20 ගැන කතන්දර ගොඩකි.
කතන්දර කිව්වාට මේ කතන්දර හදන උදවිය ඉන්නේ තිරයෙන් පිටිපස්සේ ය.
අපට පේන්නේ කතන්දර කියන උදවිය යි.
බළල්ලුන් ලවා කොස් ඇට බාවනවා කියන්නේ මේකට ය.
මෙතෙක් කල් දානේ වළදා හාන්සි පුටුවට වී සිහින දකිමින් සිටි හාමුදුරුවන් සෙට් එකක් 20 ට එරෙහිව හදිසියේම ෆෝම් කර තිබේ.
වැඩේ සිද්ධ කර ඇත්තේ අදාළ නිකායේ මහනායක හාමුදුරුවන්ට හොරා ය.
ඒ ඔස්සේ ගමන් කළ විට මේ කේස් එක පිටිපස්සේ ඕමල්පේ සෝභිත උන්නාන්සේ ඉන්නා බව සිතා ගත හැකිය.
ඕමල්පේ සෝභිත උන්නාන්සේ ඉන්නවා නම් ඒ පිටිපස්සේ අනිවාර්යයෙන්ම චම්පික ඉන්න බව ඉර හඳ සේ සහතිකය.
මේවා දැනගන්න CID අවශ්‍ය නැත.
කතෝලික පල්ලියේ පියතුමන්ලාට ද කිව යුතුව ඇත්තේත් ඔය ටිකමය.
පන්සලේ, පල්ලියේ තාප්පයෙන් පොඩ්ඩක් එළියට විත් එබී බැලුවහොත් පොදු ජනතාව අතර 20 ගැන කිසිදු කතිකාවක් නැති බව පැහැදිලිවම තේරුම් ගත හැකි වනු ඇත.
එහෙත් කොන්ත්‍රාත්තු ක්‍රමයට 20 එරෙහිව කෑගසන්නන්ට නම් එසේ නොපෙනීම පුදුමයට කරුණකුත් නොවේ.
යම් ව්‍යවස්ථාවකට සංශෝධන 20ක්ම ගෙනැවිත් තිබේ නම් එයින් කියැවෙන්නේ එම ව්‍යවස්ථාවම අවුලක් බවයි.
වඩා වැදගත් ව්‍යවස්ථාවවත්, එයට ගෙනෙන සංශෝධනවත් නොවේ.
ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරවන පුද්ගලයාය.
මෙම ව්‍යවස්ථාව යටතේ ජේ.ආර්. , ප්‍රේමදාස , ඩී.බී., චන්ද්‍රිකා , මහින්ද , මෛත්‍රී (රනිල්...?) රට පාලනය කර තිබේ.
ගෝඨා රට පාලනය කරිමින් සිටියි.
මේ එක් එක් පාලකයින් රට කරවූ හැටි කවුරුත් දනිති.
තමන්ට විරුද්ධව තීන්දුවක් ප්‍රකාශ කළ විට ජේ.ආර්. විසින් නඩුකාරවරුන්ගේ ගෙවල් ඉදිරියට කළු ලකී ඇතුළු මැර කල්ලි යවා හූ කියන විට අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු ප්‍රශ්නයක් වූයේ නැත.
මන්ද එවැන්නක් සිදුවූයේ නම් අද ප්‍රෙස් කොන්ෆරන්ස් තියන මේ පන්සල් + පල්ලි බජාර් එක නිකම් ඉන්නේ නැත.
තමන්ට එරෙහි පන්සලක් වශයෙන් ජේ.ආර්. සිතාගෙන සිටි ගැටඹේ රාජෝපවනාරාමයට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන් උසිගන්වා, හූ කියවා, අවසානයේ පන්සල වටා කටුකම්බි ගසන විටත් ප්රජාතන්ත්රවාදයට අබ මල් රේණුවක හානියක් වූයේ නැත.
එසේ වූවා නම් මේ පන්සල් + පල්ලි බජාර් එක මහ පාරේ පිකට් කරනු ඇත.
1977 සිට 1984 දක්වා මේ රටේ අග්‍ර විනිශ්චයකාරවරයා වූ නෙවිල් සමරකෝන් ජේ.ආර්. විවේචනය කිරීමෙන් පසු ඉක්මනින්ම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු යෙදිණි.
එයද ප්රජාතන්ත්රවාදී ය.
ප්‍රේමදාස පැමිණ තරුණයින් 60,000 කට ආසන්න සංඛ්‍යාවක් සංහාරය කළේය.
වැඩේ ප්රජාතන්ත්රවාදී ය.
කොටින්ට අවි ආයුධ, සිමෙන්ති දුන්නේ ය.
පොලිස් නිලධාරින්ට ත්රස්තවාදීන් ඉදිරියේ යටතේ වන ලෙස දැනුම් දුනි.
අද මේ කතා කරන උන්නාන්සේලා එදා හිටියේ නැත.
අද කතා කරන පල්ලිය එදා නිහඬය.
මේ රටේ පැවැති යුද්ධය පටන් ගත්තේ මේ ව්‍යවස්ථාව යටතේ ය.
එම යුද්ධය අවසන් කළේ ද මේ ව්‍යවස්ථාව යටතේමය.
එසේ නම් කළ යුත්තේ තව තවත් ව්‍යවස්ථාව දියාරු කිරීම ද?
මේ රටේ ව්‍යවස්ථාව අඩපණ කළේ 2015 යහපාලන ආණ්ඩුව විසිනි.
එළ හරකෙකු සහ මී හරකෙකු බැඳි කරත්තයක් බඳු වූ යහපාලන ආණ්ඩුව කාලේ රටේ ආරක්ෂාව බාර වී සිටි ජොකියන් පිස්සු කෙලපු හැටි පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසමේ දෙනු ලබන දෙකයි පනහේ සාක්කිවලින් හෙළි වේ.
යහපාලන ආණ්ඩුව අංගවිකල ආණ්ඩුවකි.
එය හරියටම ජොනි බට්ටෙකු පෙනී පෙනිම කකුල තැබීමේ ගොන්කම නිසා කරගත් වින්නැහියකි.
19 ගෙනාවේ යහපාලනය විසිනි.
එයින් රටට හෝ ජනතාවට අත්වූ සෙත කුමක්දැයි මේ පන්සල් + පල්ලි බජාර් එකට විස්තර කර දිය හැකිද?
19 නිසා පාස්කු ප්‍රහාරය නතර වූයේ ද?
19 නිසා මහ බැංකුව කොල්ල කෑම වැළැකී ගියේ ද?
19 නිසා මේ රටේ පුරවැසියකු නොවන හිටපු මහ බැංකුව අධිපති රටින් පැනයාම වැළැක්වීමට හැකි වීද?
19 නිසා පත් කළ ස්වාධීන මැතිවරණය කොමිසමේ ඇතැම් සාමාජිකයන් රටේ මැතිවරණ පැවැත්වීමට එරෙහිව උසාවි ගොස් කලිසම් ගලවා ගත් ආකාරය ගැන මේ පන්සල් + පල්ලි බජාර් එකට කිව හැක්කේ කුමක්ද ?
ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයාත් මේ රට පාලනය කළේද සියලු විධායක බලතල අතැතිවය.
ඒ යුගයේ එක මාධ්‍යවේදියකුට හෝ අතක් තැබූ පුවතක් වාර්තා වූයේ ද?
අනෙක් අතට රනිල් වික්‍රමසිංහ විහිළුවට හෝ මේ රටේ විධායක ජනාධිපති වූයේ යැයි සිතමු.
එසේ වූවා නම රටට වෙන්නේත් යූ.එන්.පී. එකට වූ ටිකම ය.
මේ සම්මජ්ජාතියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව එලවා ගන්න ලැබෙන්නේ නැත.
19 න් කළේ නපුංසක රාජ්‍යයක් හා නපුංසක පාලකයෙක් බිහිකිරීමය.
මේ පන්සල් + පල්ලි බජාර් එක ඇතුළු NGO සෙට් එක මේ රටේ නපුංසක පාලනයක් ඇති වෙනවාට කැමති ඇත.
එහෙත් මේ රටේ ජනතාව ඊට කැමති නැත.
කතිර 69 ලක්ෂයකින් ඔවුන් කියා සිටියේ එයයි.
අපට තව දුරටත් අවශ්‍ය පතෝල ආණ්ඩුවක් නම් යහපාලන ආණ්ඩුව පළවා හැර අළුත් ආණ්ඩුවක් පත් කරගත්තේ කුමකටද ?
20 කෝකටත් තෛලයක් නොවේ.
පැලැස්තරයක් පමණි.
රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම හැරෙන්නට වෙනත් විකල්ප නැත.
(ඇටමැස්සා)