වෘත්තියෙන් නීතිඥයකු වන කතුවරයා, මහා බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යාපීඨයේ ගෝලීය ආරක්ෂාව පිළිබඳව විද්‍යාපති උපාධියධරයෙකු වන අතර, අමෙරිකානු ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ ෆුල්බ්රයිට් ශිෂ්‍යත්වලාභියෙකි. ඔහු ත්‍රස්තවාදය පිළිබඳව පර්යේෂකයකු ලෙස ද කටයුතු කරයි.
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ, දහනවවන පරිච්ඡේදය ‘වගවීම’ යන හිසින් යුතුව, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ආරක්ෂා කිරිම සම්බන්ධයෙන් රජයේ වගකීම පිළිබඳව අවධානය යොමු කරයි.
එමඟින්, හිටපු ජනාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ අපරාධ වගකීම පිළිබඳව සාකච්ඡා කරන අතර, එසේ ත්‍රස්තවාදී ප්‍රහාර වළක්වා ගැනීම සඳහා රජයට ඇති වගකීම තක්සේරු කිරීමට ජනාධිපති විමර්ශන කොමිසම යොදාගත් ප්‍රමිතියේ ප්‍රමාණවත් බව සම්බන්ධයෙන් මෙම ලිපිය මගින් අවධානය යොමු කිරීමට උත්සාහ කෙරෙයි.
ජනාධිපති කොමිසම සිය වාර්තාවේ සඳහන් කරන ආකාරයට ඔවුන් වෙත නියම කරන ලද කාර්යභාරය අතරට, ත්‍රස්තවාදී ප්‍රහාර වලක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳව වගකිවයුතු බලධරයන් හඳුනාගැනීම, රාජකාරි පැහැර හැරි සහ ප්‍රහාරය වලක්වා ගැනීම සම්බන්ධයෙන් පියවර නොගත් බලධරයන් හඳුනාගැනීම යන අරමුණු ඇතුළත් වී තිබුණි.
ඒ අනුව, එවැනි බලධාරීන්ගේ වගකීම තක්සේරු කිරීමේදී කොමිසම, මූලාශ්‍ර දෙකක් වෙත අවධානය යොමු කරන ලදී: එනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 ව්‍යවස්ථාවේ අර්ථය යටතට ගැනෙන ලිඛිත නීතිය සහ අධිකරණ පූර්වාදර්ශ යන මූලාශ්‍ර දෙකයි.
එනමුත්, ජාත්‍යන්තර තලයේ, එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ කාර්යාංශය විසින් එක්සත් ජාතීන්ගේ රටවලට අනුගමනය කිරීම සඳහා ත්‍රස්තවාදී ප්රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීම සම්බන්ධයෙන් රජයට ඇති වගකීම තක්සේරු කිරීමට අදාල වල ප්රමිතීන් හඳුන්වා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ සම්මත කරගන්නා ලද යෝජනාව අංක 60-175 (2006) අනුව, “Preventing Terrorist Acts: A Criminal Justice Strategy Integrating Rule of Law Standards in Implementation of United Nations Anti-Terrorism Instruments”, යන හිසින් යුතුව, එක්සත් ජාතීන් විසින් 2006 වසරේ පළ කරන ලද එකී ප්‍රමිති මාලාව මගින් යුක්තිය පසිඳලීමේ ආයතන ත්‍රස්ත විරෝධී අරමුණු සඳහා එක් රාමුවක් තුළ කේන්ද්‍රගත කළ යුතු ආකාරය පිළිබඳ ප්රමිතීන් හඳුන්වා දී තිබේ.
එකී කාර්යභාරය සාර්ථක කර ගැනීම සඳහා රටක් විසින් දියුණු කරගත යුතු හැකියාවන් ගණනාවක් පිළිබඳව ද එකී ප්‍රමිති මාලාවෙන් උපදෙස් ලබා දෙයි.
ජීවත් වීමට ඇති අයිතිය:
'පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය' ආරක්ෂා කිරීමට රජයකට ඇති වගකීම, එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ කාර්යාංශය විසින් ත්‍රස්තවාදී ප්‍රහාර වලින් පුරවැසියන් ආරක්ෂා කිරීමට රජයකට වගකීම පැවරීමට ඇති පදනම ලෙස යොදාගනු ලබයි.
ජීවත්වීමට ඇති අයිතිය පුරවැසියෙකුට ලැබෙන්නේ, සෑම මිනිසෙකුටම ජීවිතයට ඇති උත්පත්ති අයිතිය පදනම් කරගෙනය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්රඥප්තියේ, 6 වන වගන්තියෙහි දැක්වෙන පරිදි, "සෑම මිනිසෙකුටම ජීවිතය සඳහා සහජ අයිතියක් ඇත. නීතිය විසින් මෙම අයිතිය ආරක්ෂා කළ යුතුය. ජීවිතයට ඇති අයිතිය කිසිවෙකුට අත්තනෝමතික ලෙස අහිමි කළ නොහැකිය."
එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ කාර්යාංශය මගින් පළ කරන ලද ප්‍රමිතීන්ට අදාල ලේඛනය දැක්වෙන පරිදි,
"සාමාන්‍ය පුද්ගලයකුට ජීවිතයට ඇති අයිතිය ආරක්ෂා කිරීම යනුවෙන් හැඟෙන්නේ, එය විනාශ වීමට නොදී ආරක්ෂා කිරීම මිස, එය විනාශ කරන හෝ කිරීමට තැත් කරන අයට එරෙහිව දඩුවම් කිරීම නොවේ. නීතිය මගින් ජීවිතය ආරක්ෂා කිරීම සඳහා ත්‍රස්ත ප්‍රහාර බාධාකර නවත්වාලීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වන අතර, විනාශකාරී ක්‍රියාවකට පසු වගකිවයුත්තන් හඳුනාගෙන දඬුවම් කිරීමේ සරල අදහසක් ගැන මෙයින් නොහැඟෙයි."
එබැවින්, "පූර්ව ක්‍රියාකාරී නීතිය බලාත්මක කිරීම" හෙවත් ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කිරීමට පෙර, එයට බාධා කර, නතර කර ගැනීමට රජය විසින් ගත යුතු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව රජයේ වගකීම උත්පාද වන්නේ, එක්සත් ජාතීන්ගේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ප්රඥප්තිය මගින් සහතික කරන "ජීවත්වීමට ඇති අයිතිය" පදනම් කරගනිමිනි.
එහෙත්, එවැනි ආකාරයේ ක්‍රියාවක් සිදු කිරීමට කලින් ජීවිත ආරක්ෂා කිරීම සහතික කිරීමට අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට නම් රජයක් විසින් කළ යුතු දෑ රාශියක් වෙයි:
# අංගසම්පූර්ණ හරයාත්මක නීති පද්ධතියක් ගොඩනැගීම;
# විමර්ශනය කිරීමට අවශ්‍ය බලය සහ උපක්‍රම වලින් සන්නද්ධ වීම;
# සාක්ෂි නීතියට අවශ්‍ය ප්‍රතිපාදන ගෙන ඒම;
# අන්තර් රාජ්‍ය සහයෝගීතාවට අවශ්‍ය යාන්ත්රණයකින් රජය සම්පූර්ණ වීම, ඒවා වෙයි.
එවැනි කේන්ද්‍රගත වූ නීතිය පසිඳලීමේ යාන්ත්‍රණයක් තිබීම, එක්සත් ජාතීන්ගේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ප්රඥප්තිය මගින් සහතික කරන ලද "ජීවිත ආරක්ෂා කිරීම" සඳහා රජයකට ඇති වගකීම ඉටු කිරීමට අත්‍යවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ කාර්යාංශයේ මතයයි.
ජීවත්වීමේ අයිතිය සෑම රටක්ම පිළිනොගනියි. සමහර රටවල් ජීවත්වීමට ඇති අයිතිය ව්‍යවස්ථානුකූලව පිළිගන්නා අතර, සමහර රටවල් එය නොපිළිගනී.
උදාහරණයක් ලෙස, ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, නවසීලන්තය, සහ ඉන්දියාව ව්‍යවස්ථානුකූලව ජීවත්වීමේ අයිතිය පිළිගනී.
එහෙත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජීවත්වීමේ අයිතිය ප්රකාශිතව පිළිනොගන්නා අතර, 2007 අංක 56 දරණ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳ ජාත්‍යන්තර ප්රඥප්තිය යටතේ ප්‍රතිපාදන මගින් ද එකී අයිතිය ශ්‍රී ලංකාවේ ප්රකාශිතව පිළිනොගනී.
ජාත්‍යන්තර පරිසරය:
ජීවිතයට ඇති අයිතිය පිළිගන්නා රටවල් මෙන්ම, එම අයිතිය නොපිළිගන්නා රටවල්ද ත්‍රස්ත ප්‍රහාරවලට ඉලක්ක වී තිබේ.
එම ප්‍රහාරය සම්බන්ධ පූර්ව බුද්ධි තොරතුරු බොහෝ රටවලට ලැබී තිබුණු බවද අපට නිරීක්ෂණය කළ හැකිය.
එබැවින්, එකී රටවල් ත්‍රස්ත ක්‍රියා වළක්වාලීම ගැන රජයට ඇති වගකීම තක්සේරු කළ ආකාරය අප තේරුම්ගත යුතුය.
'ජීවත්වීමට ඇති අයිතිය' පිළි ගන්නා රටවල් සහ ශ්‍රී ලංකාව ත්‍රස්ත ක්‍රියා වලක්වා ගැනීමට අනුගමනය කළ 'පූර්ව නීතිය බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග' පිලිබඳ තක්සේරු කළ ආකාරය වටහා ගැනීමට අදාල වන සංසන්දනාත්මක ප්‍රවේශයක් මෙම ලිපිය සකස් කිරීමට යොදා ගෙන ඇත.
2001 සැප්තැම්බර් 11 වන දින, ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය
2001 සැප්තැම්බර් 11 වන දින, ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසම අනාවරණය කර ගත්තේ, මධ්‍යම රහස් ඔත්තු සේවය (CIA) සහ ෆෙඩරල් විමර්ශන බියුරෝව (FBI) විසින් බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන ජනාධිපතිවරුන් දෙදෙනාවම අවශ්‍ය ආකාරයට ප්‍රහාරයට අදාල බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කර නොතිබූ බවයි.
එම කොමිසම බුද්ධි අංශ වල අසමත්කම් අනාවරණය කළ අතර, බලධාරීන් කිහිප දෙනෙකුටම දොස් පැවරීය.
එසේම, අනාගතයේ මෙවැනි ආකාරයේ ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කොමිසම මගින් නිර්දේශ කරන ලද අතර, ඒ අනුව, 'ජාතික බුද්ධි අධ්යක්ෂ කාර්යාලයක්' ස්ථාපිත කිරීමටත්, එතෙක් පැවති 'තර්ජන පිළිබඳ ඒකාබද්ධ මධ්‍යස්ථානය' වෙනුවට 'ජාතික ප්‍රති-ත්‍රස්ත මධ්‍යස්ථානයක්' ඇති කිරීමට ද යෝජනා කරන ලදී.
ශ්‍රී ලංකාවේ ජනාධිපති කොමිසම සිදු කළාක් මෙන් නොව, ජනාධිපතිවරයාට හෝ රාජ්‍ය බලධාරියෙකුට එරෙහිව අපරාධ වගකීමක් ඇති දැයි එකී කොමිසම සොයා නො බැලූ අතර, ඔවුන්ට එරෙහිව සිවිල් හෝ අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කළේ ද නැත. ප්‍රහාරයට වගකිව යුතු අය සහ මහ මොළකරුවන් පිළිබඳව ද කොමිෂන් වාර්තාව මගින් අනාවරණය කරන ලදී.
ලන්ඩන් නුවර, 2005 ජූලි 7 වන දින සිදු කළ ත්‍රස්ත ප්‍රහාර
ලන්ඩන් නුවර, 2005 ජූලි 7 වන දින සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ බුද්ධි සහ ආරක්ෂක කමිටුව පහත අරමුණු සහිතව එම විමර්ශනය සිදු කරන ලදී.
“මෙම වාර්තාව මගින් ත්‍රස්ත ප්‍රහාරයට අදාළව බුද්ධි සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කරන අතර, ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට අදාල වන බුද්ධි තොරතුරු නොසලකා හරිනු ලැබුවේ ද? නැතිනම්, ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළේ ද? ප්‍රහාරයට පෙර බ්‍රිතාන්‍යයේ තර්ජන සම්බන්ධව අනතුරුදායක මට්ටම ලිහිල් කළේ ඇයි? මෙමගින් කුමන බලපෑමක් සිදු වුණේ ද? ප්‍රහාරය පදනම් කරගෙන අපට උගත හැකි පාඩම් මොනවාද? යන්න අනාවරණය කර ගැනීම, සහ ඉදිරියේදී මෙවැනි තර්ජන වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කමිටුවේ අරමුණු වේ."
ඇමරිකාවේ ත්‍රස්ත විමර්ශන කොමිසම මෙන්ම, බ්‍රිතාන්‍ය කමිටුවද අග්‍රාමාත්‍යවරයාට හෝ රජයේ නිලධාරීන්ට එරෙහිව සිවිල් හෝ අපරාධ චෝදනා ගොනු කිරීම අරමුණු කර ගෙන නැති බව එයින් පෙනේ.
එසේම, කමිටුව මගින් පහත දැක්වෙන වචන (ආසන්න පරිවර්තනය) ත්‍රස්ත ප්‍රහාර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙත දෝෂාරෝපණය කිරීමේ දී භාවිත කරන ලද අතර, එමගින්, ශ්‍රී ලංකාවේ ජනාධිපති කොමිසම හා බ්‍රිතාන්‍ය කමිටුව යොදාගත් දෘෂ්ටිකෝණයන් අතර වෙනස අවබෝධ කරගත හැකිය.
"මෙම වාර්තාව නිගමන සහ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරයි. එම කරුණු මගින් බ්‍රිතාන්‍යයේ ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධයෙන් බුද්ධි අංශ ගෙන විශිෂ්ට පියවර අවතක්සේරු කිරීමක් අදහස් නොවේ. 2001 සැප්තැම්බර් 11 දින සිට බ්‍රිතාන්‍ය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ත්‍රස්ත ප්‍රහාර වලක්වා ඇත. 2005 ජූලි මස සිට එවැනි උත්සාහයන් තුනක් ව්‍යර්ථ කර ඇත. එවැනි සාර්ථකත්වයක් දැකිය හැකි වුව ද, 2005 ජූලි 7 දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය."
පසුව, එකී වාර්තාවේ සමබර ප්‍රවේශය අගය කරන ප්‍රතිචාරයක් දක්වමින් රජය 2005 ජූලි 7 දින 'ලන්ඩන් හි ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ බුද්ධි සහ ආරක්ෂක කමිටු වාර්තාව පිළිබඳ රජයේ ප්‍රතිචාරය' රැජිනියගේ නියමයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ, "ත්‍රස්තවාදී තර්ජනය සම්බන්ධයෙන් ආරක්ෂක සහ බුද්ධි අංශ සිදුකර ඇති අගනා මෙහෙවර කමිටු වාර්තාව මගින් අගය කිරීම රජය විසින් පිළිගනු ලබන සහ අනුමත කරනු ලබන" බවයි.
2015 නොවැම්බර් මස ප්‍රංශයේ එල්ල වූ 'පැරිස් ප්‍රහාරය'
2015 නොවැම්බර් මස ප්‍රංශයේ එල්ල වූ 'පැරිස් ප්‍රහාරය' සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කොමිසමේ වාර්තාව මගින් බුද්ධි අංශ සම්පූර්ණ ප්රතිසංවිධානයක් කිරීමට යෝජනා කරයි.
එහි සභාපති ජෝර්ජ් ෆ්‍රෙන්ච් සඳහන් කරන්නේ, "ත්‍රස්ත ප්‍රහාරකයන් සියලු දෙනාම රජයේ බලධාරීන් හොඳින් දැන සිටි නමුත්, ඒ ගැන එකිනෙකා අතර තොරතුරු හුවමාරු වී නොතිබූ බව" කොමිසමේ නිගමනය බවයි.
කොමිසමේ සභාපති තවදුරටත් කරුණු දක්වමින් කියා සිටින්නේ, වරදකරුවන් කවුද කියා සෙවීම තම කොමිසමේ අරමුණ නොවන බවත්, සමස්තයක් ලෙස බුද්ධි අංශවල අසමර්ථතාව පිළිබඳ කොමිසම නිගමනය කළ අතර, කොමිසම ඇමරිකාවේ වැනි 'ජාතික ප්‍රති-ත්‍රස්ත මධ්‍යස්ථානයක්' පිහිටුවීමට යෝජනා කරන බවයි.
2019 මාර්තු 15 වන දින නවසීලන්තයේ 'ක්‍රයිස්චර්ච්' පල්ලියේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය
2019 මාර්තු 15 වන දින නවසීලන්තයේ 'ක්‍රයිස්චර්ච්' පල්ලියේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ රාජකීය විමර්ශන කොමිසම, ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමේ රජයේ අධිකාරියේ අසමත් බව සහ ඉස්ලාම් අන්තවාදීන්ගේ එල්ලවන තර්ජන සම්බන්ධයෙන් අවශ්‍ය සම්පත් යොදාගත් ආකාරයේ දෝෂ සහිත බව පිළිබඳව අනාවරණය කරනු ලැබීය.
වෙනස්කම් සිදුවිය යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා උගත හැකි පාඩම් පිළිබඳවද කොමිසම කරුණු ඉදිරිපත් කළේය.
එහෙත්, ත්‍රස්ත සැලසුම් හඳුනා නොගැනීම සහ ප්‍රහාරය වලක්වා නොගැනීම ගැන කොමිසම රජයට වරද පැටවීම සිදු නොකළේය.
නවසීලන්ත අගමැතිනි ජසින්තා ආර්ඩන් ඒ ගැන අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ, කොමිසම මගින් රජයේ අසමත් බව පිළිබඳ නිගමනය නොකළ ද, ඒවා අසමත්වීම් බවත්, රජය වෙනුවෙන් තමා ඒ ගැන සමාව අයදින බවත් ය.
රාජකීය කොමිසමේ සහ නවසීලන්ත අගමැතිවරිය ගේ 'අධ්‍යාත්මය' එබඳු විය.
ශ්‍රී ලංකාවේ ජනාධිපති කොමිසම මෙන් නොව, අප විසින් සලකා බැලූ අනෙක් රටවල විමර්ශන කොමිෂන් සභා මගින් එකී ප්‍රහාරවල මහ මොළකරුවන් අනාවරණය කළ අතර, රජයේ කිසිදු දේශපාලන හෝ පරිපාලන බලධාරියෙකු ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ නොකළේ ය.
එකී කොමිෂන් මගින් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ වල දුර්වලතා සහ අසමත්කම් අනාවරණය කළ අතර, තවත් මෙවැනි ප්‍රහාර ඇතිවීම වළක්වා ගැනීම සඳහා එකී අංශ දියුණු කිරීමට අවශ්‍ය නිර්දේශ ද ඉදිරිපත් කළේය.
එහෙත්, අප සලකා බැලූ එකී සියලුම රටවල්, ජාත්‍යන්තර දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ප්රඥප්තිය මගින් ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීම සම්බන්ධව රජයට වගකීම් පැවරෙන මූලික පදනම වන, 'ජීවත් වීමේ අයිතිය' ව්‍යවස්ථානුකූලව පිළිගන්නා රටවල් වේ.
ත්‍රස්ත ක්‍රියා:
ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රංශය සහ නවසීලන්තය යන රටවලට එකී ත්‍රස්ත ප්‍රහාර වලක්වා නොගැනීම ගැන රජයේ දේශපාලන හෝ පරිපාලන බලධාරීන්ට එරෙහිව සිවිල් හෝ අපරාධ චෝදනා ගෙන නොඒමේ එක් හේතුවක් වන්නේ, ත්‍රස්තවාදය මගින් එල්ල කරන තර්ජනයේ සංකීර්ණ ස්වභාවයයි.
ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා ගැනීම සියයට සියයකින් ම සහතිකයක් කළ හැකි ප්‍රති-ත්‍රස්ත උපායමාර්ගයක් ලොව නැත.ත්‍රස්තවාදය සමඟ, විශේෂයෙන් සිය දිවි නසා ගැනීමේ ත්‍රස්තවාදය සමඟ, සටන් කරන්නේ කෙසේද? යන්න ලෝකය තවමත් ඉගෙන ගනිමින් සිටියි.
එය ලෝකයම මුහුණ දෙන අශක්නුතාවකි. එබැවින්, එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වලක්වා ගැනීමේ කාර්යාංශය කල්පනා කරන්නේ, ත්‍රස්තවාදය ගෝලීය තර්ජනයක් බවත්, එම නිසා, ඒ ගැන කටයුතු කිරීමට ජාත්‍යන්තර ප්‍රවේශයක් සහ ප්‍රමිතියක් අවශ්‍ය බවත්ය.
ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, සහ නවසීලන්තය යන රටවල ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය කළ කොමිෂන් සභා සහ කමිටු මගින් රජයේ අසමර්ථතා සහ දුර්වලතා අනාවරණය කර ගත් අතර, එම රටවල ප්‍රති-ත්‍රස්ත හැකියාව වර්ධනය කර ගැනීම සඳහා නිර්දේශ ද ඉදිරිපත් කරන ලදී.
එහෙත්, එකී කමිටු හෝ කොමිෂන් මගින් රජයේ දේශපාලන හෝ පරිපාලන බලධාරීන්ට එරෙහිව සිවිල් හෝ අපරාධ චෝදනා ගොනු කිරීම අරමුණු නොකරන ලදී.
අප විසින් ඉහත සලකා බැලූ රටවල්, 'ජීවත්වීමේ අයිතිය' ව්‍යවස්ථානුකූලව පිළිගන්නා අතර, එකී අයිතිය තහවුරු කරමින්, ත්‍රස්ත ප්‍රහාර වලක්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වළක්වාගැනීමේ කාර්යාංශය නිර්දේශ කරන 'පූර්ව-ක්‍රියාකාරී නීතිය බලාත්මක කිරීමේ හැකියාව' ද සෑහෙන දුරට වර්ධනය කර ගෙන ඇත.
එහෙත්, එකී කිසිදු රටක කොමිසමක් විසින් බලධාරීන්ට එරෙහිව සිවිල් හෝ අපරාධ චෝදනා ගෙන ඒමට නිර්දේශ කර නැත.
එබැවින්, අප නිරීක්ෂණය කරන්නේ, එකී කොමිෂන් සභා පටු, සීමා සහිත දෘෂ්ටිකෝණයකින් නොව, වඩා පුළුල් ආකල්පයකින් එකී විමර්ශන කටයුතු සිදු කර ඇති බවයි. එවැනි 'අධ්‍යාත්මයක්' සහිතව අදාල විමර්ශන එකී කොමිෂන් සභා මගින් සිදු කර ඇතත්, ශ්‍රී ලංකාවේ ජනාධිපති කොමිසමට එවැනි අධ්‍යාත්මයක් තිබුණු බවක් අපට නොදැනේ.
මගේ අවසාන නිගමනය වන්නේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධව විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් ජාත්‍යන්තර ප්‍රවේශයක් එකී විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නා දෘෂ්ටියක් සහිත ව ක්‍රියා කළ බවක් ප්‍රදර්ශනය නොකරන බවයි.
එසේ නොමැතිනම්, කොමිසමට උපදෙස් දුන් විශේෂඥයන් අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දී නැති බවයි.
එබැවින්, ජනාධිපති කොමිසම ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනයක් කිරීමේදී, කොමිසම සතුව තිබිය යුතු 'අධ්‍යාත්මයක්' සහිතව සිටි බවක් පෙන්නුම් නොකරයි.
ලැජ්ජාවට කරුණ වන්නේ, අපි ත්‍රස්තවාදය පිළිබඳව අපේම ක්‍රමයකට කටයුතු කරන බවට වැරදි පණිවුඩයක් මේ නිසා ලෝකයට ලැබීමයි.
කෙසේ වෙතත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුදැයි අපි තවමත් නොදනිමු; ජනාධිපති කොමිසම ද එය දැන සිටියේ නැත.
(මෙම ලිපිය, The Sunday Morning පුවත් පතේ, 2021 මාර්තු 7 දින පළවූ Standard of the Easter Sunday PCoI: An inquiry into adequacy ලිපියෙහි සිංහල පරිවර්තනයයි. )
ඉස්සර අපි කිව්වේ ස‘ ෆේල් කියලා! දැන් ආණ්ඩුවම ෆේල්!
කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි