ගිය සතියේ බ්‍රහස්පතින්දා සංසරණය වූ “මෙම ලියැවිල්ල අන් අය සමග සංසරණය නොකරන්න. නමුත් අදහස ඔබේ සහෘදයන් සමග සාකච්ඡා කරන්න.” යන වට්ස්ඇප් පණිඩිඩය සමග ජාතික ප්‍රශ්නය විසඳන යෝජනා
මාලාවක්ද විය.

එය සැකසීමේදී එජාප සජබ ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකුද, වෘතිකයන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද සහාය වූ බවද සඳහන් විය.

” ඊට දැක්වුණ ප්‍රතිචාරයක් මෙසේය. එකඟයි. එහෙත් 2024 තවත් විධායක ජනාධිපති කෙනෙකුගේ රහ බලන ව්‍යාපාරයක් නොවිය යුතුවේ. විධායක බලය ව්‍යවස්ථාවට වගකියන ආගම් ආදි වෙනත් කිසිදු බලවේගයකින් පසු නොබසින නාමිකයෙකු අතට පත් කළ යුතුය. ජනතාව දුන් බලය හමුවේ රටම නිවටයන් කළ වරම නිම කිරීම එකම අරමුණ විය යුතුවේ.

ඊට වට්ස්ඇප් හී  පළවූ පිළිතුර මෙසේය.

“මගේ උත්සාහය දේශපාලනඥයන්ගේ අනුමැතිය ලැබෙන, නමුත් සිවිල් වෘත්තිය ව්‍යාපාරයකි. එය සිදුවන්නේ සිවිල් ක්‍රියාකාරිකයන් කෙතරම් ශක්තිමත් වන්නේද යන්න මතයි. දෙවැන්න එජාප හා සජබ දේශපාලන ධාරා එක්තැන් කළ හැකි සිවිල් ක්‍රියාකාරින්ගේ සහභාගිත්වයයි. ............  මෙය අදියරෙන් අදියරට කළ යුතු දෙයක්....අපි කරමු ඔබ පතන දේ”

එජාප-සජබ කණ්ඩායම් එකතුව යනු රාජපක්‍ෂ පාලනය දණ ගැස්සවිය හැකි ඓතිහාසික සාධාකයව පැවතිණ. එය අතීත කතාවකි. වර්තමානයේ පිරිහුණ මානසිකත්වයක් මිස එවැනි දේශපාලන පක්‍ෂයක් හෝ නායකත්වයක්  නැත. උතුර දකුණ එක් කළ සේනානායකවරුන්ගේ එජාප දේශපාලන දැක්ම වර්තමාන නායකයන් දෙදෙනාට නැත.

පාඨලී චම්පික පසුගියදා ලංකාදිප පුවත්පත අනුව සේනානායක දැක්ම ප්‍රතික්‍ෂේප කළේය. ඒ තවමත් සඟවා ගත් සිය ජාතිවාදි ආකල්ප නිසා විය හැකිය.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට තබා පාක්‍ෂිකයන් වෙනුවෙන් හෝ රනිල් සජිත් දෙදෙනා නම් එක් වන්නේ නැත.

පවත්නා විධායක ක්‍රමය අහෝසි කිරීමේ වෙඩි මුරය නිකුත් කළ එජාපයේ  ගාමිණි ලලිත් දෙදෙනාම ජිවතුන් අතර නැත.

 දේශපාලනඥයන්ගේ අනුමැතිය යනු 2015දී කරු ජයසූරිය පොදු අපේක්‍ෂකයා වීමට තිබුණ ඉඩකඩ ඇහිරූ රනිල්ගේ හැසිරීමට සහ 19න් සම්මත කළ ද්විත්ව පුරවැසි තහනම 20න් වෙනස් කිරීම වැනි බලපෑම් වලට අත්දැකීම්වලට වැඩි යමක් නොවේ.



පාර්ලිමේන්තුවේ පටන් ප්‍රාදේශීය සභාව තෙක් පැතිරුණ මහජන නියෝජිතයන් බල කාමයෙන්, ආත්මාර්ථයෙන් රුසියාවේ ඉඩම් හිමි රදළයන්ට දෙවෙනි නොවේ. හිට්ලර් පන්නයට ලැදි, වේඬරුවේ උපාලි වැනි පූජ්‍ය පූජක චරිත ලජ්ජා බය පින පව නොතකන රස්පුටින්ලා ය. මේ ගතික ස්වභාවය තුළ කොන්දේසි විරහිතව විධායක ක්‍රමය වෙනස් කිරීමට කැමතිදැයි දේශපාලනඥයන් ගෙන් විමසීම හැර කළ යුත්තේ කුමක්ද? මෙය බෙහෙවින් සරල ගණුදෙනුවකි.



අපේ දේශපාලනඥයෙකු පෙන්නා ඌ හොරෙක් කී විට, කළ හොරකම ගැන විමසනු මිස, ඌ හොරෙක් නොවේ යයි කිසිවෙකුට කිව නො හැකිය.

ඉහත සටහනේ සිවිල් ක්‍රියාකාරිකයන් කෙතරම් ශක්තිමත් වන්නේද යනුවෙන් ද, සඳහනක් වේ.


maha
මාදුළුවාවේ සෝභිත හිමි ඒකරාශී කළ සිවිල් බලය ලබාගත් සියලු ජයග්‍රහණ විනාස කළේ දේශපාලනඥයන් විසිනි. බලයට කෑදර  කිසිදු දේශපාලනඥයෙකු  විධායක ක්‍රමයෙන් යැපෙනවා මිස, එය වෙනස් කිරිමට සහාය දෙන්නේ නැත.



මැති ඇමතීන් විශ්‍රාම වැටුපට අදාළ කාලය වැඩි කිරීමට බැසිල් යෝජනා කළේ, දේශපාලනඥයන්ගේ වරප්‍රසාද නාස්තියක්ය යන මතවාදයට අනුගත වෙමිනි.   එය එක් වසරකින් මුදල් ඉතිරි කරන අයවැය යෝජනාවක් නොවේ. නාස්තිය පිළිබඳ යථාර්ථයේ මිණී ගෙඩිය බැසිල්ලාගේ බෙල්ලේත් එතී පැටලී ගැට ගැසී සෙලවෙමින් පවතී. රඳවා ගත් පර්පචුවල් ලාභ මුදල රාජසන්තක කළාට හිමිකරුවන් නැති මල්වානේ දේපල සුරක්‍ෂිතය.  

එකම පුද්ගලයෙකුට කිසිදු ආයතනයකට සඳහා දෙවරක් පත්වීම නීතියෙන් අහෝසි  කළ යුතුවේ. පාර්ලිමේන්තුව තෙක් සියලු මහජන ආයතනවල වර්තමාන සංයුතිය තුනෙන් දෙකකට අඩු කළ යුතුවේ. එකී සාමාජිකයන්ට සහභාගිත්ව දීමනා මිස, මාසික වැටුප් හෝ විශ්‍රාම ගෙවීම් තීරු බදු රහිත වාහන වරප්‍රසාද අහිමි කළ යුතුවේ.

දේශපාලනය වැටුප් ලබන රස්සාවක් වීමෙන් රාජ්‍ය සේවය අස්ථාවර කර ඇත. එකම මැතිවරණයකින් සියලු ආයතන සඳහා නියෝජිතයන් තෝරා ගැනීමෙන් මැතිවරණ වියදම් අවම කළ යුතුවේ.


ලංකාවේ තමන් කැමති ඕනෑම පාසලකට තම දරුවන් ඇතුළත් කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙසිය විසි පස් දෙනාට හිමි වරප්‍රසාදය ලියා ඇත්තේ කොහේද? එය ලක්‍ෂ සංඛ්‍යාත දෙමාපියන්ට සිදුවන අසාධාරණයකි.



විසි වසරක් රස්සාව කිරීමෙන් පමණක් හිමිවන විශ්‍රාම වැටුප කිසිදු සේවා කොන්දේසියක් ස්ථීර පත්වීමක් වයසක් සුදුසුකමක් නොමැති රටේ දෙතුන් සියයකට ලබා දීමේ අවසරය ලියා ඇත්තේ කොහේද? කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, නියෝජනය කරන, සීමිත දෙසිය විසි පස් දෙනෙකුට සීමාවූ කණ්ඩායමකට වාසිදායක ආකාරයෙන් එවැනි මුදල් තීරණ ගත නොහැකිය. මේ ජනතා ස්වාධිපත්‍ය තම වාසියට කොල්ල කෑ අවස්ථාවකි.

රනිල් හම්බන්තොට වරාය වික්කේත්, ගෝඨාභයලා යුගදනම් ව්‍යාපෘතිය වික්කේත් ගලගොඩඅත්තේ නීති හැදීමට පත් කළේත් හැට නව ලක්‍ෂයක්  පත් කළ එකාට කරන්න බැරි මොනවාද යන පිස්සු විකාරයෙනි. එවැනි බලයක් සඳහන් වගන්ති රටේ ව්‍යවස්තාවේ නැත.



එක් කෙනෙකුට කොළඹ ප්‍රමුඛ විද්‍යාලයකට දරුවෙකු ඇතුල් කිරීමට අවශ්‍ය විය. ඔහුට ඒ සඳහා පැවති එකම සුදුසුකමවූ එතෙක් දැරූ  පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද, අහිමී වී තිබිණ. අර පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රීන් පරිහරණය කරන ලිපි ශීර්ෂයක තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරූ පැරණී දිනයක් යොදා තමා මන්ත්‍රිවරයෙකු ලෙස ප්‍රකාශීත පැරණි රබල් මුද්‍රාව තැබූ ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කොට, තම  දියණිය පාසලට ඇතුළත්  කරවා ගත්තේය. වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ වංචාව සිදු කළ පුද්ගලයා රටේ විධායක ජනාධිපති වුණොත්....? සිදුවිය හැකි දේ වර්තමාන ජනාධිපති වරයාත් ක්‍රියාවෙන් පෙන්වමින් සිටියි.  



අප තවත් වංචනිකයෙකු විධායක බලයෙන් වැර ගැන්විය යුතුද? හෝ එකී සාපයෙන් මිදිය යුතුවේ




මරණීය දණ්ඩනයට නියම කළ මිනී මරුවෙකුට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය භාර දුන්නේත්, අධිකරණ භූමියකදී කාන්තාවකට මරණීය තර්ජන එල්ල කොට සිර දඬුවම් නියමවූ කාසාව කණ්ඨකයා රටට ඔබින නීතිය හැදීමට පත් කළ කමිටුවේ ප්‍රධානියා ලෙස නම් කළේත් එකී බලය අවභාවිතා කරමිනි.

මෙසේ  විධායක ජනාධිපති  බලය අවභාවිතා කිරීම ගැන පාර්ලිමේන්තු බහුතරය පෙළ නොගැසෙන්නේ මන්ත්‍රීන් පමණක් නොව, ඔවුන්ගේ බිරියන් අහිංසක දරුවන් පවා එකී අනිසි වරප්‍රසාද වලින් මත් කොට ඇති හෙයිනි. හෙවත් ජනාධිපතිට විරුද්ධ වුණොත් මේ අයියලා ගෙදර යනු බොරුය.

අනෛතික නො නිසි වරප්‍රසාද දෙමින්, මන්ත්‍රීවරුන් නපුංසකයන් කොට ජන වරමින් රට වනසන, ජනතාව ගසා කන ක්‍රමය වහා අහෝසි කිරීමට දේශපාලනඥයා කැමති නොවේ.

ජනතා විමුක්ති පෙරමුණටත් අවශ්‍ය පවත්නා ක්‍රමය යටතේ බලයට ඒමටය.

“දේශපාලනයේ නිරත චරිතයකට ඌ හොරෙක් කී විට දෙවැන්නාට ඇසිය හැක්කේ ඒකා හොරකම් කළේ කුමක්ද කියා පමණකි. ඌ හොරෙක් නොවේ කියා කීමට නොහැකි වන්නේ උන් කරන හොරකම් උන්වත් නොදන්නා හෙයිනි.

2015දී සිරිසේන තෝරා ගත්තේ බඩ හාරා බලලා නොවේ. ජනාධිපති වූ වහාම ගෝඨභය හමුවී රාජපක්‍ෂ පවුලේ ආරක්‍ෂාව සහතික කළ සිරිසේන පසුදින තම සොහොයුරා ටෙලිකොම් සභාපති ධුරයෙහි පිහිටුවීය.  




Dadli se2021.11 1


එජාපයට එරෙහි වීමට පැවති නො කැමැත්ත නිසා, 56දී ඩඩ්ලි නායකත්වය සඳහා ලැබුණ ආරාධනාව භාර නො ගැනීමත් 2014 නොවැම්බර් 21 දින ශ්‍රීලනිපයට ද්‍රෝහිවූ සිරිසේන 2015 දී ශ්‍රීලනිපයේ නායකයා වීමත් කියන්නේ රටේ දේශපාලනඥයන් හෝ අවංක නායකයන් නැති බවය.

56දී හෝ 2015දීවත් සිදු නොවූ ආකාරයට සිවිල් සමාජ කතිකාව දේශපාලනඥයන්ගේ අනුමැතිය ලබා ගැනීමට සිතීම කාගෙදෝ අතට කොඩිය දීමේ වෑයමකි. සාර්ථකත්වය සඳහා න්‍යාය පමණක් නොව භාවිතයද වැදගත්වේ.


ක්‍රමය වෙනස් කර ගෙදර යන්නෙකු සොයනු මිස, බලයට ගිජු කාලකන්නියෙකු තෝරා ගැනීමට සීතීමත් පාපයකි. සිවිල් ව්‍යාපාරයට ආකර්ශනීය නායකයෙකු අවශ්‍ය බව කියමින් සමහරු පොළොවේ පස් කති. ජනතා බලය දඩමීමා කර දරුවාට හිමි පාසලේ මේස පුටු හොරා කෑ පන්නයේ එකෙක් අන්දවා නැවත ජනතාව රැවටීමට සිවිල් සමාජය හවුල් නොවිය යුතුවේ.  



අද මෙන් නායකත්ව හිඟයක් පැවති 1956දී ඩඩ්ලිලා, මලලසේකරලා මතු නොව එල්.එච්. මෙත්තානන්දලා අකැමතිවූ තැන කැමතිවූ බණ්ඩාරනායක යනු බලය ඇල්ලීමට ඇදහූ ආගමත් තම පක්‍ෂයත් ප්‍රතික්‍ෂේප කළ චරිතයකි. සිරිසේන කියන්නේ බලය සඳහා පක්‍ෂයත් පොදු ජයග්‍රණත් පාවා දුන්නෙකි.

2015දී කාගේත් අපේක්‍ෂාව වූ කරු ජයසුරිය විසිවුණේ රනිල්ට අපේක්‍ෂකත්වය නොදීම හේතුවෙනි. අවසානයේ නොමිලේම රජවූ සිරිසේන, දිය සහ ගිනි පමණක් නොව මළ මූත්‍රාද පිට කරමින්, පෑ අමා මහ පෙළහර, පිළිකුල් දේශපාලනඥයන් පිළිබඳ ජීවමාන උදාහරණයකි. ජනාධිපති අපේක්‍ෂකත්වය නොලැබුණා නම් සජිත්ට එජාපය කඩන හයිය ලැබෙන්නේ නැත.

උක්ත පිබිදීම් දෙකම විනාස කළ බණ්ඩාරනායක සහ සිරිසේන හදිසියට කොඩිය බැඳීමට කඩා ගත් වැට එරඬු කෝටු මිස, ධජ පතාක නොවූහ.  



තවත් බංකොලොත් චරිතයකට නොරැවටිය යුතුවේ



සිවිල් සමාජයීය නිර්දේශපාලන අරමුණු, දේශපාලන හෙංචයියන්ගෙන්ද බේරා ගත යුතුවේ.  2015දී ප්‍රතික්‍ෂේපවූ මහින්ද වෙනුවට, වියත් මග, ගෝඨාභය  තෝරා ගැනීම උදාහරණයකි.

2018දී සජිත්ට අපේක්‍ෂකත්වය දීමට මුල් වුණේ කලක් එජාප නායකත්වය රනිල්ටම තහවුරු කිරීමට, වලි කෑ කල්ලියේ කිහිප දෙනෙකි. ඔවුන් පසුව, සජිත් කෙළින් කිරීමට වැර දැරූහ. වර්තමානයේ තවත් චරිතයක් පින්තාරු කරමින්  සිටිති. මේ සිද්ධ වෙන්නේ මොකා හෝ එකෙකු තෝරාගෙන ඔහුගේ පිටේ යාමට තැත් කිරීමකි.


Bu 2021.01 1විධායක ජනාධිපති ක්‍රමය යනු ශක්තිමත් තිරිසනෙකු හා මිනිසෙකු මුන ගස්වන ඉතාලියේ ගොන් පොරය මෙන් අමානුෂික සංසිද්ධියකි.


නීතිඥ ලැසිල් සිල්වා, බිඟුන් මේනක ගමගේ සාකච්ඡාව ඇසුවාදැයි විමසූ දුරකතන පණිවිඩ ගණන 18කි. එයින් දෙකක් විදේශගත හිතවතුන්ගෙනි. ඔවුන් සියලු දෙනා කීවේ අනිද්දා පත්‍රයෙන් එක දිගට පැවති සංවාදය නීතිඥ ලැසිල් සිල්වා සිද්ධින් සහ වෙනත් උදාහරණ වලින් ශක්තිමත් කරන බවය. බැසිල්ගේ විශ්‍රාම කතාවත් ලැසිල්ගේ සාකච්ඡාවත් සිවිල් සමාජ අපේක්‍ෂාව ශක්තිමත් බව තහවුරු කරමින් සිටිති.

සුළඟටත් බදු ගහන ලී ක්වාන් යූ ගැන කීවේ නාස්තිය රටේ විනාසයට විකල්පයක් ලෙසය. බැසිල්ද සංශෝධනය කළ මහජන මන්ත්‍රින්ගේ විශ්‍රාම වැටුප් නතර කළ යුතු බව සිවිල් සමාජ ස්ථාවරය වේ. භාවිතයෙන් වැට එරඬු කෝටු වැනිවූ නායකයන් ගැලවුම් කාරයන් සේ කෙළින් නොකළ යුතුවේ.

2024 ජනාධිපති මැතිවරණය, ජයප්‍රිය චරිත ලස්සන මුහුණු තෝරා තෑගි දෙන අවුරුදු උත්සවයක් නොවේ. මස් තැම්බූ මුට්ටිවල නැකතට කිරි උතුරුවන සිරිතක් නැත.

“මැණිකේ මගේ හිතේ” ගීතය ගැයූ කුඩා දරුවෙකු දැක කෙනෙකු දෙවුර හැකිළීය. එය දුටු දරුවාගේ පියා නොසතුටින් ඊට හේතු  විමසීය.

“මේ දරුවාට මේ ගසේ බොහෝ කවිය උගන්නපන්. එතකොට දරුවා සකසුරුවමයි හොඳ නරක කියන වචන දෙකවත්  ඉගෙණ ගනියි.

“මේ සිංදුවේ ඇති වරද මොකක්ද?

“දරුවා ඇහුවොත් අප්පච්චි නුරා හැඟුම් කියන්නේ මොකක්ද කියලා...” සිරිසේනලා ගෝඨලා රජ වුණේත් අර දරුවාගේ පියා මෙන් නොතේරූම් කම නිසාය. රට ගොඩ ගැනීමේදීත් තේරුමක් ඇති දෙයක් කළ යුතුවේ. අර සිංදුවේ නුරා හැඟුම් සහ රුව නාරි... සමග ගැලපූ විට, මැණිකේගේ  සළුපිළිත් ගැළවිලාය. එවැනි ගීතයක් ගැහැනියක ගායනා කිරීම සහ නීතිය මමයි කීම එක වාගේ විකෘතියකි. ගීතය පිළිබඳ මේ විග්‍රහයට  විවේචන පැවතිය හැකිය.

යථාර්ථය සරලය. කිසිවෙකු දුම්මැස්ස අත ගෑ යුතු නැත. දේශපාලනඥයන්ගේ අනුමැතියට ජනතා අභිලාෂ ඔප්පු කිරීමත් අපරාධයකි. පාපයකි. නැති මන්ත්‍රීකමන් පෙන්වා තම දරුවා ඉහළ පාසලකට ඇතුල් කිරීම උදාහරණයක් මිස වෛර පිරිමසා ගැනීමක් නොවේ. ඒ චරිතයටත් සිවිල් සමාජය සමග එක්විය හැකිය.


හොරුන් ඇල්ලීමට හොරුන් ඉදිරිපත් නොවන බව ලැසිල් සිල්වා තහවුරු කරයි. බිය විය යුතු නැත.  ගෙදර යන්නාගේ අපේක්‍ෂාව හොරුන් අල්ලා හිරේ දැමීම නොවේ. කිසිදු පාලකයෙකුට හොරකම් කළ නොහැකි ක්‍රමයක් රටේ ඇති කිරීමය. එවිට හොරුන්ටද ඉපැයූ මුදලින් ජීවත්වීමේ ඉඩකඩ මෙන්ම, රටේ අනාගතයද සුරක්‍ෂික වනු ඇත.



මැතිවරණ අඩු කර, වරප්‍රසාද කපා නාස්තිය නැති කිරීමට පාලකයා සහතික වේ නම් ජනාධිපතිවරුන්ට රැවටුණ පුරවැසියන් පනස් ලක්‍ෂයක් මාසිකව රුපියල් 100 බැගින් දායක කිරිමට පෙළ ගැස්විය  හැකිය. ඒ හරහා රාජ්‍ය භාණ්ඩාගාරයට එක් මසකට රුපියල් 500,000,000.00 ගලා එනු ඇත. එවිට අර්ථ සාධක විශ්‍රාම මුදල් ගසා කෑ යුතු නැත.

ණය නොවී රට කරවයි නම් විදේශගත ශ්‍රී ලාංකිකයන් විදේශ සංචිතය තර කිරීමට කැමැත්තෙන් සිටින්නේ අද ඊයේ සිට නොවේ.  අවශ්‍ය නිශ්චිත රාජ්‍ය පාලනයක් සහ පාලකයන් අවංකවීම පමණකි. ක්‍රමය වෙනස් කර ජාතික ප්‍රතිපත්තියක් මත රට කරවන පාලනයක් ඇති කිරීම යනු සිවිල් සමාජයේ අපේක්‍ෂාවය. ඔබ ඊට කැමතිද?    
 
 
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි.)
Chandrasiri Senevirathne 21


 
 
 
 
 
 

LEADER TV

මෙහෙමත් බූරුවෙක් ! | මොණරවිලගේ ලියමන
 

 
'සඳහිරුසෑ' යුද ස්මාරකය අගමැතිට අපලයක් වෙයි ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්