පෙරමුණු දේශපාලනය නැත්නම් සන්ධාන දේශපාලන ගැන සාකච්ඡාක් ආයෙත් කරලියට ඇවිත්.
මේ පාර ඒ සාකච්ඡාව ගෙනත් තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස.
එයා කියන විදිහට ශ්‍රීලනිප නායකත්වයෙන් ගොඩනගපු පොදුජන එක්සත් පෙරමුණයි. ඒ කියන්නේ පුටුවයි. එක්සත් ජනතා නිදහස් සංධානයයි. පරණ බුලත් කොළයයි ආයෙත් තිරිහන් කරලා ගන්නයි හදන්නේ.
ඒක නිසා රටේ රාළට අද හිතුනා ටිකක් සන්ධාන දේශපාලනය ගැන කතා කරන්න.
කට්ටිය ගොඩක් කිව්වා මේ දවස්වල රටේ රාළගේ විග්රහයන් න්‍යායික පැත්තට බර වැඩී කියලා. ඒක නිසා දේශපාලන පැත්තයි න්‍යායික පැත්තයි දෙක සමබර කරගෙන යන්න ට්‍රයි එකක් දෙන්නම්.
ඇත්තටම 1948 සුද්දා අපට දුන්න ඊනියා නිදහසෙන් පස්සේ අපේ රටේ බිහිවෙලා තියෙන්නේ බහුතරයක් සන්ධාන ආණ්ඩු. ශ්‍රීලනිප නායකත්වයෙන් ගොඩනැගුණු සියලුම ආණ්ඩු සන්ධාන ආණ්ඩු.
මුල් කාලයේ එජාපයට තනි ආණඩු හදන්න පුළුවන් උනාට 2000 වසරෙන් පස්සේ එජාපයට දිගටම හදන්න උනෙත් සන්ධාන ආණඩු.
මේ සන්ධාන ආණ්ඩු දිහා බලනකොට මේවා ඇතුළේ පොදු දේශපාලන සාධක ටිකක් මතු වෙලා පේනවා. ඒ තමයි මේ හැදුණු හැම සන්ධානයක්ම හැදිලා තියෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් මුල් වෙලා.
ඒ පක්ෂය වටේට පොඩි, පොඩි පක්ෂ එකතු වෙලා. ඊළඟට සන්ධාන ගොඩක් හැදිලා තියෙන්නේත් බලය ලබා ගැනීම වෙනුවෙන්.
හැබැයි ප්‍රතිපත්තිමය කාරණා මත බලය ලබාගැනීමට හැදුණු සංධාන ඉතා අඩුයි. හැදුනත් ඒවා වැඩිකාලයක් පැවතිලා නෑ.
සන්ධාන ගොඩනැගීම වෙනුවෙන් රටට පෙන්නපු කිසි වැඩපිළිවෙලක් නරක නෑ. හැබැයි ඒක ඇත්ත වැඩපිළිවෙළ නෙවෙයි. ඒක ජනතාවගේ ඇස් නිලංකාර වෙන්න දාපු පාට කරපු ලියවිල්ලක් විතරයි.
ඇත්තටම දේශපාලන සන්ධානයක් කියන්නේ තමන්ට තනිව මුහුණ දෙන්න බැරි තමන්ගේ දේශපාලන හතුරා පොදු හතුරෙක් කරලා, එයාට විරුද්ධව එකතු කර ගත හැකි සියලු දෙනා එකතු කරගෙන මුහුණදීමේ ක්‍රමයක්. පහුගිය 2019 අවුරුද්ද වෙනකම් අපේ රටේ එතෙක් මෙතෙක් ගොඩනැගුනු සන්ධානවලට නායකත්වය දීලා තියෙන්නේ ශ්රීලනිපය හා එජාපය කියන දැවැන්තයින් දෙන්නා.
ඒත් දැන් තවදුරටත් ශ්රීලනිපයවත්,එජාපයවත් දේශපාලන දැවැන්තයෝ නෙවෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඉන්නේ සන්ධානයක උනත් එයාලා ඒ සන්ධානය ඇතුළේ සුළු පක්ෂයක් විතරයි. එදා සන්ධානයේ මහ පක්ෂය විදිහට ශ්රීලනිපය ඒ සන්ධානයේ ඉන්න සුළු පක්ෂවලට වෙනස්කම් කරනවා කියලා කෑගහපු සුළු පක්ෂ ටිකක් හිටියා මතක ඇති.
දෛවයේ සරදම කියන්නේ අද ශ්රීලනිපයටත් එයාලත් එක්ක එකතුවෙලා පොදුජන පෙරමුණ තමන්ට වෙනස්කම් කරනවා කියලා කෑගහන්න වෙලා, අඩන්න වෙලා.
ඊළගට එජාපය එක්ක සන්ධානයක් ගහන්න විපක්ෂයේ අනිත් පක්ෂ එච්චර කැමැත්තක් නෑ. මොකද එජාපයට අද පාර්ලිමේන්තුවේ තියෙන්නේ එක මන්ත්‍රීධූරයයි. හැබැයි ඒ මන්ත්‍රීධුරය හොබවන්නේ රනිල් නිසා දැන් නැති උනත් එකට යම් බරක් පස්සේ හරි හැදෙයි කියලා හිතෙනවා.
මෛත්‍රී - රනිල් හවුල් සන්ධානය
කොහොම උනත් රටේ රාළ මෙතනදී අවධානය යොමු කරන්නේ අපේ රටේ තිබුණු වැදගත් සන්ධානය දෙකක් ගැන.
එකක් ශ්රීලනිපය හා ජවිපෙ ගොඩනගපු එක්සත් ජනතා නිදහස් සන්ධානය, අනික ශ්රීලනිපය හා එජාපය ගොඩනගපු යහපාලන සන්ධානය. එහෙම නැත්නම් මෛත්‍රී - රනිල් හවුල.
මේ සන්ධාන දෙකම ගොඩනැගෙන්නේ ලංකාවේ තීරණාත්මක දේශපාලන සන්ධිස්ථාන දෙකදී.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩ නැගෙන්නේ ඒ වෙනකොට රනිල් ගෙනයමින් තිබුණු රට බෙදන විකුණන වැඩපිළිවෙළ පරද්දන්න. විශේෂයෙන්ම රනිල් ගෙනාපු Regaining Sri Lanka වැඩපිළිවෙළ පරද්දන්න.
රනිල් - මෛත්‍රී සන්ධානය ගොඩනගන්නේ මහින්ද ගෙනගිය ජනතා ද්‍රෝහී වැඩපිලිවෙල පරද්දන්න.
මේ සන්ධාන දෙකම පිටිපස්සේ හිටිය ප්‍රධාන චරිත දෙකක් තමයි චන්ද්‍රිකා හා මංගල. චන්ද්‍රිකාටත් වඩා මංගල.
එදා 2004/2005 ගොඩනැගුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොදු හතුරා උනේ රනිල්. ඒ පොදු හතුරාට පහර දෙන්න ශ්රීලනිපය හා ජවිපෙ ඇතුළු කණ්ඩායම් එකතු වුණා.
හැබැයි අවුරුදු දහයකට පස්සේ ඒ කියන්නේ ඒ සටනේම හිටිය බහුතරයකගේ පොදු හතුරා උනේ මහින්ද. මහින්ද පරද්දන්න එජාපය හා ශ්‍රීලනිපයේ ලේකම් අතර සන්ධානයක් ඇතිවුණා. ජවිපෙ ඊට වක්‍රව උදව් කළා.
මහින්ද පැරදුනාට පස්සේ ශ්රීලනිපය හා එජාපය එකතුවෙලා ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වා. ඒ කියන්නේ යහපාලනය.
මේ සන්ධාන ආණ්ඩුව දෙකම තමන්ගේ කාලය සම්පූර්ණ වෙනකම් ආණ්ඩු කළ බව ඇත්ත. ඒත් ඒ ආණ්ඩුවකරණය ඇතුළේ සමගිය තිබුණේ නෑ. මහින්ද ජයග්‍රහණය කරලා ටික දවසකින් ජවිපෙ මහින්දට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරලා ආණ්ඩුවෙන් අයින්වුණා.
යහපාලන ආණ්ඩුව ආරම්භ කරලා දින 100 ය යන්නත් ඉස්සෙල්ලා මෛත්‍රී - රනිල් දෙන්නට දෙන්න යුද්ධ ප්‍රකාශ කරගත්තා.
ඒක නිසා මේ සන්ධාන දෙකම ආරම්භක අර්ථයෙන් ඉදිරියට ගියේ නෑ.
අපේ රටේ සන්ධාන ගොඩනැගීමේ පිකාසෝ තමයි මංගල
අපේ රටේ සන්ධාන ගොඩනැගීමේ පිකාසෝ තමයි මංගල. මංගල සන්ධානය ගොඩනැගීමේ ක්‍රමය හොයා ගත්තට සන්ධාන පවත්වාගෙන යන ක්‍රමය හොයාගෙන තිබුණේ නෑ.
සමහරවිට මංගල හිටියා නම් ඒ ක්‍රමයත් හොයා ගනී. ඒත් ඊට කළින් කෝවිඩ් මාරයා මංගල අරන් ගිහින්.
මංගල නැතිවුණා කියලා ඒ අභියෝගය නැතිවෙලා නෑ. ඒක අපි හැමෝටම තියන අභියෝගයක්.
ඒක නිසා රටේ රාළ ඔය සන්ධාන ගැන කතාකරන මහත්තුරුන්ට කියනවා, ඕනි ගොනෙකුට සන්ධාන හදන්න පුළුවන්. ඒත් සන්ධානයක් පවත්වාගෙන යෑම ලේසි නෑ.
ඒක නිසා සන්ධානය හදපු මුලික ප්‍රතිපත්තියට අනුව සන්ධාන පවත්වාගෙන යෑමේ ක්‍රමයක් හොයා ගන්න කියලා.
මෙන්න මෙතනදී තමයි අපට න්‍යාය වැදගත් වෙන්නේ. හැබැයි න්‍යාය අන්ධ විදිහට පාවිච්චි කරන්න අපට අයිතියක් නෑ.
ඒ වගේම න්‍යාය වඳවෙන්ඩ නොදී භාවිතාවේ යොදවන්නත් ඕනි.
න්‍යාය වැරදී නම් භාවිතයෙන් පස්සේ එක හදන්න ඕනි. න්‍යාය හරි නම් ඒකට අනුව වැඩකරන මිනිස්සු හදන්න ඕනි.
ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒත් කරන්න පුළුවන්.
හැම මිනිහෙක් අස්සෙම හොද මනුස්සයෙක් ඉන්නවා. අපි ගනුදෙනුව බේරගන්න ඕනි ඒ මනුස්සයා එක්ක. නැතිව අපට පිටින් පේන මිනිහා එක්ක නෙවෙයි. පිටින් පේන මිනිහත් එක්ක මෙච්චර කල් හදපු සන්ධානවල හැටි පේනවනේ. ඌට අහුවෙන්නේ මෝඩයෝ
ඊළඟට මේ වගේ අවස්ථාවලදී මූලධර්ම මත ගිලිලා මැරෙන්න හදන්නෙත් මෝඩයෝ. එයාලා එක්ක කවදාවත් වැඩක් කරන්න බෑ. එක්සත් පෙරමුණු සම්බන්ධ මෙතෙක් භාවිතා කළ න්‍යාය තමයි, එක්ව මුහුණ දීම හා වෙන්ව ගමන් කිරීම.
ශ්රීලනිපය හා ජවිපෙ සන්ධානගතවීම
2005 දී ශ්රීලනිපය හා ජවිපෙ එක්ව පොදු හතුරා වුණ රනිල්ට මුහුණ දීලා රනිල් පැරැද්දුවා. ඊට පස්සේ ජවිපෙ හා ශ්රීලනිපය වෙන්ව ගමන් කළා. ප්‍රතිපලය සන්ධානය චකබ්ලාස්. ඒ වැඩපිළිවෙළ ලත් තැනම ලොප්.
2015 දී මහින්ද නැමති පොදු හතුරාට රනිල් හා මෛත්‍රී එක්ක මුහුණ දුන්නා. මුහුණ දීම සාර්ථකයි. එතන ජයග්‍රහණය ගන්නවා. හැබැයි රනිල් මෛත්‍රී වෙනම ගමන් කළා. ඒ සන්ධානයත් චකබ්ලාස්.
මෙතනදී රටේ රාළ කියන්නේ ආණ්ඩුවේ පැවැත්ම ගැන නෙවෙයි. සන්ධානයේ මූලික එකගතා බිදීම හා ආරම්භ වැඩපිලිවෙල කඩාකප්පල් වීම ගැන.
ඇත්තටම අද මේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඇතුළේ වෙලා තියෙන්නෙත් ඒක නෙවෙයිද? එහෙනම් අද අපට තියෙන අභියෝග මොකද්ද?
සන්ධානය හදන්නත් පුලුවන්. ඒවට බලය ගන්නත් පුළුවන්. හැබැයි සන්ධානයේ මුලික එකඟතා එක්ක පවත්වාගෙන යෑම තමයි අභියෝග. ඒකට උත්තරයක් ඕනි.
රටේ රාළ කියන ජාතියේ සන්ධානයක් නුදුරු අනාගතයේදී හැදෙන්න ඕනි.
රාජපක්ෂලා ගෙදර යැවීම වෙනුවෙන් සන්ධානයක් හදන එක දැන් ලොකු අමාරුවක් නෙවෙයි. ඒක හදන්න විභවය දැන් නිර්මාණය වෙලා. ඒත් අද තියෙන තත්වයන් වෙනස්. ඒකට නායකත්වය දෙන්න මහ පක්ෂක් නෑ. තියෙන්නේ පොඩි පොඩි කෑලි ගොඩක්. ඒ පොඩි කෑලි ගොඩේ ටිකක් ලොකු කෑලිත් තියනවා. මේ පොඩි කෑලි ටිකේ නායකයන්ට පේන්නේ අනිකගෙ එකේ පොඩිකම මිසක් තමන්ගේ එකේ පොඩිකම නෙවෙයි. ඒක නිසා ඔක්කොම 2024 ජනාධිපති වෙන්න තනි තනියෙන් දුවනවා.
අද සජබෙට, ජවිපෙට. 43 ට. එජාපයට වෙලා තියෙන්නේ ඕක.
රටේ රාළ ඒ මහත්වරුන්ට එකක් කියනවා. ලංකාවේ හැදුණ ලොකුම සන්ධානය හැදෙන්නේ රාජපක්ෂලා එලවන්න තමයි. ඒකට මේ විපක්ෂය. සිවිල් සංවිධාන විතරක් නෙවෙයි මේ ආණ්ඩුවෙත් බාගෙට බාගයක් එකතු වෙනවා. ඒක රටේ රාළ කියන්නේ වගකීමෙන්.
ඒක නිසා ඊළඟට හැදෙන සන්ධානය කියන්නේ හරිම සංකීර්ණ එකක්. මොකද පොඩි, පොඩි ගොඩක් එකතුවෙලා හැදෙන ලොකු එකක්.
හැබැයි අමාරුයි වගේම හොඳත් තියනවා. මොකද ගොඩක් දුරට ඒක සමානයින්ගේ එකතුවක්. ඒක නිසා බොරු හීන ලෝකවල ඉන්නේ නැතිව අපි දැන් කරන්න ඕනි ඒ සන්ධානයේ වැඩපිළිවෙළ ගැන එක මේසෙක ඉදන් සාකච්ඡා කිරීම.
රාජපක්ෂලා පරද්දන්න එන හැම කෙනාම ඒ වැඩපිළිවෙල යටතට ගැනීම. එන ඕනි කෙනෙකුට ගහන්න ඕනී ඔළුවට. මේ වැඩපිළිවෙලෙන්.
මොකද මෙතනින් ඉස්සරහට ඕනි වෙන්නේ එක්ව මුහුණ දෙන වෙන්ව ගමන් කරන සන්ධානයක් නෙවෙයි. එක්ව මුහුණදී එක්ව ගමන් කරන සන්ධානයක්. න්‍යාය එතෙන්ට වෙනස් කරමු. මොකද ඔය හැම න්‍යායක්ම හැදුවේ මිනිහෙක් නම් න්‍යාය වෙනස් කරන්න ඕනිත් මිනිහෙක්. ඔය කිසිම දෙයක් සාපේක්ෂ සත්‍ය මිසක් නිරපේක්ෂ සත්‍යය නෙවෙයි. දර්ශනවාදයට අනුව ඒක තමයි ඇත්ත.
බය නැතිව වැඩේට අතගහමු. රටේ රාළලත් ඉන්නවා. න්‍යාය, දැනුම නෙවෙයි ඇත්ත වෙනුවෙන් බෙල්ල උනත් දෙන්න ලෑස්තියි.
එහෙනම් ගිහින් එන්නම්.
කොරෝනාවලින් පස්සේ වැඩේට ලෑස්ති වෙමු.
බුදු සරණයි.
ජයවේවා.
මීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
THE LEADER TV
සුදානමින් ඉන්න! මෛත්‍රී අණතුරු අඟවයි!
සීනි ගුදම් සංදර්ශනය ආර්ථික අර්බුදය යට කළාද?