1200 x 80 DMirror
 
 

ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන කිලී මහාරාජා ගැන සමාජයේ පවතින්නේ මත දෙකකි. 
 
එකක්, සඳරුවන් සේනාධීර වර්ගයේ පාච්චල් සාම්ප්‍රදායික විවේචනය යි. ඊට අනුව මහාරාජා යනු, කල්ලතෝනියෙකුගේ පුත්‍රයෙකි. මිනිසුන් සූරා කමින් ඔහු කළ ව්‍යාපාරික වැඩ කූට ව්‍යාපාරයන්ය. 
 
අනෙක් වර්ගය වන්නේ, ලිබරල් විචාරය යි. මෙය BBC සම්ප්‍රදාය යි. දෘෂ්ටිකෝණ විශාල සංඛ්‍යාවකින් පුද්ගලයා දෙස බලා ඒවා සියල්ල පාඨකාවියට ඉදිරිපත් කිරීම ලිබරල් ප්‍රකාශනවාදය යි. මෙම නැරඹීම් කලාවට අනුව පුද්ගලයා පිළිබඳ අවසන් තීරණය ගත යුත්තේ පුද්ගලයාම ය. 
 
අපි ඉහත ප්‍රවේශ මාර්ග දෙකටම විකල්ප වූ අලුත් මාර්ගයක් තෝරා ගනිමු. මහාරාජා ප්‍රපංචය වටහා ගැනීමේ දී දයලෙක්තික ප්‍රවේශයේ වැදගත්කම අපි යළි අවධාරණය කරන්නෙමු.
 
 
70-70 කාලයේ දී මහාරාජා සමසමාජ පක්ෂයේ ව්‍යාපෘතියට උදව් කළ කෙනෙකි. 70-77 යනු, දේශීය ආර්ථිකයක් ලංකාවේ ගොඩනැඟීමට දරණ ලද අවසන් අවස්ථාවයි. එම යුගය තුළ දාස මුදලාලිගේ සිට මහාරාජා දක්වා ව්‍යාපාරිකයන් මෙම ‘දේශීය ආර්ථික සුසමාදර්ශයට’ උදව් උපකාර කරන ලදී. 
 
 
නමුත් මේ වන විට, රටේ ජනගහණය ගම් මට්ටමින් වැඩි වී ගම/ නගරය අතර ප්‍රතිවිරෝධය තීව්‍ර වී ඇති බව N.M පෙරේරා නො දුටුවේය. 71 ප්‍රහාරය පවා ඔහු සැලකුවේ සුළු ධනේශ්වර විරෝධාකල්පයක් ලෙසිනි.
 
 මිලියන දෙකකට ආසන්න තරුණ ජනගහණයකට රැකියා වියුක්තියක් ඇති බව ලංකාවේ පරණ වාම චින්තනය නො දුටුවේය. 
 
සමාජ අසාධාරණය, දුප්පත්කම, චක්‍රීය දරිද්‍රතාවය, වතු ආර්ථිකය එක තැන පල්වීම, උතුරේ දෙමළ ජනතාවගේ දේශපාලන විඥාණය වර්ධනය වීම ගැන ආදී වශයෙන් විශාල පරාසයක සමාජ ගැටලු සම්බන්ධයෙන් පැරණි වමට විකල්පයක් තිබුණේ නැත. 
 
සුළු ධනේශ්වර බුද්ධිමතුන් විසින් නැවත නැවත තවමත් අවලාද නඟන විවෘත ආර්ථික ප්‍රපංචය කරළියට ආවේ සදාචාරාත්මක පිරිහීමක ඵලයක් නිසා නොවේ.
 

 
JR 2021.08.01
 
 J.R ගේ ආශාව වූයේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලෝක ආර්ථිකයට ගැට ගැසීමය. එතැන දී ඔහුට කරුණු දෙකක් වැදගත් විය.
 
 
1. ලංකාවේ පවතින ප්‍රාග්ධනයේ හිඟකම. මේ නිසා, ලංකාවේ සිදුකරන සෑම අභ්‍යන්තරික ප්‍රාග්ධන ආයෝජනයක් ම නෛසර්ගික ලෙස ඌන සංවර්ධිත ය. 
 
උදා:- මාළු පාන්වල මාළු නැහැ වගේම දෙරණ හෝ හිරු නාලිකාවල වැඩසටහන්වල ගුණාත්මකභාවය ද පහළ ය. එය අවශ්‍ය තරම් ප්‍රාග්ධනය හිඟකමේ ප්‍රතිඵල ය. 
 
සුපිරි වෙළඳසැලක මස් කල්තබා ගන්නා අධිශීතකරණය රාත්‍රියට නිවා දැමීම ද ප්‍රාග්ධනය හිඟකමේ ඵලයකි. සමාජවාදය විසින් මේ ගැටලුව විසඳන්නේ නැත. ගුරුවරුන් හිඟ වැටුප් සහ වැටුප් වර්ධක ඉල්ලන මුත් ළමයින් විභාග සමත් වන්නේ ටියුෂන් වලින් යන සාධකය ඔවුන්ට අමතක වෙයි.
 
 
2. ප්‍රාග්ධනය ගෝලීයකරණයට ලක්ව ඇති බවට ලංකාවේ වාමාංශිකයන් සංවේදී නොවීම සහ එසේ සංවේදී වූවත් එය සදාචාරාත්මක පිරිහීමක් ලෙස මිස දේශපාලන සාධකයක් ලෙස නො ගැනීම. මේ හේතුව නිසා, රටේ වම උපරි-ව්‍යුහය පිළිබඳ අතීත වේදනාවකට සහ මෙලන්කෝලියාවකට ගමන් කිරීම.
 
 
J.R. ගේ ආශාව වූයේ, ලංකාවේ ප්‍රාග්ධනයේ හිඟකම නැතහොත් අඩුව (LACK) යි. නමුත්, ලංකාවට විදේශීය ප්‍රාග්ධනය ඇතුල් කළ විට විදේශ ශ්‍රමය විසින් රටට ගේන ප්‍රාග්ධනය සෘජු ලෙසම ගමට යයි.  
 
උදා:- ඩුබායි අක්කාගේ සිට SONY TV දක්වා ගමෙහි සමාජ සබඳතා වෙනස් කිරීම. මෙම සමාජ සත්‍යය ”පළිගු මැණිකේ” සිට ”යශෝරාවය” හරහා ”සින්තටික් සිහින” දක්වා ටෙලිනාට්‍ය වලින් නිරූපණය විය. නූතනත්වයට එරෙහිව සම්ප්‍රදාය යල්පැණ ගිය ආකෘතීන් නිරූපණය කරන ආකෘතීන් තුනක් මෙමඟින් සංකේතනය විය. 
 
 
මහාරාජා වැනි ව්‍යාපාරිකයෙකු J.R ගේ ව්‍යාපෘතියට සම්බන්ධ වන්නේ ඩුබායි අක්කා ගමට ඩොලර් ගෙන එන ආකෘතියෙන් නොවේ. ඔහු ප්‍රාග්ධනය රටට ගෙන එන්නේ මහවැලි ව්‍යාපෘතිය හරහා ය. 
 
වික්ටෝරියා, රන්ටැඹේ, රන්දෙණිගල වැනි ව්‍යාපෘති වලට අවශ්‍ය කරන යටිතල පහසුකම් සහිත දේශීය සමාගමක් ලංකාවේ තිබිය දී- ශ්‍රී ලංකා ඉදිකිරීම් සමාගම; කුසලා අබේවර්ධන පවුලට මෙම සමාගම අයිතිව තිබුණි– එය සමතික්‍රමණය කොට විදේශීය ප්‍රාග්ධනයේ දේශීය ඒජන්තයෙකු බවට මහාරාජා පත් විය. 
 
J.R ගේ ලේකම් මැණික්දිවෙල මීට මැදිහත් විය. 
 
එක පැත්තකින්, ඩුබායි අක්කලා ගමට ඩොලර් ගෙන එන පරිදි මහා පරිමාණයෙන් ලංකාවට ඩොලර් ආවේ එසේ ය. 
 
 
ජපානය ව්‍යාපාරිකයන්ගේ ප්‍රථම දේශීය ඒජන්තයා වූයේ, J.R ගේ ලේලිය වූ පෙනී ජයවර්ධන ය. මෙම කරුණු ලංකාවේ සමාජ විද්‍යා සාහිත්‍යයට එකතු වී නැත්තේ අපට ආත්ම මූලිකත්වය ගැන විද්‍යාවක් නැති නිසා ය. තාර්කික අනුභූතිවාදී රාමුවක ගිලී ඇති ලංකාවේ සමාජ විද්‍යාව සහ මානව විද්‍යාවට ඉහත සාධක ගැන සංවේදීතාවයක් නැති වීම ගැන පුදුම විය යුතු නැත.
 
ඩුබායි අක්කලා සහ හොඳ අයියලා (සූරසේනලා) ගමට පොඩි ප්‍රාග්ධනයක් ගෙන ආ විට ගම කැළඹෙන ආකාරය පිළිබඳව ධම්ම ජාගොඩ සිට අසෝක හඳගම දක්වා කලාකරුවන් අපට පෙන්වා ඇත. නමුත් මේ කුඩා ප්‍රාග්ධනය මගින් ගමෙහි හෙජමොනිය වෙනස් වූයේ නැත. 
 
සරලව කිවහොත්, හඳගම හැර අන් අය පෙන්වූයේ බාහිර යථාර්ථයේ ප්‍රතිවිරෝධයන් ය. නමුත් ගැඹුරු ප්‍රතිවිරෝධය වන්නේ, අභ්‍යන්තර තලයේ පවතින ප්‍රතිවිරෝධයන් ය. [ONTOLOGICAL LEVEL] ඒවා වෙනස් කිරීමට මේ ඩුබායි අක්කලගේ ව්‍යාපෘතියට නොහැකි විය.
 
raja mahendran 
රාජා මහේන්ද්‍රන් නොහොත් කිලී 
 
රාජා මහේන්ද්‍රන් නොහොත් කිලී වැනි ව්‍යාපාරික චරිත මැදිහත් වන්නේ, සමාජයේ අභ්‍යන්තර තලයේ පවතින ප්‍රතිවිරෝධතා කට්ටල් විපර්යාස කිරීමට ය.
 
ඉතාම සරලව විදහා දක්වන්නේ නම්, පසුගිය වසර 40 ක කාලය තුළ J.R ගේ ව්‍යාපෘතිය මිස එහි විරුද්ධවාදීන්ගේ ව්‍යාපෘති සාර්ථක වූයේ නැත. යම් ව්‍යාපෘතියක සාර්ථකභාවය මිනිය යුත්තේ සංස්කෘතික අගතීන්ගෙන් නොව පසු ආවර්තිත දයලෙක්තික චින්තනයෙනි (RETROACTIVE THINKING).
 
  
රාජා මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සමාජයේ සහ මාධ්‍යකරුවන් අතරම පවතින්නේ ගුප්ත හැඟීමකි. ස්ත්‍රීන් සහ මිනිස් සබඳතා වල දී ඔහු අලිඛිත නීතිය යොදා ගන්නා නිර්මාණශීලී ප්‍රවේශය කිසිවෙකු අධ්‍යයනය කර නැත. 
 
 
මෙම අලිඛිත නීති සම්ප්‍රදාය නොවන්නට ‘සිරස’ යනුවෙන් 1993 දී පටන් ගත් ව්‍යාපාරය මේ දක්වා පවතින්නට ඉඩක් නැත. විවාදයකින් තොරව කිලී මහාරාජා අතීත සම්ප්‍රදායට අයිති මිනිසෙකි. සංගීතයේ සිට සුන්දර ස්ත්‍රීන්ගේ ශරීර නැරඹීම දක්වා ඔහුගේ රසය පරාසගත වී තිබුණි. 
 
නමුත් ඔහුගේ දේශපාලනය න්‍යායගත කරන්නේ කෙසේ ද? එය සංස්කෘතිය නම් අන්තර්ගතයෙන් නොව විනෝදය නම් ආකෘතියෙන් ජවලනය වූවකි.
 
  
 ‘ලූවී අල්තූෂර්’ සහ ‘අර්නෙස්ටෝ ලැක්ලෝ’ නම් දෘෂ්ටිවාදී විශ්ලේෂකයන් දෙදෙනා අතර සිටින මාක්ස්වාදියෙක් වූ ‘නිකොස් පුලන්ට්සාස්ගේ’ විග්‍රහයන් රාජා මහේන්ද්‍රන්ගේ සමාජ-දේශපාලනික ක්‍රියාව වටහා ගැනීමේ දී වැදගත් ය.
 
 
අර්නෙස්ටෝ ලැක්ලෝ සහ ෂන්තාල් මුෆ් විසින් සිය “සමාජවාදී උපායමාර්ග” කෘතියේ දී ඉතා පැහැදිලි ලෙස ‘සමාජවාදය සහ වැඩ කරන පන්තිය’ අතර සම්බන්ධයත්, නිෂ්පාදන සබඳතා සහ දෘෂ්ටිවාදයන් අතර සම්බන්ධයත් විසංයෝජනය කරයි. 
 
ඉන් සරලව අදහස් කරන්නේ, අනාගත සමාජවාදී උපාය මාර්ගවල දී සියලුම සමාජ පන්තීන් පාවෙන අර්ථයකින් යුතු බවයි. 
 
එනම්, නිර්ධනයන් සහ සමාජවාදීන් අතර අනිවාර්ය සම්බන්ධයක් නැති අතර නිර්ධනයන් හෙජමොනික සටනක දී ජාතිවාදීන් බවට පවා පරිවර්තනය විය හැකි බවයි. ඔවුන්ට අනුව අනාගත සමාජ කණ්ඩායම් සහ සමූහගත වීම් කෙවැනි දිශාවකට චලනය වන්නේ ද යන්න තීරණය කරනු ඇත්තේ කතිකාව (DISCOURSE) සහ දෘෂ්ටිවාදය (IDEOLOGY) විසින් ය. 
 
ලැක්ලෝ සහ මුෆ්ගේ සංවාද තලය තුළ පවතින ‘සංඝටක’ සංගත ආකාරයෙන් පළමුව පැවැතියේ පුලන්ට්සාස් තුළ ය.Nicos Pulantsas
 

 
නිකොස් පුලන්ට්සාස් විසින් 70 දශකය තුළ වර්ධනය කරන ලද මාක්ස්වාදී අදහස් වලට අනුව ඊළඟ දශකයේ දී මතුපිටට ආ ප්‍රතිවිරෝධයන් සූත්‍රගත කරන ලදී. 
 
ඒවා මෙසේ ය. රාජ්‍ය සේවය සහ සේවකයන් ප්‍රසාරණය වීම, දරුවන් අධ්‍යාපනය ලබන කාල පරාසය පුළුල් වීම, සේවා ආර්ථිකයේ ප්‍රසාරණය, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ කොම්පියුටර් සහ ක්ෂුද්‍ර තාක්ෂණය භාවිතා වීම, අලුත් අලුත් මාදිලියේ වෘත්තීන් බිහි වීම (තොරතුරු තාක්ෂණවේදීන්, ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්, රොබෝ ඉංජිනේරුවන්) ආදී දේ බිහි විය.
 
ධනවාදය ජාතික ආර්ථිකයන්ගෙන් පිටට පැන ගෝලීය ආර්ථිකයක් වන විට පුලන්ට්සාස් කියා සිටියේ සාම්ප්‍රදායික සුළු ධනේශ්වරයට (ඔවුන් ස්ථානගත වූයේ ආර්ථික ක්‍රියාවලිය තුළ) අමතර නව-සුළු ධනේශ්වරයක් (NEW PETTY BOURGEOISIE) බිහි වන බව ය. මේ අයව පාලනය කිරීම සඳහා අලුත් කතිකාවන් සහ දෘෂ්ටිවාදයන් අවශ්‍ය බව ද ඔහු ප්‍රකාශ කරන ලදී.
 
 
මේ නව සුළු ධනේශ්වරයේ මනෝභාවයන් පහත පරිදි සාරාංශගත කළ හැකිය. මොවුන්ගේ අභිලාෂයන් සහමුලින්ම පැරණි සුළු ධනේශ්වර ස්තරයෙන් වෙනස් ය. ඔවුන් ආශා කරන දේශපාලනය සහ දෘෂ්ටිවාදයන් ද රැඩිකල් ලෙස අලුත් අතර ඒවා සමහර විට මධ්‍යම පන්තික න්‍යායන් දක්වා සංවර්ධනය වී ඇත. 
 
 
ඉන් පළමු තැන ගන්නේ, පුද්ගලවාදය යි. ඔවුන් බොහෝදෙනා සිතන්නේ, ස්ව ආත්මය තම ජීවිතයේ බොස් බව ය. අලුත් සිහින වලට ඉක්මනින් ආකර්ෂණය වන නිසා ‘පවතින තත්වය’ ආරක්ෂා කිරීමට රුචි ය. විප්ලව ගැන කියන විට බියෙන් තැති ගනිති. 
 
තමන් මහන්සි වී වැඩ කළහොත් සමාජයේ ඉහළට යා හැකි යැයි විශ්වාස කරති. සමාජ පන්ති වලට ඉහළින් පවතින නිෂ්ක්‍රීය රාජ්‍යයක් ප්‍රාර්ථනා කරයි (BELIEF IN THE ‘NEUTRAL STATE’ ABOVE CLASSES). පන්තීන් කිහිපයක් නියෝජනය කරන පක්ෂවලට ආශා කරයි.
 
මෙහි දී වැදගත් වන්නේ, මෙම නව-සුළු ධනේශ්වර පන්තියේ බහුතර සාමාජිකයන් ප්‍රමාණයක් ‘අතිරික්ත වටිනාකම්’ (SURPLUS VALUE) නිපදවන්නන් නො වීමයි. බොහෝ විට, ඔවුන්ගේ වැටුප් ගෙවන්නේ රාජ්‍යය විසිනි. ‘ජාතික රාජ්‍යයන්’ ප්‍රාග්ධනයේ බලය ගෝලීය තලයට ගමන් කරන විට එම රටේ ‘අතිරික්ත වටිනාකම්’ අර්බුදයට යයි.
 
gotabaya viyathmaga slguardian
 
 
‘දේශීය ප්‍රාග්ධනය නිපදවීම’ නිෂ්පාදන ක්‍රියාවලිය අතහරින විට එම රටේ බුද්ධිමය ශ්‍රමයෙන් විශාල කොටසක් යෙදවෙන්නේ ප්‍රතිනිෂ්පාදනය සඳහා ය. ඒ අනුව, පරිපාලන, කළමනාකරණ, තාක්ෂණික සහ දෘෂ්ටිවාදය යන සාධක සමාජය තුළ අධිනිශ්චය වෙයි. ලංකාවේ ද ‘වියත් මඟ’ වැනි ව්‍යාපාර බිහි වන්නේ මේ තතු යටතේ ය.
 
සමාජයක් සමන්විත වන්නේ මූලික සමාජ පන්ති තුනකින් ය යන අදහස (ධනපති පන්තිය, මැද පන්තිය, නිර්ධන පන්තිය) ගෝලීයකරණ යුගයේ දී නව සුසමාදර්ශයකට ඇතුල් වෙයි. 
 
එහි දී මැද පන්තිය වඩා පුළුල් වී ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය ආර්ථිකය මඟින් පාලනය වනවා වෙනුවට කතිකාවන් සහ දෘෂ්ටිවාදයන් මඟින් පාලනය වීම ඇරඹෙයි. (කතිකාව මඟින් ක්‍රමය මෙහෙය වීම) 1978 දී සිදු වූයේ, ජාතික ආර්ථිකයට ගෝලීය ආර්ථිකය සවි වීම නිසා රට තුළ ‘ප්‍රාග්ධනය’ එකතු වීම වෙනුවට ප්‍රාග්ධනය අපනයනය වීමයි. මෙය උපරි-ව්‍යුහය තලයේ මෙලෙස නිරූපණය වෙයි.
 
nimal lakshapathiතමන්ගේ පන්තියට අයිති විඥාණය අතහැරීම නිසා ස්වකීය විනාශය තමන් වෙත කැඳවා ගත් පන්තිය වන්නේ, මධ්‍යම පන්තිය යි. මෙය ලංකාවේ මැද පන්තිකයන් අතර බහුතරයකට අදාළ සත්‍යයකි. 
 

 රාජා මහේන්ද්‍රන් විශ්ලේෂණය කිරීමේ දී ‘පන්ති විඥාණය’ යන අදහස ඉතා වැදගත් ය. පුද්ගලයෙකුගේ සමාජ ක්‍රියාව සහ ඒ පිළිබඳව මිනිසුන් ලබා දෙන විනිශ්චයන් අතර අසම්පාතයක් ඇත. මෙය රාජා මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ද අදාළ ය. 
 
ඔහු සුදර්ශියේ සූස්තියක් උරමින් සිටි නිමල් ලක්ෂපතිආරච්චිව එතැනින් උස්සා බුලර්ස් පටුමඟේ නිවසක් ඇතුලෙන් තිබ්බේ ය. ගුවන්විදුලි සංස්ථා ඉතිහාසයේ කිසි දිනෙක නිවේදකයෙක් එවැනි මට්ටමේ කෝටිපතියෙක් වූයේ නැත. 
 
එපමණක් නොව, 1993 ට පසුව යළි කිසිදා ගුවන් විදුලි සංස්ථාව හිස වූයේ ද නැත. රෙනෝ සිල්වා ද ඔහුගේ නිර්මාණයකි.
 
J.R ගේ සත්‍යය ලෙස කිලී මහාරාජා සලකන්නේ නම් එහි න්‍යායික අදහස කුමක්ද? J.R ට දේශපාලනය ගැන තිබුණේ කාලයක් තිස්සේ සිතේ සඟවාගෙන සිටි ආශාවකි. පාර්ලිමේන්තු බලය තුළ හිර වී තිබූ ආර්ථික තීන්දු ගැනීමේ බලය ඔහු එය එතැනින් ඉවතට ගෙන ජනාධිපති තනතුර නම් පුටුව මත තැබුවේ ය. 
 
මහජනයාගේ ස්වෛරී බලය ජනාධිපති භූමිකාවට එන්නත් කළ විට එය දේශපාලනය BRANDING කලාවකට නැතහොත් සන්නාහ නාමයක් දක්වා විකරණය වන බව J.R දැන සිටියේ නැත. ‘බලය’ බෙදීමට නො හැකි වන්නේ, රාජ්‍යයට යමක් බෙදිය නො හැකි බව නිසා යැයි ඔහු විශ්වාස කළ නිසා ය. දෙමළ ජනයාගේ ස්වයං තීරණය යන සංකල්පය ඔහුට අවබෝධ කර ගැනීමට නො හැකි විය.
 
J.R නො දැන සිටි ‘දේශපාලනය ආත්මීය විනෝද සාධකයක්’ යන කාරණය 90 දශකය මුල වන විට රාජා මහේන්ද්‍රන් අවබෝධ කරගෙන සිටියේ ය. 93 වර්ෂයේ දී ‘සිරස’ දෙපානම කාර්යාලයට මා ගියේ ආධුනික නිවේදක නිවේදිකාවන් පුහුණු කිරීමට ය. නිමල් විසින් ව්‍යාපෘති උපදේශකවරයා වූ සිංගප්පූරු ජාතිකයෙකු හඳුන්වාදුන් අතර ඔහු තමන්ගේ TWO WAY අදහස මට පැහැදිලි කළේ ය. එවකටත්, රේඩියෝ වැඩසටහන් හරහා ගුවන් විදුලිය මාසිකව විශාල මුදලක් හම්බ කළ අතර ‘සිරස’ කුමක් කරන්නට යන්නේ ද යන්න අනවබෝධයකින් සිටියේ ය.
 
‘සිරස’ පුද්ගලික ගුවන් විදුලිය විකාශණ යන්ත්‍ර නවීකරණයට අමතරව අන්තර්ගතය සහ ආකෘතිය වෙනස් කරන ලදී. ගුවන් විදුලි සංස්ථාවේ විකාශනයන් නවීකාරක නො කර තිබූ නිසා එයට වැඩසටහන්වලට සවන් දෙන අය සමඟ සහභාගී වීමට නො හැකි විය. නමුත් ‘සිරස’ විසින් ගීත ඉල්ලීම් කරන අසන්නියට ඇයගේ කටහඬ තමන්ටම ඇසෙන්නට සැලැස්වූයේ ය.FM Sirasa
 
පණිවිඩය එක පැත්තකින් යවන අතර ග්‍රාහකයා ද පණිවිඩය අර්ථකථනය කරන්නට ඉදිරිපත් වූයේ ය. පැරණි ගුවන් විදුලිය යනු, නිවේදකයාගේ හෝ නිෂ්පාදකයාගේ ආශාව අසා සිටීමයි. ඒ නිසා, ගුවන් විදුලිය මාධ්‍යයක් ලෙස හිස්ටෙරික ය. ඒ තුළ අසන්නියට අවශ්‍ය දේවල් කිරීමට නො හැකි ය. ඇය කප්පාදුවකට ලක් වෙයි. නමුත් ‘සිරස’ විසින් අසන්නියට කතා කරන්නට ඉඩ දීම නිසා අසන අයගේ ෆැන්ටසීන් වලින් නාලිකාව පිරී ගියේ ය.
 
ඒ අනුව, ‘යථාර්ථය’ පිළිබඳ ගුවන් විදුලියේ පැවති ආත්මමූලික ව්‍යුහය ආශාව නම් ‘සිරස’ නාලිකාවේ ආත්මමූලික ව්‍යුහය ‘විනෝදය’ බවට පරිවර්තනය විය. මෙහි අවසන් ඵලය වූයේ, වැඩියෙන් අසන අන්තර්ගතයන් වර්ගීකරණය වී ඊට අනුව නාලිකාව යළි ව්‍යුහගත වීමයි. අසන්නියගේ විනෝදයේ උපකරණයක් බවට වසර 10ක් පමණ වන විට ‘සිරස’ නාලිකාව පත්විය. සිරසෙහි ආකෘතිය වූයේ, විනෝදය වන අතර අන්තර්ගතය කුමක් වුවත් එය අදාලත්වයක් නැති තැනකට පත් විය.
 
 
J.R ගේ ව්‍යාපෘතිය නිසා හටගත් ‘විනෝද අතිරික්තය’ නිසා දකුණේ සමාජය මුදල් වලින් මුදල් මවන මූල්‍ය ආර්ථිකයක් බවට පත් වූ අතර උතුරේ දී එය ජාතිකත්ව අතිරික්තයක් ලෙසින් ද ජාතික විමුක්ති අරගලය බවට පරිවර්තනය විය. මේ දෙක අතර පරතරය අදටත් පියවීමට නො හැකි ය.
 
යම්කිසි පුද්ගලයෙකු හෝ සමාජ  කණ්ඩායමක් යම් ක්‍රියාවක් සිදු කර අවසන් වූ පසු ඒ පිළිබඳ සදාචාර විනිශ්චයක් ලබා දීමට අප සියලු දෙනා තුළ පෙළඹීමක් ඇත. මේ සම්බන්ධයෙන් ලොව ඇති ප්‍රකටම උදාහරණය වන්නේ, නාසි ජර්මනිය සහ හිට්ලර් විසින් යුදෙව්වන් සමූල ඝාතනය කිරීමයි. මේ උදාහරණය විසින් ‘සදාචාර විනිශ්චය’ නම් සංකල්පය සදාචාරාත්මක වාසනාව (MORAL JUDGEMENT TO MORAL LUCK) දක්වා අපව තල්ලු කරයි.
 
නාසි ජර්මනිය සහ හිට්ලර් සම්බන්ධයෙන් මිනිසාගේ වඩාත්ම ආත්මීය ප්‍රකාශනය වන දෙවියන්ගෙන් ප්‍රශ්න දෙකක් ඇසීමට හැකි ය. (හෝ බුදුන් වහන්සේගෙන්)
 
1.යුදෙව්වන් මිලියන ගණනක් ඝාතනය වන තුරු ඔබ වහන්සේ ඇයි නිහඬව සිටියේ? ඇයි ඔබ වහන්සේ පීඩිතයා වෙනුවෙන් පෙනී නො සිටියේ?
 
 
2.යුදෙව්වන්ට ඇයි ඊශ්‍රායලය කියලා රාජ්‍යයක් හදන්න ඉඩ දුන්නේ. පලස්තීනුවන් කියලා පීඩිත ජාතියක් ඒකෙන් බිහි වුණා. ඔවුන්ට දෙවියන්ගේ අනුකම්පාවක් නැති ද?
 
 
දෙවියනි ඔබ කොහෙද සිටියේ යුදෙව්වන් ඝාතනය කරද්දී ? දෙවියනේ ඔබ කොහෙද සිටියේ සුළු ජාතිකයන් සහ කාන්තාවන් ඝාතනය කරද්දී? දෙවියනේ ඔබ කොහෙද සිටියේ යහපත් සමාජ වැඩ විනාශ කරද්දී? ඇයි ඔබ යහපත වෙනුවෙන් පෙනී නො සිටින්නේ ? ඔබේ නිහඩත්වය අපට තේරුම් ගන්න බැහැ.
 
2009 වර්ෂයේ දී උතුරේ දෙමළුන් ඝාතනය වෙද්දී දකුණේ බහුතර ජනයා කිරිබත් කෑවේ එය රටට යහපතක් යැයි ඔවුන් විශ්වාස කළ නිසා ය. අද දවසේ එසේ කිරිබත් කෑ අයම කියන්නේ රාජපක්ෂලා රටේ විනාශයේ සංකේතය බවයි. මෙවන් සුවිශේෂී සිදුවීම්වල දී අපට ඇත්තේ හුදු පැති දෙකක් පමණක් නොවේ. හිට්ලර් හෝ වෙනත් ජන ඝාතකයෙකු එක් පසෙකින් පවතී. අනෙක් පසින්, සත්‍යවාදීයෙකු ඒ පිළිබඳ ‘මතක් කිරීමක්’ කර අර පැරණි සිදුවීමේ මිනිස් විරෝධී බව සහ ඒ සිදුවීම නිසා නිපන් වින්දිතයන් ගැන කතා කරයි. නමුත් අවාසනාවකට මෙන් මෙවන් සත්‍යවාදීන්ට අමතක වන තුන්වන මානයක් ද පවතියි. එනම්, ආත්මීයත්වය නැතහොත් අවිඥාණක නිදහස සහ ආත්මය පිළිබඳ ගැටලුවයි.
 
 
srilanka.jpg
 
සිංහල ජාතිකවාදියෙකු 2009 ජයග්‍රහණය දකින්නේ ඔහුගේ හෝ ඇයගේ ආත්මීය සහභාගිත්වයකින් (SUBJECTIVITY නැතහොත් ෆැන්ටසිය) තොරව ය. 2009 වර්ෂයේ දී ඔවුන් කිරිබත් කෑවේ ඒ නිසා ය. දැන් වසර 10ක් ගත වී ඇති අතර සිංහල ජයග්‍රහණයේ ප්‍රතිමූර්තිය වූ රාජපක්ෂලා ඔවුන්ටම තිත්ත වී ඇත. දැන් ඔවුන් 2009 දකින්නේ රාජපක්ෂලාගෙන් තොරව ය. 
 
 
මෙතැන දී සිදුවන පසුආවර්තනය පිළිබඳ අදහස ජාතිකවාදීයාට අමතක වෙයි. 2009 වර්ෂයේ දී දේශපාලන ගැටලුවක් සඳහා යුධමය විසඳුමක් දීම සාධාරණය කළ සිංහල මිනිසුන්ව 2020 වන විට ඊට වඩා අඳුරු තැනකට යථාර්ථය ඇද දමා ඇත. ඊශ්‍රායල් රාජ්‍යය තැනීමට අවශ්‍ය ඓතිහාසික පසුබිම හිට්ලර් සහ නාසි පක්ෂය විසින් නිර්මාණය කළ නිසා වර්තමාන යුදෙව්වන්ට හිට්ලර්ට සමාව දිය හැකි ය. මින්, හිට්ලර් විසින් කරන ලද අපරාධ වලට සමාවක් නො ලැබුණත් හිට්ලර් පිළිබඳ වෙනත් සදාචාර දෘෂ්ටියක් යුදෙව්වන්ට ලැබී ඇත.
 
2009 වර්ෂයේ දෙමළුන් දහස් ගණනින් ඝාතනය වූවත් 2020 වන විට ලංකාවේ ස්වෛරීත්වය අහිමි වී චීනයට අවශ්‍ය ව්‍යුහමය සැකසුම් සිදු වීම හැර වෙන යහපතක් ලංකාවට සිදු වී නො මැත. එසේ නම්, කෲර ලෙස සහ අමානුෂික ලෙස පෙනී යන සිදුවීම් යටින් සමාජ යථාර්ථය වෙනස් කරන හුයක් අපට දිස් වෙයි. ඓතිහාසික විපර්යාසය වෙනස්වීම යට ගැඹුරු අර්ථ නැත. දෙවියන් නපුරු වැඩ වලට මැදිහත් නො වන්නේ එවැනි වැඩ නිසා මිනිසාට පසුව ජීවිතාවබෝධය ලැබෙන නිසා ය. මේ ජීවිතාවබෝධය යනු, පසුව ලැබෙන දැනුමකි. මෙම පසුව ලැබෙන දැනුම නිසා නපුරු සිදුවීමේ දී අප නො ලද අවබෝධයක් ඉන්පසුව අපට අවබෝධ වෙයි.
 
කාන්ට් විසින් විවාහය ගැන මෙසේ කියා ඇත. කාන්ට්ගේ අදහස වන්නේ, විවාහය යනු ‘ලිංගික ඉන්ද්‍රියයන් කුලියට ලබා දීමකි’. නමුත් සාමාන්‍ය විවාහ ජීවිතයක් ගත කරන යුවළකට මේ සත්‍යය අවබෝධ වන්නේ නැත. නමුත් විවාහය තුළ නපුරු සිදුවීමක් (එක් සහකරුවෙක් අනෙකාට වංචා කරන විට) සිදු වූ වහාම කාන්ට් කී සත්‍යය අවබෝධ වෙයි. එවිට, වහාම ලිංගික ඉන්ද්‍රිය කුලියට දීම එක් අයෙක් අත්හිටුවයි. විවාහය ගැන අපට උගන්වා ඇති පරිදි එය සුසංවාදී ගොනුවකි. නමුත් නපුරු සිදුවීමකින් තොරව එහි සත්‍යය අපට අවබෝධ නොවේ. පසුආවර්තී දයලෙක්තික චින්තනයකින් තොරව විවාහයේ සත්‍යය අපට අවබෝධ නො වෙයි.
 
 
110117 r20409 g2048.jpg
 
 
 
මාලන් බ්‍රැන්ඩෝ නම් නලුවා තහිටි දූපතට යන්නේ සිය ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් සඳහා ය. නමුත් එය අසාර්ථක වී යළිත් ඇමෙරිකාවට එයි. ‘සිදුවීමට’ පසුව සිදුවන දෙයින් සිදුවීමට පෙර පැවති දේ විනාශ කිරීම යුක්ති සහගත වෙයි. 2005 වසරේ දී LTTE නායකත්වය රාජපක්ෂලාට බලය ලබා දීමට තීරණය කරයි. එම සිදුවීම නිසා LTTE සංවිධානය සහමුලින්ම විනාශ වන අතර සිංහල ජාතිය ජයග්‍රහණය වන අතර ශ්‍රී ලංකාවට යහපත් අනාගතයක්  බිහි විය.
 
හේගල්ගේ ඉතිහාසය කියවීම සිදු වන්නේ, ආපස්සට ය. ඔහුට අනුව ඉදිරි කාලයේ දිනක දී දෙමළ ජාතියේ පරාජය ලෙස සටහන් වී ඇති මෙම සිදුවීම ජයග්‍රාහි සිදුවීමක් විය හැකි ය. එය හරියට හිට්ලර්ගේ මැදිහත් වීම හරහා දෙවන ලෝක යුද්ධය සහ යුදෙව් සංහාරය පමණක් නොව ඊශ්‍රායලය නම් අලුත් රටක ද පදනම වැටුණා වැනි ය. ඒ නිසා, සිදුවීම් සහ පුද්ගලයන් ගැන සදාචාරාත්මක විනිශ්චයන් දෙන අය පරිස්සම් විය යුතු ය.
 
දෙවියන් නපුරු සහ විනාශකාරී සිදුවීම්වල දී මැදිහත් නො වන්නේ එවැනි දේ හරහා සාමාන්‍ය තත්වයන් යටතේ මිනිසුන්ට ඉගැන්වීමට නො හැකි නිසා ය. ඉන්දියාවට සහ ලංකාවට සුදු ජාතිකයන් පැමිණීම ස්වදේශික මැද පන්තියට අනුව නපුරකි. ඔවුන් අපේ රටවල් වලට නපුරක් කළ බව ද සැබෑ ය. නමුත් ඒ නපුර හරහාම අප රජවරුන්ගෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යුහයකට වර්ධනය විය. අපට අද හිමි අනන්‍යතාවය සොයා යාමේ අනවරත වරදකාරීත්වය යනු ද බටහිර මිනිසාගේ නපුර තුළින්ම පැමිණි දෙයකි. හම සුදු ගැහැණුන්ට හැඩි දැඩි කලු සිංහල පිරිමියා කැමති ඇයි? ඒ අප සුදු පිරිමියා ආදරය කරන ආකාරයට ආශා කරන නිසා ය. 1818 නම් වසරක් නැත්නම් සිංහල පිරිමියාට සුදු ගැහැණිය නම් ෆැන්ටසිය එන්නේ ද නැත. සුදු පිරිමියාගේ නපුර අපට සම්මුඛ නො වූයේ නම් සුදු හමට ආශා කිරීම නම් ලිංගික සංස්කෘතිය හිමි වන්නේ ද නැත.  
 
රාජා මහේන්ද්‍රන් විසින් මාධ්‍ය සංස්කෘතියේ පැවති ආශාව මරා දමා ඊට අනෙකාගේ විනෝදයේ උපකරණයක් වීම හඳුන්වා දුන්නේ ය. එමඟින්, මාධ්‍ය පමණක් නොව දේශපාලන පක්ෂ ද විපරිතකරණය විය. U.N.P ය සහමුලින් විනාශ වූ අතර රනිල් වික්‍රමසිංහ නම් දේශපාලකයා ද විකාරයක් විය. මෙය පැහැදිලි ලෙසම නපුරු මිනිසෙකුගේ ආත්මමූලික මැදිහත් වීමකි. නමුත් ඔහු පැරණි ගුවන් විදුලිය විනාශ කළේය. එය විනාශ කළ හැකි වෙනත් ක්‍රමයක් අප දුටුවේ ද නැත. අද දවසේ සදාචාර විනිශ්චයකරුවෙකුට කිව හැක්කේ, ඔහු ‘නරක, භයානක, ප්‍රතිගාමී’ මිනිසෙකු බවයි. නමුත් අනාගත දවසක සිදුවීමට නියමිත අලුත් සිදුවීමක් විසින් ඔහු පිළිබඳ මතකය අලුත් කරනු ඇත.නපුරු යක්ෂ මිනිසාට ජය වේවා! 
 
 


සටහන : දීප්ති කුමාර ගුණරත්න

3mana.com

s200 kumara.gunarathne

 

 

 

 

 


 The Leader TV 

 

ජනපති, මිනිපිරිය බලන්න ඇමරිකාවට!

 

 

ජනාධිපති ලේකම් රටම අවධානමේ දායි !

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58