1200 x 80 DMirror
 
 

රසායනික පොහොර සහ රසායනික බෙහෙත් වර්ග නැතිනම් කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමේ

ජනාධිපතිවරයාගේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවේ 2021 අප්‍රේල් 27 දිනයි.

මෙම කැබිනට් පත්‍රිකාවේ මූලික අරමුණ ලෙස ප්‍රකාශයට පත් වුයේ, ශ්‍රී ලාංකීය ජනතාව වසවිස සහිත ආහාර අනුභවයෙන් මුදවා ගැනීමයි. 
 
එසේ වුවත් එම කැබිනට් පත්‍රිකාවේ විශේෂයෙන්ම සඳහන් කර ඇත්තේ, පොහොර, රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය දේ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 1600 ක් පමන වැය වෙන බවයි.
 
රසායනික පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 400 කුත් රසායනික ද්‍රව්‍ය ආනයනය සඳහා තවත්  ඩොලර් මිලියන 40 කුත් වැය වෙන බව මෙම කැබිනට් පත්‍රිකාවෙන් උලුප්පා දක්වා ඇත.
  
මෙම රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීම ජනාධිපති ගෝඨාභය දැඩි අධිෂ්ඨානයකින් ආරම්භ කළ ව්‍යාපෘතියක් වශයෙන් දැක්විය හැකිය.
 
කොවිඩ් මර්ධනයටත් වඩා වැඩි අවධානයක් යොමුකරමින්, සිය කාර්ය සාධක බලකාය සමඟ රැස්වීම් වාර කිහිපයක් ම පවත්වා තමාගේ සිහිනය ඔහු විසින් ජනතාව හමුවේ අවධාරණය කර ඇත.
 
 
 
 කාබනික පොහොර ආනයනයට අනුමැතිය :
 
මෙහි දෙවෙනි අවස්ථාව වන්නේ රසායනික පොහොර වෙනුවට කොම්පෝස් සහ කාබනික පොහොර වර්ග, කාබනික රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර දෙමින් පසුගිය 01  සඳුදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද දෙවෙනි කැබිනට් පත්‍රිකාවයි.
 
 
කාබනික පොහොර ආනයනය කිරීම ශාක ආනයනයට අදාළ රටේ නීතිය අනුව නීති විරෝධී ක්‍රියාවක් වුවද, එම පනතේ ප්‍රතිපාදනවලින් රිංගා යමින් පොහොර ආනයනය කිරීමේ හැකියාවක් ඇති බව මැයි 31 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ. 
 
කාබනික පොහොර ආනයනය කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එම අවස්ථාවේ විදෙස් රටවලින් ක්ෂුද්‍ර ජීවීන් සහිත ශාක කොටස් හෝ සත්ව කොටස් ගෙන්වීමට අදාළව රටේ පවතින නීතිරීතිවලින් බාධාවක් තිබේදැයි සාකච්ඡා කර ඇත.
 
පොහොර ගෙන්වා විෂබීජහරණය කොට රට තුළට ගැනීමට හැකියාවක් පවතින බවත්, සීමිත හේතු මත රට තුළට ශාක හා සත්ව කොටස් ගෙන්වීමේ ප්‍රතිපාදන පවතින බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා එම අවස්ථාවේ ප්‍රකාශ කර ඇතැයි 'අනිද්දා' පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
 
 
 
1924 ශාක ආරක්ෂා කිරීමේ ආඥා පනත
 
ආණ්ඩුවේ මාධ්‍ය විසින් පෙන්වා දෙමින් සිටින්නේ දැන් ප්‍රශ්නය විසඳා තිබෙන බවකි.
 
එනම් මහ කන්නය සඳහා සියලු රසායනික පොහොර වර්ග සහ රසායනික ද්‍රව්‍ය ආනයනය නොකරන අතර ආනයනය කිරීමට අවසර දී ඇත්තේ කාබනික පොහොර වර්ගයි.
 
'අනිද්දා' පුවත් වාර්තාවෙන් පැහැදිලිව පෙන්වා දී ඇති පරිදි, 1924 ශාක ආරක්ෂා කිරීමේ ආඥා පනත, එම පනත යටතේ 1980 දී පනවා ඇති රෙගුලාසි සහ 1999 අංක 25 දරණ ශාක ආරක්ෂක පනත අනුව ශ්‍රී ලංකාවට විදේශ රටවලින් ශාක හෝ ශාක කොටස් ආනයනය කිරීම තහනම් වේ.
  
එසේ ආනයනය කළ හැකි එකම අවස්ථාව වන්නේ යම්කිසි පර්යේෂණ අවස්ථාවක් සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අවසරය සහිතව සුළු ප්‍රමාණයක් ගෙන්වීමය. 
 
අවසර ඇතිව එසේ ගෙන්වන සුළු ප්‍රමාණය රටට ඇතුළු කිරීමට පෙර වරායේ හෝ ගුවන් තොටුපලේ රඳවා ධුමානයට ලක්කර යම් කාලයක් තැබීමෙන් පසු පරීක්ෂා කර ඒවා හානිකර නොවන බවට තීරණය කිරීමෙන් පසු රට තුළට ගෙන ඒමට අවසර ලැබේ. 
 
ශාක ආරක්ෂණ පනත යටතේ මෙම ආරක්ෂණ විධිවිධාන යොදවා ඇත්තේ ආක්‍රමණික ශාක හා කෘමීන් රට තුළට ඒම වැළැක්වීම සඳහාය.
  
 ශ්‍රී ලංකාවේ පැලෑටී නිරෝධායන නීතිය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගාවට අවශ්‍ය යෙදවුම් ආනයනය සහ පරිහරණය කිරීම සඳහා කෘෂි භෝග නිරෝධායනය පනත යටතේ ආනයනය කරන ද්‍රව්‍යයට අදාල සියලු වාර්තා සහ සාම්පල් ලබා දුන් පසු එම ද්‍රව්‍ය ආනයනය සඳහා අවසර දීමට වසර දෙකක පමණ කාලයක් ගත වේ.
 
එවැනි දීර්ග කාලයක් ගන්නේ එම ද්‍රව්‍ය භාවිතයෙන් කරන පරික්ෂණ අවසන් කිරීමටය. 
 
 
 
එළැඹෙන වගා කන්නය ?
 
දැන් ප්‍රශ්නය වන්නේ එළැඹෙන වගා කන්නය සඳහා තව ඇත්තේ මාස 4 ක පමණ කාලයකි. 
 
ජනාධිපතිවරයා අවසර දුන්නද මේ පිටරටින් ආනයනය කරන්න සැරසෙන කාබනික පොහොර වර්ග පරීක්ෂණයට ලක්කොට අවසර දීමට කොපමන කාලයක් ගතවේද යන් ප්‍රස්නය ‍රට ඉදිරියේ ඇත.
 
DFGDFGTT
 
පාංශු විශේෂඥයින් පවසන පරිදි, කාබනික පොහොර සහ කොම්පෝස් වැනි ද්‍රව්‍ය භාවිතයේ දීර්ඝකාලීන ගැටළුව වන්නේ, ජෛව විවිධත්වයට වියහැකි හානි හා ජීවී ත්‍රස්තවාදී අනතුරයි. පොදුවේ ගත්කළ පරිසර හා ආහාර සුරක්ෂීතතාවට වන බලපෑම්ය. 
 
මෙම කාබනික පොහොර සහ කොම්පෝස් වැනි ද්‍රව්‍ය නියාමනය කෙසේවෙතත්, රාජ්‍ය ආයතන පසුවන්නේ පොල්තෙල් හා පාම් තෙල්වල වල ගුනාත්මකබව හෝ නියාමනය කල නොහැකි දුර්වල තත්වයකය.
 
තවද මෙම කාබනික පොහොර සමග රටට එන වල් පැලෑටී, දිලීර වර්ග, කෘමි බිත්තර, පරපෝෂිතයන් නිසා අපගේ 
කෘෂිකර්මාන්තය සම්පූර්නයෙන් විනාශ වියහැකි බවට පාංශු විශේෂඥයින් අනතුරු අඟවති.
 
කාබනික පොහොර ආනයනය සඳහා අධික වියදම දැරීමට සිදුවන අතරම ප්‍රමිතිය සම්බන්ධයෙන් ද බරපතල ගැටළු මතුවිය හැකි බවට පාංශු විශේෂඥයින් පවසති.
 
 ma
කෘෂිකර්මාන්ත අමාත්‍ය මහින්දාන්ද 
 
  
රසායනික පොහොර තහනම පැනවූ දිනයේ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා පැවසුයේ, ලබන කන්නයට රටට ම අවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර සැපයීමේ වගකීම ඔහු විසින් බාරගන්නා බවයි.  2022-2023 වනවිට මුලු රටම කාබනික වගාවට යටත් කරනා බවට ඔහු එහිදී අවධරණය කර සිටියේය.
 
මහා කන්නයේදී රටට අවශ්‍ය වන රසායනික පොහොර ප්‍රමාණය ටොන් ලක්ෂ 6 කට ආසන්නය. විශේෂඥයින් පවසන පරිදි ඊට විකල්පයක් වශයෙන් කාබනික පොහොර ටොන් මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් වගාවට යෙදිය යුතුය. එහෙත් ඔවුන් සඳහන් කරන්නේ අස්වැන්න වැඩිකර ගත හැක්කේ 50% ක් දක්වා පමණක් වන බවයි. 
  
එනම් මහා කන්නයේ දී වී ඇතුලු සියලුම බෝගවල අස්වැන්න 50% කින් අඩුවනු ඇත.
 
ශ්‍රී ලංකාවේ ආහාර අතිරික්තයක් නොමැත. එනම් ඉංග්‍රීසි භාෂාවෙන් කියන පරිදි අප රටේ ඇත්තේ HAND-TO-MOUTH ප්‍රමාණයේ ආහාර භෝග නිෂ්පාදනයකි .
 
එහෙත් මහා කන්නය අවසානයේදී ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ආහාර හිඟයක් ඇති වී තවත් අර්බුදයක් රට තුල නිර්මාණය වීමේ පෙර නිමිත්තක් පහල වෙමින් තිබේ. 
 
 
 
වැවිලි භෝගවලින් ලැබෙන විදේශීය ආදායම:
 
වැවිලි භෝගවලින් අප රටට ලැබෙන වාර්ෂික විදේශීය ආදායම සටහන් වන්නෙ මේ ආකාරයටය.
 
තේ      - අපනයනය ඩොලර් මිලියන 1346
 
රබර්    - අපනයනය ඩොලර් මිලියන 24
 
පොල්  - අපනයනය ඩොලර් මිලියන 330
 
අනෙකුත් කෘෂි භෝග  -  499
 
මුළු වැවිළි භෝග අපනයන ආදායම් - ඩොලර් මිලියන 2199 කි.
 
  
මේ සඳහා භාවිතා කරන රසායනික පොහොර සහ කෘෂි ද්‍රව්‍යවල අගය ඩොලර් මිලියන 200 කටත් අඩු අගයක් විය හැකිය.
 
යම්කිසි ආකාරයකින් කාබනික පොහොර භාවිතා කිරීම තුළ ඵළදාව 50% කින් අඩුවුවහොත් රටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 1000 කට අධිකය.
 
මේ සම්බන්ධයෙන් පාංශු විද්‍යා සංගමය විසින් ඊයේ දිනයේදී සිය මතය ඉදිරිපත් කර ඇත.
 
මහ කන්නයට අවශ්‍ය සම්පූර්ණ රසායනික පොහොර ලබාදෙන බවට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ  පැවසුවද, මේ යල කන්නයටත් පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නොමැති බව ගොවි ජනතාව මැසිවිලි නගති. ඒ සම්බන්ධයෙන් දැනටමත් රටේ සිව්දෙසින් උද්ඝෝෂණය මතුවෙමින් තිබේ.
 
පසුගිය දින කිහිපයේ  නිරෝධායන නීති කඩ කරමින් පොහොර ලබා ගැනීමට ගිය දහස් ගණන් ගොවින් රජයට විරෝධය පළකර තිබෙනු මාධ්‍ය මගින් ප්‍රචාරය විය.
 
වැලිමඩ  ප්‍රදේශයේ පොහොර මිටි 100 ක් බෙදා ගැනීමට ගොවීන් 250 කට අධික ප්‍රමාණයක් රැස් වී එකිනෙකා පොරකන ආකාරය රුපවාහිනී මාධ්‍ය ඔස්සේ විකාශය විය.
 
නිසිකලට පොහොර නොමැතිව ගොයම් යායවල් කහා පැහැය ගෙන තිබේ. කෘමී උවදුර ඔඩු දුවා ඇත. කුරුඳු, තේ, එළවලු පලදාව අඩුවෙමින් පවතී.
 
මෙම කරුණු කාරණා ඉදිරියේ බොහෝ දේශපාලනඥයින් නිහඬය. එහෙත් මෙම නිහඬතාවය ඉදිරියේදී සිදුවීමට නියමිත තවත් මහා ව්‍යසනයක පෙරනිමිත්තක් විය හැක. 
 
 
(විශේෂ වාර්තාකරුවකු විසිනි)

 

 


 

THE LEADER TV 
 
 

මේරි කොම් පරදී : නාමල් අගමැති!

 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්