මංගල සමරවීර කියන දේශපාලනඥයා මට පෞද්ගලිකව හඳුනාගන්නට‍ ලැබී දැනට සියවස් කාලක් ගෙවී ගිහින්. මම එවිට ඉතාම ලාබාළ ආධුනික
අධ්‍යක්ෂවරියක්. ඒත් ඔහු ඒ වන විට චන්ද්‍රිකා කුමාරතුංග රජයේ ජන මාධ්‍ය ඇමැතිවරයා. 
 
මට ආරාධනාව ලැබුණේ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙනුවෙන් මානව හිමිකම් පිලිබඳ දැනුවත් කිරීමේ කෙටි වීඩියෝ පට මාලාවක්‌ නිර්මාණය කර ගැනීමට. 
 
එතැන් පටන් ගෙවීගිය වසර 25 පුරාවට‍, අප අතර තිබුනේ රාජකාරිමය හිතවත්කමක් මිස පෞද්‍ගලික හිතවත්කමක් නොවේ. 
 
නමුත් ඒ රාජකාරීමය සම්බන්ධතාවයේ තිබුන අපුර්වත්වය නිසාම, ඔහුගේ නික්ම යාම පිලිබඳ ආරංචිය ලැබුන මොහොතේ එය දරාගන්නට‍ නොහැකි තරමේ කඩා වැටීමක් මා තුළ ඇති කළා. 
 
 
ඒ දක්වා මගේ ජීවිතයේ මනුෂ්‍යයෙකුගේ මරණයක්‌ හමුවේ බරපතළ ලෙස මා සoවේදී වූයේ එකම එක වතාවකදී පමනයි. ඒ, මීට වසර ගණනාවකට පෙර මාගේ පියාණන් දේශපාලන ඝාතනයකට ලක්‌වූ මොහොතේ. ඒත් කිට්ටු ඥාතියෙකු හෝ පෞද්‍ගලික මිත්‍රයෙක් නොවූ මoගල සමරවීර නැමැති දේශපාලනඥයා වෙනුවෙන් මගේ හිතේ මෙවැනි සුවිශේෂී ස්ථානයක්‌ වෙන්වී තිබු බව මා වටහා ගත්තේ ඔහුගේ සමුගැනීමත් සමගයි. 
 
 
මා වෙත අදාළ ආරoචිය සංනිවේදනය කළ මා මිත්‍ර රුවන් ෆ්ර්ඩිනැන්ඩස්ට ඔහුගේ දුරකථන ඇමතුම සුළු මොහොතකින් විසන්ධි කරන්නට සිදුවුනේ, මගේ හඬා වැටීම තවදුරටත් ඔහුට අසාසිටීමට නොහැකි වූ නිසායි. ඉන් සතියක්‌ පමණ ගෙවී යන තුරුත් මට ඒ කම්පනයෙන් මිදීමට හැකි වූයේ නැහැ.
 
 ඒ දුෂ්කර දින හතක නිමාවට පසුව මා රුවන් ඇමතූ මොහොතේ, ඔහු මා වෙතින් විමසා සිටියේ " ඇත්තටම ඇයි ඉනෝකා, මoගලගේ මරණය බහුතරයකට මේ තරම් කම්පනක්‌ ඇති කලේ? " යනුවෙන්, පිටස්තර අපගේ ප්‍රතිචාරය දැනගන්නා අදහසින්. 
 
ඊට මගේ පිළිතුර වූයේ " මoගල කියන්නේ විශේෂ කෙනෙක්." යන්නයි. ඉන් ඔබ්බට ඒ විශේෂත්වය මට වදන් වලට ඒ මොහොතේ පෙරලන්නට නොහැකි වුවත්, ඒ විශේෂත්වය වන්නේ වෙස් මූණු පැළඳ ගත්ත මිනිස්සු කැලක් මැද්දේ අපි මoගලගෙන් දැක්කේ ඔහුගේ ඇත්ත මූනයි. 
 
ඒ මූනේ යම් යම් අඩුපාඩු තිබුනත්, මoගල බය වුනේවත් -පැකිලුනේවත් නෑ තමන්ගේ මූන නොපෙන්වා ඉන්න. 
 
ඒ නිසායි බහුතරයක් තමන් පැළඳගෙන ඉන්න වෙස් මූන ගැන හුඟක් සැලකිලිමත් වෙද්දී, මoගල තමන්ට කොච්චර දේශපාලනිකව පාඩු වුනත් තමන්ගේ සැබෑ මූනෙන් මිනිස්සු ඉදිරියේ පෙනී ඉන්න ඉදිරිපත් වුනේ. 
 
 
ඒ නිසා, මoගල වෙනුවෙන් හදවතින්ම කඳුලක් හෙලපු මේ හැම කෙනෙක් තුලම තිබුණු කම්පනය තමයි, වෙස් මූණු මැද්දේ සැබෑ මුණක් තමන්ට ආපහු කවදා දකින්න ලැබෙයිද කියන පිළිතුරක් නැති හිස්තැන. ඒක හරියට තමන් විශ්වාසය රඳවා තිබු තැනකට තමන්ට යන්න තිබුන ඉඩ ප්‍රස්තාව එකවර අහිමි වුනා වගේ කිසියම් තනිකමක්‌. අසරණකමක්. 
 
 
මොකද මoගලගේ ඇසුරට වැටුන හැම කෙනෙක්ම දන්නවා, ඔහු සමග ඇතිකර ගත්ත නිර්ව්‍යාජ සම්බන්දය යලි ගොඩනගාගන්න ඊට ආදේශක අප අවට ඇත්තේ නෑ කියලා. ඒ නිසා, ඔවුන් තුල ඇතිවෙන්නේ බරපතල හිස්කමක්. මෙලාන්කොලික තනිකමක්. 
 
වෙන මොනවටත් වඩා මිනිස්සු තමන්ට දැනෙන තනිකමට, හිස්කමට බයයි. ඒ බය තමයි මoගලගේ වියෝව ළඟ කඳුළු වුනේ " ඒ මගේ රුවන් හමුවේ අප්‍රකාෂිත, සම්පුර්ණ පිළිතුරයි. 
 
WhatsApp Image 2021 10 17 at 5.09.27 PM
 
මංගල කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “බොහිමියානුවෙක්”
 
 
ඇත්තටම, මංගල කියන්නේ මගේ ලෝකය තුල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “බොහිමියානුවෙක්”. සාමාන්‍යයෙන් ජනප්‍රිය මතයට අනුව බොහිමියානුවෙක් කියලා කියන්නේ, ගෙවිච්ච බාටා කුට්ටමක්‌ දාගෙන, කිලිටි ඩෙනිමක් ගහගෙන, කොණ්ඩේ කපන්නේ නැති සුවිශේෂ ඉලක්ක නැති, අපිළිවෙල තම පැවැත්ම බවට පත් කරගත්ත ජිප්සි කෙනෙක්ට. 
 
නමුත් ඇත්තටම බොහිමියානුවා කියන පුද්ගල ස්වභාවය ඒක නෙවෙයි. ඒ ඇතැමුන් ආදේශ කරගත් පිට කවරයක් මිස සැබෑ අන්තර්ගතය නොවේ. 
 
  
සැබෑ අර්ථයට අනුව, බොහිමියානුවා කියන්නේ "Unconventional character "  එකකටයි. ඒ කියන්නේ, සාර්ව සමාජ වටිනාකම් වලට අනුව නොව, තමන් නිවැරදි යැයි විශ්වාස කරන මතයන්ට අනුව ජීවත් වන අයෙක් තමයි බොහිමියානුවා කියන්නේ. 
 
 
මංගල හැම වෙලාවෙම තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී හිටියා පමණක් නොව, ඒ නිසාම තමන්ගේ වෘත්තීය අයිතීන් පවා අහිමි කරගත් මනුෂ්‍යයෙක්. 
 
ඔහු සිය ජීවිතේ ගෙවා දැමු අවුරුදු 65 කියන්නේ එක්තරා යුග පරාසයක්. ඒ, ඔහු ජීවිතයට වඩා විශාල ( Larger than life ) මිනිසෙකු වූ නිසා. ඔහුට පමණක් නොවේ අපටත් එහි වටිනාකම ඇතැම් විට අතිශයෝක්තියක් තරමට විශාලනය වී පෙනෙන්නෙත් ඒ නිසාම වන්නට ඇතැයි මම විස්වාස කරමි.
 
මංගල විෂයෙහි මතකයෙන් බැහැර කළ නොහැකි අත්දැකීම් ගණනාවක් මගේ මතක ගබඩාවේ තැන්පත්ව තිබුනත්, ඉන් එකකට එකක් අනුබද්ද සිද්ධීන් තුනක් පමණක් මේ මොහොතේ මම සටහන් කරන්නට තෝරා ගන්නවා. 
 
ජාතික රූපවාහිනිය රජයේ ප්‍රධානතම මාධ්‍ය ආයතනය නිසා එහි මුල් පුටුව වෙනුවෙන් සාමාන්‍ය සම්ප්‍රදායට අනුව යමෙක් තෝරා පත්කරන්නේ බලයේ සිටින රජය නියෝජනය වන පරිද්දෙන් ඔවුන් ගේ දේශපාලන මෙහෙයුම් දියත් කිරීම සඳහා උරදිය හැකි විශ්වාසවන්ත සගයෙක් මිස, ජනමාධ්‍යයේ උන්නතිය උදෙසා මෙහෙයක්‌ කළ හැකි විද්‍යාර්ථයෙක් නොවේ.
 
 ශ්‍රී ලoකා ජාතික රූපවාහිනී සoස්ථා පනත වූ 1982 අoක 6 දරණ කෙටුම්පත තුල ආයතන ප්‍රධානියා වශයෙන් එකී තනතුරුභාවය කෙටුම්පත් වී ඇත්තෙත් එලෙසින්මයි. 
 
එනම්, නිලයට අදාළ නිශ්චිත සුදුසුකම් සපුරාලුව ද ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් නිර්දේශ කරන ලද පුද්ගලයෙක් සඳහා සෘජුවම රටේ පළමු හා දෙවන පුරවැසියන්ගේ එකඟතාවය හා අනුමැතිය ලැබීම අනිවාර්යකොට තිබීමෙන්. එනිසා, එකී තනතුර පැහැදිලි වශයෙන්ම දේශපාලන පත්වීමක් බවට පත්වෙනවා. 
 
ඒ නිසාවෙන්, මෙකී තනතුරුභාවයට හිමි ප්‍රධාන කාර්‍යභාරයන් අතර, රජයට පක්ෂපාතීව කටයුතු කිරීම, පවතින රජයේ දේශපාලන මෙහෙයුම් දියත් කිරීම, රජයේ කාර්‍යභාරය ජනතාව වෙත සාධනීය ලෙස සන්නිවේදනය කිරීම ආදී දේශපාලන කර්තව්‍යයන් මාලාවක් ඉටු කිරීම අනියමාර්ථයෙන් හැඟවෙන රාජකාරීමය වගකීම් ලෙස පිළිගැනෙනවා. 
 
මෙවැනි පසුබිමක් තුල, මම කිසිසේත් අපේක්ෂා නොකළ පරිද්දෙන් මගේ පත්වීම් ලිපිය අතට පත්කරමින් මංගල මා වෙත භාරකලේ ඊට හාත්පසින් වෙනස් වගකීමක්. එය මoගල සමරවීර නැමැති ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයාගේම වදන් වලින්ම ඉදිරිපත් කරනවා නම්, 
 
  
“ඉනෝකා, මම ඔයාව මේ තනතුරට තෝරාගන්නේ ඔයා මේ විෂයපථය හොඳින් හඳුනාගත්, මේ විෂයපථය ගැන අත්දැකීම් හා අවබෝධයක් ඇති කෙනෙක් නිසායි. රූපවාහිනී සංස්ථාව කියන්නේ ඕනෑම රජයක දේශපාලන හොරනෑවක් බව අපි කවුරුත් දන්නවා. ජාතික රූපවාහිනිය දැනටමත් බරපතල ලෙස කඩා වැටුණු ආයතනයක්. ඒත් එතනට ගිහිල්ලා ආයතනය ගොඩගන්න උත්සහ කරන්න එපා. මොකද ඒක එහෙම ලේසියෙන් ගොඩදාන්න පුළුවන් තැනක් නොවන නිසා, නිකo ඔයාගේ මහන්සිය අපතේ යවන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ජාතික රූපවාහිනිය කියන්නේ එහි සේවය කරන සේවකයින් 1,200 හෝ එහි තියෙන කාර්මික මෙවලම් හෝ ගොඩනැගිලි ටික නොවේ. ජාතික රූපවාහිනිය කියන්නේ ජාතික මට්ටමින් මේ රටේ මිලියන ගණනක් බාල -මහළු -වැඩිහිටි -තරුණ ජනතාවගේ සන්නිවේදන අයිතිවාසිකමක්. ඒ නිසා ආණ්ඩුවේ propaganda ටික ඔයා ලවා කරවාගන්න නෙවෙයි මම ඔයාව එතනට යවන්නේ. ඒක කරවන්න මට ඔයා වගේ කෙනෙක් පත්කරනවට වඩා පත්කරන්න තව ඕනෑතරම් මිනිස්සු මාගාව ඉන්නවා. විශේෂයෙන් කාන්තාවක් මේ තනතුරට ඉතිහාසේ පලවෙනි වතාවට පත්කරන්න තීරණය කලේ, හොර, බොරු, වාoචා නැතුව, පවරන වගකීම හරියට ඉෂ්ඨ කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ නිසා, ඒ වෙනුවෙන් විශේෂ වගකීමක් ඔයා බාර ගනීවි කියන බලාපොරොත්තුවෙන්. ඒ වගකීම තමයි, අනෙක් නාලිකා වලට සාපේක්ෂව ටෙලිවිෂන් ප්‍රේක්ෂකයින් ජාතික රූපවාහිනිය නැරඹීම අත්හැර දාලා තියෙන වෙලාවක, රජයේ නිළ රුපවාහිනී චැනලය මේ රටේ බහුතරයක් මිනිස්සු බලන නාලිකාවක් බවට පත්කරන්න ඔයාගේ හැකියාව සහ කැපවීම ලබා දෙන්න ඕනේ කියන වගකීම බාරගන්න එක ”. 
 
එය සාමාන්‍ය දේශපාලනඥයෙකුගෙන් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි අන්දමේ ප්‍රකාශයක් වුවත්, මoගල යනු කෙබඳු වර්ගයේ පුද්ගලයෙකුදැයි (ඒවන විටත් මා ඔහු සමග අවස්ථා කිහිපයකදීම සමීපව කටයුතු කිරීමෙන් ) හඳුනාගෙන සිටි නිසාවෙන්, මා හට එකී ආමන්ත්‍රණය පුදුම එලවන සුළු එකක් නොවීය. 
 
ඒ ඉල්ලීම හැකි උපරිමයෙන් ඉෂ්ඨ කිරීම මා වෙත පැවරුණු විශාල අභියෝගයක්‌ වූ අතර, එය සාක්ෂාත් කරගන්නා විට මoගල සිය අමාත්‍ය ධුරය අත්හැර තිබූ අතර, මාද අදාළ තනතුරේ රැඳී නොසිටියේ, නිශ්චිත වර්ශයක්‌ සඳහා සම්මාන උත්සව පවත්වන්නේ එකී වර්ෂය ඉකුත්වීමෙන් පසුව වන නිසාය. 
 
 b45e0d9eff5b85d1f0e96e3f171d1175 L
 
''වසරේ හොඳම නාලිකාව" සම්මානය
 
 
ඒ අනුව, එතෙක් පවත්වනු ලැබූ මෙරට ප්‍රධාන ටෙලිවිෂන් සම්මාන ප්‍රධානෝත්සව දෙකේදීම ප්‍රධාන අoශ සඳහා සම්මාන දිනාගත් නාලිකාව බවට ජාතික රූපවාහිනිය පත්වූ අතර, එහි වඩාත් සුවිශේෂී ජයග්‍රහණය ලෙසින් ඓතිහාසික සලකුණක් තබන්නට හැකි වූයේ, වසරේ විශිෂ්ඨම ටෙලිවිෂන් නාලිකාව ලෙසින් ද ජාතික රූපවාහිනිය අන් සියලු නාලිකා අභිබවා සමානයට පාත්‍ර වීමයි. 
 
එපමණක් නොව, ජාතික නාලිකාව විසින් එකී ජයග්‍රහණය දිනාගනු ලැබුයේ, ඕනෑම ටෙලිවිෂන් සම්මාන ප්‍රධානොත්සවයකදී "වසරේ හොඳම නාලිකාව " සම්මානය වසර පහළොවක ඇවෑමෙන් දිනාගන්නට සමත්වීමෙනි. 
 
 
මේ සිදුවීමෙන් පසුව දා උදෑසන මංගල මා වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා සිටියේ “මම ඔබ කෙරේ තැබූ විශ්වාසය ඒ ආකාරයෙන්ම රැකීම වෙනුවෙන් ඔබට ස්තූති කරන්නයි මම කතාකරන්නේ.. " කියායි. 
 
 
ඇත්තවශයෙන්ම එකී ජයග්‍රහණය පිටුපස ප්‍රධාන බලවේගය වූයේ රූපවාහිනියේ අදාළ කාලපරිචේදය තුල විකාශය වූ වැඩසටහන් නිර්මාණය කළ නිර්මාණකරුවන්ගේ දක්ෂතාවය පමණක් හෝ ඒ මෙහෙයුම පසුපස හිඳිමින් ඊට සහාය හා ධෛර්ය සැපයු මාගේ උත්සහය පමණක් හෝ නොව, ඒ සියල්ල ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික පරිසරය සකස්කර දුන් මoගල සමරවීර නැමැති දේශපාලනීකරණය නොවූ මානව හිතවාදියා හා කළා රසවතා බව මා මෙහිදී සඳහන් කරන්නේ, ඔහුගේ පුර්ණ ආශිර්වාදය හා අවසරය නොමැතිව අප කිසිවෙකුටත් එකී ජයග්‍රහණ දිනා ගැනීම හිතළුවක් පමණක් විය හැකිව තිබු නිසාය. 
 
එවැනි සුවිශේෂී මිනිසුන් විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුල අපට හමුවීම අහම්බයක් පමණක් නොව, කිසියම් අන්දමක ප්‍රාතිහාර්යයක් යැයි මා කිවොත් කිසිවෙකුත් එය අතිශයෝක්තියක් ලෙසින් බැහැරකරනු නොලබනු ඇත්තේ , අප අවට ඇති අවස්ථාවාදී, මජර දේශපාලන සoස්කෘතිය යනු කුමක්දැයි ඔවුන් සැමකෙක්ම හොඳින් අත්දැක ඇති නිසාවෙනි. 
 
 
විනයගරුක බව හා ප්‍රතිපත්තිගරුක බව:
 
 
 මේ සිද්ධීන් දෙකට අනුබද්ධ අවසන් සිද්ධිය වශයෙන් තවත් එවැනිම සුවිශේෂී මතක සටහනක්‌ මේ මොහොතේ මගේ මතකයට නැගෙන්නේ, මoගලගේ ඇමතිකම අභිබවමින් ඉහලට එසවෙන ඔහුගේ විනයගරුක බව හා ප්‍රතිපත්තිගරුක බව පිළිබද ලාoකිය දේශපාලනයට පරමාදර්ශී නියැදියක් ඔහු විසින් එකී සිදුවීම තුලින් එක්කනු ලැබූ බවට මා විස්වාස කරන නිසාය. 
 
ජාතික රූපවහිනිය තුල මාගේ පාලන සමය තුලදී මා පරිපාලනමය හෝ නෛතික ක්‍රියා පටිපාටීන් අකුරට පිළිපදින්නට උත්සුක වූ නිසාම, මා තනතුර හැරදා ගිය පසුත් ආයතනයේ නිලධාරීන් සේම සේවකයින්ද නිරන්තරයෙන් මා අමතා දුක් සැප විමසන මට්ටමේ පසුබිමක්‌ මා ඉතිරි කළ බව මෙහිදී පවසන්නේ, එකී පිළිවෙත මේ සිදුවීමට පැහැදිලි අන්තර්සම්බන්දතාවයක්‌ පවත්නා බැවිනි. 
 
එසේම, මාගේ නිළ කාලපරිචේදය පුරාම කිසිඳුලෙසකින් රාජකාරිමය ව්‍යුහය අතික්‍රමනය කරන්නා වූ දේශපාලන ඉල්ලීම් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඔහු විසින් සිදුකර නොමැති අතර, එක්තරා නිශ්චිත අවස්ථාවකදී පමණක් මoගල මා දුරකථනයෙන් අමතා පැවසුවේ, " ඉනෝකා, හේෂා විතාන කියන තරුණ මන්ත්‍රීවරයා ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරල තියෙනවා. ඒකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙත් හේෂා මයි. මේ ටෙලි නාට්‍යයට මොකක් හරි සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා ඔයා බලන්න . මම දැන් හේෂාව ඔයාව මුනගැහෙන්න එවනවා " යනුවෙනි. 
 
ඒ අනුව, මා හමුවට පැමිණි මන්ත්‍රීවරයා හමුවේ මා කාරුණිකව පැහැදිලි කර දුන්නේ, ටෙලි නාට්‍ය විකාශය සඳහා අනුමැතිය ලබා දෙන නියමිත ක්‍රමවේදයට අනුව ඒ කටයුත්ත කළ යුතු බවයි. නිහතමානී ලෙස ඒ දැනුවත්කිරීම පිළිගත් මන්ත්‍රීවරයා, ඒ සඳහා නියමිත පරිදී පෝරම පුරවා ටෙලිනාට්‍ය සමීක්ෂණය සඳහා නියමිත මුදල් ගෙවීම්ද කිරීමෙන් පසු පිටව ගියේ අදාළ ක්‍රමවේදය තුලින් ඔහුගේ නිර්මාණයට අනුමැතිය හිමිවේය යන බලාපොරොත්තුවෙනි. 
 
පසුව අදාළ ටෙලි නාට්‍යය සමීක්ෂණ කමිටුව වෙත යොමු කළ මුත්, එය කමිටුවෙන් අසමත් වූයේ මා ද අපහසුතාවයට පත්කරමිනි. දෙවන වරටත් ඈපලක් දැම්මට හේෂා මන්ත්‍රීවරයා තවදුරටත් ඉදිරිපත් වූ මුත්, දෙවන උත්සාහයත් ව්‍යර්ථ වූයේ රූපවාහිනී නිර්මාණ ප්‍රදර්ශන පටිපාටිය යටතේ විකාශයට අනුමැතිය ලැබීම සඳහා ප්‍රමාණවත් ලකුණු සoක්‍යාව නොලැබීයාමේ ප්‍රතිපලයක් වශයෙනි. 
 
ඒ බව ඇමතිතුමාට පමණක් නොව අදාළ මන්ත්‍රීවරයාට පවා සන්නිවේදනය කිරීමට මා තුල කිසියම් චකිතයක් වූ නිසා, මා අවසන් ප්‍රතිපලය ඔවුන් හමුවේ ප්‍රකාශ කරන්නේ කෙසේදැයි විචිකිච්චාවෙන් පසුවූ මොහොතක, අමාත්‍යංශ දුරකථන අoකයකින් මාගේ ජoගම දුරකථනය වෙත දිනක් ඇමතුමක් ලැබුනේ, මoගල සමරවීර ඇමතිතුමා ඇමතුමේ එහා කොනේ සිට මා අමතමිනි. 
 
"ඉනෝකා, මම මංගල. මෙතන මා එක්ක ඉන්නවා හේෂා. මොකද්ද ටෙලිඩ්‍රාමා එකේ තත්වේ? " මා සැබෑ තත්වය ඔහුට පැහැදිලි කරන්නට උත්සාහයක නිරත වෙමින් වචන ගලපන්නට කිසියම් ආයාසයක් දරද්දී, මගේ පැහැදිලිකිරීම සන්සුන් ලෙස ඇමතිවරයා අසාසිටියේ අතරින් පතර තත්වය වඩාත් පැහැදිලි කරගනු පිණිස අතුරු ප්‍රශ්නයක් හෝ දෙකක් පමණක් මතුකරමිනි. 
අවසානයේ සියල්ල සාවධානව අසාහිඳීමෙන් පසු සිය කටහඩ අවදිකරමින් " මට තේරෙනවා. මම මන්ත්‍රීතුමාට පැහැදිලි කරන්නම් මෙතන තියෙන procedure එක මොකද්ද කියලා"  ඒ,රටේ මාධ්‍යය පිළිබද පූර්ණ රාජ්‍ය බලතල අත මිටමොලවාගත් නිසි බලධාරියාගේ  ප්‍රතිචාරය වූ අතර, මාගේ තීන්දුවට එරෙහිව ඒ මොහොතේ හෝ ඉන් අනතුරුව ඔහුගෙන් ප්‍රකාශිතව හෝ අප්‍රකාෂිතව කිසිඳු බලපෑමක්‌ ඊට එල්ල නොවූ බව මා මෙහිදී සඳහන් කරන්නේ කෘතඥතාවය ඉක්මවාගිය ගෞරවයකින් හා භක්තියකිනි. 
 
මන්ද එදා මෙදා තුර විවිද දේශපාලන අධිකාරීන් යටතේ සෑම කාලෙකදීම සිදු වූයේ ඊට හාත්පසින්ම විරුද්ධ වූ තත්වයක් බව, සාමාන්‍ය සිවිල් වැසියන් වශයෙන් වුව අප සාක්‍ෂි සහිතව තොරතුරු දන්නා බැවිනි. 
 
විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන එදා මෙදා තුර මෙහෙය වූයේ සහ තවදුරටත් මෙහෙය වන්නේ, පාලනයේ රැඳී ඉන්නා පිරිසගේ දේශපාලන හිතවාදීකම් සපුරාලීම සඳහා සේම,  බොහෝ විට අතයට ගණුදෙනු මුල්කරගෙන බව දන්නෝ දනිති. 
 
එවන් පසුබිමක, තම පක්‍ෂයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ක්‍රමවේදය අතික්‍රමණය කරමින් මා වෙත වාචික නියෝගයක් නිකුත් කිරීමේ හැකියාව ඒ මොහොතේ ඔහු වෙත නොතිබුනා නොවේ. එහෙත් එසේ නොකිරීම, මoගල සමරවීර නම් වෙස් මුහුණක් නඩත්තු නොකළ දේශපාලනඥගේ පිළිවෙත වීය. 
 
  
පසුගිය මහ මැතිවරණයෙදී දේශපාලන පොර පිටියෙන් ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගන්නට තීරණය කරන්නේ ද ඒ දේශපාලන වාසියට වඩා සිය හෘද සාක්ෂියට මුල්තැන දුන් මoගල නම් දැවැන්තයාමය. 
 
 
 
 
මෙවන් අව්‍යාජ දේශපාලනඥයින් මේ භූමියෙන් වියැකී යාමේ පාඩුව දරන්නට වන්නේ ඔහුගේ දේශපාලන හිතවාදීන්ට හෝ පාක්ෂිකයින්ට පමණක් නොව, සමස්ථ රටේ ජනතාවටම බව අපට පිළිගන්නට වන්නේ ඒ හෙයිනි. 
 
දුෂණය ආර්ථික පිළිවෙත බවට පත්කරගත්, භීෂණය රටේ නිළ නොවන නීති පද්ධතිය බවට පත් කරගත්, අයුතු මැදිහත් වීම හා බලහත්කාරය රටේ පරිපාලනය බවට පත්කරගත් දේශපාලන දරිද්‍රතාවයෙන් පිරුණු අධිපති දේශපාලනයක් රජයන භූමියක, ඍජු කශේරුකාවක්, හෘද සාක්‍ෂියක් හා දේශපාලන විනයක් සහිත එවන් මිනිසුන් ජාතියට අහිමි වීම යනු, මෙරට යහපත් දේශපාලන සoස්කෘතියක් අපේක්‍ෂා කරන ජනතාවගේ අවසන් බලාපොරොත්තුවත් වියැකී යාමක්‌ නොවේද? " 
 
 
 
image 5f8c898667(ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද)
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා -
ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිනි 
 
(උපුටා ගැනීම - "සමබිම" පුවත්පතින්..)
 
 
 
 
 
 

1- මංගල මතක - සමුඅරන් මාසයක් 
 
 
2- මංගල මතක - මහරජ මංගල වස්ති
 
 
3- මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්නනම්...
 
 
4- මිනිසකුගේ ලිංගිකත්වය කුමක් වුවද ....
 
 
5- අද අපට අවශ්‍ය ආදේශකයක් නෙමෙයි විකල්පයක්...
 
 
6- පරණ තැටි ප්ලේ කරලා වැඩක් නැහැ..
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්