ලංකාව මහා විනාශයකට රැගෙන යන ගැලවීමට පහසු නැති නපුරු උගුලකට හසුවී හිරවී සිටින තත්වයකට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.



මෙම ලිපියෙන් පෙන්වා දීමට උත්සහා දරා තිබෙන්නේ රටට හා සමාජයට ලොකු හානියක් ඇති කර ගැනීමෙන් තොරව බලවත් සමාජ උත්සහායක් මගින් එම  උගුලෙන් ගැලවීම සදහා යොදාගත හැකි මාර්ගයක් ගැනය.

ඇතිවී තිබෙන හිරවීම තුල රටට හා සමාජයට විය හැකිව තිබෙන්නේ මහා විනාශයකි. එම බිහිසූනු තත්වයෙන් ගැලවෙන මාර්ගයක් ගැන දේශපාලන ව්‍යාපාරවල සේම මහ ජනයාගේද බැරෑරුම් අවදානය යොමු විය යුතු ව තිබේ.


(1). දැන් ලංකාව තිබෙන්නෙ එහි සමාජ - දේශපාලන හා ආර්ථික පැවැත්මද රාජ්‍යයේ පැවැත්මද තීරනාත්මක අර්බුදයකට ලක්වූ ඉතාමත් බිහිසුනු , අදුරු හා ඛේදජනක තත්වයකය.



(2). ආණ්ඩුව රට පාලනය කරමින් තිබෙන්නේ පවතින අර්බුදය පිලිගත හැකි තරමේ දූරදර්ශී පාලනයක් මගින් ජයගැනීමට පුලුවන් කම තිබියදී ඒ වෙනුවට අර්බුදය උග්‍ර කිරීමට හා රටට හා ජනතාවට සිදුවන හානි උපරිම කිරීමට හේතුවන මෝඩ හා විනාශ කිරීමට හේතුවන ප්‍රතිපත්තියක පිහිටාය.



ආණ්ඩුවේ පොහොර ප්‍රතිපත්තිය ඒ සදහා දැක් විය හැකි එක නිදර්ශනයකි. රසායන පොහොර හා කෘෂිකර්මය සදහා යොදාගන්නා වෙනත් රසායන යෙදවුම් ආනයනය තහනම් කිරීමෙන් කෘෂිකර්මයේ නොතිබුනු මහා අර්බුදයක් ඇති කරගත්තේය. කෘෂිකරම විෂයේ සිටින විද්වත් නිලදාරීන් ආණ්ඩුවේ එම විනාශකාරි ප්‍රතිපත්තියට එරෙහිව නිර්භීතව නැගී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ජනාධිපතිවරයාට සිය දැඩි ප්‍රතිපත්තිය ලිහිල් කර ගැනීමට සිදුවුවත් එම ප්‍රතිපත්තිය කෙටි කාලයක් තුළ ඇතිකල විනාශයේ තරම අති විශාලය.


එම විනාසය ඇස් ඉදිරි පිට පෙනි පෙනීත් එම වැරදි හා මෝඩ ප්‍රතිපත්තිය තව දුරටත් විවිද ආකාරවලින් පවත්වාගෙන යාම නිසා දැන් ලංකාවේ කෘෂිකර්මය තිබෙන්නේ පූර්ණ බිදවැටීමකට ගමන් ගනිමින් තිබෙන අවාසනාවන්ත තත්වයකය.

රටේ ප්‍රධාන ආහාරය ලෙස සැලකිය හැකි සහල් පවා ආනයනය කරගත යුතු තත්වයකට රට තල්ලුවී යමින් පවතී. රටේ විශාල අහාර හිගයක් ඇති වී රට සාගත තත්වයකට පත්වීම්මේ ඇත්ත අනතුරක් පවතී.



ගෙවුම් ශේෂ අර්බුදය සම්බන්දයෙන් පවත් වාගෙන යමින් තිබෙන විකාර ප්‍රතිපත්තිය පාලක පක්ෂයේ මෝඩ කමේ, උද්දච්ඡකමේ  හා විනාශකාරි බවේ තරම පෙන්නුම් කිරීම සදහා දැක්විය හැකි දෙවැනි නිදර්ශනය ලෙස සැලකිය හැකිය.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්සත් ජාතින්ගේ සංවිදානයේ සාමාජික රටවලට මුහුණ දෙන්නට සිදුවන ගෙවුම් ශේෂ ප්‍රස්නවලට විසදුම් ලබා දීම සදාහා ඇතිකර තිබෙන ආයතන ක්‍රමයකි. ලංකාවද එහි සාමාජික රටකි.

ලංකාව මීට පෙර මුහුණ දෙන්නට සිදුවූ ගෙව්ම් ශේෂ අර්බුදවලදී එම තත්වයෙන් අත් මිදීම සදහා ණය පහසුකම් ලබා ගෙන ඇත්තේ එම අරමුදලෙනි. ණය පහසුකම් ලබා ගෙන ඇති වාර ගනන 16 කි.

ජවිපෙ දෙවැනි කැරැල්ල හා එල්ටීටීඊ කැරැල්ල අවසානයේදී යන විශේෂ අවස්තා දෙකේදීම රටට මුහුණ දෙන්නට සිදුවී තිබුන ගෙවුම් ශේෂ අර්බුද ජය ගත්තේ එම අරමුදලෙන් ණය පහසුකම් ලබා ගැනීමෙනි.


ගෝඨාභය රාජපක්ෂ  බලයට පත්වීමෙන් පසු ලංකාවට  මුහුණ දෙන්නට සිදුවූ ගේවුම් ශේෂ අර්බුදය ජය ගත් යුතුව තිබුනේද IMF අරමුදලෙන් ණය පහසූකම් ලබා ගැනීමෙනි. එහෙත් ජනාධිපති වරයා මූල්‍ය අරමුදලට යෑම තරයේ ප්‍රතික්ෂේප කොට ආනයනයන් කපා හරින ප්‍රතිපතියක් මගින් ණය වාරික ගෙවන්න්ට උත්සහ කළේය. එම මෝඩ වැඩ සටහන ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර කොට රටේ නිෂපාදන අංශවල ඇතිව තිබූ බිද වැටීම තව දුරටත් උග්‍ර කළේය. දැන් ලංකාව තිබෙන්නේ බන්කොලොත් තත්වයකට පත්වීමට ඉතා ආසන්න තත්වයකය.


(3). රටේ ඇති වී තිබෙන සමහර ප්‍රස්න විසදා ගැනීමට මීට පෙර සාර්තක ලෙස යොදාගනු ලැබූ පිලි ගත් ක්‍රම වේද තිබියදී ඒවා නොසලකා හිතුවක්කාරී ක්‍රම වේද යොදා ගන්නා පිළිවෙතක් තුල ලංකාව හා එහි ජනතාව විශාල අනතුරු දායක තත්වයකට ඇද දැමීමට හේතු වී තිබේ.



මෙම තත්වය මගීන් පටවාගත් බස් රථයක් පද වන රියදුරෙක් ඔහු ගේ මනසේ ඇති අවුල් සහගත තත්වයක් නිසා බස් රථයේ ගමන් ගන්නා මගීන්ගේ ජීවිත අනතුරට ලක්වන ආකාරයට කරන රිය පැදවීමකට සමාන කල හැකිය.

එවැනි අවස්තාවකදී රියදුරා මගීන්ට ඇහුම් කන් නොදෙන්නේ නම් ජීවිතාරක්ෂාව සදහා රියදුරාගේ රිය පැදවීම බල රහිත කිරීම සදහා බලය පාවිච්චි කිරීමේ අයිතිය මගීන්ට තිබෙන්නේය. දැන් ලංකාව තිබෙන්නේද ඒ හා සමාන තත්වයකය.

රටේ ආණ්ඩු ක්‍රමය හදා තිබෙන්නේ රටේ පාලකයා විනාශකාරි වැරදි කරන අවස්තාවකදී එම වැරදි ඉක්මනින් නිවරදි කර ගැනීමට යොදාගත හැකි ක්‍රම වේදයක් නැති ආකාරයටය. බරපතල වැරදි කරන ජනාධිපති වරයෙකු තනතුරෙන් පහකිරීම සදහා ඇතිකර තිබෙන දෝෂාභියෝග ක්‍රමය හදා තිබෙන්නේද කොතරම් බරපතල වැරදි කරන ජනාධිපති වරයෙකු වුවද තනතුරෙන් පහ කිරීමක් සිදු කළ නොහැකි අකාරයටය.


colvin r d 1කොල්වින් ආර්. ද සිල්වා කියා තිබෙන අකාරයට මෙම ව්‍යවස්ථාව අනුව පිස්සු වැටුනු ජනාධිපති කෙනෙකු වුවද තනතුරින් පහ කිරීමට අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගත විය හැකිය.


ජනාධිපතිවරන දෙකක් අතර කාලයේදී බරපතල වැරදි කරන ජනාධිපතිවරයෙක් තනතුරෙන් පහ කිරීමට ඇති කර තිබෙන එම එකම ක්‍රමය ප්‍රායෝගික කිරීමට හේතුවන ප්‍රතිසංස්කරන ඇති කර ගැනීම සඳහාවත් ව්‍යවස්ථා සංශෝධන වැඩ පිලිවෙලවල් වෙනුවෙන් පෙනී සිටින්නන් උත්සහා දරා නැත. පාර්ලිමේන්තුවද ඒ ගැන උනන්දුවක් දක්වා නැත.


(4). ලංකාව දේශපාලන අර්තයෙන් දැන් තිබෙන උගතෝකෝටික තත්වය මෙසේ පිඩු කල හැකිය. ජනාධිපතිවරයා දැන හෝ නොදැන ලංකාවෙ අර්බුදය කලමණාකරනය කරමින් තිබෙන්නේ හිතුවක්කාරි හා විනාශකාරි ප්‍රතිඵල ඇති කිරීමට හේතුවන ආකාරයකටය.


ඒ මගින් ලංකාව රැගෙන යමින් තිබෙන්නේ නිවැරදි කිරීමට පහසු නැති මහා විනාශයකටය. භාණ්ඩ මිළ ඉසිලිය නොහැකි තරමට වේගයෙන් නොකඩවා ඉහල යමින් පවතී. ජීවන මාර්ග මහා පරිමානයෙන් බිඳ වැටෙමින් පවතී.

කෘෂිකරමයේ ඇතිවී තිබෙන බිද වැටීම රට සාගත තත්වයකටද ආර්ථිකයේ ඇති වී තිබෙන බිද වැටීම හා විදේශ ණය අර්බුදය රට පූර්ණ බංකොලොත් තත්වයකට පත්කිරීමට හේතු වෙමින් තිබේ.

රටේ ඇතිවන්නට නියමිත බන්කොලොත් තත්වය රජයේ ක්‍රියාකාරිත්වයේ ද පුර්න බිද වැටීමක් ඇතිකොට රට අරාජික තත්වයකට පත් කිරීමට හේතු වනු ඇත.



අර්බුදය තියුණු දුෂ්කර හා පීඩාකාරි තත්වයක් ඇති කිරීමට හේතු වුවත් ප්‍රඥාවන්ත ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ග මගින් මහා විනාශයක් ඇති නොවන ලෙස එය පාලනය කල හැකි තත්වයකය. එහෙත් දැන් දේවල් සිදු වෙමින් තිබෙන අකාරයට දේවල් තවදුරටත් සිදු වෙන්නට ඉඩ දෙතොත් උපරිම තරමේ මහා විනාශයක් ඇති වීම නොවැලැක් විය හැකිය..

 

එම විනාශය කිසියම් ප්‍රමානයකට හෝ පාලනය කරගත හැකි වනු ඇත්තේ විනාශකාරි ගමන් මගේ යහපත් මූලික වෙනසක් ඇති කිරීමෙන් පමණය. එසේ කිරීමට ඊලග ජනාධිපතිවරණය තෙක් බලා සිටිය නොහැකිය. එය වහවහා සිදුවිය යුතුය.

එය මහජන ආයාචනා වලින් කල නොහැකි නම් මහජන බලය යොදාගනිමින් හෝ කල යුතුය.

මේ අර්බුදයෙන් රට බේරාගත හැකි අකාරයේ මහජනයාට ප්‍රමුඛ වැදගත් කමක් ලබාදෙන ප්‍රතිසංස්කරන වැඩ සටහනකට රට යොමු කර ගැනීම ඉතා වැදගත්‍ ය.



දැන් තිබෙන ආණ්ඩුව වෙනුවට ජාතික පොදු බවක් ලැබෙන ලෙස තාවකාලික සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගත හැකිය. එදිනෙදා කටයුතු කලමණාකරනයට අතිරේකව රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් රට ගොඩ දැමීමිට හේතුවන ව්‍යුහමය ප්‍රති සංස්කරණ වැඩ සටහනකට රට යොමු කිරීම සර්ව පාක්ෂික්ක ආණ්ඩුවේ ප්‍රධාන අරමුන විය යුතුය.



#. ඒ  සමග ගෙවුම්ශේෂ අර්බුද ය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්චා ආරම්බ කල හැකි ය.

#. ඒ සමග කෘෂිකර්මය සඳහා යොදාගන්නා පොහොර ඇතුළු පලිබෝදනාශක සඳහා පනවා තිබෙන සීමාවන්ද මුලුමනින් ඉවත් කරන අතර භාණඩ ආනයනය සදහා පනවා තිබෙන සම්බාධක ද ලිහිල් කල හැකිය.

#. ඒ සමග සමස්ත ක්‍රමය ප්‍රතිනිර්මානය කරගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් ඇති කොට එය ක්‍රියාත්මක කිරීමේ හා රටට අවශ්‍ය ව්‍යවස්ථාවක් හැදීමේ වගකීම මහජනයා ඒ සදහාම තෝරා පත්කර ගන්නා මහජන නියෝජිතයින්ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකට පවරන රාමුවක් ඇති කල හැකිය. එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අවශ්‍ය බල තල අතුරු ව්‍යවස්ථාවක් මගින් පැවරිය හැකිය.

# ප්‍රතිසංස්කරන වැඩ සටහනේ මූලධර්ම සදහා පොදු එකග තාවයක් ඇති කර ගැනීමෙන් පසු එම එකගතාවන්ද අතුරු ව්‍යවස්ථාවට ඇතුලත් කළ හැකිය.

# මහජන නියෝජිතයින්ගේ ක්‍රියාකාරිත්වයට අතිරේකව මහජනයා ද එම සමස්ත වැඩසහනට ක්‍රියාකාරි ලෙස සම්බන්ද කරගහ හැකි ක්‍රම වේද ඇතුලත් විශේෂ රාමුවක් ඇති කළ යුතුය.

# ප්‍රතිසංස් කරන වැඩ සටහනට අවශ්‍ය කරන තාක්ෂන සහාය එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හෝ සුදුසු වෙනත් අන්තර් ජාතික ආයතන වලින් ලබගත හැකිය.

# මැතිවරන තෙක් ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ මුල් අදියරය මහජන නියෝජිතයන් ගෙන් සමන්විත ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් මගින්ද ප්‍රතිසංස්කරණ වැඩ සටහනේ දෙවැනි අදියරය එම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට අතිරේකව අලුතෙන් ඇති කරන ප්‍රතිසංස්කරන යටතේ ගොඩ නැගෙන ව්‍යවස්ථාදායකයට තේරී පත්වන මන්ත්‍රී වරුන්ගෙන්ද සමන් විත ව්‍යවස්ථා  සම්පාදක මණ්ඩලය මගින්ද සම්පූර්ණ කළ හැකිය.


(5). සම්පාදනය කෙරෙන නව ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කරන ලද නව අධිකරණයේ සමාලෝචනයට ලක් කිරීමෙන් පසු ජනමත විචාරනයකින් සම්ම්ත වන තෙක් අතුරු ව්‍යවස්ථාව රටේ ව්‍යවස්ථාව  ලෙස ක්‍රියාත්මක විය යුතුය.


# චේතනාන්විතව ව්‍යවස්ථා උල්ලංගනය කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් ලෙස නව ව්‍යවස්ථාවෙන්  නීති ගත කල යුතුය.

# ව්‍යවස්ථාවේ එන මූලික ප්‍රජාතන්ත්‍රවාදි හරයන්ට හා දර්ශනයට පට හැනි සංශෝධන ඉදිරිපත් කිරීමද නීති විරෝදි කළ යුතුය.

# මහජනයාට හිමි පරමාධිපත්‍ය බලය හීන කිරීමට හේතුවන ආකාරයට ක්‍රියාකිරීම ට හා ප්‍රජා පීඩනයන්ට ඉඩනොතැබීම, සියලු ප්‍රවැසියන්ට හා සමාජ කන්ඩායම් වලට බේදයකින් තොරව සමාන මනුෂ්‍ය ගෞරවය සමාන අයිතිවාසිකම් සහතික කිරීම, උපරිම ලෙස බලය බෙදා හැරීම, සාදාරන දුක්ගැනවිලි ඇති සියලු දෙනාට යුක්තිය ඉටු කිරීම, නීතිය මත පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමානතාව මත පදනම්වූ දූෂනයෙන් හා අකාරක්ෂමතාවයෙන් තොර ජනහිතකාමි  ආයතන ක්‍රමයක් සහිත රාජ්‍යයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති හා මූලධර්ම ගෝඩනගන අතර ඒ සඳහා අවශ්‍ය ආයතන ක්‍රම හා විදිවිධාන ඇති කිරීම ව්‍යවස්ථා සම්පාදනයේ ප්‍රධාන අරමුණ විය යුතුය.


(වික්ටර් අයිවන් )
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

 


Leader Whats app

 
 
 
 
පණ ඇරලා කඩේ ගිය වුන්ට හොඳ ම වැඩේ !| මොණරවිලගේ ලියමන
 
 
 
රනිල් අගමැති කතාවෙන් වෙච්ච යුද්දයක් ! |Gossip

 
 
සර් දුන්නා නේද සුසිල්ගේ සිග්නල් කනුව ගැලවෙන්න.
 
 
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image