මා ලංකාවේ උපන් දා සිට ජීවත් ව ඇත්තේ මීගමුව සිට ගාල්ල දක්වා දිවෙන මුහුදු සීමාවේ පිහිටි කටුනායක, ගල්කිස්ස, රාවතාවත්ත, ගාල්ල, පානදුර, මොරටුමුල්ල, කොරලවැල්ල හා ගල්කිස්ස ආදී නගර කිහිපයක ය.



ඒ අතුරින් ගල්කිස්සේ මා සැලකිය යුතු කලක් ජීවත් වූවත් මගේ ගමන් බිමන් හා මිත්‍ර සමාගම් ගාලු පාරෙන් කිලෝ මීටර් දෙක තුනකට වඩා ඇතුලට ගියේ නැත.

පැලවත්ත හා තලවතුගොඩ ද මට ඉතා ආගන්තුක නගර වූ අතර ඒ ප්‍රදේශවලට නිතර නිතර යන්නට එන්නට සිදුවූයේ 2018 අග බාගයේ සිට ය. ඒ ද මාස හත අටකට ය.

ඒ ගමන්වාර තුලින් එම භූමි ප්‍රදේශවල දක්නට හැකි අවකාශමය ගතිකයින් (spatial dynamics = යම් අවකාශයක ජීවත්වන මිනිසුන් ඒ සමග පවත්නා සහසම්බන්දය) මා තුල මහත් කුතුහලයක් ඇවිළ විය.

ආරක්ෂක මූලස්ථානය තැණූ (හෝ තවමත් තණන) පැලවත්තේ අකුරේගොඩ ප්‍රදේශයේ ඊයේ පෙරේදා වෙනතුරු දිවියනුත් සිටියාලු. පැලවත්ත  හා තලවතුගොඩ තාක්ෂණිකව ම කොළඹ ම නොවුණ ද ගුණයෙන් නාගරීක සීමාව අතික්‍රමණය කළ අයුරු අපූරු ය.



ffd8833f474987f2ab96af0b3f1dca2b Lඅකුරේගොඩ යුද්ධ හමුදා මූලස්ථානය



මීට දශක කිහිපයකට පෙර ලඳු කැලෑ ලෙස තිබූ, ජනගහණ ඝනත්වය ඉතා අඩු මේ ප්‍රදේශ ද්වය මේ වන විට 'වෙන්ඩ-කොළොඹ' ඉලක්කය කරා භෞතිකව ලඟා වී ඇත. කොළඹ ඇති ස්පා සිලෝන්, කැෆේ, සුෂී බාර්, හේමාස් හොස්පිටල්, මෝල් (ලී මෝල් නොවේ !) ආදී සියළු දේ මේවායේ ද ඇත.  

එක්තරා ඊයේ-පෙරේදා සල්ලි හම්බ කරගත් පන්තියක් (ප්‍රංශ අරුතින්, nouveau riche) මේ ප්‍රදේශ ද්වයට සංක්‍රමණය වී ඇති අයුරු ද දැක ගත හැකි ය.


සාමාජීය හා සංස්කෘතික වශයෙන් තලවතුගොඩයන්ට 'වෙන්ඩ-කොළඹ' ඉලක්කයට තවමත් ලඟා වන්නට නොහැකි වීම නිසා ඔවුන් තමන්ගේ ම හිල්ටන දෙකක් තලවතුගො අවට් ම  ම හදා ගති. ඒ  'ග්‍රෑන්ඩ් මොනාර්ක්' හා 'ඉම්පීරියල් මොනාර්ක්' නම් හෝටල.  මේ නම්  ම බොහෝ දේ මොර ගා කියයි [මොනා(ර්)කිය = රාජාණ්ඩුව, මොනාර්ක් =  මහරජ, ඉම්පීරියල් = අධිරාජ්‍ය ] .


 ඒ නම් යෙදුවේ අතමිට සරු (ආර්ථික විද්‍යාවේ ක්‍රය ශක්තිය ලෙස හඳුන්වන) පැලවතු-තලවතු චෛතසිකය හෙවත් සයිකිය හොඳින් හඳුනාගත් අහුබුදු කෙනෙකු විය හැක.

ඉම්පීරියල් මොනාර්ක් නම නැවත කරලියට ආවේ මීට සති දෙකකට පෙර, ජාජබ නොම්බර තහඩුව ගසා දුවන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත සමුළුවක් ටමාශාකාරයෙන් එහි පැවැත්වීම නිසා ය.  

මේ කොලමේ අරමුණ ඒ ටමාශාවේ ප්‍රාමාණික ප්‍රවෘත්ති ලෙස සැළ වූ, පර්ඩිනන්දාගමනය හා දබරාමිල හිමි වැඩීම හෝ නිදහස් බීරාපනයේ පියා ලෙස කන්නන්ගරයන්  (කණිෂ්ඨ) පිදුම් ලැබීම ආදී කරුණු පුනරුච්චාරණය කිරීම නොවේ. මෙය හුදෙක් අවකාශමය ගතිකයන් තුල ඩිමොග්‍රැෆික ලක්ෂණ දේශපාලන ව්‍යාපාරයක පිළිඹිබු වන ආකාරය ගැන අවධානය යොමු කරයි.



1971 කැරැල්ලට පෙර ජවිපෙට පක්ෂ මුලස්ථානය කියා තැනක් තිබුණේ නැත. මූලස්ථානයකින් කෙරෙන සම්බන්ධීකරණ හා රැස්වීම් කටයුතු කෙරුණේ පක්ෂයේ සහෝදරවරුන්ගේ ම නිවෙස් හරහා ය. ඒ අතර වනාතමුල්ලේ පිහිටි ඔස්මන් සිල්වා සහෝදරයාගේගේ නිවෙස හා එඬේරමුල්ලේ පිහිටි ටී.ඩී සහෝදරයාගේ නිවෙස ද ඒ ප්‍රදේශයේ ම පිහිටි විමලගුණේ සහෝදරයාගේ නිවෙස ද විශේෂ ය.



වනාතමුල්ල හා එඬේරමුල්ල නාගරීක කම්කරු හා අවිධිමත් රැකියාවල නියුතු ජනතාව පදිංචි වූ  ප්‍රදේශ ය. මේවා බොහෝ විට පහල මධ්‍යම පංතික නිවාස ලෙස හඳුන්වන්නට පුළුවන.

මීට අමතරව 1970 දෙසැම්බරයේ පමණ සිට 1971 කැරැල්ල දක්වා ජවිපෙ විජේවීර කණ්ඩායම බොහෝ විට වැඩ කටයුතු මෙහෙය වූයේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ සිටයි.  

1977 හිරෙන් නිදහස් වූ පසු ජවිපෙ පක්ෂයක ලෙස ප්‍රති සංවිධානය වන විට මුලස්ථානයක අවශ්‍යතාව මතු විණ. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් අරමුදල් නොතිබුණි. පක්ෂයේ සමීපතයෙකු වූ සිරිපාල අයියා ඊට ඉදිරිපත් වුණේ, මරදානේ දේවානම් පියතිස්ස පාරේ මුඩුක්කු පේළියක තිබූ තම නිවෙස පක්ෂ මූලස්ථානය ලෙස භාවිතා කරන යෝජනාව කරමිණි.

 තනි කාමරයක  කුඩා ගෙපැලක වූ එහි, සිරිපාල අයියා, ඔහුගේ බිරිඳ හා ඔවුන්ගේ දියණිය ද සිටි බැවින් එවකට පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු වූ ලයනල් බෝපගේ සහෝදරයා පක්ෂ මූලස්ථානය වශයෙන් දිවා කල කන්තෝරු කටයුතු ද රාත්‍රියේ නිදා ගැනීම ද කළේ සාල පොඩ්ඩේ ය. වැසිකිළි පහසුකම් සඳහා පාන්දරින්ම නැඟිට නිවස ඉදිරිපස තිබුනු කැලි කසල සෝදා ගෙන යන කානුවට පාත් විය යුතු ය.  

මාස දෙකක් පමණ සිරිපාල අයියාගේ පරිත්‍යාගශීලී සත්කාරකත්වයෙන් මෙලෙස පක්ෂ මූලස්ථානය පවත්වා ගෙන ගිය අතර, පක්ෂයට හිතවත් මඩකලපුවේ සිටි ඇම්.ටී.ඇම් ඉබ්‍රාලෙබ්බේ (පසු කලෙක කුප්‍රකට ඒ.එස්.පී ගෆූර් පොලිස් නිලධාරියාගේ ළඟම නෑදෑයෙක්) මාලිගාවත්තේ මුස්ලිම් පුද්ගලයෙකුට අයත් කුඩා නිවසක් පක්ෂ කාර්යාලය සඳහා යොදා ගන්නට සකස් කර දුන්නේ 1978 කාලයේ ය. පසු කලෙක උපතිස්ස ගමනායකගේ නායකත්වයෙන් පැවතී සමාජවාදී කම්කරු සංගමයේ මුලස්ථානය ද පවත්වා ගෙන ගියේ එහි ය.

අවට පැවති දැඩි ජනාවාස ස්වභාවය සහ කලබලකාරී පරිසරය නිසා පැවති අවදානම් තත්ත්වය හේතුවෙන් වැඩි කලක් නොගොස් තවත් තැනකට පක්ෂ කාර්යාලය ගෙන යාමට සිදු විය. ඊට අවශ්‍ය කාර්යාල පහසුකම් සැපයූයේ උභය වීරසිංහ නමැති නීතිඥවරයා ය. පක්ෂයේ හිතවතෙකු වූ ඔහු, ආමර් වීදියේ පිහිටි වීරසිංහ ලී මෝලේ අයිතිකරු ද විය. මෝලේ කුඩා ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ තිබුනු එකම කාමරයේ ජවිපෙ මුලස්ථානය ස්ථාපනය කෙරුණු අතර, 1983දී පක්ෂය තහනම් කරන තුරු ම එය පවත්වාගෙන ගියේ ය.

wijeweera

1977 නොවැම්බරයේ පක්ෂය විජේවීර ඇතුළු තවත් බොහෝ දෙනෙකු නිදහස ලැබීමෙන් පසු පක්ෂයේ වැඩ කටයුතු පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් සඳහා රුපියල් ලක්ෂයක් එකතු කරන්නට දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් දියත් කෙරිණ.

එහිදී  ජවිපෙට ලක්ෂ දෙකකට ආසන්න අරමුදලක් එකතු කරන්නට හැකි විය. ඒ නොමසුරු පරිත්‍යාග හා විමුක්ති ගී ප්‍රසංගය ජනනය කළ ආදායම  නිසා ය. එයින් කොටසක් යොදවා තමන්ගේ ම තැනක මූලස්ථානයක පිහිටුවා ගැනීමට ජවිපෙ කල්පනා කළේ ය.


පක්ෂ මූලස්ථානය තැනීමට සුදුසු ඉඩමක් :


 පක්ෂ මූලස්ථානය තැනීමට සුදුසු ඉඩමක් සොයා දීමට මුලින්ම මැදිහත් වුණේ එකල පක්ෂයේ වැඩ සඳහා ද කැපවීමෙන් කටයුතු කල පක්ෂයේ අයට ඇඳුම්, කොඩි හෝ වෙනත් අවශ්‍ය දේ නොමිලේ මෙන් මසා දුන් කටුබැද්දේ තම ව්‍යාපාරය පවත්වා ගෙන ගිය ටේලර් සහෝදරයෙකි (ඔහු තවමත් පිළියන්දල පැත්තේ ජීවිකාව කරයි.).

ඒ මුල් ඉඩම පිහිටියේ කටුබැද්දේ ගාලු පාර හා මුහුදු තීරය අතර පෙදෙසකය. ප්‍රදේශයේ ප්‍රධාන කර්මාන්තයක නියෝජනය කළ ධීවර ජනතාවගේ කුඩා පැල්පත් ඒ අවට විය. 1983 පක්ෂය තහනම්වීමෙන් අනතුරුව මේ ඉඩම දීර්ඝ කලක් කිසිවෙකු විසින් පරිහරණය නොකළ බැවින් පසු කලක නාවික හමුදාව විසින් ඒ ඉඩම බලයෙන් අත්පත් කරගෙන නාවික හමුදා නිවාස සෑදීම කළ බවට මතයක් ද පවතී.

87/89 භීෂණ සමයේ නෂ්ඨාවශේෂ වූ සෝමවංශ අමරසිංහ ඇතුළු වත්මන් නායකත්වය, ප්‍රජාතාන්ත්‍රික ප්‍රවේශයක මත පක්ෂය ප්‍රතිසංවිධානය කරන විට අත්තිඩිය ප්‍රදේශයේ පක්ෂ මුලස්ථානායක පිහිටුවා ගති. රත්මලානේ යටතට වැටෙන අත්තිඩිය ද අඩු වැඩි වශයෙන් කර්මාන්ත හා කම්කරු කොටස් සංකේන්ද්‍රණය වූ ප්‍රදේශයක විය.



යට කී පරිදි ස්පා සිලෝන්, සුෂී බාර් හා කැෆේ ආදිය පැලවත්තේ බිහිවන කාලයේ ම ජවිපෙ ද තම වත්මන් පක්ෂ මූලස්ථානය මනා වාස්තු මෝස්තරයකින් හා පැලවත්තේ චෛතසිකයට හා රසයට ගැලපෙන ඉන්ටීරියර් ඩෙකෝරයකින් යුතු වත්මන් මුලස්ථානය පැලවත්තේ පන්නිපිටිය පාරේ ස්ථාපනය කළේ ය.    



අවකාශමය ගතික සංකල්පය භාවිතා වන්නේ වාස්තු විද්‍යාව හා නගර සැලසුම්කරණය ආදී විෂයන් සමාජ විද්‍යාත්මක පැතිමානයකින් විග්‍රහ කිරීමේදී ය. එම සංකල්පයට සබැඳි තවත් අදහසක් ඇත. ඒ 'ජෙන්ට්‍රිෆිකේෂන්' නමින් හැඳින්වේ.

ඉන් අදහස් වන්නේ මෙය ය. සමාජයේ පහල ස්ථරයේ ජනතාව ජීවත් වන කිසි ලකයක් නැති, අපිළිවෙල, අපිරිසිදු මුඩුක්කුමය ජනාවාස, රජයේ හෝ පෞද්හලික අංශයේ මැදිහත් වීමෙන්, ඒ මුල් පදිංචිකරුවන් ඉවත් කොට, පැල් කෑලි සුද්ද බුද්ද කොට, නව නිමාවකින් යුතු අධික මිලකට විකිණෙන රැස්පැක්ටබල්  නේබර්හුඩ් ස්ථාපනය කිරීමයි.


මංගල සමරවීර හා ගෝඨාභය රාජපක්ෂ, කලකට පෙර, බියුටිෆිකේෂන් හෙවත් අලංකරණය ලෙස කරනට උත්සාහ කළේත් ජෙන්ට්‍රිෆිකේෂනයේ ම කොටසකි. දැන් එම සංකල්පය විමුක්ති ව්‍යාපාර හා දේශපාලන පක්ෂ විසින් ද නිර්මාණශීලී ව භාවිතා කරනු පෙනෙන්නේ සිරිපාල අයියාගේ මරදානේ මුඩුක්කු පැල, පැලවත්තේ සුපිරි මුලස්ථානය හරහා තලවතුගොඩ අභිමානවත් ඉම්පීරියල් මොනාකිය ලෙස රූපාන්තරණය වන අතර ය.       

(මෙහි ඇති අතීත කරුණු, මා කලකට කලින් ලයනල් බෝපගේ සමග කළ කතා බහක් ඇසුරිණි. ඔහු කවුද කියා පැලවතු-තලවතු විමුක්තිකාමීන්ට අදාළ නැත)


Udanඋදන් ප්‍රනාන්දු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(මෙම ලිපිය 2022 ජනවාරි 02 දා 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

 

 

 

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

  

'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip 

Shorts වරදට කිපෙනු සටනට වැද ජය ලබනු - සීතා කියු කවි / Seetha Arambepola

 

දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්