‘‘ඔය ඉතිං... ආයෙ කල්පනා කරන්න ගත්ත. හරි... මං අද රෑට හස්බන්ඩ් ඉස්සරහ ම හාමුදුරුවන්ට කොල් එකක් දාල විස්තරේ කතා කරගන්නංකො... බය

ගුල්ල...’’ යැයි ඇය පැවසුවේ ප්‍රතිෂ්ඨගේ උරහිසට සෙමෙන් තට්ටු කර ඔහු දෙස යැටැසින් බලන අතර ය. ඒ බැල්ම මෙතෙක් ප්‍රතිෂ්ඨගේ සිතේ පැවති ව්‍යාකුලත්වය යම් පමණකට මගහරවාලන්නට සමත් විය.


‘‘ඔවු... ඒක තමයි හොඳ ම ක්‍රමය. එතකොට අපි දෙන්න ම නිදහස් නෙ.’’


ප්‍රතිෂ්ඨ එසේ පැවසුවේ ඔහුගේ අවංකභාවය වඩ වඩාත් උද්දීපනය වන ආකාරයෙනි. එය කෙතෙක් දුරට සාර්ථක ද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ සචේතනී ඔහු කෙරෙහි දක්වන ප්‍රතිචාරය අනුව ය.


main qimg ecde6d3c53f8b6776fc3c8ae6b54ab74 lq‘ඇත්තට ම මෙයා මට හස්බන්ඩ්ගෙන් අවසර ගන්න කියන්නෙ අවංකව ම ද... එහෙමත් නැතිනම් එයාගෙ ගැලවීමට ද... දැං එතකොට මාත් එක්ක එහෙම යන එක මෙයාට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද...මෙයත් එන්නෙ ගෙදරට ඇත්ත කියල ද... ම්ම්ම්... ඒ ගැන අහනව ද නැද්ද...?’ සචේතනී සිතුවිලි දැහැනක වෙළුණා ය. ඇගේ කය තමා අසල තිබුණ ද සිත වෙනත් දෙසක බව ප්‍රතිෂ්ඨ සැණෙකින් අවබෝධ කර ගත්තේ ය.


‘‘ඒ පාර ඔයා මොකද කල්පනා කරන්නෙ... හස්බන්ඩ් අවසර නොදුන්නොත් කියල ද...?’’


ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ නම් අවංකව ම ය. මන්ද යම් ආකාරයකින් සචේතනීගේ සැමියා ඇයට මේ සඳහා අවසර නොදුන හොත් ඇගේ ඊළඟ පියවර කුමක් ද යන්න පිළිබඳ ඔහු දැන සිටිය යුතු බැවිනි.


‘‘ම්ම්ම්... ඔයා තරමක් දුරට හරි...’’


සචේතනී ඇගේ සුපුරුදු මන්දස්මිතයෙන් උවන සරසාගන්න අතර ම පැවසී ය. එහෙත් ඇය එම වදන් පෙළ අවසන් කළේ ප්‍රශ්නාර්ථ ලකුණු කිහිපයක් උවනෙහි සනිටුහන් කරගනිමිනි.


‘‘ඒ කිව්වෙ... මට පැහැදිලි නෑ.’’


තේ පානය ද මඳකට නතර කළ ප්‍රතිෂ්ඨ, ඍජුව ම සචේතනීගේ උවනෙහි ඔහුගේ දෙනෙත් අලවමින් විමසී ය. ඇයට ද ඔහුගේ දෙනෙත් මගහැර යාමට නොහැකි තරමට ඒ බැල්ම ප්‍රබලත්වයට පත්ව තිබිණ.


‘‘ඇත්තට ම ඔවු... මට ගැටලු දෙකක් තියෙනව. ඒ දෙකට ම පිළිතුරු තියෙන්නෙ ඔයා ගාව. ඒ නිසා මං ඒ ගැටලු දෙක කෙළිං ම ඔයාගෙන් අහන්න ද...?


සචේතනී විමසුවේ පිටිගල ගමන පිටත්වීමට පෙර විසඳාගත යුතු එක් ප්‍රබල ගැටලුවක් සඳහා පිළිතුරක් බලාපොරොත්තුවෙන් මිස ගැටලු දෙකක් පැන නැග ඇති නිසා නොවේ. අනතුරුව ඇය ඒ ප්‍රබල පැනය ප්‍රතිෂ්ඨගෙන් විමසුවා ය.


‘‘පළවෙනි ප්‍රශ්නෙ තමයි... මට මේ ගමන ගැන හස්බන්ඩ්ගෙන් අහන්න, හස්බන්ඩ් දැනුවත් කරන්න කියල කියන ඔයා... මේ ගමන මාත් එක්ක යනව කියල ඔයාගෙ වයිෆ්ට කිව්ව ද...?’’


පූර්ණ උවන සදය උපහාසමය සිතුවකින් සරසා ගත් ප්‍රතිෂ්ඨ, තත්ත්පර කිහිපයක් ඒ ඉරියව්වෙන් ම සචේතනීගේ උවන වෙත නෙත් යොමුකරගෙන සිටියේ ය. අනතුරුව ‘‘දෙවෙනි ප්‍රශ්නෙ මොකද්ද?’’ යැයි විමසුවේ ද උවනතේ ඇඳි සිතුවම බිඳකුදු වෙනස් නොකරමිනි.

 

23619768349 e1850a3477 b


මෙතෙක් ප්‍රතිෂ්ඨගේ උවන වෙත ඍජු බැල්මක් හෙළා සිටි සචේතනී ඇගේ දෙනෙත් ප්‍රවිෂ්ඨගේ උවනතෙන් ඉවත් කර මේසය මත තැබුවා ය. එපමණක් නොව ඇගේ දකුණතේ මහපටැඟිල්ල සහ දබරැඟිල්ල  ඇය ඉදිරිපිට තිබෙන තේ කෝප්පයේ දාරය පිරිමැද්දා ය. දැන් දෙදෙනා ම නිහඬ ය.


‘‘හරි... එහෙනං දෙවෙනි ප්‍රශ්නෙ දෙවනුව අහන්නකො. මං පළවෙනි ප්‍රශ්නෙට කෙළිං ම  උත්තර දෙන්නංකො. මම යන්නෙ එන්නෙ කොහේ ද, කවුරු එක්ක ද, යන්නෙ මොනවට ද කියල තිලෝක හොයන්නෙ නෑ. ඇත්තට ම මම එහෙම කියන්නෙත් නෑ. හැබැයි දවසක් දෙකක් ගෙදර නොඑන වැඩකට යනවනං විතරක් මං කියනව අසවල් දිහා යනව එන්න මෙච්චර දවසක් යාවි කියල. දැං ඔයාගෙ දෙවෙනි ප්‍රශ්නෙ අහන්නකො.’’

 

ප්‍රතිෂ්ඨගෙන් එබඳු පැනයක් විමසීම සම්බන්ධයෙන් සචේතනී යම් පශ්චාත්තාපයකට පත්ව ඇති බවක් ඇගේ හැසිරීම්වලින් ප්‍රදර්ශනය විය. මන්ද ඇය තවමත් සිටින්නේ මේසය සමග ගනුදෙනුවක මිස ප්‍රතිෂ්ඨ සමග ගනුදෙනුවක නොවේ. තත්පර කිහිපයක් ඒ ඉරියව්වෙන් ම සිටි ඇය හිස ඔසවා ප්‍රතිෂ්ඨ දෙස බලන විට ඇගේ උවන කහ සහ රක්ත වර්ණය මිශ්‍ර ඇපල් ගෙඩියක් සේ වරණවත් වී තිබිණ. දෙනෙත්වල ද ආයාචනාත්මක ස්වභාවයක් දක්නට ලැබිණ. ඇය කිසිවක් නොවිමසා ය යන සැකය ප්‍රතිෂ්ඨගේ සිතට නැගුණ බැවින්දෝ ඔහු යළි සචේතනී ඇමතී ය.

 

‘‘මොකද මේ...! ප්‍රශ්නෙ ඇහුවෙ ඔයා. මං ඒකට උත්තරත් දුන්න. හැබැයි ඔයා හැසිරෙන්නෙ මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහල, ඒ ප්‍රශ්නෙට ඔයාට උත්තර දෙන්න බැරි උණා වගේ නෙ... හරි හරි... දැං දෙවෙනි ප්‍රශ්නෙ අහන්නකො... මොකද දැං මෙතන වැඩි වෙලා ඉන්න බෑ. මේ මිනිස්සු තව ටිකකින් මේක වහනව ළමයො.’’


යළි මේසය වෙත දැස් යොමු කළ සචේතනී, ප්‍රතිෂ්ඨගෙන් දෙවන පැනය විමසීමට පෙර මේසයෙන් අවසර ගතයුතු බවක් හඟවමින් හිස් තේ කෝප්පය දෙස ද නෙත් යොමු කර, හිස ඔසවා ඇගේ දෙනෙත් ඍජුව ම ප්‍රතිෂ්ඨගේ දෙනෙත් සමග සම්මුඛ කළා ය. ඒ මොහොතේ ඇගේ දෙනෙත්වල ඇඳී තිබුණේ ‘වැරැදි යමක් ඇහුව නං මට සමාවෙන්න ප්‍රතිෂ්ඨ’ බඳු හැඟීමකි.


සැණෙකින් ඒ ඉරියව්ව කාන්තිමත් ඉරියව්වකට මාරු කළ සචේතනී ‘‘මේකයි දෙවෙනි ප්‍රශ්නෙ... මේකටත් මට කෙළිං උත්තරයක් ඕන,’’ යැයි පවසා ඇය ඉදිරිපිට තිබූ තේ කෝප්පය මඳක් ඉවතට තල්ලු කර, ඇගේ දකුණත ප්‍රතිෂ්ඨගේ වමතේ පිටි අල්ල මත තැබී ය.


ඇය තමාගේ අත මත අත තබාගෙන සිටීම පිළිබඳ බිඳකුදු අවධානය යොමු නොකළ ප්‍රතිෂ්ඨ ‘‘හරි හරි ළමයො... කෝ ඔයා තාම ප්‍රශ්නෙ ඇහුවෙ නැහැ නෙ... ඉස්සෙල්ල ප්‍රශ්නෙ අහන්නකො.’’

 

9ca69e52ea8398bdb3c1b42fb1d0c974


සචේතනී කුමන හෝ හේතුවක් මත කිසියම් ව්‍යාකුලත්වයකට පැමිණ ඇති බව ක්ෂණයෙන් වටහාගත් ප්‍රතිෂ්ඨ ඉතා ආදරණියව සහ කාරුණිකව පැවසී ය.


‘‘ඔයා මං අහන දේට උත්තරයක් දෙනව මිසක ප්‍රශ්න අහන්නෙපා හරිද... මෙහෙමයි... හදිසියෙවත්... මං කියන්නෙ හදිසියෙවත් අපි මේ යන්න හදන ගමනට මගේ හස්බන්ඩ් අකමැති වුනොත් ඔයා මොකද කරන්නෙ...?’’


එක පැහැර පිළිතුරක් සැපයිය නොහැකිව ව්‍යාකුලත්වයට පත් ප්‍රතිෂ්ඨ ඍජුව ම සචේතනීගේ දෙනෙත් සමග ඔහුගේ දෙනෙත් සම්මුඛ කළේ ය. ඔහු වඩ වඩාත් ව්‍යාකූලත්වයට පත්වූයේ කිසිදු පැනයක් නොවිමසා පිළිතුරු පමණක් සපයන්නැයි සචේතනී කළ ඉල්ලීම හේතුවෙනි.

 

එතැන් සිට මිනිත්තුවකට නොඅඩු කාලයක් දෙදෙනාගේ දෙනෙත් ඒ ඒ දෙනෙත් සමග අනිමිසලෝචනයක යෙදුණා මිස එකිනෙකාගේ දෙනෙත් එකිනෙකාගෙන් දුරස් නොවිණ. දෙදෙනා ම දෙදෙනාගේ දෙනෙත්වලින් විහිදෙන ආලෝක කදම්භ එකිනෙකා වෙත ආකර්ෂණය කරගත්තේ තරගයට මෙනි. සචේතනී තමාගෙන් යළි ප්‍රශ්න කරතැයි බලාපොරොත්තුවෙන් පසුවෙන ප්‍රතිෂ්ඨ ඒ බලාපොරොත්තුව අත්හැර දැමීට තීරණය කළේ ය.

 

‘‘ම්ම්ම්... එහෙම උනොත් ද...?’’


ප්‍රශ්න නොකරන්නැයි සචේතනී අවධාරණය කළ ද තමා දැන් කළේ ප්‍රශ්න කිරීමක් ම නොවේදැයි ප්‍රතිෂ්ඨ හට අවබෝධ වන විට ද එය සිදුවී හමාර ය. එහෙත් දැන් ඒ වදන් ආපසු හැරවිය නොහැකි ය. සචේතනී ද කිසිදු වදනකින් මතු නොව අංග චලනයකින් පවා ප්‍රතිචාරයක් නොදැක්වූවා ය. ඇය කළේ ඇගේ දෙනෙත් තුළින් විහිදෙන ආදරණීය මෙන් ම කරුණාභරිත ආලෝක කදම්භ තව තවත් ප්‍රතිෂ්ඨගේ දෙනෙත් වෙත ප්‍රවේශ කිරීම ය. එහි උණුසුම දරාගත නොහැකි තරමට වර්ධනය වෙමින් පැවති බැවින් ප්‍රතිෂ්ඨ යළි මුව විවර කළේ ය.


‘‘හරි... මගේ උත්තරේ මං කෙළිං ම කියන්නංකො...,’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ ඔහුගේ එක් අතක පිටි අත්ල මත තබාගෙන සිටි සචේතනීගේ අතේ පිටි අත්ල මත ඔහුගේ අනෙක් අත්ල තබා කිසියම් පොරොන්දුවක් වන ආකාරයක් ප්‍රදර්ශනය කරන අතර ම ‘‘ඔයාට ඒක ගැටලුවක් නෙවෙයි නං අපි යමු...’’ යැයි කිසිදු අපහසුතාවකින් තොරව පැවසී ය.


05a11dd250626ef7d4186290132e9abdඑතෙක් එකිනෙකට තෙරපී තිබූ, ඉදි රත් පැහැගැන්වුණු වෙරළු පතක් වන් සචේතනීගේ දෙලවන් මඳක් විවර විය; ක්‍රම ක්‍රමයෙන් ඒ දෙලවන් පුළුල් වූයේ සජීවිකරණ සිනමාපටයක දක්නට ලැබෙන රතු රෝස මලක් කෙමෙන් කෙමෙන් විකසිත වන සේ ය. ඒ සමග ම ඇගේ දෙලවන්වලට ඔබ්බෙන් පිහිටි ශ්වේත වර්ණ දසන් පෙළ ද මඳින් මඳ දිස්විය. ඒ මතින් විහිදෙන ආලෝක කදම්භ ඍජුවම එල්ල වූයේ ප්‍රවිෂ්ඨගේ දෙනෙත් තුළට ය. ඔහුගේ දෙනෙත් තුළින් ප්‍රවේශ වූ ඒ ආලෝක කිරණ සිරුර අභ්‍යන්තරයට පිවිස සමස්ත සිරුර ම සිහින් කම්පනයකට පත් කරන්නට තරම් සමත් විය.


සචේතනීගේ උවනතින් දිස් වූයේ කළු වලාවකට මුවා වී ලෝකය දකින්නට වරම් නොලැබ තිබූ පූර්ණ සසඳර කෙමෙන් කෙමෙන් සිය ආලෝකය පොළෝ මහි කාන්තාව වෙත මුදාහරින්නාක් බඳු දසුනකි; ඒ ආලෝකයෙන් තමාගේ වුවනත මතු නොව සමස්ත පරිසරය ම ආලෝක වන්නා සේ ප්‍රතිෂ්ඨට හැඟිණ. ඒ සමග ම නිගමනයකට එළමිය නොහැකි කුමක්දෝ සැක සංකාවක් ද ඔහුගේ මනස තුළට ප්‍රවේශ විය. නමුදු ඔහු ඒ බව ප්‍රදර්ශනය නොකරන්නට යත්න දැරී ය; ඒ වෙනුවට ඔහු කළේ සචේතනී අස්වැසීම ය.


ඔහු පළමුව කළේ එකිනෙකාගේ අත්ල මත තිබු එකිනෙකාගේ අත් ඉතා සෙමෙන්, එකිනෙකාට නොදැනෙන සේ ඉවත් කිරීම ය. ඉක්බිති ඔහු ආසන්නයේ තිබූ හිස් කෝප්පය මඳක් පසෙකට තල්ලු කළේ ය.


‘‘හම්ම්ම්... දැන් හරිනෙ නේද...?’’ යැයි විමසන අතර ඔහු නොනැගිටිමින් වුව ද ඉඳ සිටින අසුන මඳක් පසුපසට තල්ලු කර ‘‘එහෙනං... දැං අපි යමුද සචේති. මොකද මෙයාල මේක වහන්න බලාගෙන ද කොහෙද ඉන්නෙ,’’ යැයි පැවසී ය.


මුවෙන් වදනකුදු මුදා නොහළ ද සචේතනී පසුවන්නේ ඉතා ප්‍රහර්ෂණීය නිමේෂයක බව ප්‍රතිෂ්ඨට හැඟිණ. ඇය තවමත් පෙර පරිදි ම උත්කර්ෂණීය ස්මිතයකින් උවන සරසා  ගත්වනම ය. ඇගේ දෙනෙත් තුළ ඇඳී තිබුණේ ‘ඇයි අනේ ඔච්චර හදිස්සි...?’ යන වදන් හතර ය. ඒ තත්ත්වය තුළ ඇය පළමුව නොනැගිටින බව ඔහුට හැඟිණ. එබැවින් ඔහු අසුනෙන් නැගි සිටියේ ය. ඒ සමග ම ඇය ද නැගී සිටියා ය. එහෙත් ඇගේ උවනතෙන් දිස්වූ ඉරියව් බිඳකුදු වෙනස් නොවිණ.


large‘ඇති යාංතං ඒ වැඩෙත් ගොඩ දාගත්ත. මෙයා එහෙම තීරණයක් නොගත්ත නං මට සිද්ධ වෙන්නෙ තව තවත් බොරු කියන්න. දැං කරන්න තියෙන්නෙ ටිකක් රෑ වෙලා ‘ප්‍රතිෂ්ඨ... හස්බන්ඩ්ගෙ ඕ කේ එක හම්බ උණා’ කියල කියන එක හරි එස් එම් එකක් හරි යවන එක විතරයි. එයා ආයි ඒ ගැන හාරවුස්සන එකක් නෑ’


දෙදෙනා ම ආපණ ශාලාවෙන් පිටතට පැමිණිය ද සචේතනී කිසිදු කතාබහකින් තොරව තමා සමග ගමන් කරන්නේ ඇය මනසින් වෙනත් කොතැනකට හෝ ගමන් කර ඇති නිසා බව ප්‍රතිෂ්ඨට හැඟිණ. නමුදු ඔහු ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකරමින් ම ඇය සමග ඉදිරියට ම ගමන් කළේ ඇගේ කල්පනා ලෝකය තුළ ඇයට කැමති කාලයක් සරන්නට ඉඩ-කඩ විවර කරමිනි.


සචේති ප්‍රවිෂ්ඨට නොපැවසුව ද ඇය කිසියම් චිත්ත පීඩාවකින් පෙළෙන බව මේ වන විට ඔහු අවබෝධ කරගෙන තිබිණ. නමුදු ඒ කිසිවක් ම විමසන්නට මෙය අවස්ථාවක් නොවන බව ද ඔහු දැන සිටියේ ය. ඔහුගේ යටි සිත බිඳක් හෝ මතුපිටට රැගෙන එන්නට හෙතෙම උත්සාහ නොකළේ ය. මේ අවස්ථාවේ කළ යුත්තේ හැකි තාක් ඉවසීමෙන් කටයුතු කිරීම බව ද ඔහු පසක් කරගෙන සිටියේ ය. ඉදිරියේ දී ද ඒ අනුව ම කටයුතු කරන්නට ඔහු තීරණය කළේ ය.


ඉවර නෑ...


jayasiri 04 e1619629387941.jpg

(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/10/21

 
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
 
 
 
 
 
 
 
 
 
 
 
වජ්ජා’වජ්ජ 31: මං දැං ඉන්නෙ පනහෙ කණුව කිට්ටුව (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 30 : නීතිය කියන්නෙ වල් වැදුණු සංකල්ප ගොන්නක් - (ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 28 : අවුරුද්දක් ඉවසන්න - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 27 : දීපු බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ම වෙනව නෙ... - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 26 : 'ඔවු... අපිට අවම විනය ක්‍රියා පටිපාටියකට යන්න වෙනව' -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image