දෙවැනි ඉනිම් කිහිපයක් ඇත.
එකක් දෙරණ ටීවී එකේ පෙන්වන දෙවැනි ඉනිම යි.
අනෙක කොරෝනා දෙවැනි ඉනිම යි.
 
බලාගෙන යනවිට මේ දෙකම එක සමානය.
 
දෙරණ පෙන්වන දෙවැනි ඉනිම ඔහේ පෙන්වාගෙන යයි.
 
කොරෝනා දෙවැනි ඉනිම ත් ඔහේ පැතිරීගෙන යයි.
 
මේ දෙකම වෛරස් ය.
 
ඒ කෙසේ වෙතත් ජාතික වශයෙන් වැදගත් වන්නේ කොරෝනා දෙවැනි ඉනිම ඉනිම බැවින් අද කතා බහ ඒ ගැන ය.
 
කොරෝනා දෙවැනි ඉනිම ත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමත් අතර විශාල සමානකමක් දක්නට ඇත.
 
 ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිමේදී හොඳින් ක්‍රීඩා කරයි.
 
එහෙත් දෙවැනි ඉනිමේදී ක්‍රීඩා කරන්නේ ගමේ ජොලි බෝයිස් ටෙනිස් බෝල ක්‍රිකට් කණ්ඩායම මෙනි.
 
විකට් එක පිට එක වැටී යයි.
 
සාමාන්‍ය වහරෙන් මෙයට කියන්නේ 'වැල ඕපන්' යනුවෙනි.
 
කොරෝනා දෙවැනි ඉනිමේදී ද සිදුවී ඇත්තේ එයමය.
 
වැල ඕපන් වී ඇත.
 
කොරෝනා පළමු ඉනිම හොඳින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම තුල නන්නත්තාරව ගොස් ඇත.
 
කොරෝනා පළමු ඉනිමේදී රටක් ලෙස අප මුහුණ දුන්නේ සංවිධානාත්මකව ය.
 
සියලු දෙනා නිසි පරිදි තම වගකීම් ඉටු කළහ.
 
මීටරයේ දුර, මුහුණු ආවරණ, සැනිටයිසර් යනාදිය ජීවිතයේ අනිවාර්යය අංග බවට පත් විය.
 
එහෙත් කොරෝනා දෙවැනි ඉනිම එන විට මීටරයේ දුර අඟලට අඩු වී තිබුණි.
 
සැනිටයිසර් අතුරුදන් ව තිබුණි.
 
මුහුණු ආවරණ පැළැදුවේ එපා වාහෙට හොදි බෙදන්නා සේය.
 
රජයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා කාටවත්ම වගක් නැත.
 
සුපර් මාකට්වල අත හෝදන්නට තිබූ සබන් දියර බෝතල්වල 90% කට වඩා තිබුනේ වතුර ය.
 
ආර්පිකෝ වේවා, කීල්ස් වේවා, ෆුඩ්සිටි වේවා කාගේ කාගේත් කැරැට්ටුව ඕකය.
 
කොරෝනා පළමු රැල්ලට අප මුහුණ දුන්නේ කෙසේද ?
 
එහිදී සමාජය දැනුවත් කිරීමේ කාර්ය භාරය බිස්නස් එකක් බවට කිසිවකුත් පත් කරගත්තේ නැත.
 
ජාතික රූපවාහිනීය විසින් මෙහිදී සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන ලදි.
 
දොස්තර නිහාල් ජයතිලක මහතාගේ මෙහෙවීමෙන් ජාතික රූපවාහිනීයේ වියදමින් වෙනම දැන්වීම් පවා නිර්මාණය කෙරිණි. WhatsApp Image 2020 11 09 at 9.30.38 AM
 
පුංචි දොස්තර නෝනා කෙනෙක් විත් උදේ රෑ නොබලා උපදෙස් දෙයි.
 
රෝගීන් මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයන් ද කොටු කරගැනීමට නිසි ක්‍රමවේද ක්‍රියාත්මක විය.
 
ජනතා සහාය ද ඒ සඳහා නොමදව ලැබෙන තත්ත්වයක් රට තුල නිර්මාණය විය.
 
එහෙත් කොරෝනා දෙවැනි ඉනිම එන විට සියල්ලම කණපිට හැරී තිබුණි.
 
 
කොරෝනා කියා එකක් රටේ ලෝකයේ තිබුනා කියා කාට කාටත් මතක් වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට පින් සිදු වන්නට ය.
 
සිංහලයා හොඳින් කියවා ඇති ප්‍රභාකරන් ප්‍රකාශ කළේ සිංහලයාට සියල්ල මතක සති 2 ක් පමණි යනුවෙනි.
 
එය ඉතිහාසය තුලින් ද, වර්තමානය විසින් ද නැවත නැවතත්, යලි යලිත්, තහවුරු කර ඇත.
 
සැකයක් නැත, අනාගතයේදී ද එසේම ය.
 
බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය දමන විට ඇතැම් අමනයින් කල්පනා කළේ ඊට පෙර කොළඹින් පනින්නට ‍ය.
 
කොරෝනා දෙවැනි ඉනිම මතුවෙන තුරු ආණ්ඩුව ද, විපක්ෂය ද, සෞඛ්‍ය අංශ ද, මාධ්‍ය ආයතනය ද, මහජනතාව ද බුදියාගෙන සිටියහ.
 
කොරෝනා දෙවැනි ඉනිම ගොඩනැගීමේ ගෞරවය මේ සියලු දෙනාම සම සමව බාරගත යුතුව ඇත.
 
මේ සියලුදෙනාගේ ම වගකීම් විරහිතභාවය විසින් කොරෝනා ව යලි කැන්දාගෙන එන ලදි.
 
නිකමට හෝ තොන්ඩමන්ගේ අවමංගල පෙළපාලිය තුලින් කොරෝනා දෙවැනි රැල්ල මතුවූවා නම් රජයට සිදුවන්නේ කළගෙඩි ගංගාවලට අතහරිනු වෙනුවට තම තමන්ට ම ගංගාවලට පැනීමට ය.
 
 
'මීටරෙන් ජීවිතේ' 
කොරෝනා වේ බරපතලකම අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශය ට තවමත් වැටහී නොමැති බවට හොඳම උදාහරණය නම් 'මීටරෙන් ජීවිතේ' නමින් දැන් ප්‍රචාරය වෙමින් පවතින දැන්වීමයි.
 
ප්‍රශ්නයේ බරපතලකම සෞඛ්‍ය අමාත්‍යංශය වටහාගත් ආකාරය එයින් මනාව පැහැදිලි වේ.
 
ජනතාවගේ ඔලුවට පොල්ලෙන් ගසා කිවයුතු දේ බයිලා කියා දැන්විය නොහැකි බව සෞඛ්‍ය බලධාරීන්ට තේරුම්ගැනීමට නොහැකි වීම රටේ කරුමයක් වුවත් මේ වෙනුවෙන් වියදම් කළ කෝටි සංඛ්‍යාත ධනස්කන්ධය නම් කාගේ හෝ උරුමයක් වන්නට ඇති බව නොරහසකි.
 
සත්‍ය වශයෙන්ම PCR පරීක්ෂණ කළ යුතුව ඇත්තේ මෙවැනි ප්‍රචාරක වැඩ පිළිවෙළකට අනුමැතිය දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොබ්බ නිලධාරින්ට ය.
 
කරපු මෝඩකම් දෙන්නට සරියේ - තවත් මෝඩකම් නොකරන් මරියේ කීවා සේ දැන් කරන්නට දෙයක් නැත.
 
අද සිට රටේ බොහෝ ප්‍රදේශ විවෘත වෙයි.
 
ගෙයින් එලියට බහින සියලු දෙනාම එදා අපට කොටි ගසන විට ජේ. ආර්. ජයවර්ධන උතුමාණන් පැවසූ මේ කියමන සිහියේ තබාගත්තාට  වරදක් නැත.
 
" තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගත යුතුය"
 
 
(ඇටමැස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්