ගාමිණී ෆොන්සේකා අප රටින් බිහිවූ ශ්‍රේෂ්ඨම නළුවා ය.

ඔහු ශ්‍රේෂ්ඨ නළුවකු වනවාට අමතරව සිංහල භාෂාව පිළිබද හසල දැනුමැත්තෙකි.

ගාමිණී ෆොන්සේකා විසින් සිංහල භාෂාවට දායාද කළ විශේෂ වචනයක් ඇත.

ඒ " ඔඩොක්කු කුක්කා" ය.

ගාමිණී ඔඩොක්කු කුක්කා යනුවෙන් හැදින්වූයේ ද තවත් නළුවෙකි. 

ඔහු සනත් ගුණතිලක යි.

සිංහල සිනමාවේ රසිකයන් හට පෙන්නන්න බැරි නළුවන් කිහිප දෙනෙකු සිටී.

ඩොමී ජයවර්ධන, පියදාස ගුණසේකර, රෙක්ස් කොඩිප්පිලි, විල්සන් කරුණාරත්න, මර්වින් ජයතුංග එයින් කිහිප දෙනෙකි.

ප්‍රේක්ෂකයන් මොවුන්ට අකමැති ඔවුන්ගේ සැබෑ ජීවිතය නිසා නොව සිනමා ජීවිතය නිසාය.

තම සැබෑ ජීවිතය නිසා කිසියම් නළුවකු මේ රටට එපා වී ඇත්නම් ඒ එකම නළුවකු පමණි.

පිළිගන්න ඔහු, සනත් ගුණතිලක ...!

සනත් ගුණතිලක ගේ සිනමා රංගනය හා සබැදුණු නම් කිහිපයක්ම වේ. 

ඒ අතර මාලිනී, මැණික්,වසන්ති, සබීතා ප්‍රධාන තැනක් ගනී.

සනත් ගේ පසු කාලීන ජීවිතය හා බැදුණු නාමය සිනමා නිළියක ගේ නමක් නම් නොවේ.

ඇය මේ රටේ සිව්වන විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග යි.

සනත් නිසා චන්ද්‍රිකා අමාරුවේ වැටුණා මිස චන්ද්‍රිකා නිසා සනත් අමාරුවේ වැටුණේ නැත.

"කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල" වැනි කියුම් සිංහල භාෂාවට එක් වී ඇත්තේ සනත් ලා වැනි මිනිසුන් අතීතයේ පටන්ම සිට ඇති බැවිනි.

සනත් සීනී බෝල නළුවකු වශයෙන් ආරම්භ කළ තම සිනමා ජීවිතය අවසන් කරන්නේ දක්ෂ චරිතාංග නළුවකු වශයෙනි.

සනත් හිටියේ යූ.එන්.පී. යේය.

චන්ද්‍රිකා 1994 දී දිනන බව දැනුනු විට සනත් යූ.එන්.පී. යෙන් පනින්නේය.

ඔහු ඒ සදහා උපයෝගී කරගන්නේ ' දිවයින ' පුවත්පතයි.

දිවයින පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සනත් යූ.එන්.පී. ආණ්ඩුවට පළු යන්න බනියි.

යූ.එන්.පී. ආණ්ඩුව විසින්  සිනමාවට තමා බලාපොරොත්තු වූ සේවය නොකළ නිසා තමන් ඉල්ලා අස්වන බව පවසා සනත් චන්ද්‍රිකා ළගට යන්නේ ' තුෂාරා ' චිත්‍රපටියේ ' මීදුම් ගලා කන්දෙ ... ඉවසන්න බෑ සීතේ...' ගීතය ගායනා කරමින් විජය මාලිනි ළගට යන්නා සේය.

එසේ උඩ පැනගෙන ගියා කියා සනත් සිංහල සිනමාවට කළ තඹ දොයිතුවක සේවය ද නැත.

කරගත හරියක් තමාටමය.

සනත් පැවතුම්වලින් අහිංසක චරිතයකි.

ඔහු පාසල් කාලයේ යහළු වී සිටි කෙල්ල වෙනත් කොල්ලෙකු හා යහළු වූ විට මහනුවර කිංස්වුඩ් විදුහල අසල බෝක්කුවක් උඩදී ඌට ගසන මෙන් සනත් තම මිතුරන් ගෙන් ඉල්ලා සිටියේ කදුළු පෙරමිනි.

සිංහල සිනමාවට සම්බන්ධ ශිල්පීන් ශිල්පිනියන් අනෙකුත් සිනමා නළු නිළියන් ගැන හොද පවසනු අප අසා ඇත.

එහෙත් ඔවුන් කිසිම හොදක් නොපවසන නළුවකු  වේ නම් ඒ, සනත් ගුණතිලක පමණක් මය.

නළු නිළියන්ගේ සංගමයට වත් සනත් වැද්ද නොගන්නේ එබැවිනි.

සනත් නිසා කඩාකප්පල් වූ සිනමා නිර්මාණ ද ඇත.

බන්ධුල පද්ම කුමාර අධ්‍යක්ෂණය කළ "සරසවි දියණියෝ " ඉන් එකකි.

සනත්ගේත්, එයට සම්බන්ධ වූ තවත් නිළියක්ගේත්  හුට පට නිසා මේ චිත්‍රපටිය බාගෙට රූගත කොට අත් හැර දමන ලදි.

සනත්ට ප්‍රකට මපට් වැඩ සටහනක යොදා තිබූ නම වූයේ ' සනී m ' ය.

එහිදී ' සනී m ' ගායනා කරන ගීතයක වදන් මෙසේය.

"... ගොං බානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට...
අම්බානක ලණු කැව්වයි
අපගේ ඇනිබල් අක්කට...."

සනත් ගේ දේශපාලන ඉතිහාසය ගැන දන්නා උදවිය මේ පද වැල සමග 100% ක් ම එකග වනු ඇත.

සනත් අසාර්ථක කුමන්ත්‍රණ කරුවෙකි.

මක් නිසා ද යත් ඔහු ගසන ගසන ප්ලෑන් අතේ පත්තු වන බැවිනි.

චැනල් 9 සිද්ධියෙන් සනත් හත් පොලේ ගා ගන්නේ ඔහු චන්ද්‍රිකා ගේ නම විකුණමින් කුට්ටිය ඉල්ලා සිටින හඩ පට සියල්ල සංස්කරණය නොකරම ලක්ෂමන් හුළුගල්ල විසින් විකාශය කළ බැවිනි.

බූඩි අධ්‍යක්ෂණය කළ 'මිල්ලෙ සොයා' චිත්‍රපටියට ද සනත් සම්බන්ධ විය.

ඒ, සහාය නළුවකු වශයෙනි.

ඉතාලියේ රූගත කළ මේ චිත්‍රපටියේ ජායාරූප බූඩි විසින් සනත් අත ලංකාවට එවන්නේ පුවත්පත් වලට යවා පූර්ව ප්‍රචාරයක් ලබා ගැනීම පිණිස ය.

ඒ ජායාරූප සමගින් පළ වූ සනත් ගේ පුවත්පත් සාකච්ඡා කියවූ විට ප්‍රේක්ෂකයන් ට සිතෙනු ඇත්තේ ' මිල්ලෙ සොයා ' හි ප්‍රධාන නළුවා සනත් බවය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ නොව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ ඇතැම් දේපොළ සනත් ගේ නමින් ඇති බවට එකල රාවයක් පැතිරුණි.

මේ කතා එදා පැතිරුවේ අද චන්ද්‍රිකා ගේ ගජ මිතුරන් බවට පත් ව සිටින යූ.එන්.පී. සෙට් එක විසිනි.

සනත් ගේ හොදම රංගනය එන්නේ විරාගය චිත්‍රපටියේ ය.

අද සනත් ගත කරන්නේ ද විරාගයේ අරවින්ද වැනිම හුදකලා ජීවිතයකි.

ඒවා සනත් ම විහින් කරගත් දේවල් ය.

දේශපාලනය නිසා සමහරු දේපොළ අහිමි කර ගනිති.

තවත් සමහරු ජීවිත අහිමි කර ගනිති.

එහෙත් දේශපාලනය නිසා තම ආත්මයම නැති කරගත්තෙකු වේ නම් ඒ, සනත් ගුණතිලක විය යුතුය.

" ..සිනාවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා...."
මොහිදීන් බෙග් මේක කියන්නේ සනත් ට දැයි සැක සිතේ.

(ඇටමැස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්