1200 x 80 DMirror
 
 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අවුරුදු දෙකක් ගතවී ඇත. ඒ සමගින් වූ වෙනස්කම් රාශියකි. 
 
 
ජනාධිපතිවරයා හා රජය වෙනස්වීම සහ එහි ප්‍රතිඵලයකින් ව්‍යවස්ථා සංශෝධනයක් විය. 
 
අවාසනාවකට කොවිඩ් 19 වසංගතය මුළු ලොවම බිලිගති. මේ නිසා පාස්කු ප්‍රහාරය අඩු ප්‍රමුඛතාවක් ලැබුවත්, වින්දිතයන්ට එම සිද්ධියවත්, ප්‍රතිඵලවත් සුළුපටු නොවේ.
 
 පාස්කු සිද්ධීන් පිළිබඳ ප්‍රති-විමසුමක්  පාස්කු කොමිසමේ වාර්තාව ජනගතවීමෙන් සිදු විය.
 
ලෝක ඉතිහාසයේ මෙවැනි සිද්ධි සංඛ්‍යාව විශාල ය. ශ්‍රී ලංකාවේ ද මෙවන්ම සිද්ධීන් දහස් ගණනක් මියැදී ඇත. 
බටහිර රටවල මෙන්ම, ලංකාවේ ද ඒ නිසා හමුදාමය, පරිපාලන, දේශපාලන බලධාරීහු රාජකාරියෙන් ඉල්ලා අස්නොවූහ. උසාවිගත නොවූහ. සටන් වැදුණු නිලයන්ට දෝෂ දර්ශනයන් – සාවද්‍යව හෝ නිරවද්‍යව – ජිනීවාහිදී ඉදිරිපත් කළ විට, රජය ඔවුන්ගේ වගවීම ප්‍රතික්ෂේප කළේය. අද ද කරයි. තවද ත්‍රස්ත ගැටුමින් විවිධ වාර්ගීය පිරිස් දහස් ගණනින් නොයෙක් අන්දමින් මියැදුණු කල, වගවීම ගැන ඝෝෂා කළේ අතළොස්සකි.
 
pujitha maithri hemasiri
 
මේ විනාශයන් සිදුවනුයේ ආරක්ෂක තීරණ දුබලතා, උපායමාර්ග බිඳවැටීම, අතපසුවීම, අවධානය හීනවීම, ආයතනික අක්‍රීයත්වය වැනි කරුණු නිසා ය. 
 
පසුගිය දෑවුරුද්ද තුළ පාස්කු ප්‍රහාරය නිසාම ආරක්ෂක හා දේශපාලන අංශ විවේචනය විය.
 
 දැනට බොහෝ විවේචනය වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, ආරක්ෂක අමාත්‍යංශයේ දෙටු නිලධාරීන්, බුද්ධි හා පොලිස් නිලයන් ය.
 
ජනාධිපති සිරිසේන වෙනුවෙන් පෙනීසිටින්නෝ ප්‍රහාරයට කලින් එතුමා දැනුවත් නොවූ බව පවසති. ප්‍රහාරය දත් කිසිවෙකු එකී තොරතුරු ජනාධිපති සිරිසේන සමග බෙදාහදාගත් බව නොපවසති. ඔහු ප්‍රහාරය දිව්‍ය ඥානයෙන් හෝ දැන සිටි බවට සැකයක් දේශපාලන හා ආගමික නායකයන් අදහස් කරන්නා සේ ය. අන් නිලයෝද නිදහසට සිය කරුණු දක්වති.
 
කෙසේවුවද, ජනාධිපති ප්‍රහාරය නොදැන සිටියේය යන්න මත, ව්‍යසනය ප්‍රහාරයට ලඝුකිරීමට ජනතාව සූදානම් නැත. 
ප්‍රහාරයේ මුල – අග හාරා බලන්නට ඔවුන්ට අවශ්‍ය ය. 
 
පාස්කු කොමිසමේ  වාර්තාවට බැහැරව, ප්‍රහාරයට පෙර සිද්ධි – විශ්ලේෂණයක් අවශ්‍ය බවට කෙරෙන ඉල්ලීම් ඇසේ. එය ඉටුකළහොත් පෙර රජයන් සැම පිරික්සේ. ‘යහපාලනයට’ ප්‍රහාරය පැටවුවහොත් පෙර රජයන් ‘ගොඩ’ ය. 
 
වාර්තාවේ පිටු 282 සිට 286 දක්වා වගුගත සිද්ධීන් සිරිසේන ජනාධිපතිතුමාගේ ධුර කාලයට ගැළපුමක් දක්වන්නේ කලින් රජයන් අමතක කරමිනි.
 
 
 
ආරක්ෂක, බුද්ධි අංශ හා අන්තවාදීන් :
 
 RW
රනිල් වික්‍රමසිංහ
 
 
2021 මාර්තු දෙවැනිදා ‘ඩේලි මිරර්’ පත්‍රයට රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශ දෙකක් උපුටමි. 
 
 
පළමුවැන්න නම් : ‘ගැටුම් කාලයේදී මේ මුස්ලිම් කණඩායම් සමහරක් හා ආරක්ෂක ඒකක සමහරක් අතර  සහයෝගිතාවක් තිබුණා.’ 
 
දෙවැන්න නම් : ‘මම කම්පනයට පත්වන්නේ ආරක්ෂක අංශයට සම්බන්ධිත යමෙක් කෙටි පාරෙන් යන විදිය දන්නවා. කොහොම හරි සහරාන් හා කල්ලිය ආරක්ෂක පද්ධතිය දැනගෙන ඉඳලා, හැංගිලා, නොපෙනෙන්නට දුරස් වෙලා හිටියා. මේක බොහොම කම්පනයට හේතුවන කරුණක්, මොකද අනාගතයේදී ඒකම සිද්ධවෙන්න පුළුවන් නිසා.’
 
 
 
රනිල් වික්‍රමසිංහ මේ ප්‍රකාශයන්ගෙන් රටේ කලබගෑනියක් ඇතිකිරීමට උත්සාහ කරතැයි කෙනෙකු පවසන්නට පුළුවන. 
 
 
ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ගිරිබාවේදී කොමිසම් වාර්තාව (පිටු 306) උපුටමින් යහපාලනයට ඇඟිල්ල දිගුකරන්නට පෙර වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපති සිරිසේනට හිතවාදීවීමට නොවේ. ඔහුගේ ප්‍රයත්නය ප්‍රහාරයේ වගවීම යහපාලනයට පමණක් ලඝු කිරීම වැළැක්වීම විය හැකිය. ඒ හැරත්, ජනතා ඉල්ලීම වන ප්‍රහාරයේ මහ මොළකරුවන්ට යුද්ධ / බුද්ධි ‘ඉතිහාසයක්’ ඇති බව හෙවත් ප්‍රහාරයට හමුදා – අන්තවාදීන් හවුලක් ඉඟිකිරීම විය හැකිය.
 
 lanka 1
 
 
වික්‍රමසිංහ තරමක් සත්‍ය කරමින් කොමිසම ද අන්තවාදීන් සමග බුද්ධි අංශ සාමූහිකව ක්‍රියාකර ඇති අවස්ථා වාර්තා කරයි.
 
 මීට ‘ඉතිහාසය’ විශ්ලේෂණය අවශ්‍ය ය. 
 
# වාර්තාවෙන්ම උපුටතොත් පිටු අංක 234, හයාතු මෝහමුදු අහමදු මිල්හාන් ගැන, ඔහු 2006 දී එල්ටීටීඊයට එරෙහි සටනේදී ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස සේවය කරමින් සිටි රාසික් මොහොමඩ් ෆායිස් ගැනත්, පසුව ‘මිල්හාන් පොලිස් ෆායිස් සමග ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස සේවය’ කළ බවත් පැවසේ.
 
 
# එසේම අහමඩ් ලෙබ්බේ මොහොමඩ් නියාස් 1997 සිට ජිහාඩ් ව්‍යාපාරයේ සිටි බවත්, 2004 සිට හමුදා බුද්ධි අංශය සමග සම්බන්ධතා තිබුණු බවත් වාර්තාවේ පිටු අංක 241 පැවසේ. 
 
 
# වාර්තාවේ 230 – 234 දක්වා පිටුවල අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් ඔස්ට්‍රේලියාවේ දී ‘රැඩිකල්වාදී’ වී, 2014 දී සර්පාස් නිලාම් සමග සමස්ත ලංකා තවුහිද් ජමාත්හි සම්බන්ධතා ගොඩනගාගෙන, අයිඑස් සංවිධානයට බැඳෙන්නට තුර්කියට ගිය බවත් (පිටුව 231) පැවසේ. පිටු අංක 233 දී, 2016 දෙසැම්බරයේ සිට ජමීල්ව ආගමික අන්තවාදියෙකු ලෙස හමුදා බුද්ධි අංශ හඳුනාගෙන සිටි බව පැවසේ.
 
 
# රහස් පොලිසිය සහරාන්ගේ මස්සිනා වන අන්සාර් තොරතුරු සපයන්නෙකු ලෙස යොදාගත් බව කොමිසම  හෙළිකරයි. (පිටුව 501) එහි කාල නිර්ණයක් නොදක්වන නිසා හා වනාතවිල්ලුවේ සිද්ධියට සම්බන්ධය නිසා සමහර විට යහපාලන සමයේදී ද මෙය සිදුවන්නට ඇත. 
 
මේ අනුව සියලුම රජයන් ‘වරදෙහි’ බැඳුණි යැයි චෝදනා කළ හැකි වේ.
 
 
 
අන්තවාදය පැටව් ගැසීම් !
 
ricism sinhala
 
පාස්කු වාර්තාවේ තවත් උපුටන කිහිපයක් අනුව අන්තවාදය පැටව් ගැසීම් ගැන පැවසිය හැකියි.  
 
# සයින්දමරුදුහිදී 2019 අප්‍රේල් 26 දින හමුදාව අතින් මියගිය අහමඩ් ලෙබ්බේ මොහොමඩ් නියාස් බහරේනයට පළාගොස් සිට 2018 දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. (පිටුව 241) ඔහු ගැන පවසන කොමිසම ඔහු 1997 සිට කාත්තන්කුඩි ජිහාඩ් ව්‍යාපාරයේ සිටි බවත්, 2004 සිට හමුදා බුද්ධි අංශ සමග සම්බන්ධතා පැවැත්වූ බවත් පවසයි.
 
 
# කොමිසම් වාර්තාවේ 11 පිටුවේත්, පසුව 16 – 17 පිටුවලත් පූර්ව රැඩිකල්කරණය, පෞද්ගලික අනන්‍යතාව නිර්මාණය, අන්තර් ග්‍රහණය මගින් පියගැටානුසාරයෙන් ජිහාද්කරණය සිදුවන බව පවසයි. 
 
 
# 2015 ට පෙර සිද්ධීන් වූ අලුත්ගම, බේරුවල – දර්ගා නගරයේ ගැටුම් ඉස්ලාම් භක්තිකයන් ජිහාද්කරණයට පොළඹවන්නට ඇත. 
 
කලහයන්ට උදාහරණ දිගන, අම්පාරේ හා ගින්තොට සිද්ධීන්ගෙන් තහවුරු වේ.  
 
පියගැටානුසාර න්‍යායාත්මකව බැලුවහොත්, 2015 අන්තවාදී නොවූ අයෙකු 2016 දී අන්තවාදී ත්‍රස්තවාදියෙකු වීම, 2015 ට පෙර සිටම එවැන්නෙකු අන්තවාදීකරණයේ න්‍යාය – මූලයන්ගෙන් පරිණාම වී යැයි සිතීමට පොළඹවයි.
 
අපේ සමහර මුස්ලිම් දේශපාලන නායකයන් ‘මුස්ලිම් රැඩිකල්, අන්තවාදී, අයිසිස් පාක්ෂිකව ක්‍රියා කළ’ බවට කොමිසම් වාර්තාව නිකුත්වීමට පෙරත්, පසුත් සංඝයා වහන්සේලා චෝදනා කරති. දේශපාලන වේදිකාවලත් මේ චෝදනා එල්ල වේ.
  
එහෙත් ලංකාවේ ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දුන් අය වශයෙන් මෙසේ විවේචකයන් විසින් හඳුනාගත් සමහරුන් දණ්ඩනයට කොමිසම දක්වන අඩු සැලකිල්ල විවේචකයෝ ප්‍රශ්න කරති. 
 
කෙරෙන විවේචන අනුව සැක පහළවන්නේ, යහපාලනය මෙන්ම කලින් සිටි සෑම රජයන්ද, සහරාන් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් ගැන කළ විමර්ශනවල දුබලකමින්, ඔවුන්ට නිදැල්ලේ ශක්තිමත්වීමට ඉඩකඩ සැලසුණු බව ය.
 
 
# වාර්තාවේ 13 – 14 පිටුවල, 2006 දෙසැම්බර් මාසයේ තවුහිද් අනුගාමිකයන් විසින් සූෆි නිවාස හා ආයතන 117ට කළ ප්‍රහාරය, සූෆි ආධ්‍යාත්මික නායකයාගේ දේහය සොහොනෙන් ගොඩදැමීම, 2007 කාත්තන්කුඩියේ සිද්ධීන්, 2009 ජුලි මාසයේ සූෆි පූජකයන්ට වූ හානි ආදිය විස්තර කෙරේ. 
 
 
 
 
ශ්‍රී ලංකාවේ වහාබ්වාදය :
 

ricism

 
 
ඒ වගේම වාර්තාවේ 5 පරිච්ඡේදයේ ශ්‍රී ලංකාවේ වහාබ්වාදය ගැන දිග විස්තරයක් ඇත. එහි 2015 ට පසු යොමුකිරීම් සංසන්දනාත්මකව අඩු ය. එහෙයින්ද ‘ඉතිහාසය’ විමර්ශනය නිරවද්‍ය මාර්ගයක් විය හැකිය. 
 
වාර්තාව  2015 ට පෙර, ඒ වර්ධනය වැළැක්වීමට ගත් උත්සාහයන් පිළිබඳ විස්තරාත්මකව නොපවසන්නේ ඔවුන්ගේ අන්තවාදී පෝෂණය රජයන්ට ගැටළුවක් නොවූ නිසා ද, නැත්නම් අන්තවාදීන් එල්ටීටීඊයට එරෙහි මෙහෙයුම් සඳහා වටිනා වත්කමක් වූ නිසා එරෙහිවීමට අක්‍රීයශීලී වූ නිසා ද යන ප්‍රශ්න මතු වේ.
  
#  වාර්තාවේ පිටු අංක 72 ට අනුව, 2015 ජූලි මාසය වන විට ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු සිරියාවට ගිය බව රාජ්‍ය බුද්ධි සේවය මගින් නිරාවරණය වේ. මීට පෙර ද මෙසේ විදේශගතවීම් සිදු වී ඇත. එසේ සිදු වූ විගමන පසුවිපරමක් සඳහා ගත් පියවර කුමක්ද යන ප්‍රශ්නය ද කෙනෙකුට සිහි වේ.
 
 
# වාර්තාවේ 82 පිටුවේ ‘2009 වන විට සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් සතුව ටී-56 ආයුධ කිහිපයක්’ තිබුණු බව කියැවේ. ඒ 2015 ට පෙරයි. හමුදා සඳහා පමණක් ආනයනික ටී-56, රැවුල කපන රේසරයක් මෙන් මිලදීගත නොහැකියි. 
 
ඒ නිසා ටී-56 ආයුධ ගැන සිතන විට රනිල් වික්‍රමසිංහ සැක කරන අන්දමින් හමුදා බුද්ධි සම්බන්ධතා මගින් ලැබුණේද, අයිසිස් අන්තර්ජාතික ජාලයෙන් ලැබුණේද, වෙනත් මූලාශ්‍රයකින් ලැබුණේද, රේගුවෙන් හොරෙන් ගෙනාවේද වැනි ප්‍රශ්න මතු වේ. කුමන අන්දමින් ලැබුණද, එය අදාළ රජයන්ගේ දෝෂයකි.
 
lal pereraසහරාන් වෙනත් මුස්ලිම් කණ්ඩායම්වලට තර්ජනය කිරීම් ගැන නැගෙනහිර පළාතේ හමුදා ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරාගේ ප්‍රතිචාරය වී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වළකින ලෙස ඔහුට ‘අවවාද’ කිරීමයි. (පිටු අංක 84) මෙම හැසිරීම එකල රජය සහරාන් වැන්නවුන් ‘හුරතල්’ කරන මට්ටමකට පත්වී සිටියේදැයි සැක උපදවයි.
 
 
 මෙවැනි සිද්ධීන් නිසා අන්තවාදය සරු වුවද, එයට වගකිවයුත්තන් ගැන කොමිසමේ නිගමන හෝ නිර්දේශවල සැර බාල වී ඇත. එවන් ක්‍රියා හා පුද්ගලයන් කෙරෙහි දයානුකම්පාවක් කොමිසම දක්වා ඇතැයි විවේචනය කළහොත් ඊට එරෙහිවීමට අපහසු ය.
 
rohan gunarathnaපාස්කු වාර්තාව ආචාර්ය රොහාන් ගුණරත්නගේ ප්‍රකාශ විශ්වාසයෙන් උපුටා දක්වයි. 
 
ඔහු 2015 ට පෙර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දුන් බව සත්‍ය නම්, 2015 ට පෙර අයිසිස් ප්‍රචලිත වීම, 2009 වන විට සහරාන් කණ්ඩායම ළඟ ටී – 56 ආයුධ තිබීම, සහරාන් වහබ්වාදය දිගටම පතුරුවන විට වාර්තාවේ 70, 71 පිටුවල සඳහන් වන මොහොමඩ් මුහුෂින් ඉෂාක් අහමඩ්, මොහොමඩ් යුනුස් මොහොමඩ් අමීන්, මොහොමඩ් සුහීර් මොහොමඩ් අරූස්, මොහොමඩ් මුහුසීන් සර්ෆා නිලාම් වැන්නවුන්ගේ ක්‍රියාකාරකම් වැනි අවස්ථා ඔහුගේ විශේෂඥ ඥානය මෙහෙයවා වළක්වන්නට මැදිහත් වූයේ නම් සමහර විට පාස්කු ප්‍රහාරය සිදුනොවන්නට ඉඩ තිබිණි යැයි යමෙකුට තර්ක කළ හැකියි. 
 
‘මා ආරක්ෂක විධානයෙකු නොවීය’ යැයි රිංගායෑමට ඔහුට හැකිය. එවිට විධායක බලධාරීන්ගේ අක්‍රීයත්වය හෙළි වේ.
 
 
 
මහ මොළකරු සැඟවී සිටී ද, සඟවලා ද?
 
#  මුලින්ම කිවයුත්තේ ‘මහ මොළකරු’ (mastermind) වචනය මුළු වාර්තාවේ ම ඇත්තේ තුන්පොළක ය. ඒ 143, 528 සහ 402 පිටුවල ය. මුල් දෙපොළ බංග්ලාදේශ අවන්හලට බෝම්බ ගැසූ සිද්ධිය ගැන ය. තුන්වැන්න 402 පිටුවෙහි ය. එහි උපුටනය :
 
‘පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ මහ මොළකරු ලෙස කටයුතු කළ වහබ්වාදියා වන සහරාන් වර්ෂ 2009 සිට නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශනා පවත්වමින් ඔහු විසින් අනුදක්නා ලද ඉස්ලාම් අන්තවාදය පතුරවමින් සිටියේය.’
 
මේ කිසිවෙකුගේ සාක්ෂ්‍යක් නොව, සහරාන් හඳුන්වන කොමිසමේ ස්වාධීන මතයයි. 
 
සහරාන් වහබ්වාදය පැතිරවීම දිගුකාලීන ක්‍රියාවකි. එහෙයින් උපුටනයේ වැදගත් නිගමනය නම් ‘සහරාන් මහ මොළකරු වූ බව’ කොමිසම නිශ්චය කිරීමයි. 
 
මහ මොළකරුවෙකු වාර්තාවෙන් හෙළිනොවෙතැයි කාදිනල්තුමා, රජයේ / විපක්ෂයේ ප්‍රකාශකයන් පවසන්නේ, වාර්තාවේ මේ උධෘතය ප්‍රවේශමින් නොකියවා යැයි සිතේ.
  
එහෙයින් මහ මොළකරු ගැන මුල් ප්‍රශ්නයට පිළිතුර වන්නේ ‘නොදනී’ යනුවෙන් ය. ඒ නිසාම සමහරු අන්අයට ‘මහ මොළකරු’, ‘දැනුවත්කරු’, ‘නියම මහ මොළකරු’ ආදී චෝදනා ඉදිරිපත් කරති. 
 
එය වත්මන් ජනාධිපතිට (ටැමිල් ගාර්ඩියන් 2020. 05.14, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී එස්. ශ්‍රීධරන් උපුටමින්), හිටපු ජනාධිපතිට (කාදිනල්තුමා උපුටමින්) හා පොදුවේ සියල්ලන් විසින්ම අයිසිස් හා සම්බන්ධ බවට මුස්ලිම් දේශපාලඥනයන්ට චෝදනා එල්ල කෙරේ.
sw 
සැනසීමකට මෙන් සරත් වීරසේකර ඇමැතිතුමා මහ මොළකරුවන් වන්නේ නවුෆර් හා හජ්ජු අක්බාර් නම් න්‍යායාචාර්යවරුන් බව සොයාගත්තේ යැයි පවසයි. ඉස්ලාම් ආගමික සංවිධානවල ප්‍රමුඛ ක්‍රියාකාරීන් වූ හෙයින් මෙසේ සොයාගැනුණේ යැයි සිතිය හැකිය.
 
පසුගිය අප්‍රේල් 18 දා, කාදිනල්තුමා පැවසුවේ ‘එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගැනීමට වෙරදැරූ පිරිසක්’ කියා ය. එය පිළිගන්නේ නම් රනිල් වික්‍රමසිංහ සමහර විට පැවසීමට තැත්කරන හමුදා / බුද්ධි සම්බන්ධතා හෝ වීරසේකර ඇමතිතුමා පවසන න්‍යායාචාර්ය සම්බන්ධය හෝ කොමිසම දැඩිව ඉදිරිපත් කරන වහබ්වාදී අන්තවාදීන්ට අමතරව තවත් ප්‍රහාරක කණ්ඩායමක් වේදිකාගත වේ. එසේ නම් අලුතින්ම මහ මොළකරුවන් සෙවීමට ද සිදු වේ. 
  
දේශපාලනය ගෑවෙන හෙයින් මෙම විමර්ශනය දේශපාලනඥයන්ගෙන් තොර කණ්ඩායමක් කළ යුතු වේ. නැවත මෙවන් ප්‍රහාරයක් නොවීම රාජ්‍යාරක්ෂාවට වැදගත් හෙයින් මෙය ඉක්මනින්ම සිදුවිය යුතු වේ. 
 
මියැදුණු අන්තවාදීන්ට අමතරව තවත් අන්තවාදීන් සිටිය හැකි හෙයින් වීක්‍රමසිංහ පැවසූ ‘මොකද අනාගතයේදී ඒකම සිද්ධවෙන්න පුළුවන් නිසා’ යන්න සිදුනොවිය යුතු හෙයිනි.
 
 
 
ප්‍රහාරයට අන්තර්ජාතික බන්ධන:
 
passku lanka
 
ප්‍රහාරයට අන්තර්ජාතිකය සම්බන්ධ කිරීමට ප්‍රයත්නයන් ද දරා ඇත. ඒවා පිළිගතහොත් මහ මොළකරු විදේශයක වුවද සිටිය හැකිය.
 
 2021 පෙබරවාරි 21 දින ටැමිල් ගාර්ඩියන්හි වාර්තාවකින් බීබීසී සිංහල සේවය සහරාන් මහ මොළකරු නොවෙතියිද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස උපුටමින් ඉන්දියාව ප්‍රහාරයට ගාවන්නට ද ඉඟිකරයි. 
 
ඒ අනුව අන්තර්ජාතික බලවේග හෝ අන් සිද්ධීන් හෝ ප්‍රහාරයට හේතුවූවාද යන්න විමසීමට පෙළඹේ. එහෙයින්, මෙම ප්‍රකාශයද දේශපාලන කලබගෑනියකට විවරයක් ද විය හැකිය. 
 
කෙසේ වුවත් එය මහ මොළකරු සෙවීම තවත් සංකූල කරයි. එහෙයින්ම මේවා ප්‍රවේශමෙන් සැලකිය යුතු වේ.
 
අන්තර්ජාතිකය ප්‍රහාරයට ගෑවෙන පාස්කු ප්‍රහාරය ගැන විකල්ප අර්ථකථන කිහිපයකි.
 
 
# චීනයේ’බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ (බීආර්අයි) ව්‍යාපෘතිය පාදකව ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිදු කළ බව පැවසේ.
 
 
# 2019 මාර්තු 13 දා පාකිස්තානයේ ග්වදාර්හි බීආර්අයි ව්‍යාපෘතියක දසදෙනෙකු ඝාතනය කිරීම, කරච්චියේ චීන කොන්සල් කාර්යාලයකට එල්ල කළ ‘බලුකිස්තාන් ලිබරේෂන් ආමි’ ප්‍රහාරය, ඇෆ්ගනිස්තානය, නිකරගුවා, මියන්මාර්හි චීන ව්‍යාපෘති ආශ්‍රිතව ඇති වූ විරෝධතා අනුව යමින් මේ ප්‍රහාරය පෝට් සිටි ව්‍යාපෘතියේ අස්ථාවර බව හෙළිකිරීමට යමෙකුට අවශ්‍යතාවක් පැවතීම.
 
 
#  2050දී චීනය ලෝකයේ වැඩිම ක්‍රිස්තියානි ලබ්ධිකයන් සිටින රට වෙතැයි අදහසක් පවතී. (එමැනුවෙල් පියෙට්‍රොබොන් – ‘ප්‍රව්ඩා’) ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ චීනය සමග සම්බන්ධතා සාමාන්‍යකරණය කිරීමට හා බීආර්අයි ව්‍යාපෘතියට ඉතාලිය බද්ධ කිරීමට රාජ්‍යතාන්ත්‍රිකව දක්වන උනන්දුවට සෘණ – ප්‍රතිචාර දැක්වීම.
 
 
#  පිලිපීන – ඇමෙරිකා දිගු කාලීන යුදමය සම්බන්ධතා අත්හැර,2016දී චීනය දෙසට හැරෙන්නට තර්ජනයක් පිලිපීන ජනාධිපති දැක්වූ විට, අයිසිස් ත්‍රස්තයෝ මරාවි නගරයට ප්‍රහාරයක් එල්ල කළහ. අයිසිස් ප්‍රභවයට / වෘද්ධියට බලගතු ජාතීන්ගේ සබඳතා තිබිණි. (උදා: ඇමෙරිකාව, ඊශ්‍රායලය, සවුදි අරාබිය, CIA ආයතනය) පිලිපීනයේ මෙන් අපට ද වැඩිදියුණු වන  ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වයක් තිබෙන නිසා වින්දිතයන් බවට පත්කිරීමේ අවශ්‍යතාව.
 
 
# නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය ඉස්ලාම් භක්තිකයන්ට එරෙහිව සිදුකළ නිසා,ලංකාවේදී ක්‍රිස්තියානීන්ට ප්‍රහාර එල්ල කළ බව පැවසුණද (කොමිසම් වාර්තාවේ පිටුව151), නවසීලන්තය මෙය ප්‍රතික්ෂේප කළේය. තවද, විස්තීර්ණව, සූක්ෂ්මව කළ පාස්කු ප්‍රහාරය සිද්ධි දෙකේ කාල පරාස අන්තරය කෙටි හෙයින්ද නොපිළිගැනිණි.
 
 
# අයිසිස් බලය ඉරාකයේ හා සිරියාවේ බෙලහීන වීම නිසා අන් කලාපයක බලය තහවුරුවට2012දී පමණ පෙළඹීම.
 
 
# තරු පහේ හෝටල් තෝරා-බේරා ප්‍රහාරයට ලක්කිරීමද,බටහිර වැසියන් හෝටල්වල ගැවසෙන නිසා සිදු කළබව ඉදිරිපත් වන තර්කයකි.
 
 
# අයිසිස් ව්‍යාපාරය නිසා පුළුල් අනතුරකට අප කලාපය මුහුණපායි. කාශ්මීර හා පාකිස්තානය අතර ‘විලෙයත් ඊ හින්ද්’, ඇෆ්ගනිස්තානය හා පාකිස්තාන් මායිමේ ‘කොරසාන්’, බංග්ලාදේශයේ ‘ජමාත් උල් මුජහිදීන් බංග්ලාදේශ්’, මියන්මාරයේ ‘අරකන් රෝහින්ග්‍යා සැල්වේෂන් ආර්මි’ ආදිය ද මීට සමාන ය. 
 
 
# ඇෆ්ගනිස්තානය අනාගතයේදී අයිසිස් මධ්‍යස්ථානයක් වේ දැයි සමහරු සැක පහළ කරති. ඉන්දියාව හා පාකිස්තානය හරහා අයිසිස් ප්‍රහාර සිදුවේද යනුවෙන් සැකයක් ද පවතී. 
 
 
එහෙයින් මෙය කලාපීය සංසිද්ධියක එක් පුරුකක් ද?
 
මේ නිසා පාස්කු ප්‍රහාරයට පසුබිම් අර්ථකතන සැපයීම සංකූල ය. උදාහරණයකට චීන විරෝධය ද, අයිසිස් බල ව්‍යාප්තිය ද, ඇමෙරිකානු හෝ ඉන්දියානු දේශපාලන බලව්‍යාප්තියේ අතුරුඵල ද, ඔවුන්ගේ දේශීය ප්‍රතිපත්ති ආදී සංකූලතා ද ඇත. මේ නිසා නිශ්චිත හේතු විශ්ලේෂණයක් මගින් මහ මොළකරු තීරණය විය යුතුය.
  
 
නවුෆර් – අක්බාර් මහ මොළකරුවන් වීම:
 
මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ ඇමැති සරත් වීරසේකර වුවද, න්‍යායාචාර්යවරුන් වූ නවුෆර් හා හජ්ජු අක්බාර් මහ මොළකරු ලෙස තෝරාගත්තා මිස (කලම්බු පේජ් – 2021 අප්‍රේල් 06), එය සිදුකරන ලද්දේ පාස්කු වාර්තාව පදනමින් නොවේ. 
 
එහෙත් මහ මොළකරු සහරාන් යැයි පැවසූ කොමිසම, ‘නිගමන’ පරිච්ඡේදයේදී එසේ සටහනක් නොකර, නවුෆර්ගේ නම අනෙකුත් නම් දොළහක් සමග වරක් පමණක් සඳහන් කරයි. 
 
නිර්දේශ පරිච්ඡේදයේ වරක්වත් නවුෆර්ගේ නම සඳහන් නොවේ. වාර්තාවේ 18 පරිච්ඡේදයේ නවුෆර්ගේ නම 28 වරක් ඇතත්, මහ මොළකරු බව නොපවසයි.
 
හජ්ජුල් අක්බාර් පාස්කු ප්‍රහාරයට නොව ඉස්ලාමීය රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීමට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට කොමිසම නිර්දේශ කර ඇත. ඔහු ගැන වාර්තාවේ සඳහන් වන්නේ පරිච්ඡේද 03 (එක් වරක්), 18 (18 වරක්), 31 (එක් වරක්) පමණි. 
 
18 පරිච්ඡේදය පුරාම පාස්කු ප්‍රහාරයට නොව, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තුළ අක්බාර්ගේ ක්‍රියාකාරකම් හා ඔහුගේ චින්තනය විස්තරාත්මකව පැවසේ. ප්‍රහාරයට ඔහුගේ ඍජු පුරුකක් ඇතැයි සඳහන් නොවේ. 
 
ඔහු හැර අන් අය ද මේ වහාබ්වාදී පරමාර්ථයෙන් ක්‍රියා කළ බව 18 පරිච්ඡේදයේ හා අනෙකුත් තැන්හි පෙනේ. 
 
එහෙත් ඔවුන් මහ මොළකරුවන් ලෙස, සහරාන් ගැන මෙන් කොමිසම වාර්තා නොකරයි. මෙවන් දෙදෙනෙකු මහ මොළකරුවන් ලෙස ඇමතිවරයා ප්‍රකාශ කිරීමට ඉඩක් ඇත්තේ කොමිසමට හා ජනතාවට නොමැති අන් රහස්‍ය තොරතුරු එතුමාට ඇති නිසා වන්නට ඇත. නැත්නම් එය හිතළුවකි.
  
වාර්තාවේ 16 පරිච්ඡේදය ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් හැර, ප්‍රධාන චරිත දහයක් ව්‍යාපාරයට සම්බන්ධ වූ අයුරු දක්වයි. ඉන් නවුෆර්, සහරාන් කණ්ඩායමේ දෙවැනියා ද, න්‍යායාචාර්ය ද, ඉස්ලාමීය රාජ්‍යය පිළිබඳ ප්‍රමුඛ දේශක පුහුණුකරුවෙකු ද විය. 
 
ඉල්හාම් ශැන්ග්‍රිලා ප්‍රහාරයෙන් සහරාන් සමගින් මියගොස් ය. ජමීල් දෙහිවලදී ද, හස්තුන් කටුවපිටියේදී ද, අසාද් මඩකලපුවේ සියොන් පල්ලියේදී ද, මුබාරක් කින්ස්බරි හෝටලයේදී ද මියගොස්ය. රිල්වාන්, ෂයිනි හා නියාස් සයින්දමරුදු පිපිරීම්වලදී මියගොස් ය. නවුෆර් හා මිල්හාන් අත්අඩංගුවේ ය. එහෙයින් නවුෆර් හා හජ්ජුල් මහ මොළකරු කිරීම පහසු වී ඇත.
 
 
# වාර්තාවේ 7 පරිච්ඡේදයේ සහරාන්ගේ මුල් වකවානුව ගැන පවසයි. සහරාන් කාත්තන්කුඩියේදී නවුෆර් මවුලවි හඳුනා ගනී. (පිටුව 79) වාර්තාවේ ම 225 පිටුවට අනුව 2004 දී ඔවුන් නැවත හමුවේ. 2009 වන විට සහරාන් ජාතික තවුහිද් ජමාත් පිහිටුවාගෙන තිබිණි. 
 
 
#  වාර්තාවේ පිටු අංක 225ට අනුව, 2008 සිට 2016 දක්වා නවුෆර් කටාර්වල සිටි හෙයින් සහරාන්ට අන්තවාදී හා අයිසිස් ත්‍රස්තවාදී පෝෂණයට නවුෆර්ගෙන් ඍජුව සහාය ලැබීම සැකසහිත ය. තවද මේ දෙපොළ 2009 වන විට විරසක ද වූහ. (81 පිටුව) සමහර විට විරසකය රැවටීමක් දැයි සැකයක් ද මතුකළ හැකිය.
 
 
# සහරාන් පාක්ෂිකයන් ගැන විමර්ශන හෝ පරීක්ෂණ නොකිරීම හා අක්‍රීයශීලී වූ ආරක්ෂක යන්ත්‍රණය පාස්කු ප්‍රහාරයට පසුතලයෙන් බලපා ඇතිමුත්, කොමිසම එක් යුගයක අඩුපාඩු උලුප්පා දක්වා තිබේ. 
 
 
බලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා සහරාන් ක්‍රමයෙන් බලවත් වී යැයි උපකල්පනය කළ හැකිය. 
 
ඔහුගේ මැදිහත්වීම ඉස්ලාමීය මනස දැඩි පෝෂණයට ලක්කිරීමට ද, සිංහල සංවිධාන, ප්‍රකාශන හා පුද්ගලයන්ට එරෙහිවීමට ද ඉස්ලාමීයයන්ව පොළඹවන්නට ඇත. 
 
මේ සියල්ල 2019 අප්‍රේල් 21 දින සිද්ධියෙන් පමණක් පුපුරා ගියා සේ සැලකීමේ සාධාරණත්වය ප්‍රශ්නාභිමුඛ ය.
 
 
එමෙන්ම වාර්තාවේ නවුෆර් මවුලවි, සහරාන් හසුරුවන්නා නැත්නම් මහ මොළකරු වී යැයි නොකියවේ. සහරාන් හා මවුලවි අතර කිට්ටු සම්බන්ධයක් තිබුණු බව සත්‍යයකි. ඔහු පුහුණු හා රැස්වීම් සංවිධානයට සම්බන්ධ වූ බව පිටු අංක 235න් පෙනේ. සමහර විට සහරාන්ගේ භාර්යාව හෝ අන් කිට්ටුවන්තයෙකු දුන් රහස්‍ය ප්‍රකාශ මත කොමිසම පෙර කී නිගමනයට ආවේ යැයි සැක කළහොත්, එය වාර්තාවේ නිගමනවලට ඇතුළත් නොකිරීමෙන් තොරතුරු ගවේෂණ අගය දියාරු කරයි.
  
මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්, සහරාන් හා ඉතා කිට්ටුවෙන් සිටියේය. වාර්තාවේ 229 පිටුවට අනුව ‘සහරාන්ගේ කණ්ඩායමේ ප්‍රධාන අරමුදල් සපයන්නෙකු වූ ඉල්හාම් සමග ඔහුගේ සහෝදර ඉන්සාෆ් ද විය’ ලෙස සටහන් වී තිබේ. සිරියාවට මුදල් යැවීම ගැන දෙදෙනා සාකච්ඡා කළ බව පෙනෙන හෙයින් ද, දෙදෙනා අතර හිතෛෂීභාවය නවුෆර්ට වඩා ආසන්න යැයි සැක කළ හැකිය.
 
පිටු අංක 231ට අනුව 2019 මුල් භාගය වනතුරු ම සහරාන්ට අයිසිස් සංවිධානය සමග තිබූ සම්බන්ධතා පුරුක, අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් බව වාර්තාව පවසයි. අයිසිස් බලපෑම නිසා ඔහු ද සහරාන් මෙහෙයවීමට ඉඩක් තිබේ. 
 
සහරාන්ගේ පුහුණු කඳවුරුවලදී ආයුධ පුහුණුකිරීම් කළ හයාතු මොහොමදු අහමදු මිල්හාන් සහරාන්ගේ  කිට්ටුවරයෙකු විය. මේ ආකාරයට බැලූ විට නවුෆර් හැර අන් කිහිපදෙනෙකුමත් සහරාන්ව මෙහෙයවීමට අවකාශයක් වී යැයි උපකල්පනය කළ හැකිය.
 
 
 
අවසානය:
 

passku report

 
 
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නම් කිරීමට කාදිනල්තුමාත්, විපක්ෂයත්, මාධ්‍යයත්, පොදුවේ ජනතාවත් ඉල්ලීම් කරති. ජනාධිපති සිරිසේන කොමිසමට දුන් අධිකාරයේ අංක 9 මගින් සියලුම පාර්ශ්වකරුවන් සොයාගැනීමක් අපේක්ෂිත වුවද, කොමිසම ඍජුව මහ මොළකරු ගැන (402 පිටුවේ හැර) සඳහන් නොකරන නිසා, කොමිසම් වාර්තාවෙන් ප්‍රයෝජන ගෙන හෝ නොගෙන, මෙකී අංශ තෘප්තිමත් කිරීමට ‘මහ මොළකරුවෙකු’ කෙසේ හෝ අධිකරණයට ගෙන යා යුතුය යන පීඩනයට බලධාරීන් ලක්වී ඇද්දැයි නොදනිමු.
 
ඒෂියන් ට්‍රිබියුන්හි ලියමින් ලසඳ කුරුකුලසූරිය ‘නම් නොකරන ලද ඇමෙරිකන් තානාපති කාර්යාලීය නිලධාරියෙකු පුවත්පත් කලාවේදීන් කණ්ඩායමකට පවසා ඇතැයි වාර්තාවන්නේ දිවිනැසුණු ප්‍රහාරකයන්ගේ දුරකතන එෆ්බීඅයි විමර්ශකයන් විශ්ලේෂණයට භාරගෙන ඇති බව’ පවසයි. 
 
මෙය සත්‍ය නම්, විශ්ලේෂිත තොරතුරු විමර්ශකයන්ට නොලැබුණහොත් ප්‍රහාරකයන්ගේ මහ මොළකරුවන් හඳුනාගැනීම කෙදිනකවත් සිදුනොවනු ඇත. 
 
සයිඩ් නක්වී නම් ඉන්දීය විචාරකයා පාස්කු ප්‍රහාරයෙන් පසු ‘ද ඉකොනොමික් ටයිම්ස්’ හි පැවසුවේ ව්‍යසනයක් වූ විගසම බලවත් බුද්ධි අංශ සහායට පැමිණ, කලක් තිස්සේ උපදෙස් දී, අභ්‍යන්තරයට කිඳාබැස, ප්‍රතිපත්ති සෑදීමට බලකරන බවයි. අපට අන්තර්ජාතිකයෙන් මෙය සිදුවීම නිසා මහ මොළකරුවන් සොයාගැනීම ‘කඩාවැටී’ හෙවත් ‘අල වී’ ඇත්දැයි සැකයක් මතු වේ.
 
බුද්ධි තොරතුරු කළමනාකරණය යනු කෛරාටික ක්‍රීඩාවකි! කොමිසමට මහ මොළකරුවෙකු නිත්‍ය ලෙසම සොයාගැනීමට නොහැකි වූයේ මේ නිසාම දැයි කිසිවකු නොදනී. එමෙන්ම විදේශවලින් පැමිණ විමර්ශන පැවැත්වූ සියලුම බුද්ධි ආයතන හා මුල්වූ රටවලට (අමෙරිකාව, ඊශ්‍රායලය, ඉන්දියාව, බ්‍රිතාන්‍යය) අයිසිස් හා ඉස්ලාමීය ත්‍රස්තවාදය සමග ඔවුන්ගේ රටවල ගැටළු තිබුණු හෙයින්, අප මහ මොළකරුවන් සෙවීමට වඩා ඔවුන්ගේ දත්ත පදනම ශක්තිමත් කරගැනීමේ ආත්මාර්ථකාමී අභිලාෂයෙන් ක්‍රියා කළා විය හැකිය.
 
කෙසේ වුවද, වික්‍රමසිංහ, වීරසේකර, කොමිසම හා දැන් කාදිනල්තුමන් කරන නිරාවරණයන්, පිළිවෙලින් හමුදා – අන්තවාදීන්, වහාබ්වාදීන්, දුබල ආරක්ෂක පිළිවෙත් හා දේශපාලනඥයන්ගේ බල තන්හාව පාදකව මහ මොළකරුවන් සෙවීමට රජය පොළඹවයි. 
 
මේ තත්ත්වය සියලුම බලධාරීන් අසීරුවට පත්කරයි. ඔවුන්ගේ ප්‍රකාශ පරස්පර කරයි. 
 
දේශපාලනඥයන් ගෑවුණු පසු නියම මහ මොළකරුවන් සොයාගැනීම පිළිබඳව විශ්වාසයක් තබාගැනීමට කිසිවෙකු ඔට්ටු නොඅල්ලනු ඇත. බලධාරීන් මහ මොළකරුවන් කිරීමට විමර්ශකයන් බිය හෙයිනි. යම් හෙයකින් එවැනි මහ මොළකරුවෙකු හමුවුවහොත් එය බොහෝවිට අවතාරයක් ලෙසින් පමණි.
 
 
 
Ostin Fanando(ඔස්ටින් ප්‍රනාන්දු) 
 
(ඔස්ටින් ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපති ලේකම්වරයෙකු, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු, ඉන්දියාවේ හිටපු මහ කොමසාරිස්වරයෙකු මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙකු ද වේ.)

 

 

(උපුටා ගැනීම- medialk.com)


 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58