වසර 1987 විතර වන්නට ඇත.

ස්ථානය කොළඹ පදනම් ආයතනයයි.

එදින විශේෂ යමක් සිදුවෙමින් තිබුනා.

ඒ, මේ රටේ බිහිවූ අති විශිෂ්ට සංගීතවේදියකුගේ 50 වැනි උපන්දිනය නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයක් සහ පුංචි සමරු වැඩ සටහනකි.

මේ සංගීතවේදියා අන් කවරකුවත් නොව ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා ය ‍.

අප කවුරුත් වඩාත් හොදින් දන්නා ලෙස පැවසුවහොත් කේමදාස මාස්ටර් ‍ය.

මේ සමරුවේදී අපූරුම කතාවක් කළේ සුගතපාල ද සිල්වා විසින්.

ඒක මෙහෙමයි.

කේමදාස මාස්ටර් සංගීත පංති පැවැත්වුවේ සංගීත මංජරියේ.

දවසක් සුගතපාල ද සිල්වා ගිහින් තියෙනවා කේමදාස මාස්ටර් මුණගැහෙන්න සංගීත මංජරියට.

සංගීත මංජරිය පැවැත්වුණේ අදාළ ගොඩනැගිල්ලේ තුන්වෙනි තට්ටුවේ.

මේ කියන දවසේ මාස්ටර්ට කෝල් එකක් එනවා.

ටෙලිෆෝන් එක තියෙන්නේ පහළ තට්ටුවේ.


කේමදාස මාස්ටර් නෝට් එකක් ලියූ කොළ කැබැල්ලක්  ගෝලයාට ලබාදී තමා එනතුරු වයලීනය පුහුණු වන ලෙස දන්වා පහළ බහින්න පටන් ගන්නවා

තට්ටු දෙකක් විතර බහිද්දි මාස්ටර්ට ඇහෙනවා ගෝලයා වයලීනය වාදනය කරන්නේ වැරැදියට කියලා.

මාස්ටර් ආපහු උඩට නගිනවා.

" ගැහුවා වැරැදියි.."

ගෝලයාට නැවතත් කියාදී මාස්ටර් පහළ බලා යනවා.

ආපහු දෙවැනි තට්ටුවට ළං වෙද්දි ගෝලයා වරද්දනවා මාස්ටර්ට ඇහෙනවා.

ඔහු කෝල් එකට උත්තර දෙන එක පැත්තක තියලා ආයෙත් උඩට නගිනවා.

ගෝලයාට උපදෙස් දීලා ආපහු තුන්වෙනි වතාවටත් පහළ බහිනවා.

ගෝලයා ආපහු වරද්දනවා.

කේමදාස මාස්ටර් ආපහු උඩට එනවා.

නෝට් එක ලියපු කොළේ අරන් දෙකට නවලා සාක්කුවේ දාගන්නවා.

" මං එනකන් වරද්දන්නේ නැතුව ඉන්නවා ..!"

ඊට පස්සෙයි ඔහු දුරකථන ඇමතුමට පිළිතුරු දීම සදහා පහළට යන්නෙ.

අන්න ඒ තමයි කේමදාස මාස්ටර්.


අනූව දශකය මුල් භාගයේ සඳුදා දිනවලට කොළඹ සරසවියේ නව කලාගාරය හරිම කාර්යබහුලයි.

මොනයම් හෝ කලා වැඩසටහනක් සඳුදාට නව කලාගාරයේ පැවැත්වෙනවා.

ජනතාවාදී කලාකාරිනිය. වූ නන්දා මාලිනි ගේ " පවන" ප්‍රසංගයත් නව කලාගාරයට ගෙනාවා.

හැබැයි නන්දා මාලිනි මුදලාලිනිය රුපියල් 22,000 ට වඩා සත පහක්වත් අඩු කරන්න සූදානම් වුනේ නෑ.

කේමදාස මාස්ටර්ට ඇරැයුම් කළාම ඔහු මොකද කිව්වේ...?

" මේවා තරුණයො අතට පත් කරන්න ඕන...
කැම්පස් එකේ ළමයින් ගෙන් එකතු වෙන්නෙ රුපියල් 50 ද 100 ද මට ප්‍රශ්නයක් නෑ.මං එන්නං..."

ඒ තමයි කේමදාස මාස්ටර්.

කේමදාස මාස්ටර්ට තරුණයින්ගෙන් පිළිබද විශ්වාසයක් තිබුනා.

හැබැයි කේමදාස මාස්ටර් කාලෙන් කාලෙට එක් එක් උදවියට සෙට් වෙනවා.

මේ අය කේමදාස මාස්ටර්ව ඒ අයගෙ ට්‍රිප්වල රැගෙන යනවා.

ඔහුට වෙච්ච ලොකුම පාඩුව ඒකම තමයි.

කේමදාස ආර්. ඒ. චන්ද්‍රසේනයන් වෙතින් සංගීතය හදාරා ඇති බව චන්ද්‍රසේන මැතිණිය වරෙක ප්‍රකාශ කළා.

කේමදාස ඒක පිළිගන්න මොකක්දෝ මෑලිකමක් දැක්වූවා.

ඒත් කේමදාස ගේ නිර්මාණ ඇතුලේ හිටි ගමන් ආර්. ඒ. චන්ද්‍රසේන කෙනෙක් හොල්මන් කරන්නේ කේමදාසටත් නොදැනිමයි.

 කේමදාස වමේ මිනිහෙක්.

කාලයක් කේමදාසට ලූෂන් බුලත්සිංහල ප්ලග් වෙලා හිටියා.

මේ කාලයේදී අමරසිරි පීරිස් සමග කැසට් පටයක් කළා.

පද රචනා ලූෂන් ගේ.

ඒ සිංදු නං මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ.

සංගීතය කේමදාස මාස්ටර් ගේ.

මේ නිමිත්තෙන් බම්බලපිටිය වැල්ලවත්ත අතර පිහිටි හෝටලයක මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

මුලින්ම කතා කළේ කේමදාස මාස්ටර්.

මෙතැනදී කේමදාසටත් වඩා ලූෂන් කියවන්න ගත්තා සිංදු කියන්නේ මේවටය, අපි ජනතාව ගෙනියන්න ඕන මෙතැනටය ආදී වශයෙන්.

මේ ඒක පාර්ශවීය ලෙක්චර් එක පැයක් විතර ඇදුනා.

අන්තිමට ඇත්ත පත්තරෙන් ආපු පත්තරකාරයෙක් ඇහුවා සිංදුවල ලියලා තියෙන මඟුල මිනිසුන්ට තේරෙන්නේ නැත්තං වැඩක් තියනවද කියලා.

අද වගෙ බොරු ෂෝ මාධ්‍යවේදීන් නෙවෙයි, ඒ කාලේ කොන්ද කෙළින් තියාගෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන් පත්තරකාරයන් හිටියා.KD 2022

බෝතලේ කඩන්න කලින් තමන්ව බයිට් වෙන බව තේරුම් ගත්තු කේමදාස නිහඬ වුණා.

පස්සේ කාලෙක ලූෂන් ගේ දුව යොදාගෙන රූපවාහිනීයේ ඔපෙරා ගායනාවකුත් කළා.
ඇටමැස්සා ඇතුළු බොහෝ දෙනෙකුට ඒ ඔපෙරා ගායනා ඔස්සේ " හූ" කියන හඬ ඇරෙන්න වෙන ශබ්ද ‍රසයක් නම් දැනුනේ නෑ.


මේ වගේම කේමදාස මාස්ටර්ව අනුභව කළ කෙනෙක් තමයි දිවයින ඉරිදා සංග්‍රහයේ හිටපු කර්තෘ ගාමිණී සුමනසේකර.

දවසක් ඇටමැස්සා කේමදාස මාස්ටර් සමග පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුවා.

එතෙන්දි ඇටමැස්සාට තේරුනා ගාමිණී විචාර කියලා ලියලා තිබුනේ කේමදාස මාස්ටර්ගේම කටින් පිටවෙන වචන සෙට් එක කියලා.

මේ හුඟ දෙනෙක් කේමදාස වටා රැස් වුනේ ඔහුව බබලවන්න නෙවෙයි, ඔහු ගේ පිහිටෙන් තමන් බැබලවෙන්න.

කේමදාස තම ' කිලර්' සීඩී පටය දෙදෙනෙකුට එකවර ලබාදීමෙන් අන්තිමට වුනේ පිටකොටුවේ මල්වත්ත පාරේ පොඩි කඩයක් කරගෙන හිටපු අහිංසක මිනිහෙකුට තම කඩේ විකුණා කේමදාසට වන්දි ගෙවා නුවරඑළියේ අල වවන්න ‍යෑමට සිදුවීම යි.

කේමදාස නාමයට අවසන් කාලයේ කළු පැල්ලමක් එක් කළ මේ සිද්ධිය පිටුපස සිටියේ කේමදාස ගේ ගෝල 'බාලයෙකු' බව මුළු ක්ෂේත්‍රය පුරාම පැතිරී තිබුනා.

කේමදාස මාස්ටර්ගේ ආදාහනයත් සමග මේ ගෝල 'බාලයාත්' වෑලලීයාම මෙරට සංගීතයට සිදුවූ මහා සේවයක් බව ඇටමැස්සා ගේ කියැවීමයි.

කේමදාස මාස්ටර් පළමු සම්මානයට අත තබන්නේ 1966 වසරේදී යි.

ඒ 'සැනසුම කොතැනද ' චිත්‍රපටියේ සංගීත
අධ්‍යක්ෂණය උදෙසා එක්සත් ලංකා රසික සංගමය පිරිනැමූ සම්මානය යි.

ඔහු පළමු සරසවිය සම්මානය ලබන්නේ 'ගොළු හදවත' චිත්‍රපටියේ සංගීත නිර්මාණය වෙනුවෙන්.

'ගොළු හදවත' චිත්‍රපටියේ උච්චතම අවස්ථාව තමයි දම්මි හා සුගත් වෙන්වන මොහොත.

ඒ යුගයේ සංගීත අධ්‍යක්ෂවරුන්ට අනුව තියෙන සංගීත භාණ්ඩ සියල්ලම යොදාගන්නේ එම අවස්ථාව වෙනුවෙන්.
ඒත් කේමදාස මාස්ටර් එතැනදී යොදාගන්නේ නිහඬ සංගීතයක්.

කේමදාස ලාංකීය සංගීතය තුල විප්ලවකාරයකු වන්නේ ඒ නිසයි.

ටී. එම්.  ජයරත්නට ගුවන් විදුලියේ සරල ගී වැඩ සටහනකට ආරාධනාවක් ලැබුනා එක දවසක.

ටී. එම්. විසින් කේමදාස මාස්ටර්ටත් එක ගීතයක් නිර්මාණය කරන්න බාර දුන්නා.

නියමිත දිනේ එළැඹුනා.

ඒත් මාස්ටර් නෑ.

සංගීත ශිල්පීන් ‍යන්න ගියා.

ටික වෙලාවකට පස්සේ මාස්ටර් හති දාගෙන එනවා.

" හරි ටී. එම්.  ගමු...! "
ඒ මාස්ටර්.

" සේරම ගියානේ මාස්ටර් ... ගිටාරිස්ට් විතරයි ඉන්නේ ..."

ටී. එම්. බලාපොරොත්තු සුන් කරගෙන කිව්වා.
" ඒ හොඳටම ඇති "

එහෙම කියපු මාස්ටර් ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා සුවිශේෂී කලාකරුවකුට.

ඔහු ධර්මසිරි බණ්ඩාරනායක.

ධර්මසිරි ලවා ලියාගන්නා ගීතයේ පද වැල් ටික ටෙලිෆෝනය ඔස්සේම ලියාගන්නා මාස්ටර් තනුවත් යොදනවා.

අර එක ගිටාරය යොදා ගනිමින් ඔහු
ටී. එම්. වෙනුවෙන් ගීතය නිර්මාණය කරනවා.

" පවනට සැලෙනා දොඹ මල් සුවඳින්"


අද වැඩිපුර නෑසෙන මේ අපූරු ගීතය හැදුනේ එහෙමයි.

" රෑන ගිරව් " චිත්‍රපටිය සදහා මාස්ටර් නිර්මාණය කරන ගීතයක් තමයි " කන්ද උඩින් එන" ගීතය.


මෙය ගායනා කළේ ධර්මදාස වල්පොල.

මේ ගීතයත්, ගාමිණී ෆොන්සේකා හා විජිත මල්ලිකා ගේ රංගනයත් එකිනෙකට  බද්ධ වී ඇති අන්දම අමුතුවෙන් විස්තර කළ යුතු නෑ.

" ජනක හා මංජු" චිත්‍රපටියේ ගීත ගායනයට ක්ලැරන්ස් විජේවර්ධන තෝරා ගන්නවා.

සංගීතය නිර්මාණය කරන්නේ මාස්ටර්.

හැබැයි එහිදී එළියට එන්නේ මාස්ටර් තුල සිටින ක්ලැරන්ස්.

කේමදාස මාස්ටර් විශේෂ වන්නේ ඒ නිසයි.

පසු කාලෙක සීඩී තැටියක් සදහා අමරදේවයන්ට වෙනත් රචකයින් රචනා කළ හා කේමදාස තනු නිර්මාණය කළ ගීත ඩබ්ලිව්. ඩී. අමරදේව ඉවත් කොට
ඩබ්ලිව්. ඩී. ආරියසිංහ ලවා ගායනා කරවනවා.

දෙදෙනාගේ ම නම්වල මුලට ඩබ්ලිව්. ඩී. තිබුනට අමරදේවලා ඉන්නේ එක්කෙනායි.

කේමදාසට ඒක අමතක වුණා.

මේ කළ වැඩේ කේමදාසට තරම් නොවුනා වගේම ඒ කළ ගීත පැවතුනේත් නෑ.

මෙම ක්‍රියාව කේමදාස විසින් නොකළ යුතුව තිබුනා.

කේමදාසට ප්‍රේමදාස සමග හෝ ප්‍රේමදාසට කේමදාස සමග හෝ මොකක් හෝ ආරෝවක් තිබුනා.

එක් ජනාධිපති සම්මාන උළෙලක ප්‍රධාන ආරාධිතයා වුනේ ආර්.ප්‍රේමදාස අගමැතිවරයා.

කේමදාසත් ඊට සහභාගි වුණා.

රතුපාට ෂර්ට් එකකින් සැරසි ඔහු එහි පැමිණ තිබුනා.

සම්මාන සදහා කේමදාසගේ නම කියැවුණා.

ප්‍රේමදාස සම්මානය අතේ තියාගෙන හිටියත් කේමදාස ස්ටේජ් එකට නැග්ගේ නෑ.

ප්‍රේමදාස - කේමදාස  ගැටුම පාර්ලිමේන්තුව දක්වාම ඇදී ගියා.

කේමදාසට පාර්ලිමේන්තු යන්න අවශ්‍ය වුනේ ප්‍රේමදාසට පිළිතුරු දෙන්නයි.

94 ජන්දයේදී කේමදාස පොදු පෙරමුණ ජාතික ලැයිස්තුවට දැම්මත් ඇතුළට යන්න අවස්ථාව ලැබුනේ නැත්තේ ඒ වෙනුවට වෙනත් කබ්බෙක් ඇතුළට රිංගූ නිසයි.

" කේමදාස ඔයාට මේක ඕන නෑ නේද? " කියලා පොදු පෙරමුණේ ඉහළම ලොක්කියෙක් අහලාම තමයි ඔහුගේ නම කපා දැමුවේ.

කේමදාස නියෝජනය කරපු පක්ෂය, ඔහු නියෝජනය කළ දේශපාලන මතවාදය දැරූ කඳවුර විසින්ම කේමදාසව කපා දැමුවේ ඒ අන්දමටයි.

මහාචාර්ය ඒ.ජේ. ගුණවර්ධන ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයාව සිටියදී කේමදාස හා එක්ව අඩු පහසුකම් සහිත ග්‍රාමීය පාසලක දරු දැරියන් යොදා ගනිමින් පර්යේෂණාත්මක සංගීත වැඩ සටහනක් කළා.

එය ඉතා සාර්ථක වුණා.

ඔහු ඉතා පහසුවෙන් එම අභියෝගය ජය ගත්තා.

එදාට පමණක් නොවේ, අදටත් හෙටටත් කේමදාස අභියෝගයක්.

ඇටමැස්සාට කීමට ඇත්තේ එපමණයි.


(ඇටමැස්සා)
ඇටමැස්සා පසුගිය ලිපි මෙතනින්


 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්