1200 x 80 DMirror
 
 

ධානපතියෙකු කියූ න්‍යායක් ගැන පත්තර ලියවිල්ලක්. - 05 වන කොටස 

 
මොළයේ ව්‍යූහය කියන්නෙත් මේ කියපු විකෘති බව ඇති කරන තවත් ප්‍රභවයක්.

මොළය ගැන පහදන විද්‍යාවන් මෑතකාලීනව දියුණු වෙලා තියෙන හින්ද, මේවෙනකොට අපිට මොළයේ තියෙන ක්‍රියාකාරීත්වයන් ගැන ගොඩක් පුළුල් සහ අලුත් අවබෝධයන් ලැබෙන්න පටන් අරන් තියෙනව. හියුම්ගේ තර්කය සනාථ වෙලා තියෙනව. ඒ කියන්නෙ, මොලයේ ක්‍රියාකාරීත්වයන් මිනිසාව ආශ්වාදයේ වහලෙක් බවට පත් කරල තියෙනව.
 
විසිරිච්ච බුද්ධිය වුණත්, හේතුව පිළිබඳ බුද්ධිය වුණත්, ඒවා අපේ පරිකල්පනයේ ම තියෙන හැඩ රටා.  

මොළය කියන්නෙ සංවේදී ආවේග මිලියන ගාණක බෝම්බ පාරවල් කමින් ඉන්න අවයවයක්. ඒත් සවිඥානකත්වයට, විෂයන් 7ක්-8ක් විතර තමයි එකිනෙකට සමගාමීව වර්ධනය කරගන්න පුළුවන්.

බලන්න, ...

අපිට, කාලය හසුරුවගන්න තියෙන්නෙ අති දැවැන්ත පීඩනයකට යටවෙලා. එහෙම ඉඳන් තමයි අපිට අපේ ආවේග හකුළුවාගන්න, අනුපිළිවෙල කරගන්න සහ අර්ථ නිරූපනය කරගන්න සිද්ධ වෙලා තියෙන්නෙ. ඉතිං මෙහෙම වෙද්දි වැරදි සිදුවීම් සහ විකෘති වීම් සිදුවීම මඟහැරල යන්න අපිට බැහැ.
 
 
 

“මොළය පිළිබඳ විද්‍යාවෙන් මං කියපු අර පළමු තර්කයට අලුත් තොරතුරු ගොඩක් එකතු කරල දීල තියෙනව. බලන්න, අපි ජීවත් වෙන ලෝකය ගැන අපිට තියෙන අවබෝධය සහජයෙන් ම අසම්පූර්ණ එකක්. ඉතිං ප්‍රතයාවර්තකතාව සංකල්පය මම කියල දුන්නට වඩා ටිකක් වැඩිපුර පැහැදිලි කරන්න සිද්ධ වෙනව. මේ සංකල්පය අදාළ වන්නේ සිතීමෙන් සහභාගි වන්නන් හෙවත් සිතුම් සහභාගිකරුවන් ජීවත්ව ඉන්න පරිසරයකට විතරයි,” කියල සොරොස් කියනව.
 
ඒ කියන්නේ, සොරොස්ට අනුව  ධනාත්මකව හෝ සෘණාත්මකව හෝ, අගතිගාමීව හෝ ප්‍රගතිගාමීව හෝ මොනයම් විදිහකින් හෝ තමන්ගෙ සිතීම අවදි කරගෙන නැති හිස් හැඟීමෙන් හිත් පුරෝගත්තු අය ගැවසෙන වාතාවරණයකට හෝ සමාජ තත්වකට හෝ පරිසරයකට මේ ප්‍රත්‍යාවර්තකතා සංකල්පය අදාළ කරගන්න සුදුසුකමක් නැහැ.

නිකමට හිතන්න, මේ ලංකා කොදෙව්වෙ ඉන්නා වූ “මොන දේ නවුණත් ඕන එකක් රුපියලයි කියල හිතාගෙන ඉන්න උදවිය ගැන” ... එයාල ගැවෙසෙන වාතාවරණයක් හෝ තත්වයකට මේ සංකල්පය අදාළ කරගන්නවත් සුදුසුකමක් නැහැ. නුමත් එයාලටත්, රටක ආර්ථික සහ මූල්‍ය ගනුදෙනු පිලිබඳ නූගත්කම නිසා ඇතිවන ඵලවිපාක වලට මූණපාන්න සිදු වෙනව ම තමයි.
 
ඒ හින්ද නූගත්කම යථාර්ථයක් කරගෙන උගතාට ගරහල ජීවත් වෙන්න අපිට පුළුවන්. හැබැයි ටික කාලයකට යි. මොකද, නූගත්කම නිසා ඇතිවන අනිසි ප්‍රතිඵල වල්ක්වන්න බැහැ. පැස්බරා ඔළුව හංගං ඉන්නව වගේ, ස්නායු නැතුව ඉපදුනා වගේ නොතේරෙන විදිහට මගහැරල හිටිය කියල, සිද්ධවෙන්න තියෙන අනතුරෙන් ගැලවෙන්න බැහැ.
 
 
binoculars2 crop c0 5 0 5 1340x828 70
 

රටක ආර්ථිකය නොහිතපු තරම් ප්‍රපාතයකට කඩන් වැටෙද්දි, ඒකෙන් ගැලවෙන්න තියෙන දැනුමට හිනාවෙලා සුදිය දැම්මට වැඩක් නැහැ. දුෂ්ට නූගත්කම අතහැරල අදාළ දැනුම තියෙන දිශාවට හිත හරවගන්න ම වෙනව අපිට.

එහෙම නොවුණොත් ප්‍රශ්නය ගැටළුවක් වෙලා, ගැටළුව අර්බුදයක් වෙලා, අර්බුදය ව්‍යසනයක් දක්වා වෙලා සමාජීය රෝගයක් ඔඩු දුවන්න ගන්නවා සත්තකයි.

ඉතිං මේ වගේ රටක ප්‍රාග්ධනය සමුච්චකරණය වේගවත් කරගන්න බලපාන සංකල්පයක් ඉගෙන ගන්න යත්දි, රටේ ඉන්න හිත හිස් මිනිස්සු ඒ හැදෑරීමට එරෙහිව පවතින ප්‍රධාන නිෂ්ක්‍රීයකාරක බලවේගයක්. හිතන්නෙ පතන්නෙ නැති බොල් පිළිමවලට ආර්ථිකයත් එක්ක කරන්න ඇති ගණුදෙනුවක් නැහැ තමයි. එයාලට තියෙන්නෙ සිද්ධ වෙන විනාශය දිහා බලන් ඉන්න විතරයි. එහෙම බලන් ඉඳල, චන්දෙ කාලෙ ආවහම තමන්ගෙ නූගත්කම පෙන්වන්නත් එක්ක කවුරුහරි තොරොම්බල්කාර විජ්ජාකාර දේශපාලුවෙකුට ඇහ වහගෙන චන්දෙ දාන්න විතරයි.
 
ඒත් අඩුම තරමින් උවමනාවවත් වැඩිපුර තියෙනව නම්, දැන්වත් දන්න පුළුවන් විදිහකට සංදර්භිකව ආර්ථිකමය සිතිවිලිවලින් හිතන්න පටන් ගන්න ඕන. එහෙම හිතන්න අපට බලකෙරිල තියෙනව. කඩේට ගියහම එකපාරටම ඊයෙ ගත්තු භාණ්ඩයේ මිල අද වෙනකොට එවරස්ට් කන්ද දක්වා නැගල නම්, ඒකට තමං ම චන්දෙ දාපු කුහක දේශපාලකයන්ට කුණුහරුපෙන් බැන බැන ගියා කියල ප්‍රශ්නෙ විසඳෙන්නෙ නැහැ.
 
මේ විදිහට හදිසියේ රෙදි ගැලවුණා වගේ බඩුමිල උඩ ගය එකේ තිරය පිටිපස්සෙ තියෙන අපි නොදන්න ආර්ථික ජිමික් මොකක් ද කියල හොයාගන්න ම වෙනව. නැත්නම් වෙන්නෙ දුක්බර මිනිස්සු කෙදු කාලෙකින් විදිහට මැරිල වැටෙන්න. නොදන්නකම උඩදාන කෙනාගෙ ජීවිතය කෙටි වෙනව විතරක් නෙවෙයි, එයා අනික් අයගෙ ජීවිතත් කෙටි කරනව.  
 
සොරොස් කියන විදිහට හිතීමෙන් සහභාගීවන පුරවැසියන්, තම තමන්ගෙ චින්තනයන්වලට අනුව කාර්යයන් දෙකක් සමාජයට ඉටුකරල දෙනව. ඒ කියන්නෙ සරලව ගත්තොත්, ඒ දෙගොල්ලො කාර්යයන් දෙකකට සේවය කරනව.
 
Untitled 1

එකක් තමයි, අපි ජීවත් වන ලෝකය තේරුම් ගැනීමහි පිහිටීම. ඒ කියන්නෙ තේරුම්ගෙන ඉඳීම. සොරොස් මේක හඳුන්වන්නෙ ඥානාත්මක ක්‍රියාකාරීත්වය කියල. ඒ කියන්නෙ අපිට ඉබේ ඇහෙන, පෙනෙන, දැනෙන පංච ඉන්ද්‍රියේ ක්‍රියාකිරීත්වය හින්ද“ඔහේ හිතට එන සිතිවිලි”, ඒ කියන්නෙ සංවේදන අනුව සිතීම කියන එකෙන් එහාට ගිහිං ඊට වඩා යමක් මනස යොදල හිතන්න ගිහිං හැදෙන හිතුවිලි. හැබැයි ඒ හිතීමට සමාජ අරමුණක් නැහැ. ඒ හින්ද ඒක තමන් ඇතුළට ම කිඳා බහිනව.
 
අනික තමයි පවතින තත්වය හෝ වාතාවරණය අපගේ වාසියට හරවගන්නට හිතන හිතීමේ ක්‍රියාකාරීත්වය.සොරොස් මේක හඳුන්වන්නෙ සහභාගිවීමේ හිතීම නැත්තං හිතීමෙන් හැසිරවීම හෙවත් සිතිවිලි උපමාරුව කියන ක්‍රියාකාරීත්වය විදිහට.

මේ සිතීමේ කාර්යයන් දෙක ම චින්තනයට සහ යථාර්තයට සම්බන්ධ වෙන්නෙ, එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන් වල ඉඳගෙන.  

බලන්න චින්තනය තියෙන්නෙ ඔයාගෙ ඇතුළෙ. යතාර්ථය සිද්ධවෙන්නෙ පිටත. ඒ හින්ද යම් මොහොතක ඔයාලගෙ පිටත තියෙන යාතාර්ථ ලෝකයේ වැඩ වැරදිල ගියොත්, ඔයාගෙ ඇතුළත ජීවිතයත් ඒකෙ ගොදුරක් බවට පත් වෙනව වෙනව ම යි.     
 
“මං අර කියපු ඥානාත්මකව සිතීමේ ක්‍රියාකාරීත්වය සිද්ධවෙනකොට, අපට පිටින් තියෙන යථාර්තය තමයි සහභාගිකරුවන්ගේ හිතට එන අදහස මොක්ක වෙන්න ඕන ද කියල තීරණය කරන්නේ. ඒ කියන්නේ හේතුසහගත බව කියන එක දිශානත වෙන්නෙ අපට පිටත ලෝකයේ ඉඳන් අපි ඇතුළෙ ගොඩනැගෙන මනස දිහාවට. ඒ කියන්නෙ මේක ස්වාධීනව සිදුවන චලනයක්. ස්වාධීන විචල්‍යයක් කියල බරසාර විදිහට කියන්නත් පුළුවන්. 
 
 
මේකට ප්‍රතිවිරුද්ධව බැලුවොත්, හිතීම හැසිරවීමේ කාර්යයයේදී, එහි ක්‍රියාවලියට අදාළ හේතුසහගත බව දිශානත වෙන්නෙ අපගේ මනසේ ඉඳන් බාහිර ලෝකය දිහාවට. ඒ කියන්නෙ පිට හෙවත් පර දිසාවට. ඒ කියන්නේ මේ විදිහේ සිතීමකදී, හිතීමට සහභාගි වෙන සහභාගිකරුවාගේ අරුත හෙවත් අභිප්‍රාය පිටට පනින හින්ද ලෝකයට බලපෑමක් ඇති කරනව,” කියල සොරොස් කියනව. මේකට පරායත්ත විචල්‍යයක් කියල බරසාරව කියන්නත් පුළුවන්. ඒ කියන්නෙ පිට ඉන්න අය හෙවත් පරයන් දෙසට වෙන චලනයක්.  
 
ඉතිං මේ ක්‍රියාකාරීත්වයන් දෙක ම එකවර සිද්ධ වෙනකොට එකිනෙකට බාධා කරගන්නා තත්වයක් ඇති වෙනව.
 
ඒක කොහොමද වෙන්නෙ?

බලන්න මේ ක්‍රියාකාරීත්වයන් දෙක විචල්‍යයන් දෙකක්. ඒ කියන්නෙ අනුගත වීම් දෙකක්. ඒ කියන්නෙ හැඩගැහීම් දෙකක්. සරල ම බසකින් කිව්වොත් හැදියාවන් දෙකක්.
 
ඉතිං අර කලින් පළමුවෙන් කිව්ව විදිහට අනුව ගත්තොත්, හේතුසහගත බව දිශානත වෙන්නෙ අපට පිටත ලෝකයේ ඉඳන් අපි ඇතුළෙ තියෙන මනස වෙතට නම්, ඒකට අපි ස්වාධීන විචල්‍යය කියල කියනව.

දෙවනුව කිව්ව විදිහට, හේතුසහගත බව දිශානත වෙන්නෙ අපගේ මනසේ ඉඳන් බාහිර ලෝකය වෙතට නම්, ඒක අපිට පරායත්ත විචල්‍යය කියල කියනව.
 

(සිංහලෙන් කියද්දි මේ වචන දෙක ටිකක් අතිපණ්ඩිත සංස්කෘත භාෂාව පැත්තට අදින හින්ද, ටිකක් බරපතලයි වගේ හිතල මේක කියවන එක අතහරින්න එපා. බරසාර භාෂාවල වචනවලට බයවෙලා දැනුම අතහරින්න එපා. බරසාර භාෂාවෙන් කිව්වත් සරල භාෂාවෙන් කිව්වත් අපිට පිටින් තියෙන යථාර්තය එක ම යි. ඒත් මේ වචන දෙක කාලයක් තිස්සෙ පාවිච්චි වෙලා තියෙන හින්ද, වචනවල ඉතිහාසය සලකල ඒ දෙක පාවිච්චි කරන්න වෙනව. ඉතිං දුරවබෝදයක් ඇති වෙනව නම් ඒ වචන දෙක ගැන කලින් සරලව කියපු අරුත් ආයෙමත් පිරික්සල බලන්න.)
 

අපි ආයෙමත් අර කලින් ගෙනාපු වාද-විෂයට ආවොත්, සොරොස් මෙහෙම දෙයක් කියනව. “අපිට මේ ස්වාධීන විචල්‍යයේ එක් එක් ක්‍රියා මත යැපෙමින් තමයි අපේ පරායත්ත විචල්‍යය කියන එක තීන්දු කරගන්න වෙන්නෙ කියල.”

සරලව කිව්වොත්,  අපිට පිටින් තියෙන ලෝකයේ ඉඳන් අපි ඇතුළෙ තියෙන මනස වෙතට දිශානත වෙලා තියෙන හිතීමේ ක්‍රියාවලිය මත යැපෙමින් තමයි, අපේ මනසේ ඉඳන් බාහිර ලෝකය වෙතට (නැත්තං බැහැරට, නැත්තං පිටතට) දිශානත වෙලා තියෙන හිතීමේ ක්‍රියාකාරීත්වය අවදි කරවගන්න පුළුවන් වෙන්නෙ.

මේකට හේතුවක් තියෙනව.
 
මේ එක් විචල්‍යයක් අනෙක් විචල්‍ය මත යැපෙනකොට දෙක ම විචල්‍යයක් ස්වාධීනව නෙවෙයි පවතින්නේ. දෙකට ම තනියෙන් චලනය වෙන්න බැහැ. අනික් එකේ සපෝට් එක ඕන.
 
ඒ කියන්නෙ, මේ විදිහට ගත්තහම, අර පළවෙනි ඥානාත්මක ක්‍රියාකාරීත්වය විදිහට තමං තුළට හිතන පතන එක යොදාගෙන, සිතිවිලි සහභාගිකරුවන් ගන්න තීන්දු තීරණවලට පදනමක් දෙන දැනුමක් සැපයුම් කරන සේවය ඉටු වෙන්නේ නැහැ,
 
ඒකට සමාන්තරව, හිතීමෙන් හැසිරවීම කියන පිටතට යොමුවෙච්ච ක්‍රියාකාරීත්වයට පුළුවනි, ඉදිරියේ දී ඇතිවීමට නියමිත ප්‍රතිඵලය කෙරෙහි යම් බලපෑමක් කරන්න. හැබැයි ඒ ක්‍රීයාකාරීත්වයට බැහැ, අවසන් ප්‍රතිඵලය වෙන්න ඕන මොකක් ද කියල තීරණය කරන්න.  

වෙනත් විදිහකට කිව්වොත්, ප්‍රතිඵලය කියන දේ සිතීමෙන් සහභාගිවන උදවියගේ අභිප්‍රායෙන් බැහැරට අපගමනය වෙන්න බැඳිල ඉන්නව.
 
තවත් සරල කරල කිව්වොත්, සිතන්නා සිතීමෙන් සහභාගි වුණාට, එයාගෙ අභිප්‍රාය නෙවෙයි ඉටු වෙන්නෙ.
 
ප්‍රතිඵලය හැමවෙලාවෙම කලින් නොහිතපු දෙයක්.
 
“අපේ අරමුණු හෙවත් අභිප්‍රායන් සහ කරන ක්‍රියාවන් අතර යම් ලිස්සා යාමක් පවතිනව. ඒ වගේ ම ඊළඟට අපේ ක්‍රියාවන් සහ ප්‍රතිඵල අතරත් යම් ලිස්සා යාමක් පවතිනව.”  

ඉතිං මෙන්න මේ සංසිද්ධියේ ප්‍රතිඵලයක් විදිහට, යථාර්තය ගැන අපිට තියෙන අවබෝධය සහ සිදුවීම්වල සත්‍ය ගමන් පථය යන දෙක ම අතර යම් අවිනිෂ්චිතතා සාධකයක් පවතිනව.

වෙන විදිහකට කිව්වොත්, අපි යථාර්තය හිතින් තේරුම්ගන්න විදිහයි, ඇත්තට ම පිටත ලේකයේ දේවල් සිද්ධ වෙන විදිහයි අතර මොකක් නමුත් අවිනිෂ්චිතකමක් තියෙනව. නිකං ගැලපෙන්නෑ වගේ ගතියක් තියෙනව. ඉතිං මේ විදිහට ගත්තහම, ප්‍රත්‍යවර්තකතාවයට අදාළ අවිනිෂ්චිතකම අවබෝධ කරගන්න අපි තව ටිකක් ඉදිරියට සොයා බලන්න වෙනව.

හිතන්න, ඥානාත්මක ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක වෙන්නෙ, සිතීමෙන් හැසිරවීම කියන ක්‍රියාකාරීත්වයට බාධාවක් නොවී හුදෙකලාව නම්, ඒකට පුළුවන් දැනුම නිපවදල දෙන වැඩේ කරල දෙන්න.

බලන්න,

දැනුම කියන දේ නිරූපනය වෙන්නෙ සත්‍ය ප්‍රකාශ කිරීම් වලින්.  

ප්‍රකාශ කිරීමක් ඇත්තක්(සත්‍යයක්) වෙන්නෙ, අපිට ඇත්ත කියල දෙන න්‍යායේ හෙවත් මූලධර්මයේ කරුණු කාරණා ඒක්ක ඒ ප්‍රකාශ කිරීම අනුරූප වෙනව නම් විතරයි. තව විදිහකට කිව්වොත්, ඇත්ත කියන දේ කරුණු සහිතව ඉදිරිපත් කරන දහමක් නොමැති අඩවියකින් ප්‍රකාශවෙනව නම් ඒවා සත්‍ය ප්‍රකාශ කිරීම් වෙන්න බැහැ.
 
 
KnowledgeManagementGuidelinesBestPractices

ඒ කියන්නෙ ප්‍රකාශයකට සත්‍යයක් බවට පත්වෙන්න සුදුසුකම් ලබන්න පුළුවන් වෙන්නෙ, ඒ ප්‍රකාශය යම් දහමකට අනුව කරුණු ප්‍රකාශ කරනව නම් විතරයි.  

ඒත් අපි අර කලින් කියපු සිතීමෙන් හැසිරවීම කියන ක්‍රියාකාරීත්වයට වෙනත් අතපෙවීම් සිදුවුණොත්,

ඒ ක්‍රියාකාරීත්වයට යොදාගන්නා කරුණු තවදුරටත් ප්‍රකාශයක සත්‍යය විනිෂ්චය කරල බලන්න පුළුවන් නිර්ණායකයක් විදිහට යොදාගන්න බැහැ. අමුවෙන් කිව්වොත්, ප්‍රකාශයක ඇත්ත කිරල මැනල බලන කරුණු අපට යොදාගන්න පුළුවන් වෙන්නෙ, සිතීමෙන් හැසිරවීමේ ක්‍රියාවලියට භාහිර ඇඟිලි ගැසීම්ව නැතුව තියෙනව නම් විතරයි. ඒකියන්නෙ සිතීමට නිවැරදි කරුණු සහභාගි වෙනව නම් විතරයි.  

මේකට හේතුවක් තියෙනව.

මොකද, සංනිවේදනය කිරීම සිදුකරන කෙනා තමන්ට ඕන විදිහට කරුණු වෙනස් කරගෙන ප්‍රකාශය ලබා දෙන්න පුළුවන් ඉඩක් දැනුම ලෝකයේ තියෙන හින්දයි ඒ.  

උදාහරණයක් විදිහට “දැන් වැස්ස වහිමින් තියෙන්නෙ,” කියන ප්‍රකාශය සලකල බලන්න.

මේ ප්‍රකාශය ඇත්ත වෙන්නෙ හෝ නොවෙන්නෙ, ඇත්තට ම වැස්ස වහිනවද නැතිද කියන එක මත.

 ඒ වගේ ම දැන්, “මේක විප්ලවීය අවස්ථාවක්.” කියන මේ ප්‍රකාශය දිහාත් බලන්න.

මේ ප්‍රකාශය ප්‍රත්‍යාවර්තක යි. ඉතින් ඒ ප්‍රකාශය ඇත්තක් විදිහට වටිනවද නැතිද කියන එක රඳා පවතින්නේ, ඒ ප්‍රකාශයට සමාජය මත කරන්න පුළුවන් බලපෑම මතයි.  


 
Aeavinda Hettiarachchi 
(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා 
සමාජ විශ්ලේෂක 
 
 
 
 
 
 
##########
THE LEADER TV 
වැඩිකළ තෙල් මිලේ සැඟවූ කොමිස් කතාව?
 
ලන්සා 'ස' ට ටොකු දෙද්දී : බැසිල්ටත් කොක්කක්...!
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්