උදෑසන සීනුවට

ගුරුතුමී විත් පන්තියට..

බෙදනවා එක එක

බුදු දහම උත්තර පත්‍ර

ලකුණුත් එක්ක ම...

හදිසියේ කන වැකෙන

සැරෙන් හඬනා හඬකින්

හැරී බලනවා ඇය...

හඬනවා සිසුවෙක්

හිස තබාගෙන මේසයට...

"ඇයි පුතේ ඔය?

තියෙනවා නේද

ලකුණු අනූ නවයක් ම..

ඔයා තමයි හොඳ ම ළමයා..

බුදු දහමට මේ පාර.."

"ඒ වුණත් දුකයි ටීචර් මට..

අඩු වුණු ලකුණ ගැන..

ගත්තා නම් ඒක

සීයක් ම වෙනවා මට..

ලැබෙනවා ගෙදරින්

තෑගි එතකොට.."

පසුපස ම පේළියේ

හිඳින එක් සිසුවෙක්,

අඳෝනා අතරින්

පැමිණ හෙමිහිට,

අල්ලා සාරි පොටෙන්..

සිනාසෙනවා ඇය සමඟ..

මෙතෙක් හිනැහුණු

වත මඩල මත

තබා ඔරවන මූණක්,

බලනවා ඇය

දරුවාගේ සිනා පිරි මුව...

"මොකද ?

ඔයාටත් ඕනෙ ද ලකුණු..?

දන්නෙ නෑ මොකවත් ම..

අඩු ම ලකුණු බුද්ධාගමට...

පන්තියේ හැට දෙනාගෙන්ම..

ඔය ළමයා මොකට

එබෙනවාද මෙතනට..? "

කිසි අඩුවක් නොකර

සිනාවෙහි රැඳුණු මුව මත..

කියනවා දරුවා

බලාගෙන ඈ දෙස..

"ලකුණු නම් එපා මට..

ඒත් දෙන්න බැරි ද මෙයාට

මට තියෙන එක ම එක ලකුණ..

ඔය ලකුණට වඩා වටිනවා මට

යාළුවා හිනාවෙන එක.."

- ග්ලැසියරයක ප්‍රේමය සංග්‍රහයෙන් -

 

nuwan thotawatteනුවන් තොටවත්ත

 




JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates