1200 x 80 DMirror
 
 

ආදරේ කියන වචනය හරිම අර්බුදකාරී වචනයක්. 
 
 මේ වචනෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. ඒ වචනෙ ඇහුවම අපේ පිරෙන්නෙ මොනවද කියල අපි දන්නෙත් නෑ. ඒ වචනෙ ඇතුලෙ අපේ අසනීප ගොඩක් පිරිලා තියෙන්න පුළුවන්. 
 
අපි ආදරේ කියන මීදුම ඇතුලෙ අපිට කිසිදවසක මුනනොගැහෙන අපේම ඔලුව ඇතුලෙ ඉන්න අනෙකෙක් හොයමින් ඇවිදිනවා වෙන්න පුළුවන්. 
 
ඕනම ආදරයක ගමන අපි තේරුම් ගත්තොත් ඒක ප්‍රමෝදයක ඉඳන් අතෘප්තියක් දක්වා ගමනක්. සිහිනයක ඉඳන් යතාර්ථය දක්වා ගමනක්.
 
 
මේ ආදරේ කියන එක පුද්ගලික ආදරයක් කියන සීමාවෙ ඉඳන් දේශපාලන ආදරය වගේ පොදු තැන් දක්වාම එනවා. අපේ දේශපාලන නායකයො අපිට වීරයො වෙනවා. අපි ඒ අයට ආදරය කරනවා. ඊටත් එහා ගිහින් අපි ඒ අයව අදහනවා. එහෙම වුනාම අනුහස් නායකයො බිහිවෙනවා.
 
 Sigmund Freud 1926
 
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්
 
මේ කාරණය ගැන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉතා ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. ෆ්‍රොයිඩ් එයාගෙ රෝගීන්ට ප්‍රතිකාර කරන අතරෙදි තේරුම් ගන්නවා මේ රෝගීන් එයාට දැඩි ලෙස ආදරය කරන්න පටන් අරන් කියල. ඒ වගේම ඒ ආදරේ කරන්නෙ තමන්ට නෙමෙයි ඒ අය විසින් මවා ගන්නා ලද කෙනෙකුට කියන එකත් ෆ්‍රොයිඩ් තේරුම් ගන්නවා. මේ එක එක අය තමන්ගේ ළමා කාලයේ වීරයෙකුගේ රූපයක් හැටියෙන් ෆ්‍රොයිඩ්ව දකිනවා. ඒක පරමාදර්ශී තත්වයක්. අපිට ආදරේකදි වෙන්නෙ මේක.
 
  
අහස සේ ඔබ අනන්තයි.. පොලොව සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ ඔබව පමණයි.. ඔබ අනන්තයි..
 
 
මේ කියන්නෙ මිනිහෙකුගේ ස්වභාවයක් ගැන නෙමෙයි. ආදරයකදි අපේ හැමදේම අනෙකාගේ රූපයෙන් පිරී යන එක. සියල්ල ඒ අනෙකා තුල පිළිඹිඹු වෙන එක.
 
 
ට්‍රාන්ස්ෆරන්ස්:
 
 
හැම ආදරයක්ම ළමා කාලයේ අත්දැකීමක් යළි ජීවත් කිරීමක් කියල කියන්නෙ ඒ හින්ද. 
 
නමුත් ඒ ළමා කාලය එහෙම යලි ජීවත් කරවිය හැකි එකක් නෙමෙයි. 
 
මේක දේශපාලනයෙදි නායකයෙකුට ආදේශ වෙනවා. අපේ හැමදෙයක්ම ඒ නායකයා ඇතුලෙන් පේන්න පටන් ගන්නවා. අපේ හැම ප්‍රශ්නයකටම උත්තරේ ඒ නායකයා වෙනවා.
 
මේකට ෆ්‍රොයිඩ් කිව්වෙ ට්‍රාන්ස්ෆරන්ස් කියල. අපේ මවාගැනීමකින් අපි ආදරය කරන කෙනාව අන්දනවා. 
 
 
Sri Lanka's Prime Minister Mahinda Rajapaksa (C) greets as he arrives at his swearing-in ceremony at the sacred Kelaniya Raja Maha Buddhist temple, outside the capital Colombo on August 9, 2020. - Sri Lanka's ruling Rajapaksa brothers won an unprecedented two-thirds majority at the August 5 parliamentary elections that allowed them to rewrite the constitution and increase their power. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images) 
අප්පච්චි..
 
මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත නායකත්වය ගත්තොත් එයා මුලින්ම ජනාධිපතිවරනෙට එනකොට යුද්දෙ කරනවද නැද්ද කියන එක ගැනවත් හරි අදහසක් එයාට තිබුනෙ නෑ. ඒත් එයාව යුද්දෙට තල්ලු වුනා. යුද්දෙ දින්නා. ඒ හරහා අනුහස් නායකත්වයක් නිර්මාණය වුනා. මහින්දට ලස්සන ආමන්ත්‍රණයක් හැදුනා.
 
 
අප්පච්චි..
 
 
මේ අප්පච්චි කියන වචනෙ අපේ ගැඹුරු සාමූහික අවිඥානයක් එක්ක සම්බන්ද එකක්. දැඩිමුන්ඩ, සූනියම් වගේ දෙවිවරුන්ට කතා කරන්නෙ අප්පච්චි කියල. 
 
අනිත් අතට ඒ තමයි අපිට ළමාකාලෙ අහිමි වුණු පියා ගැන සිහිනය. පොඩි එකෙකුට තමන්ගෙ තාත්තා පේන වීරත්වය. තාත්තා කියන වචනෙටත් එහා ගිහින් පැරණි සිංහල උරුමයේ පීතෘත්වය ස්පර්ශ කරමින් එන අප්පච්චී හැඟීම. 
 
තාත්තට වඩා අප්පච්චි ලොකුයි. 
 
ජාතියක්ම මහින්ද ඇතුලෙන් මේ අප්පච්චි දැක්කා. එතනින් නැවතුනේ නෑ. ඒ අප්පච්චිව මහ රජානෝ බවට පත් කළා. ඒ චරිතයත් එක්ක කාලතරණ අත්දැකීමක ජීවත් වෙන්න පටන් ගත්තා.
 
 

 
 
මේක මහින්ද නිර්මාණය කරන එකක් නෙමෙයි. රෝගී ජනතාව විසින් කරන සාමූහික නිර්මාණයක්. තමන්ගේ රෝගයේ ප්‍රමාණයට වීරයා විශාල වෙනවා. ඒ රෝගයේ ඉතිහාසය දක්වාම වීරයාගේ මුල් දුවන්න පටන්ගන්නවා. 
 
 
මහින්ද රට වෙනුවට පවුල කියන එක ගෙනාවා. තමන්ගෙ රාජපක්ෂ පවුලට භෞතික වාසි ගැනීමේ පවුල්වාදය විතරක් නෙමෙයි රටේ සමස්තයට තමන් රාජ්‍යය කියන එකෙන් ආපහු පවුල ඇතුලට ගමන් කිරීමේ සිහිනය මහින්ද නිර්මාණය කළා. ඒ පවුලෙ අප්පච්චි තමයි මහින්ද.
 
 
වීරයෙක් නිර්මාණය වෙන්න කාරණා දෙකක් බලපානවා. එකක් තමයි මොනයම්ම ආකාරයකින් හෝ පවතින දක්ෂතාවය. ඒක තියෙන බොහොමයක් අය ඉන්නවා. 
 
අනික තමයි මිනිස්සු තේරුම් ගැනීමේ හැකියාව. මේකට කියන්නෙ එම්පතිය කියල. අනෙකාගේ හැඟීම් දැනීම් බුද්ධිමය වශයෙන් තේරුම් ගැනීම නෙමෙයි, ඒක දැනීමේ ගුණය. මහින්දට ඒක සුවිශාලව පිහිටනවා. ඒ සමීපත්වය මහින්දගෙන් මිනිස්සුන්ට දැනෙනවා.
 
 
සෙක්ෂුවල් රිප්‍රෙෂන් :
 
 
මේ රටම පවුලක් වීම ඇතුලෙ අපේ සමාජ අවිඥානයේ තියෙන තවත් රෝගයක් එලියට එනවා. ඒ තමයි පවුල ඇතුලෙ ළමා කාලයේ මුහුණ දෙන ලිංගික යටපත් කිරීම. සෙක්ෂුවල් රිප්‍රෙෂන් කියන එක.
 
 Wilhelm Reich
 
විල්හෙල්ම් රීච්
 
 
විල්හෙල්ම් රීච් කියන මනෝ විශ්ලේෂකයා මේ කාරණය ගැන වැඩිදුරට හොයනවා. එයා පර්යේෂණය කරනවා ඇයි ඒකාධිපති ස්වරූපයේ නායකයන්ට ජනතාව පෙම් බඳින්නෙ කියල. ඒ ගැන රීච් ලියනවා මාස් සයිකොලොජි ඔෆ් ෆැසිසම් කියල පොතක්. 
 
පීතෘ මූලික පවුල ඇතුලෙ දරුවන්ගේ ලිංගික යටපත් වීම ඒකාධිපතීත්වයට ඇති ආශාව ආදරය ඇතුලෙ පිළිඹිඹු වෙනවා කියල එයා කියනවා. 
 
ඒකාධිපතියන් බිහිවන සමාජය නිර්මාණය වෙන්නෙ පීතෘමූලික පවුලෙන්. පවුල් ඇතුලෙ ළමයා කීකරු කිරීම කියන එක සිද්ද වෙන්නෙ ළමයාගේ ලිංගික ආශාවන් මර්දන කිරීම හරහා. 
 
ඒ අකීකරු කැරලිගහන ලිංගික ආශාවන් තමයි අනාගතයේ නිදහස්කාමී, ආධිපත්‍ය නොඉවසනසුලු පුරවැසියා නිර්මාණය කරන්නෙ. 
 
 
ඒත් දැඩි පිරිමි පෞර්ෂ උසුලන අප්පච්චිලා දරුවන්ව බෙලහීන කරනවා. මේ කීකරු ළමයා මහා නායකයෙක් ප්‍රාර්ථනා කරනවා. ඒ නායකයා නියෝජනය කරන්නෙ අර පීතෘ මූලික පවුලේ මානසික ආබාධය. අපේ රට කියන්නෙ අම්මා. අප්පච්චි කියන්නෙ මහින්ද. අපි සමාජය විදිහට පරිකල්පනය කරන්නෙ අපේ ඊඩිපස් පවුල.
 
 
මේ පීතෘ මූලික පවුලෙන් යටපත් කරන ලිංගික ආශාවන් විකෘති ආකාරයන්ගෙන් තෘප්තිමත් වෙන්න පටන් ගන්නවා කියල විල්හෙල්ම් රීච් කියනවා. 
 
ඒවා ජාතිය රැකගැනීමේ, ආගම රැකගැනීමේ යුද්ද කෝලාහල විදිහට එලියට එනවා. 
 
යටපත් කළ ලිංගික ආශාව වෙනත් සදාචාරවාදී විකෘති හැඩවලින් තෘප්තිය හොයන්න පටන් ගන්නවා. 
 
 
අපි චන්ඩි ජාතියක් වෙනවා :
 
 
රාජපක්ෂ ආන්ඩුවලදි චන්ඩිකම් වැඩි වෙන්නෙ මේ හින්ද. චන්ඩි පොලු අරන් එනවා බුද්ධාගම රකින්න. අපි චන්ඩි ජාතියක් වෙනවා.
 
සෙක්ස් කියන එක සදාචාරය සම්බන්ධ කාරණයක් නෙමෙයි. සදාචාරය එක්ක නිතර ගැටගහන සංස්කෘතිය කියන එක ගත්තොත් සංස්කෘතිය කියන සංකල්පයට සෙක්ස් වලින් කිසිම අර්බුදයක් නෑ. 
 
ඇත්තටම සංස්කෘතියට සෙක්ස් කියන එක ධනාත්මක දෙයක්. නමුත් සෙක්ස් කියන එක ගැටගැහෙන්නෙ දේශපාලනය නැත්තං බලය කියන දේත් එක්ක. 
 
සෙක්ස් යටපත් කිරීම හරහා දේශපාලනයට ලිංගික ආර්ථිකය එකතු කරගන්න පුළුවන් වෙනවා. 
 
 
මේක සිද්ද වෙන්නෙ ආගම හරහා. ඕනම ආගමක් සෙක්ස් පාලනය කරනවා. ආගමෙන් කප්පාදු කරන සෙක්ස්වල බලය දේශපාලනයට හැරෙනවා. ආගම සහ දේශපාලන බලය කියන දෙක හැමවිටම එකට පවතින්නෙ මේ හින්දයි. ඒකාධිපති හිට්ලර් කෙනෙකුගෙ ඉඳන් රජකම් කරන අප්පච්චි කෙනෙක් දක්වාම යන්නෙ මේ කප්පාදු කරන ලද ලිංගිකත්වයේ ආබාධය.
 
 
 
z p06 legend
ආර් ප්‍රේමදාස: කවුන්ටර්ට්‍රාන්ස්ෆරන්ස් 
 
 
මහින්ද ගැන ආදරය ඇතුලෙ අපේ මනෝ ආබාධිත ලිංගික සංස්කෘතිය පේන්න පටන් ගන්නවා. නායකයා කියන්නෙ ජනතාවගේ යටපත් කරන ලද ආශාව. 
 
මහින්දට කලින් මේ රූපයට සමීප වුනේ ආර් ප්‍රේමදාස. ප්‍රේමදාස මේ රජාගෙ චරිතයට හොඳටම ඇඳගත්තා. 
 
ෆ්‍රොයිඩ්ගෙ භාෂාවෙන් කවුන්ටර්ට්‍රාන්ස්ෆරන්ස් එකකට ගියා. 
 
එතකොට ජනතාව මේ පැත්තෙන් තමන්ගේ රෝගය ප්‍රක්‍ෂේපනය කරන අතරම ප්‍රේමදාස අනිත් පැත්තෙන් තමන්ගේ රෝගය ප්‍රක්‍ෂේපනය කරන්න පටන්ගත්තා. ඒක හරිම විනාශකාරී සම්බන්ධයක් වුනා.
 
මේ ට්‍රාන්ස්ෆරන්ස් එකේ දේශපාලන වාසිය වගේම අවාසියත් එනවා. ඒක දිගට පවත්වාගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. ආදරයේ අතෘප්තිකර යුගය එළඹෙන්න ගන්නවා. අපි රැවටිලා කියලා අපිට හිතෙන්න ගන්නවා. 
 
 
1603001617 maxresdefault මහින්ද කියන චරිතය තේරුම් ගන්න හොඳම විදිහක් තමයි අපේ පරණ සන්නි නැටුම්
 
 
මහින්ද කියන චරිතය තේරුම් ගන්න හොඳම විදිහක් තමයි අපේ පරණ සන්නි නැටුම්. අපි ඒ ඇදහිලි ඇතුලෙ අපේ රෝගය යකෙකුගේ රූපයක් බවට පත් කරනවා. 
 
මහින්ද කියන්නෙත් ඒ වගේම ජාතියක රෝගයක් පිළිඹිඹු කරන රූපයක්. ඒක ගැඹුරින් අධ්‍යනය කරන්න ඕන.
 
 
 
J.R. Jayewardeneජේආර් : ඔතොරිටේටිව් නායකත්වයක්
 
 
ජේආර් වගේ චරිතයක් ගත්තොත් මේ තියෙන විධායක බලය තිබුනත් ජේආර් අප්පච්චි කෙනෙක් හෝ දෙවියෙක් වෙන්නෙ නෑ. එයාට තියෙන්නෙ ඔතොරිටේටිව් නායකත්වයක්. 
 
තමන්ට නිලයෙන් පවරන ලද භූමිකාවේ බලය විතරයි. පවුල් බලය වගේ අතුරු කාරණා එකතු වුනත් ඒ නායකත්වය ජනතාවගේ අවිඥානයේ බලය අත්පත් කරගන්නෙ නෑ. 
 
මහින්ද ගත්තොත් එයාට තියෙන්නෙ ව්‍යවස්ථාවෙ බලය නෙමෙයි. ඒක ජාතියේ අවිඥානයක බලය.
 
 
ලංකාවෙ දේව සංකල්ප :
 
 
ලංකාවෙ දේව සංකල්ප හොඳට පරීක්ෂා කළොත් පැහැදිලිවෙන දෙයක් තමයි අපේ දෙවියා සහ යක්ෂයා දෙකම එකට පවතින අපූර්වත්වය. ඒක හොඳ විතරක් කරන සුද්දවන්ත එකක් නෙමෙයි. නපුර නරක කිරීමේ හැකියාවත් දරන එකක්. 
 
ඒ දේව සංකල්පයත් එක්ක මහින්ද හොඳටම ගැලපුනා. හොඳින් නම් හොඳින් නරකින් නම් නරකින් මහින්ද වැඩ කළා. අපේ පන්සල් ඇතුලට දේවාල එන්නෙත් මේ හින්ද. බුද්ධාගමේ තියෙන හොඳින් විතරක් අපේ ආශාව තෘප්තිමත් නොවෙන හින්ද.
 
 
sri lanka election result 2019 
ගෝඨාභය : වැඩ කරන විරුවා
 
 
මේ වීරයාගේ චරිතය ඒ විදිහටම ගෙනැත් අපි වැඩ කරන විරුවා නිර්මාණය කරන්න හැදුවා. ඒත් ඒක දරන්න ගෝටාබයට පුළුවන් වෙන්නෙ නෑ.
 
 ප්‍රධානවම මහින්දට තිබුනු එම්පතිය, මිනිස් අඳුරේ ඉඳන් ආලෝකය දක්වා විහිදෙන පරාසය ගෝටාබය සතු වෙන්නෙ නෑ. 
 
ඒ අප්පච්චිව අපිට ගෝටාබය ඇතුලෙන් පේන්නෙ නෑ. එයා නියෝජනය කරන්නෙ ජේආර් වර්ගයේ ඔතොරිටේටිව් නායකත්වයක්. 
 
මේ හැඟීම්මය බිඳවැටීම ලක්ෂ හැටනවයක ජනතාවට දරුණුවට බලපානවා. ඒ බෙලහීන ලිංගිකත්වය රකින, පණදෙන අප්පච්චි සහ පවුල ඒ අයට අහිමි වෙනවා.
 
  
මේක නාමල්ට එන්නෙත් නෑ. නාමල් කියන්නෙම දැවැන්ත පීතෘ චරිතයකින් පුද්ගලිකවත් යටපත් වුනු පෞර්ෂයක්. ඒක අනුහස් නායකත්වයක් බිහිකරන මනෝ ලිංගික පදනමක පිහිටන්නෙ නෑ. මහින්ද ඇතුලෙන් පරාවර්තනය වෙන රැස් වළල්ලක් විතරයි නාමල් කියන්නෙ.
 
 
මහින්ද කියන්නෙ ඇල්ෆාමේල් පෞර්ෂයක්. ඒ කටහඬ, ඒ ශරීරය, ඒ භාවිතය හැම දෙයක්ම අපේ ප්‍රාථමිකම ලිංගික ආධිපත්‍ය දරන නායකයාගේ රූපය එක්ක ගැටගැහෙනවා. 
 
මානව පරිනාමයේ අපිට සමීපතම චිම්පන්සි ගත්තොත් ඒ නායකයා කරන ලොකුම වැඩේ වෙන්නෙ පුළුවන් තරම් ගැහැණු සමග ලිංගිකව හැසිරීම. ඒ නායකයා තමන් කැමති අයට ඒ ගැහැණු එක්ක හැසිරෙන්න දෙනවා. තමන් කැමති අයට ආහාර සහ තවත් වරප්‍රසාද දෙනවා. මේ ලිංගික ආධිපත්‍යය පිළිගන්නා යටහත් පිරිමියා අර ඇල්ෆාමේල්ට භක්තිවන්ත වෙනවා. තමන්ට නැති ලිංගික පෞර්ෂය නායකයා ඇතුලෙන් විඳිනවා.
 
 
නිදහස්කාමියා:
 
 
මේ සාම්ප්‍රදායික නායකත්වය ඇරුනම ඒකට අභියෝගාත්මක වෙන අනිත් නායකත්වය වෙන්නෙ නිදහස්කාමියා, නැත්තං අරගලකරුවා කියන පෞර්ෂය.
 
 මෙයා සාම්ප්‍රදායික නායකත්වය එක්ක, සිස්ටම් එකත් එක්ක ගැටෙනවා. සටන්කාමීයි. මර්දනය කළ ලිංගික ආශාවේ නිදහසක් මේ පෞර්ෂය විසින් ප්‍රක්‍ෂේපනය කරනවා. මේකත් අනුරාගී නායකත්වයක පිහිටීමක්.
 
 
Ranjan Ramanayakaරංජන් රාමනායක
 
 
රංජන් රාමනායකට මේක තියෙනවා. එයාගෙ හඬපට ලීක් වීම හරහා අපිට අපේ සීමා කළ, කප්පාදු කළ ලිංගිකත්වය ඇතුලෙන් ආකර්ශනයක් වීරත්වයක් නිර්මාණය වෙනවා. 
 
රංජන්ගෙ විනෝදකාමී ජීවිතේ ඇතුලෙ අපිට තහනම් වූ නිදහසක් රස විඳිනවා. 
 
එයා බෑඩෑස්, රිබෙල් කැරැක්ටර් එකක්. රංජන්ට මේක එන්නෙ සිනමාව හරහා. සිනමාවේ අනුරාගය, විපරීතය සහ වීරත්වය රංජන් ඇත්ත ජීවිතේට අරන් එනවා.
 
හැබැයි මේක මහින්දට තියෙන ආදරේ වගේ ගැඹුර සම්බන්ධයක් එක්ක සාපේක්ෂව ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ ඊඩිපස් අවුල රංජන් වගේ චරිත ඇතුලෙන් තෘප්තිමත් වෙන්නෙ නෑ. 
 
 
Mangala 11
 
මංගල සමරවීර:  රිබෙලියස් කැරැක්ටර් එකක්
 
 
මංගල සමරවීර කියන්නෙත් රංජන් හා සමාන තවත් රිබෙලියස් කැරැක්ටර් එකක්. වස්ති වීඩියෝවෙ මංගලගෙ ටික්ටොක් අරගලය දැකීමෙන් ජනතාව පිනා යන්නෙ ඒකයි. ලිංගිකත්වය, ආගම, සංස්කෘතිය වගේම ජීවන විලාසිතාව පැත්තෙනුත් මංගල ලිංගිකව යටපත් කළ පුරවැසි සමාජය කම්පනය කරනවා.
 
අනුහස් නායකත්වයක් රටකට හොඳද නරකද වගේ දෙයක් කතා කරලා තේරුමක් නෑ. මොකද ඒක සමාජය විසින් නිර්මාණය කරන තත්වයක්. 
 
ආදරයකදි අපිට අතාර්කික වෙන්න පුළුවන්. ඒක පුද්ගලික සම්බන්ධයක්. නමුත් දේශපාලනය කියන්නෙ තාර්කික තීරණ ගන්න වෙන පිට්ටනියක්. ඒකට භක්තිය වගේ දෙයක් ඒ තරම් ගැලපෙන්නෙ නෑ. නමුත් අපේ රෝගය හරියටම ස්පර්ශ කරන කෙනෙක් වටා අනුහස් නායකත්වයක් බිහිවීම වළක්වන්නත් බෑ.
 
ෆ්‍රොයිඩ් කියන විදිහට මේ ට්‍රාන්ස්ෆරන්ස් එකෙන් රෝගියා ඇහැරෙන්න ඕන. මේ තමන් විසින් කරන ප්‍රක්‍ෂේපනයක් බව තේරුම් ගන්න ඕන. ඒක තමා විසින්ම තේරුම් ගැනීමෙන් විතරයි රෝගියාට රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ. එතකොට ඒ වගේ ඇදහිල්ලක ඉන්න ජනතාව ඒ හීනෙන් ඇහැරවන්න පුළුවන් තරමෙ හෙල්ලීමක්, කම්පනයක් ඇති කිරීම විතරයි සවිඥානක සමාජයක් වෙනුවෙන් කරන්න පුළුවන් වෙන්නෙ.
 
 
Anura Kumara 
අනුර කුමාර
 
 
එතකොට අනුර කුමාර වගේ කෙනෙකුට මේ විදිහෙ අනුහස් නායකත්වයක් නිර්මාණය වෙයිද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මට හිතෙන්නෙ නෑ කියන එකයි. 
 
අනුර කුමාර හෝ ජවිපෙ නියෝජනය කරන්නෙ සමාජයේ හොඳ ළමයාගේ චරිතය. ඒක නැවතත් පීතෘ මූලික පවුලෙන් යටපත් කළ ලිංගිකත්වයේ ස්වරූපයමයි. ඒක නිදහස්කාමී එකක් නෙමෙයි. හොඳ ළමයා හොඳයි. ඒත් එයා අපේ ආශාව නියෝජනය කරන්නෙ නෑ. අපේ ශෘංගාරය එතන නෑ.
 
Sajith Premadasa සජිත් ප්‍රේමදාස
 
සජිත් ප්‍රේමදාස වගේ චරිතයක් ගත්තොත් එයා නායකත්වය සතු සුවිශේෂ දක්ෂතාවය හෝ මිනිසුන්ව දැනෙන එම්පතිය කියන දෙකම දරන කෙනෙක් නෙමෙයි. ප්‍රේමදාසගේ අනුහස විතරක් ඒ හදවතේ නායකත්වය නිර්මාණය කරන්න ප්‍රමාණවත් වෙන්නෙ නෑ. 
 
 
PATALI.CHAMPIKA.RANAWAKAචම්පික රණවක 
 
 
අනිත් අතින් චම්පික රණවක ගත්තත් එයත් පිහිටන්නෙ ජවිපෙට සමීපව. දහම් පාසැල් ළමයාගේ වැඩිහිටි රූපය. අනගාරික ධර්මපාලගේ හෙවනැල්ල. මේකට අපි කැමති වෙන්න පුළුවන්. ඒත් අපිට දෙවියා විතරක් වැඩක් නෑ. අපිව නායකයෙකුට සමීප කරන්න නායකයාගේ නරකත්, දුර්වලතාවයත් වැදගත්. එතනයි එම්පතිය හැදෙන්නෙ. 
 
චම්පික ගැන වරින් වර පැතිරෙන කාමකතා වුනත් මං හිතන්නෙ චම්පිකට උදව්වක් කියල. ඒවායින් අපිට ඒ චරිතය සමීප කරනවා. අපේ යටපත් ආශාවක නියෝජනයක් කරනවා.
 
මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් චම්පික ජාතිය ගැන කතා කරන එකයි මහින්ද ජාතිය ගැන කතා කරන එකයි ගත්තොත්. චම්පිකගෙ ජාතිය බුද්ධිමය තාර්කික එකක්. මහින්දගේ ජාතිය, පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම වගේ කිසිම ලොජික් එකක් නැති ඉමෝෂනල් එකක්. මිනිස්සු චන්දෙ දෙන්නෙ හැඟීමට මිස තර්කයට නෙමෙයි.
 
 
නායකයෙක් කියන්නෙ ජනතාවගේ ආශාවේ නිරූපණයක්:
 
 
නායකයෙක් කියන්නෙ ජනතාවගේ ආශාවේ නිරූපණයක්. ඒක අපිව පිරිහීම කරා ගෙනයන රෝගයක් වෙන්න පුළුවන් ඒ වගේම දැනුවත්ව කළොත් ප්‍රතිඵලදායී වෙන්නත් පුළුවන්. නමුත් නායකයා ගැන අනුරාගයක් ගොඩනැගෙන්න අවිඥානික හේතු අනිවාර්යෙන්ම පවතින්න ඕන. 
 
එතනදි මතවාදය වැදගත් නෑ. චරිතයයි වැදගත් වෙන්නෙ. මිනිස්සුන් කැමති වුනේ මහින්දගේ මතවාදයට නෙමෙයි. මහින්දට.
 
මහින්ද කියන්නෙ මෙතෙක් නිර්මාණය වුනු අපේ සිංහල ජාතියේ සුවිසල්ම අවිඥානක පිළිඹිඹුව කියලයි මං දකින්නෙ. 
 
ඒ හින්දම මහින්ද කියන පෞර්ෂය වඩාත් සමීපව කියවන එක අපේ සමාජයේ ගැඹුරු රෝග ලක්ෂණයන් තේරුම් ගැනීමක් වෙනවා. 
 
අපේ දේශපාලනයේ හැඩය පටන් ගන්නෙ අපේ පවුල ඇතුලෙන්. ඒ පවුල ඇතුලෙ ලිංගිකත්වය යටපත් කරන ආකාරයෙන් කියන වටහා ගැනීමේ වැදගත්කම පසක් කරනවා.
එතකොට මහින්දගෙන් පස්සෙ පොහොට්ටුවට මොකක් වෙයිද? මගේ අදහස නම් මහින්ද නැතුව පොහොට්ටුවක් නෑ කියන එකයි. මහින්ද කියන්නෙ අපේ රටේ දේව යක්ඛ සංකල්පය එක්තැන් කළ නූතන අප්පච්චි. පක්ෂයකට වඩා ඒක ඊළඟට දේවාලයක් කියලයි මං හිතන්නෙ.
 
 
 
 
chinthana
 (චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
(උපුටා ගැනීම - facultyofsex.com)
 
 
 
 
##########
 
THE LEADER TV 
බැසිල්ට ගෙදර නවතින්නම ප්‍රහාරයක්!
 
 
ස'ගෙ වියත්මගත් නාමල්ට...? 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්