ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතිය අමතා පැවැත්වූ විනාඩි 69 කතාවේ අන්තර්ගතයට වඩා එහි දෘශ්‍යමය

සන්නිවේදනය පිළිබඳව මහජන කතිකාවක් ආරම්භ වී තිබෙන බව පෙනේ.

මෙරට ඉතිහාසයේ තුළ රාජ්‍ය නායකයෙකු “ජාතිය ඇමතිම” ලේබලය යටතේ කළ සන්නිවේදනයේ ස්වරූපය මහජන කතිකාවට ලක් වූ පළමු අවස්ථාව මෙය වශයෙන් බොහෝ දෙනෙක් අර්ථ ගන්වා තිබුණද එය සත්‍ය නොවේ.

 

ආකෘතිය තරමක් වෙනස් වුවද මීට පෙර ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජාතික රූපවාහිනියේ මැදිරියට ජනදාස පීරිස් සහ ලූෂන් රාජකරුණා සමග පැමිණ පැයකට වැඩි කාලයක් ඇය විසින්ම ප්‍රශ්න අසමින් පිළිතුරු දෙමින් කළ දෘශ්‍ය සන්නිවේදනය ද මහජන අවධානයට ලක්විය. සම්මුඛ් සාකච්ඡා ආකෘතියෙ වැඩසටහනක් වූ එයට ප්‍රශ්නකරුවන් වශයෙන් සහභාගිවී සිටි ජනදාස පීරිස් සහ ලූෂන් රාජකරුණා කළේ හූමිටි තැබීම පමණි.

 

ජනාධිපතිවරයාගේ කතාවේ සන්නිවේදන ඵලදායිතාව අඩු මට්ටමක පැවතුණ ද ඔහුගේ ඉදිරිපත් කිරීම් රටාවට මම පෞද්ගලිකම කැමත්තක් දක්වමි. දේශපාලඥයින් විසින් කපටි ඇඳුම් ඇඳගෙන, නහර පුප්පමින් ,යටිගිරියෙන් කෑ ගසමින් ජනයාට අත්පොළසන් දෙන්නට කරන ව්‍යාජ රඟපෑම් සහිත කථාවන්ට වඩා කරුණු සහිතව (එම කරුණුවල නිරවද්‍යතාවය පිළිබඳ ගැටලු තිබුණද) ජනාධනාධිපතිවරයා කළ විග්‍රහය ඉතා වැදගත්ය.

 

හැට නම ලක්ෂයේ ජනයා ඉල්ලා සිටි කතාව

 

ගෝඨාභය ජනාධිපතිවරයාව ජනතාව තෝරා ගත්තේ ආණ්ඩුකරණය, දේශපාලනයෙන් සහ දේශපාලනඥයින්ගෙන් ඛණ්ඩනය කිරීමේ තේමාව යටතේය(ආණ්ඩුකරණය දේශපාලනයෙන් බැහැර වූවක් ද යන්න වෙනම සාකච්ඡා කළේ යුත්තකි). එම අර්ථයෙන් ගත් විට ජනපති ගෝඨාභය රාජපක්ෂ යනු දේශපාලනඥයෙක් නොවේ.

එම ආදර්ශයෙන් ගත්විට රටේ නායකත්වයට පත් වූ ජේ ආර්, ආර්,ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ වැනි සාම්ප්‍රදායික අච්චුවේ දේශපාලන ඇඳුම් අදිමින් කතා පවත්වමින් ජනයා ගොනාට ඇන්දවීමේ හැසිරීම්ක් රටාවක්, ගෝඨාභයව ජනාධිපතිවරයා වශයෙන් තෝරාගත් 69 ලක්ෂ ජනයා ගෝඨාභය ජනාධිපතිවරයා වෙතින් අපේක්ෂා නොකළේය (තෝරාගත් ජනතාවගේ අපේක්ෂාව අවංක එකක් වූයේ නම්). 

 

3S0A5099                      ජනාධිපතිවරයා විනාඩි 69 කින් ඇමතුවේ මෙම හැට නම ලක්ෂයේ ජනයාය

 

ජනපතිවරයා විසින් අතීත කතා සිහි කැඳවූයේ ඔහු සහ හැට නම ලක්ෂයේ ජනයා අතර අතීතයේ පැවති එම බැඳියාව සිහිපත් කර දෙන්නටය. ජනපතිවරයා විසින් ජනයාට අත්පොළසන් දෙන්නට නාට්‍යමය ජවනිකා සහ හැඟීම් දර්ශන ඇතුළත් කතාවක් කළේ නම් එය හැට නවලක්ෂයක් ජනයාට ලබා දුන් පොරොන්දු නොසලකා හැරීමකි.

ඒ අනුව දේශපාලඥයෙකු නොවන අයකුගෙන් දේශපාලඥයෙකු මෙන් කතා පැවැත්වීම් ඉල්ලා සිටීම යථාර්ථවාදී නොවේ. සැබැවින්ම සාම්ප්‍රදායිකව “රටේ නායකයා ජාතිය ඇමතිම” නම් ආණ්ඩු සන්නිවේදන ආකෘතිය තුළට ජනපතිවරයා ඇතුලත් කිරීමට ආණ්ඩුවේ සන්නිවේදකයින් කටයුතු කිරීමද 69 ලක්ෂ ජනයාගේ අපේක්ෂා නොසලකා හැරීමකි.

tele

ගෝඨාභය ජනපතිවවරයා විසින් සිය කතාවේ ආධාරකයක් වශයෙන් ටෙලිප්‍රොම්ප්ටර් යන්ත්‍රයක් භාවිතා කිරීම සාක්ෂි සහිතව මහජනයාට හෙළිදරව් වීම ද මීට සමානය.

සාම්ප්‍රදායිකව මෙරට නායකයින් පමණක් නොව විදේශීය නායකයින් ද විශේෂ අවස්ථාවල දී පවත්වන කතාව වෙනත් අයෙකු ලියා දෙන “පිටපතක් කියැවීමක්” වනවාසේම ටෙලිප්‍රොම්ප්ටර් තාක්ෂණය ඇතුළු විවිධ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ප්‍රයෝග මගින් එම කතාවේ සන්නිවේදන ඵලදායිතාව ඉහළ දැමීම ද සිදු විය.

තව ද මීට පෙර එවැනි දේශපාලන කතා රූපවාහිනියෙන් දකිද්දී එය පෙරහුරු ගණනාවක සහ සංස්කරණ ක්‍රියාවලියවලියක නිර්මාණාත්මක ප්‍රතිඵලයක් බව ජනතාවගෙන් වසං කර රූපවාහිනි සන්නිවේදනය පමණක් සිදු වීම හේතුවෙන් ජනතාව එයින් සතුටටට පත් වී අත්පොළසන් දී නින්දට වැටිණි.

ඉහත ආකෘතියම ගෝඨාභය ජනපතිවරයා අනුගමනය කළ ද ඔහුගේ කතාව රූපගත කිරීමේ දර්ශනය ඇතුළත් ඡායාරූපයක් ප්‍රසිද්ධ වීම නිසා ජනපතිවරයාගේ දෘශ්‍ය සන්නිවේදනය මහජනයාට ප්‍රශ්නයක් විය.

එනම් දේශපාලඥයින් රූපවාහිනි කතා පැවැත්වීමේදී තිරය පිටුපස සිදු වෙන්නේ කුමක්දැයි හෙළිදරව් වූ විට තිරය පිටුපස සිදු වූ දෙය ජනතාවට ප්‍රශ්නයකි. තිරය පිටුපස රඟපෑම රහසිගතව සිදුවී කතාවේ දෘශ්‍ය සන්නිවේදනය පමණක් දකින්න ලැබුනේ නම් ජනතාවට එය ප්‍රශ්නයක් නොවේ. එය රංගනයක් බව එළිදරව් වූ විට පමණක් එය ජනතාවට ප්‍රශ්නයක් වේ.

 

වංක බවට, රඟපෑමට සහ ව්‍යාජත්වයට මෙරට ජනයා දක්වනු ලබන ලැදියාව මෙයින් පැහැදිලි වේ. වංක බව සහ ව්‍යාජත්වය මෙරට බහුතර ජනයාගේ ජීවිතයේම කොටසකි.

 

දේශපාලනඥයින්ගේ කථන කලාව

 

කෙසේ නමුත් වංක සහ අවංක අරමුණු සඳහා දේශපාලනඥයින්ට කථන කලාව සහ සන්නිවේදනය ඉතා ප්‍රබල ලෙස භාවිතා කළ හැකිය.

වී. අයි ලෙනින්, ඇඩොල්ෆ් හිට්ලර්, වින්සන් චර්චිල්, හිලරි ක්ලින්ටන්, බරක් ඔබාමා, බිල් ක්ලින්ටන්, මාටින් ලූතර් කිං, ආර් පේමදාස, රෝහණ විජේවීර, විජය කුමාරතුංග වැනි දේශපාලනඥයින් මහජන සන්නිවේදනය සඳහා කථන කලාවේ සක්‍යතා ප්‍රබල ලෙස යොදා ගනු ලැබීය.

රූපවාහිනිය සහ ගුවන් විදුලි මාධ්‍යයේ ආගමනයත් සමග රාජ්‍ය නායකයින් රූපවාහිනී සහ ගුවන්විදුලි කතා පැවැත්වීම වඩාත් ඵලදායි මහජන සන්නිවේදන ක්‍රමයක් වශයෙන් හඳුනාගෙන ඇත.

රාජ්‍ය නායකයින් වෙනුවෙන් මෙම කටයුතු සංවිධානය කරන්නේ ආණ්ඩුවේ සන්නිවේදන නිලධාරීන් විසිනි. කතා පවත්වන මොහොත, කතා පිටපත් ලිවීම, රූපගත කිරීම්, පටිගත කිරීම, සහ ප්‍රචාරය කිරීම ඔවුන්ගේ මෙහෙයුම යටතේ සිදුවේ. සැබැවින්ම රාජ්‍ය නායකයාගේ භූමිකාව වන්නේ ඔවුන් කියන ආකාරයට පෙරහුරු කිරීම් සහ කැමරාව ඉදිරියේ රඟපෑම ය.

 

ආර් ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ, ගාමිණි දිසානායක, විජය කුමාරතුංග සහ මංගල සමරවීර වැනි දේශපාලනඥයින් කැමරාව ඉදිරියේ හොඳින් රඟපා ජනාදරයට පත්විය.

 

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජන නියෝජිතයින්ගේ භූමිකාව වන්නේ කැමරාව ඉදිරියේ රඟපා ජනයා ගොනාට ඇන්දීම නොවේ. ඒ නිසාම රටේ ජනතා අභිලාෂයන් වෙනුවෙන් කැපවෙන නායකයෙකුට කැමරාව ඉදිරියේ රඟපෑමේ හැකියාව හෝ දක්ෂ කථිකයකු වීමේ හැකියාව ද අත්‍යවශ්‍ය කුසලතාවයක් නොවේ.

එහෙත් ආණ්ඩුවේ කටයුතු වඩාත් ඵලදායිව සන්නිවේදනය කිරීම් සඳහා එය අවශ්‍ය යැයි ආන්ඩුවේ සන්නිවේදන නිලධාරීන් කල්පනා කරන්නේ නම් රාජ්‍ය නායකයාගේ සන්නිවේදන ශක්‍යතා සහ දුර්වලතා හඳුනාගෙන ඊට ගැලපෙන සන්නිවේදන උපාය මාර්ග , උපක්‍රම, ශ්‍රව්‍ය ,දෘශ්‍ය ප්‍රයෝග සහ උචිත තාක්ෂණය ඒ සඳහා භාවිතා කිරීම ආන්ඩුවේ සන්නිවේදන නිලධාරීන්ගේ රාජකාරිය වේ.

1024

ඇඩොල්ෆ් හිට්ලර්

 

නිදසුන් වශයෙන් දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට ජර්මනිය විසින් රූපවාහිනී මාධ්‍ය සොයාගෙන තිබිණි. එහෙත් ජර්මන් ආණ්ඩුවෙ සන්නිවේදන විශේෂඥයා වශයෙන් කටයුතු කළ ජෝසප් ගොබෙල්ස් විසින් රූපවාහිනී මාධ්‍ය එරට ප්‍රචලිත කිරීමට ඉඩ ලබා දුන්නේ නැත. ඊට හේතුව ඇඩොල්ෆ් හිට්ලර් ඉතා දක්ෂ කථිකයෙකු වුවත් රූපවාහිනී කැමරාව ඉදිරියේ ඔහුගේ පෞරුෂය දුර්වල ව පෙනෙන බව ගොබෙල්ස් විසින් විශ්ලේෂණය කර තිබීමයි. ඒ අනුව හිට්ලර්ගේ ජාතිය ඇමතීමේ කතා පැවැත්වීමට ගොබෙල්ස් විසින් තෝරා ගත්තේ ගුවන් විදුලි මාධ්‍යයි.

මාසයකට වරක් ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ රාජ්‍ය නායකයින් කතා පැවැත්වීමේ සම්ප්‍රදායක් ඇමරිකාවේ සහ යුරෝපීය දක්නට ලැබේ. මෙම කතා ඉතා හරවත්, බලපෑම් සහගත ඉතා හොඳින් සංවිධානය වූ ඒවා බැවින් එම කතාවලට සවන්දීමට එම රටවල ජනයා සැදීපැහැදී සිටිති. එම කථාවට සවන් දීමේ සම්ප්‍රදායක් ද එම රටවල තිබේ. එම කතා තුළ මහජන කතිකාවන්ට සහ ජන ජීවිතයට බලපෑම් සහගත පණිවිඩ අන්තර්ගතව තිබේ.

අපේ රටේ දේශපාලඥයින්ට මෙන්ම මහජනතාවට ද එවැනි ගුවන්විදුලි කතා නුහුරුය. එවැනි ජාතිය අමතා කරන කතා වලට ඇහුම්කන් දීමට මෙරට ජනතාවගෙන් අතිමහත් බහුතරය උනන්දුවක් නොදක්වති. ඒ වෙනුවට ඔවුහු ඉන්දියානු ටෙලි නාට්‍යයක් නැරඹීම්ට තෝරා ගනිති.

 

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ කතාවේ ඉදිරිපත්කිරීම් රටාව, දෘශ්‍ය අසමත්කම් මෙන්ම අන්තර්ගතය ද සමාජීය මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක් වෙමින් තිබේ.

 

මතුපිටින් බලන විට මෙය ලෝකයේ වැඩිම බලයක් සහිත රාජ්‍ය නායකයාව ප්‍රශ්න කරන ක්‍රියාශීලි ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවකි. එහෙත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සටහන්වල අන්තර්ගතය ගැඹුරින් විශ්ලේෂණය කරන විට පැහැදිලි වන්නේ එය සමාජ මාධ්‍යයේ තිබෙන නොපෙනෙන අඳුරු, සංවිධානාත්මකව න්‍යාය පත්‍ර ගොඩනැගීමේ උපක්‍රමික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බවයි.

එය සමාජ මාධ්‍ය මහජන අවකාශයෙන් අපේක්ෂිත විවෘත කතිකා සඳහා මගපාදන පරමාදර්ශී තත්ත්වයක් නොවේ. එයද ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි.

 

ජනපතිවරයාට වාසි සහගත ස්වාධීන මාධ්‍ය ක්‍රියාකාරිත්වය

 

මෙම වියමන අවසන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කතාවේ සඳහන් වූ ඔහු මෙම කතාව පැවැත්වීමට පාදක වූ කරුණ පිළිබඳව මේ මොහොතේ අවධානය යොමු කිරීම් ඉතාම වැදගත් බව පෙනේ.

ජනාධිපතිවරයාට අනුව ඔහු මෙම කතාව පවත්වනු ලැබුවේ ආණ්ඩුව මහජනයා වෙනුවෙන් ඉටුවන කාර්යයන් පිළිබඳව මහජනයා දැනුවත් කිරීම් සඳහාය. ඔහුට අනුව ආණ්ඩුවේ සන්නිවේදනය ගැන සෑහීමකට පත්විය නොහැක. එම නිසා තමාටම එම කාර්යය ද පවරා ගැනීමට සිදුවී තිබෙන බවට එම ප්‍රකාශය ඉඟි කරයි.

 

ආණ්ඩුවට මෙරට විශාලතම ග්‍රාහක කලාපයක් ආවරණය වන රූපවාහිනී සහ ගුවන්විදුලි ජාලය සහ විශාලතම පුවත්පත් ආයතන හිමිව තිබේ. ජාතික රූපවාහිනිය, ස්වාධින රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව මෙන්ම පෞද්ගලික හිමිකාරත්වය සහිත දෙරණ, සහ හිරු ද ආණ්ඩුවේ සන්නිවේදන නාලිකා බව ප්‍රසිද්ධ රහසකි.

 

මෙම මාධ්‍ය ජාලයට විවිධ ආකෘති, සන්නිවේදන උපාය මාර්ග ඔස්සේ ආණ්ඩුවේ මහජන සන්නිවේදන භූමිකාව ඉටු කළ හැකිය.

එහෙත් මෙහිදී අප්‍රකාශිත කරුණ වන්නේ ආණ්ඩුවේ ග්‍රහණයෙන් තරමක් දුරට බැහැර ව තිබෙන බව මතුපිටින් පෙනෙන (එයද ව්‍යාජයකි) සිරස සහ සමාජ මාධ්‍ය ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය විවේචනය කිරීමේ ගැටලුවයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුව අවංකව සහ විවෘතව මහජනයා යහපත වෙනුවෙන් කැප වී සිටින්නේ නම් නිදහස්, ස්වාධීන, සහ අපක්ෂග්‍රාහී මාධ්‍ය පැවතීම එම කාර්යයන් වඩාත් පහසු කරයි.

එම මාධ්‍ය ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සුපරීක්ෂණය කරමින්, විවේචනය කරමින් සහ මතභේදයට තුඩුදෙන කරුණු සම්බන්ධව මහජන කතිකාවන් සඳහා විවෘත වේදිකාවක් තනා දෙන බැවින් එය ආණ්ඩුව නොදැනුවත්ව සිදුවන වැරදි සහ අත්වැරදීම් නිවැරදි කිරීම්ටත් ආණ්ඩුවේ කාර්යයන් සඳහා මහජන සහභාගිත්වය සක්‍රියව ලබා ලබාගැනීමටත් මග පාදයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාම්ප්‍රදායික දේශපාලනයේ යෙදෙන දේශපාලනඥයෙකු නොවී අවංකව රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමට කැප වී සිටින්නේ නම් කළ යුත්තේ නිදහස්, ස්වාධීන, සහ අපක්ෂග්‍රාහී මාධ්‍ය ප්‍රවර්ධනය කිරීමය.

එම මාධ්‍යන්ට අපක්ෂග්‍රාහී, විවෘත මහජන කතිකා සහ විවේචන සඳහා වේදිකාවක් සකස් කර ගැනීමට පහසුකම් සැලැසීමය. තමන් ද, තමන්ගේ විශේෂඥයින් ද, උපදේශකයින් ද, නිලධාරීන්ද, මැති ඇමැතිවරු ද එම විවෘත මහජන කතිකාවල පාර්ශව කරුවන් වීමට වග බලා ගැනීමය.

එමගින් ආණ්ඩුවේ කාර්යයන් පිළිබඳ අපක්ෂපාතී, සමස්ත තොරතුරු වලින් දැනුවත් විචාරශීලි පුරවැසි සමාජයක් ගොඩනගාගත හැකිය. එවැනි පුරවැසි සමාජයක් මානව සංහතියේ යහපත වෙනුවෙන් අවංකව කැපවෙන රාජ්‍ය නායකයින්ට ආශිර්වාදයකි.

 

Dr Pradeep N Weerasinghe 255x276(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය.

 

 

 

 

##########
 
THE LEADER TV 
 
 
 
ජනතාවට ඇත්ත කිව්වොත් බලාගෙනයි චීනා තගදායි 
 
 
 
ශවේන්ද්‍ර, විරසක රාජපක්ෂලා එකතු කළ හැටි ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image