ජේ ආර් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන්නේ 1978 දීය.
රට අණ්ඩපාලයකු වූ ජේ ආර් තමන් සතු හයෙන් පහේ බලය උපයෝගී කරගනිමින් නව ව්‍යවස්ථාව සමඟ නව ඡන්ද ක්‍රමයක් හඳුන්වා දුන්නේය.
එය සමානුපාතික නියෝජනයයි.
ඒකත් ජේ ආර් ගේ කට්ට කයිරාටික අදහසකි.
එක්සත් ජාතික පක්ෂය පරාජය වුණු මැතිවරණ සියල්ල විශ්ලේෂණය කර බැලූ විට ඇත්තටම යූඑන්පීය පරාජය වී තිබුණේ ආසන මට්ටමින් පමණි.
ජන්ද ප්‍රතිශත වශයෙන් ගත් විට ඇත්තටම යූඑන්පීය ජයග්‍රහණය කර තිබිණි.
මෙය හොඳින් අධ්‍යයනය කළ ජේ ආර් සමානුපාතික නියෝජනය හඳුන්වාදෙන්නේ සදහටම යූඑන්පී ආණ්ඩුවක් බලයේ තබා ගැනීමේ අදිටන ඇතිවය.
එය එසේ නොවුණේ යූඑන්පී නායකත්වය ප්‍රේමදාස වැනි පුද්ගලයන් අතට පත්වීම නිසාත් පක්ෂ නායකත්වයට ගාමිණීලා, ලලිත්ලා කා කොටා ගැනීමත් නිසාය.
ජේ. ආර්. ගේ 78 ව්‍යවස්ථාව තරම් ව්‍යවස්ථාවක් තවත් නැත.
දැන් එහි විසි වැනි සංශෝධනය අත ළඟ එයි.
ඒ හැම සංශෝධනයක් පාසාම අපට මතක් වෙන අකුරු දෙක ජේ. ආර්. ය.
එබැවින් මෙය 78 ව්‍යවස්ථා ට වඩා ජේ.ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය.
ජේ. ආර්. මේ ව්‍යවස්ථාව ගෙන ආ විට අපි ද ඔහුට නින්දා අපහාස කළෙමු.
ජේ. ආර්. ට කුණුහරුපෙන් ද බැන්නෙමු.
මේ රටේ ජනතාව සේරම බවුන්සර් ඇරියේ ජේ. ආර්. ගේ මෑණියන් වහන්සේගේ නමටය.
ඒ ඇරපු සේරම බවුන්සර් තැන්පත් උනේ
ජේ. ආර්. ගේ මෑණියන් වහන්සේගේ එකවුන්ට් එකේ ය.
ජේ. ආර්. ට යැංකි ඩිකී කියලත් කිව්වෙමු.
ඈට දුන් පියා කියලා කිව්වෙමු.
ඒ තියෙන ඒවාට අමතරව 1977 දී අපට ඇට අටකුත් දෙනවා යැයි කියූ නිසාය.
ජේ. ආර්. ට තම්බි මුදියන්සේ යන නමද පාවිච්චි කර ඇත.
එය වැඩිපුරම පාවිච්චි කළේ වමේ කට්ටියයි.
ඒකාධිපතියා ...ධර්මිස්ටරයා ... ආදී එකී මෙකී නොකී නම් වලින් ද ජේ. ආර්. හැදින්වූයේ ද මේ 78 ව්‍යාවස්ථාව සමග ඇති කරගෙන තිබූ ඔරොප්පුව නිසාය.
ජේ. ආර්. ගෙන ආ මෙම ව්‍යවස්ථාවට විරුද්ධව එදා හාමුදුරුවරු පෙළපාලි ගියෝය.
පිටු පිරෙන්න පත්තර වල ලිපි පළ කළහ.
දේශපාලන රැස්වීම්, සම්මන්ත්රණ, පෙළපාලි ආදිය සංවිධානය කළෝය.
මේ සේරම ජේ .ආර්. ගේ ව්‍යවස්ථාවට විරුද්ධව ය.
ජේ. ආර්. ගේ මේ ව්‍යවස්ථාව අනුව කරන්න බැරි ගැහැණියෙක් පිරිමියෙක් කරන එකත්, පිරිමියෙක් ගැහැනිය කරන එකත් ය.
ඒ ඇරෙන්න වෙන ඕනම දෙයක් මේ ව්‍යවස්ථාවෙන් කරන්න පුළුවන් ය.
නඩුකාරවරු පත්කළේ ජේ. ආර්. ය.
අස් කළේත් ජේ. ආර්. ය.
ආණ්ඩුවේ ඉහල තනතුරු වලට නිලධාරීන් පත් කළේ ජේ. ආර්. ය.
ඔවුන් අස් කළෙත් ජේ. ආර්. ය.
පොලිස්පති ලා පත්කළේද ජේ.ආර්. ය.
පොලිස්පති ලා අස් කරන්නේත් ජේ. ආර්. ය.
ජේ. ආර්. ට කැමති ගණනක් ඇමතිවරු පත් කලේය.
අකමැති වූ විට එම ඇමතිවරු ගෙදර යැව්වේ ය.
එසේ ගෙදර යද්දී ඇමතිවරුන්ගේ තරාතිරම, තමන්ට අතීතයේ කළ සේවය, හිතවත්කම් ආදී කිසිවක් දිහා බැලුවේ නැත.
අගමැතිටත් වැඩ කරන්නට වූයේ ජේ. ආර්. කැමති තාලයට ය.
මොකද මේ සේරම ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි තිබුණේ ජේ. ආර්. ගේ සාක්කුවේ ය.
අවශ්‍ය වෙලාවට ඔහුට තිබුණේ දිනය දමා ගන්නටය.
මේවා කළා කියා ජේ. ආර්. ට නඩු දාන්නත් බැරි විදියට ව්‍යවස්ථාව බලසම්පන්නය.
එදා ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව විවේචනය කළ බොහෝ දෙනෙක් අදත් පාර්ලිමේන්තුවේ සිටිති.
ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව විවේචනය නොකළ එක පුද්ගලයකු හෝ පාර්ලිමේන්තුව සිටී නම් ඒ විමල් වීරවංශ පමණි.
මොකද ඒ කාලයේ ඔහු ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව විවේචනය කළේ විමලසිරි ගම්ලත් නමින් නිසාය.
දැන් ප්රශ්නය මේකය.
විසි වෙනි සංශෝධනයක් ගෙන එන්නේ 19 සංශෝධනයෙන් අඩු කළ බලතල යළි ගෙන එන්නටය.
එදා ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවට විරුද්ධව පෙළපාලි ගිය හාමුදුරුවන් දැන් සද්දයක් නැත.
ව්‍යවස්ථාවට ගිනි තිබ්බ විරෝධතාකරුවන් ද නිහඬය.
ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවට විරුද්ධව කෑ මොර දුන් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා දැන් ඇටි කෙහෙල් කෑ උගුඩුවන් පරිදිය.
හැමෝම ව්‍යවස්ථාවේ අගය කියනවා ය.
හැමෝටම ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවේ අගය එක පාරටම වැටහී ඇත.
ජේ. ආර්. දෙයක් හිතන්නේ අවුරුදු සිය ගණනක් එහාට බව කාටත් වැටහී ඇත.
මෙහිදී තවත් දෙයක් කිව යුතුය.
1982 ජනාධිපතිවරණයට ජේ. ආර්. එන්නේ @මට රකින්නට පරපුරක් නැත "යන දේශපාලන සටන් පාඨ සමඟය.
ජේ. ආර්. මොන තරම් බොරු කිව්වත් ,මොනතරම් බොරු පොරොන්දු දුන්නත් ,කිසි විටෙකත් ඔහු ඒ කියමන බොරු කළේ නැත.
විසිවෙනි සංශෝධනයේ අගය වටහා ගෙන එයට අත ඔසවන ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුනි,
ජේ. ආර්. අද ඉන්න තැනක සිට ඔබෙන් මෙසේ අසනු ඇත.
"ඔබට සතුටුයිද දැන්....?"
(ඇටමැස්සා)