ලංකාවේ සිනමාව ආරම්භය සනිටුහන් වන්නේ 1947 නිපැයූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටියත් සමගය.
මෙරට සිනමාවේ පළමු වසර 9 තුල දී චිත්‍රපටි බහුතරයක් හැදුනේ දකුණු ඉන්දියාවේ ය.
 
ඒවාත් කොපි ය.
 
තාමත් එහෙමය.
 
1956 නිර්මාණය වූ රේඛාව චිත්‍රපටියත් සමග සිංහල සිනමාවේ උපත ආරම්භ විය.
 
මෙසේ ඇදී ආ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය වශයෙන් සලකන්නේ 70 දශකය යි.
 
සිංහල සිනමාවට 50 වසරක් සපිරුණු 1997 වසරේදී රාජ්‍ය කමිටුවක් මගින් 50 වසරක සිංහල සිනමා ඉතිහාසයේ හොඳම චිත්‍රපටි 10 නම් කරන ලදි. 
 
 
ඒවා පිළිවෙළින් මෙසේ විය.
 
 
1- නිධානය ( ලෙස්ටර් ජේම්ස් පීරිස් - 1972)
 
2- ගම් පෙරළිය ( ලෙස්ටර් ජේම්ස් පීරිස් - 1963)
 
3- විරාගය ( තිස්ස අබේසේකර - 1987)
 
4- බඹරු ඇවිත් ( ධර්මසේන පතිරාජ - 1978)
 
5- සත් සමුදුර ( සිරී ගුනසිංහ - 1967)
 
6- තුංමං හන්දිය ( මහගම සේකර - 1970)
 
7- පළගැටියෝ ( වසන්ත ඔබේසේකර - 1979)
 
8- දඩයම  ( වසන්ත ඔබේසේකර - 1984)
 
9- රේඛාව  ( ලෙස්ටර් ජේම්ස් පීරිස් - 1956)
 
10- පරසතු මල් ( ගාමිණී ෆොන්සේකා - 1966)
 
10-වැලිකතර ( ඩී. බී. නිහාල්සිංහ - 1970)
 
 
මීට අමතරව යසපාලිත නානායක්කාර ලා, ලෙනින් මොරායස් ලා වානිජ සිනමාව හරහා සිනමා ශාලා පිරවූ යුගයක් ද විය.
 
කාලයක් සිංහල සිනමාව රැඳී තිබුනේ පීරිස් ලා දෙදෙනෙකු අත ය.
 
එක් කෙනෙක් ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.
 
අනෙක් කෙනා සුනිල්සෝම පීරිස් ය.
 
ලෙස්ටර් අපේ සිනමාවේ ගුණාත්මකභාවය ඉහළ නංවන අතරේ සුනිල්සෝම එහි සංඛ්‍යාත්මකභාවය ඉහළ නැංවූයේය.
 
පසුකාලීනව බිහිවූ මුකුත්ම බැරි බොහෝ ඩිරෙක්ටර්ලා දෙමළ, හින්දි, බටහිර චිත්‍රපටි පත අට එකට හින්ඳා කොපි චිත්‍රපටි තනමින් ගතමනාවක් සොයාගෙන අඹුදරුවන් රක්ෂා කළහ.
 
දෙමළ හෝ හින්දි භාෂාවන් නොදත් සිංහල ප්‍රේක්ෂකයන්ට එම චිත්‍රපටි කොපි කර සිංහල චිත්‍රපටි තනාදීමේ ගෞරවය උදයකාන්ත ට හිමිය.
 
මීට අමතරව ප්‍රසන්න ජයකොඩි විසින් කවදාවත් දැකලාවත් නැති සම්භාව්‍ය චිත්‍රපටි කොපි කර සිංහල සිනමාව දායාද නොකරන්නට අපේ සිනමාවට අනිච්චාවත ' සංකාරා' ය.
 
නව වානිජ සිනමාව ඇරඹෙන්නේ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර වැන්නවුන් හරහා ය.
 
නව වානිජ යැයි කිව්වාට මේ චිත්‍රපටි බලන්න සෙනඟ රැස් කකා ආවේ නැත.
 
' මං පොර' න්‍යාය මත පිහිටා හැදූ මෙම චිත්‍රපටි බොහෝමයක් NGO චිත්‍රපටි ය.
 
ඒ නිසා මිනිසුන් නාවාට පාඩුවක්ම නැත.
 
 
 
එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ පහළ වූ මූසලම කාලකණ්ණි අධ්‍යක්ෂවරයා සනත් අබේසේකර ය.
 
ඔහුගේ චිත්‍රපටි කලාව අවසන් වනු ඇත්තේ රටේ ඉතිහාසයත් අනුභව කර, බුද්ධාගමත් අනුභව කර, සිංහල සිනමාවේ ඉතුරු වී ඇති යමක් ඇත්නම් ඒ ටිකත් අනුභව කිරීමෙන් අනතුරුව ය.
 
අපේ සිනමාවට කාලයෙන් කාලයට යුග බිහි විය.
 
ගාමිණී, විජය, මාලිනි යුග ඒ අතර ප්‍රමුඛ විය.
 
සිංහල සිනමාවේ කුජීතම යුගය සනත් ගුණතිලක ගෙන් ආරම්භ වන අතර එය අවසන් වන්නේ ‍රංජන් රාමනායක ගෙනි.
 
 
 
සිංහල සිනමාවට කොරෝනා හැදුනේ මුළු ලෝකයටම පෙර ය.
 
මුල්ම කොරෝනාව ආවේ 1971 දී ජේ. වී. පී. කැරැල්ලත් සමග ය.
 
රාත්‍රී 9.30 දර්ශනය නරඹා ගෙදර යද්දී පොලීසිය චෙක් කරන විට සාක්කුවේ චිත්‍රපටියේ ටිකට් එක තිබුනේ නැතිනම් ළඟින්න වූයේ කූඩුවේ ය.
 
අවසානයේ 71 දී සිදුවන්නේ ‍රාත්‍රී 9.30 දර්ශනය බැලීමට තිබූ වැඩකරන ජනතාවගේ නැඹුරුව නැතිනම් ට්‍රෙන්ඩ් එක මැරී යාමයි.
 
දෙවැනි කොරෝනාව එන්නේ 1979 අප්‍රේල් 15 වැනි දින ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් (ITN) රූපවාහිනී සේවය ඇරඹීමත් සමගිනි.
 
1982 දී ජාතික රූපවාහිනීය ආරම්භ කර සිකුරාදා රාත්‍රී 9.30 පැරණි සිංහල චිත්‍රපටි පෙන්වන්නට පටන් ගත් පසුව තත්ත්වය ‍තවත් දරුණු විය.
 
එකල ගමටම තිබුනේ කළු/සුදු රූපවාහිනී යන්ත්‍ර දෙක තුනකි.
 
සිකුරාදා රාත්‍රීයට එම නිවෙස් මිනි සිනමා තියටර් බවට පරිවර්තනය වූයේ ඉබේම ය.
 
චිත්‍රපටි මංගල දර්ශනය පවත්වන සිකුරාදා දිනම සිංහල චිත්‍රපටි රූපවාහිනීය ඔස්සේ පෙන්වීම යලි නිවැරැදි කරගත නොහැකි වරදක් විය.
 
 
 
1983 කළු ජූලිය ජූනියස් රිචඩ් යුගයේ සිංහල සිනමාව විනාශ කළ තවත් කොරෝනාවක් විය.
 
චිත්‍රාගාර ගිනිබත් විය.
 
චිත්‍රපටි ගිනිබත් විය.
 
සියල්ලටම වඩා රටේ සිනමා ඉතිහාසය ගිනිබත් විය.
 
ජනාධිපති ජයවර්ධන විසින් සිංහල සිනමාවේ අර්බූදය ගැන සෙවීමට මහාචාර්ය ඒ.ජේ.ගුණවර්ධනගේ මූලිකත්වයෙන් කොමිෂන් සභාවක් ද පත් කරන ලදි. 
 
අදාළ කොමිෂන් සභා වාර්තාව එළි දක්වන දිනයේ මහාචාර්ය ගුණවර්ධන පවසා සිටියේ මේ රජය පොල් කුඩු අපනයනය කරන්නත් බදු සහන දෙන බවත්, එවැනි සහයෝගයක් වත් රජයෙන් දේශීය සිනමාවට නොලැබෙන බවත් ය.
 
එච්චරය.
 
කොමිෂන් වාර්තාව තවමත් හමස් පෙට්ටියේ ය.
 
දැන් අපේ සිනමාව 2020 දී මුහුණ දී සිටින්නේ කොරෝනා අවසන් අදියරට යි.
 
චිත්‍රපටියක් බලන්නට යම් නැඹුරුවක් තිබුනේ නම් ඒ සියල්ලම දැන් අවසාන ය.
 
කරන්නට ඉතිරිව ඇත්තේ චිත්‍රපටි හෝල් ටික ටියුෂන් කඩ බවට පත් කර සිංහල සිනමාවට පාංශුකූලය දීම පමණි.
 
 
(ඇටමැස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්