කේ. ඩබ්ලිව්. ජනරංජන මහතා විසින් 'අනිද්දා 'පුවත්පතෙහි නොවැම්බර් 23 වනදා පළ කළ ‘මහජන ව්‍යවස්ථාව මිත්‍යාව සහ ඇත්ත’ යන ලිපිය

ව්‍යවස්ථා නිර්මාණය සම්බන්ධයෙන් අදාළ ඉතා වැදගත් කරුණු රාශියක් සාකච්ඡාවට මග පාදන හෙයින් එම සාකච්ඡාව සඳහා පහත සඳහන් පිළිතුරක් ලිවීමට අදහස් කළෙමි.

මෙම සාකච්ඡාව දැන් සිදුවන්නේ පවතින ආණ්ඩුව විසින් නීතිඥ කණ්ඩායමක් මගින් ලියා නිම කර ඇති ව්‍යවස්ථා කෙටුම්පතක් තමන් වෙත ලැබී ඇති බවත්, එම කෙටුම්පතේ පිටපත් විපක්ෂයේ මන්ත්‍රීවරු වෙත ලබා දෙන බවටත් ප්‍රකාශ කර ඇති තත්ත්වයක දී ය.

එම නිසා ව්‍යවස්ථා මූලධර්ම පිළිබඳව කෙරෙන සාකච්ඡාව අතිශයින්ම කාලෝචිත එකක් බවට පත් වෙයි.

එපමණක් නොව එම සාකච්ඡාව සකල ලාංකික ජනතාවගේ අනාගතය කෙරෙහි බලපාන එකක් වනවාට ද අනුමානයක් නැත.

එහෙත් අනුමානයක් ඇත්තේ එය මහ ජනතාවගේ නිදහස පළල් වීමටත් ජීවිතය වඩා සරුසාර වීමටත් උදව් වන පසුබිමක් සාදන ව්‍යවස්ථාවක් ද එසේත් නැත්නම් දැනට පවතින නිදහස සීමා කිරීමේ සම්ප්‍රදාය තවදුරටත් වඩා උග්‍ර කරන ව්‍යවස්ථාවක් බවට අනාගත ව්‍යවස්ථාව පත් වෙයිද නැද්ද යන කරුණු මතය.


මෙහිදී ජනරංජන මහතා ප්‍රශ්නයට භාජනය කරන්නේ ජනතා ව්‍යවස්ථාවක් යන්නෙහි තේරුමක් තිබේ ද යන්නය. මෙහිදී ජනතාව යනු කවුද යන ප්‍රශ්නය ද ඔහු මතු කරයි. ව්‍යවස්ථාවක් පිළිබඳව කතා කිරීමේ දී මෙම වචන අර්ථකථනය කළ යුත්තේ “දැය” එනම් ද නේෂන් නමැති සංකල්පය වටාය. දැය වනාහි යම් දේශසීමාවක් තුළ ජීවත් වන සියලු දෙනාගෙන් සමන්විත වුණු සංවිධානාත්මක සමාජ ව්‍යුහයකි. දැයට අයත් සියල්ලෝ එහි ජනතාව වෙති. පොදු ජන වහරේ දී ජනතාව යන්නෙන් පීඩිත ජන කොටස් පමණක් බොහෝ විට අර්ථකථනය වනවා වෙන්නට පුළුවනි. එහෙත් දැයක් තුළ ජනතාව වන්නේ එහි ජීවත්වන සියලුම ජන කොටස් ය.

 

ව්‍යවස්ථාවක් මඟින් දැයක ස්වභාවය නීතිගත කිරීමේ සම්ප්‍රදාය පහළ වන්නට පටන් ගත්තේ රාජ්‍යත්වයට විරුද්ධව ගෙන යන ලද විශාල අරගලයක් ඔස්සේය. මෙය පිළිබඳව බොහෝ දුරට බලපාන්නේ බටහිර ලෝකයේ රටවල් ගණනාවක සිදු වූ රාජ්‍ය නැති කිරීම සඳහා පැන නැගුණු ව්‍යාපාර තුළිනි.

 

එම අවධියේ දී ජනතාව යනුවෙන් අදහස් වූයේ රජතුමාට එරෙහි වූ අය ය. එනම් රාජ්‍යත්වය නැති කළ යුතුය යන අදහස මත පදනම් වූ අය ය. එම තත්ත්වය තුළ රජුට පක්ෂ වූවෝ ජනතාව යන කොටසට අයත් කොට නොසලකන ලදී. ඔවුහු රාජ්‍ය පාක්ෂිකයෝ වූහ. රජුට පක්ෂපාතී නොවී, තමන්ගේ දැයෙහි පාලනය තමන් අතට පැවරිය යුතුය යන සංකල්පය මත පිහිටා, සටන් කළ ඔවුන් ජනතාව වශයෙන් සලකන ලදී. එම ජනතාව විවිධ කොටස් වලින් සමන්විත විය.

එංගලන්තයේ දී මෙම අරගලය සිදුවූයේ  රජතුමාට විරුද්ධව ගොඩනගන ලද සන්නද්ධ  විරෝධතාවාදීන්ගේ මෙහෙයවීම යටතේ ය. එහිදී ප්‍රධානම සංකල්පය බවට පත්වූයේ රජතුමාගේ බලයට වඩා බලයක් දෙවියන්ට ඇති බව පිළිබඳ සංකල්පයයි. දෙවියන්ගෙ එම බලය මත තමන්ගේ බලය පවතින බව රජතුමා ප්‍රකාශ කළ නමුත්, මෙම රාජ්‍ය විරෝධී සටන්කරුවන් කියා සිටියේ දෙවියන්ගේ එම බලය පවතින්නේ සකල ජනතාව තුළ බවය.

මෙහිදී එංගලන්තයේ සමහර ආගමික කණ්ඩායම් ඉතා බලවත්ව මෙම කැරලිකරුවන්ට ආධාර කරන ලදී. කෙසේ වුවත් අවසානයේ දී  මෙම අරගලයේ නායකත්වය බවට පත්වූයේ ජනතා නියෝජිතයන් වශයෙන් පාර්ලිමේන්තුව පත්කර ගැනීමට අවශ්‍යය යන මතය මත පිහිටා සටන් කළ අය හා රජතුමා අතරය. අවසානයේදී රජතුමා පරාජය විය. එහෙත් රජතුමා පාර්ලිමේන්තුවේ බලයත්, පාර්ලිමේන්තුව පිටු පසින් සිටි ජනතාවගේ බලයත් පිළිගත්තේ නැත. ඔහුගේ මතය වූයේ ඔහු සියල්ලන්ටම ඉහළින් පිහිටා සිටින බවය.

එම නිසා අධිකරණයට හෝ පාර්ලිමේන්තුවේ අණසකට ඔහු යටත් නොවන බවය.


ජාත්‍යන්තරව පිළිගත් ව්‍යවස්ථා සම්ප්‍රදායක් ගොඩනැගීම සඳහා මඟ සෑදුනේ මෙම ගැටීම තුළ ය. සියල්ලන්ම පාර්ලිමේන්තුවේ හා අවසාන වශයෙන් ජනතාවගේ අණසකට යටත් විය යන සංකල්පය ගොඩ නැගෙන්නේ ඒ ආකාරයටය. එම මූලධර්මයේ අන්තර්ගතය වූයේ පාර්ලිමේන්තුව විසින් ජනතාවගේ දැනුම හා සම්මතය ඇතුව නිර්මාණය කරන ලද නීතියට සියලුම දෙනා යටත් බව ය. එනම් රජතුමා ද ඊට යටත් බව ය. පසු කාලයකදී ව්‍යවස්ථාවාදී රාජ්‍යත්වය යනුවෙන් එනම් ව්‍යවස්ථාවට යටත් රාජ්‍යත්වය යන සංකල්පය සෑදෙන්නේ ද මෙම පරමාධිපත්‍යය හා නීතියේ ආධිපත්‍යය යන සංකල්පය මතය. මෙය සංකල්ප දෙකක් නොවෙයි. එය එකම සංකල්පයකි. නීතියේ ආධිපත්‍යයෙන් තොරව ජනතා පරමාධිපත්‍යයක් පැවතිය නොහැකිය. නීතියේ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම ජනතා පරමාධිපත්‍යය ප්‍රකාශ කිරීමක් වෙයි.


සමාජ සම්මුතියක් (Social contract) :


rtx897m e1461163932653

මෙක්සිකෝ සිටි : මෑත කාලයේ වඩාත්  ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මහජන ව්‍යවස්ථාවක් සම්පාදනය උදාහරණ

 

මෙම සංකල්ප වලට පදනම සැලසූ දර්ශනවාදී විවාදයක් ද මේ කාලයේ සිදුවිය. එනම් දැයක් සෑදෙන්නේ සමාජ සම්මුතියක් (Social contract) යන සංකල්පයයි. මෙහි අදහස වන්නේ සමාජයක් තුළ ජීවත් වන විවිධ වෙනස්කම් ඇති හා විවිධ දේ පිළිබඳව ගැටීම් ඇතිකර ගැනීමට ඉඩකඩ ඇති සියලුම කොටස් තමන් අතර පවතින වෙනස්කම් යම් සන්දර්භයක් තුළ නිත්‍යනුකූලව කරගෙන යාම සඳහා සම්මුතියකට එළඹෙන බව ය.

එසේ සම්මුතියකට එළඹෙන්නේ එකිනෙකා අතර ගැටීම සීමාවකින් තොරව සිදු වූවොත් එය සියලු දෙනාගේ ම විනාශයට හේතු වන නිසාය. මේ නිසා මිනිස්සු රාජ්‍යයක් ගොඩනගා ගන්නවා යැයි මෙම දාර්ශනිකයෝ තර්ක කළහ.

220px Thomas Hobbes

තෝමස් හොබ්ස් (Thomas Hobbes) යන දාර්ශනිකයා මෙම මතය ඉතා ප්‍රබල ව ප්‍රකාශයට පත් කළ අයෙක් විය. එම මතය පසුකාලීනව බොහෝ අංශවලින් විවාදයට භාජනයව වැඩිදියුණු සංකල්පයක් බවට පත් වූවත් එය පසුපසින් පවතින මූලික සංකල්පය එනම් සමාජයක් තුළ අනිවාර්යයෙන් ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් තමන්ගෙ සම්මතයට අනුව සාදා ගත් නීතිමය රාමුවක් යටතේ පරිපාලනය කර ගැනීමේ ඇති උවමනාම ජනතා පරමාධිපත්‍ය යන සංකල්පය තුළ ගැබ්වී ඇත.

ජනරංජන මහතාගේ අදහසට අනුව මහජන පරමාධිපත්‍ය යන්න 1978 ව්‍යවස්ථාව තුළ ඇති අදහස හුවා දක්වයි. එහෙත් 1978 ව්‍යවස්ථාව තුළ ඇති එම සංකල්පය නිවැරදි සංකල්පයක් නොවෙයි.

ජේ. ආර්. ජයවර්ධන මහතා ඔහුගේ බලය තහවුරු කර කරගැනීම සඳහා එම ව්‍යවස්ථාව සකස්කොට පරමාධිපත්‍යය පිළිබඳව සංකල්පයක් තමාට ගැළපෙන සේ සකස් කර ගත්තේය. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව සලකනු ලබන්නේ ඔහුගේම සිරුරට කැපෙන ආකාරයට හදාගත් ඇඳුමක් ලෙස ලෙසය.


එම නිර්මාණයේ කොටසක් වූයේ ජනතාව පරමාධිපත්‍යය සීමා කිරීමේ අරමුණින්ය.

 

එම තේමාවක් ඔස්සේ පිහිටුවා නව ව්‍යවස්ථාවක් ගොඩනගන්නේ නම් නැවත වරක් සිදුවන්නේ ජනතතා පරමාධිපත්‍යය පිළිබඳව පවතින ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය නැවත වරක් යටපත් කිරීමය. මේ නිසා නව ව්‍යවස්ථාවක් ගොඩනඟා ගැනීම සඳහා කරන උත්සාහය සැබෑවක් නම්, එහිදී ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවෙහි ප්‍රබල සංකල්ප ගණනාවක්ම ඉවත් කොට දැමිය යුතුය.

 

ඔවූහු තමන්ට ගැලපෙන සේ ප්‍රජාත්‍රන්තවාදී සංකල්පයත් ප්‍රතිසංස්කරණය කර ගත්තේය. මේ නිසා මෙයින් පැන නැගෙන කරුණ නම්, ජනතාවගේ පරමාධිපත්‍ය මොනම අවස්ථාවකවත් අතහැර දැමීමේ බලයක් දැයක ජීවත් වන ජනතාවකට පවා බැරි බවය. මන්දයත් දැයක් යනු එදා ජීවත්වන මිනිස්සුන්ට පමණක් අයිති දෙයක් නොවෙයි. දැයක් වනාහි සදාකාලිකව යම් භූමි ප්‍රදේශයක් තුළ පදිංචිව ප්‍රජාතන්ත්‍රවාදී ධර්මතාවයන් මත තමන්ගේ නීති රාමුව සකස් කර ගත් සියලු දෙනාටම වර්තමානයේ මෙන්ම අනාගතයේදී බල පවත්වන ලේඛනයක් වන නිසාය.

එය යම් නායකයකුගේ අවශ්‍යතාවය මත ගොඩනැඟු විට සිදුවන්නේ එයින් ඔහුගේ අවශ්‍යතාවයන් ඉටු වනවා මිස දැයක් තුළ ජීවත්වන සකළ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමට පසුබිම සළසන නෛතික රාමුවක් නොවන බවයි.

ජනරංජන මහතා මතු කරන තවත් ප්‍රශ්නයක් නම් කුමන ආකාරයකින් ජනතා ව්‍යවස්ථාවක් බිහිවේද යන්න ය. මෙය දීර්ඝකාලීනව සිදුවන කටයුත්තකි. එනම් ජනතාව තමන් බැඳීමට කැමති වන්නේ කුමන සංවිධාන රටාවක් ද යන්න පිළිබඳව ඇති කරගන්නා පොදු එඟතාවය ව්‍යවස්ථාවක මූලය බවට පත්වීමය.

බ්‍රිතාන්‍යයේ ඇති වූ ලිඛිත නොවන ව්‍යවස්ථාව කාලාන්තරයක් තිස්සේ රජතුමාට විරුද්ධව පැන නැගී විශාල ව්‍යාපාර ගණනාවක්, තමන්ගේ අනාගතය සඳහා කුමන වර්ගයේ පාලන රටාවක් අවශ්‍යද යන්න, පිළිබඳව නිර්මාණය කරගත් අදහස් මත පදනම් වී ඇත.  එම සාකච්ඡා වල සමස්තයක් ක්‍රමයෙන් වර්ධනය වූ අතර එය ජනතාව විසින් පසුකාලීනව ඇති කරගත් ව්‍යවස්ථා සම්ප්‍රදායට ඇතුළු විය.


බ්‍රිතාන්‍යයේ පවතින්නේ ජනතාව විසින් ඇති කර ගන්නා ලද සම්ප්‍රදායන් සමූහයකි. ඒ අනුව බ්‍රිතාන්‍යය අත්දැකීම මත ව්‍යවස්ථාවක් ඇති කර ගන්නේ මොන ආකාරයෙන්ද කියා සාකච්ඡා කළ හොත් එය මුළුමනින්ම ඇති වන්නේ ජනතාව තුළින් තමන්ට සුදුසු යැයි අවබෝධයකට පත් සමාජ අදහස් එක් රැස් වීමත් ඒවා තමන්ගේ ආයතන තුළට ඇතුල් වීමත් තුළිනි. අධිකරණ ක්‍රමය ඇති වූයේ එසේය.


යම් දිනක පොතක් ලියා ඒ පොතට අනුව අධිකරණයක් ඇති වූවා නොව රටපුරා විනිශ්චකාර කටයුත්තේ යෙදුණු අය තමන්ගේ එම කටයුත්ත තුළින් ඇති කරගත් ඥානය සංසන්දනය කරමින් ඒවායේ තිබුණු සමානකම් පදනම් කර කරගෙන ඒ අනුව පොදු සම්ප්‍රදායක් ඇති කරගැනීම සිදුවිය. එය පසුව පාර්ලිමේන්තුව මගින් හා අධිකරණය මගින් ඔවුන්ගේ තීරණ ගැනීම් වලදී පාවිච්චි කොට පසුව ඒ පිළිබඳව ලිඛිත සටහන් ද ඇති විය. මේ නිසා ව්‍යවස්ථා නිර්මාණය තුළ එක්තරා ස්වභාවික පැවැතුම් රටාවක් පවතී.


ප්‍රංශයේ අත්දැකීම:


ප්‍රංශයේ අත්දැකීම ද එසේ විය. අතිශයින් පීඩාකාරී වූ රජතුමා හා සමාජයේ ඉහළ කණ්ඩායම් කෙරෙහි ඇති වූ දැඩි කලකිරීම් කාලාන්තරයක් තුළ ප්‍රකාශයට පත් වෙමින් පවතී. පසුව බුද්ධිමත් කණ්ඩායම් මෙම පලකිරීම් පිළිබඳව විවිධ සාකච්ඡා පැවැත්වූවා මෙන්ම ලේඛන ද සකස් කොට ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විය. ඒවායේ ඇති වූ එකඟතාවයන් පසුව ප්‍රබල ලියවිලි බවට පත්විය.

මිනිසාගේ අයිතිවාසිකම් ”ද රයිට්ස් ඔෆ් මෑන්” යන ලේඛනය මෙම අදහස් පිළිබඳ ප්‍රබල සම්පිණ්ඩනයක් සේ පවතී. පසුව ඇතිවූ අරගල තුළින් රජතුමාගේ හිස ගසා දැමීම දක්වාම එය පැතිරුණු අතර එම හිස ගසා ගැසීම සංකේතයක් වූයේ රාජ්‍යයත්වය නැමැති සංකල්පයේ අවසානයයි. රාජ්‍යයත්වය නැමැති සංකල්පය අවසානයත්ල ජනතා පරමාධිපත්‍යයේ සංකල්පයේ පටන් ගැන්මත් සිදුවන්නේ එකටය.


ඉන්දීය අරගලය :


ඉන්දියාවේ දී මෙය සිදු වූයේ වෙනත් ආකාරයකිනි. 19 වන වර්ෂයේ මුල් භාගයේදීම ඉන්දීය දේශපාලන පක්ෂ බිහි වීමට පටන් ගත් අතර ඔවුන් අතර තමුන්ට නිදහස ලබාගත් දිනයක තමුන්ගේ රාජ්‍ය කුමක් විය යුතුද යන්න පිළිබඳව බරපතළ විවාදයක් පැවතුනේය.

උදාහරණයක් වශයෙන් ඉන්දීය ජනතාව අතර පොදුවේ පැවති සමහර පසුගාමි ක්‍රියා, කුඩා දරුවන්ගේ විවාහය, පුරුෂයාගේ මරණයේදී ස්ත්‍රිය ගින්නට පැන මිය යා යුතුය යන තිබුණු “සති” යන පුරුද්දය.

ඉන්දියාවේ මුල් බැසගත් කුල ක්‍රමය ආදී දේ පිළිබඳව දැඩි විවේචන මෙම දේශපාලන පක්ෂ අතර ඇති විය. ඒවා ක්‍රමයෙන් ජනගත විය. ඒවා තුලින් තමන්ට සුදුසු රාජ්‍යය ක්‍රමයෙන් වර්ධනය විය.

බ්‍රිතාන්‍යයන්ගේ පාලනය තුළදි ඇතිවුණු අධිකරණ ක්‍රමය තමන්ට අවශ්‍ය ආකාරයට හැඩගස්වා ඒ තවදුරටත් පවත්වාගෙන යාම තමන්ගේ අනාගතයට වැඩි වාසියක් ඇති කටයුත්තක් සේ ඔවුහු සැලකූහ.

මේ සියල්ල තුළින් පරමාධිපත්‍යය යන්න පිළිබඳ සංකල්පය ඔවුන් තුළ ඇති වූයේ සාධාරණත්වය පිළිබඳව ඔවුන් තුළ ඇති වූ සංකල්ප සමඟ ය.

 

මේ නිසා ලංකාවේ ව්‍යවස්ථාවක් සෑදීමේදී අත්‍යවශ්‍යයෙන්ම ජනතා සහභාගිත්වයක් අවශ්‍ය වන්නේ ජනතාව තුළම තමන්ගේ රට තුළ සාධාරණය හා සමගිය පවත්වා ගෙන යාම සඳහා කුමන වර්ගයක සමාජ සංවිධානයක් අවශ්‍යද යන්න පිළිබඳව ඔවුන්ගේ මතය අත්‍යවශ්‍ය වන නිසාය.

 

මෙම මතය මත පිහිටා නිර්මාණය කරන ලඳ නීතීන් ක්‍රියාත්මක කළහැකි නීතින් බවට පත්වෙයි. මන්දයත් එයද සමාජ සම්මුතියෙන් ගොඩ නැගෙන්නා වූ නීතින් නිසාය.

ලාංකිකයාගේ පරමාධිපත්‍යය යයි සඳහන් කළ හැකි වන්නේ තමන්ට සුදුසු යැයි පවතින නීති ක්‍රමයක් ඔවුන් විසින්ම සම්මත කර ගත් අවස්ථාවේ සිටය. මෙය ඓතිහාසිකව සිදු විය යුතු දෙයකි. එසේ සිදු නොවීම රටේ පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව පවතින විශාල  කළකිරීම් වලට ප්‍රධාන හේතුවක් සේ පවතී.


මෙසේ ජනතාවගේ අදහස් ප්‍රකාශයට පත් කිරීම වර්ථමාන කාලයේදී කරනු ලබන්නේ ව්‍යවස්ථා සභාවක් ඔස්සේය. ඉන්දියාව ඒ ව්‍යවස්ථාව නිර්මාණය කර වූයෙන්, බොහෝ රටවල් ගණනක වර්තමානයේ දී ව්‍යවස්ථාවන් බිහිවීම් කර ඇත්තේ එම පදනම ඔස්සේ ය. ඉන්දියාව ඒ ව්‍යවස්ථාව නිර්මාණය කර ගැනීම සඳහා අවුරුදු තුනකට පමණ කාලයක් ගත වූ බව එම ව්‍යවස්ථාව පිළිබඳව ලියා ඇති පොත පතින් ඉතාම පැහැදිලි විය.


එම සාකච්ඡාව තුළ සිදු වූ සියලුම ලේඛන ආරක්ෂා කොට ඇත. ව්‍යවස්ථා සභාවට පුද්ගලයන් පත් කරගන්නා ලද්දේ ඒ කාලයේ දී දේශපාලන ක්ෂේත්‍රය තුළ බොහෝ සේ පිළිගැනීමකට ලක්වී තිබූ ප්‍රධාන දේශපාලනඥයින් යටතේය. එය පවත්වන විධික්‍රමය ජනතා ප්‍රකාශයට පත්ක කොට තිබුණි. එහිදී ඇති වූ සියලුම සාකච්ඡා වාර්තා කර ගන්නා ලදී.

එම වාර්තා මත පදනම් වී ව්‍යවස්ථා කෙටුම්පත කිරීම එකළ ප්‍රබල පීඩිත පන්තියේ දේශපාලන නායකයෝ වූ ආචාර්ය බී. ආර්. අම්බෙක්කා යටතේ පැවති කොමිටියක් මත පවත පවරන ලදී. එම කොමිටිය තමන්ගේ මූලික ව්‍යවස්ථා අවුරුදු තුනක පමණ කාලයක් තිස්සේ සාකච්ඡා කරන ලදී. ව්‍යවස්ථාවෙ හැම වගන්තියක්ම පිළිබඳව කොමිටි සමාජිකයන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීම මගින් පිළිගැනීමක් කරන ලදී. ඒ සමහර කොටස් ඒකමතිකව තීරණය වූ අතර සමහර කොටස් පිළිබඳව වැඩි ඡන්දයක් මත තීන්දු ගන්නා ලදී.

මෙම කෙටුම්පත පසුව සමස්ථ ව්‍යවස්ථා සම්පාදක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව එය නැවතත් සලකා බලා එය තුළ වඩාත්  සුදුසු ආකාරයකින් සකස් කොට අවසානයේ දී එය ප්‍රකාශයට පත් විය.


මූලධර්ම ගණනාවක්..


මෙම ඉන්දියානු සාකච්ඡාව තුළ කාලයක් තිස්සේ නොවෙනස්ව පවත්වා ගත යුතු මූලධර්ම ගණනාවක් සාකච්ඡා විය. ඉන් එකක් නම් රටේ ස්වභාවය කුමක්ද යන්න එනම් එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් විය යුතු බවය. එහි පාර්ලිමේන්තුවේ ස්වභාවය හා එහි බලය සාකච්ඡා විය.

එමෙන්ම ඉතා ප්‍රබල සාකච්ඡාවක තේමාව වූයේ රටේ පැවතිය යුතු විනිශ්චයකාරවරුන්ගේ කාර්යභාරය හා ස්වාධීනත්වය පිළිබඳව කරුණයි. මෙය රැක ගත යුතු අත්‍යවශ්‍ය සංකල්පයක් බව බරපතළ ලෙස වටහාගත් ව්‍යවස්ථාදායක සභාව ඒ සඳහා බොහෝ දුරට සාකච්ඡා කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉහළ උසාවි වල විනිශ්චයකාරවරුන් විසින්ම සම්මත කරගත් විධි ක්‍රමයක් තුලින් විනිශ්චකාරවරුන් විසින්ම අනාගතයට පත්වන විනිශ්චකාරවරුන් පත්කර කරගැනීම කළ යුතුය යන්න නිගමනය කරන ලදී.

එනම් ඉන්දීය රාජ්‍යයේ ප්‍රධානියාට පැවතියේ හුදෙක් ම විනිශ්චකාරවරුන් විසින් ගත් තීරණයට අනුව පත් කළ අයගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පමණි. එම ක්‍රියා කලාපය කෙරෙහි මොන ආකාරයකින්වත් බලපෑම් දැමීමට කිසිවෙකුටවත් නොහැකි වන සේ මෙම ක්‍රමය සාදන ලදී. ජනතා ව්‍යවස්ථාවක් පිළිබඳව කෙරෙන කටයුතු වල අර්ථකථනය එසේය.


මෙහි වැදගත් වන්නේ ජනතාව යන වචනය නොවෙයි. එහි යට පවතින බරපතළ මූලධර්ම හා දර්ශනවාදී අදහස් කණ්ඩායමක් ඇත එම සංකල්පයන් තුල ව්‍යවස්ථා නීතියේ පදනම පවතී. ඒවා අතර රටේ නීතියෙන් ඉහලට කිසිවෙකු නො සිටිය හැකි බව ප්‍රදාන වේ. 1978 ව්‍යවස්ථාව එහි විධායක ජනාධිපතිවරයා නීතියට ඉහළින් හා අධිකරණ වලට යටත් නැති පුද්ගලයකු බව ප්‍රකාශ කරන ලදී. එම නිසා එයම ජනතා පරමාධිපත්‍යයට කරන ලද බරපතලම ප්‍රහාරයක් විය.
 


එම නිසා නව ව්‍යවස්ථාව සාදාගැනීම ජනතා පරමාධිපත්‍යයට විරුද්ධ 1970 විධික්‍රමයන් මත පදනම් කර ගත නොහැක. 1978 ව්‍යවස්ථාව මගින් නීතියේ ආධිපතීත්වය යන සංකල්පය ප්‍රතික්ෂේප කිරීම එම ව්‍යවස්ථාවේ ප්‍රධානම අංගය විය. ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට ජනතාවට ඇති හැකියාව හා එය කිරීමට ඔවුන්ට ඇති බලය ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය තුළින් කියැවෙයි.

එම වචනය අර්ථවත්ව වචනයක් වන්නේ 1978 ඇති කරන ලද ව්‍යවස්ථා සම්ප්‍රදාය මුළුමනින්ම අයින් කොට ජනතාවගේ නිදහස රැකෙන ජනතාවගේ සමානාත්මතාවය ආරක්ෂා කරන ජනතාවගේ විවිධ කණ්ඩායම් එකට ජීවත්විය හැකි වාතාවරණයක් නිර්මාණය කෙරෙන සහෝදරත්වය පිළිබඳව සංකල්පය හා ඒ සියල්ලටම බද්ධව යුක්තිය පිළිබඳව සංකල්පය ගැඹුරෙන්ම පදනම් කරගත් ව්‍යවස්ථාවකට පමණි.

ලංකාවේ ව්‍යවස්ථා නීතිය අද වගුරුබිමක් බවට පත් වී ඇත. එනම් මුතුරාජවෙල වැනි දෙයක් බවට පත් වී ඇත. ව්‍යවස්ථා නීතිය සමග පසුගිය දශක පහ ඇතුළත කරන ලද මෝඩ සෙල්ලම් මුතුරාජවෙලට වතුර ගෙන ඒමට කපන ලද මෝඩ ඇළ මගින් කරන ලද විනාශයට සමාන විනාශයක් ඇති කොට ඇත. එම වගුරු බිම තුළ ව්‍යවස්ථා නීතිය පිළිබඳව පරම මූලධර්ම හා සංකල්ප නැවත රෝපණය කිරීම අමාරු කරුණකි. ව්‍යවස්ථා නීතියේ මූලීකම අදහස් අදහස් ගැන පවා මහා ව්‍යාකූලත්වයක් රට තුළ පවතී.


නීතිඥ බැසිල් ප්‍රනාන්දු
ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති





සබැඳි ලිපිය :


මහජන ව්‍යවස්ථාව, මිථ්‍යාව සහ ඇත්ත -කේ ඩබ්ලිව් ජනරංජන




 
 

THE  LEADER  TV



කුස්සියක් ගානේ පුපුරණ දෙවර්ෂ පූර්ණ මල් වෙඩි ! | මොණරවිලගේ ලියමන  

 



ජනාධිපති උගුලක හිරවෙලා ! | Gossip

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්