සතියකට පමණ පෙර ඇමෙරිකානු මිත්‍ර සංගමයක් හැදීමට තරුණ “රැඩිකල්” මාධ්‍යවේදියකු ෆේස් බුක් මගින් යෝජනා කර තිබුණි. 

 
පැයක් හමාරක් ඇතුළත සැළකිය යුතු පිරිසක් එයට සුභ පතා ආ වඩා තිබිණ. 
 
ඇතැමුන් එය මාධ්‍යවේදීන්ට පමණක් සීමා නොකරණ මෙන්ද ඉල්ලා තිබිණ. 
 
දින කිහිපයකට පසු “ශ්‍රී ලංකා ඇමෙරිකානු මාධ්‍යවේදී මිත්‍ර සංගමය” පිහිටුවීමට සියල්ල සූදානම් යැයි ඔහු සටහනක් තබා තිබිණ.
 
ඒ සම්බන්ධයෙන් මගේ ප්‍රතිචාරය මම නොපමාව ඉතාම කෙටියෙන් එහි තැබුවේ එය මාධ්‍යවේදීන්ට නුසුදුසු යැයි කීමටය. මේ ඒ ගැන තැබෙන යම් පැහැදිලි කිරීමකි.
 
 
 
මේ හදිස්සියේ ඇමෙරිකානු මිත්‍ර සංගමයක් ඇයි?
 
Port city China චීනයට අවශ්‍ය පරිද්දෙන් පනත කෙටුම්පත් කිරීමටද චීනය හවුල්වී ඇතැයි කීම දක්වාම තත්ත්වය දුර ගොසින් ඇත.
 
ඒ ප්‍රශ්නයට ඇත්තේ භූ-දේශපාලනික පසුබිමකි. “කොළඹ වරාය නගරය කොමිසම් සභා පනත” ගැසට්කර පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සඳහා සිංහල-දෙමළ අළුත් අවුරුද්ද ඔන්න මෙන්න කියා සභා සම්පත කෙරුණු පසු එහි නෛතික තත්ත්වය සහ ව්‍යවස්ථානූකූල බව පිරික්සීමේ පෙත්සම් දුසිම් එකහමාරක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කෙරුණි. 
 
කොළඹ වරාය නගරයෙහි ඇති “චීන සාධකය” ඒ සමග වඩාත් වැඩියෙන් කතා බහට ලක්ව ඇත. චීනයට අවශ්‍ය පරිද්දෙන් පනත කෙටුම්පත් කිරීමටද චීනය හවුල්වී ඇතැයි කීම දක්වාම එය දුර ගොසින් ඇත.
 
US ambassadorඒ සම්බන්ධයෙන් තමන්ගේ දේශපාලනය ඉදිරිපත් කිරීමට ඇමෙරිකානු රාජ්‍යයද කොළඹ ඉන්නා සිය තානාපතිනිය ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය මගින් ඉදිරිපත් විය. 
 
වරාය නගරය සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන ඔස්සේ ඇති විය හැකි අනපේක්ෂිත අනිසි ආර්ථික බලපෑම් සම්බන්ධව ශ්‍රී ලංකාණ්ඩුව ඉතා ප්‍රවේසමෙන් සළකා බැලිය යුතු යැයි ඇය අන්තර්ජාලය ඔස්සේ මාධ්‍යවේදීන් අමතමින් කීවාය. 
 
ඒ හැමකක් සමග විශේෂයෙන් කොළඹ සමාජයේ චීනය සම්බන්ධව ප්‍රශ්න කිරීම් පටන් ගෙන ඇත. ඒවායේ ආණ්ඩු විරෝධයට එහා යන යම් පමණක චීන විරෝධයක්ද ඇත.
 
 
මේ ආරවුලේ අනෙක් කෙළවර ඉන්නා බලසම්පන්නයා ඇමෙරිකාව වන හෙයින් එය හා ගනුදෙනු කිරීමට විවිධ කණ්ඩායම් හා විවිධ තරාතිරමේ පුද්ගලයින් ඉදිරිපත්වීම සාමාන්‍ය දෙයකි. 
   
මේ මොහොතේ චීන විරෝධී මුහුණුවරක් ඇතිව කෙරෙන ඇමෙරිකානු ගනුදෙනු මගින් යම් වාසි වරදාන ලබා ගත හැකි යැයි වන ගණන් හැදීම ඊට හේතුවය. 
 
එවගේම මේ මොහොතේ නාගරික සමාජයේ නලියන චීන විරෝධය සමග ඇමෙරිකානු සම්බන්ධකම් ලාංකීය සමාජයේ යම් ආකාරයකට රටාගත කරගත හැකි යැයි ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින්ද ගණන් බැලීම එළෙසින්ම විය යුත්තකි.
 
එවැනි ආසන්න අවකාශයයක් තුල මාධ්‍යවේදීන්ගේ ඇමෙරිකානු මිත්‍ර සංගම් යෝජනාව රැඩිකල් තරුණ යෝජනාවක් විය හැකිවා සේම, ඇමෙරිකානු තානාපති ක්ෂේත්‍රයේ ඇරයුමක් වන්නටද ඉඩ ඇත. 
 
ඒ දෙපාර්ශවයේම වුවමනාවන් එක තැනකට ගොනු වූ මොහොතක්ද විය හැකි “මිත්‍ර සංගම්” යෝජනාව එනමුත් මේ රටට අළුත් සංකල්පයක් නොවේ.
 
 
 
ජනප්‍රිය මිත්‍ර සංගම් ඉතිහාසය යන්තමින් මතක් කර ගැනීම:
 
විදේශ රටවල් සමග වන මිත්‍ර සංගම් අපේ රටේ ජනප්‍රියව පැවතියේ 50 දසකයේ අවසන් භාගයේ පමණ සිට 80 දසකයේ ආරම්භය තෙක් අඩු වැඩි වශයෙන් දසක දෙකක පමණ කාලයක් පමණි. 
 
ඒ කාලය අපේ රට පමණක් නොව, ලොව බොහෝ රටවල් “ජාතික රාජ්‍ය” ලෙස ලොවට විවෘත වීමේ යම් සීමා තහංචි සමගින් පැවතුනු කාලයකි. රටවල් අතර ගනුදෙනු බොහෝ සෙයින් රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු වූ අතර, සාමාන්‍ය පුරවැසියන්ට විදේශ ගනුදෙනු එතරම් අදාල නොවුනි.  
  mao shanmugathasan
Com. Shan visit Mao during the GPCR
 
  
අතීතයේ, විශේෂයෙන් 60 - 70 දසකවල කාර්ය බහුල, ජනප්‍රිය මිත්‍ර සංගම් වූයේ කොමියුනිස්ට් පක්ෂය මැදිහත්ව පිහිටවූ සෝවියට් කලාපයේ මිත්‍ර සංගම් විය. (චීන මිත්‍ර සංගමය ශන්මුගදාසන්ගේ චීන කො.පය සමග විය) 
 
ඒවාට ඉල්ලුමක් ලැබුණු හේතු හැදුනේ අපේ සමාජ ආර්ථික වර්ධනයේ තිබූ සීමා නිසා ය. 
 
අපේ විශ්ව විද්‍යාල ප්‍රවේශය අතිශය සීමා සහිත වූවකි. බොහෝ දෙනෙකුට එබැවින් උසස් අධ්‍යාපන අවස්ථා අහිමි විය. උසස් අධ්‍යාපනය සඳහා වඩා පහසුවෙන් යා හැකි වූයේ සෝවියට් කලාපයේ විශ්ව විද්‍යාල හා තාක්ෂණ විද්‍යාල වලට ය. 
 
එහෙත් ඒ කොමියුනිස්ට් පක්ෂ හරහා ය. මිත්‍ර සංගම් අවශ්‍ය වූයේ ඒ සඳහාය. 
 
එය එක්තරා ආකාරයකට කොමියුනිස්ට් පක්ෂ සඳහා අපගේ වැනි රටවල ඉල්ලුමක් හැදීමේ උපක්‍රමයක් විය. 
 
රෝහණ විජේවීරගේ සිට සෝවියට් රුසියාවේ උසස් අධ්‍යාපනයට ගිය සියලු දරුවන්ගේ දෙමාපියන්ට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග කුමන හෝ සම්බන්ධයක් තිබුණේ එනිසාවෙනි.
 
wijeweera
 
එවගේම සංස්කෘතික කලා කටයුතු සඳහාද විවිධ කෙටි කාලීන පාඨමාලා සඳහා මෙන්ම උත්සව සඳහාද ආරාධනා තිබිණ. 
 
මේවා සියල්ල සම්බන්ධීකරණය වූයේ විවිධ මිත්‍ර සංගම් මගින් ය. 
 
ශ්‍රී ලංකා සෝවියට් මිත්‍ර සංගමයට අමතරව, ශ්‍රී ලංකා සෝවියට් කලා සංගමය, ශ්‍රී ලංකා නැගෙනහිර ජර්මානු සංස්කෘතික සංගමය, චෙකොස්ලෝවෙකියානු මිත්‍ර සංගමය, ශ්‍රී ලංකා යුගොස්ලාව් ලේඛක සංගමය වැනි සෝවියට් දේශය ඇතුළු නැගෙනහිර කලාපයේ රටවල් සියල්ලෙහි මිත්‍ර සංගම් පැවතියේ කොමියුනිස්ට් පක්ෂයේ තනි ආධිපත්‍ය යටතේ ය. 
 
මේවාට ඒ කාලයේ ලොකු ආකර්ශනයක් පැවතියේ ආණ්ඩුවටවත් එවැනි විදේශ ශිෂ්‍යත්ව, වැඩසටහන්, වැඩමුළු හා සංචාර නොලැබුණු හෙයිනි.
 
මිත්‍ර සංගම් භාවිත වූයේ සීමිත වූවත් ප්‍රචාරකවාදී කාර්යන් වෙනුවෙනි. අපගේ වැනි රටවල සෝවියට් දේශපාලනයේ විශිෂ්ටත්වය හා ඒ රටවල දියුණුව හුවා දැක්වීමටය. කොමියුනිස්ට් පක්ෂයට ඒ මත සමාජ පදනම් හදා ගැනීමට ය. 
  
එහෙත් එවැනි වරප්‍රසාද වරදාන සමග දීර්ග කාලීන මතවාදීමය පදනම් තහවුරු කළ නොහැකි බැව් 70 දසකය අවසන් වනවිට පසක්ව තිබිණ. 
 
දේශීය ආර්ථික ගෝලීය වෙළඳපල හා ගැට ගැසෙන විට, මැදිපංතිකයින්ට ඒවා මුදලට ගැනීමට හැකි අවස්ථා වෙළඳපලෙහි හමුවන විට, මිත්‍ර සංගම්වල කොටුවීමේ අවශ්‍යතාවක් නොපෙණුනි.  
 
 
 
මෑත කාලයේ ආධාර, වරදාන සතු අලුත් කාර්ය:
 
ආයෝජන හා නිෂ්පාදන ක්‍රියාවලිය සංවිධානය වී ඇත්තේ ජාතික රාජ්‍යයන්හි දේශ සීමා නොතකමින් වූවත් ලාභ බෙදීම එළෙස නොවේ. 
 
ලාභය උපරිම කර ගැනීමේ තරගයේදී ලෝක ආර්ථිකයේ වැඩි පංගුව වෙනුවෙන් භූ-දේශපාලන බලය තමන් අත රඳවා ගැනීමේ බල අරගලයක් ඇත. 
 
ඒ වෙනුවෙන් ආර්ථික හයියක් ඇති හැම රටක්ම වාගේ තමන්ගේ භූ-දේශපාලන කක්ෂයට ආසන්න හෝ එයට හසුවන රටවල විදේශ කටයුතු ගැන ඉතා විමසිල්ලෙන් සිටිති. එය ඒ රටවල තොරතුරු සෙවිල්ලේ සිට එයට බලපෑම් කිරීම දක්වාම වර්ධනය වී තිබෙන්නකි.
 
මේ මැදිහත්වීම් වලදී රාජ්‍යයන් අතර ද්වී පාර්ශවීය එකඟතා හා ගිවිසුම් වල සිට කොන්දේසි ඇතිව හෝ නැතිව හෝ විදේශ ණය හා ආධාර දීම්ද, රාජ්‍ය ආයතන නිලධාරීන් පුහුණු කිරීම්ද, රාජ්‍ය නොවන සිවිල් සමාජ සංවිධාන වෙනුවෙන් ව්‍යාපෘති ආධාර ලබා දීමද සිදු වන්නේය. 
 
ඇතැම් එවැනි ණය හා ආධාර යටිතල පහසුකම් දියුණු කිරීම වැනි මහ පරිමාන ව්‍යාපෘති වෙනුවෙන් ආණ්ඩුවට දෙනු ලබන අතර, රාජ්‍ය නිලධාරීන් සඳහා විදේශ පුහුණු කිරීම් සඳහාද ලබා දෙනු ලැබේ. 
 
එවැනි විට ඇතැම් නිලධාරීන් නැවත එන්නේ තවත් එවැනිම විදේශ පුහුණුවීම් පිළබඳව ලබා ගත් පොරොන්දු ඇතිවය. 
 
එවගේම සිවිල් සමාජ සංවිධාන වලද ඔවුන් විශේෂ සැළකිලි සමග එවැනි විශ්වාසවන්ත සම්බන්ධතා හදාගෙන ඇත. සිවිල් සමාජ හරහා බොහෝවිට බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් අපේ රටවල බිම් මට්ටමේ සමාජය කියවා ගැනීමය. 
 
මේ දිගු කතාව ඉතාම කෙටියෙන් මෙහි තබන්නට ඇමරිකාව උදාහරණයක් ලෙස ගන්නට සිතුවෙමි.
 
MCC මැතිවරණයෙන් පත්වන ආණ්ඩුව ඇමෙරිකාව සමග “එම්.සී.සී” ගිවිසුම අත්සන් කරනු ඇතැයි මහත් ආන්දෝලනයක් පැවතියේය.
 
  
මැතිවරණයෙන් පත්වන ආණ්ඩුව ඇමෙරිකාව සමග “එම්.සී.සී” ගිවිසුම අත්සන් කරනු ඇතැයි මහත් ආන්දෝලනයක් පැවති 2019 වසර අග ඒ සම්බන්ධව මා ලියූ පොත් පිංචෙහි බලවත් රටවල ආධාර දීම් ගැන මෙවැනි සටහනක් මම තැබීමි. 
 
“බොහෝ දියුණු රටවල එවැනි කාර්යන් සඳහා විශේෂ වගකීම් පවරනු ලැබූ රාජ්‍ය ආයතන පිහිටුවා ඇත. නෝර්වේජයානු “නොරාඩ්” ආයතනයද, ජර්මානු “ජී.අයි.ඉසෙඩ්” (දසකයකට පෙර ජී.ටී.ඉසෙඩ්) , ජපානයේ “ජයිකා” (JAICA), දකුණු කොරියාවේ “කොයිකා” (KOIKA) සහ ඇමෙරිකාවේ “යූඑස්ඒඩ්” ආයතන එවැනි ය. එවැනි ආයතන හරහා ආධාර ලබා දීමේදී ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාද ඊට ගැට ගැසෙන බැව් නොරහසකි.” (ඇමෙරිකානු සහශ්‍ර අභියෝගතා ප්‍රදානය සහ ලාංකීය සංවර්ධනයේ අවුල)
 
ඇමෙරිකානු ආධාර පිළිබඳව ඇත්තේ එවැනි මැදිහත්වීම් සම්බන්ධයෙන්වන කතා නොවන රහස් ය. 
 
ඒ කතා නොවන රහස් ගැන ඉහතින් සඳහන් මගේ පොත් පිංචෙහි තවත් උපුටනයක් මෙවැනි ය.
 
 
“ඇමෙරිකානු ආණ්ඩු විසින් ඔවුන්ගේ වාසියට භූ-දේශපාලනය සකසා ගැනීම වෙනුවෙන් 1947 සිට 2000 දක්වා ශ්‍රී ලංකාවද ඇතුළත් රටවල් 45 ක මැතිවරණ 81 ට සී.අයි.ඒ ආයතනය ඔස්සේ විවිධාකාරයෙන් මැදිහත්ව ඇතැයි කානගි-මෙලන් විශ්ව විද්‍යාලයයේ දේශපාලන හා උපාමාර්ගික ආයතනයේ මහාචාර්ය ඩව් ලෙවින් ගේ පර්යේෂණ වාර්තා හෙළිකර ඇත. ඔහුට අනුව, ඇතැම් අවස්ථාවන්හි ඔවුන්ගේ මැතිවරණ තේරීම වෙනුවෙන් ඇමෙරිකාව මුදල් පවා පොම්පකර ඇත........ වසර 2000 න් පසු මැතිවරණ පිළිබඳවද තොරතුරු හා දත්ත එක්රැස් කරන ලෙවින්ට අනුව ඔබාමා පාලන කාලයේ 2009 දී ලෙබනන් හා ඇෆ්ගනිස්ථාන මැතිවරණ වලටද 2013 කෙන්යාවේ මැතිවරණයටද ඇමෙරිකාව අත පොවා ඇත. ශ්‍රී ලංකාවේ 2015 ජනවාරි ජනාධිපති මැතිවරණය ගැන ඔහු පවසා ඇත්තේ ඒ ගැන පැහැදිලි පිළිතුරක් දීමට තව ටික කලක් ගත විය හැකිය යනුවෙනි.” (U.S. interfered in 4 elections in Sri Lanka to help the UNP, says American professor)
 
එවැනි මැදිහත්වීම් සඳහා ඒ හැම රටකම හිතවත් විශ්වාසවන්ත සම්බන්ධකම් ගොඩනගා ගත යුතව තිබිණ. ඒවා මුදලට සහ වරදාන වරප්‍රසාද හරහා වගා කර ගන්නා සම්බන්ධකම් වන්නේය. 
 
අදාල පුද්ගලයාගේ විදේශ බැංකු ගිණුම්වල සිට බිරිඳගේ විදේශ සාප්පු සවාරි සහ දරුවන්ට විදේශ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යත්ව දක්වා බොහෝ දේ ඊට ඇතුළත්ය. විශේෂයෙන් විවිධ රාජ්‍ය සේවාවන්හි තෝරාගත් ඉහළ පෙළ නිලධාරීන් සඳහා එවැනි වාසි වරදාන ඇත.
 
 
 
ස්වාධීන මාධ්‍යවේදීන්ගේ පක්ෂපාතී “මිත්‍ර සංගම්”
 
වර්තමානයේ “රාජ්‍ය නොවන සංවිධාන” යොදා ගනු ලබන්නේ ඊට වෙනස් ආකාරයකිනි. විශේෂයෙන් බටහිර බලවතුන් රාජ්‍ය නොවන සංවිධාන යොදා ගන්නේ එක අතකින් ග්‍රාමීය සමාජයේ ප්‍රජාව අතර ඔවුන්ගේ යහපත් බව කියා පාන්නටත් ඒ ප්‍රජාවගේ සිතුම් පැතුම් පිළිබඳ ආසන්න අවබෝධයක් ලබා ගැනීමටත් ය. 
 
ඊට වෙනස්ව ප්‍රධාන නගරවල රාජ්‍ය නොවන සංවිධාන නඩත්තු කෙරෙන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට ගැලපෙන අයුරු සමාජ මත හැදීමටත් දේශපාලන බලපෑම් කිරීමටත් ය. 
 
අපේ රටේ එය ඉතා විවෘතව දැකිය හැකි වූයේ කොළඹ ක්‍රියාත්මක වූ විශේෂයෙන් 2013 - 2015 වසර කිහිපයේ රාජ්‍ය නොවන සංවිධානවල දේශපාලන ස්ථාවර හා ක්‍රියාකාරිත්වය සමගින් ය.
 Media 
ජනමාධ්‍යයන්හි මාධ්‍යවේදීන්ගේ වැදගත්කම ඊට වෙනස් ය. අපේ රටේ පසුගිය මැතිවරණ කිහිපයේම ඡන්ද හැසිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය සැළකිය යුතු බලපෑමක් කළේ යැයි සාකච්ඡා වන්නේය. එයින් විද්‍යුත් හා සමාජ මාධ්‍ය ජාල විශේෂ වන්නේ යැයිද මතයක් ඇත. 
 
 
ඒ සමග පසුගිය දසකයකට වැඩි කාලයක සිට, රටක් හැටියට අප කොටු වෙමින් ඇති භූ-දේශපාලන ආරවුලෙහි ජනමාධ්‍යයද වැදගත් සාධකයක් බවට පත්ව ඇත. 
 
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් මේ භූ-දේශපාලන කඹ ඇදිල්ලෙහි තොරතුරු ගවේශනය කිරීමේ නිරතවන බවක්ද දැකිය හැක. 
 
ඔවුන් අතුරින් ඇතැම් තරුණ මාධ්‍යවේදීන් එවැනි තොරතුරු හා ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලාවලට උපුටා ගැනීම දැන් ජනප්‍රිය වෙමින් තිබෙන්නකි. 
 
මේ පසුබිමෙහි එවැනි තොරතුරු සහිත අනාවරණය කිරීම් සම්බන්ධයෙන් දේශපාලන බලවතුන් තම වාසිය සහතික කර ගැනීමට උනන්දුවන බවද වැඩි වැඩියෙන් දැකිය හැකිය.
 
පසුගිය දසක කිහිපයේ මහ බලවතුන් ජනමාධ්‍ය වෙත වැඩි අවධානයක් යොමු කිරීම රීතියක් බවට පත්ව තිබෙන්නකි. 
 
ඒ සමග වැඩි ගෝසාවකින් තොරව චීනය විශේෂයෙන් ආසියානු කලාපයේ රටවල තරුණ මාධ්‍යවේදීන් සඳහා විවිධ පුහුණුවීම් සංවිධානය කරමින් ඇත. ඇතැම්වා හය මසක සිට අවුරුද්දක කාලයක් පමණ වන වැඩ සටහන්ය. එවැනි වැඩසටහන් මාධ්‍ය පුහුණුවීම් වලට වඩා චීනයේ සෞභාග්‍ය, සොබා සෞන්දර්ය, ශ්‍රේෂ්ට අතීත උරුමය කියා දීමට සංවිධානය කෙරෙන සංචාරයන්ය.  
  
එවැනිම නොවුනත් යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමහරක්ද ඉඳහිට දේශීය හා විදේශීය මාධ්‍ය වැඩමුළු, කෙටි විදේශ සංචාර වැනි දේ මාධ්‍යවේදීන්ට ලබා දෙති. ඒ හැමකින්ම නොදැනීම මෙන් සිදුවන එක් දෙයක් වන්නේ ඒ රටවල සමීප හිතවතුන් කෙනෙකු දෙන්නෙකු මාධ්‍යයන්හි නඩත්තු වීමය.
 
“මිත්‍ර සංගම්” යැයි කියූවට මාධ්‍යවේදියැයි කියූවට ඒවායේ අදාල විදේශ රටෙහි මාධ්‍යවේදියෙකු තබා වෙනත් කිසිවකු හෝ ඇත්තේ නැත. 
 
“මිත්‍ර” යැයි කියනු ලබන්නේ ඒ අදාල රටෙහි තානාපති කාර්යාලයේ නිලධාරීන් හා ඇති සම්බන්ධය සඳහා පමණි. 
 
එමගින් සිදුවන්නේ එවැනි සම්බන්ධකම් නඩත්තු කිරීමේ අයිතිය සඳහා සංවිධානයේ පුරෝගාමීන් විසින් ඒකාධිකාරයක් හදා ගැනීමය. 
 
මේ මිත්‍ර සංගම් විවෘත සාමාජිකත්වයක් සමගින් ආරම්භ කෙරුණාට සම්මතයක් ලෙස වැඩි කලක් නොගොසින් පුරෝගාමීන් කිහිප දෙනාගේ බූදලය බවට පත්වන්නේය. 
 
එය අනුග්‍රාහක රටවල බලාධිකාරීන්ට ප්‍රශ්නයක් නොවන්නකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ විශාල සාමාජිකත්වයක් වෙනුවෙන් සුභසාධන සංවිධාන නඩත්තු කරන්නට නොවේ. 
 
මිත්‍ර සංගම් ලෙස ඔවුන්ට ඇත්තටම අවශ්‍ය වන්නේ තොරතුරු සම්පාදක සම්බන්ධකමක් ආවරණය කරගැනීමේ ලේබලයක් පමණි. තොරතුරු ලබා ගැනීමටත් ඔවුන් වෙනත් ආකාර වලින් ලබා ගන්නා තොරතුරු යළි පිරික්සා බැලීමටත් ඔවුන්ගේ රටට අවාසි සහගත මාධ්‍ය ආවරණ වළකා ගැනීමටත් හැකි විශ්වාසදායි පුද්ගල සම්බන්ධකම් පමණි.
  
එබැවින් විදේශ රට කුමක් වූවත් ඇත්ත ප්‍රශ්නය මතු වන්නේ එවැනි සංගම් කර ගසා ගන්නා මාධ්‍යවේදීන්ගේ ස්වාධීනත්වය කවරක්ද යන්නය. තවත් ආකාරයකින් අසන්නේ නම්, එවැනි මාධ්‍යවේදීන් ස්වාධීන මාධ්‍යවේදීන් යැයි පිළිගත හැකිද යන්නය. 
 
තවත් ආකාරයකින් ඒ ප්‍රශ්නයම මතු කරන්නේ නම්, මාධ්‍යවේදීන්ට එවැනි පක්ෂපාති සංවිධාන කෙතරම් කැප ද යනුය. 
 
ඒ කවර ප්‍රශ්නයකට වුව ඇත්තේ එකම පිළිතුරකි. එවැනි ඕනෑම ගනුදෙනුවක දෙපැත්තේම ඇත්තේ අවස්ථාවාදය පමණය.  
 
 
Kusal Perera(කුසල් පෙරේරා)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2021 අප්‍රේල් 23 වන දින

 

 

 


 

THE LEADER TV 
 
 

port cityයට වෙනම නීතියක් මොකට ද? -ධනනාත් ප්‍රනාන්දු

 

රුපියල උස්ස උස්සා පොළවේ ගහන ආණ්ඩුවේ ජෝන් සීනා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්