සිල්වියා ෆෝටි (silviafoti) ට කිසි දිනෙක තමන්ගේ සීයා මුණ ගැසී නැත.
 
 
සන්නද්ධ කණ්ඩායම් නායකයෙකු, ආණ්ඩුකාරවරයෙකු, දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ දැඩි ජාතිකවාදියෙකු වූ යෝනාස් නොරෙයිකා (Jonas Noreika), ඇය උපත ලබන විට මෙලොව හැරගොස් සිටියේය.
 
බොහෝ ලිතුවේනියානුවන් අදත් ඔහු සලකන්නේ දෙවෙනි ලෝක යුද සමයේදී සෝවියට් කොමියුනිස්ට්වාදීන්ට එරෙහිව සටන් වැදුණු ජාතික වීරයෙකු ලෙසිනි.
 
එහෙත් සිය මව ආරම්භ කොට තිබුණු ඇයගේ පියාගේ චරිතාපදානය අවසන් කිරීමේ කාර්යයට අත ගසන විට සිය ගවේෂණයේ දී සොයාගනු ලබන දේ ගැන හෝ එමගින් සිය ජීවිතය සහමුලින්ම වෙනස් කරනු ඇතැයි යන්න ගැන ඇයට කිසිදු හැඟීමක් නොතිබිණ.
 
 
'අඳුරු අතීතය'
 
දශක ගණනාවක් මුළුල්ලේ සිල්වියාට (Silvia Foti) අසන්නට ලැබුණේ සිය ජාතිය බේරාගැනීම් වස් සීයා කළ වීර ක්‍රියාවන් ගැනය.
 
ඇමෙරිකාවේ චිකාගෝ නුවර හැදී වැඩෙන සමයේ ඇයට සිය උපන්බිම, ලිතුවේනියාව, සහ සීයා ගැන දැනුණේ ආඩම්බරයකි.
 
1947 දී සෝවියට් ආක්‍රමණයට එරෙහිව සටන් වැදීම හේතුවෙන් සෝවියට් හමුදාව විසින් ඔහු මරා දැමූ බව අම්මාත්, අත්තම්මාත් ඇයට කියා තිබුණි.
 
ජාතික වීරයෙකු වන ඔහු නමින් ලිතුවේනියාවේ මාර්ග සහ පාසල් නම් කර තිබුණි; අගනුවර ඇතැම් ස්ථානවල ද නොරෙයිකා වෙනුවෙන් සමරු ඵලක සවිකර තිබේ.
 
එහෙත් "ඔයාගේ සීයා යුදෙවුවෝ මැරුව කියල චෝදනා තියෙනවා," යනුවෙන් දිනක් අහම්බෙන් ඇයට පැවසුවේ, ඔහු නමින් නම් කර තිබෙන පාසලක විදුහල්පතිවරයාය.
 
"මට කලන්තේ දාන්න වගේ ආවා," සිල්වියා සිහිපත් කළාය. "එදා තමයි මම එහෙම දෙයක් පළවෙනි වතාවට ඇහුවේ."
 
  118937753 noreika colorized
යෝනාස් නොරෙයිකා යුදෙවු "සමූල ඝාතනයකට" අණදුන් බව සිල්වියා පවසන නමුත් ලිතුවේනියාව එය ප්‍රතික්ෂේප කරයි.(ඡායාරූප මූලාශ්‍රය, SILVIAFOTI.COM)
 
 
ඒ වනවිට ඇය 38 වෙනි වියේ පසුවූවාය.
 
"මගේ අම්මා නැතිවුණා විතරයි. ආත්තම්මාත් නැතිවුණා විතරයි," ඇය සිහිපත් කළේ බීබීසී HardTalk වැඩසටහන සමඟ සංවාදයකට එක්වෙමිනි.
 
"මම හිතාගෙන හිටියේ සීයා ගැන ලස්සන කතාවක් ලියන්න. එයාගේ අඳුරු අතීතය ගැන මම දැනගෙන හිටියේ නෑ."
"මම හිතුවේ දෙවෙනි ලෝක යුද්දෙදි කොමියුනිස්ට්වාදීන්ට විරුද්ධව සටන් කරපු වීරයා ගැන ලියනවා කියල."
පාසලේ දී එදා අසන්නට ලැබුණු දෙය අදහාගත නොහැකිව, එය "කොමියුනිස්ට්කාරයන්ගේ බොරු ප්‍රචාරයක්" යයි සිතූ ඇය දස වසරක් කම්පනයෙන් වික්ෂිප්තව සිටියාය.
 
 
 
'යුදෙවු ජන සංහාරය'
 
"අවුරුදු දහයක් තිස්සේ මම සීයා ගැන හොයාගන්න පුළුවන් වුණ හැම දෙයක්ම කියෙවුවා."
 
1933 දී 22 හැවිරිදි තරුණයෙකු වූ නොරෙයිකා විසින් ලියන ලද පිටු 30කින් සමන්විත ලේඛනයක් ද ඒ අතර තිබිණ. එය සම්පූර්ණයෙන්ම යුදෙවු විරෝධී ලිපියක් විය. ලිතුවේනියානුවන් යුදෙවුවන් "වර්ජනය" කළ යුත්තේ මන්දැයි ඔහු එහි දක්වා තිබිණ. නොරෙයිකා, ඇඩොල්ෆ් හිට්ලර් සහ මුසෝලිනී දේවත්වයෙන් ඇදහූ බව ද තවත් ලිපිවලින් සනාථ කෙරිණ.
 
ඉන් අනතුරුව ඇයට හමුවූ දෙයින් ඇය ඊටත් වඩා කම්පනයට පත්වූවාය. සීයා යුදෙවු ජන සංහාරයට සෘජුව සම්බන්ධ බවට ප්‍රමාණවත් සාක්ෂි ඇයට හමුවිය.
 
ඒ සාක්ෂි මත පදනම්ව සිල්වියා ලියූ ග්‍රන්ථය නම් කෙරුණේ, "නාසිවාදියාගේ මිණිපිරිය" නමිනි.
 
 118937747 whatsappimage2021 06 15at06.19.58මරා දැමූ ඥාතීන්ගේ සොහොන් බිම්, සිය පුතු ද සමඟ එක්ව පිළිසකර කරන ග්‍රාන්ට් ගොචින් (ඡායාරූප මූලාශ්‍රය, GRANT GOCHIN)
 
 
නාසිවාදීන් ලිතුවේනියාව පාලනය කළ සමයේ, එහි වාසය කළ යුදෙවුවන් 95% කට වැඩි පිරිසක් සමූලඝාතනය කෙරිණ.
 
ලිතුවේනියානු යුදෙවුවන් පිරිසක් සහ විදේශගත ඔවුන්ගේ ඥාතීන් සමඟ එක්ව, ලිතුවේනියාවේ "වීරයන්" ලැයිස්තුවෙන් සීයාගේ නම ඉවත්කරගැනීම පිණිස වර්තමානයේ සිල්වියා උද්ඝෝෂණයක නිරතව සිටින්නීය.
 
නොරෙයිකා වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ, ලිතුවේනියාව නාසීන් ගේ සහ රුසියානුවන්ගේ තර්ජනයට මුහුණදෙමින් සිටි සමයක ඔහු "ජාතික ආරක්ෂාව" වෙනුවෙන් පෙනී සිටි බවය. විශේෂයෙන්ම නොරෙයිකා ද වධ කඳවුරක රඳවා තැබීමෙන් හෙළිවන්නේ නාසි පාලකයන් විසින් ඔහු සිය ආධාරකරුවෙකු ලෙසින් නොසැලකීම බවත්, රුසියානුවන් ඔහු ඝාතනය කිරීම එයට තවත් සාක්ෂියක් බවත් ඔවුහු පවසති.
 
එහෙත් සිල්වියා පවසන්නේ, සීයා සෝවියට් විරෝධී කැරැල්ලේ සාමාජිකයෙකු බව මෙන්ම, එවක 30 හැවිරිදි වියේ පසු වූ ඔහු 1941 දී නාසීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවට ද තමන්ට ප්‍රබල සාක්ෂි හමු වූ බවය.
 
යුදෙවුවන් සිය නිවෙස්වලින් පලවා හැරීමට නියෝග කළ යෝනාස් නොරෙයිකා, ඔවුන් වධ කඳවුරුවලට ගාල් කොට, යුදෙවුවන් 2000 කගේ පමණ ඝාතන මෙහෙය වූ බවට ද ඇයට සාක්ෂි හමු වී තිබේ.
 
 
 
අසාමාන්‍ය මිතු දමක්:
 
 118937755 whatsappimage2021 06 15at14.35.56
ඝාතනයට ලක් වූ ඥාතීන් වෙනුවෙන් ග්‍රාන්ට් ලිතුවේනියාවේ ඉදි කළ ස්මාරකය.(ඡායාරූප මූලාශ්‍රය, GRANT GOCHIN)
 
 
 
 
එම යුදෙවුවන් 2000 දෙනා ඝාතනය කරන මෙන් නොරෙයිකා නියෝග කළ බවට ඔහුගේ ලේකම්වරයා විසින් තබන ලද සටහනක් ඇයට හමුවිය. සීයාගේ ඝාතන ගැන සිල්වියා සතු ප්‍රබලම සාක්ෂිය එයයි.
 
"ලේකම් එදා හිටපු ජීවමාන සාක්ෂිකාරයෙක්."
 
මේ අතර ඇතැම් ලිතුවේනියානු යුදෙවුවෝ ද සිය මී මුත්තන්ට සිදු වූ දේ සහ යෝනාස් නොරෙයිකා ගැන වැඩි විස්තර සොයමින් සිටියහ.
 
ඒ අතර සිටි ග්‍රාන්ට් ගොචින් (Grant Gochin) පවසන්නේ, තමන්ගේ නෑ පරපුරෙන් 100 දෙනෙකුවත් නොරෙයිකා විසින් මරා දමනු ලැබ ඇති බවය.
 
"මම හොයාගත්ත හැමදෙයක්ම ප්‍රසිද්ධ කළා. ඒ අතරේ දවසක් සිල්වියා මට ඊමේල් එකක් එවල තිබුණා," යනුවෙන් පවසන ග්‍රාන්ට්, ලිතුවේනියාවේ ආණ්ඩුවට එරෙහිව පැවරූ නඩු ගණනාවක්ම අසාර්ථක විය.
 
දකුණු අප්‍රිකාවේ උපත ලැබූ ඔහු දැනට වාසය කරන්නේ එක්සත් ජනපදයේය.
 
සිය මුතුන් මිත්තන්ට අත්වූ අනුවේදනීය ඉරණම ගැන මා සමඟ දීර්ඝ සංවාදයකට එක් වූ ග්‍රාන්ට්, "මට ලොකු සැකයක් ඇතිවුණා. පස්සේ දවසක් සිල්වියා එකපාරටම කෝල් කරලා කියනවා, 'ග්‍රාන්ට් ඔයාට ලොකු වැරදීමක් වෙලා තියෙනවා' කියලා," යනුවෙන් විස්තර කළේය.
 
"එයා කිව්වා: 'සීයා මරල දාපු 10,000 ක් විතර ඔයාට මිස් වෙලා'."
 
සිල්වියා සහ ග්‍රාන්ට් අතර අසාමාන්‍ය මිතුදම ඇරඹුණේ එලෙසිනි. එය කෙතරම් සමීප මිතුදමක් බවට පත්වීද යත්, ලිතුවේනියාවට එරෙහිව ග්‍රාන්ට් යුරෝපා අධිකරණයේ නඩු පවරන විට සිල්වියා ද දිවුරුම් පෙත්සමකින් එයට සහය පළ කළාය.
 
ලිතුවේනියාවේ දී ඝාතනයට ලක් වූ යුදෙවුවන් 220,000 අතරින් 15,000 ක් මරා දැමීම ගැන නොරෙයිකාට චෝදනා එල්ලවන බව ග්‍රාන්ට් පවසයි. ලිතුවේනියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
 
 
 
වේදනාබර සොයාගැනීම:
 
 118937752 58a94921 1518 468b 8a93 0fac4076c524
සීයා ගේ චරිතාපදානය ලිවීම ගැන අත්තම්මාගේ මනාපයක් නොවූ බව සිල්වියා පවසයි. (ඡායාරූප මූලාශ්‍රය, SILVIAFOTI.COM)
 
 
තමන් සොයා ගත් දේ සිල්වියාගේ මනසට කෙතරම් දුෂ්කර වී ද යත් ඇය පවසන්නේ සිය මව හෝ අත්තම්මා ජීවතුන් අතර සිටියේ නම් එම ග්‍රන්ථය තමන් අතින් නොලියවෙනු ඇති බවය.
 
"මානසිකව, මම පොත ලියන අතරේ එයාලගේ හොල්මන් එක්ක දිගින් දිගටම වාද කළා," සිල්වියා බීබීසී සමඟ පැවසීය. "දිවුරන්නම්, සමහර වෙලාවට මම අඬන ගමන් එයාලට මිට මොලවලා තර්ජනය කළා."
 
"මේකෙන් මගේ ලිතුවේනියානු අනන්‍යතාව විනාශ වුණා. ඉස්සර මම සාඩම්බර ලිතුවේනියානුවෙක්. ඒත් දැන් මට ඒ ගැන ලැජ්ජයි. යුදෙවුවෝ ඝාතනය කිරීම ගැන විතරක් නෙවෙයි ඒක වසන් කරන්නත් මගේ රට සම්බන්ධවීමේ භයානකකම මට දරාගන්න වෙලා තියෙනවා."
 
ඇය පවසන්නේ සිය මව, සීයා ගැන බොහෝ කරුණු නොදැන සිටි බවය.
 
"1941 දි, අම්මට යන්තම් අවුරුදු දෙකයි. කාලෙකට පස්සෙ අම්මට සමහර දේවල් ආරංචි වෙන්න ඇති ඒත් ඒ වෙලාවේ එයා ඒක පිළිගන්න කැමතිවෙන්න නැතුව ඇති කියල මට හිතෙනවා," සිල්වියා පවසන්නීය.
 
සිය ග්‍රන්ථය එළිදැක්වීමට වසර 20 ක් ගතවූයේ තමන් ද මුලින් එය පිළිගැනීමට සූදානම් නොවීම හේතුවෙන් බව පවසන සිල්වියා, කෙසේවුවත් අත්තම්මා සියල්ල දැන සිටි බව විශ්වාස කරන්නීය.
 
"අනිවාර්යයෙන්ම එයා දැනගෙන හිටියා. ඒක තේරුම් ගත්තම මට ඇතිවුණේ පුදුම කලකිරීමක්, ජීවිතේ එපා වුණ ගතියක්. එයා ඒ වගේ දෙයක් හංගගෙන හිටියේ කොහොමද?"
 
"එක පැත්තකින්, මම තේරුම් ගන්නකොට ආත්තම්මා නැතිවෙලා තිබුණ එක ලොකු දෙයක්. මොකද මම දන්නේ නෑ මම දැනගෙන හිටිය නම් මම තවත් එයාලගේ මූණ බලන්නේ කොහොමද කියලා. අම්මගේ වුණත් ඒක එහෙමයි."
මේ අතර ග්‍රාන්ට් ගොචින් සිල්වියාගේ දිරිය දැඩිව පසසයි.
 
"හිතාගන්න පුලුවන්ද මේ වගේ දෙයක් කරන්න සිල්වියාට කොයිතරම් දිරියක් තියෙන්න ඕනද කියලා? එයා විශිෂ්ඨ කාන්තාවක්."
 
 
 
හොලිවුඩ් සිනමා පටයක්:
 
 118937754 b97bc98f d106 4e12 bbba f6f29961f7b6
ග්‍රාන්ට් ගොචින් පවසන්නේ, "ඝාතකයාගේ මිණිපිරිය" සහ "ඝාතනය වූවන්ගේ මුණුපුරා" එක්ව සත්‍යය සොයා සටන් කිරීම "සැබෑ සංහිඳියාවේ කතාවක්" බවය. (ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES)
 
  
සිල්වියා පමණක් නොව හොලිවුඩ් පුරවරය ද එය අනුමත කරන හැඩකි; ඔවුන් දෙදෙනාගේ අසාමාන්‍ය මිතුදම රිදී තිරයේ දිග හැරෙන්නට සැලසුම් සකස් වන්නේ එබැවිනි.
 
මේ ශක්තිමත් මිතුදමට හේතුව, ලිතුවේනියාවේ යුදෙවු සංහාරය ගැන විවෘත මනසකින් විමසන, ඔහුට හමු වූ පළමු ලිතුවේනියානු ජාතිකයා තමන් වීම විය හැකි බව සිල්වියා විශ්වාස කරන්නීය.
 
"යුදෙවු සංහාරයේ වගකීම හංගනවා වෙනුවට ලිතුවේනියානුවෝ තමන්ගේ වගකීම භාරගන්න ඕනේ. එහෙම භාරගත්තම මරල දාපු මිනිස්සු ආයෙත් එන්නේ නෑ ... ඒත් ඔවුන් ගැන මතකය අලුත් කෙරෙනවා. අපි ඔවුන් සිහිපත් කරන්න ඕනේ," සිල්වියා ෆොටි පවසන්නීය.
 
ඇය පවසන්නේ, එමගින් "වින්දිතයන්ගේ තුවාල" පමණක් නොව "ලිතුවේනියානුවන්ගේ හදවත් ද" සුවපත් වනු ඇති බවය.
 
 

 
fdfdfe(සරෝජ් පතිරණ)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
BBC ලෝක සේවය
 
 
(BBC සිංහල සේවය)
 

 

 

 


 

THE LEADER TV 
 
 
ජනපතිගේ ෆයිබර් ඔප්ටික් කතාව අලි බොරුවක්! 
 
 
 
බැසිල්, මහින්දට පිටින් යාවිද ?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්