1200 x 80 DMirror
 
 

ලාංකීය සාහිත්‍ය විචාරයේ අතීතය දෙස එබී බලන ඇතැම් අය ‘‘දැන් තියෙන්නෙ පිට කසා ගැනීම්’’ යැයි පවසති. තවත් සමහරු ‘‘එයාගෙ/එයාලගෙ විචාරය කල්ලිවාදියි.’’ යැයි පවසති. ඒ අතර තවත් සමහරු ‘‘ඔය කරන්නෙ

වෙන මොනවත් නෙවෙයි. ගුරුකුලවාදය තව දුරටත් රැකගැනීම.’’ යැයි පවසති. ‘‘ඔය විචාර ඉතිං කියල ලියවගන්න ඒව නෙ.’’ යන චෝදනා එල්ල කරන පිරිස් ද සිටිති.

වසර ගණනාවක සිට ක්ෂේත්‍රයේ සැරිසරන්නකු ලෙස මේ සම්බන්ධයෙන් මට පැවසිය හැකි එකම දෙය නම් ‘‘ඔය චෝදනා සියල්ල සාපේක්ෂයි.’’ යන්න ය. එසේ වන්නේ කෙසේ ද යන්න මතු ලියවෙන දෑ කියවූ විට ඔබට පසක් වනු ඇතැයි මම විශ්වාස කරමි.

සාහිත්‍ය ක්ෂේත්‍රයේ මතු නොව සියලු කලා ක්ෂේත්‍ර තුළ දක්නට ලැබෙන මෙම තත්ත්ව සත්‍ය ද, අසත්‍ය ද? විචාර සම්බන්ධයෙන් එසේ පැවසීම සාධාරණ ද, අසාධාරණ ද? යනාදි මෙවන් ගැටලු සියල්ල පිළිබඳව මැදහත් ලෙස විමසිය යුතු ය; සිතිය යුතු ය.

ඒ අනුව මෙම ලිපියෙන් කිසියම් ලේඛකයකු, ලේඛිකාවක හෝ විචාර භූමිකාවේ යෙදී සිටින කිසිදු පුද්ගලයෙකු පිළිබඳ ඍණාත්මක ආකල්පයක් සමාජ ගත කිරීමට යත්න නොදරන බව පළමුවෙන් ම පැවසිය යුතු ය. මන්ද මෙම ලියවිල්ලේ දී මම පුද්ගලිකව අත්විඳි දෑ ද සඳහන් කරන්නට යෙදෙන බැවිනි.

ලාංකීය සාහිත්‍ය කලා විචාර ඉතිහාසය පිළිබඳ ලිපියක් පළ කරන ‘විප්ලවවාදී ශිෂ්‍ය සංගමය’’ ඔවුන්ගේ මධ්‍යම පුවත්පත යැයි හඳුන්වන ‘ගිනි සිළුව’ පුවත්පතේ මෙලෙස සටහන් කරයි.


‘‘ලංකාවේ කලා විචාරය පිළිබඳ සංවාදය ගොඩනැගෙන්නේ 1900 මුල භාගයේදීය. ලංකාවට අදාළව කලාව සංවාදය 20 සියවසේ මුලදී ආනන්ද කුමාරස්වාමිගෙන් ආරම්භ වේ. ඔහුගේ සාකච්ඡාව වර්ධනය කරමින් හා ඔහුට ප්‍රතිපක්ෂව මාර්ටිං වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර පැමිණේ. ඉන් අනතුරුව එදිරිවීර සරච්චන්ද්‍ර, සරච්චන්ද්‍රගේ මතවාදවලට ප්‍රතිපක්ෂව ඒ.වී. සුරවීර ද අනතුරුව සයිමන් නවගත්තේගම ආදීන් විවර කළ සංවාදය මහාචාර්ය සුචරිත ගම්ලත් සහ පියසීලී විජේගුණසිංහ විවේචනය කරමින් ඉදිරියට රැගෙන ආවේය. සමකාලීන කලාව පිළිබඳ  සංවාදය දීප්ති කුමාර ගුණරත්න, සමන් වික්‍රම ආරච්චි, ලියනගේ අමරකීර්ති සහ එරික් ඉලයප්පාරච්චි යන අය විසින් ගොඩනගමින් සිටී.’’



ගිනිසිළුව: 2018: දෙසැම්බර්


KK saman 2021 1කේ. කේ. සමන් කුමාර,  ජස්ටින් පියරත්න, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, මහාචාර්ය සාලිය කුලරත්න,  මහේෂ් හපුගොඩ, කැතලින් ජයවර්ධන


ගිනිසිළුව පුවත්පතේ මෙය පළවන්නේ මීට තෙවසරකට පෙර ය. වර්තමානයේ වසර තුනක් යනු ද මිනිස් ජීවිතයට සම්බන්ධ සියලු ක්ෂේත්‍රවල සැලකිය යුතු වෙනසක් ඇති කෙරෙන කාල සීමාවකි.

එසේ වුව ද 2018 වන විට යට නම් සඳහන් පිරිසට අමතරව: කේ. කේ. සමන් කුමාර, ජස්ටින් පියරත්න, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, මහාචාර්ය සාලිය කුලරත්න, මහේෂ් හපුගොඩ සහ කැතලින් ජයවර්ධන යන අය ද විචාර භූමිකාවට අවතීර්ණ වී සිටියහ. 

නමුදු ‘ගිනිසිළුව’ පුවත්පතට ලිපිය සැපයූ ලේඛකයාට හෝ ලේඛිකාවට එකී නම් අමතකව ගොස් ඇත. මගේ අදහසට අනුව නම් එය අදාළ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ වරදක් නොව සමාජය විසින් ඔවුන් මත පටවන ලද කිසියම් ආකල්පයක ප්‍රතිඵලයකි.

fgdfgfgඩිල්ෂානි චතුරිකා දාබරේ -  හංසිනි කාවින්දි - සුදර්ශන සමරවීරගේ


මෑත යුගයේ විචාර භූමිකාවට අවතීර්ණ වී සිටින පිරිස පිළිබඳව ද අපගේ අවධානය යොමු විය යුතු ය. මතු නම් සඳහන් කරන ඇතැම් අය ආයතනගත අධ්‍යාපනයක් නොලද්දේ වුව ද ඔවුන් පොත-පත කියවීමෙන් ලද අත්දැකීම් තුළින් කිසියම් කලා කෘතියක් විනිවිද දකින්නට දක්ෂතා පෙන්වන පිරිසකි.

ඒ අතුරෙන් මෑතක වඩාත් ඉදිරියෙන් සිටින සාහිත්‍ය විචාරිකාවක ලෙස ඩිල්ෂානි චතුරිකා දාබරේ හැඳින්විය හැකි ය. දෙවනුව හංසිනි කාවින්දි මෑතක සිට ඇය කියවූ කෘති (සාහිත්‍ය පමණක් ම නොව) සම්බන්ධයෙන් ඇයට දැනෙන දෑ ඉතා රසවත්ව ලියා ඇත. සුදර්ශන සමරවීරගේ විචාර භූමිකාව ද මෙතෙක් පැවති විචාර ක්‍රමවේදය අභිභවන තත්ත්වයක පවතින අතර රශ්මික මණ්ඩාවලගේ විචාර ක්‍රමවේදය ද නව්‍ය සංකපල්ප සමාජගත කිරීමෙහි ලා බොහෝ සෙයින් දායක වන බව දක්නට ලැබිණ.
 

මේ පිරිසට අමතරව පොත් ජනගත කිරීමේ අවස්ථාවල දී දේශන සඳහා ආරාධනා ලබන කිහිප පොළක් ද සිටිති. ඔවුන් ද අදාළ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ නිල විචාරයක් නොවුණ ද අදාළ කෘතිය කියවා තමා විඳි දෑ තමාගේ දැක්මෙන් ඉදිරිපත් කිරීම ය. එය ද එක්තරා ආකාරයක විචාර ක්‍රමයකි. මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස මහාචාර්ය සමන්චන්ද්‍රනාත් විසින් පවත්වනු ලබන එවන් දේශන හැඳින්විය හැකි ය.  ඔහු එහි දී ‘‘විචාරය’’ නමැති මාතෘකාව නොපැවසුව ද ඔහුගේ දේශන තුළ අන්තර්ගතවන්නේ විචාරකයකු සතු වගකීම් බව මට හැඟේ.



sannaමෙහි දී සිහිපත් කළ යුතු තවත් පුද්ගලයෙකු වන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ය. ඔහු ද තමන් කරන දේශනය තුළ අදාළ නිර්මාණය විචාරයට මතු නොව විවේචනයට ද බඳුන් කරන අවස්ථා ඔබ අසා ඇතුවාට සැක නැත. මෑතක දී මා ඇසු දුටු එවන් අවස්ථාවල දී ඍජුව ම කෘතිය සම්බන්ධ කරගනිමින් එහි අන්තර්ගත සමාජ, ආර්ථික, දේශපාලනික සහ වෙනත් ලක්ෂණ පිළිබඳව ඍජු අදහස් දැක්වූ තවත් පුද්ගලයෙකු ලෙස ට්‍රෝයි මහමොහොට්ටාල ද හැඳින්විය යුතු ම ය. මන්ද ඔහු අදාළ දේශනයට ප්‍රවේශ වන්නේ යට සඳහන් කළ කරුණු සහ කෘතිය අතර පවත්නා සබඳතාව පිළිබද මනා අවබෝධයකිනි.

මාතෘකාවට අදාළ වියමන දිගහැරීමට පෙර මේ කෙටි සටහන ලියූවේ ලිපියේ මුඛ්‍ය අරමුණ කරා ප්‍රවේශ වීමට එය ආධාරකයක් වන බැවිනි. දැන් අදාළ වියමන ආරම්භ කරමු.



විචාරක භූමිකාව පමණක් නොපැවතීම:

යට සඳහන් කළ නාම ලේඛනයේ සිටින බහුතරයක් දෙනා  හුදු විචාරකයන් පමණක් ම නොවේ. ඔවුන් අතර සම්මානනීය ප්‍රබන්ධ ලේඛකයෝ, ලේඛිකාවෝ, කවියෝ මෙන් ම දේශපාලන විශ්ලේෂකයෝ ද සිටිති. මේ එක් එක් අයගේ නිර්මාණ සම්බන්ධයෙන් අනෙකා තම තමන්ගේ අදහස් ඉදිරිපත් කර ඇත.

තවත් සරලව පවසන්නේ නම් මේ බහුතරයක් දෙනා සාහිත්‍ය නිර්මාණ භූමිකාවේ නියැළී සිටින අතර ම තවත් එවන් පුද්ගලයකුගේ සාහිත්‍ය නිර්මාණ පිළිබද විචාර කර්තව්‍යක හෝ විවේචනයක යෙදෙති. ඒ, සිනමා නිර්මාණ හැර ලංකාවේ නිර්මාණය කෙරෙන කිසිදු සාහිත්‍ය කලා නිර්මාණ ක්ෂේත්‍රයක අදාළ විෂයට පමණක් සම්බන්ධ විචාරක පිරිසක් නොමැති බැවිනි.

මා එසේ සඳහන් කළේ සාහිත්‍ය නිර්මාණ පිළිබද විචාර හෝ විවේචන ලියන පිරිසට සාපේක්ෂව සිනමා නිර්මාණ පිළිබඳ විචාර භූමිකාවේ නියැළී සිටින බොහෝ පිරිස් සිනමා අධ්‍යක්ෂකවරු හෝ නිෂ්පාදකවරු නොවන බැවිනි. එබඳු අය සිටින්නේ නම් ඒ එක් අතක ඇඟලි ප්‍රමාණයට ද අඩුවෙනි. ඒ අනුව ඔවුන් කිසිවකුගේ හෝ කිසිවකු ඔවුන්ගේ පිට කසනවා යැයි අපිට චෝදනා කළ නොහැකි ය. මන් ද සාහිත්‍ය ක්ෂේත්‍රය දෙස අවධානය යොමු කළ විට දක්නට ලැබෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් තත්ත්වයක් බැවිනි.

piyasiliඑනම් කිසියම් සාහිත්‍ය නිර්මාණයක් පිළිබද ධනාත්මක හෝ ඍණාත්මක විචාරයක යෙදෙන බහුතරයක් දෙනා ද සාහිත්‍ය නිර්මාණකරුවෝ හෝ නිර්මාණකාරියෝ වන බැවිනි. ඉදින් එවන් අය එකිනෙකාගේ කෘති සම්බන්ධයෙන් විචාර ලියන විට එය පිටකසාගැනීම් ලෙස ඔවුනොවුන් ම එකිනෙකාට චෝදනා කිරීම සාධාරණ නොවන බැවිනි.

 
යට නම් සඳහන් බහුතරයක් අතුරෙන් මහාචාර්ය පියසිලි විජේගුණසිංහ සහ තවත් දෙතුන් දෙනෙකු හැරුණ විට අනෙක් සියලු දෙනා ම පාහේ සාහිත්‍ය නිර්මාණකරණයේ නියැළෙන්නෝ වෙති. ඒ එක් එක් පුද්ගලයා අනෙකාගේ කෘතියක් විවවේචනයට හෝ විචාරයට බඳුන් කිරීම හුදෙක් ම පිටකසා ගැනීමක් ද නැද්ද යන්න නිශ්චය කළ නොහැකි ය. මන්ද ඔවුන් කිසිවකු විචාරක විචාරිකාවෝ පමණක් ම නොවන බැවිනි.
 


එසේ නම් ශ්‍රී ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රයේ සිදුවන්නේ ම එකිනෙකාගේ පිට කසා ගැනීම නොවේ ද යන්න කිසිවකු ප්‍රශ්න කළ හැකි ය. එසේ ප්‍රශ්න කිරීම ද සාධාරණ ය. නමුදු එය එසේ නොවේ යැයි කිසිවකු පවසන්නේ නම් එම අදහස ද අපිට බැහැර කළ නොහැකි ය. මන්ද මේ අය අතුරෙන් ඇතැම් අය කිසිදු ඒකපාර්ශවීයභාවයකින් තොරව ඇතැම් අයගේ නිර්මාණ විචාරයට ලක් කර ඇතුවා මෙන් ම විවේචනයට ද බඳුන් කර ඇත.



මෙය උභතෝකෝටික ප්‍රශ්නයක් යැයි දැන් ඔබ සිතනවා නොඅනුමා න ය. ඔවු... එය එසේ විය යුතු ය. ඒ අන් කිසිවක් නිසා නොව පෙර සදහන් කළ පරිදි ලාංකිය සාහිත්‍ය ක්ෂේත්‍රයේ විචාර කාර්යයේ පමණක් නියැළෙන අය නොසිටින බැවිනි. ඔවුන් බහුතරයක් ම සාහිත්‍ය නිර්මාණකරුවෝ ය; ප්‍රකාශකයෝ ය; ගුරු සිසු සබඳතා පවත්වන්නෝ ය; ඥාති සබඳතා ඇත්තෝ ය. එකම ක්ෂේත්‍රයේ නියැළෙන්නෝ ය; අනෙකාගේ සිත රිදෙතැයි බියෙන් සිටින්නෝ ය; අනෙකාගේ සිත රිදුණ හොත් තමාට අවාසියක් වෙතැයි විශ්වාස කරන්නෝ ය.

ඉදින් එවන් වාතාවරණයක් තුළ සාහිත්‍ය ක්ෂේත්‍ර යේ නියැළෙන බහුතරයක් අය කරන්නේ අනෙකාගේ පිට කසන අතර තමාගේ පිට ද අනෙකා ලවා කසවා ගැනීම නොවේ යැයි කිව හැක්කේ කෙසේ ද?


උදාහරණ

ලාංකීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නම් දරා සිටින විශිෂ්ට ලේඛකයෙක් ඔහු විසින් ම ලියන ලද කෘතියක් අවර ගණයේ කෘතියක් යැයි නම් කර එය යළි ප්‍රකාශයට පත් නොකරන බවට ද සපථ කර සිටින බව සාහිත්‍ය ක්ෂේත්‍රයේ සිටින බොහෝ පිරිස් දන්නා කරුණකි.

නමුදු මෙම කෘතිය පිළිබද එකල ප්‍රබල මහාචාර්යවරයෙක් (ඔහු දැනට ජිවතුන් අතර නැත) ඇගයීමක් කර තිබිණ. පසු කලෙක අදාළ ලේඛකයා ඔහුගේ ම කෘතිය අවර ගණයේ කෘතියක් යැයි සඳහන් කරමින් එය ප්‍රතික්ෂේප කළ පසු ඒ සම්බන්ධයෙන් අදාළ මහාචාර්යවරයාගෙන් විමසූ විට ඔහු පවසා තිබුණේ කුමක් ද? ‘‘නෑ ඉතිං එයා ඒ කාලෙ ක්ෂේත්‍රයට ආපු අලුත ම නෙ. එහෙම කෙනෙක් අධෛර්යට පත්කරන්න හොඳ නැහැ නෙ. ඒකයි මම ඒ කෘතිය ගැන විවේචනය නොකරෙ.’’ යනුවෙනි. කෘතියක් ඇගයීමට ලක් කළ මහාචාර්යවරයෙකු ම අදාළ කෘතිය, ලේඛකයා හෝ ලේඛිකාව සම්බන්ධයෙන් පසු කළෙක එසේ පවසන්නේ නම් වර්තමානයේ එකිනෙකා ඔවුනොවුන්ගේ පිටවල් කසනවා යැයි චෝදනා කිරීම කෙතරම් විහිළුවක් ද?

මීට වසර පහ හයකට පෙර නිකුත් වූ මහාචාර්යවරයෙකුගේ එක්තරා සාහිත්‍ය ප්‍රබන්ධයක් පිළිබඳ එවකට සිටි තවත් ආචාර්යවරයෙක් ප්‍රධාන දහරාවේ විකල්ප පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබිණ. වර්තමානයේ මහාචාර්ය ධුරයක් දරන මොහුට තම මහාචාර්ය ධුරයට අදාළව ඉදිරිපත් කරන නිබන්ධනය සඳහා උපදෙස් ලබා දුන්නේ ද, ඔහුට මග කියා දුන්නේ ද, එය අනුමත කළේ ද එම කෘතිය ලියූ ලේඛක මහාචාර්යවරයා ම ය.  අදාළ ලේඛක මහාචාර්වරයා සමග ගුරු ශිෂ්‍ය සම්බන්ධය පවත්වන සමයේ දී මෙම පුද්ගලයා මෙරට ජනප්‍රිය ම සම්මාන උළෙලක උත්තරීතර විනිශ්චය මණ්ඩලය නියෝජනය කළ අතර එම වසරේ මෙකී මහාචාර්යවරයාගේ කෘතියට අදාළ සම්මානය ද ලැබිණ.

නමුදු මගේ කියවීමට අනුව සම්මානයට පාත්‍ර වු කෘතියට වඩා විශිෂ්ට කෘතියක් එවර අවසන් වටයට පැමිණ තිබිණ. ඉදින් මෙය පිට කසාගැනීමක් හෝ කස්සවාගැනීමක් නොවන්නේ ද?  හාස්‍යයට කරුණ වන්නේ මෙවන් ආචාර්ය මහාචාර්යවරු ම නූතන පරපුරේ ලේඛක ලේඛිකාවන්ට ‘‘උන් කරන්නෙ එකිනෙකාගේ පිට කසන එක’’ යැයි අභූත චෝදනා කිරීම ය.
 


කිසියම් ආයතනයක ප්‍රධාන තනතුරක් දරන පුද්ගලයෙකු එම ආයතනය විසින් සංවිධානය කරනු ලබන කිසියම් සාහිත්‍ය සම්මාන උළෙලකට ඔහුගේ හෝ ඇයගේ කෘතිය ඉදිරිපත් කිරීම සදාචාරාත්මක නැත. යම් ආකාරයකින් ඔහු හෝ ඇය නොදැනුවත්ව ඉදිරිපත් කර තිබුණේ නම් කළ යුත්තේ අදාළ කෘතිය ඉවත් කරවා ගැනීම හෝ අදාළ තනතුරෙන් ඉල්ලා අස්වීම ය. නමුත් ලංකාවේ එසේ වන්නේ නැත. 1998 වසරේ පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී හොඳම පරිවර්තනයට හිමි සම්මානය හිමිවන්නේ මෙවන් පසුබිමක් සහිත කෘතියකට ය.



අදාළ කෘතිය ද රසවිඳිය හැකි කෘතියක් බව ද මෙහි දී සදහන් කළ යුතු ය. නමුදු එම වසරේ සම්මානය ලද කෘතියට වඩා විශ්ට පරිවර්තන කෘතියක් තිබිණ. එසේ තිබිය දී මා මේ සඳහන් කෘතියට සම්මානය හිමිවීම එක්තරා ආකාරයක පිට කසාගැනීමක් හෝ කස්සවා ගැනීමක් නොවන්නේ යැයි පැවසිය හැකි ද?
 

නූතන තත්ත්වය

එදා සිට අද දක්වා ම මේ පිට කසවාගැනීම් විවිධාකාරයෙන් සිදුවන බව නොරහසකි. නූතනයේ සමාජ මාධ්‍ය තුළ මෙය බොහෝ සෙයින් දක්නට ඇත. ඇතැම් අය ඇතැමෙකුගේ කෘතියක් නිකුත් වූ සැණින් ඒ පිළිබඳ ‘විචාර’ යැයි හදුන්වමින් ‘විකාර’ ලියති.

ඇතැම් ලේඛකයෝ සහ ලේඛිකාවෝ තවකෙකු සමග සාකච්ඡා කර අදාළ පුද්ගලයා ලියූ බව සඳහන් විචාර ඒ ඒ පුද්ගලයන්ගේ නමින් FaceBookහි පළ කරති.

තවත් සමහරු විවිධ නම්වලින් ව්‍යාජ FaceBook ගිණුම් අරඹා ඒ ඒ ගිණුම් හිමිකරුගේ හෝ හිමිකාරියගේ නමෙන් විවිධ අදහස් පළ කරති. තවත් පිරිස් ඉතා විසුළු සහගත ආකාරයේ ප්‍රචාරක ක්‍රම ද අනුගමනය කරති. ඉන් එකක් පමණක් සඳහන් කරන්නට අවසර.

එක්තරා නවක ලේඛකයෙක් ඔහුගේ කෘතිය විදෙස් රටවල් බොහොමයක වෙසෙන පිරිස් ගෙන්වාගත් බවට සඳහන් පෝස්ටු පළ කළේ අදාළ රටේ විශේෂිත ස්ථානයක් පසුබිමෙහි තබා කිසිවකුගේ අතින් එම පොත අල්ලාගෙන සිටින ඡායාරුපයක් ද සහිතව ය. නමුදු ඔහුට වැරදී ඇති බව මෙය කියවන තුරු ම ඔහු නොදන්නවා විය හැකි ය. එනම් එසේ පොත අල්ලාගෙන සිටියේ එකම අතකින් බව ය. එය වඩාත් පැහැදිලි වූයේ අදාළ අතේ පැලඳි අත් ඔරලෝසුවයි. රටවල් කිහිපයක විශේෂිත ස්ථාන පසුබිමෙහි තබා ඡායාරුප ගත්ත ද මෙම ලේඛකයාට තම අතේ පැලඳි ඔරලෝසුව මාරු කරන්නට අමතක වි තිබිණ. මෙය ද එක්තරා ආකාරයක අවිහිංසක පිටකසා ගැනීමක් නොවන්නේ ද?



අවසන් නිගමනය:


තමන්ගේ නිර්මාණය විවිධ පුද්ගලයන්ගේ ඇගයීමට ලක්වන්නේ නම්, විශේෂයෙන් ම සිවිල් බලයක් සහිත පුද්ගලයෙකකුගේ ඇගයීමට ලක්වන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන කිසිවෙකු ඇතැයි විශ්වාස කළ නොහැකි ය. එය පෘතග්ජන පුද්ගලයෙකුගේ සාමාන්‍ය තත්ත්වයකි. නමුදු අවාසනාවන්ත තත්ත්වය වන්නේ තමන් එවන් දෑ කරන අතර ම අනෙකාට ඔවුන් එසේ කරන්නේ යැයි පවසා අවමන් කිරීම ය; අපහාසයට උපහාසයට ලක් කිරීම ය.



මෙම තත්ත්වය වළකාලීමට නම් කළ යුත්තේ කුමක් ද යන්න දැන් නැගෙන පැනය යි. මගේ අත්දැකීම්වලට අනුව නම් එයට ස්ථිර විසඳුමක් නැත. මන්ද අපේ රටේ සාහිත්‍ය විචාර භූමිකාව පමණක් නියෝජනය කරන පිරිසක් නොමැති බැවිනි. එවන් තත්ත්වයක් තුළ කිසිවකු කිසිවකුගේ පිට කැසුව ද, නොකැසුව ද, කසවා නොගත්ත ද එය එසේ යැයි විශ්වාස කළ නොහැකි තත්ත්වයක් පවතී.

එවන් තත්ත්වයක් තුළ එකිනෙකාගේ පිට කස්සවා ගැනීම හොඳ ද නරක ද යන්න පිළිබඳ නිශ්චිත විනිශ්චයකට එළඹිය නොහැකි ය. කළ යුතු වන්නේ තම තමන්ගේ බින්න රුචිකත්වයට අනුව කියවීම ය; විඳීම ය. මන්ද දැන් වසර කිහිපයක සිට මහා පරිමාණයෙන් ඇගයුමට ලක් වු බොහෝ සාහිත්‍ය නිර්මාණ ඒ ඇගයුම් තරමට ම නොවටිනා අතර නුදුරේ දී ද මෙම තත්ත්වය මේ ආකාරයට ම සිදුවීමට නියමිත බව සක් සුදක් සේ පැහැදිලි ය.

 


jayasiri 04 e1619629387941.jpgජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2021/11/13


 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58