ගොඩ කාලෙකට පසු උදයසිරිව දුටුවෙමි.

 

ඔහු බාන්ස් පෙදෙසේ සිට හැටට හැටේ නෙළුම් පොකුණ පැත්තට ඇවිදගෙන යයි.

මට ඉබේටම බැලුනේ ඔහුගේ කකුල් දෙක දෙසය.

පුදුමය.

ඒත් ඇත්තය.

උදයසිරි සපත්තු කුට්ටමක් පැළැද සිටියි.

උදයසිරි වික්‍රමරත්න හොඳ නාට්‍යකාරයෙකි.

ඉඩ ඇති වෙලාවට ඔහු ඇඩ්වර්ටයිසිං කොපිත් ලියයි.

suddek

 

සුද්දෙක් ඔබ අමතයි, පෙම් යුවලක් ඕනෑකර තිබේ, තුන්සිය හැට එක, ගරු කටානායකතුමනි වැනි නාට්‍ය ගණනාවක් ඔහු වේදිකාවට දායාද කළේය.

 

එහෙත් උදයසිරිගේ හොඳම නාට්‍යය මේ එකක්වත් නොවේ.

මා එය හඳුන්වන්නේ කැරට් අලය නමිනි.

උදයසිරිගේ හොඳම නාට්‍යය දැකපු ඇඩ්වර්ටයිසිං ක්ෂේත්‍රයේ එකම කෙනා මමය.

90 දශකය මැද මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේදී එය වේදිකාගත කළේ කෙටි නාට්‍ය තරඟාවලියක් වෙනුවෙනි.

උදයසිරිගේ නාට්‍යයේ ප්‍රධාන නළුවා වූයේ වසන්ත මොරගොඩ ය.

උදයසිරිගේ කැරට් අලේ නාට්‍යයට හිමිවූයේ දෙවැනි හෝ තෙවැනි ස්ථානය ‍යි.

එහෙත් එම තරඟාවලිය පුරාම මා දුටු හොඳම නාට්‍යය වූයේ උදයසිරිගේ නාට්‍යයයි.

 

විනිශ්චය මණ්ඩලය වැඩිපුරම කතා කළේ උදයසිරිගේ නාට්‍යය ගැන මිසක් පළමු ස්ථානය දිනාගත් නාට්‍යය ගැන නොවේ.

 

උදයසිරිගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක ඇඩ්ඩා ද සිටියේය.

ඒ උදයසිරිට සපත්තු පැළැදවීමේ මංගල්‍යයට යි.

කතාව සිද්ධ වුනේ මේ ආකාරයට ය.

උදයසිරිව මං මුළින්ම කැන්දාගෙන ආවේ ග්‍රාන්ට්ස් එකට ය.

එතකොට අපේ ලොක්කා වූයේ රොහාන් පියදාස යි.

රොහාන් විසින් උදයසිරිට මුළින්ම බාර දෙනු ලැබුවේ පූගොඩ ෆැබ්රික් ඇඩ් එකකි.

 

උදයසිරි පූගොඩ දැන්වීමට ලියූ හෙඩිම වූයේ
" නෑඹුල් සළුවම සුන්දර ඇඳුමකි" යන්නයි.

 

ලයින් එක ලස්සන වුණාට පොඩි කොස්සක් තිබුනේය.

කොස්ස තිබුනේ කොපියේ නොව උදයසිරිගේ කකුලේ ය.

උදයසිරි දාන්නෙ සැන්ඩ්ල්ස් ය.

ඒ කියන්නේ හම් සෙරෙප්පු ‍ය.

සපත්තු දාගෙන එන්නැයි රොහාන් පියදාස උදයසිරිට දැන්වූයේ ය.

suede

උදයසිරි කිලෝමීටර් එකක් විතර උසය.

සපත්තු දැම්මොත් ඌ තවත් උස යයි.

සපත්තු දැමීමේ අපහසුව, නුහුරු බව, සපත්තු දැමීමෙන් ඇතිවිය හැකි ආසාත්මිකතා ආදී වශයෙන් හේතු ගණනාවක් උදයසිරි මට ඉදිරිපත් කළේය.

ඒ වැල් බයිලා රොහාන්ට වැඩක් නැත.

කෙසේ හෝ උදයසිරි සපත්තු දෙකක් දාගෙන ආවේය.

ඒ ආවේත් කොර ගසමිනි.

එහෙම ආවේත් දවස් තුනකි.

හතර වැනි දවසේ ඔහු නතර වුයේය.

අන්තිමට දෝස්මුරේ මට ය.

ඒ මං ගෙනා එකා පැන ගිය බැවිනි.

කෙසේ හෝ උදයසිරි බාගෙට නතර කර ගිය වැඩේ සම්පූර්ණ කර මං ජාම බේරාගත්තෙමි.

උදයසිරි ග්‍රාන්ට්ස් එකෙන් අස්වූ පසු ඇඩ්වර්ටයිසිං කරන්න ගියේ නැත.

 

පසුව ඔහු ලක්ෂ්මන් පියසේනගේ ඇරැයුමින් දිවයින පත්තරේට අන්දරේ ස්මිත් නමින් ආර්ථික විහිළු කොළමක් ලිව්වේය.

 

උදයසිරිට ෆීනික්ස් එකට දොර ඇරුනේ අන්දරේ ස්මිත් නිසා හා අර්වින් වීරක්කොඩි නිසා ය.

සිංහලෙන් ලියූ එවැනි කොළමක ඇති සියුම් හාස්‍යය කියවා තේරුම්ගැනීමට පුළුවන්  
ආයතන ප්‍රධානීයකුට හිටියේ අර්වින් පමණි.

උදයසිරි සැන්ඩ්ල්ස් පිටින්ම ෆීනික්ස් එකේ වැඩට ආවේය.

ඔහු නැවත ඇඩ්වර්ටයිසිං ලෝකයට ඇතුළු වූයේ එලෙසිනි.

උදයසිරි පුටුවෙන් නැගිටින්නේ කොටස් වශයෙනි.

හරියට බාසුන්නැහේලාගේ අඩි කෝදුව මෙනි.

බාසුන්නැහේලාගේ කෝදුව තුනට හතරට නමා තිබේ.

උදයසිරිගේ නැගිටිල්ලත් ඒ වගේය.

මුළින්ම ඔහු කකුල් දෙක ගෙන පැත්තකින් තියයි.

ඊට පසු ටික වේලාවක් ඔලුව අතගාමින් සිටී.

අත් දෙකෙන්ම මූණ පහළට පිරි මදියි.

අත් දෙකේ හිරි අරියි.

පුටුවෙන් නැගිටින්නේ ඊටත් පසුව ය.

බාහිරින් බලන කෙනෙකුට හිතෙන්නේ උදයසිරි නැගිටින්නේ ඔහුට ඕනෑවට නොව අපට ඕනෑවට කියායි.

ඔහු තවමත් ෆීනික්ස් එකේය.

වේදිකා නාට්‍ය ටිකත් කරගෙන යයි.

ranga

උදයසිරි ගේ එක් නාට්‍යයක් වේදිකාගත වූයේ "රඟපෑම් ඉවරයි" යන නමිනි.

එහෙත් රඟපෑම් ඉවර නැත.

අර්වින් හැරෙන්නට ෆීනික්ස් එකේ ඉන්න සියලු  දෙනා හැමදාම රඟපාති.

එදත් එහෙමය.

අදත් එහෙමය.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්