සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔද්දල් වී ගැඹුරු ආර්ථික අර්බුදයක ගිලී සිරවී සිටි ශ්‍රී ලාංකිකයන්
විශාල පිරිසක් ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය විශ්වාස කළේ ඔවුන් වටා තිබූ තිමිර පට ඉරාදමන හිරු එළියක් ලෙසිනි.
 
පසුගිය යහපාලන රජයේ පැවති පක්ෂ දෙකේ බෙදීම මෙන්ම නායකයන් දෙදෙනාගේ මත ගැටුම හා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අනුගමනය කළ "දියාරු ප්‍රතිපත්තිය" හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයෝ ශක්තිමත් නායකත්වයක් ඉල්ලා සිටියහ.
 
ඒ අනුව ඡන්දදායකයන් බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ වැළඳ ගත්තේ ඔවුන්ට තිබූ එකම විසඳුම ඔහු ලෙස සැලකූ බැවිනි.
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ බිඳ වැටී තිබුණු ආර්ථික තත්වයෙන් බැට කෑ බොහෝ ජනතාව විශ්වාස කළේ, ගෝඨාභය රාජපක්ෂ 30 වසරක යුද්ධය නිමාකිරීමේ ක්‍රියාන්විතයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හැටියටත් ඉන් පසුව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හැටියට කොළඹ ඇතුළු නාගරික සංවර්ධන ක්‍රියාවලිය තුළ ඔහු පෙන්වූ ක්‍රියාශීලිභාවය හේතුවෙන් ඉතාමත් කාර්යක්ෂම රාජ්‍ය පාලකයකු රටට ලැබෙනු ඇති බවය.
 
pasku attack
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.
 
එබැවින් ඔහුගේ ජනපති අභිෂේකයේ පළමු වසර සමරන මේ මොහොතේ ලංකාව තුළ පවතින සාම්ප්‍රදායික, දූෂිත සහ දර්ශනය අතින් ඉතා දුගී වූ දේශපාලන ක්‍රමයෙන් ඔහුට මිදීමට හැකි වූවාද යන්න විමසා බැලීම වැදගත් වනු ඇත.
 
අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ නායකත්වයෙන් පත්වූ පොදු ජන පෙරමුණ රජයේ පළමු වසර මීට පෙර මැතිවරණ වලින් බලයට පත්වූ රජයන්ට වඩා වෙනස් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දුන් බවය.
 
 
පසුගිය වසරේ සංවර්ධන ව්‍යාපෘතීන්:
 
පසුගිය වසර තුළ නව රජය විසින් ඉටුකළ යම් කාර්යයන් කිහිපයක් ලෙස පහත සඳහන් ක්‍රියාකාරකම් ජනාධිපති කාර්යාලය විසින් බීබීසී සිංහල සේවයට දැන්වීය.
 
# නිවසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාමසේවා වසමකට එක් නිවස බැගින් නිවාස 14,000ක් ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම.
# මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කිරීමට අදාළ අංශවලට උපදෙස් දීම, ඉඩම් සම්බන්ධයෙන් අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමුකරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණය සැකසීම. ජනතාව භූක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ සැකසීම, නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සැකසීම.
# පානීය ජල ගැටළුව විසඳීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කිරීම, ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පානීය ජල සම්බන්ධතා එක් ලක්ෂ පනස්දහසක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැගීම.
# පුරාණ තාක්ෂණය හා නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය.
# කඩා වැටී තිබුණු ආර්ථිකය ගොඩනැගීමට බදු සහන සහ බදු අඩුකිරීම. 
ඒ යටතේ,
-දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ද 25% කින් පහත දැමීම.
-15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම.
# ජන ජීවිතය අඩාල කරන පාතාල කල්ලි මර්දනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහනට හසු කර ගැනීම, පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම.
# සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අක්ෂි පරීක්ෂාව පමණක් සිදු කිරීම.
# දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීමට පියවර ගැනීම.
# ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කර්තෘ භාග ගෙවීම ආරම්භ කිරීම.
# මාර්තු 01 වනදා සිට වතුකම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රු 1000ක් කිරීම.
# අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම, අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩ්පතක් නිකුත් කිරීම.
# දිළිඳු හා අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගනු ලබන පුද්ගලයන්ට ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිස්සංකරණ කොමිෂන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධීකරණය කර කෘෂිකර්ම සංවර්ධන සහ නිවාස හා ව්‍යාපාර වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම් යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම.
# රටින් පිටවීමේ දී සහ මෙරටට පැමිණිමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ගුවන්තොටුපොළ කටයුතු විධිමත් කිරීමට පියවර ගැනීම. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංචාරයකින් අනතුරුව එහි ඇති අකාර්යක්ෂමතාවය මගහැර කාර්යක්ෂමව කටයුතු කිරීම උපදෙස් ලබාදීම
# රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරකදී ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹීම, ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම.
#  නෙළුව ලංකාගම මාර්ගය දින 90 කින් ප්‍රතිසංස්කරණය කර දීම.
- රත්නපුර අධිවේගයට ප්‍රමුඛතාව
- කොළඹ මාර්ග තදබදයට ඉක්මන් පිළියම්
- ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මග පානදුර දක්වා
- පොදු ප්‍රවාහනය නැංවීමට සැලසුම්
- ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන්
# අඩු ආදායම්ලාභීන් සහ උපාධිලාභීන් සඳහා සැලසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහසක් ලබාදීම. උපාධිධාරීන්ට සහ අඩු ආදායම්ලාභීන් 100,000කට රැකියා ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැගීම.
# සතොස, සමූපකාර, ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ ආරක්ෂක අංශවල ද සහාය ඇතිව ගොවි අස්වැන්න සෘජුව පාරිභෝගිකයා වෙතම බෙදාහැරීමේ වැඩපිළිවෙළ සැකසීම.
# රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබාගැනීම සඳහා දිවයින පුරා සතොස සහ සමූපකාර සුපිරි වෙළඳසැල්වල ඖෂධ අළෙවිසැල් 100ක් ස්ථාපනයට පියවර ගැනීම.
# අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දීමේ යාන්ත්‍රණය සැකසීම.
# පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඊට අවශ්‍ය සහාය දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කිරීම.
# ටෙන්ඩර් පරිපාටියෙන් තෝරාගන්නා සියලු ව්‍යාපෘති තෙමසකදී ආරම්භ නොකළහොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කිරීම.
 
# පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලොකු කුඩා සියලු කර්මාන්තකරුවන් රැක ගැනීමට මූල්‍ය පහසුකම් සැපයීම, ජන ජීවිතය අඩාල නොවීමට විශේෂඥ උපදෙස් අනුව සැලසුම් සකස් කිරීම, රුපියල් පන්දහසේ දීමනාවක් සියලු ජන කොටස් ආවරණය වන පරිදි ලබාදීම, ණය ගත් ව්‍යාපාරිකයන්ට සහන සැලසීම, නවෝත්පාදන නිර්මාණ සඳහා රට විවෘත කිරීම, පවතින තත්ත්වය හමුවේ කෘෂි අපනයන ආර්ථිකයකට සැලසුම් සකස් කිරීම, ඊ- අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම, දිවයිනේ සියලුම මුඩු බිම් හමුදාවේ සහය ඇතිව කෘෂි සංවර්ධනය සදහා උපදෙස් ලබාදීම, ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ ස්වයං රැකියා සඳහා යොදා ගන්නා මෝටර් රථ ඇතුළුව පහළොස් ලක්ෂයකට කල්බදු වාරික සහන ලබාදීමත් මේ අතර වේ.
# කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම පිණිස සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල (ඉටුකම) පිහිටුවා එය ශක්තිමත් කිරීම.
# ජනාධිපතිතුමාගේ සියලු වාචික නියෝග චක්‍ර ලේඛ සේ සලකා ඉටු කිරීමට උපදෙස් දීම.
# මහජන පැමිණිලි සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීම.
 
මේ අතර පසුගියදා රජය විසින් මහජනතාවට සහන ලබාදීමට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට උපරිම මිලක් නියමකරනු ලැබීය. ඒ අනුව සහල්, පොල්, සීනි, පරිප්පු සහ සැමන් ඇතුළු අතවශ්‍ය භාණ්ඩ රැසක මිල පාලනය කෙරිණි.
 
''නමුත් විපක්ෂය චෝදනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලනය තුළ රට ඉතාමත් පහත් තත්වයකට කඩා වැටී ඇති බවත් ඔහු 30-වසරක යුද්ධය නිමාකිරීමේදී පෙන්වූ දක්ෂ කම මෙම වසර තුළ දී නොපෙන්වූ බවත් ඔහු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලන කාලයට වඩා අකාර්යක්ෂම පාලකයකු බවට යම් යම් සිද්ධීන් හසුරුවිමේදී පෙන්නුම් කළ බවත්ය.''
 
නමුත් විපක්ෂය චෝදනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලනය තුළ රට ඉතාමත් පහත් තත්වයකට කඩා වැටී ඇති බවත් ඔහු 30-වසරක යුද්ධය නිමාකිරීමේදී පෙන්වූ දක්ෂ කම මෙම වසර තුළ දී නොපෙන්වූ බවත් ඔහු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාලන කාලයට වඩා අකාර්යක්ෂම පාලකයකු බවට යම් යම් සිද්ධීන් හසුරුවිමේදී පෙන්නුම් කළ බවත්ය.
 
cfhdh
ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK
 
කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මෙම රජය "ජෝතිපාල නිකුත්කළ කැසට් ප්‍රමාණයටත් වඩා ගැසට් ගැසුවද" එමගින් බලාපොරොත්තු වූ අයුරින් මිල පාලනයක් කිරීමට අපොහොසත් වූ බවය.
 
 
බැඳුම්කර ගනුදෙනුව:
 
පසුගිය රජය තම හිතවතුන්ට සැලකු බව සහ එමගින් රජයට විශාල ලෙස පාඩු සිදු කළ බව ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ආ බලවේග එල්ලකළ චෝදනාවකි. 
 
මහබැංකු බැඳුම්කර නිකුතුව එසේ විශේෂ අවධානයට යොමු වූ ගනුදෙනුවකි. 
 
එහෙත් මෙම රජය එයට දෙවැනි නොවී තම හිතවතුන්ට රාජ්‍ය සම්පත් අවභාවිතයට ඉඩසලසන බවට විශ්ලේෂකයෝ චෝදනා නගති.
 
ඒ අතරින් මේ වන විට වැඩිම කතාබහකට ලක්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ සමීපතමයකු වන දෙරණ මාධ්‍ය නාලිකාවේ ප්‍රධානියා වන දිලිත් ජයවීරට අයත් පෞද්ගලික ආයතනයක් වන ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනයට අයත් බෙහෙත් ආනයනය කරන සමාගමකට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ආනයනය සඳහා ටෙන්ඩරය ලබාදීම "ගජමිතුරු ධනවාදය මෙම රජයද ඉතාමත් හොඳින් ඉදිරියට රැගෙන යන බවට හොඳම උදාහරණයක්," බව විවේචකයෝ පවසති.
 
Dilith Gotabaya
"ගජ මිතුරන් සැනසීම සඳහා" මෙම රජය කටයුතු කරන බව හරින් පවසයි.
 
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී පැවසුවේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ආනයනය ප්‍රශ්නය පමණක් නොව එවැනි තවත් "ගජ මිතුරන් සැනසීම සඳහා" මෙම රජය කටයුතු කරන අතර, සීනි සඳහා බදු අඩුකිරීම හරහා ද සිදුවී ඇත්තේ තවත් එවැනි ගනුදෙනුවක් බවයි.
 
රජය විසින් කිහිප විටක්ම මිල පාලනය කරමින් ගැසට් පත්‍ර ප්‍රකාශයට පත් කළත් එම කිසිදු භාණ්ඩයක මිළ විවෘත වෙළෙඳපොළේ අඩු නොවූ අතර, එමගින් සිදු වූයේ වෙළෙඳපොළ තුළ දැඩි කැළඹීමක් සහ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වීමය.
 
මේ අතර නව රජය විසින් මහමැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව හා ජපානය සමග හවුල් ව්‍යාපාරයක් මාර්ගයෙන් දියුණුකිරීමට සැලසුම් කර තිබුණු ගිවිසුම් අහෝසිකර ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් තනිවම නැගෙනහිර පර්යන්තය දියුණුකිරීමේ ව්‍යාපෘතිය අරඹන ලදි.
 
කොළඹ නගරයේ වාහන තදබදයට පිළියමක් ලෙස සැලසුම්කර තිබුණු ජපානයේ ජයිකා ආයතනයේ සහන ණයකින් ඉදිකිරීමට ගිවිසුම් අත්සන් තැබූ කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ලංකාවට මිල අධික බව පවසමින් අවලංගු කෙරිණි.
 
 
ජාත්‍යන්තර සබඳතා:
 
කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු බීබීසී සිංහල සේවයට පැවසුවේ වසරින් වැඩිම කාලයක් කොරොනා අර්බුදය මැඩලීමට කටයුතු කිරිමට සිදු වීම හේතුවෙන් නව ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය තක්සේරු කිරීමට මෙම වසර ප්‍රමාණවත් නොවන බවය.
 

Kulani

"ඒ අතරින් එතුමා විසින් කොරෝනා වැනි පාරභෞමික තර්ජනයක් රට තුළට පැමිණීම වැලැක්වීමට සමස්ත රටම අගුළු දැමීමට කටයුතු කිරීම වැනි බටහිර ජනතා විරෝධයට හේතු වුණු පියවරයන් ඔස්සේ ලංකාව වඩාත් ජාතිකවාදි ප්‍රතිපත්ති මත පිහිටන බවට ඉඟියක් ලබා දුන්නේය. 
 
එහි කිසිදු වරදක් මා පෞද්ගලිකව දකින්නේ නැත්තේ සහබුද්ධික යැයි සලකන ඕනෑම ජාතික රාජ්‍යයක මූලිකම අභිලාෂය බවට පත්වන්නේ අරාජික ජාත්‍යන්තර පද්ධතිය තුළ තම පැවැත්ම හා ආරක්ෂාව සහතික කරගැනීමයි."
 
ඇය තවදුරටත් පැවසුවේ ගෝලීය වසංගතයක් වන කොරෝනා පරාජය කිරීමේදී ගෝලීය ප්‍රවේශයක් ඔස්සේ කටයුතු කිරීම වැදගත් වන්නේ ගෝලීයකරණ ප්‍රවාහය තුළ රාජ්‍යයන් හා රාජ්‍ය නොවන පාත්‍රයන් සංකීර්ණව එකිනෙකා මත යැපීම නොහොත් අන්තර්පරායක්තව කටයුතු කරන නිසාත් එහෙයින් දෘෂ්ටිවාද පිළිබඳ ලෝක ආතතිමය ගැටුම්වලට මැදිනොවී එවැනි ගෝලීය විසඳුමක දී මධ්‍යස්ථව කටයුතු කිරීම කුඩා එහෙත් බලවත් රටක් විදිහට ලංකාවට අනාගතයේදී වැදගත් වන බවයි.
 
"ඊට අමතරව එතුමාගේ විදේශ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන ලක්ෂණයක් ලෙසට 'බහුවිධ සන්ධාන- multiple alliances' ගොඩනඟා ගැනීමට දක්වන නැඹුරුව, මධ්‍යස්ථ (neutral) විදේශ ප්‍රතිපත්තිය හඳුනා ගත හැකිය.
 
 ඊට අමතරව අතීතයෙන් උගත් පාඩම් කේන්ද්‍ර කරගනිමින් මහා බලවත් රාජ්‍යයන් කොටු කිරීමේ ප්‍රතිපත්ති (hedging) හෝ ශක්තිමත් රාජ්‍යයන් වෙතට නැඹුරු වීමේ (bandwageon) ප්‍රතිපත්තිය වෙනුවට කුලුණු පහක් මත ලාංකික විදේශ ප්‍රතිපත්තිය සම්පාදනය කර ඇති අතර එහි මූලිකම අරමුණ වන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමයි," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු පැවසීය.
 
එම ප්‍රධාන කුළුණු පහ ලෙස "මධ්‍යස්ථව පැවතීම, සියලු රාජ්‍යයන් සමඟ මිතුරු සම්බන්ධතා පවත්වාගෙන යාම, ලෝක බලවතුන්ගේ බල අරගලයේ කොටස්කරුවෙකු නොවීම, එක් රටක මූලෝපායික වාසිය තකා ලංකා භූමිය හෝ ඉන්දියානු සාගරය භාවිත කිරීම අනුමත නොකිරීම, ඉන්දියාවේ මූලෝපායික ආරක්ෂිත සැකිල්ලක් බවක් පත් නොවීම," යනුවෙන් ඇය සඳහන් කළාය.
 
"මෙම ප්‍රකාශිත විදේශ ප්‍රතිපත්තිය ලංකාවේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය ඉහළින්ම රකින බව පෙනුනත් ප්‍රයෝගිකව එය එතරම් ම පහසු වන්නේ නැත," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු බීබීසී සිංහල සේවයට පැවසීය.
 
"ඊට හේතුන් සංෂිප්තව සඳහන් කරන්නේ නම්; සැලසුම් විරහිතව හා අඩු වගවීමේ යාන්ත්‍රණයක් සහිතව ලංකාවේ ආරම්භ කරන ලද යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හා ඒවාට ගෙවීමට නියමිත ණය වාරික, නිවැරදි නොවන තක්සේරු හේතුවෙන් එම යටිතල පහසුකම්වලින් අපේක්ෂිත ආදායම් නොලැබීම නිසා ආයෝජනය හා ණය සැපයූ රටවලටම ඒවා බඳු දීමට සිදුවීම, ආනයන වියදම චීනයට ගෙවද්දී ලංකා ආර්ථිකයේ වැඩිම අපනයන ආදායම් බටහිරින් උපයන අතර බටහිර යහපාලන ප්‍රමිතීන්වලින් දුරස්ථව කටයුතු කිරීම," ලෙස ඇය හැඳින්වීය. 
 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුලණි විජයබාහු තවදුරටත් පැවසුවේ මෙම අභියෝග වලට සාර්ථක විසඳුම් ලබා දීම තුළ පමණක් උක්ත ප්‍රකාශිත විදේශ ප්‍රතිපත්තිය අනාගතයේ තක්සේරු කිරීමට හැකි බවයි.
 
Pompeo Dinesh
සමහර විශ්ලේෂකයන් පවසන්නේ මෙම රජය විසින් රට ජාත්‍යන්තර බලවතුන්ගේ පොරපිටියක් බවට පත්කර ඇති බවයි. 
 
සමහර විශ්ලේෂකයන් පවසන්නේ මෙම රජය විසින් රට ජාත්‍යන්තර බලවතුන්ගේ පොරපිටියක් බවට පත්කර ඇති බවයි. 
 
එයට හොඳම නිදසුන ලෙස පසුගියදා පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ගේ සංචාරයේදී පොම්පෙඕ විසින් චීනයත් චීන කොමියුනිස්ට් පක්ෂයත් විවේචනයට ලක් කිරීමට ලංකා සංචාරය උපයෝගී කර ගත් නමුත් එයින් ලංකාවට අත්වූ වැඩි වාසියක් නොමැති බවයි.
 

Kumudini

මේ අතර කාන්තා හා මාධ්‍ය සාමූහිකයේ අධ්‍යක්ෂ කුමුදිනී සැමුවෙල් බීබීසී සිංහල සේවය සමඟ පැවසූවේ මෙම නව රජයේ ධනාත්මක කිසිවක් පැවසිය නොහැකි බවයි. 
 
නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ සිට ජනාධිපතිවරයාගේ නව රජයේ කෝවිඩ් ප්‍රතිචාරය, ආර්ථිකය හැසිරවීම, රජයේ අරමුදල් සහසම්බන්ධ ප්‍රතිචාරය, මිලිටරිකරණය ඇතුළු කරුණු හේතුවෙන් ඇයට සාධනීය කිසිවක් සිතිය නොහැකි බවයි.
 
 
කෝවිඩ් වසංගතය:
 
ආණ්ඩුවේ කෝවිඩ් ප්‍රතිචාරය ආරම්භයේදීම ඉතාමත් කාර්යක්ෂමව හා හොඳින් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබුන බව කුමුදිනී සැමුවෙල් කියා සිටියාය. 
 
නමුත් එයත් එතරම් සාර්ථක බවක් නොපෙන්වූයේ එය සමඟ ගනුදෙනු කිරීමට හමුදාවට දැනුමක් ඇතැයි යන උපකල්පනය මත පිහිටා එයට ප්‍රතිචාර දැක්වීම නිසා එම සමස්ත ක්‍රියාවලියම මිලිටරීකරණය වූ බැවින් බවත් දෙවන රැල්ල ආරම්භ වන විට ඒ පිළිබඳව හෝ එය සම්ප්‍රේෂණය වීමේ භයානක කමත් සමඟ වෛරසයේ ව්‍යාප්තිය සඳහා කිසිසේත් සූදානමක් නොතිබීම නිසාවෙන් බවත් ඇය පවසන්නීය.
 
"මම පෞද්ගලිකව සිතන්නේ ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍යවරයකු පත්කළ යුතුව තිබුණා. පවිත්‍රා වන්නිආරාච්චි සමඟ මට කිසිදු ගැටළුවක් නැහැ, මම එසේ කිව්වේ කාන්තාවක් පහත් කරන්නත් නෙමෙයි, ඇය නිතීඥ වරියක්. නිදසුනක් ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කළා නම් මෙම තත්ත්වය මෙයිට වඩා වෙනස් වන්නට තිබුණා," යනුවෙන් කාන්තා හා මාධ්‍ය සාමූහික අධ්‍යක්ෂ කුමුදිනී සැමුවෙල් බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
 
"මම හිතන්නේ ඔහුට ආර්ථික ප්‍රතිචාරය සඳහා සැලැස්මක් තිබිය යුතුයි. ඔබ විශේෂයෙන් කාන්තාවන් දෙස බැලුවහොත්, සංක්‍රමණික කම්කරුවන් පිළිබඳව කිසිවක් සිදු නොකිරීම සහ සංක්‍රමණික කම්කරුවන් නැවත ගෙන්වා ගැනීම පවා හරි ආකාරව සිදුවී නැහැ. බොහෝ රෝගාතුර වූ විශේෂයෙන්ම මැදපෙරදිග සිටින සංක්‍රමණික කම්කරුවන් අතරමං වී සිටිනවා. ඔවුන් මෙරට පැමිණෙන්නේ රැකියා අහිමිවීමෙන්, ඔවුන් නැවත සමාජගත කිරීමේ සැලසුම් අප සතුව නොමැත. බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලත් සමග අපනයන සැකසුම් කලාපයේ සිදුවූ දෙය දෙස බැලුවහොත් එයත් එසේමයි, ඔවුන් බොහෝ සේවිකාවන් රැකියාවලින් ඉවත දමා ඇත. ඔවුනට සලකන ආකාරයත් මෙයට වෙනස් නැහැ."
 
ශ්‍රී ලකාවේ සේවා නියුක්ත ශ්‍රම බලකායෙන් වැඩි ප්‍රමාණයක් අවිධිමත් අංශයට අයත් වන අතර අවිධිමත් අංශය පවතින සංචරණ සීමා කිරීම, අගුලු දැමීම්, ඇඳිරි නීතිය වැනි කරුණු තුළින් විශාලම බලපෑමට ලක්වන අංශයයි.
 
"මෙය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපට බරපතල ආර්ථික සැලැස්මක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඉතින් මේ මිනිසුන්, දුප්පතුන් වඩාත් දුෂ්කර තත්වයක සිටිනවා. අවිධිමත් අංශයේ සේවකයින්ගේ දෛනික වැටුප මේ අවස්ථාවේ දී සම්පූර්ණයෙන්ම ඔවුන්ට අහිමිවී ගිහින්. ඔවුන්ගේ අවශ්‍යතා ගැන කිසිදු අවබෝධයක් රජයට නැති බවයි මට හැඟෙන්නේ. රජයට මේ අවස්ථාවේදී උත්තේජක පැකේජයක් හෝ ආර්ථික ප්‍රතිසන්ධාන පැකේජයක් සඳහා කිසිදු සැලසුමක් ඇති බවක් මට පේන්නේ නැහැ, විශේෂයෙන් කාන්තාවන් සඳහා ප්‍රමාණවත් ලෙස සංරක්‍ෂිත සැලසුම් පැවතිය යුතුයි. එහෙත් එසේ කිසිම සැලසුමක් අපිට පෙනෙන්න නැහැ.," යනුවෙන් ඇය පැවසීය.
 
 
මිලිටරිකරණය:
 
Militory
කුමුදිනී සැමුවෙල් වැඩිදුරටත් පැවසුවේ රාජපක්ෂ රජය විසින් සියලු ගැටලු විසඳීම සඳහා හමුදාව විසින් මෙහෙයවනු ලබන මැදිහත්වීම හොඳම මැදිහත්වීම යැයි සිතනවාට වඩා ඒ සඳහා විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් යෙදවීම හොඳ වනු ඇති බවය.
 
විශ්ලේෂකයන් තවදුරටත් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පවතින ගෝලීය වසංගතය හා ආර්ථික අර්බුදය සමඟ කටයුතු කිරීම සඳහා වඩා හොඳ පැහැදිලි සැලැස්මක් කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබුණු බවත් එහෙත් ඔහුගේ ප්‍රමුඛතාවය වුයේ මේ මොහොතේදී කිසිසේත්ම අවශ්‍යතාවක් නොවූ විසිවන සංශෝදනය ගෙන ඒම හරහා ඔහුගේ බලය වැඩිකරගැනීමක් පමණක් සිදු වූ බවයි.
 
විසිවන සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලය අසීමිත ලෙස වැඩිකිරීම පමණක් නොව එමගින් පාර්ලිමේන්තුවේ බලය, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ බලය හීන කිරීම, ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරුපහරක් එල්ල කළ බවට දේශපාලන විශ්ලේෂකයන් චෝදනා කරයි.
 
"ජනාධිපති කාර්ය සාධක බලකායන් වැනි තවත් ජනාධිපති නියෝග මගින් පාලනය කිරීමට ඔහුට අවශ්‍ය යැයි පෙනේ, අපට පාර්ලිමේන්තුවේ සක්‍රිය දායකත්වයක් රාජ්‍ය ක්‍රියාකාරිත්වයේදී තිබිය යුතුයි. කැබිනට් මණ්ඩලය සක්‍රියව දායක විය යුතුයි. එහෙත් එවැන්නක් සිදුවන බවක් අපට පෙනෙන්නට නැහැ," යනුවෙන් කුමුදිනී සැමුවෙල් පැවසීය.
 
ඇය පවසන්නේ ජනාධිපතිවරයාට පළමු වසර තුළ වසංගතයත් සමඟ කටයුතු කිරීමට සිදු වූ නමුත් මෙම තත්වය තුළ ජනතාව යම් ආකාරයක නායකත්වයක් අපේක්ෂා කළ අතර පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය හරහා එම නායකත්වය කටයුතු කළ යුතු බවයි.
 
"මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ දෙස බැලුවේ ඉෂ්ට කරන්නෙකු ලෙසය. ඔහු යුද්ධයේ දී එය ජයගත්ත ද එය ඔහුට තනිවම කළහැක්කක් නොවෙයි. යුද්ධයකදී පවා ඔබට අනෙක් අයගේ සහාය නොමැතිව තනිවම කළ නොහැකිය. මෙම වසංගත තත්ත්වය, ආර්ථිකය හෝ මොනයම් හෝ කාරණයක් තනිව ජයගත නොහැක. ඔහුට නිවැරදි විශේෂඥ දැනුම ලබා ගැනීමට අවශ්‍ය බව ඔහු තේරුම් ගත යුතුයි. ඔහු එය හමුදාවට පමණක් කළ හැක්කක් ලෙස උපකල්පනය නොකළ යුතුයි."
 
 
(රංග සිරිලාල් -BBC සිංහල)
 
(පෙළ අවධානය අපෙන් – සංස්කාරක)
 

subscribeYT

නවතම පුවත්