිමින්, වැටි වැටී හෝ අපි ඉදිරියට ම යා යුතුයි. 

අපේ ජාතික කොඩියේ සංකේතය අර්ථවත් වන්නේ එවිටයි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

Lion Flag.2ෆ්‍රොයිඩියානු සිංහ කොඩිය...

පසුගිය දා ජනාධිපතිවරයා හමුවේ එළිදක්වනු ලැබු බතික්  සිංහ කොඩිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතුව ඇති සංවාදයට එක්වෙමින් ප්‍රකට සමාජ හා දේශපාලන විශ්ලේෂකයකු වන මහේෂ් හපුගොඩ සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත. 

''ආයෙත් අපේ කොඩියේ සිංහයා කඩුව තලේ පැත්තෙන් අල්ලලා.  තලෙන් ඇල්ලුවම අත කැපෙනවනේ වස්තුවේ. 

මිට තියෙද්දී ඇයි වදේ අර මුවාත කිරි ටොයියට තියෙන තලේ පැත්තෙන් ඕක අල්ලන්නේ? 

අනික යුද්ධ කීයක් දිනපු කඩුවක් ද ඕක...කපල කපල ම දැන් ඕක සහලෝල කැපෙනවා ඇති. 

කොහොමත් අපේ ඉතිහාසය ඇතුලේ කඩුව දෙන එක ගැන පට්ට අවුල් මතකයක් (historical memory) තියනවා නේ.  ඒ වැඩේ බර සාරෙට කෙරුවේ මනමේ කුමාරී නේ. 

''කොහොමත් අපේ ඉතිහාසය ඇතුලේ කඩුව දෙන එක ගැන පට්ට අවුල් මතකයක් (historical memory) තියනවා නේ. ඒ වැඩේ බර සාරෙට කෙරුවේ මනමේ කුමාරී නේ. ''

තලේ පැත්ත තමන් මෙතෙක් හිටිය මනමේ කුමාරයට දීලා මිට පැත්ත තමන් නොදන්නා වැදී රජුට දීල ඉතිහාසේ නොමැකෙන නමක් තිබ්බා එයා. 

එදා ඉඳල පාවා දීම ගැන අතීත මතකයක් අපිට තියනවා මකන්න බැරි. 

යටත් විජිත ස්වාමිවරු ආවම මේ පාවා දීම යහමින් නැගල ගියා.  ඒ කියන්නේ බලය සහ ධනය තිබ්බ පැත්තට මිනිස්සු නැඹුරු උණා.  අනෙකාගෙන් පළිගන්න විතරක් නෙවෙයි තමන්ගේ පැවැත්මේ කොන්දේසියක් විදියටත් මේ පාවා දීමේ ඉතිහාසය ගලාගෙන ගිහිල්ලා තියනවා. 

අදත් තියනවා. හෙටත් තියෙයි. 

කැපෙන පැත්ත තමයි කඩුවේ වැදගත් ම පැත්ත. 

ඒ නිසා වෙන්න ඇති මනමේ කුමාරි තලේ පැත්ත කුමාරයට දුන්නේ.  කුමාරයා දැන ගන්න ඕනි ඒ තමන්ට දුන්න ''වැදගත්'' සහ ''ප්‍රයෝජනවත්'' පැත්තෙන් වැඩක් ගන්න. 

නිකම් ආඩපාලි කවි කිය කිය ඉන්නේ නැතුව. 

මිටෙන් මොනවා කරන්නද? මොකද මිටෙන් කිසිම දෙයක් කපන්න බැහැනේ. කැපුවත් කැපෙන්නේ නැහැනේ. තැලෙන එක තමයි වෙන්නේ.  

දේශීය විදියට හදපු කොඩියේ තමයි මේ අවුල වෙලා තියෙන්නේ.  චීනා කොහොම හරි මෙච්චර කාලයක් ඕක හරියට මහල දුන්නා.  උන් ඇමෙරිකන් කාරයටත් ඇමෙරිකන් කොඩිය හරියට මහල දෙනවා ඇති. 

උන්ට ඕක වරදින්න හේතුවක් නැහැ. 

බිස්නස් මිසක් අවිඥාණික ඉතිහාස ප්‍රශ්න උන්ට නැහැනේ මේ කොඩියක් එක්ක.  

Freudෆ්‍රොයිඩ් උන්නැහේ නම් කියන්නේ මේ 'වැරදීම' (slip of tongue - කට වැරදීම) ඔස්සේ යම් සත්‍ය පණිවිඩයක් ගම්‍ය කරනවා කියන එක. 

අපිට තමයි වරදින්නේ. හේතුව තමයි අවිඥාණික මතකය.  ෆ්‍රොයිඩ් උන්නැහේ නම් කියන්නේ මේ 'වැරදීම' (slip of tongue - කට වැරදීම) ඔස්සේ යම් සත්‍ය පණිවිඩයක් ගම්‍ය කරනවා කියන එක. 

වැරදි කියමනක් (misreading), වැරදි ඇසීමක් (mishearing), වැරදි ලෙස අමුණපු වචනයක් (mistyping), වැරදි පින්සල් පහරක් සහිත චිත්‍රයක් වගේ ඕනෑම දෙයක මේ පෙනෙන ක්‍රියාවට යටින් අවිඥාණිකව දිවෙන 'පාර ක්‍රියාව' (parapraxes) දකින්න පුළුවන් කියල ෆ්‍රොයිඩ් කියල තියනවා. 

යටිහිතේ තෙරපි තෙරපි වද දෙන 'යටපත් කළ දෙයක්' අර වැරදි වචනය හෝ වැරදි පින්සල් පහර ඔස්සේ එළියට විද්‍යාමාන වෙන්න පුළුවන්. 

හිතුවේ නැති වෙලාවක 'බකස් ගාල' එළියට ආවට ඒක තමයි ඇත්තම ඇත්ත. 

ඒ කියන්නේ තමන්ගේ වයිෆ් ට ඔෆිස් එකේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ නම කියල කතාකරනව වගේ කෙයෝස් එකක් ගැන නිකම් හිතන්න කෝ...අවුල් තමයි. හැබැයි ඇත්තත් ඒක තමයි. 

මේ ෆ්‍රොයිඩියානු නව සිංහ කොඩිය දැක්ක ගමන් මට එකපාරටම මතක් උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය පහුගිය දවස් වල 'අපිට දැන් තියෙන්නේ කුඩම්මා ගේ සැලකිළි' කියල නහකුණු ගගා හිටපු එක. ඒ වගේම මෛත්‍රීපාල උන්නැහේ ගේ නොටෝරියස් ආප්ප ඉතිහාසය. 

Hapugoda''මේ ෆ්‍රොයිඩියානු නව සිංහ කොඩිය දැක්ක ගමන් මට එකපාරටම මතක් උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය පහුගිය දවස් වල 'අපිට දැන් තියෙන්නේ කුඩම්මා ගේ සැලකිළි' කියල නහකුණු ගගා හිටපු එක. ඒ වගේම මෛත්‍රීපාල උන්නැහේ ගේ නොටෝරියස් ආප්ප ඉතිහාසය. '' - මහේෂ් හපුගොඩ 

ඉතිහාසය ඇතුලේ ඕනෑම දෙයක් සිදුවිය හැකි නේද කියල මට නිකමට හිතුණා. නිකමට කිව්වට නිකමටත් නෙවෙයි. සිංහ කොඩිය සෙවණේ තමයි සිදුවිය හැක්කේ...

එහෙම හිතුනට මට ආයෙම හිතුණා මම වැරදි ඇති කියලත්....''

Hapugoda post

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්