''යකුන් වැහීම'' පමණක් නොව යකුන්ගෙන් වැඩගැනීම ගැනත් රසවත් කතන්දර ශ්‍රී ලාංකික සමාජයේ පවතී.
යකුන් වැහීම සහ යකුන් පළවා හැරීමට කෙරෙන ගුප්ත සායන මාතෘකාව අලුතින් මහජන අවධානයට ලක්වන්නට පටන්ගත්තේ එවැනි සායනයක දී පහරකෑමට ලක්වූ බාල දැරියකගේ ඛේදජනක මරණයත් සමඟය.
 
ශ්‍රී ලංකාවෙන් පමණක් නොව ලෝකය පුරා විවිධ රටවලින් එවැනි තොරතුරු වාර්තා වෙයි. මානසික සහනයක් පතා තමන් හමුවට පමුණුවන ලද ''ආතුරයන්ට'' කට්ටඩියන් විසින් පහර දීම, පිළිස්සීම හෝ ආයුධවලින් කපා කැපීම වැනි ශාරීරික හිංසන ගැන එවැනි වාර්තා මගින් කියැවෙයි.
 
ශ්‍රී ලංකාවෙන් මෑතදී වාර්තාවූ එවැනි තොරතුරු අතර ප්‍රබල සමාජ කම්පාවකට හේතු වූ අට හැවිරිදි දැරියකගේ මරණය මෙම කාරණය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ආරම්භවීමට හේතුවිය.
 
අට හැවිරිදි මොහොමඞ් රිෆ්කා පාතිමා රිෂ්ෆා දැරියට අත්වූ ඉරණම මගින් මහජනයා අතර ඇතිකරන ලද කම්පාව තවමත් තුනී වී නොමැත. 
 
ජීවිතය අකාලයේ මිලාන වූ එම දැරිය ශ්‍රී ලාංකික සමාජයට වැදගත් පණිවුඩයක් ඉතිරිකර ඇත. එනම් ශ්‍රී ලාංකික සමාජයේ සවිඥානික මිනිසුන් බොහෝදෙනෙක් යකුන් - යකින්නන් සහ භූතාත්ම හෝ වෙනත් ආකාරයේ කවර වූ හෝ ගුප්ත බලවේගයක් කෙරෙහි පවතින ඇදහීම් සහ විශ්වාසයන් මගින් මෙහෙයවනු ලැබෙමින් ඇති බවය.
 
ගාල්ලේ උපන් මොහොමඞ් රිෆ්කා පාතිමා රිෂ්ෆා සිය මවත් සමඟ දුරබැහැර ගෙවමින් දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේ එක්තරා ස්ථානයකට ළඟා වී තිබෙන්නේ ඇය නොදත් එහෙත් ඇයගේ සිරුරට ආවේශ වී සිටින 'යකින්නක පළවාහැරීම' සඳහාය. 
 
කට්ටඩි කාන්තාව පවසන හැටියට දැරියට ආවේශ වී ඇත්තේ ඇයගේ මිත්තණියයි. 
 
''යකුන් දමනය කිරීමට'' සමත් යැයි කියන, කඳුබොඩ නිවැසි ලයිමා ෆාලිඩා නම් කට්ටඩි කාන්තාවක්, දැරිය පෙළෙන රෝගාබාධවලට හේතුව ඇයගේ සිරුරට යක්ෂාවේශව සිටින මිත්තණිය යයි රෝග විනිශ්චය කරමින්, එම යකින්න පළවාහැරීම සඳහා පුරා පැය කීපයක් තෙල් ගල්වමින් වේවැලකින් දිගින් දිගටම පහරදීම නිසා දැරිය මරණයට පත්වූවාය.
 
අමනුෂ්‍ය දෝෂයක් යයි පවසමින් සිදුකළ යාතිකාවේ දී වේවැල් පහරදීමෙන් මරණයට පත් දැරියගේ මව සහ එම කට්ටඩි කාන්තාව මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුණි.
 
''ගාල්ලේ දැරියට අත්වූ ඉරණම මගින් පෙන්නුම් කෙරෙන්නේ අපේ සමාජය තුළ අභිචාර විධීන් මුල්බැසගෙන ඇති ආකාරයයි'' ඉහත කී ඛේදවාචකය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී ගවේශනාත්මක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ ප්‍රකාශ කළේය.
 
 
 
"දැඩිමුණ්ඩ දෙවියන්ගෙනුත් වේවැල් දඬුවමක්"
 
Thilak senasinghe''සිරුරට ආවේශ වී සිටින යකුන් යකින්නන් පළවා හැරීමට 'වේවැල් කසාය' දීම ගැන හොඳ වාර්තාවක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතුවලට විශිෂ්ට සේවයක් සිදුකළ H.G.P බෙල් විසින් සඳහන් කරනු ලැබ තිබෙනවා. බෙල් උපුටා දක්වන්නේ නුවර කලාවියේ ඉංග්‍රීසි ඒජන්තවරයකු හැටියට කටයුතු කළ R.W අයිවර්ස්ගේ (R.W.Ivors) 1884 අගෝස්තු 14 වෙනිදා දිනපොත උපුටා දක්වමින්'' තිලක් සේනාසිංහ පවසයි.
 
''එම වාර්තාවට පසුබිම් වී තිබෙන්නේ මාවනැල්ලේ දැඩිමුණ්ඩ දේවාලය. දැඩිමුණ්ඩ දෙවියන් යක්ෂ ගණයටයි ඇතුළත් කෙරෙන්නේ. ඔය කියන අවධියේ එම දේවාලයේ කපුතේවාව භාර තැනැත්තා හැන්දෑවට කරන කාර්යයක් තමයි ලොකු වේවැල් මිටියක් දේවාල භූමියේ සූදානමින් තබාගැනීම. පසුදින උදෑසන දකින්න ලැබෙන්නේ වේවැල් මිටියක් නොවෙයි, කැඩී බිඳී ගිය වේවැල් කැබැලි ගොඩක්. එහෙම වෙලා තියෙන්නේ රාත්‍රිකාලයේ ආවේෂ වී කෙහෙවැලි කඩා ගෙන විලාප තබමින් දේවාලයට එන ගැහැනුන්ට ආවේශ වී ඇති යකුන් පළවා හැරීමට කපුවා විසින් වේවැල්වලින් පහරදීම නිසා''
 
අයිවර්ගේ දිනපොත උපුටා දක්වමින් බෙල් විසින් වාර්තාකරනු ලබන එම අභිචාර විධිය සමාජ විද්‍යාත්මක වටිනාකමක් ගනී.
 
තිලක් සේනාසිංහ විස්තරකරන එම 'වේවැල් බෙහෙත' සහ ගාල්ලේ දැරියට වේවැලකින් පහරදීමේ යාතුකර්මය අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් තිබේද යන්න පැහැදිලි නැත.
 
''මට මතක්වෙනවා තවත් සිද්ධියක්. එක ඇදුරෙක්, එක්තරා අසනීපයක් සඳහා තමාගේ පිහිට පතා පැමිණි කාන්තාවකට එකදිගට තැඹිලිගෙඩි හතක් පානයකරන ලෙස උපදෙස් දී තිබුණා. ඇදුරාගේ උපදෙස් අනුව කටයුතු කළ කාන්තාවගේ උදරය තැඹිලි වතුරෙන් පිරී ඇගේ ප්ලිහාව ආබාධිතව ඇය මරණයට පත්වූ බව දැනගන්නට ලැබුණා'' මාධ්‍යවේදී තිලක් සේනාසිංහ සිය දීර්ඝ විස්තරය අතරමැද තවත් සිදුවීමක් සිහිපත් කළේය.
 
 117492958 a99ff92c b080 4091 8cfa 2d36d50d2df2
ෆේස්බුක් ජාලයේ පළකර තිබුණ දැන්වීමකි
 
 
 
පොල්මලෙන් ගැසීම:
 
සම්ප්‍රදායික සමාජයේ ඇතැමුන් පවුලේ රෝගීන් වෛද්‍යවරයකු හෝ මානසික වෛද්‍යවරයකු හමුවට පැමිණවීම නොව අද්භූත ගුප්ත විශ්වාසයන්හි පිහිට පැතීමක් සාමන්‍ය ජනජීවිතයේ දී දක්නට ලැබෙයි. 
 
එවැනි ශාන්තිකර්මයන්හි දී මෙහි සඳහන් කරන ලද මුස්ලිම් දැරියට වේවැලකින් පහරදීමට සමානව, ඇදුරන් විසින් ඔවුන්ගේ වචනයෙන් ''ආතුරයන්' ලෙස හඳුන්වා දෙන රෝගීන්ට පොල්මලකින් පහරදෙනු තොවිල්වලදී දක්නට ලැබෙයි.
 
Prof Sarath Amarasinghe''මෙවැනි තොරතුරු ශ්‍රී ලංකාවේ සමාජයෙන් පමණක් නොවෙයි, බොහෝ සමාජවලින් වාර්තා වෙනවා. මිනිස්සු මෙවැනි තත්ත්වයන්ට ගොදුරුවීමට හේතු රැසක් බලපානවා. එකක් සාම්ප්‍රදායික සමාජ ආකල්ප සහ විශ්වාසයන්හි බලපෑම්. කොහොම වුනත් මිනිසුන් පෙළෙන හුදෙකලාභාවය මේ තත්ත්වය කෙරෙහි බලපානවා. මිනිසුන් ගැටලුවලට මැදිවෙන අතර ඔවුන් හුදෙකලා වෙනවා. එවිට ඔවුන් තල්ලුවන්නේ මෙවැනි අද්භූත අධිභෞතික විශ්වාසයන්හි පිහිට පැතීමටයි'' බීබීසී සිංහල සේවය කළ විමසීමක දී රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය සරත් අමරසිංහ පැවසීය.
 
''එම හුදෙකලාභාවය සමඟ මිනිසා ජීවත්වන්නේ තරඟකාරී සමාජයක. තරඟකාරී සමාජයේ ජය ලබන්න මිනිසුන් යාතුකර්ම අභිචාර ආදියේ පිහිට පතනවා. එය දැන් ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනව. දුප්පත්කම, නැතිබැරිකම නිසා මිනිස්සු වේගයෙන් නොපෙනෙන බලවේගවල පිහිට සොයනවා. දුප්පතුන් විතරක් නොවෙයි, පොහොසතුන් පවා තරඟය තුළ දී එවැනි බලවේගයන්හි පිහිට පතනවා'' යැයි සම්මානිත මහාචාර්ය සරත් අමරසිංහ සඳහන් කළේය.
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් පෙන්වාදෙන ආකාරයට මෙවැනි මිත්‍යාවන් පතුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයද වගකිව යුතුව ඇත.
 
''දැන් බලන්න, හැමදාම උදේවරුවේ බොහෝ රූපවාහිනී නාලිකාවල මිනිසුන්ගේ ග්‍රහචාරය විග්‍රහකරන සජීවී වැඩසටහන් විකාශනය කරනවා. ඔවුන් කරන්නේ ප්‍රසිද්ධ නමක් සහිත ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥයන් කැඳවමින් ලග්න අනුව දවසේ පලාපල කීම''
 

Chandana

ඔවුන් ශුභ නැකැත් හෝරාවන් පවා කියනව. උදාහරණයක් විධියට බලාපොරොත්තු තබන කාර්යයයන් සඳහා නිවසින් පිටවිය යුතු වෙලාව සහ දිශාව පවා කියනවා. මේවා ජනතාව අතර ජනප්‍රිය වැඩසටහන් බවට පත්වෙලා තියෙනව''මෙහි තවත් අහිතකර පැතිකඩක් ද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් පෙන්වා දෙයි.
 
''මේ සජීවී වැඩසටහන් අතරවාරයේ අසන්නන්ට දුරකථනය මගින් ඔවුන්ගේ ගැටලු ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට ඉදිරිපත් කරමින් සහනයක් ඉල්ලා සිටින්නත් පුළුවන්. එවැනි අවස්ථාවල දී ඇතැමුන් තම ශරීර සෞඛ්‍යයට අදාළ ප්‍රශ්න පමණක් නොවෙයි,නිවසේ පෞද්ගලික ප්‍රශ්න පවා ඉදිරිපත් කරනවා''
 
''රූපවාහිනිය පමණක් නොවෙයි, අද බොහෝ පුවත්පත් ගත්තත් යන්ත්‍ර සූත්‍ර, හදිහූනියම් සහ කොඩිවින කිරීම් සේවා සපයන බවට කොයිතරම් වෙළෙඳ දැන්වීම් පළ වෙනවද? මුදලට එවැනි දැන්වීම් පළකරන ''වල්ලියා'' ගුරුන්නාන්සේලා අතර භික්‍ෂූන් වහන්සේලාත් දකින්න ලැබෙනවා. භික්ෂුවකගේ නමින් එවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය එක් තැනැත්තෙක් සිදුකරන ලද අපරාධ ක්‍රියාවලිය කෙළවර වුණේ ඔහු අධිකරණය විසින් වරදකරු කරනු ලැබ සිරගත කරනු ලැබීමෙන්'' මාධ්‍යවේදී චන්දන විජේකෝන් පවසයි.
 
''එම තැනැත්තා අද්භූත සායනයක් පවත්වාගෙන ගිය අතර, එය කාන්තාවන් අපහරණය වැනි සාපරාධී ක්‍රියා සඳහාත් යොදාගනු ලැබ තිබුණා''
 
මාධ්‍යවේදී තිලක් සේනාසිංහ පවසන පරිදි දෙවියන් සමඟ බැඳුන ආගමික පසුබිමක් සහිත යාතුකර්ම බොහෝ සමාජවල පුරාණයේ සිට පැවත එයි. ඒවා හදි හූනියම්, කොඩිවින (Black Magic) සහ ශාන්තිකර්ම (White Magic) යනුවෙන් ප්‍රභේද වෙයි.
 
අනුන්ට විපත් සඳහා කොඩිවින කිරීම, වස්කවි කීම සහ ජපකිරීම් 'බ්ලැක් මැජික්' ගණයට වැටෙයි. ඒ අතරම කොඩිවින කැපීම මෙන්ම හදි හූනියම් සිදුකළ පුද්ගලයන්ටම ඒවා ආපසු බලපාන මට්ටමින් කොඩිවින හූනියම් කපන්නෝ ද සිටිති. මේ දෙපාර්ශ්වයටම එම කටයුතු ආදායම් මාර්ග වෙති.
 
යාතුකර්ම ආදිය සාපරාධී චේතනා සඳහා යොදාගැනීම අතින් හික්කඩුවේ සීනිගම දේවාලය ප්‍රසිද්ධියක් දරයි. තම සතුරන්ට එරෙහිව ශාපකිරීම සඳහා හෝ ඔවුන්ට දෙවියන් ලවා දඬුවම් කරවීම සඳහා සීනිගමට දේව බැතිමතුන්ගේ පැමිණීම රහසක් නොවේ.
 
සීනිගම දේවාලයේ පාලනය සඳහා මේ දිනවල ප්‍රදේශයේ පවතින කුල තරඟයක් ගැන වාර්තාකරණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නන්දන වීරරත්න 'අරුණ' පුවත්පතට සපයන ලද විශේෂාංග ලිපියක මෙසේ සඳහන් කරයි.
 
''සීනිගම දේවාලය මානසික දුර්වලතා ඇති ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට දිනපතා ප්‍රතිකාර කෙරෙන තැනකි. එහි ඇති සියලු ජීවී අජීවී සියලු දේ දෙවියන්ගේ බලයයි. එතැනට දේශපාලන බලය තල්ලුකිරීමෙන් සිදුවිය හැක්කේ ලේ වැකි ගැටුම්ය. දිගුකාලීන මරා ගැනීම්ය''
 

sinigamaතමන්ට සතුරු යයි සිතන පුද්ගලයන්ට එරෙහිව ශාප කරනු ලැබීම සඳහා ගම්මිරිස් ඇඹරීමට සහ ඇතැම් දේශපාලනඥයන් දේශපාලන සතුරන්ට එරෙහිව පොල් ගැසීමට සීනිගම දෙවොලට යති.

 
 
දේශපාලකයන්ගේ ඇදහිලි:
 
මහාචාර්ය සරත් අමරසිංහ පෙන්වාදෙන පරිදි මෙම අභිචාර විශ්වාසයන් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයටත් විහිද ඇත.
 
''අපේ රටේ බොහෝ දේශපාලනඥයන් අභිචාර පිටුපස යාම අප්‍රසිද්ධියේ හෝ එළිපිටම සිදුකරනවා. උදාහරණයක් විධියට එක දේශපාලන නායකයෙක් තමන්ගේ අපල උපද්‍රව නැතිකර ගැනීම සඳහා බාල කන්‍යාවියන් ලවා සුවඳපැන් ස්නානය කිරීමක් ගැන එක්වරක් කතාවක් පැතිරගියා. තවත් සමහරු තම ජයග්‍රහණ පතා විවිධ යාගහෝම පුදපූජා කෙරෙහි යොමුවෙනවා''
 
එක්තරා දේශපාලන පක්‍ෂයක ජනාධිපති ධූර අපේක්‍ෂකත්වය එම පක්‍ෂයේ ජනප්‍රිය නායකයකුට ලබාගැනීමේ අරමුණින් දියත්කෙරුන දේශපාලන උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භකරන ලද්දේ ශාපකිරීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් සහිත සීනිගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීමෙනි.
 
පසුගිය යහපාලන සමයේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව මහජනතාව එකතුකර ගැනීමේ අටියෙන් ආගමික ස්ථානවලට ගොස් එම පොල්ගැසීමේ චාරිත්‍රයේ නිරතවනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් වාර්තාකරනු ලැබුණි.
 
''දේශපාලන නායකයන්ගේ අත්වල පිරිත්නූල්වලට අමතරව, පැළඳ ඇති ශුභපල ලබාදෙතැයි අදහන විවිධ පළඳනාවල පටන් මහජන ආකර්ෂණය ලබාදෙතැයි ඔවුන් සිතන ගුප්ත වස්තූන් පවා තබාගෙන සිටින ආකාරය දකින්න ලැබෙනවා. වසංගතය මැඩලීමට ශුද්ධ ජලය පිරවූ මුට්ටි ගංගාවන්ට දැමීමත් මෙම විශ්වාසයන්හි තවත් දිගුවක්'' මහාචාර්ය සරත් අමරසිංහ පවසයි.
 
MR Kunthaya
අගමැති මහින්ද රාජපක්ෂ දකුණත රැඳී ඇති "වජ්‍රය" ජාත්‍යන්තර මාධ්‍යවල පවා සාකච්ඡාවට ලක්ව ඇත.
 
 
දේශපාලන බල තරඟයේ දී තම අනාගත ශුභසිද්ධිය වෙනුවෙන් ගුප්ත විශ්වාසයන් පසුපස යාමේ දී දේශපාලනඥයන්ට ආගම් භේදයක් නැත. අනුරාධපුර ප්‍රදේශයේ එවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන කාන්තාවකගේ ආශීර්වාදය ලබාගැනීම සඳහා යන එන දේශපාලනඥයන්ගේ නම් පසුගියදා පාර්ලිමේන්තුව තුළ පවා ප්‍රකාශ වුණි.
 
''මෙය දේශපාලන අංශයට පමණක් සීමාවෙන්නෙ නැහැ. මම දැකල තියෙනව, ආරක්‍ෂක අංශවල ප්‍රධාන නිලධාරීන් පවා ඔවුන්ගේ අත්වල ශුභපල ලබාදෙතැයි ඔවුන් විශ්වාස කරන මුදු හෝ පළඳනා දරන බව'' ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් බීබීසී සමඟ සිය අත්දැකීම් විස්තර කරමින් සඳහන් කළේය.
 
ඇතැම් දේශපාලනඥයන් විසින් මැතිවරණ කාලවල සිදුකරන ලද සත්ත්ව බිලිපූජාවන් ගැනද වාර්තා වී ඇත.
 
 
 
බ්‍රාහ්මණ සම්ප්‍රදායේ හිස එසවීමක්:
 
''මෙතැන ප්‍රශ්නය තියෙන්නේ ආගමත් මෙයට සම්බන්ධවීම. බුදුන් වහන්සේ බ්‍රාහ්මණවාදයේ ආදි සංකල්ප පුපුරුවා හරිමින් ශ්‍රමණ සම්ප්‍රදායක් හඳුන්වා දුන්නා. නමුත් අද එම පුරුෂාර්ථ යටපත්වෙමින් බ්‍රාහ්මණවාදයේ යාගහෝම පන්සලත් ආක්‍රමණය කර ඇති බවක් දකින්න ලැබෙනවා'' ගවේෂණාත්මක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ පෙන්වාදෙයි.
 
මෙය දැන් පන්සල විතරක් නොවෙයි,වෙනත් ආගම්වලටත් පැතිරිලා. උදාහරණයක් විධියට ඇතැම් ආගමික සංවිධාන මිනිසුන්ගේ ලෙඩරෝග සුවපත්කිරීමේ යාඥාවන් පවත්වනවා. 
 
ශ්‍රී ලංකාවේ මුල්පෙළේ සංගීතඥයකු සහ ගායකයකු වන ආචාර්ය වික්ටර් රත්නායකගේ අහිමි වූ කටහඬ යළිත් ලබාදුන්නේ අද්භූත ආගමික බලයක් මගින් යයි පසුගියදා වාර්තා පළවෙමින් තිබුණා. 
 
වික්ටර් රත්නායකගේ විතරක් නොවෙයි. ඉන්දියාවේ ලතා මංගේෂ්කාර්ටත් කටහඬ නැතිව ගියා. ඇය නැතිවූ කටහඬ ප්‍රතිෂ්ටාපනය කරගත්තේ ශල්‍යකර්මයකින්. මෙහි මානසික පැත්තක් තියෙනව. වික්ටර්ට නැතිවූ කටහඬ ආගමික හාස්කමකින් යයි කීම ප්‍රබන්ධයක්'' මාධ්‍යවේදී තිලක් සේනසිංහ සඳහන් කළේය.
 
 
සුවිශේෂී එවැනි බලවේග මගින් සිය ශාරීරික ආබාධ සුවපත්කර ගැනීමට ඇතැම්විට දහස් ගණනින් ජනතාව එක්රැස්වෙන අතර එවැනි අවස්ථාවන්හි මිනිසුන් මරණයට පත්වීම් ගැන ද මාධ්‍ය මගින් වාර්තාවිය.
 
පාරම්පරික සිංහල සමාජයේ භාවිතයට ගැනුණු හඳහන් බැලීම සහ පේනකීම වැනි අංග කෙරෙහි දැන් රටතුළ වෙනත් ආගමිකයන් ද නැඹුරුවෙමින් ඇති බව මහාචාර්ය අමරසිංහ මෙම සාකච්ඡාවේ දී සඳහන් කළේය.
 
''මගේ මිතුරෙක් ඉන්නවා මහනුවර පළාතේ. ඔහු ශාන්තිකර්ම කරන කෙනෙක්. ඔහු මට කිව්වා ඒ අවට මුස්ලිම් ජනයාත් ඔවුන්ගේ දරුවන්ට ශාන්තිකර්ම සඳහා තමා හමුවට එන බව'' මහාචාර්යවරයා තවත් ප්‍රවනතාවක් කෙරෙහි අවධානය යොමුකළේය.
 
''අපි දන්න හැටියට උපතක දී කේන්ද්‍ර හැදුවේ, දැරියක් මල්වර වීමකදී පලාපල බැලුවේ, විවාහයක දී පොරොන්දම් බලා නැකැත් හැදුවේ සිංහල සමාජ කණ්ඩායම්. නමුත් කිතුනු සමාජයේත් ඇතැම් පවුල්වල රහසිගතව හෝ ඇතැම්විට එළිපිටමත් ඒ දේවල් සිදුකෙරෙනවා'' ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන විජේකෝන් පවසයි.
 
වේවැල් පහරට ගොදුරුව මරණයට පත් මුස්ලිම් දැරියත් එවැනි ඉරණමකට වූයේ යකුන් පළවාහරීමේ අද්භූත බලයක් ඇතැයි කියන මුස්ලිම් කට්ටඩි කාන්තාවකගේ ''කුරිරු'' මිත්‍යා සායනයක් අතරවාරයේය. 
 
නව හැවිරිදි දැරිය ගොදුරු කරගත් ආකාරයේ මිත්‍යා ක්‍රියාවන්ට ඉස්ලාම් ධර්මය තුළ කිසිදු ඉඩක් නොමැති බව නීතිඥ ෂිහාන් නාගූර් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.
 
''ගුරුකම්,යන්ත්‍ර මන්ත්‍ර ආදී ඇදහිලි (Black Magic) ශාස්ත්‍ර ඇසීම් වැනි දේවල් ඉස්ලාම් ධර්මයට අනුව අයත්වන්නේ 'ශිර්ක්' (Shirk) නම් වැරදි ගණයට. එම ශිර්ක් වැරදි කොයිතරම් බරපතලද යන්න ඒවා 'හරාම්' (Haram) ගණයටත් වඩා බරපතල බව දක්වා තිබීමෙන් පේනවා. 'ශිර්ක්' වැරදිවලට දෙවියන් වහන්සේගෙන් කිසිම සමාවක් නැහැ. මේ ගැන අල් කුරානයේ 'සූරා බකරා' (Al-Baqarah) සහ 'අල් නිසා'(An-Nisa) ඉගැන්වීම්වල සඳහන් කර තිබෙනවා''
 
 117493481 817d6667 d6d7 45e5 a675 a8a3adbf2ee2
''ගුරුකම්,යන්ත්‍ර මන්ත්‍ර ආදී ඇදහිලි(Black Magic) ශාස්ත්‍ර ඇසීම් වැනි දේවල් ඉස්ලාම් ධර්මයට අනුව අයත්වන්නේ 'ශිර්ක්'(Shirk)නම් වැරදි ගණයට''
 
 
ඉස්ලාම් ධර්මය තුළ මේ සම්බන්ධයෙන් බලපැවැත්වෙන ආගමික මූලධර්ම පිළිබඳව පැහැදිළි කර ගැනීම සඳහා බීබීසී සිංහල සේවය කොළඹ 'දවටගහ' මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජක මොහොමඩ් ඉක්බාල් මවුලවි තුමාගෙන් විමසීමක් කළ අතර එතුමන් විසින් එම ඉස්ලාම් ඉගැන්වීම් විග්‍රහකරන ලද්දේ ශුද්ධ කුරානය ඇසුරිනි.
 
 
නබි නායකතුමාටත් හූනියමක්:
 
''ඇස්වහ, කටවහ, ආදියට පිළියම් කළයුතු ආකාරය ගැන කුරානයේ සඳහන් වෙනවා. කෙනෙකුට ලෙඩක් දුකක් ඇතිවූ විට ඒ පුද්ගලයන්ට කිසිම පහරදීමක් කරන්න අවසරයක් නැහැ. ශාන්තිකර්මවලින් සුවයක් ලබාදෙන්න පුළුවන්. නමුත් එය කරන්න අවසර තියෙන්නේ ඒ ගැන මනා අවබෝධයක් සහිත ඒවා ප්‍රගුනකරන ලද ආධ්‍යාත්මික ශක්තියක් ඇති අයට පමණයි. නබිනායකතුමාටත් කොඩිවින කර තිබුණ. එම කොඩිවින කපා තිබෙන්නේ ආගමික ඉගැන්වීම් අනුවයි. දැන් 'මලබාර්' ප්‍රදේශයේ එවැනි ශාන්තිකර්ම ප්‍රගුණකළ මව්ලවිවරුන් ඉන්නවා''
 
තවදුරටත් අදහස් දැක්වූ මවුලවි මොහොමඩ් ඉක්බාල් රෝගීන්ට පහරදෙනු ලැබීම වැනි ක්‍රියාවන්ට කුරානයෙන් කිසිදු අනුබලයක් නොලැබෙන බව අවධාරණය කළේය.
 
''ඔබ සඳහන් කළ දැරියට අත්වූ ඉරණම ගැන මට දැනගන්නට ලැබුනා. එවැනි ශාන්තිකර්මයක් සිදුකලැයි කියන කට්ටඩි කාන්තාවට එවැන්නක් කරන්න කිසිම බලයක් නැහැ. මට පෙනෙන විධියට යකින්නක් වහල තියෙන්නේ අර දැරියට නොවෙයි, ඔය කට්ටඩි කාන්තාවටයි''
 
 117493479 be063fd9 0008 4755 9170 16151f05a889
මුස්ලිම් ආගමික මෙහෙයක්
 
 
''ගහන්න මරන්න වගේ දේවල්වලට ආගමෙන් අවසරයක් නැහැ'' මවුලවිවරයා පෙන්වා දෙයි.
 
වාර්ගික හෝ ආගමික පසුබිම කුමක්වුවද, ශ්‍රී ලාංකිකයන්ගේ අතිබහුතර ප්‍රජාවක් ගුප්ත විද්‍යාවන්හි පිහිටක් පැතීම පසුගිය කාලය තුළ වේගයෙන් ව්‍යාප්තවීමක් පෙන්නුම් කරයි.
 
''මේකට එක හේතුවක් තමයි, නූගත්කම. අවබෝධයක් නැතිකම. ඒවගේම ඊට බැඳුන තවත් කාරණයක් තියෙනව. ඒ තමයි, දුප්පත්කම. බොහෝ දුප්පතුන් තමයි, ශාන්තිකර්මවල දී ශාරීරික හිරිහැර ආදියට ගොදුරුවෙන්නේ'' සම්මානිත මහාචාර්ය සරත් අමරසිංහ පෙන්වා දෙයි.
 
''මෙවැනි ගුප්ත යාතුකර්ම මගින් මිනිසුන්ට එල්ල කෙරන ශාරීරික හිරහැරයට අමතරව සමාජමය වශයෙන් තවත් බරපතල අපරාධයක් තියෙනව. එය මිනිස් සමාජයක් භාවමය වශයෙන් පසුගාමී තැනකට තල්ලුකර දැමීම'' ගවේෂණාත්මක මාධ්‍යවේදී තිලක් සේනාසිංහ පවසයි.
 
zdd
ශරීර සෞඛ්‍යය පතා මෙවැනි උත්සවාකාරයෙන් සත්ව බිලිපූජා පැවැත්වීම අප්‍රිකානු රාජ්‍යයන් රැසක සිදුකෙරෙයි
 
 
(උපාලි ගජනායක -BBC සිංහල)
 
 

 


 

 

සීනි මාෆියාවේ හතර මායිම ඉරාන් හෙළිකරයි

 


බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්