(සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වක්‍ර කතා මැයෙන් මහාචාර්ය රොහාන් සමරජීව විසින්  සම්පාදිත ලිපියට ආචාර්ය  ප්‍රදීප් එන්’ වීරසිංහගේ පිළිතුරකි)
“සෘජු මහජන සහභාගීත්ව ආණ්ඩු ක්‍රමයක්” පිළිබඳ වූ මාගේ ලිපියට ප්‍රතිචාර වශයෙන් මහාචාර්ය සමරජීව විසින් පළ කළ ප්‍රථම ලිපිය මාගේ ලිපියට සෘජු ප්‍රතිචාරයක් නොව මහාචාර්ය සමරජීව මීට අවුරුදු පහකට පෙර ලියූ ලිපියක් නැවත පල කිරීමක් විය. 
  
මා පළමු ලිපියෙන් තර්ක කරනු ලැබුවේ පවතින අර්බුදයට වගකිව යුත්තේ වසර හැත්තෑවකට වැඩි කාලයක් මෙරට ප්‍රතිපත්ති තීරණය කර ඒවා ක්‍රියාවට නගනු ලැබු නිලධාරීන්, විශේෂඥයන් සහ මහජන නියෝජිතයන් වැනි ප්‍රභූ සහ ඉහළ මධ්‍යම  පන්තිය බවයි. 
 
එම ක්‍රියාවලියට රටේ ප්‍රතිපත්ති, සහ තීරණවල බලපෑමට ලක් වන, ඒවායේ සෘජු ප්‍රතිලාභීන් වන පොදු ජනයාගේ  සෘජු, සහ සක්‍රීය සහභාගිත්වයක් නොමැතිවීම මෙම අසාර්ථක භාවයට හේතුව බව මම එහිදී පෙන්වා දීමට උත්සාහ කළෙමි. 
 
වසර හැත්තෑවකට වැඩි  කාලයක් මෙරට ප්‍රතිපත්ති සහ තීරණ ගනු ලැබුවේ නිලධාරීන්ගේ, විශේෂඥයින්ගේ සහ මහජන නියෝජිතයන්ගේ පෞද්ගලික උවමනා සහ අවශ්‍යතා වෙනුවෙනි. රටේ ප්‍රමුඛතා තීරණය වූයේ මෙම පිරිස්ගේ  උවමනාවන් ඉටු වන, ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන අයුරිනි. 
 
එහි  ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රභූ සහ ඉහළ මධ්‍යම පංතිය සහ අති බහුතරය වන නිර්ප්‍රභූ ජනයා අතර සමාජ, දේශපාලන, ආර්ථික  වශයෙන් විශාල පරතරයක් ගොඩනැඟිණි.  
 
එයින් නිර්ප්‍රභූ ජනයා දැඩි ලෙස පීඩාවට, නොසලකා හැරීමට සහ කොන්කිරීමට ලක්විය. ඔවුන් බල  ධුරාවලියේ පහළම තැනට තල්ලු කරනු ලැබූ අතර රටේ බලය අභ්‍යාස කිරීමේ ක්‍රියාවලියට  සහභාගි වීමේ අවස්ථාවක් නොවීය.  
 
  
ආණ්ඩු බලය ලබා ගන්නා කණ්ඩායම්, නිලධාරීන් සහ විශේෂඥයින් පොදුජන ප්‍රමුඛතා සහ යහපත නොසලකා අඛණ්ඩ පොදුජන සුපරීක්ෂණයකින් තොරව අවෘත්ත, රහසිගත, ගජමිතුරු, ගුප්ත පාලනයක් සහ සම්පත්  කළමනාකරණය සිදු කිරීම නිසා සම්පත් අපතේ යෑම, දුෂණ,  වංචා, අක්‍රමිකතා සහ සමාජ අසාධාරණය රට තුළ පැලපදියම් විය.
 
 
ජනමත විචාරණ:
 
 
ඉහත කරුණු පෙන්වා දීම හැරෙන්නට මහජනයා සෘජුව සහ සක්‍රීයව සහභාගී වන යාන්ත්‍රණය කුමක්දැයි මගේ ලිපි දෙක තුළම පෙන්වා දුන්නේ නැත. 
 
එහෙත් මහාචාර්ය සමරජීවයන්ගේ උපකල්පනය වී තිබුණේ මා යෝජනා කරන්නේ ජනමත විචාරණය වැනි ක්‍රමවේදයක් බවයි. ඒ නිසා ජනමත විචාරණයේ දුර්වලතා සහ ප්‍රායෝගික නොවන තැන් පෙන්වා දීමට මහාචාර්ය සමරජීව උත්සාහ කර තිබිණි. 
 
මා මහාචාර්ය සමරජීව විසින් ජනමත විචාරණ පිළිබඳව ඉදිරිපත් කළ තර්ක පිළිගන්නා අතර මා යෝජනා කරන විකල්පය ජනමත විචාරණ යාන්ත්‍රණය නොවේ.
 
මා යෝජනා කරන්නේ රටේ සියලුම පුරවැසියන්ට ප්‍රතිපත්ති  තීරණය කිරීමේ කාර්යයට සහ ඒවා ක්‍රියාවට නැංවීමේ කාර්යයට සෘජුව සහ සක්‍රියව සහභාගි විය හැකි විකල්ප ආණ්ඩුවකි. සෘජු මහජන සහභාගිත්වය සහිත දෙවන පාර්ලිමේන්තුවකි.
 
ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර මහාචාර්ය සමරජීවයන් ඔහුගේ දෙවන ලිපියෙන් ඉදිරිපත් කළ කරුණුවලට ප්‍රතිචාර දැක්වීමට කැමැත්තෙමි.  
 
 
මනාව ක්‍රියාත්මක වන නිලධාරීන් සහ විශේෂඥ සැසිවාර:
 
 
 මහාචාර්ය සමරජීවයන්ට අනුව මේ සඳහා පවතින හොඳම විකල්පය වන්නේ මනාව ක්‍රියාත්මක වන නිලධාරි  ත්‍රන්ත්‍රයකින් සහ එම විෂයයන් සම්බන්ධ උනන්දුවක් සහ දැනුමක් ඇති විශේෂ කණ්ඩායම්වලට අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ සලසන අදහස් විමසීමේ සැසි වලින් ශක්තිමත් කරන ලද  නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයකි.
 
මෙය බොහෝ දුරට දැනටමත් පවතින හෝ පවතින ක්‍රමයේම දිගුවකි. ඒ අනුව යම් ප්‍රතිපත්තිමයයක් හෝ තීරණයක් ගෙන එසේ නැතහොත් පනත් කෙටුම්පතක් සකස් කර ඒ පිළිබඳ විශේෂඥයින් කණ්ඩායමක උපදේශන ක්‍රියාවලියකට යොමුකර ඔවුන්ගේ ප්‍රතිචාර ලබා දීමෙන් පසුව ක්‍රියාවට නැංවීමයි. 
 
මේ ආකෘතියේ වර්තමාන භාවිතය පිළිබඳව අවධානය යොමු කළහොත් ප්‍රතිපත්ති සහ තීරණ ගනු ලබන මහජන නියෝජිතයින් සහ නිලධාරීන් අදාළ ප්‍රතිපත්තිය සකසා සහ තීරණය ගෙන ඔවුන් විසින්ම තෝරා ගනු ලබන ගජමිතුරු විශේෂඥ කණ්ඩායමකට හෝ විශේෂ කණ්ඩායමකට ඒ පිළිබඳව ප්‍රතිචාරය දැක්වීම්ට ආරාධනා කරයි.
 
 මෙය බොහෝවිට ඒ නිලධාරීන් විසින්ම පහසුකම් සලසන ආහාර, නවාතැන් සහිත තරු පහේ හෝටල්වල දී සිදුවේ. 
 
විශේෂඥයින් විසින් තම දැනුම සහ තාක්ෂණික කුසලතා මත  පදනම්ව එම ප්‍රතිපත්තියට හෝ තීරණයට ප්‍රතිචාර දක්වති. එහෙත් ඒවා අවසාන නීති ලියවිල්ල තුළ ප්‍රකාශ වන්නේ ද යන්න හෝ එසේ වූයේ ද යන්නට පසුවිපරම් යාන්ත්‍රණයක් නොමැත. 
 
එහිදී සිදුවන්නේ නිලධාරීන් සහ මහජන නියෝජිතයින් ගනු ලැබූ තීරණ වලට ව්‍යාජ සුජාතභාවයක් ලබා ගැනීම පමණි. එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලියට එම විශේෂඥයින් ම සහභාගි කරගන්නා උපායමාර්ගද නිලධාරීන් විසින් භාවිතා කරනු දක්නට ලැබෙයි. 
 
  
නිදසුන් වශයෙන් මහා පරිමාණ වංචා හා අල්ලස් ගැනීම් සිදුවන ටෙන්ඩර් ක්‍රියාවලිය ගනිමු. මෙම ටෙන්ඩර් තාක්ෂණික කමිටු විශේෂඥයින් වශයෙන් කටයුතු කරන්නේ නිලධාරීන් විසින් තෝරාගනු ලබන ඉහත උපදේශන ක්‍රියාවලියට සහභාගි වූ තම ගජමිතුරු විශේෂඥයින්ය. 
 
 
එමඟින් එම ටෙන්ඩර් තාක්ෂණික ඇගයීම් ක්‍රියාවලිය තමන්ට කොමිස් මුදල් ලැබෙන ආකාරයයට හසුරුවා ගැනීමට ඇමතිවරු, නිලධාරීන් මෙන්ම විශේෂඥයන්ද සමත් වේ.
 
WhatsApp Image 2020 02 13 at 3.31.32 PM 1 
රටට ඩොලර් මිලියන 75ක පාඩුවක්  සිදුකළ ඩීල් එකක්..
 
 
නිදසුන් වශයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට සිට කතරගම දක්වා දීර්ඝ කිරීමට රාජපක්ෂ රෙජිමයේ ඇමතිවරු සහ නිලධාරීන් එක්වී ඩොලර් මිලියන 150ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ සිද්ධිය ගනිමු. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේදී එක් බාහිර පුද්ගලයකු විසින් එය ඩොලර් මිලියන 75 කට අවසන් කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර තිබිණි. 
 
එහෙත් යහපාලන ආණ්ඩුව චීන සමාගම සමග ගිවිසුම් අත්සන් කළේ ඩොලර් මිලියන 150 කටය. එමගින් රටට ඩොලර් මිලියන 75ක පාඩුවක්  සිදුවිය. මෙහිදී සිදුවූයේ ඉහතින් මා පෙන්වාදුන් මහජන නියෝජිතයින්, නිලධාරීන් සහ විශේෂඥයින් එකතුවී කරනු ලබන ගුප්ත ගනුදෙනුව යි.
 
  
 මේ ආකාරයට මේ රට කොමිස්  ගැනීම සහ අක්‍රමිකතා සිදුවන්නේ මහජන නියෝජිතයින්, නිළධාරීන්, ව්‍යාපාරිකයින් සහ විශේෂඥයන් වැනි ප්‍රභූ, ඉහළ මධ්‍යම පන්තිය ඒකාබද්ධ වූ ගුප්ත රහසිගත යාන්ත්‍රණයක් හරහාය. මාගේ අදහස වන්නේ මෙම ක්‍රියාවලියට සෘජුව, විවෘතව සහ සක්‍රියව රටේ පොදු ජනයාට සහභාගිවීමට අවස්ථාව තිබේ නම් මෙය වලක්වා ගත හැකි බවයි.  
 
 
මහාචාර්ය සමරජීව ඉදිරිපත් කරන විශේෂඥ උපදේශනය සම්බන්ධ දෙවන ගැටලුව වන්නේ මෙම උපදේශන සැසිවාර තුළදී යෝජිත ප්‍රතිපත්ති සහ තීරණ සඳහා දායකත්වය ලබා දෙන්නේ විද්‍යාත්මක දැනුම සහ තාක්ෂණික කුසලතා  ක්ෂේත්‍රයෙන් පමණක් වීමයි. 
 
  රටක් මුහුණ දී සිටින ගැටලු හඳුනා ගැනීමේදී, ගැටළුවලට විසඳුම් සෙවීමේදී , ඊට ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ඒ පිළිබඳව තීරණ ගැනීමේදී විශේෂඥ දැනුම සහ තාක්ෂණික කුසලතා වලට අමතරව එම ප්‍රතිපත්තිය සහ තීරණ වල බලපෑමට ලක්වන පාර්ශවකරුවන්ගේ, විශේෂයෙන් පොදු ජනයාගේ සාම්ප්‍රදායික දැනුම, අත්දැකීම්, ප්‍රාදේශීය තත්ත්වයන්, ඔවුන්ගේ ජීවන යථාර්ථයන්, සංස්කෘතික ගති ලක්ෂණ, ආකල්ප, විශ්වාස, වටිනාකම් සහ සම්ප්‍රදායන් ආදී සාධක වල දායකත්වය ද ඊට ඇතුළත් කිරීම අවශ්‍ය වේ.
 
මේ සියල්ලටම වඩා සංවර්ධන  ගැටලු සහ අවශ්‍යතා හඳුනා ගැනීම, ඊට විකල්ප විසදුම් සෙවීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවකරුවන්, විශේෂඥයන්, සහ බලපෑමට ලක්වන ප්‍රජා කණ්ඩායම් වල සහභාගිත්වයෙන් සිදු වන,  විවෘත, දීර්ඝ, ගැඹුරු සාකච්ඡාමය ක්‍රියාවලිය ඉතා වැදගත් වේ.   
 
එම කතිකා ක්‍රියාවලිය තුළින් මතුවන විවිධ දැනුම්, අත්දැකීම්, විකල්ප යෝජනා මුලින් හඳුනාගත් ප්‍රතිපත්ති  සහ තීරණ වලට වඩා ඵලදායී සහ කාර්යක්ෂම වෙනවා  මෙන්ම  මානව සංහතියේ දීර්ඝකාලීන යහපතට  හේතුවනු ඇත.
 
තවද ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට එම ප්‍රතිපත්ති වල බලපෑමට ලක්වන සියළුම පාර්ශවකරුවන් සහභාගී කරගැනීමෙන්, විශේෂයෙන්ම පොදුජනයාට එහි හිමිකාරත්වය ලැබීමෙන් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී පොදු ජනයා ඊට  සිතින් - කයින් සක්‍රිය ලෙස සහභාගි වනු ඇත. 
 
  
නිදසුන් වශයෙන් කාබනික පොහොර භාවිතය හඳුන්වාදීම ගනිමු.  මෙම තීරණය ගැනීමේ ක්‍රියාවලියට සහ ඒ පිළිබඳ ප්‍රතිපත්ති තීරණය කිරීමේ ක්‍රියාවලියට එහි  සෘජු බලපෑමට ලක්වන ගොවියාගේ සහභාගිත්වයක් නොවීය. ඒ හේතුවෙන් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මකවීමේ දී ගොවියාගේ මැදිහත්වීම එම තීරණය අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වීමට අයහපත් ලෙස බලපා තිබීම පෙන්වා දිය හැකිය.  
 
 
සෘජු මහජන සහභාගිත්වය 
 
 
සෘජු මහජන සහභාගීත්වය යන්නෙන් මා අදහස් කරන්නේ සංවර්ධන ගැටලු හදුනා  ගැනීමට, ඒවාට විකල්ප විසඳුම් සෙවීමට, ඒ පිළිබඳව තීරණ ගැනීමට, ඊට ප්‍රතිපත්ති සම්පාදනයට, ව්‍යාපෘති සැලසුම් කිරීමට, ක්‍රියාත්මක කිරීමට, ඇගයීමට සහ නැවත සැකසීම  යන සමස්ත ක්‍රියාවලියට එම සංවර්ධන ගැටලුවේ ඍජු ප්‍රතිලාභීන් සක්‍රියව සහභාගී කර ගැනීමයි.
 
මේ ආකාරයට සෘජු, සක්‍රීය මහජන සහභාගිත්වය නිසා විවෘතභාවය, සහ වගවීම සහතික වීම ද අකාර්යක්ෂමතා සහ අක්‍රමිකතා වළක්වා ගැනීමටත්, මහජන යහපතට, අවශ්‍යතාවලට, සහ ප්‍රමුඛතාව ට හේතු වන ප්‍රතිපත්ති සහ තීරණ ගැනීමටත් අවස්ථාව උදා කර ගත හැකිය.  මන්ද සමස්ත  ක්‍රියාවලිය සෘජු මහජන විමසුමට සහ සුපරීක්ෂණයට ලක් වන බැවිනි.
 
 
දෙවන පාර්ලිමේන්තුවක් :
 
 
සෘජු මහජන සහභාගීත්වය සඳහා මා යෝජනා කරන්නේ මහාචාර්ය සමරජීව විසින් උපකල්පනය කළ ජනමතවිචාරණ නොවේ. ජනමතවිචාරණ යනු ජනාධිපති - පාර්ලිමේන්තු  ආණ්ඩුක්‍රමයේ ම සංඝටකයකි. එය දේශපාලන උවමනාවක්  මත පදනම් වූ පුළුල් ප්‍රචාරණ සහ උපායමාර්ගික ක්‍රියාවලියත් විසින් මහජන නියෝජිත  සුළුතරයේ තීරණයට මහජනතාව වෙතින් සුජාතභාවය ලබාගන්නා උපක්‍රමයකි.
 
 
මාගේ යෝජනාව වන්නේ රටේ සියලුම පුරවැසියන්ට සෘජුව, සක්‍රියව සහ අඛණ්ඩව  ප්‍රතිපත්ති සම්පාදනයට, ක්‍රියාත්මක කිරීමට, ඇගයීමට සහ සුපරීක්ෂණයට සහභාගි විය හැකි දෙවන පාර්ලිමේන්තුවකි.
 
 
එය මහජන පරමාධිපත්‍යය සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මත පදනම්ව පිහිටුවනු ලබන නිල  ව්‍යුහයකි. ඒ සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය,  සහ  මහජන සේවා මාධ්‍ය පහසුකම් සලසනු ඇත. එය එක්තරා අන්දමක “Virtual ආණ්ඩුවක්” වනු ඇත. 
 
 
(මතු සම්බන්ධයි).
 
 
 
dr pradeep n weerasinghe 259x300 1(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
 
 
කියවන්න - හදාරන්න 
 
 
 
 
 
 

 
THE LEADER TV 
 
 
වඳ වෙන ලකුණු ? 
 
 
මෙන්න නා, ලෝ ,? 
 
 
පැන්ඩෝරා යටගහන්න හදපු අලුත්ම ප්ලෑන් එක! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්