ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ මුල්‍ය විනයට ආණ්ඩුව දක්වන ප්‍රතිරෝධය මගින් අප අර්බුදයේ ගිලීම වේගවත් කරයි. 
 
පාරිභෝගික භාණ්ඩ හිඟ වීම සහ සීමා කිරීම මහජනයාට දැනෙන්නට පටන්ගෙන තිබේ. 
 
ආණ්ඩුවේ ආනයන පාලන හේතුවෙන් අත්‍යවශ්‍ය යෙදවුම් හිඟ වීම් සෑම අංශයකම නිෂ්පාදකයින්ට දැනෙන්නට පටන්ගෙන ඇත. 
 
ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ඇතැම් විට මේ කිසිවක් නොදැනෙනවා විය හැකි ය.
 
පුරවැසියන්ට එක පසෙකින් වැඩි වන මිල ගණන්වලින් පහර වැදී ඇති අතර අනෙක් පසින් ආදායම් අඩු වීමෙන් (වැඩ කළත්, නැතත් වැටුප් ලැබෙන රජයේ සේවකයින් බහුතරය සහ ඉහළ ම මට්ටමේ සිටින සුළු පිරිසක් හැරුණු විට) පහර වැදී ඇත.
 
  
ආණ්ඩුව පසු බැස ඇත්තේ, මිල පාලනය, හැම දෙයකට ම බලපත්‍ර සහ සලාක ක්‍රමය යන 1970 ගණන්වල අසාර්ථක වූ වට්ටෝරුවය. සහල් මිල සම්පුර්ණයෙන් පාලනයෙන් තොර වීම මගින් පෙන්නුම් කළ පරිදි, හදිසි නීතිය සහ හමුදා බලය යොදා ගත්ත ද, මිල පාලනය අසාර්ථක වී ඇත.
 
 
ඉන්ධන මිල :
 
 
යෙදවුම් මිලට අඩුවෙන් විකිණීමට ආණ්ඩුව සමාගමකට බල කළහොත්, ලැබිය හැක්කේ එක ම ප්‍රතිඵලයකි. සමාගම සැපයුම් නතර කිරීම යි. මේ අවස්ථාවේ දී උදාහරණය ලාෆ්ස් සමාගම යි. 
 
යෙදවුම් මිල ඩොලර්වලින් නියම වී ඇති සහ අවප්‍රමාණ වන රුපියල්වලින් සිල්ලර මිල තීරණය වන භාණ්ඩ සියල්ලටම මෙය වලංගු වනු ඇත. එසේ වුව ද, සමාගම ලිට්රෝ මෙන් රජයට අයිති නම්, මහජන මුදල් දවමින් එය දිගට ම පවතිනු ඇත. පසු කලෙක මහජන මුදලින් එය ගොඩ ගැනීමට සිදු වනු ඇත.
 
  
එක විසඳුමක් වන්නේ, සමීකරණයකට අනුව පාලන මිලට වැඩි වන්නට ඉඩ දීම යි. පෙට්‍රෝල්/ ඩීසල් සහ ගෑස් ( LPG ) වැනි නියාමනයට යටත් සැපයුම්කරුවන් සීමිත සංඛ්‍යාවක් ඇති, නියාමනයට යටත් උපයෝගිතා සඳහා මෙය සුදුසු වෙයි.
 
 
එවිට විදුලි සැපයුම්කරුට ද මිල වැඩි කිරීමට ඉඩ ලබා දීම තර්කානුකුල වන්නේ, එහි එක් ප්‍රධාන යෙදවුමක ද මිල ඉහළ යන හෙයිනි. මෙය ආර්ථිකය පුරා රැළි ලෙස පැතිර යෑම දිගට සිදුවනු ඇත. උදාහරණයක් ලෙස පානීය ජලය සැපයීමේ වියදමේ සියයට 30 කට ආසන්න ප්‍රමාණයකට හේතු වන්නේ විදුලිය යි.
 
ඉන්ධන සඳහා සමීකරණ පදනම් කරගත් මිල ක්‍රමයක් භාවිත කළහොත් ඉන් පසුව ඇති භාණ්ඩ බොහොමයක ද මිල ඉහළ යනු ඇත. විකල්පය වන්නේ පාඩු පිට පවත්වාගෙන යන ලෙස විදුලිය සහ ජල සැපයුම් ක්‍රියාත්මක කරන ආයතනවලට බල කිරීම යි.
 
එසේ වුවත්, ලෝක වෙළෙඳපොළේ වෙනස්වීම් සහ /හෝ විනිමය අනුපාත ඉහළ පහළ යෑම් නිසා සිදුවන මිල ඉහළ යෑම, පාරිහොගිකයාට කෙලින් ම බලපාන්නට ඉඩ දීම ආණ්ඩුවට කළ හැකි ද? බොහෝ රටවල මෙය සාමාන්‍ය දෙයකි. 
 
නමුත් ශ්‍රී ලංකාවේ භාවිතය සහ බලාපොරොත්තු වෙනස් ය. 2016 ගෘහස්ත ආදායම් වියදම් සමීක්ෂණයේ (HIES) දත්ත පදනම් කර ගනිමින් ආහාර පිසීමේ වායු (ගෑස්) සම්බන්ධ උදාහරණය අපි බලමු.
 
 
බස්නාහිර පළාතේ කුටුම්බවලින් අඩකට වැඩි ප්‍රමාණයක ආහාර පිසීම කරන්නේ ගෑස් භාවිතයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 74.1 කට වැඩි ප්‍රමාණයක් එල් පී ගෑස් භාවිතා කරති. 2016 සමීක්ෂණයට අනුව භූමිතෙල් භාවිතා කරන්නේ සියයට 4 ක් පමණක් වන අතර ඉතිරි පිරිස දර භාවිතා කරති.
 
  
2019 ගෘහස්ත ආදායම් වියදම් සමීක්ෂණය නියමිත කාලයේ නිකුත් කළේ නම්, අපට මීට වඩා එල් පී ගෑස් භාවිතයක් බලා ගන්නට හැකි වන්නට ඉඩ තිබිණි.
 
මෙයින් අදහස් වන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නාගරික සහ අර්ධ නාගරික ජනයා බොහෝ දුරට ගෑස් භාවිතා කරන බව යි. ඔවුන් ගෑස් ලිප් සඳහා ආයෝජනය කොට ඇත. භූමිතෙල් සැපයීමේ පැරණි ක්‍රම තව දුරටත් නොපවතී. 
 
 z p 27 last 01
 
භූමිතෙල් කරත්ත ඇදගෙන ගිය ගොන්නු තව දුරටත් ජීවතුන් අතර නොවෙති. බොහෝ ආකාරවල නාගරික නිවාසවල වාසය කරන උදවියට දර විකල්පයක් වන්නේ නැත. අභ්‍යන්තර දුම් දුෂණයේ අහිතකර බලපෑම හොඳින් දන්නා කාරණයකි. 
 
 
කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික සහ අර්ධ නාගරික කොටස් සඳහා සත්‍ය වන කාරණා අනෙකුත් නාගරික මධ්‍යස්ථාන බොහොමයකට ද සත්‍ය වෙයි.
 
හිඟයන්ට ඉඩ නොතැබීම සඳහා, මෙම භාණ්ඩවල මිල තීරණය කළ යුතු වන්නේ පිරවූ වියදම් ඇතුළු කිරීම වැලැක්වීම සඳහා පරිස්සමින් සැලසුම් කළ සමීකරණ යොදා ගනිමිනි.  එනම්, උදාහරණයක් ලෙස ගෑස් මිල දී ගැනීම සඳහා සැබවින් ම ගෙවූ මිල භාවිත නොකළ යුතු ය. 
 
‘හෙන්රි හබ්’ වැනි යම් මිනුම් සලකුණු මිලක් සුදුසු ගැලපුම් සමග යොදාගත යුතු ය. එසේ නොකළහොත් කොමිස් සහ අයතා ගෙවීම් අනුමත මිලට ඇතුලත් වීමට ඉඩ ඇත.
 
ශ්‍රී ලංකාව ඉතාමත් අසමාන වූ සමාජයක් නිසා (කුටුම්බ ආදායම් ගිනි සංගුණකය 0.45 කි (නාගරික ක්‍ෂේත්‍රයේ ගිනි සංගුණකය 0.48 ක් ලෙස තවත් නරක ය) ආහාර පිසින ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක මිල වැඩි කිරීම, පහළ දශමකයන්හි කුටුම්භවලට වේදනාකාරී විය හැකි ය. 
 
එසේ වුව ද, මෑත කාලීන අත්දැකීම් පෙන්නුම් කළ පරිදි, අතාර්කික මිල පාලනයන් මගින් වඩා නරක ප්‍රශ්නයක් වන හිඟ ඇතිකළ හැකි ය. නාගරික වතු නිවාසවල සිටින උදවියට කප්රුක වෙබ් අඩවිය වෙතින් දර මිටි මිල දී ගත නොහැකි ය.
 
  
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිය විට, දුප්පතුන් සඳහා කළ හැක්කේ කුමක් ද? එල් පී ගෑස් සඳහා අති විශාල සහනාධාර වැඩ පිළිවෙළක් ඉන්දියාව ක්‍රියාත්මක කරයි. 
 
 
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත්වලට ලබාදෙන වට්ටම් මගින්, සමෘද්ධි සහ වෙනත් හඳුනාගත් ප්‍රතිලාභී කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකාව සහනාධාර ලබාදෙයි.
 
 එක් දින ධීවර යාත්‍රා සහ ඇතැම් සමෘද්ධි  ප්‍රතිලාභීන් සඳහා භූමිතෙල් සහනාධාර සඳහා 2018 දී ආණ්ඩුව රුපියල් බිලියන 5 ක් වියදම් කළේ ය. 
 
එලෙස, සමීකරණ පදනම් කරගත් මිල කිරීම් නිසා අපහසුතාවලට මුහුණ දෙන පහළ ම අඩු ආදායම්ලාභී පහළ ම දශමකවල අයට ඒකාබද්ධ අරමුදලින් ඍජු ඉලක්කගත සහනාධාර ලබාදීමේ හැකියාව ඇත. 
 
එයින්, සැපයුම්කරුවන්ගේ පාඩු පියවීමට  / සියලුදෙනාට සහනාධාර දීමට, වියදම් කරනවාට වඩා භාණ්ඩාගාරයට දරන්නට වන වියදම අඩු වනු ඇත. 
 
  
මේ ආකාරයේ වගන්ති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ස්ථායිකරණ වැඩ සටහනකට ද ඇතුළත් කළ හැකි ය. අපගේ මුල්‍ය තත්ත්වය කළමනාකරණය ගැන අප බරපතළ ලෙස කල්පනා කරන බව ණය හිමියන්ට ඒත්තු ගැන්වීමට එය ආධාර විය හැකි අතර අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවක් ඇතිකර ගැනීමට එය උපකාරී විය හැකි ය.
 
 
 මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැක්කේ, දේශීය මිල ලෝක මිල ගණන් සමග එකට සම්බන්ධකර නැති විට, ඛනිජ තෙල් නිෂ්පාදන මිල තීරණය කිරීමේ තාර්කික ක්‍රමයක් පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද අවධානය යොමු කිරීමට පටන්ගෙන ඇති නිසා ය. පුරවැසියන්ගේ අවශ්‍යතා පිළිබඳව සංවේදී බව පෙන්නුම් කරන මෙම සහනාධාර දයානුකම්පිත ද වෙයි.
 
 
අපගේ භාණ්ඩවල මිල ගණන් 
 
 
වෙළෙඳුන් සමුහයක් විසින් විකුණනු ලබන භාණ්ඩ සහ සේවා විශාල ප්‍රමාණයක් ලබාගත හැකි වීම නුතන ආර්ථිකයක ලක්ෂණයකි. 
 
පාරිභෝගික ආරක්ෂණයේ ප්‍රධාන ප්‍රවේශය වන්නේ, මිල දී ගන්නා සහ වෙළෙන්දා අතර ඇති තොරතුරු අසමමිතිය අවම කිරීමට උත්සහ දැරීම සහ සඳහන් කර ඇති ගුණාත්මක භාවය සහතික කිරීමේ යාන්ත්‍රණයක් පවත්වා ගැනීම යි. 
 
සාමාන්‍ය වෙළෙඳ භාණ්ඩ මිල පාලනය කිරීමට උත්සහ දැරීම අසාමාන්‍ය තත්ත්වයකි. එසේ වුව ද, පෙනී යන්නේ ආණ්ඩුව එබඳු  මානසිකත්වයකින් සිටිනවා විය හැකි බව යි.
 
“වැටලීම් “ කරන විට කැමරා කණ්ඩායම්වලට අභිමානවත් ස්ථානයක් ලබා දීමෙන් පෙන්නුම් කළ පරිදි, මෙම තත්ත්වයන් යටතේ මිල පාලනය බොහෝ දුරට මැදිහත් වීමේ රංගනයකි. 
 
විදේශ විනිමය හිගය සහ / හෝ අධික ලෙස මුදල් මුද්‍රණය නිසා උද්ධමනය වැඩිවීම නිසා සැපයුම් සීමා වන විට, රජයට අවශ්‍ය වන්නේ යමක් කරන බව පෙන්වීමට ය. ඵලදායීතාවයේ වැදගත්කමක් නැත.
 
  
මිල පාලනය සාමාන්‍යයෙන් මග පාදන්නේ හිඟයන්ට සහ /හෝ ගුණාත්මක භාවය පිරිහීමට සහ /හෝ  කළු කඩයට සහ දුෂණයට යි. සුදුළුණු වංචාව සහ සීනි වංචාව නිදර්ශන වෙයි.
 
 
සහල්, සීනි, පොල්, සහ එවැනි දෑ සම්බන්ධයෙන් වෙළෙඳපොළේ මිල පාලනයන් පවත්වාගෙන යාමට නොහැකි ය. 
 
මිල පාලනයට යටත් වූ පෞද්ගලික ක්‍රමයක දී , විවිධාකාර අයුතු ක්‍රම ඉවත්කිරීමේ හැකියාව අතිශයින් සීමිත නිසා, රංගනයෙන් ඔබ්බට ගොස් ප්‍රමාණවත් සැපයුමක් සහ ගුණාත්මක බවක් සහතික කරන්නට රජයට අවශ්‍ය නම් එය රජයට අයත් සිල්ලර වෙළෙඳසල් මගින් සහ / හෝ තදින් නියාමනය කරනු ලැබූ රාජ්‍ය අනුග්‍රහය සහිත වෙළෙඳ සල් සීමිත සංඛ්‍යාවක් මගින් සැපයුම් ලබා දීමට ක්‍රමානුකුලව තල්ලු වෙනු ඇත. 
 
මිල පාලනය කළ යට ඇඳුම් ඇතුළු සියලු දේ සතොස වෙළෙඳසල් මගින් විකිණීමට වෙළෙඳ ඇමතිවරයාට අවශ්‍ය වී තිබීම මෙයට පෙර නිමිත්තකි. එසේ වුව ද, 1970-77 කාලයේ හොඳින් ම පෙනීගිය ආකාරයට, රජයේ ක්‍රමය තුළ ද, අයුතු ක්‍රියා නැවත ඇතිවීම වැළැක්විය නොහැකි ය.
 
 
විකල්පය කුමක්ද? 
 
 
රෝග ලක්ෂණවලට නොව නිධානයට පිළියම් කළ යුතු ය. ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් සැපයුමක් නැති නම් මිල ගණන් ඉහළ යනු ඇත. 
 
මිල ගණන් සම්බන්ධීකරණය කළ හැකි ලෙස සැපයුම් කරුවන් සිටින්නේ කිහිප දෙනෙකු නම් (විශාල පරිමානයේ  හාල් මෝල් හිමියන් එකේ වේදිකාවේ මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමෙන් පෙන්නුම් කළ පරිදි) සැපයුමේ අඩු වීමක් හෝ ඉල්ලුමේ ඉහළ යාමක් නොමැතිව වුව ද, මිල ගණන් ඉහළ යා හැකි ය. 
 
උද්ධමනකාරී බලපෑම් රුපියල අවප්‍රමාණ වීම ආදියෙන් ඔබ්බට ගිය හේතු මේවා ය.
 
Shakthi 2 800x490 
 
අරලිය, නිපුන වැනි අයගේ වෙළෙඳපොළ බලය සීමා කිරීමට ප්‍රධාන මාර්ග දෙකක් ඇත. පළමුවැන්න කුඩා සහල් මෝල් හිමියන් බලගතු කිරීම යි. බලගතු හතර දෙනා හෝ පස් දෙනාට පිළිගත හැකි මට්ටමේ තර්ජනයක් එල්ල කිරීමට ඔවුන්ට හැකිවන පරිදි, කුඩා මෝල් හිමියන් සමුපකාර ව්‍යුහයකට ගොනු කිරීමට උත්සහ දැරූ ශක්ති සහල් මුලපිරුම එවැන්නකි.
 
 
අවාසනාවකට, මැතිවරණයෙන් පසු එම මුලපිරුම අතහැර දමනු ලැබී ය. දේශීය ක්‍රීඩකයින් සමග ක්‍රියා කරන එම විසඳුමේ දී, ආනයනවල සම්බන්ධයක් නැත. එබඳු සැපයුම් කරුවන්ගේ මිල අඩු නම්, සහල් ආනයනය මගහැරීමේ දර්ශනය පිලිබඳ විවාදය තවත් දවසකට කල් දැමිය හැකි වෙයි.
 
අනෙක් විසඳුම වන්නේ කාටලය (cartel) පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීම යි. විවිධ කාලවල සැපයුමේ විශාල වැඩි වීම් ඇති වෙළෙඳපොළේ ස්වභාවය අනුව, මෙය එක වරක් විය නොහැකි ය. මෙහි තර්කය වන්නේ විශාල මෝල් හිමියන් සමග තරඟ කිරීම නොවේ. ඔවුන් ඉතා අධික මිලක් නියම කළ හොත් ඔවුන්ට යටින් කැපිල්ලක් ඇති කළ හැකි බවට සාධාරණ බියක් ඇති කිරීම යි.
 
මේ දක්වා ආණ්ඩුව විශ්වාසය ගොඩනගා ගැනීමේ අංශයේ හොඳින් කටයුතු කොට නැති බැවින්, එහි සාර්ථකත්වය පිලිබඳ සැකයක් ඇත.
 
 විශාල මෝල් හිමියන්ගේ මිල නියම කිරීමේ උත්සාහයන් අසාර්ථක වන තෙක්, සහල් ආනයනය කරමින් අඩු මිලට විකිණීම පවත්වාගෙන යාමට හැකියාව සහ කැපවීම ආණ්ඩුවට තිබේ ද?
 
 පොහොර, වල්නාශක ආදිය තහනම් කරමින් තමන් ම කරගත් හානි නිසා සැපයුම අඩු වීමේ සන්දර්භය තුළ මේ සියල්ල සිදු වන්නේ කෙසේ ද? ආනයනය කරනු ලබන මිල අඩු සහල් කාබනික නොවන නිසා ආණ්ඩුවට උත්තර දීමට අපහසු ප්‍රශ්නයක් තිබිය හැකි ය.
 
 
 
Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 
 
(උපුටාගැනීම - anidda.lk)
 
 
 
 
 
 

 
THE LEADER TV 
 
 
වඳ වෙන ලකුණු ? 
 
 
මෙන්න නා, ලෝ ,? 
 
 
පැන්ඩෝරා යටගහන්න හදපු අලුත්ම ප්ලෑන් එක! 
 
 
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්