තලගොයා සහ කබරගොයා එක වගේ ය.

එසේ වුවත් තලගොයා, කබරගොයා වන්නේ වත්,
කබරගොයා, තලගොයා වන්නේ වත් නැත.

තලගොයි මස් කෑවාට කබරගොයි මස් කන්නේ ද නැත.

මා දන්නා තරමින් වැරදීමකින් හෝ කබරගොයි මස් කා ඇත්තේ සරත් විජේසූරිය පමණි.

කෙසේ වෙතත් කන්න ඕන උනහම කබරගොයි මසුත් තලගොයි මස් කරගැනීම අපේ රටේ සිරිතකි.

විශේෂයෙන්ම එය අපේ දේශපාලකයන් ගේ ජානවලම ලියාපදිංචි වී තිබෙන්නකි.


අපි එකින් එක ගෙන බලමු.


2015 වනතුරුම මේ රට පාලනය කළේ 20 බලතල සහිතව ය.

1978 සිට 1994 දක්වා එම බලතල අඩු නැතිව බුක්ති වින්ඳේ යූ.එන්.පී. පාලකයින් ය.

එම බලතලම යලි ඇති කරනවාට වැඩිපුරම විරුද්ධත් යූ.එන්.පී. කාරයන්ම ය.

විපක්ෂයේ අද ජාතික ප්‍රශ්නය ද්විත්ව පුරවැසිභාවය යි.

එහෙත් යූ.එන්.පී. ය බලයේ ඉන්නා විට ද්විත්ව නොව මේ රටේ මෙලෝම පුරවැසිභාවයක් නැති අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ධූරයට පත් කරද්දී ‍ යූ.එන්.පී. , ජේ. වී. පී. නඩය අත් උස්සා අනුමත කළ අයුරු අමතක වෙන්න තරම් තවම කාලයක් ගතවී නැත.

මහින්ද පෝර්ට් සිටි කරන විට ජේ. වී. පී. එකට පරිසරය ප්‍රශ්නය ය.

රටේ කළු ගල් ටික ඉවර වෙනවා ය.

රනිල් පෝර්ට්  සිටි එක කරන විට ජේ. වී.පී. යට පරිසර ප්‍රශ්න නැත.

කළු හෝ සුදු ගල් ප්‍රශ්නයකුත් නැත.

අත්හිටවූ පෝර්ට්  සිටි ‍යලි ඇරඹුණි.

සිද්ධ වූයේ අවසානයේ කාගේ කාගේ හෝ සාක්කුවලට චීනාගේ සල්ලි ටිකක් වැටීම පමණි.

පෝර්ට් සිටි ව්‍යාපෘතිය අත්හිටුවීමේ වන්දිය අන්තිමට ගෙව්වේ ජේ. වී. පී. එකවත්, යූ.එන්.පී. එකවත් නොව, අපේ රට ය.

මහින්ද හයිවේ හදන විට වර්ග අඩියකට යන ගානද කියා හයිවේ එක හදන්නේ ‍රත්තරන්වලින් දැයි ඇසූ මිනිසුන් මහනුවර හයිවේ එකට ඇස්තමේන්ත හැදුවේ වර්ග අඩියකට ඊටත් වඩා වැඩි මිලක් දමමිනි.

චන්ද්‍රිකා ව්‍යවස්ථාව වෙනස් කරන බවට 
ජේ. වී. පී එකට පොරොන්දු වූයේ ලිපියකුත් අත්සන් කරය.

ජේ. වී. පී එක එය විශ්වාස කළේය.

ජේ. වී. පී එකේ නායකයින් මොන තරම් මැටි මෝලුන් පිරිසක් ද යන්න වටහා ගැනීමට එයම ප්‍රමාණවත් ය.

අවසානයේ චන්ද්‍රිකා නව ව්‍යවස්ථාව ගෙන ආ විට එය ඉරා විසී කර පාර්ලිමේන්තුව තුල ඩෙඟා නැටුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහම ය.

මහින්දත් ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ය.

ඒ වෙනුවට ඔහු කළේ තුන් වතාවක් ජනාධිපති විය හැකි වන ලෙසට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමයි.

මේ රටේ වැඩ වෙන්නෙ එලෙසිනි.

කොරෝනා පැතිරෙන විට වහාම පාර්ලිමේන්තුව රැස් කරන්නැයි යූ.එන්.පී. හා ජේ. වී.පී. ටොයියන් හඬ නැගුවේ මීට මාස කිහිපයකට පෙර ය.

දැන් යූ.එන්.පී. හා ජේ. වී.පී. ටොයියන් කියන්නේ කුමක්ද ?

කොරෝනා නිසා පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් වළකින ලෙසයි.

ආණ්ඩුව සරසවි සිසුන්ට පොලීසිය ලවා පහර දෙන විට එය ප්‍රජාතන්ත්‍ර විරෝධීය.

එවක විපක්ෂයේ සිටි රනිල් ගේ පක්ෂ නායකත්වය රැකගන්නට මංගල කොල්ලන් ලවා කුරුඳු පොලුවලින් පහර දෙන විට එය මොන වාදී ද?

ඉස්සර ජේ.වී.පී එක පෝස්ටර් ගැසුවේ 
" උනුන් එකයි - මුනුත් එකයි" කියා ය.

ඒකට තව කෑල්ලක් එකතු විය යුතුය.

එනම්,

" උනුන් එකයි - මුනුත් එකයි- තොපිත් එකයි "
ලෙසිනි.

ලංකාවේ මේ තලගොයි සහ කබරගොයි දේශපාලනය තිබෙන තුරු රටක් වශයෙන් අප ඉදිරියට යන්නේ නැත.

(ඇටමැස්සා )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්