1200 x 80 DMirror

 
 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ

පරීක්ෂණ කොට්ඨාශයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න භාරයේ තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ බිම් මට්ටමේ පරීක්ෂණ සිදු කරමින් සිටි දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක් සිටියේය. ඔහු, නිශාන්ත ද සිල්වා ය.

එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හදිසි නියෝගයක් ප්‍රකාරව, වහා ක්‍රියාත්මක වන පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීගමුව පොලිස් ස්ථානයට ඔහුව මාරු කෙරුණි. ඒ කාලයේ ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණි. පැය 24 ක් ඇතුළත ජනාධිපතිවරයාගේ ඒ මාරුව අවලංගු කොට නිශාන්ත ද සිල්වා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීමට ඒ පොලිස් කොමිසම සමත් විය.

එසේ කළ හැකි වුණේ, රාජ්‍ය සේවය තුළ නිදහසේ කටයුතු කරගෙන යාමට හැකියාවක් සහ අයිතියක්, එදා තිබුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කොට තිබුණු ස්වාධීන කොමිෂන් සභා ඔස්සේ ලැබී තිබුණු නිසා ය.

 

ඉන්පසුව, පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී, විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ඔස්සේ, ආකර්ශනීය තර්කයක් ඉදිරිපත් වුණි. එනම්, සාමාන්‍ය පොලිස් පරීක්ෂකවරයෙකු පවා මාරු කරගැනීමට රටේ ජනාධිපතිවරයාට නොහැකි වන පාලන ක්‍රමයක් අපේ රටට කුමටද යන්නයි.

 

එය, එනම් ස්වාධීන කොමිෂන් සභා යනු, හුදෙක් පොලිස් නිලධාරියෙකු පිළිබඳ ප්‍රශ්නයක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ පැවතිය යුතු ප්‍රධාන බල මර්මස්ථාන තුන (විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය) අතරේ පවතින බලය එකිනෙකින් ස්වාධීන කොට, සමස්ත බල ව්‍යුහය තුලනය කිරීමේ අතිරේක ආයතනික ක්‍රමවේදයක් වූ බව කවුරුත් දනිති.

එසේ තිබියදී, පොලිස් නිලධාරියෙකු පවා මාරු කිරීමටවත් බලයක් තමාට නැතැයි කී ජනාධිපතිවරයා, ඊළඟට එදා අගමැතිවරයා (රනිල් වික්‍රමසිංහ) ඇතුළු මුළු යහපාලන ආණ්ඩුවටම, අර නිශාන්ත ද සිල්වාට කළ දේම කෙළේය.


විකෘතියට පිළියමක්


එවිට මැදිහත් වුණේ පොලිස් කොමිසම නොව, රටේ උත්තරීතර අධිකරණයයි. උත්තරය කුමක්ද? රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අස්කොට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් ස්ථාපනය කිරීම මගින් ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කොට ඇති බවයි.

 

දැන්, රාජපක්ෂලාට තර්ක දෙකක් ගොඩනැඟී තිබුණි: එකක් වුණේ, පොලිස් පරීක්ෂකයෙකු හිතුමතේ මාරු කිරීමට පමණක් නොව, රටට සහ ජාතියට හරියට වැඩක් කිරීමට නම්, ආණ්ඩුවක් වූවත් අස්කිරීමට බලයක් ජනාධිපතිවරයාට තිබිය යුතු බවයි. එසේ නොතිබීම, ඔවුන්ට අනුව, මහා විකෘතියකි. 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ ඒ ‘විකෘතිය’ පිළිසකර කිරීමටයි.

 

බලයට පත්වූ සැණින් ඔහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට, තමාව රජෙකු කරවන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් සම්මත කරගත්තේ ඒ වෙනුවෙනි.  

රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත ගිය සතියේ එම ජනාධිපතිවරයා විසින් පූර්ව දැනුම්දීමකින් පවා තොරව අස්කරන්නේ, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා වෙත ලැබී තිබුණු ඒ අසීමිත බලය පාවිච්චි කිරීමෙනි.

මේ 20 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය විය. ඉතිං, ජනාධිපතිවරණයෙන් පසුව එළැඹීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණයේදී එම තුනෙන් දෙක ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට ලබා දෙන්නැයි සුසිල් ප්‍රේමජයන්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය.



ඔහු එය සූත්‍රගත කෙළේ මෙලෙසයි: “ගෝඨාභයට ජනතාව දුන් (69 ලක්ෂයේ) බලය හරියට ක්‍රියාත්මක කරන්න නම්, (පාර්ලිමේන්තුවේ) තුනෙන් දෙකක් ඕනෑ.”
ජනතාව ඔහුට කන්දුන්හ.

පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂයක මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ ප්‍රධාන විපක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කොට සිටි එක මන්ත්‍රීවරියක් සහභාගී කරගෙන, එම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකකින් සම්මත කරගැනීම සඳහා සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුව තුළ තමන්ගේ ඡන්දයත් පාවිච්චි කෙළේය.

දැන් සිදු වී ඇත්තේ කුමක්ද? සාමාන්‍ය පොලිස් පරීක්ෂකවරයෙකු මාරු කිරීමට පමණක් නොව, ජනතා ඡන්දයෙන් පත් වූ අගමැතිවරයෙකු (රනිල් වික්‍රමසිංහ) අස්කිරීමට පමණක් නොව, එදා පටන් රාජපක්ෂලා වෙනුවෙන් එක දිගටම හතිදාගෙන කඩේ ගිය සුසිල් ප්‍රේමජයන්ත වන තමා වැනි ජ්‍යෙෂ්ඨයෙකු පවා හැරෙන තැපෑලෙන් අස් කළ හැකි බලයක් තමා විසින්ම ජනාධිපතිවරයාට පවරා ඇති බව, දෙල්කඳ සති පොලේ සිට ගෙදර එන විට සුසිල් ප්‍රේමජයන්තට දැනගත හැකි විය.


හෝඩි පොත කියවීමට සතර සතිපට්ඨානය කුමටද?


මේ “දැනුම” ලබා ගැනීමට ඔය තරම් දුරක් යාමටත්, ඔය තරම් කාලයක් වැය කිරීමටත්, ඔය තරම් කැඹිරීමටත් සිදුවන මට්ටමේ මොට්ට ශිෂ්‍යයෙකු වූ සුසිල් ප්‍රේමජයන්ත රටේ ඇමති ධුරයකට කොහෙත්ම සුදුස්සෙකු නොවන බව බුද්ධිමත් පුරවැසියන්ට, මේ කාරණාවලින් අද වන විට පැහැදිලි විය යුතුය.

ඒ නිසා ඔහු ආපසු නීති වෘත්තියට යාම කාලෝචිත ය.

කරුණු එසේ වෙතත්, කැබිනට් මණ්ඩලයේ ‘සාමූහික වගකීම’ ආරක්ෂා නොකිරීම වැනි වැනි ඔල්මොරොන්දන් කතා නිසා ජනාධිපතිවරයා විසින් සුසිල් ප්‍රේමජයන්ත අස් කළා නොව, සුසිල් ප්‍රේමජයන්ත විසින්ම තමන්ව රජෙකු බවට පත්කොට ඇති බව සුසිල් ප්‍රේමජයන්තට ඉතා කෙටි කාලයක් තුළ අමතක වී තිබීම නිසා ජනාධිපතිවරයා තුළ ඇති වූ සාධාරණ කෝපයේ ප්‍රතිඵලයක් වශයෙන් තමාට ගෙදර යාමට සිදු වූ බව තවමත් ප්‍රේමජයන්ත අවබෝධ කරගෙන ඇති බවක් නොපෙනේ.

 

20 වැනි සංශෝධනය මගින් ඇති කොට තිබෙන විධායක ජනාධිපති ක්‍රමයේ ස්වභාවය ගැන වචනයක්වත් නොකියා, තමාව අස්කිරීම ගැන ඔහු දැන් වෙනත් මොනවාදෝ වැල්වටාරම් වගයක් කියන්නේ එබැවිනි.

 

මං පුංචි කාලේ අපේ අම්මා එක්ක බොරැල්ලේ සිල්ලර කඩේට යන විට, එහි මුල්ලක තබා ඇති පුන්නක්කු ගෝනියෙන් කෑල්ලක් අරගෙන අම්මාට සහ කඩේ මුදලාලිට හොරෙන් කටේ දාගැනීමේ පුරුද්දක් මට තිබුණි. (පුන්නක්කුවල අමුතු කිරි රසක් තිබේ). දවසක් මුදලාලි මෙය දැක්කේය. “ඇස්ලින් අක්කාගේ පුතා හරකෙක් වෙන්න වගෙයි හදන්නේ!” ඔහු අම්මාට ඇසෙන සේ කීවේය. මා පුන්නක්කු කන සතෙකු නොවී බේරුණේ, කඩේ ඇතුළේදීම අම්මාගෙන් එදා පහරකෑමේ ලැජ්ජාව නිසා විය හැකිය.

මේ ලැජ්ජාව, මේ රටේ 69 ලක්ෂයක් ජනතාවට අද තිබේ. එය, පොහොර නැතිව සිටින ගොවියන් අතරේත්, කිරිපිටි පැකට්ටුවක් හෝ ගෑස් සිලින්ඩරයක් ගැනීමට පෝලිම් ගැසී සිටින ජනතාව අතරේත්, මේ වන විට දවසට පැය දෙක බැගින් අඳුරේ සිටින්නට හිත හදාගෙන සිටින හුදී ජනයා අතරේත් බහුලව දකින්නට තිබේ.


සුසිල් ප්‍රේමජයන්ත ත්‍රීවීලරයෙන් ගෙදර යාම





එසේ තිබියදී, සුසිල් ප්‍රේමජයන්ත නමැති හිටපු රාජ්‍ය ඇමතිවරයා ඒ ජනතාවට නැවතත් පුන්නක්කු කැවීමට බලයි. තමාගේ අමාත්‍යාංශයෙන් සමුගැනීමෙන් පසු ඔහු ත්‍රී වීලරයක් ගෙන්වාගෙන ගෙදර යාමේ විකාර රංගනය කියාපාන්නේ එය නොවේද?

මේ රටේ ජනතාව හරක් බවත්, ඕනෑම අවස්ථාවක, ඕනෑම ආකාරයකින් ඒ හරක් රැළ දිනාගැනීමේ හැකියාවක් තමන්ට ඇති බවත්, ඔහු තවමත් විශ්වාස කරන බවක් එයින් පෙනේ.

රටක ජනතාවක් හැම විටෙකම බුද්ධිමත් නොවන බව ඇත්ත. ඒත්, ඒ ජනතාව පාලනය කරන පාලකයන් එම ජනතාවට වඩා හැම විටකම තමන් බුද්ධිමත් (ස්මාට්) යැයි සිතීමත් අමුම ගොන්කමකි.

 

හිරිඔතප් ගැන මීට පෙර බොහෝ අවස්ථාවල මේ කොලමේ ලියා ඇත. මේ රට මේ තරම්වත් අද ඉතිරිව තිබෙන්නේ, ලජ්ජාව හඳුනන සහ ලජ්ජාවට සංවේදී මිනිසුන් බහුතරයක් තවමත් සිටින නිසා ය. රටේ හැම තැනකම වෙසෙන 69 ලක්ෂය අද කියන දේවල් දිහා මොහොතක් නතර වී බැලුවොත්, ඒ ලැජ්ජාව මොන වගේදැයි දැනගත හැකිය.

 

ලංකාවේ අගමැතිවරයා ඉන්දියාවේ තිරුපති කෝවිලට යාමට පෞද්ගලික ජෙට් යානාවක් ප්‍රසිද්ධියේ පාවිච්චි කිරීම නීති විරෝධී ක්‍රියාවක් නොවේ. එහෙත් එය ලැජ්ජා නැති වැඩකි. ලැජ්ජාවට අසංවේදී වීමකි.

නීතිය තුළ නැති මනුස්ස ගතියක් ලැජ්ජාව තුළ තිබේ. මිනිසා අවසාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ ලජ්ජාව විසිනියි මේ ලියුම්කරු තරයේ විශ්වාස කරයි.


සුළු සොරකමක් නිසා බෙල්ල කපා ගැනීම


පුද්ගලික ජෙට් යානාවකින් තිරුපති ගිය පුද්ගලයා, උගෙනීමට ආශාවක් දක්වන කෙනෙකු නොවන බව දන්නා මුත්, ලැජ්ජාව ගැන සජීවී පාඩමක්, ඔහු වෙනුවෙන්ම නැතත්, අපේ පාඨකයන් වෙනුවෙන් සටහන් කිරීමට කැමැත්තෙමි.

එක පුද්ගලයෙක් පසුගිය දවසක සුපර් මාර්කට් එකකින්, ළමයින් සඳහා පාවිච්චි කරන යම් ක්‍රීම් වර්ගයක් හෝ සබන් වර්ගයක් හොරෙන් සාක්කුවේ දා ගත්තේය. මෙය දුටු වෙනත් පුද්ගලයෙකු මොහුව අල්ලා ගැනීමට යාමේදී, සොරකම කළ පුද්ගලයා තමන්ගේ බෙල්ල කපාගෙන ජීවිතය නැති කරගත්තේය.

මේ සිද්ධිමය කරුණු සියල්ල සමහරවිට අකුරටම නිවැරදි විය නොහැකි වූවත්, එක කාරණයක් ස්ථිර ය.

එනම්, සුළු සොරකමක් කරද්දී හසුවීමෙන් ඇති වන ලැජ්ජාව දරාගත නොහැකිව සිය ජීවිතය පවා අත්හැරීමට මනුෂ්‍යයෙකු පෙළඹී ඇති බවයි. මේ රටේ ජනතාව මෙම පුද්ගලයාව සැලකිය යුත්තේ සොරෙකු ලෙස නොව, දෙවියෙකු ලෙස ය.

 

අප සොරකම අනුමත නොකළත්, ඒ සොරකම මෙතරම් බරපතල මානසික අර්බුදයක් සහ අවමානයක් කරගැනීමට තරම් සංවේදී මිනිසෙකු අපේ රටේ පාලනයටත් සිටියේ නම් අප මොන තරම් භාග්‍යවන්තයන් විය හැකිව තිබුණිද යන ප්‍රශ්නය, මම මගෙන්ම අසමි.

 

අපේ පාලකයන්ගෙන් සෑහෙන පිරිසක්, වෙනත් කිසි රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකර, උත්පත්තියෙන් ගෙනා කිසි බූදලයකුත් නැතිව, දෑවැද්දකට ගත් දේපළකුත් නැතිව, දේශපාලනය පමණක්ම කිරීමෙන් හෙවත් සොරකම් කිරීමෙන් පමණක්ම ප්‍රකෝටිපතියන් වී සිටින රටක, මෙවැනි මනුෂ්‍යයෙකු දෙවියෙකු නොවීමට ඇති හේතුව කුමක්ද?

අද විදේශ ප්‍රවෘත්ති සේවා තුළ මෙවැනි සිද්ධියක් වාර්තා විය: පෝලන්ත ජාතික, වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු මීට අවුරුදු 20 කට කලින් මිනීමැරුමක් සිදු කොට තිබුණි. විශේෂ පොලිස් පරීක්ෂණ කොතෙක් දියත් කළත් අපරාධකරුවා අල්ලා ගැනීමට පොලීසිය අසමත් විය. ගිය සතියේ, පෝලන්තයේ වෝර්සෝ අගනුවර සුපිරි වෙළෙඳසැලක් තුළ මුහුණු ආවරණයක් පැළඳ නොසිටීමේ වරදට කෙනෙකු අත්අඩංගුවට ගැනුණි. ඔහුගේ වතගොත සෙවීමේදී, අර මිනීමැරුම සිදුකොට ඇති පුද්ගලයා මොහු බව සොයාගැනීමට පොලීසියට හැකි විය.

 

කිඹුලාගෙන් බේරී ගෙදර ආවත් හූනාගෙන් බේරෙන්නට බැරි වූ මිනිහෙකු ගැන කතාවක් පුංචි කාලයේ මා අසා තිබේ. අපේ අගමැතිවරයා යාළුවෙකුගේ පුද්ගලික ජෙට් යානාවක් තිරුපති වන්දනාවට යාම සඳහා පාවිච්චි කිරීමේ සිද්ධිය අපේ ජනතාව ඉදිරියේ දර්ශනය වන්නේ, අර මුහුණු ආවරණය පැළඳ නොගෙන සුපර් මාර්කට් ගිය පුද්ගලයා අතීත මිනීමරුවා බව හෙළිවීමේ අපූරු රූපකයට යැයි මට සිතේ.

 

හිරිඔතප්: උපාධියට අතිරේකයක්

MP Johnston Fernando throws a chair at police called in to protect parliament speaker Karu Jayasuriya during a stormy session on Friday in Colombo. (Reuters Photo)

පාර්ලිමේන්තු ක්‍රමය ගැන කලකිරුණු බොහෝ දෙනා එය ප්‍රතිශෝධනය කිරීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කරති. ඒ යෝජනා අතරින් එකක් වන්නේ උගතුන් පමණක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි. දියුණු වන ලෝකය තුළ එම යෝජනාව රැඩිකල් සිරියක් ගනී. එහෙත් ලංකාවේදී මේ ‘උගතා’ හැසිරී ඇති ආකාරය, ඉහත යෝජනාව පිළිබඳ සැක මතු කරයි. (උගතුන්ට මගේ විශේෂ විරෝධයක් ඇතැයි නොසිතන්න).

අපේ අගමැතිවරයා නීතිඥවරයෙකි. අපේ විදේශ ඇමති ජී. ඇල්. පීරිස් නීති පොතපතේ විශාරදයෙකි. ගෑස් සිලින්ඩර පිපිරීමක් තමන්ගේ පාරේ පිහිටි ගෙවල් එකොළහෙන් එකකවත් සිදු වී නැති නිසා, පිපිරීම් ගැන කියන කතා අතිශයෝක්තියක් හෝ බොරුවක් විය හැකි යැයි පාර්ලිමේන්තුවේදී කීවේ මහාචාරියෙකි. අපේ කතානායක සුසිල් ප්‍රේමජයන්තත් නීතිඥයෙකි.


බණ්ඩාරනායක මහතාගේ පාර්ලිමේන්තුවේ සිටි තැපැල් කම්කරු තේමිස් සමග සසඳන විට, ආයතනික අධ්‍යාපනය ලද සෑහෙන පිරිසක් අද පාර්ලිමේන්තුව තුළ ඉස්සරට වඩා සිටිති. ඔවුන්, සම්මත අර්ථයේ සහතිකලාභී උගතුන් ය.

ඒ සමගම, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝද, වෘත්තීය හොරුද සිටිති. අටේ පංතියටවත් නොගිය තවත් පිරිසක්ද සිටිති. එහෙත් කලින් කී ‘උගත්’ පිරිස සහ මේ පිරිස අතරේ විශේෂ වෙනසක් (වැදගත් පුද්ගලයන් අතලොස්සක් ඇසුරින් විනා) පෙනෙන්ට නැත.

 

පාර්ලිමේන්තුව එදාට වඩා අද දූෂිතයි. ඔලමොට්ටලයි. මේ නිසා අපව පාලනය කරගැනීම සඳහා උගතුන් පත්කර ගැනීමට වඩා, ලැජ්ජා-බය ඇති මිනිසුන් පත්කර ගැනීම වටනේ යැයි මට සිතේ.

 

GaminiViyangoda(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)




 
 

Leader Whats app


 
 


ரணிலுக்குப் பிரதமர் பதவியா? தென்னிலங்கை அரசியலில் குழப்பம்! | Gossip | Tamil
 

ඉවරයි බුද්ධ සාසන හා සංස්කෘතික අරමුදල ආර්ලගේ බැංකුවට ! | The Leader TV
 

නාමල් මෛත්‍රීට කෙළින්ම කියයි! බැසිල්ටත් ටොක්කක්!!| Gossip
 

සර් ජනමත විචාරණ තියන්න ඉස්සෙල්ලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහක් හදලා දෙන්න.
 

 

subscribeYT

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58