මේ දවස්වල ලක්ස් වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය වෙනවා.
ඒක දැක්කම ලක්ස් සබන් ගාන්නත් එපා වෙනවා.
 
ලංකාවේ ඕනම නිළියකට ගොනෙකු වන්න පුළුවන්.
 
ඒත් ලංකාවේ හැම ගොනෙකුටම නිළියක් වෙන්න බෑ.
 
ලක්ස් දැන්වීම කියාපාන්නේ එයයි.
 
ලංකාවේ තිරය පිරවිය හැකි රූපයක් සහිත නිළියන් නෑ.
 
ඒකයි ඇත්ත.
 
මේ පූර්විකාව ලියුවේ අපට අහිමි වී ගිය තාරකාවක් ගැන ලියන්නට යි.
 
ඇය නමින් රමණී බර්තොලමියුස්.
 
ඇය අපට අහිමි වන්නේ ජෝතිපාල සමුගෙන යන්නට දින 7 කට මත්තෙන්.
 
රමණී නික්ම ගොස් වසර 33 ක් ගතවුණත් තවමත් අපට ඇය ගැන කතා කළ හැක්කේ අද සිටින ලොන්තමොරොස් නිළියට ඒ අඩුව පිරවීමට නොහැකි වූ නිසාය.
 
1985 අවුරුද්දේ ලක් රූ රැජින ලෙස රමණී කිරුළු පළඳිනවා.
 
එවිට ඇගේ වයස අවුරුදු 19 යි. 
 
ඉන් ජයගත් පසු ඇය තවත් ජනප්‍රිය වුණා. 
 

WhatsApp Image 2020 12 16 at 4.33.44 PM

 
ලක් රූ රැජිණ වූ ඇයට ලෝක රූ රැජන තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන්නට අවස්ථාව ලැබෙනවා. 
 
මේ කාලයේ නිරූපිකාවක් ලෙස ද රමණි ජනප්‍රිය වුණූ අතර ඇගේ සිනහව සහ විවිධ ඉරියව්වෙන් සිටින රූපවලින් කැලැන්ඩර් වගේම පුවත්පත් කවර ද නිරත සැරසුණා.  
 
ඇය රටේම කතා බහට ලක්වෙන්නේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ භාග්‍යා ටෙලිනාට්‍යයෙන්.
 
මහපොළ ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් නිර්මාණය භාග්‍යා ටෙලිනාට්‍යයේ එන "ආජු තපර ලාහිලා " ගීතය අදටත් එක සේ ජනප්‍රියයි.
 
මේ ගීතය වෙනුවෙන් රංගනයේ යෙදුනේ රමණී යි.
 
 

ඇගේ මව සරසවිය පුවත්පතට මෙසේ සඳහන් කර තිබුණා.
 
“රමණිට වයස අවුරුදු 10ක් වගේ කාලයේ අපිට සැම්බියාවට යන්න සිදුවුණා. 
 
එහෙ ජනාධිපතිව හිටියේ කෙනත් කවුන්ඩා. 
 
ඔහුට වාර්තා වැඩසටහන් කිහිපයක් කරන්නයි මගේ මහත්තයා එරටට ගියේ. 
 
ඉතින් අපිත් පවුල පිටින්ම එහෙ ගියා. 
 
නත්තලට එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් නත්තල් නාට්‍යයක් කළා. 
 
රමණී හිටියේ මදර් මේරිට. 
 
එදා මගේ ඇස් අදහා ගන්න බැරි වුණා රමණි ‘මදර් මේරි’ වගේම යි. 
 
අදටත් මට ඒ රූපෙ හොඳට මතකයි. 
 
එදා ඇගේ රංගනය දැකලා රමණිගේ ඩැඩීට වුවමනා වුණා රමණිව කලාවට යොමු කරන්නට. 
 
දුව මේ විදිහට කලාවට එක්කාසුවෙලා දවසින් දවස දක්ෂතා පෙන්වනකොට අපි හුඟක් සතුටු වුණා. 
 
දුවට අවුරුදු 15ක් 16ක් වෙනකොට හුඟක් දේවලට දක්ෂ යි. භාෂා 4ක් පමණ කතා කළා. 
 
ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ, සැම්බියන් වතුර වගේ කතාකරන්න ඇයට පුළුවන්. 
 
ඒ වගේම නර්තනයට, රංගනයට වගේම මහන්න, උයන්න හොඳට පුළුවන්. 
 
පියානෝව හරි අපූරුවට වාදනය කරනවා”.
 
රමණී ගේ පියා ප්‍රකට වාර්තා චිත්‍රපටි අධ්‍යක්ෂවරයකු මෙන්ම ගුවන්විදුලි ඉංග්‍රීසි සේවයේ නිවේදකයකු වූ ලෙස්ලි මාක් බර්තොලමියුස්.
 
දියණියගේ අකල් මරණය නිසා ඔහුත් කෙටි කලෙකින්ම ජීවිතයෙන් සමුගන්නවා.
 
රමණී ගේ පෙම්වතා වුණේ කමල් අද්දරආරචිචි.
 
ඇගේ මරණයට ඇත්තම හේතුව දන්නේ ‍රමණී සහ කමල් පමණයි.10492298 718239791556459 5912783037339641780 n
 
1987 ජූනි මස 29 වැනිදා පාන්දර ‍රමණීව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ගෙන එන්නේත් කමල්මයි.
 
හිසට කළ සැත්කමින් පසුව ඇය ජීවත් වුණේ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන්.
 
එහෙත් ඇයගේ මොළය මියගොස් ඇති නිසා රමණීව කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයෙන් ගලවා ඉවත් කිරීමට තීරණය කෙරුණා.
 
ඒ සදහා රෝගියාගේ භාරකරු ඊට එකඟතාව පළ කර අත්සන් කළ යුතු වුණා. 
 
රමණී ගේ පියා සිය අත්සන යෙදීමට පළමුව ඇගේ දේහය දෙස ඉතා හැඟුම්බරව බලා සිටියා.
 
ඉන් පසු රමණී ගේ පියා ඇගේ දේහයට වැඳ වැටුණු බවත් ඔහු සිය අත්සන යෙදුවේ ඉන් පසුව බවත් වාර්තා වුණා. 
 
රමණි බර්තොලමියුස්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකළේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය විශේෂඥ පී.යූ. තෙලිසිංහ යි. 
 
ඔහුගේ සහය පිණිස කටයුතු කළේ එවකට සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වශයෙන් සිටි ආනන්ද සමරසේකර.
 
“සැත්කම් ලක්ෂණ හැර ඇගේ අත් පාවලත් සීරීම් තුවාල දක්නට ලැබුණි. 
 
විශේෂයෙන් දෑතේ වැලමිට ප්‍රදේශවල තුවාල දැකගත හැකි විය. 
 
ඇගේ හිසේ තුවාල තිබුණේ හිසේ පැත්තකිනි. 
 
එනම් හිසේ පිටුපස තුවාල තිබුණේ නැත. 
 
හිසේ තිබූ තුවාලවල තැලීම් සහ අස්ථි භග්න දක්නට ලැබිණි. 
 
හිස් කබල බිඳී මොළයට දැඩි සේ හානි සිදුවී තිබුණි. 
 
එනම් මොළයේ මරණීය තුවාල දක්නට ලැබිණි. 
 
ඇගේ තුවාලවල ස්වාභාවය පරීක්ෂා කිරීමේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් සිදුවී තිඛෙන බව පෙනිණි”යි මරණ පරීක්ෂණයේ දී සඳහන් විය.
 
මේ අනුව අවසානයේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් හිස තුවාල වී මොළයට මරණය තුවාල සිදුවී රමණි බර්තොලමියුස්ගේ මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍යවරු නිගමනය කළා.
 
පොලිස් අත්අඩංගුවේ සිටි කමල්ට නඩු පැවැරීමට තරම් ප්‍රමාණවත් කරුණු වාර්තාවලින් ලැබී තිබුණේ නැහැ.   
 
මෙම තොරතුරු මත නීතිපතිවරයා ඇයව මරා දැමීමේ චේතනාවක් කමල්ට නොවූ නිසා සාපරාධී ක්‍රියාවකින් සිදුවූ මරණයක් නොවන බවත් ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බවත් නිගමනය කළා. 
 
රමණී බර්තොලමියුස් මරාදැමීමේ සිද්ධියට කමල් අද්දරආරච්චි නිදොස් පුද්ගලයෙක් බවට තීරණය වුණා.
 
ස්වර්ණා මල්වාරච්චිගේ ඉවත් වීමෙන් පසු ධර්මසිරි බණ්ඩාරනායකගේ මකරාක්ෂයා වේදිකා නාට්‍යයේ "එලීසා" ගේ චරිතයට පණ පොවන්නේ ඇයයි.
 
ධර්මසිරි වැනි ප්‍රවීණයකු සමග ඇය කිසිදු චකිතයකින් තොරව රඟපාන අයුරු ලියුම්කරු දැක තිබෙනවා. 
 
ධර්මසිරි ඇගේ නිහතමානීකම ගැන වරෙක පවසා තිබුනේ මෙලෙසින්.
 
දිනක් නාට්‍ය කණ්ඩායමට ලැබුණ බත් පැකට් එකේ යම් ව්‍යංජනයක් පිළුණු වී තිබුනා. 
 
අනෙකුත් ශිල්පීන් මේ ගැන පැමිණිලි කර තිබුනා. 
 
රමණී ගෙන් මේ පිළිබදව විමසීමේදී ඇය පවසා ඇත්තේ ප්‍රශ්නයක් නැති බවත්, පිළුණු වූ ව්‍යංජනය ඉවත් කර ඇය එය අනුභව කළ බවත් ය.
 
මේ නිහතමානීත්වය අද නිළියකගෙන් බලාපොරොත්තු වනවාට වඩා ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලීම ප්‍රතිඵලදායකය.
 
ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ යුගාන්තය චිත්‍රපටි ඇය රඟපාන්නේ ගාමිණී ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන වැනි ප්‍රවීණයන් සමගයි.
 

WhatsApp Image 2020 12 16 at 4.33.45 PM

සිංහල සිනමාව සොයමින් සිටි මුහුණ තමා බව යුගාන්තය චිත්‍රපටියෙ රඟපෑ සහාය චරිතයෙන් පවා ඇය ඔප්පු කළා.
 
රමණීට ජීවත් වීමට අවසර ලැබී තිබුනේ වසර 21 ක් දක්වා පමණයි.
 
1987 ජූනි 30 වැනිදා රාත්‍රී 10.05 ට පමණ ඇගේ අවසන් සුසුම් පොද වා තලයේ සැඟව යනවා.
 
රමණී බර්තොලමියුස් දායක වූ නිර්මාණ සංඛ්‍යාව අතේ ඇඟිලි ගානටත්  අඩුයි.
 
ඒත් හිසේ කෙස් ගානටත් වඩා වඩා රඟපෑ ඇතැම් නිළියන්ට වඩා ඇගේ රංගනය මතකයි.
 
මියගිහින් වසර 33 කට පසුව වුවත් ඇයව සිහිපත් වන්නේ එනිසයි.
 

රඹුකන සිද්ධාර්ථ හිමියන් එකල දිවයින පුවත්පතට රමණී ගේ මරණය අරබයා ලියූ පද වැල මෙසේය.

"රමණීය විය මරණය ද

නුඹ නිසා රමණී"

 
 
(ඇටමැස්සා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්