ජූනි 23 වෙනි දිනය ලංකා දේශපාලන ඉතිහාසයේ සඳහන් වන්නේ දිවංගත හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ගේ උපන් දිනය ලෙසයි.
 
 
 2021 ජූනි 23 වෙනි දිනය නැවත දේශපාලන ඉතිහාසයට එක්වන්නේ ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ ම දේශපාලඥයෙකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත පාර්ලිමේන්තු ගමනය පිළිබඳවයි. 
 
ඔහු දිවුරුම් දෙන දිනයේ දී ඔහුට විරුද්ධව විශාල චෝදනා රැසක් කළ නොනැවතී වසර ගණනාවක් පහර දුන් සිරස නාලිකාව විසින් කොළඹ ප්‍රදේශයේ විශාල දැන්වීම් පුවරු රැසක් ප්‍රදර්ශනය කර තිබුණේ ය. 
 
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට සෑහෙන කාලයක පමණ සිට පහර පිට පහර දුන් මහින්ද රාජපක්ෂවාදී, වාමාංශික යැයි හැඳින්වෙන කඳවුරේ පුරෝගාමී භික්ෂුවක් වූද, පොදු ජන පෙරමුණ රජය පිහිටුවීමට විශාල දායකත්වයක් ලබා දුන්නාවූද, තමන්ගේ අභයාරාමය තාවකාලිකව මහින්දට දන් දුන්නා වූ ද, ලංකා හෙඳ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට යාමත්, උන්වහන්සේ එහිදී රනිල් ට දී ඇති චරිත සහතිකයත් ලබාදීමත් රනිල් ගේ පුද්ගලයන් දමනය පිළිබඳ හොඳම සාක්ෂිය.  
 

 
 
මෙම සිදුවීම් දෙකම නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යන්නේත් ලංකාවේ දේශපාලනයේ විරුද්ධවාදීන්ගේ ප්‍රසංසාවට , ගෞරවයට වැඩියෙන්ම ලක් වූ ශ්‍රී ලාංකික දේශපාලකයෙකු වන්නේත් රනිල් පමණක් බවයි. 
 
ඔහු විසින් මෙවැනි විරුද්ධවාදීන් හැකියාවෙන් දමන කර තිබුණ ද ඒ ගැන කතා කිරීමට වඩා රනිල් ගේ දුර්වලකම් පෙන්වමින් ඔහුට පහර ගැසීම පහුගිය කාලය තුළ දී ඔහුගේත්, විරුද්ධවාදීන්ගේත් පුරුද්දක් වී තිබිණි. 
 
ඒ නිසාම වෙනත් දේශපාලන නායකයෙකුට උදාහරණයක් ලෙස සැලකිය හැකි විරුද්ධවාදීන් දිනා ගැනීමේ හැකියාව සාකච්ඡාවකින් තොරවම සැගවී යාමට ඉඩ තිබේ.   
 
  
අද 2021 වසරේ පොසොන් දිනය බැවින් මිහිඳු හිමියන් විසින් දඩයමේ ගිය දේවානම් පියතිස්ස දමන කිරීම ද, බුදුන් විසින් අංගුලිමාල දමනය, නාලාගිරි ඇතා දමනය කිරීම ද සිහිගන්වනමින් රනිල් ගේ දමන කිරීම ගැන ද අවධානය යොමු කිරීම වැදගත් ය. 
  
සජිත් ඇතුළු සමගි ජන බලවේගයටත්, තරුණ දේශපාලඥයන්ටත් මෙම පුද්ගලයන් දමන ගැඹුරින් විශ්ලේෂණය කරන්නේ නම් ඒ තුළින් තමන්ගේ අනාගත දේශපාලන ගමනට විශාල ආලෝකයක් ලබා ගැනීමට හැකිවනු ඇත. 
 
මෙම හැකියාව අතින් රනිල් යන්තමින් හෝ සමාන කළ හැකිජ්‍යෙෂ්ඨතම දේශපාලඥයා වන්නේ මහින්ද රාජපක්ෂයි. ඔහු ද මිනිසුන් දමන කිරීමට විශේෂඥ දැනුම හා පුහුණු ඇති දේශපාලඥයෙකි. 
 
නමුත් බොහෝ අවස්ථාවල අපි අසා ඇති පරිදි ඔහු මිනිසුන් දමනය කරන්නේ පඩුරුපාක්කුඩම් දීමෙනි. රනිල් අඩුම ගානේ කෑම පාර්සල් එකක්වත් වැය කරන්නේ ද නැත.  
 
පසුගිය දිනෙක ස්වර්ණවාහිනී නාලිකාවට සංවාදයකට ගිය රනිල්ගේ ප්‍රශ්න අසමින් රනිල්ව අමාරුවේ වැට්ටවීමට ගිය ජනමාධ්‍යවේදීන්ට ඔහුගේ පිළිතුරුදීමේ හැකියාව නිසාත්, කරුණු සංවිධානාත්මකව ඉදිරිපත් කිරීමේ හැකියාව නිසාත්, වඩාත් ඉස්මතු වූයේ ඔහුයි. එහිදි ද ඔහු ඔවුන් තිදෙනාම ව දමන කළේය. 
 

 
 
 
දෙමළ ජනතාව හා එල්.ටී.ටී.ඊ සංවිධානය:
 
2002 සාම ගිවිසුම ඇති කරන අවස්ථාව වනවිට දෙමළ ජනතාවටත්, දෙමළ දේශපාලන පක්ෂවලටත් එක්සත් ජාතික පක්ෂය වහකඳුරු මෙන් තිත්ත වී තිබිණි. 
 
1982 යාපනය පුස්තකාලය, 1983 ජූලි කලබල, 1987 ඉන්දු ලංකා සාම ගිවිසුම හා ඒ වනවිට යුද්ධය වැඩියෙන්ම මෙහෙය වූ රජයන් මෙහෙවීම යන කරුණු නිසා එක්සත් ජාතික පක්ෂය එපා වී තිබිණි. 
 
ඒ නිසාම 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකට සහයෝගය දුන් ඔවුන් ඇය තුළින් ද බලාපොරොත්තු වූ විසඳුම් නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටියේය. 
 
නමුත් 2001 දී නැවත රජයක් පිහිටුවන රනිල් වික්‍රමසිංහ විසින් කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් දෙමළ ජනතාවගේ සිත් දිනාගැනීමට හැකිවුනා පමණක් නොව 2002 සාම ගිවිසුම තුළින් දේශපාලන විසඳුමක් සඳහා ඉතා ආසන්න අවස්ථාවක් උදාකළ කළේය. 
 
මේ නිසාම එල්.ටී.ටී.ඊ සංවිධානය පවා රනිල් වික්‍රමසිංහට ජාතිකවාදී මහින්ද රාජපක්ෂට වඩා බියක් දැක්විය. 
 
වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් සිදුකරන ලද ඓතිහාසික දේශපාලන වැරැද්ද වූ මුදල් සඳහා දෙමළ ජනතාවගේ ඡන්ද බලය පාවා නොදෙන්නට සාමාන්‍ය දෙමළ ජනතාවගේ ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි නොවන්නට ඉඩ තිබිණි. 
 
දෙමළ ජනතාවගේ හා දෙමළ දේශපාලන පක්ෂ වලින් රනිල් වික්‍රමසිංහට තිබූ සහයෝගය තවත් පැහැදිලි වන්නේ තමන් ඉදිරිපත් නොවී දෙමළ පක්ෂවල හා ජනතාවගේ සහය 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේනට ලබාදීමයි. 
 
රනිල්ගේ මේ දමනය පසුපස සෑම විටම දැඩි දේශපාලන අභිලාෂයන් තිබූ බව සත්‍යයක් නමුත් ඒවා දෙමළ ජනතාව පිඩාවට පත්කරවන්නක් නොවන බව දෙමළ ජනතාව හා දෙමළ පක්ෂ හඳුනාගෙන තිබිණි. 
 
අදද රනිල් වික්‍රමසිංහට දෙමළ ප්‍රජාව තුළින් ලැඛෙන සහයෝගයේ වෙනස් තිබිය නොහැක.
 
 
 
ජනතා විමුක්ති පෙරමුණ:
 
සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමුඛ දේශපාලන විරුද්ධවාදීයා වූයේ එක්සත් ජාතික පක්ෂයයි. 
 
නමුත් රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන අදහස් සම්බන්ධයෙන් කුමන මතයක් දැරුවද, ජනතා විමුක්ති පෙරමුණ සමග යම් එකගතාවයන්ට පැමිණීමට හැකි වී තිඛෙන බව පසුගිය කාලය තුළදී පෙනේ. 
 
ඔවුන් 2015 ජනාධිපතිවරණයේ දී ද එවැනි දුරස්ථ සහයක් ලබාදුන්නේ යම් එකගතාවයක් නිසා බව පෙනේ. එහිදී මූලික පියරවන් තබන ලද්දේ රනිල් විසිනි. 
 
අනුර කුමාර දිසානායක ගැන රනිල් වික්‍රමසිංහ විසින් එක් අවස්ථාවකදී ඔහුගේ හැකියාවන් අගයා තිබූ අතර, කිහිප අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණු සමාජිකයින් විසින් මහින්ද හා රනිල් අතර ඇති වෙනස් ගැන සඳහන් කරමින් රනිල් සතු දැනුම ද අගයා තිබිණි.
 
 
චන්ද්‍රිකා බණ්ඩාරනායක:
 
RW CBK
 
රනිල් සහ චන්ද්‍රිකා කුඩා කාලයේ සිට එකට දහම් පාසැල් ගිය බවක් කියවුන ද දෙදෙනා දේශපාලන වශයෙන් සෑම විටම විරුද්ධ පිල් දෙකක සිටියෝය, 
 
තමන්ගේ පුතා රාජකීය විදුහලට ඇතුළත් කිරීම නවත්වනු ලැබුවේ රනිල් අධ්‍යාපන ඇමති විසින් යයි චන්ද්‍රිකා දේශපාලනයේ දී නිතර නිතර පැවසුවාය.
 
 2001 දී රනිල් අගමැති වී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති වුවද, දෙදෙනා අතර යහපත් සම්බන්ධතාවයක් නොතිබුණු අතර එහි අවසාන ප්‍රථීපලය වූයේ රනිල් ගේ රජය වසර තුනකට පසුව 2004 දී බිඳ වැටීමයි. 
 
නමුත් දෙදෙනාගේ බලය අහිමිව මහින්ද රාජකීය උණුසුමකින් රට අගාධයකට රැගෙන යන අවස්ථාවේදි දෙදෙනා තුළම විශේෂ සම්බන්ධතාවයක් තිබූ බව පැහැදිලිය. 
 
ඒ බව කැපී පෙනුනේ රාජපක්ෂ බුද්ධි බලකායේ බලය විහිළුවකට ලක් කරමින් මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂයා ලෙස නම් කිරීමත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට එක්ව දරණ ලද වෙහෙසයි. 
 
එලෙසම රනිල් වික්‍රමසිංහට මහබැංකුව සම්බන්ධ එල්ල වන ප්‍රහාරයේ දී චන්ද්‍රිකා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ රනිල් සොරෙකු නොවන බවයි. 
 
කොරෝනා වසංගත තත්ත්වය නිසා සහ ගෝඨාභය රජයේ හැසිරීම මැද ඔවුන් නිහඩව එක්ව ක්‍රියාකාරි වන බව පෙනුණත් එය තවමත් වේදිකාවට පැමිණ නොමැති නිසා කිසිවක් කිව නොහැකි වුවත්, නිසැකවම එම ක්‍රියාන්විතය ඉදිරියේ දී දැකගත හැකි වනු ඇත. 
 
 
 
මංගල සමරවීර:
 
RW MS
ලංකාවේ සිටින වඩාත් රැඩිකල් අදහස් ඇති දේශපාලඥයන් දෙදෙනා
 
  
රනිල් ගේ චරිතය රාජදෝහියෙකු ලෙස ජනතාවගේ සිත් තුළට කාවදින අයුරින් ජනගත කරන ලද්දේ මංගල විසිනි. 
 
රනිල් කොටි හිතවාදියෙක් බවත්, රනිල් වලව්කාරයෙක් බවත්, රනිල් සාමාන්‍ය ජනතාවට විරුද්ධව ක්‍රියාකරන්නෙකු බවත්, රනිල් අධිරාජ්‍යවාදී, ඇමෙරිකානු ගැතියෙකු බවත් මූලික ජනගත කිරීම කරන ලද්දේ මංගල විසිනි. 
 
මංගල විසින් ජනගත කරන ලද ඒ ප්‍රහාරය පසුව විමල් ඇතුළු පිරිසක් තවදුරටත් ජනගත කරන ලදි. මේ නිසාම රනිල්ට විරුද්ධව විශාල ජනවිරෝධයක් ඇති විය. තවමත් ඒ තත්ත්වයෙන් ගැලවීමට රනිල් ට නොහැකි වී ඇත. 
 
එය සිදු කළ හැක්කේ ද මංගලටම පමණි. මෙතරම් විරුද්ධවාදියෙකු වූ මංගල හා එක්ව වැඩ කිරීමට රනිල් හැකිවිය. ඔහුට සහයදීමට මංගලට ද හැකි විය. 
 
ලංකාවේ සිටින වඩාත් රැඩිකල් අදහස් ඇති දේශපාලඥයන් දෙදෙනා ඔවුන් ය. ලංකාවේ වේදිකාවට ගැලපෙන සන්නිවේදන හැකියාවක් තිබුණේ නම් රනිල් ගේ දේශපාලනය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබිණි. මංගල රනිල් එක්ව පසුගිය යහපාලන රජය සමග කළ දේ තවත් ඉදිරියට යාමට හැකියාව ලැබුවේ නම් තත්ත්වය වෙනස්වීමට ඉඩ තිබිණි. 
 
දේශපාලන අදහස් ගැන සලකා බැලීමේ දී රනිල්ට වඩාත් ගැලපෙන ශ්‍රී ලංකික දේශපාලඥයා මංගල ය. මංගල රනිල් ගෙන් වෙන්ව සමගි ජන බලවේගයට එක් වුවද ටික දවසකින් වෙන්විය. ඒ වෙන්වීම ගැන මංගල පසුව සඳහන් කරන ලද්දේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීමේ දී සජිත් දැක්වූ උදාසීනත්වයයි. 
  
එපමණක් නොව මංගල රනිල්ට ඡන්දයකින් දිනීමට නොහැකි වුවද ඔහු ලංකාවේ සිටිය හැකි නිවැරදි දැක්මක් ඇති නායකයෙක් කීවේය. 
 
අද රනිල් දේශපාලනයේ ඉදිරියට පැමිණියහොත් මංගල ද පසුපසින් එනු ඇතැයි කිව නොහැක්කේ කාටද?
 
 
 
 
චම්පික රණවක :
 
RW PCR
 
ලියුම්කරු සිතන අයුරින් රනිල්ට හොඳටම ගැලපෙන තරුණ ගමන් සගයා චම්පිකය. රනිල් ගේ රජය 1987- 1989 දක්වා චම්පික ලා පසුපසිනි. චම්පිලා එදා සිට වැඩ කළේ රනිල් ලාගේ යූන්පී එකට විරුද්ධවය. 
 
චම්පිකලාගේ ජාතිකවාදී දේශපාලනයේ දී රනිල් ලා ද්‍රෝහීන් ය. එය දීර්ඝ කාලක හතුරුකමකි. 
 
ඉන්දු ලංකා සාම ගිවිසුමේ සිට 2002 එල්.ටී.ටී.ඊ සමග අත්සන් කළ සාම ගිවිසුමට ද චම්පික ලා විරෝධය පළ කළේය. 
 
එලෙස තමන්ට විරෝධය දැක්වූ චම්පික 2015 දී මහින්ද රාජපක්ෂගේ දුර්දාන්ත රජය පළවා හැරීමට රනිල් සමග එක්ව කටයුතු කළේය. සැලසුම් කළේය. සටන් කළේය. ජයග්‍රහණය කර රජයක් පිහිටුවේය. 2015 යහපාලන රජයේ ප්‍රබලම අමාත්‍යධූරයක් ලබා දුන්නේය. 
 
එමෙන්ම දෙදෙනාම දෙදෙනාට චරිත සහතික ද දුන්නෝය. චම්පික දක්ෂ, කාර්යශූර ඇමතිවරයෙක් පමණක් නොව තම යහපාලන රජයේ දක්ෂතම ඇමතිවරයෙක් ලෙස ද හඳුන්වා දුන්නේය. 
 
 
 
දුර පේන දේශපාලඥයෙක් :
 
දේශපාලනයේ දී සදාතනික මිතුරන් හෝ සතුරන් නැති යයි කියමනක් තිබේ. රනිල් ගේ දමනයන් තුළ එය පැහැදිලිව පෙනේ. 
 
එමෙන්ම ඉතිහාසය පුරාම රනිල් දුර පේන දේශපාලඥයෙකු ලෙස නමක් දිනා තිබේ. 
 
සජිත් ප්‍රේමදාස පක්ෂයේ ඉදිරියේ නායකත්වයට පත් කිරීමට ප්‍රමාද වූයේත්, එයට විවිධ බාධක දැමුවේත් ඇයි ද යන්න සජිත් ගේ ක්‍රියා කලාපයෙන් පැහැදිලි වේ. දුර දැකීමට එයම ප්‍රමාණවත් ය. 
 
ගාමිණී, ලලිත් පක්ෂ අතහැර ගිය අවස්ථාවේ පක්ෂ දමා නොගිය, පක්ෂ ආරක්ෂා කළ, දෝෂාභියෝගයේ දී ආර්.ප්‍රේමදාස ව ආරක්ෂා කළ, හේමා ප්‍රේමදාස සමග සමීප සම්බන්ධතාවයකින් සිටි රනිල් සජිත් ට අකමැතිවීමට සජිත් ගේ දුර්වලතා හැරෙන්නට වෙනත් යමක් නොපෙනේ. 
 
ඒ අවස්ථාවේදී රනිල් ට බැන වැදී සජිත්ට නායකත්ව ලබාදුන් බොහෝ දෙනෙක්ට එම නායකත්වය දැන් එපා වි තිඛෙන බවත්, ක්‍රමයෙන් සමගි ජන බලවේගයේ ප්‍රධානීන් චම්පික දෙසට හැරෙමින් තිඛෙන බවත් රහසක් නොවේ. 
 
රනිල් වික්‍රමසිංහ පසුගිය දා ස්වර්ණවාහිනි සංවාදයේ දී පැවසූ පරිදිම දේශපාලන සිදුවීම් ගැන අනාවැකි කීමට නොහැක. 
දේශපාලනයේ පරිනත පුද්ගලයන් තීරණයන් ගන්නේ පවතින තත්ත්වයන් මත හා තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති මත පිහිටා ය. සමහර තීරණාත්මක අවස්ථාවන්හි දී ප්‍රතිපත්තිවල පවා යම් යම් වෙනස් කළ යුතු වේ. රනිල් ගේ මේ ආගමනය ද එසේමය. 
 
හෙට සිදුවන්නේ කුමක්දැයි අප සහතිකව කිව නොහැකි වුවත් එහි දී රනිල් ගේ භූමිකාව තීරණත්මක බව දැන් පැහැදිලිය.
 
 දැන් රනිල්ට වයස අවුරුදු 73 කි. සාපේක්ෂව නිරෝගීය. මනස හොඳින් ක්‍රියාත්මක වේ. පෞද්ගලික ජීවිතය තුළ ඇති විනය ඔහු ගේ නිරෝගී බවට හේතුවයි.
 
JR RW
 
ජේ.ආර්. 1977 දී බලය පත්ව පළමු විධායක ජනාධිපති වන විට ඔහුට වයස අවුරුදු 71 කි. ජේ.ආර්. එවැනිම නිරෝගීව සිටි බව කියැවේ. ජීවන රටාවන් තුළ දැඩි විනයක් තිබූ බව කියැවේ. 
 
ඉතා අසිරු චරිත රැසක් දමනය කළ රනිල්ට තවත් බොහෝ දමනයන් කළ හැකි බව දැනටම ඔප්පු කර හමාරය. රනිල් ගේ විරුද්ධවාදීන් දමන ගැන වාමාංශික ව්‍යාපාරයේ, සිවිල් සමාජය ව්‍යාපාරයේ තවත් චරිත ඇතත් දැනට මේ ප්‍රමාණවත්ය. 
 
මෙහි උත්ප්‍රාසය නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් සම්බන්ධයෙන් මෙම ක්‍රියා පිළිවෙළ වෙනස්වීමයි. ඒ ගැන පසුව ලියමු. 
 
රනිල් හෙට කරන දේ ගැන අපට අනාවැකීමට හැකියාවක් නැතත්, එය පැහැදිලිව දේශපාලන සුළිසුළගක් බව නම් පැහැදිලිය. 
 
 
(සුදේශ් ද සිල්වා)
Script Writer/ Director 
Tele drama/ Documentaries
No.53/B/2 - Hantana Housing Scheme - Kandy

 

 


 

THE LEADER TV 
 

ස' කොටු කරන්න රනිල් ඇටවූ උගුල!

 

 

 

සබ්‍රි අප්සට් දුමින්ද නිදහස්! 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්