1200 x 80 DMirror
 
 

ගිය සතියේ අනිද්දා පත්‍රයේ පළවූ යහපාලනය තවමත් ජීවමානය නම් ලිපිය අවසානයේ දැක්වෙන සයිකල් රේස් කතාවෙන් වක්‍රෝක්තියෙන් කීවේ රාජපක්‍ෂලා ඡන්ද සෙල්ලමද කියා සමහරු විමසූහ. දිනන ආකරයද කියාය. 
 
තවත් කෙනෙකු ඇසුවේ ඒ කතාව පාස්කු ප්‍රහාරය ගැනද කියාය. මම ඊට කිසිවක් නොකියමි. හේතුව අනිද්දා කියවන පාඨකයන්ගේ පරිකල්පය ලියන අපට වඩා සමහර විට ඉදිරියෙන් ගමන් කරන නිසාය. 
 
සත්‍ය ලෙසම ලිපියේ ප්‍රස්තුතය අනුව, එවැනි අනුමාන වලින් පාඨකයන් සන්නද්ධ වේ නම් තවත් මොනවාද? ඒ ලිපිය කියවූ ප්‍රමුඛ දේශපාලනඥයෙකු විමසා සිටියේ අපූරු ප්‍රශ්නයකි. 
 
ඒ අප තෝරා ගන්නා ඊළඟ මිනිසා කවුද කියාය. 
 
ලංකාව වැටී ඇති තැන ගැන තවත් කතා අවශ්‍ය නැත.  ඒ අර දේශපාලනඥයාගේ පරිකල්පනයේ වරදක් නොවේ. දිගු කාලයක් ලංකාවේ දේශපාලන අභ්‍යාසය හෝ භාවිතය සුභාවිත චින්තනයකින් පෝෂණය නොවීමය. 
 
ගමේ මිනිස්සු ප්‍රාදේශීය සභාවට තෝරන්නේ කසිප්පු කාරයන්ය.  මේ නිසා අප කතා කළ යුත්තේ දේශපාලනඥයන්ට නොවේ. සාමාන්‍ය ජනතාවටය.
 
 
 
ඊළඟ මිනිසා කවුද? 
 

SWRD MS

 
නවසිය පනස් හයේ සඟ වෙද ගුරු ගොවි කම්කරු පන්තිය එක්ව, සොයා ගත් බණ්ඩාරනායක අද ව්‍යවහාරයෙන් නම් ඇහින්දාස් කෙනෙකි. දෙදහස් පහළොවේ සිරිසේනත් ඇහින්දාස් කෙනෙකි. දෙදෙනාම ඇගිල්ල කටේ ගසා ගෙන ජංගිය තෙමා ගත්තා මිස රටට කළ දෙයක් නැත. 
 
 හය මාසයක් පුරා රටේ ආරක්‍ෂක කවුන්සිලය රැස් නොකිරිම, අගමැති, පොලිස්පති ආරක්‍ෂක කවුන්සියට නොකැඳවීම ආදි සිරිසේන ගත් තීන්දු තීරණ කිසිවෙකු ගැඹුරෙන් අධ්‍යයනය කළේ නැත.  
 
හරි නම් සිරිසේන සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොවේ. මුල්ලේරියාවේය. 
 
ඔබයි අපේ මිනිසා කියා තෝරා ගත් වර්තමාන ගෝඨාභය..... නීතිය මමයි කියන තරමට ඔහු ලාමක විය. භාරකාරයා අයිතිකාරයා වීමකි. ඡන්දයෙන් පත්වූ කෙනෙකු එසේ කල්පනා කිරීම යනු රටේ ප්‍රජාතන්ත්‍රවාදයට  මරණ වරෙන්තුව ලිවීමකි. 
 
18 වෙනි සංශෝධනය ගෙනා මහින්ද රාජපක්‍ෂවත් මෙහෙම සිතුණේ නැත. 
 
 
 
අප තවත් මිනිසෙකු සෙවිය යුතුද? 
 
බණ්ඩාරනායක නිර්මානය කළ, රාජපක්‍ෂලා කර තබාගෙන වැඩම කළ බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාත් දැන් තවත් කවුරු තක්කඩියෙකු රජ කරවීමට කල්පනා කරමින් සිටිනවා විය හැකිය. රටේ හැටි එහෙමය.
  
ශ්‍රීලනිපය ආරම්භ කළ දිනයේ ඉපදුනාය කියා පන්පෝරි ගැසූ සිරිසේන නැවතුණේ ජනාධිපති වෙලාය. පොළොන්නරුවේ සිට රට පාලනය කරනවා කී ඔහු කොළඹ හතේ ආණ්ඩුවේ නිල නිවෙසත්  සින්නක්කරයට ලියා ගත්තේය. ඒ ශ්‍රීලනිපයේ වර්තමානයයි. (රාජපක්‍ෂලාම දහ දොළොස් දෙනෙකු ලැහැස්තිව සිටිති. සමෘධි කාරයන් අසූ ලක්‍ෂයක් සූදානම්ය.) 
 
ලංකාව තවත් මිනිසුන් පසු පස යා යුතු නැත. 56 සහ 2015 පෙරළි දෙකම සිවිල් සමාජීය මතවාදි අරගල මිස,  දේශපාලන ජයග්‍රහණ නොවේ. ඒ ජයග්‍රහණ  දෙකම විනාස කළේ ශ්‍රීලනිපයේ දේශපාලනඥයන් දෙදෙනෙකි. 
 
RanilW
මේ කරන්නේ සිරිසේන පෙන්වා රනිල් බේරා ගැනීම නම් නොවේ. බොහෝ අඩුපාඩු සහිත රනිල් ගැන ජනතාව අතර නැවත මාතෘකාවක් වී ඇති හැටියකි. 
  
ගොවිඳු කුමාරතුංග ගිය අඟහරුවාදා දිවයිනට ප්‍රකාශයක් කරමින්, විමසා ඇත්තේ වරාය නගරය ගැන යහ පාලනය ඇති කළ නීති මහින්ද රාජපක්‍ෂ ඒ ආකායෙන්ම පිළිගත් අතර ඒවා පනත් කෙටුම්පතේදී වෙනස් කළේ කවුද කියාය. 
 
වරාය නගරය නම් නව බිම්කඩ රටේ කොටසක් ලෙස රනිල් තහවුරු නොකරන්නට රාජපක්‍ෂලාට පනතක් නැතිවම,  වරාය නගරයට වැඩේ දෙනවාය. ගොවිඳු කුමාරතුංගගේ චින්තනයත් යහ පාලන චින්තනයෙන් වැර ගැන්වී ඇති පාටය. 
 
එසේ දුරදිග දුටු රනිල් විනාස කළ මංගල සමරවීරත් ඩාර්ලි පාරේ හැදී වැඩුණ හාදයෙකි. රනිල් වික්‍රමසිංහ පිහිටුවා ගත් 2001 ආණ්ඩුව චන්ද්‍රිකා ලවා බිඳ දැමුවේ මංගලය. රනිල් මිස්ටර් බීන් කළේද මංගලය. ඒ දෙකම දේශපාලනික විය හැකිය. 
 
එහෙත් ටිරාන් අලස් ලවා ප්‍රභාකරන්ට කෝටි ගණනක් මුදල් ගෙවා උතුරු නැගෙනහිර ජනතා කැමැත්ත තුවක්කුවෙන් වළකා,  2005දී රනිල්ගේ ජයග්‍රහණය විනාස කිරීම දේශපාලනිකද? නැත. එහි ප්‍රතිපලය රාජපක්‍ෂ රෙජිමයේ සම්ප්‍රාප්තියයි. 
 
සල්ලි විසි කර ඡන්ද දිනන හැටි රාජපක්‍ෂලාට කියා දුන් මංගල සමරවීර යනු දේශපාලන කිල්ලකි. 
 
රනිල් 2001දී බලයට පත්ව මුලින්ම කීවේ වැටුණ ආර්ථිකය ගොඩ නගර තෙක් කිසිවෙකු රැකියා නොදෙන බවය. ගෝඨාභය මේ වනවිට  උපාධිධාරින් හැට දහසට රැකියා ලබාදි ඇත. ඒ රැකියා ලාභින්ට කළ යුතු රාජකාරි තබා හිඳ ගැනීමට  පුටුවත් නැත.
 
 2001දී රනිල් කල්පනා කළ විදිය සමග 2021දී ගෝඨාභය කළ විදිය සසඳන විට පව් කාරයා මංගල සමරවීර නොවේද?  රනිල් තනි කර සජිත් සමග ගිය මංගලලා, කිරිඇල්ලේලා නැවත රනිල්ට කිට්ටු වෙමින් සිටිති. මේ සතියේ හම්බන්තොටදී සජිත් තම නායකත්වයට ඇති අභියෝග ගැන විස්තර කළේ ඒ නිසාය.
 
 පාඨලීගේ 43  විජ්ජාව සජිත්ට දැම්ම කකුල් මාට්ටුවයි. රනිල් පාර්ලිමේන්තු පැමිණි පසුව, විපක්‍ෂ නායක කිරීමේ ව්‍යාපාරය ගැන සජිත්ට ඉව වැටී ඇත.
 
රනිල් යහ පාලන කාලයේ ගත් ප්‍රබල තීන්දු ගණනාවක ජාතික වැදගත්කම් ගැන රටේ ජනතාව ඉහළින් කතා කරමින් සිටිති. ජීවමාන දේශපාලනඥයන් අතර. රනිල් බුද්ධිමතෙකු දැක්මක් ඇත්තෙකු බව සමහරු විශ්වාස කරති. එහි කිසිදු තර්තයක් නැත.  
 
 JR J
ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන 
 
  
ජේ.ආර්.කියන්නේ මිනිසුන් අකමැති එහෙත් විශිෂ්ඨ දේශපාලන දැක්මක් ඇත්තෙකි.  ඔහු පහෙන් තුනක බලය ලබා ගෙන, 17 වසරක් රට පාලනය කළේය. එහි දෝෂ බොහෝය. එහෙත් ඔහු තමන් ගැන මැනවින් දැන සිටියේය. රට කැමති ගාමිණි ලලිත් ප්‍රේමදාස වැනි අය වටකොට ජාම බේරා ගත්තේය. 
 
ඊට සමාගාමීව රනිල් කෙසේද? දෙවරක් බිඳ වැටුණ එජාපය ගොඩ ගත්තේ ජේ.ආර්. ජයවර්ධන විසිනි. ඒ එජාපය නැත්තටම නැති කළේ රනිල් වික්‍රමසිංහ විසිනි. 
 
ජේ.ආර්ට මෙන් දැක්මක්, ප්‍රඥාවක් රනිල්ට තිබුණා නම් කරු ජයසුරියලා සරත් අමුණුගමලා ඔහු හැර  යන්නේ නැත. 
 
යහ පාලන කාලයේ මහනුවර අංකුඹුර ප්‍රදේශයේ සිංහල මුස්ලිම් ආරවුලක් වාර්තා විය. සිංහල තරුණයෙකු තදබල ලෙස පහර දීම නිසා, රෝහල් ගත කර තිබිණ. රටේ අගමැති ප්‍රශ්නය විසඳා තත්වය වාර්තා කරන ලෙස භාරදි තිබුණේ මධ්‍යම පළාත් සභාවේ විපක්‍ෂ නායකයාටය. 
 
එජාපයේ වර්තමාන සභාපති කවුද? ඒ ගැන ගිය සතියේ ලිපියේ කරුණු දක්වා ඇත. ප්‍රඥාවන්ත රනිල්ට බලය දුන්නොත් අගමැති වන්නේ අවන්ගාඩ් සගයෙකි. රනිල්ගේ මේ චරිත ස්වභාවය  කොළඹ හතේ අය හඳුන්වන්නේ මනුෆෙක්චරින් ඩිෆෙක්ට් හැටියටය. බුද්ධිමත් දැක්මක් ඇති රනිල් වික්‍රමසිංහ ජේ.ආර්.ගෙන් වෙනස් වන්නේ එසේය. 
 

sajithවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 

 
පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් කීවේ චීනයට ණයවීමේ පල විපාක ලංකාවෙන් ඉගෙණ ගත හැකිය වැනි කතාවකි. පකිස්ථානය දියුණු කළ හැක්කේ නාස්තිය නැති කිරීමෙන් පමණක් බව ඉම්රාන් ඛාන්ගේ විශ්වාසයයි.  
 
ඊට සමගාමිව පන් දාහක් නොව විස් පන් දාහක් දිය යුතුය කියන ප්‍රේමදාසට ලංකාවේ ඉම්රාන් ඛාන් හෝ සිංගප්පුරු ලී ක්වාන් යූ විය නොහැකිය. 
 
මිනිසුන් තෝරන්න ගොස් ඔබත් මමත් රටත් ඇද වැටිණ. අපේ රට වැටුණ බව අපට සිංගප්පූරුව සහතික කරයි. අප තවදුරටත් අනුරාධපුර පොළොන්නරුව වැනි පුරාණ නටඹුන් නගරවල ශ්‍රී විභූතියෙන්  හෝ ගොඨාභයගේ සෞභාග්‍යයේ දැක්මෙන් මුලාවිය යුතු නැත.  
 
සුළඟටත් බදු ගෙවන සමාජයක් ගැන පළවූ කිසිදු ලිපියක් ගැන අර මා ඇමතූ අර දේශපාලනඥයා කතා කළේම නැත. හේතුව එවැනි මාතෘකා නොකියවීම විය හැකිය. එහෙත් යහ පාලනය කී සැනින් ඔහු අවදිව කරුණු විමසන්නට විය. ඔහු විමසා සිටියේ කවුද මිනිසා කියාය. මෙය යථාර්ථයට දුරස්ථව කල්පනා කිරීම පිළිබඳ ප්‍රශ්නයකි. එය නිරවුල් කළ යුත්තේ දේශපාලනඥයන් නොවන අප විසිනි.
 
 එහෙත් අපට දේශපාලනඥයන් ඔවුන්ගේ කල්පනා ලෝක වලින්  අවදි කරවිය හැකිද? හැකි නම් එය කළ හැක්කේ කෙසේද? මේ රට මතවාදයකින් මිස, මිනිසෙකුගේ සැකිල්ල මත  ගොඩ ගත නොහැකිය. 
 
වියත් මග මතවාදි විය හැකිය. සත්තකින්ම ගෝඨාභය විනාස කළේ වියත් මග කල්ලිය විසිනි. යහ පාලනය මතවාදි විය. එය විනාස කළේ දේශපාලනඥයන් විසිනි.
 

China lankaශ්‍රී ලංකාව චීනයට සමීපවීම ජාත්‍යන්තරය ප්‍රශ්නයක් !

 
මේ ලිපිය ලියන අතර, ලැබුණ කෙටි පුවතක දැක්වුණේ බ්‍රිතාන්‍යය, ස්විස්ටර්ලන්තය, නෝර්වේ, කැනඩා,  ඕස්ට්‍රේලියා  රාජ්‍ය තාන්ත්‍රිකයන් සජිත් ප්‍රේමදාස සමග කතා කරමින් සිටින බවය.  
 
සමගි ජන බලවේගයේ ප්‍රධානින් ආණ්ඩු පෙරළන කතා තැන තැන කියනු ඇසේ. ඉහත කී රටවලට සජිත් හමුවන්නේ ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය ආම්පන්න ලබා දීමට නොවේ. ඔවුන්ට අපේ පාලකයා කවුද යන්න වැදගත් නැත. 
 
ශ්‍රී ලංකාව චීනයට සමීපවීම ඔවුන්ට ඇති එකම ප්‍රශ්නයයි.  ඉතිහාසය පුරා ඔවුන් කළේ රටේ විපක්‍ෂයට සමීපව, ආණ්ඩු පෙරළීමට සහාය දීම නොවේ. ආණ්ඩුවට පීඩනයට ලක් කර ජාත්‍යන්තර දේශපාලන ධාරාවට ලංකාව යා කර ගැනීමය. 
 
රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය චීනයට බදු දුන්නේත්, රාජපක්‍ෂලා නැගෙනහිර ජැටිය ඉන්දියාට දෙන්න ගියේත් එහි බරපතලකම නොදැන නොවේ. ණය උගුලෙන් ගැලවීමට වෙන කිසිදු ක්‍රමයක් නැති නිසාය.
 
 නැගෙනහිර ජැටිය බේරා ගත්තාට, බටහිර ජැටිය ඉන්දියාවට දෙන්න සිදුවිය. එය ගෝඨාභයගේ නොව, රටේ පරාජයකි. ඒ අවස්ථාවේ අප සියල්ලෝම ආණ්ඩුව බිත්තියට හේත්තු කළා මිස, දැළ ඔසවාගෙන අහසට නැගුණ  වටුවන් මෙන් සාමුහිකව, කල්පනා කළේ නැත. ප්‍රශ්නය ඇත්තේ මෙතැනය. දේශපාලනඥයන් කළ යුත්තේ ඊළඟ මිනිසා සොයා යාම නොවේ. මේ ආණ්ඩුවට දුන් ජනවරම පලදායි ලෙස මෙහෙයවීමට ඇති හැකියාව සොයා බැලීමය.
  
අපි නැගෙනහිර ජැටිය ගැන සටන් කරන විරාමයෙහි ඉන්දියාව අදානි සමාගම නිසා රට තුළ අපේ ආණ්ඩුවටත් වඩා පීඩනයකට ලක්ව සිටියාය. අපේ කිසිවෙකු මේ තත්වය සමාලෝචනය කළේ නැත. නැගෙනහිර ජැටිය තිස් පස් වසරකට බදු දී පළාත් සභා අහෝසි කිරීමට හෝ  යම් කාලයකට අක්‍රිය කිරීමට ඉන්දිය සහාය ඉල්ලුවා නම් එය වාසිදායක ඓතිහාසික ගණුදෙණුවක් වෙනවාමය. එසේ කළා නම් ජැටියෙන් ලබන ලාබයට වඩා මුදලක් අපට රට තුළ ඉතිරි කරගත හැකිව තිබිණ. 
 
සත්තකින්ම මා දකින්නේ ලංකාව කොටුවී ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක නොවේ. ප්‍රතිපත්ති ප්‍රශ්නයකය.
 
 ජනතාව තුළ මුල් බැස ගත්  යම් යම් යහපාලන මතවාදි වටපිටාවකින් රාජ්‍ය තන්ත්‍රය වටකොට පවතී. එහෙත් අපට වඩාත් අවශ්‍ය අනම්‍ය ජාතික ප්‍රතිපත්තියකි. අපට අවශ්‍ය  ජාතික ප්‍රතිපත්තියක් හඳුනා ගන්නා විට, යෝධ සංවර්ධන සිහින කල් දැමීමට සිදුවිය හැකිය.  
 
 MK
සංවර්ධනයේ මුවාවෙන් හම්බ කරන දේශපාලනඥයන් ලෝකයට ණයවී හෝ සංවර්ධනය කරන්නේ රටේ වාසියට නොවේ. නෙලුම් කුළුණ  ඊට එක් උදාහරණයක් පමණකි. 
  
පානම රජයේ රෝහලේ සූතිකාගාරයේ වහලය මතට ගසක් කඩා වැටී ඇති බව අඟහරුවාදා ලංකාදීපය වාර්තා කළේය. මේ ගැන කතුවැකියක් ලියන රාජපක්‍ෂවාදි ජාතික පුවත්පතක කතු වැකියෙන් මිනිසාගේ පැවැත්මට අවශ්‍ය ප්‍රමුඛතා හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාව දිය යුතු බව කියයි. රාජපක්‍ෂ චින්තනය අනුව, රටේ මිනිසාගේ ප්‍රමුඛතාව කන්ට සොච්චමක් දී ඡන්ද උගුලට කොටු කර ගැනීමය. 
 
සමෘධි පවුල් ප්‍රමාණය වැඩි කරන සමීක්‍ෂණ මේ ගැටළු නොදකී. හේතුව සියලු සැලසුම් ඡන්දය සහ ගැහිල්ල මුල් කොට පවත්නා නිසාය. 
 
ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම, අනම්‍ය ජාතික ප්‍රතිපත්තියකට එකඟ නොවනු ඇත.  
 
පුද්ගලයෙකු නායකයෙකු කෙරෙහි බැඳුණ අපේ දේශපාලනඥයන්ගේ පරිකල්පනය පොදු අරමුණකට යොමු කළ නොහැකිය. ඒ නිසා නිදහස් ලංකාවම කොටු පවුරක කොටුවී සිටියි. 
 
ඉන්දීය මෙන්ම බංගලා දේශ ජාතික ගී ලියැවී ඇත්තේ වංග බසිනි. ඉන්දියාවේ නිල භාෂාව හින්දි කතා කරන්නේ භාරතයෙන් සියයට තිස් ගණනකි. ඉන්දිය රාජ්‍ය ලාංචනයේ ඇත්තේ අසෝක රජුගේ ලාංචනයයි. ඉන්දිය සයුරේ මුතු ඇටේ ඊට සාපේක්‍ෂව කොස් ඇටයක් තරම් වේද?
  
මේ සාකච්ඡාව බෙහෙවින් ගැඹුරුය. එය සරල කර තේරුම් ගැනීම පිණීස ලංකාදීපයේ පළවූ  වාර්තා දෙකක් උපුටා දක්වනු කැමැත්තෙමි. 
 
යහ පාලන  රජයෙන් 2016දී වැඩි කළ විශ්‍රාම වැටුප් සංශෝධනය 2019දී අත්හිටවූ බව විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ කළ ප්‍රකාශය ඉන් එකකි.  විශ්‍රාමිකයන් සංඛ්‍යාවෙන් 6,63,000කට ආසන්නය. රජය ඒ තීරණය ගත්තේ පවත්නා මුදල් අර්බුදය නිසා බව විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ කියා තිබිණ. සත්තකින්ම එය ශක්තිමත් තීරණයකි. රට වෙනුවෙන් ගත හැකි ආණ්ඩුවක් යනු සමත් ආණ්ඩුවකි. 
 
පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්ය මණ්ඩලවලට හිමි මාසික වැටුපෙන් 30%ක අමතර මුදලක් ඒ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදලට බැර කිරිමට රජය තවත් තීරණයක් ගෙන තිබිණ. එයද  ලංකාදිප වාර්තාවකි.  
 
මේ තීරණ දෙකම ගත්තේ ගෝඨාභය රාජපක්‍ෂ පාලනය විසිනි. 
 
විශ්‍රාමිකයන් හිමි වැටුප් වැඩිවීම නතර කිරිමේදී මුල්වූ මුදල් අර්බුදය දෙවන තීරණය ගැනීමේදී සලකා බලා නැත. 
 
මේ තීරණයේදී ආණ්ඩුව සමත්ද? දැනට වාර්තාවී ඇති පරිදි රැස්වීමක් පැවැත්වෙන දිනෙක පාර්ලිමේන්තුවේ එක් විනාඩියක වියදම රුපියල් ලක්‍ෂයකි. 
 
ඊළඟට 2018දී දා හත් ලක්‍ෂයක්වූ සමෘධි පවුල් සංඛ්‍යාව2020දී විසි ලක්‍ෂයක් ලෙස ගණනය කර ඊට අවශ්‍ය බිලියන හයක මුදල් අයවැයෙන්  සම්මත කර ඇත. 
 
විශ්‍රාමිකයන් 6,63,000ක් අමතක කොට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට 30% වැඩිවීමක්ද, සමෘධිලාභීන් ප්‍රමාණයෙන් තුන් ලක්‍ෂ ගණනක් වැඩිකර මේ ආණ්ඩුව රටේ ආර්ථිකයට කරන්නේ හූනියමකි.  
  
රටේ ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයේ හතුරෙකි.  අප කල්පනා කළ යුත්තේ අලුත් මිනිසා ගැන නොවේ. තෝරා ගත් එවුන් සැලසුම් කරන ප්‍රජාතන්ත්‍ර  විරෝධි කුමන්ත්‍රණයයි. මෙය සිල් රෙදි බෙදීමේ ජාතියේ වැඩකි. 
 
හිරෙන් නිදහස් කරගත් ලලිත් වීරතුංග තිරෙන් පිටුපස සිට සියල්ල මෙහෙයවයි.
 
 පාඨලී චම්පික පෙළ ගස්වන 43 බලකාය යනු ලලිත් වීරතුංගලාගේ පරම්පරාවය. පවුලක ජයග්‍රහණය වෙනුවෙන් රාජ්‍ය සේවය කැත කළ 43 පරම්පරාව තවත් වියත් මගකි.  
 
නැතිබැරි ආකල්පයෙන් ජනතාව මත් කර ඡන්ද පොළට පෙළ ගැස්වීමේ බරපතල තත්වය තේරුම් ගත යුත්තේ දේශපාලනඥයන් නොවේ. රටේ සාමාන්‍ය ජනතාව වන අප විසිනි.  
 
Chandrasiri Senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 (2021-05-02 දින අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)
 
 
 
 
 
සබැඳි ලිපිය :
 
 

 

 

 


 

THE LEADER TV 
 

 

කොවිඩ් නිල සංඛ්‍යාලේඛණ ගැන බරපතල සැකයක් ?

  

 

"පාස්" වෙන්න නම් මෙන්න වැඩක් "ස" !  

 

 

subscribeYT

subscribeYT

නවතම පුවත්