අමෝද්‍ය තවමත් දුරකතන ඇමුතුම විවෘත නොකර ම මා දෙස අවධානය යොමු කරගෙන සිටින්නේ ‘‘ආන්සර් කරන්න ද...?’’ යැයි මගේ විමසනාකාරයෙනි.
‘‘ඉතිං බලාගෙන ඉන්නෙ... ආන්සර් කරන්න අමෝද්‍ය... ආන්සර් කරන්න...’’
එසැණින් ම අමෝද්‍ය ඇමතුම විවෘත කර දුරකතනය කනට තබාගත්තේ ය.
‘‘හෙලෝ දිවසත්...’’
‘‘... ... ...’’
‘‘ඔවු දිවසත්... මේ මෙතන මාත් එක්ක ම ඉන්නව.’’ යැයි පිළිතුරු දුන් අමෝද්‍ය ඔහුගේ දෙනෙත් මගේ දෙනෙත් වෙත එල්ල කළේ ඒ දෙනෙත් දිවසත් අයියාට පෙනෙනවා යැයි අදහස් කරමිනි.
‘‘... ... ...’’
‘‘ආ... එහෙම ද...?’’
එම පිළිතුරත් සමග ම අමෝද්‍ය යළි මගේ උවන වෙත ඔහුගේ දෙනෙත් එල්ල කරන විට ඒ දෙනෙත් තුළ මෙතෙක් පැවති සන්සුන් බව පහව ගොස්, කලබලකාරී බවක් සිතුවම් වී තිබිණ.
‘‘... ... ...’’
‘‘හම්ම්ම්... ආ... ඉතිං...’’
දැන් දැන් අමෝද්‍ය පිළිවදන් සැපයූ සැණින් මගේ උවන ඔහුගේ දෙනෙත්වල ග්‍රහණයට ලක් කරගන්නේ ඔහුගේ දෙනෙත් කියවන්නැයි මට කරන ආරාධනයක් පරිද්දෙනි. ඒ දෙනෙත්වල: කුතුහලය, බිය මෙන් ම යම් සහනදායී හැඟිම් ද විටින් විට සිතුවම් වන අන්දම මා හොඳින් නිරීක්ෂණය කළේ ය. ඔහු අසලට ගිය මා ‘‘ස්පිකර් ඔන් කරන්නකො,’’ යැයි රහස් හඬින් මිමිනුව ද අමෝද්‍ය එය ප්‍රතික්ෂේප කළේ ‘‘ඔයාට පිස්සු ද...?’’ යැයි විමසන ආකාරයෙනි. ඒ වන විටත් දිවසත් අයියා දීර්ඝ විස්තරයක් කරන බව මට හැඟිණ.
‘‘... ... ...’’
‘‘ඔවු... කොහොමටත් ඒකට තව දවස් දෙක තුනක් යනවනෙ...’’ යනුවෙන් අමෝද්‍ය පැවසුවේ කුමක් ගැන ද යන්න මට නිගමනය කළ නොහැකි විය. නමුත් ඔහුගේ දෙනෙත් කියා පෑවේ දින දෙක තුනකින් කුමක් හෝ සිදුවන ඉඟියකි.
‘‘... ... ...’’
‘‘නෑ නෑ... මම තැනකුයි වෙලාවකුයි දාගෙන තියෙන්නෙ. සාක්කියට දෙන්නෙක් ඕනනෙ... ඒ ගැන මට හරියට ම පණිවිඩේ ලැබෙන්නෙ හෙට. ඉතිං...’’
දැන් කාරණය මඳක් පැහැදිලි ය. මගේ උපකල්පනයට අනුව නම් ඒ මගේ සිහිනය සැබෑ වන මොහොත ය. අමෝද්‍ය පිළිවදන් සපයන ආකාරයෙන් ම එකී කටයුත්ත බරපතළ යමක් බව ද ප්‍රදර්ශනය විය.
‘‘... ... ...’’
‘‘හරි හරි... මට තේරෙනව දිවසත්... මට තේරෙනව. මේ... අහිංසනාට දෙන්න ද...?’’ යැයි අමෝද්‍ය විමසන විට ඔහු දුරකතනය මඳක් ඉවතට ද ගෙන තිබිණ. එහෙත්...
‘‘... ... ...’’
‘‘ආ... හරි හරි දිවසත්... එහෙනං... ඔයත් පරිස්සමෙන්.’’
මා වෙත දුරකතනය ලබා දීමට දිවසත් අයියා විරුද්ධ වන්නට ඇති බව අවබෝධ වූයේ අමෝද්‍ය යළි දුරකතනය ඔහුගේ කන අසලට ගන්නා අතර ම මගෙන් ද මඳක් දුරස් වූ බැවිනි.
‘‘... ... ...’’
‘‘ආ... ඔවු ඔවු... හරි... අපි ගද්දි වැඩ කරේ නැත්තං ඔයා ගන්නකං ඉන්නං... හරි දිවසත්... ඕ කේ... ගුඩ් නයිට්...!’’ යැයි පැවසූ දිවසත් දුරකතනය ද රැගෙන ගොස් ත්‍රිත්ව සෝපා අසුනේ අසුන් ගත්තේ උසුලාගත නොහැකි තරමේ බරක් ද හිස මත ඇති බවක් හැඟෙන පරිදි ය. මා ද කඩිනමින් ම ගොස් ඔහුගේ දකුණු පසින් අසුන් ගත්තේ ඔහුගේ හිස මත ඇති බර කොටසක් මගේ හිස මත තබන්නැයි යන වදන් මගේ දෙනෙත් තුළ ලියාගනිමිනි. අමෝද්‍ය ද මගේ දෙනෙත් කියවා ගත්තා සේ ‘‘මේක ඔයාට දරන්න පුළුවන් බරක් නෙවෙයි අහිංසනා. ඒක දිවසත්ට දරන්නත් බෑ. දරන්න වෙන්න මට ම යි.’’ යැයි පවසමින් දෙවැලමිටි දණහිස් මත තබා, හිස පොළොවට නැඹුරු කර, දෙඅත්ලෙන් හිස බදාගත්තේ ය.
‘‘මොකද තත්ත්වෙ අමෝද්‍ය... මොනව ද වෙලා තියෙන්නෙ...?’’
මා ද හිස පොළොව දෙසට නැඹුරු කරගත්වන ම අමෝද්‍ය ගෙන් විමසී ය.
‘‘වෙලා තියෙන්නෙ ද...? දැනට වෙන්න තියෙන හැම දෙයක් ම වෙලා. දැන් කරන්න තියෙන්නෙ ඉස්සරහට වෙන්නෙ මොනවද කියල බලාගෙන ඉන්න එකයි අපි මොනවද කරන්නෙ කියන එකයි ගැන හිතන්න.’’අමෝද්‍ය එසේ පැවසුවේ සිත තුළ තෙරපෙන වේදනාවක් පිට කිරීමේ අටියෙන් ද එසේත් නැති නම් මා කෙරෙහි පවතින කෝපයක් මගහැරීමේ අටියෙන් ද යන්න නිශ්චිත නිගමනයකට එළඹීමේ ශක්‍යතාව ද මා කෙරෙන් පලා ගොස් තිබිණ. එම තත්ත්වය සමනය කරනු වස් මා, අමෝද්‍ය හිස බදා සිටි දෙඅත් අල්ලා ඉතා සීරුවෙන් දෙපසට කළේ ය; එහෙත් තවමත් ඔහුගේ හිස පොළොවේ ලියා ඇති මොනාදෝ කියවනවා මෙන් පොළොව වෙතම බර කරගෙන ය. මා, දුන්නක් සේ නැමී තිබෙන ඔහුගේ සිරුරේ ඉහළ කොටසට යටින් මගේ උවන ඇතුළු කර, ඔහුගේ උකුළු තලය මත හොවාගත්තේ ය. ක්ෂණයෙන් තිගැස්සුණ ඔහු කඩිනමින් ම මගේ උවන ඔහුගේ උවනට සම්මුඛ වන සේ හැරවී ය. ඔහුගේ දෙනෙත් භීතියකින් ඇලළී ඇති සේ ය. ඒ ඇයි දැයි විමසන්නට මා මුව විවර කරත් ම ඒ දෙනෙත් තුළ ආයාචනාත්මක බවක් දිස්විය. ඔහු ඍජුව ම ඔහුගේ දෙනෙත් මගේ දෙනෙත්හි අලවා කිසිදු චංචල භාවයකින් තොරව ඍජු රේඛාවක් සේ තබාගන්නට යත්න දරන අතර ම ඒ දෙනෙත් තුළ ලියැවී ඇති යමක් කියවන්නැයි ආරාධනා කරන සෙයක් දැක්වී ය. මා ද මගේ දෙනෙත් සහ ඔහුගේ දෙනෙත් අතර පවතින ඍජු රේඛා සම්බන්ධය බිඳකුදු වෙනස් නොකර සිටින්නට යත්න දරන අතර ම සෙමෙන් එහෙත් ආදරණීයත්වය පිරි හඬින් ඔහු ඇමතී ය.
‘‘කියන්න අමෝද්‍ය... මොකද්ද වෙලා තියෙන්නෙ...? ඇයි දිවසත් අයිය මට ෆෝන් එක දුන්නැත්තෙ... මොනව හරි අසුබ ආරංචියක් ද අමෝද්‍ය...?’’
එතෙක් ඍජු රේඛාවක් සේ පැවති අමෝද්‍ය ගේ දෙනෙත් මා විමසූ අවසන් වදන් කිහිපය ඇසුණ සැණින් චංචල විය. ඔහුගේ මුව විවර වීමට පෙර දකුණත මගේ නලල් තලය මත තබා කිහිප වතාවක් ම මගේ හිස පහළට අතගෑ ය. ඉක්බිති අනෙක් අතේ මහපටැඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් මගේ සවිධගින් අල්ලා මඳක් ඉහළට එසවී ය.
‘‘නෑ නෑ පැටියො... එහෙම අසුබ ආරංචියක් නෑ. ඒ උනාට...’’ යැයි පැවසූ ඔහු යළි නිහඬ විය. ඒ නිහඩතාව තුළ වදන් දහස් ගණනකින් පැවසිය යුතු විස්තරයක් සැඟව පවතින බව මට හැඟිණ.
‘‘අනේ අමෝද්‍ය... ඇයි නැවැත්තුවෙ...? ඉතිරි ටිකත් කියන්න අමෝද්‍ය... මොන මොන දේවල් වෙලා තිබුණත් දැන් ඒ හැම දෙයක් ම වෙලා ඉවරයි නෙ... ඒ හිංද මට කියන්න.’’ යැයි පැවසූ මා වහා ඔහුගේ උකුළු තලයෙන් හිස ඉවතට ගෙන, සිරුර ඍජු කර, ඔහුගේ උරපත්ත මත වැතිරී ය.
අමෝද්‍ය, දකුණත මගේ ගෙල වටා යවා මා ඔහු වෙත මඳක් ඇද දෙදෙනාගේ දෙහිස් එකිනෙක ඇලෙන සේ තෙරපී ය. ඒ තෙරපීමට මට හැඟුණේ ඔහුගේ සිරුර පුරා ඇවිළ තිබූ කිසියම් රශ්මි ධාරාවකින් අඩක් මගේ සිරුර තුළට ඇතුළු කරනවා බඳු හැඟීමකි. සැබැවින් ම එසේ සිදුවනවා නම් එය කෙතරම් සැනසීමක් ද... මගේ අමෝද්‍ය මේ සියලු වේදනා දරන්නේ මා වෙනුවෙන් නොවේ ද යන හැඟීම මසිතට ඇතුළු විය. ඔහු කැමති මොහොතක් එසේ සිටින්නට ඉඩ හැරිය යුතු යැයි අදහස් කළ මා නිසොල්මනේ ම ඔහුගේ හිසට මගේ හිස තෙරපාගෙන සිටියේ ඉතා සැහැල්ලු හැඟීමකිනි.
* * * * * * * * *
‘‘අහිංසනා... අහිංසනා... කෝ නැගිටින්න... නැගිටල කාමරේට ගිහින් බුදියන්න. දැන් එකටත් කිට්ටුයි...’’
සිහිනයෙන් මෙන් ඇසුණු අමෝද්‍යගේ කටහඬ සැබැවින් ම ඇසෙන්නක් බව දැනෙන්නට තත්පර කිහිපයක් ගතවිය. ඒ වන විට මා කොතෙක් වේලා අමෝද්‍යගේ උකුළ මත නිදන්නට ඇති ද යන්න පවා මට අමතක ය. අමෝද්‍යගේ උරතලය මත හිස හොවාගෙන ඉකිගසමින් හැඬූ මගේ හිස කෙමෙන් කෙමෙන් ඔහුගේ උකුළ මතට ඇදී ගිය බව යාන්තමට මතකයේ රැඳී තිබිණ; ඒ මොහොතේ ද එක් වතාවක මෙන් අමෝද්‍ය මගේ හිස අතගෑ බව ද යාන්තමට මෙන් මතක ය. දැන් ඔහු යළි මට තනිව ම නිදන්න යැයි ආරාධනා කරයි. මේ කුමන අරුමයක් ද...?
සෙමෙන් හිස එසවූ මා ඒ හා සමග ම නැගී සිට ‘‘ඇයි මං විතරක් බුදියන්න යන්නෙ... ඔයත් එන්නකො.’’ යැයි පවසන අතර ම අසුනෙන් නැගී සිට අමෝද්‍යගේ දෑතින් අල්ලාගත්තේ ඔහු සමග නින්දට යාමේ බලාපොරොත්තුවෙනි.
‘‘පැටියො... මේ අහන්න... මට ක්ලාස් එකේ වැඩ ටිකක් තියෙනව. මං අද එළිවෙන්න කලිං ඒ වැඩ ටික ඉවර කරගන්න ඕන. ඉතිං කියන දේ අහල හොඳ ළමය වගේ ගිහින් නිදාගන්න... ප්ලීස්... යන්න... ගිහින් නිදාගන්න. මම මේ වැඩ ටික ඉවරකරපු ගමන් එන්නං. දැං යන්න හොඳ පැටිය වගේ.’’ඒ අමෝද්‍ය ප්‍රතිචාර දැක්වූ ආකාරය යි; සිය බිරිඳ සමග ගත කරන පළමු රාත්‍රි යේ දී සැමියෙකු මෙබඳු ප්‍රකාශයක් කරන්නට තරම් නරුම වන්නේ කෙසේ ද... සැබැවින් ම එය නරුමකමක් ද එසේත් නොමැති නම් වෙනත් ප්‍රබල හේතුවක් ද යන්න මේ මොහොතේ ම විමසිය යුතු වුව ද සිදු වූ සහ සිදුවෙමින් පවතින දෑ පිළිබඳ අවධානය යොමු කරන විට අමෝද්‍ය නිවැරැදි නොවේදැයි මට සිතිණ. එහෙයින් මා යළිත් අමෝද්‍ය අසලින් අසුන් ගත්තේ ස්වයංක්‍රීයව මෙනි. එවිට අමෝද්‍ය දැක්වූ ප්‍රතිචාරය මා කිසි සේත් ම බලාපොරොත්තු නොවූවකි.
‘‘අහිංසනා මේ අහන්න...’’ යැයි තරමක් කෝපයෙන් මෙන් පැවසූ අමෝද්‍ය මගේ එක් අතකින් අල්ලාගෙන මා කාමරය දෙසට ඇදගෙන යන්නට තැත් කළේ ය.
‘‘අමෝද්‍ය...! ඇයි මේ...?’’
ඔහුගේ හැසිරීම අදහාගත නොහැකි වූ මා විමසී ය.
අමෝද්‍ය මගේ අතින් ඇදගෙන කාමරය දෙසට යන අතර ම ‘‘පැටියො... අද දවස ගැන ඔයාට තියෙන බලාපොරොත්තු මොනවද කියල මට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. හැබැයි මතක තියාගන්න අපි දෙන්න ඉන්නෙ එහෙම සතුටක් විඳින්න පුළුවන් තත්ත්වෙක නෙවෙයි. අනික අපි දෙන්න තවම කසාද බැඳලත් නෑ. ඔයා මගේ කසාද ගෑනි වෙනකං ඔයා ආරක්ෂා කරගන්න එක මගේ වගකීමක්. මොකද දැනට මේ සිද්ද වෙලා තියෙන දේවල් එක්ක බැලුවම සමහර විට ඔයාගෙ අම්මයි තාත්තයි...’’
ඒ වන විට දෙදෙනා ම කාමරය අසලට ම පැමිණ තිබිණ.
‘‘හරි... ඒකෙන් කමක් නෑ... ඔයා හොඳ පැටිය වගේ මං කියන දේ අහන්නකො... දැන් නිදාගන්න. මම පුළුවන් තරං ඉක්මනට එන්නං... ප්ලිස්... යන්න පැටියො...ගිහින් නිදාගන්න’’ යැයි පැවසූ අමෝද්‍ය සයනය අසලට ම පැමිණ, මා එහි හිඳුවා මගේ ලලාටය සිපත්තේ මා නොසිතූ ලෙසිනි.
‘එක අතකට අමෝද්‍ය පුදුම විදියට අවංකයි. මට තේරෙනව එයා කියන්නෙ මොකද්ද කියල. ඇත්ත... මේ අපිට සතුටු වෙන්න පුළුවං වෙලාවක් නෙවෙයි. ඒකට ඉදිරි කාලෙ ඕන තරං ඉතුරු වෙලා තියෙනව.’
‘‘ඇයි කල්පනා කරන්නෙ... මං මහ නරුමයෙක්, හිත් පිත් නැති, හැඟීම් දැනීම් නැති මිනිහෙක් කියල හිතෙනව ද?’’ යැයි අමෝද්‍ය විමසුවේ මා කල්පනාභරිතව සිටින බව අවබෝධ කරගත් බැවිනි.
‘‘නෑ නෑ අමෝද්‍ය... මට තේරෙනව... ඔයා දුර දිග බලල වැඩ කරන විත්තිය මට තේරෙනව. මං නිදාගන්නං... ඔයත් පුළුවන් තරං ඉක්මනට එන්න පැටියො,’’ යැයි පැවසූ මා යළි නැගී සිට අමෝද්‍යගේ නළල් තලය මත උණුසුම් හාදුවක් තැවරී ය. ඔහු ද යළිත් වතාවක් මගේ ලලාටය මත උණුසුම් හාදුවක් තවරා, මා සයනයේ ඉන්දවා කාමරයෙන් පිටව ගියේ දොර ද වසාගෙන ය.
* * * * * * * * *
‘‘ම්ම්ම්... දිවසත් කියන විදියට නං ඔයාගෙ තාත්ත දිවසත්ට කෝල් විසිහයක් අරගෙන. දිවසත් ෆෝන් එක ඔන් කරපු හැටියෙම ආයෙ කෝල් එකක් ඇවිල්ල. එයා සිද්ධිය දන්න නිසා සාමාන්‍ය විදියට කතා කරල. ඒත් තාත්ත කලබලෙන් කිව්වලු ඔයා ඕස්ට්‍රේලියා ගිහින් නෑ කියල. අනික තාත්තල කුරුණැගල ගිහින් නෑ. එයාල එහෙම්ම ම ගම්පහ ඉන්න තාත්තගෙ යාළුවෙකුගෙ ගෙදර ගිහිං. පස්සෙ එයාල එයාපෝර්ට් එකට කතා කරල. එතකොට තමයි එයාර්පෝට් එකෙන් කියල තියෙන්නෙ ඔයා ප්ලේන් එකට නැගල නෑ, ආපහු ඇවිත් කියල. අම්ම හොඳට ම කලබල වෙලා.’’
නිදන්නට බලාපොරොත්තුවෙන් සයනයේ දිගැදුණ ද මීට මොහොතකට පෙර අමෝද්‍ය ගේ උරතලය මත හිස හොවාගෙන සිටි මොහොතේ ඔහු පැවසූ වදන් එක පෙළට මගේ සවන් පුරා දෝංකාර දුන්නේ නින්ද දැඩි ලෙස පලවා හරිමිනි.
‘‘අම්මල කලබල වෙනව කියල අපි කොහොමත් දන්නව නෙ අමෝද්‍ය. ඒත්... ඇයි අම්මල ගෙදර නොගිහින් ගම්පහ සමරසිංහ අංකල්ලගෙ ගෙදර ගියේ... ගෙදරිං එද්දි එහෙම කතාවක් කිව්වෙ නෑ නෙ...’’
‘‘සමහර විට ඒක එයාල ඔයා පිටත් උණාට පස්සෙ ගත්තු තීරණයක් වෙන්න ඇති.’’
‘‘ඔවු නේද... ඉතිං දැං මොකද වෙන්නෙ අමෝද්‍ය...?’’
මා අමෝද්‍යගෙන් විමසුවේ මේ වන විට සිදුවෙමින් පවතින්නේ මොනවාදැයි නිවැරැදිව ම දැනගැනීමේ අටියෙනි.
‘‘දිවසත්ට කතා කරන වෙලාවෙ කිව්වලු ෂුවර් එකට ම මාත් එක්ක යන්න ඇති කියල. දැන් එයාල එයාර්පෝට් එකට යන්න ලෑස්ති වෙනව කිව්වලු. සමහර විට සීසීටීවී චෙක් කරන්නත් පුළුවං. එතෙන්දි ඔයා ආයෙ එළියට ආපු එක හොයාගනීවි. ඒක නං හොයාගත්තට අවුලක් නෑ... ඒත්...’’
‘‘ඇයි අමෝද්‍ය... මොකද...?’’
‘‘මොකද කියන්නෙ ළමයො... මං එතනිං ඔයා අරගෙන ඇවිත් ටැක්සියට නග්ගගන්න ඒවත් කොහේ හරි කැමරාවක තිබුනොත්...?’’
ඒ වදන් ඇසූ සැණින් මගේ සිරුර පුරා ම සිහින් විදුලි රේඛාවක් ඇදී ගියේ ය. එහෙත් එසැණින් ම අමෝද්‍ය මුහුණ පුරා රැවුල වවා සිටිනවා නොවේදැයි සිහිපත් විය.
‘‘එහෙම තිබුනත් මාව එක්කරගෙන යන්නෙ ඔයා කියල කාටවත් අඳුරගන්න බැරිවේවි නේද...?’’
මා අමෝද්‍යගෙන් එසේ විමසුවේ මගේ සිත සැහැල්ලු කරගැනීමේ අටියෙනි.
‘‘ඔයා කියන්නෙ මගේ රැවුල නිසා ද...?’’
‘‘ඔවු...’’
‘‘පිස්සුද පැටියො... මං දැං සති කිපයක් තිස්සෙම රැවුල වවනව කියල නුවර පංතිවල ළමයි, ගම්පහ පංතිවල ළමයි වගේ ම නුගේගොඩ පංතිවල ළමයි දන්නව නෙ... ‘ඇයි සර් මේ රැවුල වවන්නෙ...?’ කියල ඒ ළමයිනුත් මගෙන් කොච්චර නං ඇහුව ද...’’
ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින් බලන්න
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න