1200 x 80 DMirror
 
 

මැයි 16 දා මාධ්‍ය වාර්තා කර තිබු පරිදි, 15 දා වන විට දිනකට වාර්තාගත කෝවිඩ් මරණ සංඛ්‍යාව 20 ඉක්මවීය. දිනකට හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව 2300 ඉක්මවීය. 
 
 
මේ කියන සංඛ්‍යා ලේඛන පවා මෙරටේ දේශපාලඥයන් විසින් මර්දනයට ලක්කොට අඩුවෙන් රටට ඉදිරිපත් කරන බවත් සැලකිල්ලට ගන්න. 
 
කෙසේ වෙතත්, එළැඹෙන සතිය අවසන් වන විට, ලංකාවේ මුළු කෝවිඩ් මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබීමට හොඳටම ඉඩ තිබේ. 
 
මේ තත්වය වහා පාලනය කරගත නොහැකි වුවහොත් ලබන මාසය (ජුනි) වන විට කෝවිඩ් රෝගයෙන් ලංකාවේ දවසකට මියයන සංඛ්‍යාව 200 ක් පමණ වනු ඇතැයිද, දවසකට සොයාගැනෙන රෝගීන් සංඛ්‍යාව 20,000 ක් පමණ වනු ඇතැයිද, වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය පර්යේෂණ අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබේ. 
 
දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක් විය. දරුවන් පස් දෙනෙක් නූගත් ය. දුප්පත් ය. එක පුතෙක් බලවත් ය. සරුසාර ය. අවසාන දරුවාට වයස හයේදී තාත්තා නැති වූ නිසා මේ ළමයි හය දෙනා හැදුවේ වැඩුවේ අම්මාගේ තනි වීරියෙනි. බලවත් පුතා ලොක්කෙකු වී කොළඹ ගියාට පසු අම්මා බලන්ට ගමට ආවේම නැති තරම් ය. අම්මා සිටියේ එක දියනියකගේ පැලකයි. අනිත් දරුවෝද ඒ අහලපහළ දිළිඳු ජීවිත ගත කළහ. අම්මා බලාකියා ගත්තේ ඔවුන් ය. අම්මා මියගිය අවස්ථාවේ කොළඹ පුතා ගමට ඇවිත්, දියනියගේ පැලේ මිනිය තැබිය නොහැකි නිසා ඒ ප්‍රදේශයේ මල් ශාලාවක මිනිය තබා අවමංගල කටයුත්තේ පිරිවැය දැරීය. ඉන්පසුව මේ පුතා එම සිද්ධිය හැඳින්නුවේ, ''මම තමයි හොඳටම මළගම කළේ'' යනුවෙනි. 
 

 
 
ව්‍යවසනයක් ලස්සණට සමාප්තියට පත්කිරීමත් විශේෂ සාර්ථකත්වයක් වශයෙන් සලකන නැමියාවක් ඇතැමුන් තුළ තිබේ. රටක් වශයෙන් අපට අවශ්‍ය කොට තිබුණේ, ව්‍යසනය වළක්වා ගැනීම මිස ව්‍යසනය අවසන් කිරීමේ ජයග්‍රාහකයා සෙවීම නොවේ. 
 
යම් දවසක මේ කෝවිඩ් වසංගතය ලෝකයෙන් තුරන් වෙනවාට කිසි සැකයක් නැත. 
 
එහෙත් එදාට, එය නැති කළේ මම යැයි අපේ නායකයන් පුරසාරම් නොදොඩා සිටියොත් ඒ හොඳටම ඇති. ''අරුං හිටියා නං මේ තරම්වත් කරන්නේ නැතැ''යි නොකියා සිටියොත් ඇති. ඉවසිය නොහැක්කේ කිඹුලා කෑම නොව, කොහිල කටු ඇනීම ය.
 
 
 
පාලකයන් වගකීම පැහැර හැරීම බරපතල නඩු නිමිත්තකි:
 brazil covid 19
මේ වන විට බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමතිවරයාට සහ ජනාධිපතිවරයාට විරුද්ධව එරට නීතිපතිවරයා විසින් සාපරාධී පැහැර හැරීම පිළිබඳ විමර්ශන ආරම්භ කොට තිබේ. 
 
  
කෝවිඩ් පාලනය කරගැනීමේ සියලූ දැනුම තිබියදීත් එය පාලනය කර නොගැනීමේ සාපරාධී වගකීම පාලකයන් වෙත පවරන රටවල් කිහිපයක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඉන්දියාව ඉන් මුල් තැන ගනී. 
 
ඊළඟට එන්නේ බ්‍රසීලයයි. මේ වන විට බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමතිවරයාට සහ ජනාධිපතිවරයාට විරුද්ධව එරට නීතිපතිවරයා විසින් සාපරාධී පැහැර හැරීම පිළිබඳ විමර්ශන ආරම්භ කොට තිබේ. 
 
ඊට අයත් චෝදනා මෙසේ ය:  
 
(1) එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම
 
(2) විද්‍යානුකූලව තහවුරු නොකළ විවිධ ඖෂධ වර්ග ප්‍රවර්ධනය කිරීම 
 
(3) රට ලොක්ඩවුන් කරන්නැයි කළ ඉල්ලීම් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම
 
(4) වෛද්‍ය සේවාවන් ප්‍රමාණවත් මට්ටමින් වර්ධනය නොකිරීම ආදියයි. වරක් මේ පුද්ගලයා කෝවිඩ් වසංගතය සිය රටවැසියන්ට හඳුන්වා දුන්නේ, ''මේ නිකං හෙම්බිරිස්සාවක් විතරයි'' යනුවෙනි.    
 
 
 
Pujitha Hemasiriදැන් තරමක් අපේ අතීතයට යමු: හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව විවිධ පුද්ගලයන් විසින් මේ වන විට නඩු විශාල සංඛ්‍යාවක් පවරා ඇති බව සැලයි. 
 
ඒ, ආණ්ඩුව විසින් ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කොට ඇති චෝදනාවලට සහ නඩුවලට අමතරව ය. 
 
මේ සියල්ලන් නඟන චෝදනාව කුමක්ද? පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් 'මිනීමැරුම' නමැති අපරාධය ඔවුන් දෙන්නා විසින් සිද්ධ කෙළේය යන්නයි. 
 
එතකොට, කෝවිඩ් වසංගතය වළක්වා නොගැනීම සහ පාලනය කර නොගැනීම නිසා අද සිදු වන මරණ සංඛ්‍යාවේ සාපරාධී වගකීමත් යමෙකු වෙත බැර කළ නොහැකිද යන ප්‍රශ්නය මතුවෙයි. 
 
අපේ මතකය අලූත් කරගත්තොත්, ඒ සම්බන්ධයෙන් මෙවැනි කාරණා කල්පනාවට එයි. 
 
(1) රටේ සුළු පිරිසක් රෝගීන් වූ පමනින් සහ දෙතුන් දෙනෙක් මියගිය පමනින් රටක් වසා දැමිය නොහැකි බව ජනාධිපතිවරයාම ප්‍රකාශයට පත්කිරීම, 
 
(2) විද්‍යාත්මක ක්‍රමවේද වෙනුවට පැනි බීම සහ වතුර කළගෙඩි ගඟට දැමීම රජය විසින්ම ප්‍රවර්ධනය කිරීම, 
 
(3) මුඛ ආවරණ පැලඳීම අවශ්‍ය නැති බව සෞඛ්‍ය ඇමතිනියම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීම, 
 
(4) යුක්රේනය නමැති කෝවිඩ් ගුහාවෙන් 'සංචාරකයන්' මෙරටට ගෙන්වීමට උදයංග වීරතුංගට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම, 
 
(5) ඊයේ පෙරේදා වන තෙක් ඉන්දියාවේ කෝවිඩ් රෝගීන් නිරෝධායනය වීම සඳහා ලංකාවට ගෙන්වා ගැනීම,
 
 (6) තොන්ඩමන්ගේ අවමගුල මගුලක් කරගැනීම 
 
(7) නුවරඑළි සැණකෙළිය 
 
(8) සිංහල අවුරුදු කෑමට කොරෝනා පැත්තකින් තැබීම සහ 
 
(9) ගාමිණී ලොකුගේ අද මුළු පිළියන්දලම මළගෙයක් බවට පත්කොට තිබීම ඇතුළු සිදුවීම් රාශියක් එක පෙළට තිබේ.   
 
 
       

kdflj

 ගෝඨාභය රාජපක්ෂ, වෙනත් සියලූ දේශපාලනඥයන්ගෙන් වෙනස් 'වැඩකාරයෙකු' බව හෙවත් 'ක්‍රියාවේ නිමග්න' පුද්ගලයෙකු බව සෑහෙන කාලයක සිට සමාජ සංවාද තුළ දකින්ට ලැබුණි. 
 
  
මේ අදහස තුළ අර්ථ දෙකක් කුළුගැන්වුණි. 
 
 
එක පිරිසක් එයින් අපේක්ෂා කෙළේ හිට්ලර් වැනි වැඩකාරයෙකි. එය ඉතා බිහිසුණු, පාපතර අපේක්ෂාවකි. ඒ අපේක්ෂාව දරා සිටි මෝඩ ගිහියන්ට අමතරව, බුදුන් වහන්සේගේ සාසනයේ මහා සංඝ රත්නයේ අනුනායක හිමිවරුත් සිටියහ. 
 
තවත් පිරිසකට තිබුණේ, කොළඹ නගර ශෝභනයේදී ඔහු දැක්වූ සමත්කම් රට සංවර්ධනයේදීත් ඔහුගෙන් දැකගැනීමට හැකි වෙතැයි යන බොළඳ අපේක්ෂාවකි. 
 
මේ දෙවැනි අදහස තුළ බරපතල අවුලක් නැති මුත්, නගරයක් ලස්සණ කිරීම සහ රටක් සංවර්ධනය කිරීම අතර අහස පොළොව අතර වෙනසක් ඇති බව ඒ පිරිසට අවබෝධයක් නොතිබීම ලොකු අවුලකි. 
 
මේ බව කෝවිඩ් වසංගතයට මුහුණදෙන ආකාරයත්, ඊට අමතරව (රසායනික පොහොර තහනම ආදී) රටේ තවත් ප්‍රශ්න විසඳීමට ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් බලන ආකාරයත් තුළින් කෙනෙකුට මොනවට පැහැදිලි වෙයි.
 
 
 
 
පොල් කට්ටෙන් වැසිය නොහැකි කප්පරක් :
 
ඊට දිය හැකි උදාහරණ ලැයිස්තුව ඉතා දීර්ඝ ය. එහෙත් කිව යුත්තේ මෙයයි: පොල්කට්ටෙන් වැසීමට නොහැකි විශාලත්වයන් තිබේ. 
 
රටක ප්‍රශ්න උග්‍ර වන ආකාරය ගැන විවිධ අර්ථකථන තිබිය හැකිය. ප්‍රශ්නවල ස්වභාවය පිළිබඳවත් විවිධ මත තිබිය හැකිය. 
 
එම අනියත භාවය තුළ, නූතන ලෝකයේ ඉතා දියුණු විද්‍යුත් මාධ්‍ය ජාල භාවිත කොට, යම් කාලයක් වැරදි අර්ථකථන සමාජයට සැපයීමේ හැකියාව පාලකයන්ට ලැබේ. අද වන විට කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් ලංකාව සහ ඉන්දියාව වැනි රටවල් කරන්නේ ඒ ප්‍රෝඩාවයි. එහෙත්, වසංගතය ව්‍යාප්තියේ එක සීමාවකින් පසු, එවැනි ක්‍රමෝපායයන් සාර්ථක ප්‍රතිඵල ගෙන නොදෙයි. එනම්, රෑට රජයේ රූපවාහිනයේ කියන දේවල් මිනිසුන් පිළිනොගන්නා මොහොතක් එළැඹෙන බවයි.  
 
kinකිංස්ලි රත්නායක වැනි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සේවයට ගැනීම, ඉහතින් කී පොල්කට්ටෙන් අක්කරයක් වැසීමට බැලීමකි. ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ඇති දේශපාලනික පක්ෂපාතීත්වයක් නිසා එම ධුරයට යාමට ඔහු ප්‍රිය කළා විය හැකිය. එහෙත්, තමන්ට වසා දිය නොහැකි තරමේ විශාල හිලක්/කුහරයක් මේ පාලන මාදිලිය මැද්දේ ඇති බව ඔහුට නොවැටහුණි. 
 
ඒ මෝහය ඔහු තුළින්ම ප්‍රකාශයට පත්වීමට සතියක් ගියේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය චීන එන්නතට අනුමැතිය දුන්නේ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට දුරකථනයෙන් කතා කොට කරුණු පැහැදිලි කර දීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව ඔහු කියා සිටියේය.
 
 ඊට පසුවදාම, ලෝක සෞඛ්‍ය සංවිධානය එම සාවද්‍ය මතය ඉඳුරා බැහැර කෙළේය. 
 
ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතනයක් ලෝකයටම බලපාන සෞඛ්‍ය කාරණයක් ගැන තීන්දු ගැනීමේ ක්‍රියාවලිය තුළ, පිළියන්දල ගාමිණි ලොකුගේ ක්‍රමයට ඉඩක් නැති බව, සාමාන්‍ය අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට වැටහෙන කාරණයක්, කිංස්ලි රත්නායක වැනි ප්‍රවීණයෙකුට නොවැටහුණේ කෙසේද යන්න පැහැදිලියි. ඔහු ගොස් සිටින්නේ වවුලෙකුගේ මගුල් ගෙදරකයි. 
 
  rdff
 යුක්රේනය නමැති කෝවිඩ් ගුහාවෙන් 'සංචාරකයන්' මෙරටට ගෙන්වීමට උදයංග වීරතුංගට රාජ්‍ය අනුග්‍රහය ලැබිණ.
 
        
මේ පාලකයන් සරල සමීකරණ පවා පටලවා ගන්නා බවක් පෙනෙන්ට තිබේ. ඉහතින් කී යුක්රේනයේ සංචාරකයන් ගෙන ඒම ගැන මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ දුන් පිළිතුර, 
 
මෙවැනි නායකයන්ගේ 'වැඩකාර' ගතිය පිළිබඳ මිථ්‍යාවේ පුස්ස ඕනෑම කෙනෙකුට පසක් කර දෙයි.
 
 ඔහු කීවේ, කෝවිඩ් තිඛෙන යුක්රේනය වැනි රටකින් ලංකාවට සංචාරකයන් ගෙන ඒමෙන් අපේක්ෂා කෙළේ, එම රෝගය ලංකාවේ මිනිසුන්ට වැලඳේදැයි බැලීමට බවයි. කොහොමද ඒ මොළය. 
 
කෙසේ වෙතත් ඒ පරීක්ෂණය අද වන විට සාර්ථක වී තිබියදී, එකී විද්‍යාත්මක පරීක්ෂණය සිදු කළ බැසිල් රාජපක්ෂ සුළු ප්‍රතිකාරයක් සඳහා මීට දින කිහිපයකට කලින් ඇමරිකාවට ගියේය. 
 

 
අද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කෙනෙකු ප්‍රශ්න කොට තිබූ පරිදි, සහෝදරයන් දෙන්නෙකු (මහින්ද සහ ගෝඨාභය) තුන් වරක් රටේ ජනාධිපතිකම් කර තිබියදීත්, ඒ මුළු කාලය තිස්සේ ඔවුන්ගේ 'මොළකාරයා' වශයෙන් හැඳින්වෙන බැසිල් රාජපක්ෂගේ 'සුළු' රෝගයකට ප්‍රතිකාර කිරීමට තරම්වත් ලංකාවේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් නොවී තිබීමේ කතාව අප කියන්නේ කාටද?
 
 ඉහත කී මාධ්‍යවේදියා ඉදිරියේ බැසිල් රාජපක්ෂ මේ වසංගතය හඳුන්වන්නේ ''කෝවීන්'' කියා ය. වසංගතයේ නමවත් නොදන්නා නායකයන් 'මොළකාරයන්' වන්නේ කෙසේදැයි කියා දිය හැකි කෙනෙකු සිටීද?
 
 
 
 
දාහක් දෙදාහක් මැරුණත් ඉතිං මොකෝ? 
   
මැයි 12 වැනිදා සිට ජුනි 7 වැනිදා දක්වා මැලේසියාව ලොක්ඩවුන් කිරීමට එරට රජය මැයි 10 වැනිදා තීරණය කෙළේය. මෙය, පසුගිය අවුරුද්දක කාලයක් තුළ එරට වසා දැමෙන තුන්වැනි වාරයයි.
 
 පළමු වාරයේ, එනම් ගිය වසරේ මාර්තු-මැයි අතර කාලයේ මාස දෙකකට වසා දැමුණි. එයින් බොහෝදුරට තත්වය පාලනය කරගැනුණි. 
 
එහෙත් ඒ වසරේ සැප්තැම්බර් මාසයේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට යාම නිසා එම පාලනය බලධාරීන්ගේ අතින් ගිලිහී ගියේය. ඉන්පසු මේ වසරේ ජනවාරි-පෙබරවාරි කාලයේ නැවත වසා දැමුණි. 
 
එහෙත් අප්‍රේල් මැද භාගය වන විට රාමදාන් ආගමික වතාවත් කාලයේ නැවත වරක් කෑම කඩ සමග රාත්‍රී කාලයේ රාමදාන් ආගමික යාඥා මෙහෙයන්ට අවසරය දුනි. 
 
පසුගිය මාසය වන විට එරටේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 15,000 ක් වූ අතර එම ප්‍රමාණය ඊයේ වන විට 37,000 ඉක්මවා ගියේය. දිනකට සොයාගන්නා රෝගීන් සංඛ්‍යාව 4500 දක්වා ඉහළ ගියේය. එදාම, එක දිනක මරණ සංඛ්‍යාව 26 ක් විය. දැන්, තවත් මාසයකට ආසන්න කාලයක් රට වසා දැමීමට බලධාරීන් තීන්දු කොට ඇත්තේ ඒ තතු යටතේ ය.
 
 dfggjgh
 
ගත වූ වසරකට වැඩි කාලයක් තුළ ලංකාවේ අත්දැකීමත් බොහෝදුරට ඊට සමාන ය. ඉහත කී දවසේ ලංකාවේ මරණ සංඛ්‍යාව, හරියටම එම දවසේ මැලේසියාවේ මරණ සංඛ්‍යාවට සමාන විය. එනම් 26 කි. මැලේසියාවේ ජනගහනය මිලියන 32 කි. ලංකාවේ ජනගහනය මිලියන 21 කි. 
 
ඉතිං, මැලේසියාවේ මරණ 26 ක බරපතලකම ලංකාවේ ජනගහනයට සාපේක්ෂව අපට දැනිය යුතුව තිබුණේ, අපේ දෛනික මරණ සංඛ්‍යාව 17 ක්ව තිබියදී ය. එහෙත් අපේ පාලකයන් ඒ වන විටත් සිටියේ රට නොවැසීමේ දැඩි අදිටනකයි.   
 
මේ රටවල් දෙක අතර මරණ සංඛ්‍යාව අතින් සමානකම් තිබුණත් වෙනත් බොහෝ අංශවලින්, සන්සන්දනය කිරීමට නොහැකි ආකාරයේ අසමානකම්ද තිඛෙන බව ඇත්ත. ඉහත කී සංඛ්‍යා ලේඛන අනුවම ගත්තත්, දිනකට එරටින් සොයාගන්නා රෝගීන් සංඛ්‍යාව (4500) සහ ලංකාවේ දිනකට සොයාගන්නා රෝගීන් සංඛ්‍යාව (2300) අතර සෑහෙන වෙනසක් තිබේ. එනම් ලංකාවට වඩා අර්බුදයකට එම රට මුහුණදී ඇති බවයි. 
 
එහෙත් අනිත් අතට, ලංකාවේ දිනකට සොයාගන්නා අඩු රෝගීන් සංඛ්‍යාව තීරණය වන්නේ ලංකාවේ කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණයේ අඩුව නිසා බවත් අපි හොඳින්ම දනිමු. 
 
ඒ කෙසේ වෙතත්, මේ අවස්ථාවේ මැලේසියාව සමග ලංකාව සැසඳීමට සිතුණේ, වෙනත් හේතුවක් නිසා ය. මරණයේ වටිනාකම පිළිබඳව ඒ ඒ රටවල නායකයන් සිතනපතන ආකාරය ගැන, ආංශික වශයෙන් හෝ සිතා බැලීමට එය ප්‍රයෝජනවත් යැයි සිතුණු නිසා ය. 
 
 
පසුගිය සතියේ ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මෙරටේ ප්‍රධාන ඇමතිවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු වැදගත් ප්‍රශ්නයක් අපෙන් අසා තිබුණි. ඒ මෙසේ ය: ''මිනිස්සු දාහක් දෙදාහක් මැරුණට මොකක්ද තියෙන ප්‍රශ්නේ?''. 

 
 
එවැනි නිහීන ආකල්පයක් මැලේසියාවේ බලධාරීන් තුළ කිසි විටෙකත් තිබූ බවක් වාර්තා වී නැත. 
 
අප නැවත නැවතත් පෙන්වා දී ඇති පරිදි, ලංකාව මුහුදෙන් වට වූ දිවයිනක් වීම නිසාම ලැබී තිබුණු විශේෂ භූගෝලීය වාසිය මුල පටන්ම අපේ පාලකයන් කෝවිඩ් මර්දනය සම්බන්ධයෙන් පාවිච්චියට ගත්තේ නැත. 
 
තායිවානය, නවසීලන්තය, අයිස්ලන්තය, ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව වැනි අප වැනි දූපත් රාජ්‍යයන් ඒ භූගෝලීය වාසිය අත්කරගෙන (නායකත්වයත් නිවැරදි තීරණ අරගෙන), අද මේ වසංගතය පාලනය කරගෙන සිටී. 
 
ඊළඟට, රටේ ආර්ථීකය ආරක්ෂා කරගැනීම සහ මිනිස් ජීවිත ආරක්ෂා කරගැනීම යන සාධක දෙක අතර පවතින සහසම්බන්ධය නිවැරදිව කිරා බැලීමට අපේ පාලකයන් සමත් වුණේ නැත.
 
 ආර්ථීකය ආරක්ෂා කරගැනීම සඳහා රට විවෘතව තබා ගැනීමට ගොස් මුළු රටම රෝගයට ගොදුරු වෙයි නම්, එවැනි පරිසරයක ආර්ථීකයක් ආරක්ෂා වන්නේ කෙසේද යන සරල කාරණය පිළිබඳ අවබෝධයක් පාලකයන්ට තිබිය යුතුව තිබුණි. 
 
අලි මදිවට හරක් කීවා සේ, ඒ අස්සේ විද්‍යාව වෙනුවට මිථ්‍යාව උඩ දමමින්, එන්නත වෙනුවට කාලි අම්මා සහ නාථ දෙවියන් වන්දනා කිරීමට පටන් ගැනුණි. 
 
ඇත්ත, මේ ප්‍රශ්න මතු කිරීමෙන් දැන් වැඩක් නැත. ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු විය යුතු නැති බව පමණක්, මේ සමස්ත ජවනිකාව නැවත වරක් අපට උගන්වයි.
 
 
Gamini Viyangoda Colombo Telegraph(ගාමිණි වියන්ගොඩ) 
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ) 

 

 

 


 

THE LEADER TV 
යුක්රේනුවන් වෙනුවට රුසියානුවන්: මියගිය අයට වගකියන්නේ බැසිල් ද?
 

 
 
ජොනී - සුදර්ශනී ගැටුමෙන් ඉටුකමේ අර්බුදය එළියට...
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58