1200 x 80 DMirror
 
 

"එයාල මාව පහලට තද කරලා අල්ල ගෙන, ගෑණියෙක් මගේ රහසඟ කෑල්ලක් කපල අයින් කළා.
ඒ ඇයි කියල මට තේරුමක් තිබුණේ නෑ. ඒක තමයි මගේ ජීවිතේ පළවෙනි ලොකුම කම්පනය. මගේ ඇඟ උඩ නැගල, කකුල් දෙක පළල් කරලා මේ තරම් මට රිද්දන්න මම ආදරේ කරපු මේ වැඩිහිටියන්ට මම කරපු වැරැද්ද මොකක්ද කියල මට තේරෙන්නේ නෑ."
 
බලහත්කාරයෙන් යෝනි සුන්නතට ලක් කරන විට ලයිලා (ඇයගේ සැබෑ නම නොවේ) 11 හැවිරිදි හෝ 12 හැවිරිදි දැරියකි. ඇයට ඒ දිනය හරියටම මතකයේ නැත.
 
"මානසිකව හරියට මට ඒක කිසිවක් කර කියාගත නොහැකි පීඩාකාරී තත්ත්වයක් වගේ."
 
ලිංගඡේදනයට ලක් නොකළේ නම් ඒ කාන්තාව "අපිරිසිදු" සහ "විවාහය සඳහා නුසුදුසු" බව ඊජිප්තුවේ ගතානුගතිකවාදී සමාජය තුළ, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පවතින විශ්වාසයකි.
 
2008 දී කාන්තා ලිංගඡේදනය තහනම් කළ ඊජිප්තුව, එය සිදුකරන වෛද්‍යවරුන්/හෙදියන් වසර හතක් දක්වා සිර දඬුවමකට යටත් කළ හැකි අන්දමට නීති පැනවීය. දැරියන්ගේ යෝනි සුන්නත් කරන මෙන් ඉල්ලා සිටින ඕනෑම පුද්ගලයෙකුට ද තෙවසරක් දක්වා වූ සිර දඬුවමක් පැනවිය හැකිය.
 
එහෙත් ඊජිප්තුව තවමත් ලොව වැඩිපුරම යෝනි සුන්නත සිදු කෙරෙන රටවල් අතරින් එකකි.
 
කාන්තාවන් සඳහා නොමිලේ නීති ආධාර ලබාදෙන ආයතනයක ප්‍රධානියා වන මානව හිමිකම් නීතිවේදී රේඩා එල්ඩන්බවුකි (Reda Eldanbouki) පවසන පරිදි බොහෝ විට එය සිදුකරනු ලබන්නේ "ප්ලාස්ටික් සැත්කම්" සිදුකරන බවක් හඟවමිනි.
 
කයිරෝ නුවර පිහිටි Women's Centre for Guidance and Legal Awareness (WCGLA) නීති ආධාර ආයතනය මේ වනවිට කාන්තාවන් වෙනුවෙන් නඩු 3000 කට ආසන්න ප්‍රමාණයක් ගොනු කොට තිබෙන අතර, ඒ අතරින් නඩු 1800 ක් පමණ ජයග්‍රහණය කිරීමට සමත් වී තිබේ.
 
යෝනි සුන්නත සම්බන්ධ නඩු හයක් ද එසේ ජයග්‍රහණය කරන ලද නඩු අතර තිබේ.
 
නීතියෙන් කාන්තාවට සාධාරණය ඉටුවන හැඩක් දක්නට ලැබුණ ද, යුක්තිය ඉටුකර ගැනීම එතරම්ම පහසු කාර්යයක් නොවේ. 
 
රේඩා එල්ඩන්බවුකි පවසන පරිදි, සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුවත් පොලිසිය සහ අධිකරණය ඔවුන් කෙරෙහි දක්වන්නේ ඉතා ලිහිල් ආකල්පයකි.
 
යෝනි සුන්නතට එරෙහිව සිය මධ්‍යස්ථානය වැඩසටහන් දියත්කරන ආකාරය බීබීසී සමඟ විස්තර කළ ඔහු, තමන් විඳි වේදනාව හෙළි කළ සහ මතු පරපුර ඒ වේදනාවෙන් ආරක්ෂා කරගැනීමට තැත්කරන කාන්තාවන් තිදෙනෙකු හඳුන්වා දුන්නේය.
 
 
 
ලයිලා ගේ කතාව: "එයාල මාව පහලට කරලා තද කරලා අල්ලගෙන රහසඟ කෑල්ලක් කැපුවා"
 
 4a90 8f7d f915f0a59819
JILLA DASTMALCHI
 
 
දශක තුනකට ආසන්න කාලයකට පසුවත්, ඒ ඉරණම් සහගත දිනය ලයිලාට තවමත් මතකය. ඇය සිය පාසලේ වාරාවසාන විභාගය සමත්වූවා පමණය.
 
"විභාගේ පාස් වුණාට මට තෑග්ගක් දෙනව වෙනුවට, මගේ පවුලේ අය වින්නඹු අම්ම කෙනෙකුට ගෙදරට එන්න කිවුව. ඊට පස්සේ ගෑණු සේරම කළු ඇඳගෙන, කාමරේකට මාව තල්ලු කරලා, මාව වටකර ගත්ත."
 
යෝනි සුන්නත ඊජිප්තු සමාජය තුළ කෙතරම් ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු මාතෘකාවක් (taboo) ලෙසින් සැලකෙන්නේ ද යත්, සිවු දරු මවක වන 44 හැවිරිදී ලයිලා සිය නම පමණක් නොව තමන් වෙසෙන්නේ කුමන ප්‍රදේශයක ද යන්න පවා හෙළිකිරීමට කැමැත්තක් නොදැක්වූවාය.
 
ඇයගේ ආත්තම්මා සහ අසල්වැසි කාන්තාවන් කිහිපදෙනෙක් ද එදින ඇය වටකොට සිටි කාන්තාවන් අතර වූහ. (සිය දැරියන්ට එකම දිනෙක යෝනි සුන්නත් කිරීම පිණිස අසල්වැසි කාන්තාවන් එක්ව වින්නඹු මාතාවක කැඳවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි)
 
"ඊජිප්තුවේ ගම්වල හැම ගෙදරකම වගේ අපේ ගෙදරත් කුකුල්ලු ඇති කළා. ඒ ගෑණි මගේ ඇඟේ කෑල්ලක් කපල ඒක කුකුලන්ට කන්න විසි කළා. කුකුල්ලු පොර කකා ඒක කනවා මම දැක්ක," ලයිලා වේදනාවෙන් සිහිපත් කරයි.
 
එවක් පටන් ලයිලා කිසි දිනෙක කුකුල් මස් කෑවේ නැත; විවාපත් වූ පසු සිය නිවසේ කුකුලන් ඇති කළේ ද නැත.
 
"ඒ කාලේ මම පොඩි කෙල්ලෙක්, අනික ඉස්කෝලේ නිවාඩු දුන්න විතරයි. මට ඕන වුණේ අනිත් ළමයි වගේ දුවල, පැනල සෙල්ලම් කරන්න ඒත් මට හරියට ඇවිදගන්නවත් බැරි වුණා. මම ඇවිද්දේ කකුල් පළල් කරගෙන, කොර ගහනව වගේ."
 
තමන්ට සිදු වූයේ කුමක්දැයි වටහා ගැනීමට ඇයට දිගු කලක් ගතවිය. 
 
එහෙත් යෝනි සුන්නත සිදු නොකළේ නම් කුමක් විය හැකිව තිබුණේ දැයි විවාපත් වූ පසුව තමන්ට වැටහුණ බව ද ලයිලා පවසන්නීය.
 
"ගමේ මිනිස්සුන්ට, යෝනි සුන්නත නොකරපු කෙනෙක් පවුකාර කාන්තාවක්. ඒක කරපු කෙනා චරිතවත් කාන්තාවක්. මොකක්ද ඒකෙ තේරුම? යහපත් හැසිරීමයි, ඒකයි අතරේ තියන සම්බන්ධය මොකක්ද?" ඇය ප්‍රශ්න කරයි.
 
සිය පළමු දියණිය බිහි කළ පසු තමන් විඳි වේදනාව දියණියට ද අත්වනු දැකීමට ලයිලාට අවශ්‍ය නොවීය. එහෙත් සිය සැමියා එය සංවිධානය කරනු වැළැක්වීමට ඇයට හැකියාවක් නොතිබිණ. සැමියාට අවශ්‍ය වූයේ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුටු කිරීමටය.
 
එහෙත් ලයිලාගේ අනෙක් දියණියන් උපත ලබන අවස්ථාව වනවිට කාන්තා ලිංගඡේදනය ඊජිප්තුවේ තහනම් කරනු ලැබ තිබූ අතර, මානව හිමිකම් නීතිවේදී රේඩා එල්ඩන්බවුකි ගේ මධ්‍යස්ථානය විසින් දියත්කරන අන්තර්ජාල වැඩසටහන් සහ රූපවාහිනී දැන්වීම් ද ඇය නරඹා තිබිණ.
 
ලයිලා, එම මධ්‍යස්ථානය දියත් කළ වැඩසටහන්වලට සහභාගිවන්නට පටන් ගත්තාය. සිය දෙවැනි දියණිය තමන් විඳි වේදනාවෙන් බේරාගැනීමට එම වැඩසටහන් ඇය දිරිමත් කළේය.
 
සියවස් ගණනාවක් පැරණි මේ චාරිත්‍රය හේතුවෙන් ඇතැම් දැරියන් රුධිරය වහනය වීමෙන් මියගිය බව ඇය දැන සිටියාය.
 
"මම මොකටද මගේ දුව ඒ වගේ අනතුරක දාන්නේ? කිසිම තේරුමකට නැති සම්ප්‍රදායයක් නිසා?
 
"ඒක වැරදියි කියල මම හැම වෙලාවෙම දැනගෙන හිටිය, ඒත් ඒක අනිත් අයට ඒත්තු ගන්වන්න, වාදකරන්න මට හරියට කරුණු තිබුණේ නෑ. අනික මගේ මහත්තය විතරක් නෙවෙයි, එයාගේ අම්ම, තාත්ත වගේම මගේ පවුලේ අයටත් මේක පහදලා දෙන්න මට සිද්ධ වුණා. හැම පවුලකම කාන්තාවන්ගේ යෝනි සුන්නත් කරලා තිබුණ. එයාල හිතන්නේ ඒක හරි වැඩක් කියල. ඉතින් 'ලෝකේ වෙනස් කරන්න උඹ කවුද?' කියල වගේ ආකල්පයකින් තමා එයාල මා දිහා බැලුවේ."
 
ඇය සිය සැමියාට අවසන් අනතුරු ඇඟවීමක් කළාය. එක්කෝ ඔහු ඉතිරි දියණියන්ගේ යෝනි සුන්නත් කිරීමේ සැලසුම් අත්හැරිය යුතුය; නැතිනම් දික්කසාදයට එකඟවිය යුතුය.
 
"අපිට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ නිසා එයාට ගෙදර දාල යන්න ඕනේ වුණේ නෑ," ලයිලා පවසයි.
 
"ඒත් මට තාමත් ලොකු දුව ගැන දුකයි. එයාට හුඟක් ලේ ගියා. මට එයා බේරගන්න බැරිවුණා. ඒක කරපු වෙලාවේ මට එයා ළඟ ඉන්නවත් බැරිවුණා."
 
 
 
ශරීෆාගේ කතාව: "යෝනි සුන්නතෙන් පස්සේ මට ලේ ගිහින් මාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා"
 
58 da51 4ce4 9212 42ef235675a9
JILLA DASTMALCHI
 
 
ඇයට යෝනි සුන්නත කළ යුතු බවට පියා තීරණය කරන විට ශරීෆා (සැබෑ නම නොවේ) දස හැවිරිදි වියේ පමණ පසු වූවාය.
 
"මට ඒක කරනවට අම්ම විරුද්ධ වුණා. ඒ නිසා තාත්ත, අම්මට හොරෙන් මාව දොස්තර කෙනෙක් ළඟට අරගෙන ගියා. තාත්තට ඕන වෙලා තිබුණේ එයා තමයි ගෙදර බොස් කියල එයාට අම්මටයි, නංගිලටයි පෙන්නන්න."
 
වෛද්‍යවරයා තමන්ට කිසියම් නිර්වින්දන ඖෂධයක් භාවිත කරන ලද බව ශරීෆා විශ්වාස කරන්නීය. බීබීසී සමඟ කතා කළ කාන්තාවන් පැවසූ පරිදි මේ චාරිත්‍රයේදී බොහෝවිට එවැන්නක් සිදු නොවේ.
 
"මම හොඳටම ඇඬුව. තාත්ත මට මෙහෙම කරන්නේ ඇයි කියල මට තේරුණේ නෑ. ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියල මට තේරුණේත් නෑ ඒත් දොස්තර ඉස්සරහ මගේ ඇඳුම ගලවල රහසඟ පෙන්නන්න වුණාම මට හරිම අසීරුවක් දැනුණ.
 
"දොස්තර ආය කටුවක් වගේ දෙයකින් ඇන්න වගේ මට මතකයි. මට දැනුණේ හරියට එතන කඩියෙක් කෑව වගේ. ඒත් මගෙන් ලේ ගලන්න ගත්තම එයාල බයවෙලා ඉක්මනට මාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා," ශරීෆා සිහිපත් කරයි. "මට නපුරක් වෙයි කියල තාත්ත බයවෙලා අම්මට කිවුව."
 
"අම්ම හදවත් රෝගියෙක්. අනික එයාට අධි රුධිර පීඩනය තියෙනව. මට වෙච්ච දේ ආරංචි වුණ ගමන්ම එයා කලන්තේ දාල වැටිලා," ඇය සිහිපත් කරයි. 
 
"ඒ පාර අම්මත් මම හිටපු හොස්පිට්ල් එකටම ඇඩ්මිට් කළා. ටික දවසකින් අම්ම හොස්පිට්ල් එකේදි නැතිවුණා. දැන් මම ඉන්නේ අම්මගේ අම්මත් එක්ක."
 
ශරීෆා ගේ මව මියයාමෙන් පසුව පියා යළිත් විවාහ විය.
 
"තාත්ත මට සල්ලි එවනවා. මටයි, අම්මටයි වෙච්ච දේ නිසා මම නීතිය ඉගෙනගන්න පටන් ගත්තා."
 
සිය මිතුරියන් ද සමඟ ශරීෆා, නීතිවේදී රේඩා එල්ඩන්බවුකි ඇතුළු කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන යෝනි සුන්නත පිළිබඳ වැඩමුළුවලට ද සහභාගි වූවාය.
 
"මට ඕන යෝනි සුන්නතට විරුද්ධව ජනතාව දැනුවත් කිරීම ගැන විශේෂයෙන් හදාරන්න," ශරීෆා බීබීසී සමඟ කියා සිටියාය.
 
මේ අතර නීතිවේදී එල්ඩන්බවුකි පවසන්නේ තවත් බොහෝ දේ කළ යුතුව තිබෙන බවය.
 
2013 වසරේදී, දහ තුන් හැවිරිදි දැරියකගේ යෝනි සුන්නත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු බන්ධනාගාරගත කරනු ලැබිණ. නඩු විභාගය අතරවාරයේ දැරියගේ මව සහ යෝනි සුන්නත් කළ වෛද්‍යවරයා නීතිවේදියාට හමුවිය.
 
"මිනිස්සු ඒ දොස්තර විශ්වාස කරනවා. එයා ඔය සැත්කම කරන්නේ ඩොලර් දෙකකට. එයා කියන්නේ තමන් ඒක කරන්නේ දෙවියන් වහන්සේ සතුටු කරන්න කියල," රේඩා එල්ඩන්බවුකි පවසයි.
 
"දොස්තර කියන්නේ එතන කිසිම අපරාධයක් නෑ කියල. ඒ දැරිවිගේ කකුල් අතරේ අසාමාන්‍ය වර්ධනයක් තිබුණ නිසා ප්ලාස්ටික් සැත්කමක් කළා මිසක් යෝනි සුන්නතක් කළේ නෑ කියල එයා කියනවා."
 
නීතිවේදියා පවසන්නේ, සැත්කම හේතුවෙන් දැරිය මියගිය පසුව ද, තමන් කිසිදු වරදක් නොකළැයි දැරියගේ අම්මා පවසන බවය.
 
"අපි අම්ම ළඟට ගිහින් ඇහුව: 'ඔයාගේ දුව තවමත් ජීවත්වෙලා හිටිය නම් ඔයා එයාට යෝනි සුන්නත කරනවද?' කියල. 'ඔව්, යෝනි සුන්නත් කළාම එයා කසාද බඳින්න සුදුසුයි,' කියල අම්ම උත්තර දුන්න."
 
 
ජමිලාගේ කතාව: "යෝනි සුන්නත් කළාට පස්සේ මම වින්නඹු අම්ම දැක්කම හැංගෙනව. එයා ආයෙත් මට එහෙම කරාවි කියල හිතෙනවා"
 
cbbf3 6506 47c1 a9bf 900e484346a1
JILLA DASTMALCHI
 
 
39 හැවිරිදි ජමිලාගේ (ඇගේ සැබෑ නම නොවේ) යෝනි සුන්නත් කරනු ලැබුවේ ඇය 9 හැවිරිදි වියේදීය.
 
"ඒ ග්‍රීෂ්ම නිවාඩුව කාලේ. අම්ම වයසක වින්නඹු අම්ම කෙනෙකුයි, අහල පහළ කාන්තාවන් දෙන්නෙකුයි ගෙනල්ල, සේරම ලෑස්ති කරලා ඒගොල්ල එක්ක මාව කාමරේකට දැම්ම," ජමිලා සිහිපත් කරයි.
 
"මම ඇතුළට ගියාම, එයාල මගේ කොට කලිසම ගලවල, දෙපැත්තට වෙලා මගේ කකුල් දෙක තද කරලා අල්ලගත්ත. ඊට පස්සේ වින්නඹු අම්ම බ්ලේඩ් එකකින් මගේ රහසඟ කෑල්ලක් කපල දැම්ම," ඇය පවසයි.
 
 "ඒක බලාගෙන ඉන්න බයයි කියල අම්ම එතනට ආවේ නෑ."
 
අසීමිත වේදනාව සහ එමගින් ඇතිකරන ලද මානසික තුවාලය මතු නොව, එදින සිට තමන් සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙකු වූ බව ද ජමිලා පවසන්නීය.
 
ඇය පවසන්නේ, ඉතා නිර්භීත, කතාබහට ලැදි, දක්ෂ දැරියක වූ තමා එවක් පටන් වැඩිහිටි කාන්තාවන්ගෙන් සැඟවී සිටීමට උත්සහ කරන, නිරන්තර බියකින් පෙළෙන දැරියක බවට පරිවර්තනය වූ බවය.
 
"අවාසනාවට, මම ඉස්කෝලේ යද්දී මට ඒ වින්නඹු අම්ම මුණගැහෙනවා. ඒත් එදායින් පස්සේ, එයාව මඟහරින්න මම වෙන පාරකින් ඉස්කෝලේ යන්න පටන් ගත්තා. එයා ආයෙත් සැරයක් මට ඒක කරාවි කියල මට බය හිතුණ."
 
සිය සැමියා සමඟ ලිංගිකව එක්වන විට ජමිලාට තවමත් වේදනාවක් හටගනී.
 
"ජීවිතේ කියන්නේ කොහොමත් ප්‍රශ්න ගොඩක්, ඒ මදිවට දැන් සෙක්ස් කරන එකත් ප්‍රශ්නයක්. අඩු ගානේ සෙක්ස් කරන එකෙන් මට සතුටක් ලැබුණ නම්, ඒකෙන්වත් ස්ට්‍රෙස් එක අඩුවෙන්න තිබුණා. ඒත් දැන් ඒකත් ප්‍රශ්න ගොඩට එකතු වෙලා."
 
තමන් විඳි වේදනාව සිය දියණියට අත්කර නොදීමට ජමිලා අදිටන් කරගෙන සිටින්නීය. 
 
නීති ආධාර මධ්‍යස්ථානය දියත්කරන වැඩසටහන්වලට සහභාගිවීමෙන් අනතුරුව, ඇය සිය නිවසේ එවැනි වැඩසටහන් පවත්වන මෙන් රේඩා එල්ඩන්බවුකිට ආරාධනා කළාය.
 
"මම හිතන්නේ මට මගේ දුව බේරගන්න පුළුවන් වුණේ එයා නිසා. මගේ මහත්තයත් ඒ වැඩසටහන්වලට ආව විතරක් නෙවෙයි, එයාගේ පවුලේ අනිත් අයත් තමන්ගේ දරුවන්ට ඔය වැඩේ කරන එක නැවැත්තුවා."
 
කාන්තාවන් දැඩි පීඩාවට පත්කරන මේ චාරිත්‍රයට එරෙහිව වැඩසටහන් දියත්කරද්දී රේඩා ඇතුළු පිරිසට නිරන්තරයෙන් බාධා සහ හිරිහැරවලට මුහුණදීමට සිදුවේ.
 
"දවසක් අපි වැඩසටහනක් කරද්දී මිනිහෙක් මගේ ළඟට ඇවිත් 'උඹ අපේ කෙල්ලෝ ඇමෙරිකාවේ වගේ ගණිකාවෝ කරන්න හදනවද?' කියල අහල මූණට කෙළ ගැහුවා," නීතිවේදී රේඩා පැවසීය.
 
එහෙත් ජමිලා පවසන පරිදි තත්ත්වය වෙනස්වෙමින් පවතී.
 
"තමන්ගේ දූලට මේ දේ කරන පිරිස ටික ටික අඩුවෙනවා මට පේනවා. 9 පන්තියේ ඉගෙනගන්න මගේ දූට මම මේ සේරම කියල දෙනවා. ඒ විතරක් නෙවෙයි යෝනි සුන්නත ගැන ඉස්කෝලේ රචනා ලියන්න කියල මම දුව උනන්දු කරනවා."
 
අම්මා බීබීසී සමඟ කතාකරන විට ජමිලාගේ දියණිය ද ඒ අසලට වී සවන් දී සිටියාය.
 
යුනිසෙෆ් සංවිධානය පවසන පරිදි වයස 15 ත් 49 ත් අතර ඊජිප්තු කාන්තාවන්ගෙන් 87% ක්ම ලිංගඡේදනයට ලක්කරනු ලැබ තිබේ. එය "ආගමික අවශ්‍යතාවක්" බව රටවැසියන්ගෙන් 50% ක්ම තවමත් විශ්වාස කරති.
 
 
බීබීසී අරාබි භාෂා සේවයේ රීම් ෆතෙල්බාබ් (Reem Fatthelbab) මේ ලිපිය සකස් කිරීමට සහය වූවාය. සිතුවම් නිර්මාණය ජිලා දස්මල්චි (Jilla Dastmalchi) විසිනි.
 
 
(සරෝජ් පතිරණ -BBC ලෝක සේවය)

 

 


 

THE LEADER TV

 

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව!

 

දොලවත්ත කියන්නේ වහ කන කතාවක්නේ 'ස'

 

subscribeYT

subscribeYT

නවතම පුවත්