සදුර්ෂන්
රාජන්ගෙ පොඩි කොල්ලා
හැමදා ම හවසට
දෑසින් අහස අල්ලා
හඳට අඩගහනවා
අත් පොඩි හොල්ල හොල්ලා



‛‛නිලා නිලා ඕඩි වා
නිල්ලාමල් ඕඩි වා
මලෛ මීදු ඒරි වා
මල්ලිහෛ පූ කොන්ඩු වා’’

ඔන්න එතකොට
කෝනේෂ්වරන් දෙවොල මුදුනට
අත තියාගෙන
සඳ නැගී එනවා
තිරුකෝණමලෛ අහසට

දුරුතු සීතල දවසක
රැයට සඳ අමතකව
අහසේ දමා ගොස් තිබුණා
හිරු කබ කඩන මොහොතේ
පිච්ච මල් නෙතු බරට
රේණු අතරින් කඳුළු සැලුවා

යන එන මං නැතුව
චයිනා බේ පතුළට
නැංගුරම් ලෑ සඳවත
තුහින එක එක එකතු කෙරුවා
තිරුකෝණමලෛ එක් මංසලක
රුහිරු බිඳු තැවරුණ
පිච්ච මලකින් සුවඳ ගැලුවා

කුරුලු කූජන නෑසෙන
තිරුකෝණමලෛ උදෑසන
ගෙමිදුලට බට පුතු හට
සඳුගෙ අසරණ දෙ නෙත පෙනුණා
ළ හිරු කිරණට නොපෙනෙන
සුමුදු අතැඟිලි තුඩගින
පුතුගෙ හිස මත සෙමෙර සැලුණා

ඒ දුරුත්තේ සිට
හිරු වැඩ ඇරෙන හවසට
පුංචි දෑසක් අහස අල්ලා
සඳට අඬගහනවා
සිඟිති අත් පොඩි හොල්ල හොල්ලා


සටහන :- මුල්වරට 2008 ජනේරුවේ 'විකල්ප' වෙබ් අඩවියේ පළවූ මේ කව ඉක්බිති 2010 පළ වූ 'මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි' කෘතියට ඇතුළත් කෙරිණ.

මිත්‍ර මාධ්‍යවේදියකු වූ සුබ්‍රමනියම් සුගීර්තරාජන් මරා දැමුණේ 2006 ජනවාරි 24 වැනිදා ය. ත්‍රීකුණාමලයේ ඝාතනය කළ සරසවි සිසුන් පස් දෙනාගේ ශරීර මත සටහන් වූ සාධක සිය කැමරාව තුළට ග්‍රහණය කර ගත් සුගීර්තරාජන් විසින් ඒවා සුඩෛරෝලි පුවත්පතේ මුල්පිටුවේ පළකෙරිණ. ඔහු මරා දැමුණේ ඉන් දෙසතියක ඇවෑමෙනි.

මා මිත්‍ර මාධ්‍යවේදී අතුල විතානගේ සහ මා  වෘත්තීමය කටයුත්තක් පිණිස 2007 වසරේ දිනක ඔහුගේ නිවසට ගියෙමු. මිදුලේ සෙල්ලම් කරමින් සිටි රාජන්ගේ පුංචි පුත්‍රයා සදූර්ෂන් අප සමුගන්නා අයුරු බලා සිටි රූපය කිසිදිනක මතකයෙන් දුරස්ව නොයේ.

මේ 'කළු ජනේරුව' වන විට යුක්තිය ඉටු නොවුණු  සුගීර්තරාජන් ඝාතනයට වසර 17කි.

 

Manjula wediwardhana- මංජුල වෙඩිවර්ධන


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image