ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ්-19 රෝගියා හඳුනාගැනීමේ හා ලොක්ඩවුන් පැනවීමේ සිට මේ වන විට දෙවසරකට ආසන්න කාලයක් ගතවී තිබේ.
මෙම වකවානුව තුළදී ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය විය. ශ්‍රී ලංකාව අධිවසංගතය විසින් නිර්මාණය කරන ලද සෞඛ්‍ය මෙන්ම ආර්ථික අර්බුදයක ද ගොදුරක් බවට පත්විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් 16ක් ක්‍රියාත්මක කළ රටක් වන ශ්‍රී ලංකාවේ 2020, 2021 දෙවසර ඊට පෙර දශකයෙන් වෙනස් නැත.
අපි ශ්‍රී ලාංකික විනිමයෙන් ආරම්භ කරමු.2020 වසරේදී ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 3%කින් අවප්‍රමාණය විය. 2021 වසරේදී අගය පිරිහීම ඩොලරයට සාපේක්ෂව 9%කි (1 රූපය). මෙය තරමක් භයංකර ලෙස පෙනුණද, එය පැවති තත්වයෙන් එතරම් වෙනස් තත්වයක් නොවේ.
පසුගිය දස වසර තුළ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අඩුවීමේ සාමාන්‍ය ප්‍රතිශතය 6%ක් විය. 2012 සහ 2019 වසරවලදී පිළිවෙලින් 15%ක හා 10%ක ඉහළ අගය අවප්‍රමාණ වීමක් ද දක්නට ලැබිණි. ඇත්ත වශයෙන්ම, අධි වසංගතයට පෙර සිටම රුපියල අඩු වැඩි වශයෙන් දිගින් දිගටම පහළ බසිමින් තිබිණි.
ගතානුගතික ආර්ථික විද්‍යාඥයන් පවසන පරිදි විනිමය අනුපාතිකයේ පහළ වැටීම අපනයන ප්‍රවර්ධනයේදී හොඳය. ආනයන අපනයන අතර පරතරය තුලනය කිරීමට උපකාරී වෙයි.
කෙසේ වෙතත්, අපනයන ආදායම් හා වාර්ෂිකව සිදුවන ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය පිළිබඳ දත්ත සන්සන්දනය කළ විට මෙම න්‍යාය ඔප්පු නොවන බව අප මීට ඉහතදී පෙන්වා දුන්නෙමු.
ඊළට අපි ජංගම ගිනුමේ ශේෂය පරීක්ෂා කරමු. 1978 වසරේ සිටම එහි පවතින්නේ හිඟයකි (2 රූපය).
විනිමය අනුපාතිකය පහත වැටීමට එය ප්‍රධාන හේතුවකි. මෙම හිඟය නිර්මාණය වන්නේ භාණ්ඩ වෙළඳ ගිනුමේ පුළුල් වන පරතරය හේතුවෙනි. අධි වසංගතය හේතුවෙන් පනවන ලද ලොක්ඩවුන් හේතුවෙන් භාණ්ඩ වෙළඳාම ආසන්න වශයෙන් නතර විය.
එහෙත්, පළමු කොවිඩ් රැල්ලෙන් පසුව අපනයනයන් ආනයනවලට වඩා වේගයෙන් වර්ධනය විය. එයට හේතු වූයේ රාජ්‍ය ප්‍රතිපත්තියි. මේ හේතුවෙන් 2020 වසරේ ජංගම ගිනුමේ හිඟය අඩු විය. එය සිදුවූයේ සංචාරක කර්මාන්තය බිඳවැටෙද්දී වීම විශේෂ කරුණකි.
කෙසේ වෙතත්, ඉහළ යන ගෝලීය භාණ්ඩ මිල (විශේෂයෙන් ඉන්ධන) හේතුවෙන් 2021 වසරේදී නැවතත් හිඟය පුළුල් විය.
රාජ්‍ය මූල්‍ය පැත්තෙන් සලකා බැලූ කල, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිඵලයක් ලෙස අයවැය හියේ වැඩිවීමක් 2020, 2021 වසරවලදී වාර්තා විය (3 රූපය).
කෙසේ වෙතත්, අධි වසංගතයට පෙර, බදු සහන ලබාදීමටත් පෙර පවා අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.6%ක් තරම් ඉහළ අගයක් විය.
අධි වසංගත සමය තුළ ශ්‍රී ලංකාවේ අයවැය හිය ඉහළ මට්ටමක පැවතියද, ඓතිහාසිකව සලකා බැලූ කල එහි අලුත්බවක් නැත. විශේෂයෙන්ම 1980, 1980 දශකවලට අදාළව තත්වය එයයි.
අවසාන දර්ශකය ලෙස සලකනු ලබන රාජ්‍ය ණය ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2020, 2021 වසරවලදී ඉහළ ගොස් තිබේ (4 රූපය).
එහෙත්, මෙය ද ශ්‍රී ලංකාවට අලුත් තත්වයක් නොවේ. 1989, 2001 හා 2004 වසරවලදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය 100% සීමාව ඉක්මවා ගියේය. අසල්වැසි රාජ්‍ය සමග සන්සන්දනාත්මකව ගත් කල ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයට අනුව ඉහළ ප්රතිශතයක ණය අනුපාතිකයක් පවත්වාගෙන ගොස් තිබේ. අධි වසංගතය තුළදී සිදුවී තිබෙන්නේ මෙම නිශේධනීය තත්වය තවදුරටත් පවත්වාගැනීමයි.
ඉදිරි මාර්ග දෙකක්
දැනට පවතින කොවිඩ්-19 අධි වසංගතය පිළිබඳ සැලකිලිමත්භාවයකින් තොරව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික දත්ත අධ්‍යයනය කරන අයෙකුට බාහිර කම්පනයක් ඇති බව දැකිය නොහැකිය. ඔවුන් විසින් දකිනු ලබන්නේ චක්‍රීයව සිදුවන ව්‍යූහාත්මක ගැටලුවකි.
අධි වසංගතය විසින් නිර්මාණය කරන ලද එකම වෙනස වන්නේ වෙළඳ හා ගෝලීය සැපයුම් දාමයට බාධා සිදුවීමයි. ණය ශ්‍රේණිගත කිරීම්වල බිඳවැටීම හේතුවෙන් විදේශ ණය සඳහා ප්‍රවේශය සීමා විය. එහෙත්, රට මුහුණදෙන මූලික ප්රශ්නය අවුරුදු 70ක් තිස්සේම නොවෙනස්ව පවතින එකම ගැටලුවකි. එනම්, ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවීමයි.
1970 දශකයේදී වෙළඳ හා මූල්‍ය නිදහස්කරණයෙන් පසු, ශ්‍රී ලංකාව ආනයන මත රඳාපවතින්නට පටන් ගත්තේය. එහෙත්, ආනයන වියදම් ආවරණය කරගැනීමට තරම් ප්‍රමාණවත් අපනයන සිදුවූයේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන හිඟය හේතුවෙන් අඛණ්ඩව විනිමය අනුපාතිකයේ පහත වැටීමක් සිදුවිය.
අර්බුදකාරී ගෙවුම් ශේෂය පියවාගැනීම සඳහා විදේශ ණය ලබාගැනීමට රට පෙළඹුණේය. මේ අතර, වසර ගණනාවක් තිස්සේ පවතින ප්‍රතිපත්තිමය අස්ථාවරත්වය හේතුවෙන් නිෂ්පාදන ආයෝජකයන් අධෛර්යවත් වී තිබේ. ආනයනික භාණ්ඩ වෙළඳාම හා අවදානම්කාරී මූල්‍ය ආයෝජන දිරිගැන්විණි.
ශ්‍රී ලංකාව ඉදිරියේ විකල්ප දෙකක් තිබේ. පළමුවැන්න නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් හරහා ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමයි. දෙවැන්න, වරද්දාගනිමින් නිවැරදි කරගනිමින් නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමනක් සිදුකිරීමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධ 17වන වැඩසටහන සමග සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවට ආනයන කරගෙන යා හැකි පරිදි ඩොලර්වලින් ප්‍රාණ නාලියක් ලැබෙනු ඇත. එසේම, ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යූහගත කරගැනීමට ද ලැබෙනු ඇත. එවැනි වැඩසටහනක් සමග බැඳෙන කොන්දේසි අතර විනිමය අගය පහත හෙළීම, ඉහළ පොළී අනුපාතික, ඉහළ බදුකරණය සහ වෙළඳාම නිදහස් කිරීම තිබේ. එමගින් ආර්ථිකය නැවතත් විෂම චක්‍රයක් තුළට පිවිසෙයි.
විනිමය අනුපාතික පිරිහීම හේතුවෙන් ජීවන වියදම ඉහළ යයි. එසේම, අපනයනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයට වියදම ද වැඩිවේ. ඉහළ පොලී අනුපාතික හේතුවෙන් කාරක ප්රාග්ධනයේ වියදම ඉහළ යයි.
එමගින් නිෂ්පාදනය සඳහා වන දිගුකාලීන ණය ලබාගැනීම අධෛර්යවත් වේ. සීමාන්තික අරපිරිමැස්ම හේතුවෙන් ආර්ථික වර්ධනය ඇණහිටින අතර සමාජ අස්ථාවරත්වය වර්ධනය වේ. වෙළඳපොළ නිදහස්කරණය හේතුවෙන් ළදරු මට්ටමේ තිබෙන කර්මාන්ත වෙළඳපොළෙන් ඉවතට විසිවෙයි.
අනුගමනය නොකළ මාර්ගය
වරද්දාගනිමින් හරිගස්සාගනිමින් ඉදිරියට යන ප්‍රවේශයෙන් අදහස් වන්නේ බොහෝ ශ්‍රී ලාංකික ප්‍රතිපත්ති සම්පාදකයන් හා ව්‍යාපාරිකයන් විසින් මෙතෙක් පය නොගසන ලද කලාපයකට පිවිසීමයි. එය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගයට අඩුවෙන් වේදනාකාරී මගක් නොවේ. කෙසේ වෙතත්, හිඟය-ණය-අවප්‍රමාණය යන විෂම චක්‍රයෙන් ගැලවීමට අවස්ථාවක් එයින් හිමිවේ. ඒ සඳහා බිම් මට්ටමේ සිට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගිය යුතුය.
පළමුව, විදේශ ආයෝජකයන් සමග ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් තම ගෙවීම් අන්තිම ඩොලරය දක්වා සිදුකළ යුතුය (ණය සහ ආනයන බිල් ඇතුළුව). එහෙත්, තම ඩොලර් මුදල් ගලනය සමතුලනය කරගැනීම පිණිස ඇතුළට ගලාඒම් වර්ධනය කරගනිමින් පිටතට ගලායාම් අවම කරගත යුතුය. කර්මාන්ත ඉලක්ක කළ ආනයන ආදේශනය යනු ප්‍රායෝගික අවශ්‍යතාවකි. එමගින් ආනයන වියදම් අභ්‍යන්තරකරණය කරගැනීමට අවස්ථාව ලැබේ.
විදේශීය ආයෝජන හා අපනයනය ඉලක්ක කළ භාණ්ඩ හා සේවා වෙනුවෙන් ආයෝජන දිරිගැන්විය යුතුය. මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඒ සඳහා අනුගත කළ යුතුය. නිෂ්පාදන වියදම අවම කිරීම සඳහා ස්ථාවර අඩු පොළී ණය ක්‍රමයක් පවත්වාගත යුතුය. එක් එක් අංශය වෙනුවෙන් නිශ්චිත බදු ණය යෝජනා ක්‍රම මගින් උපායික වශයෙන් වැදගත් අංශ වඩා ලාභදායී බවට පත්කළ හැකිය. කෙසේ වෙතත්, එවැනි සහනාධාර ලබාදිය යුත්තේ කාර්යසාධන ඉලක්ක සමග අනුගත වන සමාගම්වලටයි. බදු දීමෙන් ආදායම් ඉපදවීමට සීමාවීම වැළැක්වීම සඳහා එය අවශ්‍යය.
නිෂ්පාදනය සාර්ථක වීමට පෙර, කෙටිකාලීනව හා මධ්‍යකාලීනව, ප්‍රමාණවත් තරම් අභ්‍යන්තරයට ඩොලර් ගලාඒම පාලනය කිරීම සඳහා මූල්‍ය ගිනුම් කළමනාකරණය කරගත යුතුය.
කොළඹ වරාය නගරය හා ආයෝජන මණ්ඩලය ආයෝජන කලාප විසින් ණය නොවන ඩොලර් ආකර්ශනය කරගැනීම සඳහා ඉටුකළ යුතු භූමිකාව සුවිසල්ය. විදේශ විනිමය සංචිත ශක්තිමත් කරගැනීම සඳහා ඒවා භාවිතා කළ හැකිය.
වසංගතය විසින් වේදනාකාරී මුත් විශේෂ අවස්ථාවක් ශ්‍රී ලංකාවට සපයා දී තිබේ
කොවිඩ්-19 අධි වසංගතය විසින් වේදනාකාරී මුත් විශේෂ අවස්ථාවක් ශ්‍රී ලංකාවට සපයා දී තිබේ. රටට අවශ්‍ය නම් එක්කෝ විදේශ මූල්‍ය චක්‍රය නැවත ආරම්භ කළ හැකිය. ඒ සමගම නිෂ්පාදනයේ හුස්ම හිරකරන සීමාන්තික අරපිරිමැස්මකට යා හැකිය.
නැතිනම්, ඉහත දක්වන ලද ආකාරයේ නිෂ්පාදනයට හිතවාදී සාකල්‍ය ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ එම විෂම චක්‍රය බිඳදැමිය හැකිය. පසුව සඳහන් කරන ලද ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමේ අභියෝග හා අවිනිශ්චිතතා තිබේ. එහෙත්, ශ්‍රී ලංකාව සංවර්ධිත ආර්තිකයක් කරා ඔසවා තැබීම සඳහා වෙනත් විකල්පයක් නැත.
(ලේඛකයා Econsult Asia ආයතනයේ ආර්ථික පර්යේෂණ විශ්ලේෂකවරයෙකි. Econsult Asia යනු, විකල්ප සංවර්ධන දැක්මක් සහිත ආර්ථික පර්යේෂණ හා කළමනාකරණ උපදේශනායතනයකි. ලිපියේ ඇත්තේ ලේඛකගේ ස්වාධීන මත හා අදහස් වන අතර ඒවා ආයතන ප්‍රතිපත්ති හෝ ස්ථාවර හා සම්බන්ධ නැත.)
(බෝද් මාතුර)
ආර්ථික පර්යේෂණ විශ්ලේෂක
Econsult Asia ආයතනය
ලේඛකයාගේ වෙනත් ලිපි
Covid-19 in Sri Lanka: Macroeconomic crisis, or more of the same?
විනිමය අවප්‍රමාණය අපනයනවලට වාසිදායකද? -Bodh Maathura
'හූ' කන අවුරුද්දක් නොවේවා! | Gossip
Shorts වරදට කිපෙනු සටනට වැද ජය ලබනු - සීතා කියු කවි / Seetha Arambepola
දෙක මාරුවෙලා මොක වෙයිද! | මොණරවිලගේ ලියමන