ඊළඟ නායකයෙකු පිළිබඳ මහාචාර්ය සරත් විජේසුරියගේ ලිපිය කියවූ මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති වරයා, “මුං එක්ක මේක කරන්න බෑ කියලා මට හිතිලා ගොඩක් කල්.

ඒත් ශිෂ්‍ය ගුරුකමෙන් පටන් ගෙන අවුරුදු තිස් ගණනක් උගන්වපු මට මේ කාරණය විස්තර කරන්න බැරිව හිටියේ. ප්‍රොපෙසර්ගේ ලිපිය දෙවතාවක් කියැවූවාට පස්සේ මට තේරුණේ නායකයන් පස්සේ යාම මහ විනාසයක් කියලා.” යනුවෙන් කළ විග්‍රහය අනුව, වම, දකුණ, උතුරු දකුණු සංවාදය ජාතිවාදය දේශප්‍රේමය, ලිබරල් ආර්ථිකය වැනි ලංකාවේ ආණ්ඩු ගෙන යාමට කඩේ ගිය කෑලි බෑලි මේ වනවිට තැලී පොඩිවී ගොස්ය.

 

පාටලී.... පට්ට ජාති වාදියෙක්. මංගල ලිබරල් නම් තමයි.ගේම් කාරයා. රනිල් බුද්ධිමතා වුණාට විශ්වාස කරන්න බෑ. සජිත්....(නායක ලැයිස්තුවටවත් නැත.)? අනුර කුමාර... තෝත් නටාපිය මාත් නටන්නම් මිස එකට එකතු නොවන්නෙකි. කරු ජයසුරිය... බෑනා කෙළින් කරනවා ෂුවර්...මතයක් නෑ පතෝල වාගේ හැම ප්‍රතිරූපයක්ම විවිධ හේතු නිසා පුස්කා දුර්වර්ණව ඇත. මේ කිසිවෙකු කෙලින් කර ගත නොහැකිය. මගේ මිත්‍රයා කියන්නේ තවත් නායකයෙක් යන්න විහිලුවක් බවය. 

එකී විග්‍රහය අනුව, නායකයෙකු සතු සියලු ගරුත්වයන් සිරිසේන අහිමි කර ගත්තේය. සිරිසේන දිනවූ ජනාධිපති මැතිවරණය පෙළ ගැස්සුවේ පක්‍ෂ දේශපාලනය නොවේ. රට අපේක්‍ෂා කළ මතවාදයකි.

2014 නොවැම්බර් 20 වෙනිදාත් සාධාරණ සමාජයක් ව්‍යාපාරයට මිනිසෙකු හිටියේ නැත. සිරිසේන සත්තකින්ම ඉත්තෙතුම පමණක් විය. ශ්‍රීලනිප මහ ලේකම් ධුරය හැර කිසිදු නරිවාදමක් ඔහුට තිබුණේ නැත. එහෙව් සිරිසේන, රාජපක්‍ෂලා කෙරෙහි පැවති ප්‍රාණ භයෙන් මැතිවරණය දා රාත්‍රියේ කුරුණෑගල පොල්වත්තක සැඟවී සිටියේය. හෙතෙම ජනාධිපති වූ දවසේ මහ රෑ මෝල්කාර මල්ලී සමග ගෝඨාභය බැහැ දුටුවේ ඔහුට ආවේනික නිවට නියාලුකම නිසාය. ඊළඟට බාල සහෝදරයා ටෙලිකොම් සභාපති කරවීය. පොළොන්නරුවේ සිට රට පාලනය කරන බව කී හෙතෙම සින්නක්කරයට කොළඹින් ගෙයක් හිමි කර ගත්තේ විධායක ජනාධිපතිවූ නිසාය.

රනිල්ට වෛර කළ ශිරාල් ලක්තිලක ළඟට ගෙන, 2015 පොදු එකඟතාවන් දුර්වර්ණ කළේය. මේ එකක්වත් නායකයෙකු වෙතින් අපේක්‍ෂා කළ නොහැකිය. රනිල් අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා මහ බැංකුව භාරදි පෙබරවාරි 27 දින මහා වංචංවක පුරෝගාමියා වෙමින්, සිදු කළ පාපය රාජපක්‍ෂලාට රජ වීමට යළි පාවඩ එළීය.

 

sirisena 2273871g 1200x550

2015දී මහින්දට ලැබුණ 57 ලක්‍ෂය, දොළොස් ලක්‍ෂයකින් වැඩිවී 2019දී 69 ලක්‍ෂයක් විය. 2015දී මහින්ද එරෙහි වූ 62 ලක්‍ෂය, හත් ලක්‍ෂයකින් අඩුවී 2019දී 55 ලක්‍ෂයක් විය 2015 මහින්ද පැරදුණා මිස, සිරිසේන දිනුවේ නැත. 2019දී යහ පාලනය පැරදුණා මිස, ගෝඨාභය දිනුවේ නැත. (ඕනෑම මොහොතක දස ලක්‍ෂයක් පෙළ ගැසුණා කියන්නේ රට වෙනස් කළ හැකි බවය.) කෙනෙකු පරදා කෙනෙකු ලැයිස්තුවෙන් කෙනෙකු දිනවීමෙන් රට ගොඩ ගැනීම කළ නොහැකිය.

අප පවත්නා ක්‍රමය නිසා 43 වසරක් තුළ නැතිකර ගත් දේ බොහෝය. නැවත නැවත තවත් නායකයන් පසුපස යමින් ඒ වරදම අප කළ යුතු නැත. නායකයන් අරහන්ය. හෙවත් රටේ මුලු බලය එක් පුද්ගලයෙකුට භාර නොදිය යුතුවේ. දේශපාලනඥයන්ට අනවශ්‍ය බලය ලැබෙන මේ ක්‍රමය වෙනස් කළ යුතුවේ.

 

නායකයෙකු සතු සියලු ගරුත්වයන් සිරිසේන විනාශ කළා නම්, ගෝඨාභය කවුද? කෙනෙකුට කන් අඩි පැලෙන හයියෙන් ඇසිය හැකිය. ඊටත් වෙහෙරලියද්දගේම ආනේ ගැටවුනේ නික ඉඳපල්ලා.. සිංදුවේ කියැවෙන ළිඳේ පනිට්ටුව වාගේ යයි උත්තරයක් දිය හැකිය. නීතියට කොටුවී සිටි එවුන් ගොඩ දැම්මා මිස යහපත් රටක් වෙනුවෙන් කිසිවක් නොකළ නිසා ගෝඨා ළිඳේ පනිට්ටුව වන්නේ ය. එතකොට වියත් මග....? කෙනෙකුට ඇසිය හැකිය. විභාග පාස් කළාට, මොලේ කළඳක් නැති අඳොනාවතිලා හැඳීන්වීමට සුදුසු නමකි. ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා විමසූ ආකාරයට පිස්සෙක් ජනාධිපති වුණොත්.....? යන ප්‍රශ්නයට වියත් මග ඉතා නිවැරදි නිවැරදි ජීවමාන නිදර්ශනයක් සපයා හමාරය.

 

එහෙත් වරද සිරිසේන හෝ ගෝඨාභය පිට පැටවිය නොහැකිය. ගැටථව ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයේය. අප 2024ට තවත් මිනිසෙකු විධායක ජනාධිපති කොට මේ අපරාධය තවත් අවුරුදු හයකට ක්‍රියාත්මක කළ යුතු නැත. ක්‍රමය අහෝසි කර ගෙදර යන කෙනෙක් ගැන කල්පනා කළ යුත්තේ මේ නිසාය.


සිරිසේන ජනතා අපේක්‍ෂා ඉටු කරතී යයි රටම කල්පනා කළහ. මෙට්ටය උඩ තැබූ කූඩැල්ලා එදා රෑම කහල ගොඩට ඇදී ගියේය. ක්‍රමය වෙනස් කර ගෙදර යන මිනිසා වීමට කිසිදු දේශපාලනඥයෙකු සුදුසු වේද? රට බිංදුවට වැටී ඇති බව හැබෑය. මොකා කෙළින් කළත් කන්නේ අපේ හිස් මොළය. 2014 පෙබරවාරි 02 බ්‍රහස්පතින්දා දිනපතා ලංකාදිපයේ මා නමින් පළවූ රටවට තීරු ලිපියේ මෙසේ දැක්වේ. “අමාත්‍ය ඩලස් අලහප්පෙරුම 2010 පොදු අපේක්‍ෂකයා හඳුන්වන ලද්දේ සූරා දැමූ සංවර්ධන ලොතරැයියක් හැටියටය.

පොන්සේකා කෙසේ වෙතත්, තේරී පත්වූ ගෝඨාභයද ඇතුළත් හැම විධායකයාටම ඩලස්ගේ හැඳින්වීම උචිතය. ජීවමාන කිසිදු දේශපාලනඥයෙකුට ක්‍රමය අහෝසි කර ගෙදර යන්නාගේ වගකීම පැවරීමට සුදුසු නොවේ. ගෙදර යාමට කැමැතිවන උත්තමයා ඕජස් බහින විධායක මළකුණ වළලා ගඟට පැන නහා පිරිසිදුවි ගඟෙන් එතර වී ගෙදර යන්නෙකු මිස තවත් සිරිසේන කෙනෙකු විය යුතු නැත. ක්‍රමය වෙනස් කර ගෙදර යන්නා යනු අලි ඇතුන් සහිතව වීදි බසින ඇසළ පෙරහර වාගේය. පෙරහැර උජාරුවට කච්චේරිය ඉස්සරහින්ද ගමන් කොට, ගැටඹේ තොටින් දිය කපා ආදාහන මලුවෙන් අවසන් වන්නා සේ තේරුම් ගත යුත්තාහ.

 

Sobitha himi1                                        පුජ්ය මාදුලුවාවේ සෝභිත හිමි

මහාචාර්ය විජේසුරිය කියන, රට ඉල්ලන නිර්භීත පෞරුෂය.... ඒ විශිෂ්ඨයා රනිල්ලා සිරිසේනලා රාජපක්‍ෂලා සමග පයිරුපාසානයක් නැත්තෙකු විය යුතු බවට නිර්දේශ කරයි. සාකච්ඡාවේ තැනක රුවන්ඩා අත්දැකීම ගෙනහැර දක්වයි. එසේ නම්, පොල් කාගමේ කොන්ත්‍රාත් ක්‍රමයට, රුවන්ඩාවෙන් ලංකාවට ගෙන්වා ගැනීම හැර වෙනත් විකල්පයක් නම් ඇත්තේ නැත. ගෙදර යන එකෙකුම සොයන්නේ කිසිවෙක් විශ්වාස කළ නොහැකි නිසාය. මාදුලුවාවේ හාමුදුරුවෝ හිටියා නම් නම් මෙවැනිම මතයක් දරනවා විය හැකිය.


ලංකාව පුදුම රටකි. තුට්ටුවත් ලැබුණ එකා කල්පනා කරන්නේ රුපියලක් හිමි කාරයෙකුගේ මානසිකත්වයෙනි. විධායකය වෙනස් කිරීමට දිවුරුම් දී පැමිණි චන්ද්‍රිකා, මහින්ද සියල්ල එසේ තබා ආපසු ගියහ. සිරිසේන මුල්ව සමම්ත කළ 19 සංශෝධනයේ කෑලි කපා ඉවත් කරන අවස්තාවේ සිරිසේන කට හෙල්ලුවේ නැත. විධායකවූ හැම එකාම පරම්පරා ගණනකට හම්බ කළ පමණක් නොවේ. කණවැන්දුම් ගැහැනුන් නඩත්තු කරවන වැය බරක්ද සම්මත කර ගියහ. ජේ. ආර්. ක්‍රමය සකසා ජනාධිපති ලේකම් කමට පත් කළේ හුරු පුරුදු පරිපාලන නිලධාරියෙකි.

  

ඉංජිනේරුවන් වෙනුවට බාස්ලා අගය කළ ආර්.ප්‍රේමදාස පවා ජනාධිපති ලේකම් කර ගත්තේ සිවිල් නිලධාරියෙකි. ඉන්පසුව .... කාලය සාරාංශ කළ විට, හෙල්පින් හම්බන්තොටින් පටන් ගෙන සිල් රෙදි නඩුවෙන් අවසන්ව හිරේ ගියේත් හුරු පුරුදු පරිපාලන නිලධාරියෙකි. දෙවෙනි දියසේන පත් කරගත්තේ හෙජින් ගිවිසුමෙන් රුපියල් කෝටි 7000කට ආසන්න මුදලක් රටට අහිමි කළ ශ්‍රේෂ්ඨාධිකරණය කලිසම් කබා ගලවා ජංගිය පිටින් ගෙදරට මුදා හැරිය තවත් චරිතයකි.උසාවිය විසින් වැලිකඩට දක්කා යැවූ සිල් රෙදි දායකයාත් හෙජිම් ගුරාත් තවමත් රට විකිණීමේ කරදාසි වලට රාජපක්‍ෂලා වෙනුවෙන් අත්සන් තබමින් සිටිති.

 

ඉහළ තනතුරුවලට සුදුසුකම් තෝරණ කමිටුව මෙතනදී අවලංගුය. නො දන්නා වැක්සින් ගැන දොඩවන සජිත්වත් ලෝක ප්‍රකට සූර චෞරයන් ගැන කට හොල්ලන්නේ නැත. හොරුන් ළං කර නොගෙන රටක් කළ නොහැකි යයි කොළ පොතක හෝ ලියැවී නැත. පවත්නා ක්‍රමය නිසා රට කුණුවුණ තරම මෙන්ම, රටේ නායක පාලකයන්ගේ බංකොලොත් භාවය තේරුම් ගැනීමට තවත් උදාහරණ අවශ්‍ය නැත.

තෝරා පත් කර ගන්නා හැම එකාම බලයෙහි දරණ ගසා හූනු බිත්තර දමනු මිස, අවශ්‍ය පිළියම් යෙදීමට උත්සාහ කළේ නැත. 2015 නිර්දේශපාලන පිබිදීම නිසා 19 සම්මත වුවද එයින් අඩක් ආපසු හරවන ලද්දේ උන් විසින්මය. ඒ නිසා පවත්නා ක්‍රමය අවහර කර ගෙර යන්නෙකු මිස වෙනත් විකල්පයක් තිබිය හැකිද? මේ විවෘත ප්‍රශ්නය කටේ හොර හැර කතා කළ යුතුවේ.

 

244252528 2021127874719184 6111353505567431409 n

 යුද්ධ හමුදාවේ කී වෙනිදෝ සංවත්සරයදා කතා කළ දෙවෙනි දියසේන ප්‍රසිද්ධියේ පිළිගත් පරිදි ඔහු අතින් සිදුවූ අතපසුවීම නිසා, පුරවැසියන් 13331 කට ජීවිත අහිමි විය. අපරාධය එය නොවේ. තමන් වගකිව යුතු අතපසුවීම ගැන නිදහසට කරුණු නොකියන බවට කරන තකතීරු කතාවය. ඒ අර්ථයෙන් දෙවෙනි දියසේන හිට්ලර්ගේ පුනරුත්පත්තිය වන්නේ වැරදිලා මිනිසෙකු මැරුවත් වරදක් ආරෝපනය වන නීතියෙන් ඔහු නිදහස් නිසාය.

 

හැට නව ලක්‍ෂයක් ඔහුට භාර කළ රටේ ආරක්‍ෂාව සම්බන්ධව ඔහු උත්තර බඳින්නේ නැත. එසේ නම් ඔහු ජනාධිපති වී රුවන් සෑ මලුවේදී දුන් දිවුරුම කුමක්ද? පත් කර ගන්නා විධායකයා හැසිරෙන්නේ එහෙම නම් ඒ පුද්ගලයාට කොන්දේසි විරහිතව කැමති නමකින් කතා කිරීමේ අයිතියවත් පවත්නා ව්‍යවස්ථාවෙන් රටේ ජනතාවට ලැබී නැත. අප මේ පය ගසා සිටින්නේ අමු සොහොනක් මිස මිනිසුන් ජීවත්වන ප්‍රබෝධමත් රටක් නම් නොවිය හැකිය.


වත්කම් වාර්තා, අධ්‍යාපන සුදුසුකම් හෙළි කරනවාට විරුද්ධ පාලකයන් සිටින රටක්.... බූරු පිටයක් මිස මාතෘ භූමියන් විය හැකිද? නිරූපමා රාජපක්‍ෂත් රුහුණේම රාජපක්‍ෂ කෙනෙකි. රාජපක්‍ෂලා වෙනුවෙන් පෙළ ගැසුණු හැට හැත්තෑ ලක්‍ෂයම සමෘධිලාභින් නොවේ. යාවජීව රාජපක්‍ෂ වාදියෙකුවූ ජ්‍යෙෂ්ඨ නීතිඥ වෘත්තිකයෙකුගේ පසළොස් හැවිරිදි දුවණිය රාජපක්‍ෂලා හොරු නොවේදැයි මෑතකදී තම පියාගෙන් විමසා සිටියාය. තිගැස්සුණ පියා මම නම් එහෙම හිතන්නෙ නෑ. කියා නිහඬ විය. මේවා බොරු නම් පේස්බුක් වලට නඩු දාන්නේ නැත්තේ ඇයි? දුවණිය පෙරළා ඇසුවාය. පියා තවත් කතා කළේම නැත. ගොවි බිමේ වැඩ පොළේ පමණක් නොව දියසේනට පාවඩඑලූ ගෙවල්වල තත්වයත් එසේය.

අපට ඇන්ජෙලා මේකර්ලා නැත. පෝල් කාගමේලා නැත. නෙල්සන් මැන්ඩේලාලා නැත. කොරාසෝන් අකිනෝලා නැත. නායකයන් යනු එවැන්නන් වෙති. තවදුරටත් නායකයන් ගැන කතා කිරීමෙන් යළිත් සිදුවන්නේ පට්ටි ගොනෙකු රජ කරවීම පමණක් නොවේද? ඔබ ඊට කැමතිද? 

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න 

Chandrasiri Senevirathne 21

 

 
 
 
 
 
 
 

THE LEADER TV 
 

අන්තිම ජාතිය ඇමතීම | මොණරවිලගේ ලියමන

 
ඇන්දෙන්න එපා සර්? | "ස" ගේ දැනගැනීම පිණිසයි. 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්