1200 x 80 DMirror

 
 

යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශ්ව දෙකකින් මතු විය.



 ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි. දෙවැන්න වුණේ, “උනුත් එකයි, මුනුත් එකයි” නමැති ආකර්ශණීය සටන්පාඨය ඔස්සේ තමාගේ හයිය ගොඩනඟා ගැනීමට බැලූ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ/මැතිවරණ ව්‍යාපාරයයි.

ඒ ද්විත්ව විවේචනය ඉදිරියේ යහපාලන ආණ්ඩුව පරාජය විය. විවේචකයන් දෙන්නාගෙන් දෙවැන්නා හෙවත් ජනතා විමුක්ති පෙරමුණ ඊටත් වඩා පරාජය විය. යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ බිංදුවට බහින මොහොතේම, ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු හයෙන් තුනක්ද නැති වීමෙන් පෙන්නුම් කෙළේ, ජාතික ආරක්ෂාව නමැති බිල්ලා ඉදිරියේ සිහිකල්පනාව මොට වී මුග්ධත්වය රජයන බවයි.



ලංකාවේ පමණක් නොව, ජාතිය සහ ආගම ප්‍රමුඛත්වයට පත්ව තිබෙන, ඒ නිසාම, ජාතික ආරක්ෂාව නමැති මහා බිල්ලා ප්‍රධාන නිර්ණායකය බවට පත්වන මොහොතක, මේ තත්වය වෙනත් රටවලත් ඇති වී තිබෙන බවට ඉතිහාසය දෙස් දෙයි. දැන් ඇති වී තිබෙන්නේ මාර කණස්සල්ලකි. කාලකණ්ණි පශ්චාත්තාපයකි. වරදසහගත හැඟීමකි.



මාස කිහිපයක් තුළ, රට උඩුයටිකුරු වී තිබේ. ඊයේ සාමාන්‍ය කඩයකින් තේ කෝප්පයක් බීමට මට රුපියල් 70 ක් වැය විය. මීට මාසයකට හෝ දෙකකට කලින් එම කඩයේ තේ කෝප්පය රුපියල් 40 කි. ශතය වඳ වී රුපියලත්, රුපියල වඳ වී සියයත්, සියය වඳ වී දහසත්, දහස වඳ වී පන්දහසත් ආදී වශයෙන් වූ මුදල් ඒකක පොදු පරිහරණ පරිශ්‍රයට එද්දී, අනිත් පැත්තෙන්, අත්‍යාවශ්‍ය ආහාරපානාදිය මිල දී ගැනීම කිලෝග්‍රෑම්වල සිට ග්‍රෑම්වලට මාරු වී තිබේ.

ඉස්සර එළවළු හෝ මාළු කිලෝවක් ගත් කෙනා, දැන් ග්‍රෑම් සීයක් දෙසීයක් ගැනීමට හිත හදා ගනී. ඒ, මැද පංතියයි. එදා වේල හරිහම්බ කරගෙන ජීවිතේ යාන්තමට ගැටගසාගන්නා විශාල පවුලක් ඇති නාගරික තැනක, මස් මාළු නැතිව තුන් වේල කෑමත් අද වන විට ප්‍රශ්නයක් වී ඇතිවාට කිසි සැකයක් නැත.

fgdsfrg


අන්‍යදෝෂධාරී ගතිය :


බරපතල වැරදි අප අතින් සිදු වූ විට, අපෙන් පිටස්තර වෙනත් හේතුවක් නිසා ඒ වැරදි සිදු වූ බවට හේතු දැක්වීම ඉතා සහනදායි මානසික ඇබ්බැහියකි. ඒ වැරදි සිදු වුණේ, මා නිසා නොව, අහවල් දේ නිසා යැයි කියන බොහෝ අවස්ථාවල අප කරන්නේ, ඒ වැරදි පිළිබඳ තමාගේ වගකීමෙන් නිදහස් වීමට උත්සාහ කිරීමයි. විටෙක අවිඥානකවත්, විටෙක සවිඥානකවත් එය සිදු වෙයි. අවිඥානික පලායාම අහිංසක ය. සවිඥානික පලායාම කෛරාටික ය.


යහපාලන ආණ්ඩුව ගෙදර යැවීම තමන් කළ වරදක් යැයි බාරගැනීම අද ප්‍රශ්නයක් වී ඇත්තේ එකී මනෝභාවය නිසා ය. රාජපක්ෂ ආණ්ඩුව අද කරන විසිහතර පැයේ ආර්ථික මදාවි කම් සහ පරිපාලනමය තකතිරුකම්වලට වගකිව යුත්තේ රාජපක්ෂලා නොව තමන්ම ය යන අවබෝධය බාරගැනීම, ඡන්දදායකයාගේ පැත්තෙන් ගත් විට, හිත පාරන වැඩකි.

ඒ නිසා, යහපාලන ආණ්ඩුව, එතෙක් පැවති නරකම ආණ්ඩුව යැයි පැවසීමට බොහෝ දෙනා ආශා කරති. ඔවුන් ඒ වැරදි නොකළා නම්, මෙවැනි තීන්දුවක් 2019 දී තමන් නොගනු ඇතැයි යන්න ජනතාව අද නොකියා කියන දෙයයි.

ලංකාවේ වෙසෙන්නන්ටත් වඩා රාජපක්ෂවාදීන් වූ බටහිර රටවල වෙසෙන ලාංකිකයා හෙවත් ගිය වර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දීම සඳහාම තකහනියක් ලංකාවට පැමිණි පුද්ගලයන් අද මේ ආණ්ඩුව ගැන දරන අදහස් උදහස් අසන්නට පසුගිය සති කිහිපයේ මට ‘වාසනාව’ ලැබුණි. ඒ සති කිහිපයේ යුරෝපයේ ඇතැම් රටවලදී මට හමු වූ, එදා ඡන්දයට ලංකාවට පැමිණි සහ නොපැමිණි ඒ සෑම රාජපක්ෂවාදියෙකුම තමන්ට තලා ගැනීමට දැන් මඩුවලිග සොයති. 

මොහොතක් නතර වී සසඳන්න

මගේ ආරාධනය මෙයයි:

2010-2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමගත්, 2019 සිට පටන් ගත් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමගත්, 2015-2019 යහපාලන ආණ්ඩුව සසඳා බලන්න.

අවශ්‍ය ඕනෑම තැනකින් මේ සන්සන්දනය පටන්ගත හැකිය. උදාහරණයක් වශයෙන්, පාලන තන්ත්‍රයේ විනිවිද භාවය, ප්‍රජාතන්ත්‍රීය ආයතන ව්‍යුවහයේ ශක්තිමත් භාවය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ අධීනත්වය ඇතුළු එදා තිබූ සාධනීය අංග සමග වර්තමාන තත්වය සසඳන්න.

දෙවැනුව, මහබැංකු බැඳුම්කර වංචාව වැනි යහපාලන ආණ්ඩුවේ නින්දිත ක්‍රියාවන් සමග වර්තමාන දූෂණ සිද්ධීන් සසඳන්න.

සීනි, සුදුලූනු, තෙල්, ඉන්දීය දියර පොහොර සහ චීනයේ පොහොර නෞකාව ආදී අටෝරාසියක් සිදුවීම් එක දිගට ඔබ ඉදිරියේ පෙළ ගැසෙනු ඇත. එයින් සීනි මගඩිය පමණක් ගත්තත්, යහපාලනයේ මහබැංකු බැඳුම්කරයට වඩා අධික ධනයක් ඒ මගින් ජනතාවගෙන් සොරා කෑ බව දැන් හෙළි වී තිබේ.

 මහබැංකු බැඳුම්කරයේ අක්‍රමික ධනය තවමත් භාණ්ඩාගාරය භාරයේ තිබුණත්, ඉහත කී එකදු දූෂිත ව්‍යාපාරයක තඹ දොයිත්තුවක්වත් මේ වන තෙක් මහජන භාරයට ගෙන නැත. බැඳුම්කර මගඩියේ විත්තිකරුවන් මාස ගණන් හිරේ තැප්පත්, රාජපක්ෂ පාලනය යටතේ කිසි සීනි හොරෙක්, තෙල් හොරෙක්, සුදුලූනු හොරෙක්, පොහොර හොරෙක් අඩු වශයෙන් පොලීසියකටවත් කැඳවා නැත.    

දැන් මේ සන්සන්දනය තව ටිකක් ඉදිරියට ගෙනියන්න: එදා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවති කඹ ඇදිල්ල, බොහෝ පීලි පැනීම්වල හේතුකාරකය විය. ඇත්තෙන්ම එය, මහා ව්‍යසනකාරී තත්වයක් දක්වා පසුව වර්ධනය විය. (පාස්කු ප්‍රහාරය පහසු වන්නටත් එය වක්‍රව හෝ එක් හේතුවත් වෙන්නටත් ඇති). එහෙත් අද, එවැනි තනතුරු දෙකක් දරණ පුද්ගලයන් දෙන්නෙකු අතර නොව, එක පුද්ගලයෙකු (ජනාධිපතිවරයා) සහ සමස්ත සමාජය අතරත්, තමන්ගේම මැති ඇමතිවරුන් සහ තමන්ම පත් කළ උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සමස්ත පාලන පද්ධතිය අතරත් පවතින විරසකය සසඳා බලන්න.


ඊට උදාහරණ අවශ්‍ය නම්, කෝවිඩ් වසංගතයට මුහුණදීමේදී, වෛද්‍ය විද්‍යාව සමග පැණියෙන් හැප්පුණු ජනාධිපතිවරයා සිහියට නඟාගන්න. ඊළඟට, රසායනික පොහොර එක රැයකින් තහනම් කොට, සමස්ත ගොවියා සමගත්, කෘෂිකර්ම විද්‍යාව සමගත් කාබනිකව හැප්පුණු ජනාධිපතිවරයා සිහියට නඟාගන්න.


බුද්ධිමය තීරණ ජනප්‍රිය නොවුණත්
ජනප්‍රිය නොවන පමණින් බුද්ධිමය වන්නේ නැත



ජනාධිපතිවරයා ජනප්‍රිය තීරණ ගත යුතු යැයි මේ ලියුම්කරු යෝජනා නොකරයි. ඇත්තෙන්ම, ලංකාව වැනි රටක් ගොඩගැනීමට නම්, කාට හෝ යම් දවසක ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදු වන්නේය. ඇත්තෙන්ම අපේ අභාග්‍ය සම්පන්න වර්තමානය නිර්මාණය වී ඇත්තේ, ජනප්‍රිය තීන්දු මිස ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට කිසි පාලකයෙකුට මෙතෙක් නොහැකි වී තිබීම නිසා ය.

ඒ නිසා, ජනප්‍රිය නොවන තීන්දු ගැනීම අපේ රට සම්බන්ධයෙන් ගත් කළ අනිවාර්ය කාරණයක් වනු ඇත. එය, ගෝඨාභය රාජපක්ෂ නොව, අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පත්වූවත් අනිවාර්ය කෙරේ.


එහෙත් ජනප්‍රිය නොවන තීන්දු සහ ඔලමොට්ටල තීන්දු යනු දෙකකි. යම් මුග්ධ තීන්දුවකට ජනතා විරෝධය මතුවන විට, තමා කරන්නේ ජනප්‍රියත්වය නොසලකා අනාගත පරම්පරාව ගැන සිතා දැඩි තීන්දු ගැනීම යැයි කීම, මෝඩ කමට අමතරව කපටි කමකි. අඩු වශයෙන් අවුරුදු විස්සක්වත් අවශ්‍ය කරන කාබනික පොහොර මාරුව එක රැයකින් කිරීමට ගියේ, රටක් හෝ අනාගත පරම්පරාවක් ගැන සිතා නොව, පොහොර ආනයනය සඳහා වසරට ඩොලර් මිලියන 400 ක වියදමක් දැරීමට බැරි තරමට අපේ විදේශ විනිමය සංචිතය හිඳී තිබුණු නිසා ය.


ජනතාවගේ සෞඛ්‍යයට මුල් තැන දීම සහ වකුගඩු රෝගයෙන් උතුරු මැද ජනතාව බේරා ගැනීම ආදී කතා, අර කටුක සත්‍යය වැසැංගීමේ වාගාලංකාර පමණි. මේ බව, ජාත්‍යන්තරය තුළ පවා අද කතා කෙරේ.


ප්‍රංශයේ ප්‍රධාන ධාරාවේ පුවත්පතක් වන ‘ල මොන්ද්’ හි පසුගිය දවසක කතුවැකිය වෙන් කොට තිබුණේ ලංකාවේ කාබනික ‘පර්යේෂණය’ වෙනුවෙනි. එහි මාතෘකාව “කොළඹ පාඩම” යන්නයි. මාස හයකට අධික කාලයක් තිස්සේ කන්දක් විළි ලා වැදූ කෙන්දේ කතාව ගැන විස්තරයක් ඇතුළත් එහි එක තැනක මෙවැන්නක් ලියැවී තිබේ: “සියයට සියයක් කාබනික වීමේ ලෝකයේ ප්‍රථම ස්ථානයට වැඩි ආයුෂ නැත”.  


මේ කතාවේ පරිසමාප්තිය ගැන පසුගිය දවසක මුහුණුපොතේ කෙනෙකු අගනා සටහනක් තබා තිබුණි. ඒ මෙසේ ය:


“බෝංචි ග්‍රෑම් 250 ක් ගෙනාවා. බෝංචි කරල් ගණන මිලෙන් බෙදලා බැලුවහම, එක කරලක් රුපියල් 30 ක් වෙනවා. ඉතිං, ඒක ඉව්වෙ නැහැ, කැබිනට් එකට දැම්මා.” අපූරු ප්‍රහසනයක් යැයි පෙනී ගියත්, මේ ප්‍රකාශය වත්මන් තත්වය අගේට කුළුගන්වයි. ඒ තරමට, සෑම ජන කොටසක්ම දැන් ඉන්නේ, කබලේ නොව ලිපේ ය.  


මේ තත්වය තුළ, යම් තරමකට හෝ සහනයක් ගෙන දිය හැකි ඔසුවක්, යහපාලනයට තැලීමෙන් අපට සපයා ගත හැකිය. “උං හරියට කළා නං අද මෙහෙම වෙන්නෙ නැහැ.” “මේ සේරටම වගකියන්න ඕනේ රනිල් සහ මෛත්‍රී” ආදී කතා, වර්තමාන රාජපක්ෂ පාලනය පිළිබඳ නිර්දය විවේචනයත් සමග එකට ඈඳී නිතර දෙවේලේ අපට අභිමුඛ වෙයි.

ඒ සියල්ල ඇත්තයි. සත්තයි. යහපාලනය පිළිබඳ තවත් විවේචන, අවශ්‍ය නම් කෙනෙකුට සොයා ගත හැකිය. එහෙත් වර්තමාන අගාධයේ වගකීම, හුදෙක් යහපාලනයට ලඝු කළ හැකිද? එසේ නම්, සුනිල් හඳුන්නෙත්තිවත් එම ජනතාව පරාජය කෙළේ ඇයි?

නැත, මුළාව උමතුවකි. ඒ තුළ කිරා බැලීම් නැත. යහපාලනයේ මහබැංකු වංචාවට ප්‍රතිපක්ෂව තිබූ, නිදහස් සංස්කෘතිය, විනිවිද භාවය සහ නීතියේ ආධිපත්‍යය වැනි ප්‍රජාතන්ත්‍රීය සාධ්‍යතා හෝ (අද හැම පැත්තකින්ම දකින්නට ලැබෙන) අමු විකාරික දර්ශන එදා පෙනෙන්ට නොමැති වීම ජනතාවට වැදගත් වුණේ නැත. කොටින්ම, කිසි දෙයක හිඟයක් හෝ උද්ධමනයක් නොමැති වීමත් ඔවුන්ට වැදගත් නොවුණි. ඔවුන්ට අවශ්‍ය කෙළේ, ‘කන්න නැතත් ඉන්න රටකි’. මෙය බාල ප්‍රචාරක වැකියක් නොව, ජාතිකවාදයෙන් කුරුවල් කොට ඇති හිස්වලට සහ හදවත්වලට තැවරූ සන්තෘප්තිකර ආලේපයකි. එහි වෙළෙඳ නාමය වන්නේ පාස්කු ප්‍රහාරයයි.



dfsdferසහරාන් ඇතුළු ඉස්ලාම් ත්‍රස්වාදීන්, අහිංසක ජීවිත 267 ක් පමණක් නොව, රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී සංයුතියමත් ඝාතනය කොට ඇති බව දැන් පැහැදිලියි. යහපාලනය යනු, එය ඩැහැගත් ප්‍රථම පාලන තන්ත්‍රීය බිල්ලයි.

 

මේ සියල්ල, යහපාලනයට සුදුහුණු ගෑමක් නොවේ. මහබැංකු බැඳුම්කර වංචාවට අමතරව, නීතිය හා සාමය පැත්තෙන් පවා, විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ගිනි ඇවිලවූ ගලගොඩඅත්තේ ඥානසාරගේ චර්යාව සම්බන්ධයෙන් යහපාලන නායකයන් ඉවසා වදාළ අතුරුකතාද තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ අපරාධ සහ දූෂණ සිද්ධීන්ට අදාළ පොලිස් පරීක්ෂණ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනු සම්බන්ධයෙන් පවා යහපාලන නායකයන් දැක්වූ ලිහිල් පිළිවෙත් පිළිබඳ තවත් අතුරු කතාද තිබේ.

එහෙත් 69 ලක්ෂයක් විසින් එම ආණ්ඩුව පෙරලුවේ එවැනි හේතු නිසාම නොවන බව මගේ තර්කයයි. එය මා අවධාරණය කරන්නේ, එවැනි (වැදගත් මුත්) ද්විතීයික කරුණුවලට යහපාලනයේ පරාජය එකහෙලා අප ලඝු කළොත්, ගෝඨාභය සම්ප්‍රාප්තියේ සැබෑ මූලය අපෙන් මඟහැරී යන බැවිනි. අනාගතයේදීත්, (සහරාන් වෙනුවට) වෙනත් නමක් යටතේ, ‘ජාතික ආරක්ෂාව’ නාමයෙන් අපේ ප්‍රජාතන්ත්‍රීය සංස්කෘතිය විනාශ වී යා හැකි බැවිනි.  



Gamini Viyangoda Colombo Telegraph(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - anidda.lk)

 

 

 


 

THE  LEADER  TV
 
 
 

බඩුමිල වැඩි කළාම සියය 10 ක් ඇමතිට !| මොණරවිලගේ ලියමන

 
PB පස්සේ ගිය BOI ලොක්කට වෙච්ච දෙයක් !
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්