ඔහු තමා අත තිබූ පාර්සලය හාමුදුරුවන් වෙත පෑ ය; උන්වහන්සේ එය මත අත තැබූ සැණින් එය පසෙක තිබූ ටීපෝව මත තැබූ  ප්‍රතිෂ්ඨ ද දණ නමස්කාර කළේ ය.

ඔහු යළි හිස එසවිමට පෙර ‘‘සුවපත් වේවා...!’’ යැයි ආමන්ත්‍රණය කළ හාමුදුරුවෝ ‘‘හම්ම්ම්... නෝන සචේතනී කිව්ව නේද... එතකොට මේ මහත්තෙය...?’’ යැයි විමසා ප්‍රතිෂ්ඨ යමක් පවසන්නට පෙර ම ‘‘ආ... මේ ප්‍රතිෂ්ඨ... මගෙ මහත්තය හාමුදුරුවනේ...’’ යැයි සචේතනී පැවසුවේ කිසිදු අපහසුතාවකින් තොරව ය.

‘‘ආ... ප්‍රතිෂ්ඨ... අපූරු නමක් නොවැ...’’ යැයි හාමුදුරුවෝ හිස ඉහළ පහළ වනමින් විමසන විට ප්‍රතිෂ්ඨ පසු වූයේ දැඩි වික්ෂිප්තභාවයකිනි.

‘ඒ මොන බොරුවක් ද...? නෑ හාමුදුරුවනේ මේ...’

ඒ වදන් වැල ප්‍රතිෂ්ඨගේ මුවෙන් නොගිලිහුණ ද සිත තුළ තෙරපිණ. ඒ සමග ම යළි හාමුදුරුවන්ගේ හඬ වාතලයේ පාවෙන බව ප්‍රතිෂ්ඨට ඇසිණ.

‘‘බොහොම හොඳයි... බොහොම හොඳයි... තමන්ගෙ බිරිඳගෙ අවශ්‍යතාවයන් වෙනුවෙන් මුදල් වැය කරන මහත්තුරු කොච්චර හිටියත් ඒ වෙනුවෙන් තමන්ගෙ කාලයයි ශ්‍රමයයි වැය කරන මහත්තුරු අද කාලෙ හරි අඩුයි නොවැ නෝනෙ... මේ... මේ මහත්තයගෙ රස්සාව...?’’

අවසන් වදන් තුන සවනත වැකුණ සැණින් ඒ සඳහා පිළිවදන් සපයන්නට ප්‍රතිෂ්ඨ මුව විවර කිරීමට පෙර ම එම පැනයට ද සචේතනී පිළිවදන් සපයා අවසන් කළා ය.

 

12 wajja

‘‘මේ... මහත්තය Freelance writer කෙනෙක් විදියට වැඩ කරනව හාමුදුරුවනේ. මේ දවස්වල නං මේ... ප්‍රොෆෙසර් අමරනාථ ගුණසේකරගෙ Project එකක Research එකක් කරනව හාමුදුරුවනේ...’’

‘යකෝ මෙයාගෙ කටට වචන එන්නෙ හරියට රබර් ගහෙං කිරි එනව වගේ නෙ... මට කියන්න මොනවක් ඉතුරු කරන එකක් නෑ වගේ....’ යැයි ප්‍රතිෂ්ඨ සිතන විට ම යළි හාමුදුරුවන්ගේ මුවෙන් වදන් වැලක් ගිලිහිණ.

‘‘ආ... ඒකත් එහෙම ද...? ප්‍රොෆෙසර් අමරනාථ ගුණසේකර කියන්නෙ මමත් හුඟක් ගරු කරන විද්වතෙක්; උගතෙක්; බොහොම නිහතමානී, කොන්ද පණ තියෙන මහත්තෙයෙක්... ඉතිං... මොකද්ද ඔය මහත්තෙය කරන Research එක...?’’

එම පැනයට ද සචේතනී පිළිවදන් සපයනු ඇතැයි බලාපොරොත්තුවෙන් ප්‍රතිෂ්ඨ නිහඬව සිටිය ද එවර සචේතනී ගොළු වත රැක්කා ය. නමුදු දැන් නිහඬව සිටිය නොහැකි ය; මොනම ආකාරයකින් හෝ සචේතනීගේ උවන වෙත අවධානය යොමු කිරීමට ද නොහැකි ය. එබැවින් කඩිනමින් ම පිළිවදන් සැපයිය යුතු ය.

‘‘හාමුදුරුවනේ මේ... කඩඉම් පොත් පිළිබඳ Research එකක් හාමුදුරුවනේ...’’

 

අසීරුවෙන් වුව ද එකී අසීරුතාව බිඳකුදු ප්‍රදර්ශනය නොකළ ප්‍රතිෂ්ඨ, හාමුදුරුවන් වෙත පිළිවදන් සපයා එසැණින් ම සචේතනිගේ උවනෙහි කුමනාකාරයේ හැඟීමක් ගැබ් වී ඇතිදැයි දැනගැනීමේ අටියෙන් සිය දෙනෙත් ඇගේ උවන වෙත යොමු කළේ ය. ඇය, මේ දැන් මොහොතක පෙර පැවසූ මුසාවාද පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වමින් පූර්ණ ස්මිතයකින් ඇගේ උවන සිතුවම් කරගෙන සිටියා ය; එමෙන් ම එම ස්මිතයේ උපහාසාත්මක මෙන් ම ‘ඇති ද මහත්තයො’ බඳු වදන් පෙළක් ද සටහන්ව තිබෙනවා මෙන් දක්නට ලැබිණ. ප්‍රතිෂ්ඨ සචේතනීගේ උවන වෙතින් ඔහුගේ දෙනෙත් ඉවත් කරගත්තේ යළි හාමුදුරුවන්ගේ කට හඬ සවන් තුළට රිංගාගත් බැවිනි.

 

‘‘හරි හරි... අපි විස්තර පස්සෙ කතා කරමුකො... දැන් මේ නෝනයි මහත්තෙයයි උදේට සප්පායම් වෙලා ද ඉන්නෙ...?’’ යැයි විමසන විට ම ‘‘එහෙමයි හාමුදුරුවනේ... අපි උදේට කාල ඉන්නෙ හාමුදුරුවනේ...’’ යැයි පැවසුවේ සචේතනී ය.

‘‘හම්ම්ම්... නෝන වැඩිය කැමති නෑ නේද මහත්තය මහන්සි කරවන්න...?’’

පොල්තෙල් ගෑ නැවුම් වළඳක මතුපිට සේ දිස්නය දෙන හිස අතගාන අතර හාමුදුරුවෝ එසේ විමසූ සැණින් ඊට පිළිවදන් සපයනවා වෙනුවට ප්‍රතිෂ්ඨ සහ සචේතනී කළේ එකිනෙකාගේ උවනත් එකිනෙකාගේ දෙනෙත්වල ග්‍රහණයට නතු කරගැනීම පමණි. දෙදෙනා ම තත්පර දෙක තුනක් එකිනෙකාගේ දෙනෙත්වලින් කුමක් දෝ විමසූ පසු මුව විවර කළේ සචේතනී ය.

‘‘හාමුදුරුවනේ... මට පැහැදිලි නෑ...’’

Buddhist monks are standing in front of windows in the morning light.මුව පුරා කරුණාභරිත ස්මිතයක් සිතුවම් කරගත් හාමුදුරුවෝ වමත ඔසවා, දකුණතින් සිවුරු පොට සකසා ගන්නා අතර ම ‘‘නෑ ඉතිං... මං මේ මහත්තයගෙන් අහපු හැම දේකට ම වගේ උත්තර බැන්දෙ නෝන නෙව. ම්ම්ම්... හරි හරි... ඒකෙං කමක් නෑ... දැං කතාවෙං කතාවෙං නෝනල ආපු වැඩෙත් මග ඇරෙනව නෙ... මොකද්ද මේ නෝන හොයනව කියපු පොත මේ...?’’ යැයි විමසු හාමුදුරුවෝ යළි දකුණතින් හිස අතගාන අතර ම මඳක් කල්පනා කරන බවක් දැක්වී ය.

‘‘හාමුදුරුවනේ මේ... ‘සිංහල ව්‍යාකරණයේ වෙසෙස් ලක්ෂණ’ කියන පොත හාමුදුරුවනේ...’’

එම පැනයට ද ක්ෂණික පිළිවදන් සැපවූයේ සචේතනී ය.

‘‘හම්ම්ම්... හරි හරි... අපේ මේ භූජිස්ස හාමුදුරුවන්ගෙ....?’’

‘‘එහෙමයි හාමුදුරුවනේ එහෙමයි...’’

හූමිටි තැබුවේ ද සචේතනී ය.

‘‘හම්ම්ම්... එමුකො බලන්න පුස්තකාලෙ පැත්තට...’’ යැයි පැවසූ හාමුදුරුවෝ ප්‍රතිෂ්ඨට සහ සචේතනිට පිටුපා ඉදිරියට වැඩම කළහ. එසැණින් ම යළි දෙදෙනා දෙදෙනාගේ උවනත් එකිනෙකාගේ නෙත් ග්‍රහණයට ගන්නා විට සචේතනීගේ උවනේ සටහන් වී තිබුණේ ප්‍රමෝදයෙන් පිරි සිතුවමකි. එහෙත් ප්‍රතිෂ්ඨගේ උවනෙහි සටහන් වී තිබුණේ අන්ධකාර පැහැයෙන් යුත් වලාකුළකි. එහි පැහැය පිළිබඳ කිසිදු තැකීමක් නොකළ සචේතනී ඉතා රහස් ස්වරයෙන් ‘‘මොක ද මේ... යං යං... නැත්තං හාමුදුරුවො බලයි අපි දෙන්න පන්සල් ඇවිල්ලත් රංඩු වෙනවද කියල,’’ යැයි පවසන අතර ම සුන්දර ස්මිතයක් උවනෙහි සිතුවම් කරගත්තා ය; ඒ සමග ම ප්‍රතිෂ්ඨගේ දකුණතින් ඇද ‘‘යං...’’ යැයි පවසා හාමුදුරුවෝ පිටුපස ඇදුණා ය; ප්‍රතිෂ්ඨ ද ස්වයංක්‍රියව මෙන් ඇය පසුපස වැටිණ.


හාමුදුරුවෝ, ප්‍රතිෂ්ඨ සහ සචේතනී එතෙක් රැඳි සිටි ප්‍රධාන ශාලාවේ දකුණු පසින් මඳ දුරක් ගමන් කරන විට දක්නට ලැබුණේ අඩක් ඉපැරණි හැඩයෙන් ද අඩක් නවීන හැඩයෙන් ද නිමවා තිබූ දිගු ධර්මශාලාව ය. අඩි හැත්තැවක් පමණ දිගැති එම ශාලාවේ අඩි දහයෙන් දහයට පමණ වන සේ, පොළොවේ සිට අඩි තුනක් පමණ උස බිත්තියේ උසට ම සවි කළ කුඩා කුඩා දැව ගේට්ටු හයක් පමණ දක්නට තිබිණ. ශාලාවේ අනෙක් පස ද නවීන ගොඩනැගිල්ලක් දක්නට ලැබිණ. හාමුදුරුවෝ ධර්ම ශාලාවේ පිහිටි එක් ගේට්ටුවක් විවෘත කර, ශාලාව මැදින් අනෙක් පසට වැඩියහ. ප්‍රතිෂ්ඨ සහ සචේතනී ද කිසිදු කතාබහකින් තොරව උන්වහන්සේ පසුපස ම ගමන් කළහ. හාමුදුරුවෝ පෙර සේම එම බිත්තියට සවි කර තිබූ කුඩා ලී ගේට්ටුවක් විවර කර ශාලාවෙන් පිටතට වැඩියහ. ප්‍රතිෂ්ඨ සහ සචේතනී ද එම ස්ථානයෙන් ම පිටවූහ. මඳක් වම්පසට හැරී වැඩම කළ හාමුදුරුවෝ: අඩි දහයක් පමණ උසැති, අඩි පහයක් හයක් පමණ පළැති, කැටයම් සහිත විශාල ලී දොරක් අබියස නතර වී ඉණෙහි රඳවාගෙන සිටි යතුරු කැරැල්ලක් අතට ගෙන, එහි තිබූ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල යතුරකින් දොර විවර කළහ; පළු දෙකකින් යුක්ත දොරෙහි එක් පළුවක් පමණක් විවෘත විය.

 

lib 2

‘‘එන්න... මේක තමයි අපේ පුස්තකාලෙ,’’ යැයි හාමුදුරුවෝ පැවසුවේ ප්‍රතිෂ්ඨ සහ සචේතනී වෙත හිස හරවමිනි. ඒ සමග ම ඇතුළට වැඩම කළ හාමුදුරුවෝ ශාලාවේ විදුලි බල්බ දැල්වූහ. ඇතුළත ආලෝකය පැතිරුණ සැණින් ඔවුන් දෙදෙනා ද ශාලාවට ඇතුළු වූහ. එසැණින් ශාලාව වටා දෑස් යොමු කළ ප්‍රතිෂ්ඨ විශ්මයට පත් විය. ඒ, ඉතා විශාල ශාලාවේ බිත්ති වෙනුවට දක්නට ලැබුණේ රාක්ක මත අසුරා තිබූ පොත් බැවිනි. සචේතනී ද ඇගේ විසල් දෙනෙත් ප්‍රතිෂ්ට වෙත එල්ල කළා ය.            

ශාලාව මධ්‍යයේ ද දෙපසට බෙදා වෙන් කර ඇති ලෙස දක්නට ලැබුණේ පොත් රාක්ක පෙළකි. බිත්තියත්, ශාලාව මධ්‍ය යේ පිහිටි රාක්ක පෙළත් අතර දෙපස අසුන් සහිත දිගු මේසයක් දක්නට ලැබිණ. ශාලවට ඇතුළු වන විට ම දකුණු පස තරමක් දිගු මේසයක් තිබිණ. එහි බිත්තිය පෙදෙසට වන්නට අසුන් හතරක් පනවා තිබිණ.

‘‘නෝනයි මහත්තෙයයි මෙතනින් වාඩිඋනා නං... මං ගිහින් නෝනට ඕන කරන පොත අරගෙන එන්නං. මොකද... අද පුස්තකාලෙ අරින්නෙ දවල් දානෙං පස්සෙ. එතකං කවුරුවත් එන්නෙ නෑ...’’ යැයි පැවසූ හාමුදුරුවෝ ශාලාවේ දකුණු පසට මඳක් වැඩම කර යළි වමට හැරී ඉදිරියට වැඩම කළහ.

‘‘ප්‍රතිෂ්ඨ... මේක මාර ලයිබ්‍රියක් නෙ...’’ යැයි සචේතනී විමසුවේ මීට මිනිත්තු කිහිපයකට පෙර සිදුවූ කිසිදු සිදුවීමක් සිදු නොවුණා සේ ය. ප්‍රතිෂ්ඨ පොත්පත් කෙරෙහි කෙතරම් ළැදියාවක් දක්වන පුද්ගලයෙක් වුව ද මේ මොහොතේ ඒ පිළිබඳ කිසිදු උනන්දුවක් දක්වන බවක් නොපෙනිණ. සචේතනී වෙත පිළිවදන් සපයන බවක් ද දක්නට නොලැබිණ.

‘‘ප්‍රතිෂ්ඨ... මොකෝ මේ...?’’ යැයි විමසන අතර ම අසලට පැමිණි සචේතනී ඔහුගේ දකුණතින් අල්ලාගත්තා ය. එවිට ම ‘‘ඔයාට පිස්සු ද... හාමුදුරුවො දැක්කොත් එහෙම...?’’ යැයි විමසත් ම යමක් සිහිපත් වුවා සේ සචේතනී ද ප්‍රතිෂ්ඨගේ අත අතහැරියා ය. ඒ සමගම ශාලාව මධ්‍ය යේ පිහිටි පොත් රාක්ක පෙළට අනෙක් පසින් අඩි ශබ්දයක් ඇසිණ.

‘‘ආ... මොකද මේ නෝනයි මහත්තෙයයි තවම හිටගෙන... මේ තියෙන්නෙ ඔය නෝන හොයන පොත...’’ යැයි පවසමින් ඔවුන් ආසන්නයට වැඩම කළ හාමුදුරුවෝ පොත මේසය මත තබා, දිගු මේසයේ කෙළවරෙහි පිහිටි අසුනේ අසුන් ගෙන ‘‘වාඩිවෙන්න... වාඩිවෙන්න... පුස්තකාලෙ ආයි හාමුදුරුවන්ටයි ගිහියන්ටයි කියල වෙනම අසුන් පනවල නෑ. ඒ හිංද වාඩිවෙන්න...’’ යැයි ආරාධනා කළහ. හාමුදුරුවන්ගේ ආරාධනයේ තිබූ සුහදශීලිත්වය හේතුවෙන් ම ඔවුන් දෙදෙනා උන්වහන්සේට මුහුණ ලා අසුන්ගත්හ. යළි පොත වෙත අවධානය යොමු කළ හාමුදුරුවෝ ‘‘දැනට මෙහේ ඉතුරු වෙලා තියෙන්නෙ මේ පොතයි මගේ පුද්ගලික පුස්තකාලෙ තියෙන පොතයි විතරයි. දැන් ඔය නෝනට මොකද්ද කෙරෙන්න ඕනෙ...?’’ යැයි විමසුහ.

 

පොත දුටු සැණින් සචේතනීගේ දෙනෙත් දිලිසිණ. ඒ දෙනෙතින් විහිදි ආලෝක කදම්භය පොත මතට පතිත වි එහි පැවති පැරණි පැහැය ද වෙනස් වනවා සේ ප්‍රතිෂ්ඨට හැඟිණ. ඒ වාතාවරණය අතරතුර තත්ත්පර කිහිපයක් නිහඬව ම ඔවුන් පසු කර ගිය පසු සචේතනී ප්‍රතිෂ්ඨගේ උවන වෙත ඇගේ ප්‍රහර්ෂණීය දෙනෙත් එල්ල කළේ ඇගේ මුවට වදන් ගලා නොඑන බවට ඉඟි කරමිනි. ඇය මීට මඳ වේලාවකට පෙර කෙතරම් මුසාවාද පැවසුව ද මේ මොහොතේ ඇය නිහඬ ය; එහෙත් ඒ නිහඬතාව ඔවුන් පැමිණි කටයුත්ත ඉටුකරගැනීමට බාධාවක් වන බව අවබෝධ කරගත් ඔහු සචේතනි වෙනුවෙන් පෙනී සිටියේ ය.

 

‘‘හාමුදුරුවනේ... මේ...’’

ඔහුට පැවසීමට හැකිවූයේ එපමණකි.

‘‘හාමුදුරවනේ... මං කලිනුත් ඔබ වහන්සේට කිව්වෙ... මගේ හොඳ ම මිතුරිගෙ පොත මගේ අතින් නැතිඋණා. දැන් පුස්තකාලෙට මේ පොත ඉල්ලනව. නැත්නං දඩයක් ගහල එයාගෙ මෙම්බර් ෂිප් එකත් කැන්සල් කරන්න යනව. ඉතිං අපිට ලයිබ්‍රියට මේ පොතක් දෙන්න ඕන.’’

‘‘හම්ම්ම්... ඒකත් එහෙම ද... ඒත්... කොහොමද නෝනෙ ඒක කරන්නෙ... මගේ ළග තියෙන පොතවත්, මේ ලයිබ්‍රියෙ තියෙන මේ පොතවත් මොනම හේතුවක් නිසාවත් කීයකටවත් විකුණන්නෙ නෑ. මොකද මේව අපිට කෞතුක වස්තු වගේ නෝනෙ... ඔය මහත්තෙයත් ඉතිං පොත් පත් ඇසුරු කරනව නෙ... දන්නව ඇතිනෙ පුරාණ පොත්පත්වල වටිනාකම... ම්ම්ම්...’’ යැයි පැවසූ හාමුදුරුවෝ අසුනින් නැගී සිටින අතර ‘‘මං කියන්න ද...? ඔය නෝනට ඕනෙම නං මං මේ පොතේ පොටෝ කොපි එකක් ගහල දෙන්නං... ඒකත් අපි කරන්නෙ නෑ. ඒත් දැං ඔය නෝන පත්වෙලා ඉන්න තත්ත්වෙ ගැනත් මං හිතන්න එපයි. එහෙම හොඳයි නේද...?’’ යැයි විමසුවේ එය හාමුදුරුවන්ගේ අවසන් නිගමනය යැයි හැඟවෙන පරිදි ය.

කිසිවක් ම නොපැවසූ සචේතනී යළි ප්‍රතිෂ්ඨගේ උවන සිය දෙනෙත්වල ග්‍රහණයට නතු කරගත්තා ය. එහි ලියැවී තිබුණේ ‘දැන් අපි මොකද කරන්නෙ ප්‍රතිෂ්ඨ’යන වදන් වැල ය; එහෙත් ඇය නිහඩ ය; ඇය වෙනුවෙන් හඬ අවදි කළ යුතුව ඇත්තේ තමන් නොවේදැයි ප්‍රතිෂ්ඨට සිතිණ.

 

bookssws

අසුනෙන් නැගි සිටි ප්‍රතිෂ්ඨ ‘‘හාමුදුරුවනේ... පොටෝ කොපි එකක් නං ලයිබ්‍රියෙන් බාරගන්න එකක් නෑ හාමුදුරුවනේ... මේ...’’

ඉතිරි වදන් ප්‍රතිෂ්ඨගේ මුවෙන් ගිලිහීමට ප්‍රථම හාමුදුරුවෝ ‘‘මට තේරෙනව... මට තේරෙනව... නමුත් මහත්තයො මේවා පුරාණ වගේ ම අපේ ලොකු හාමුදුරුවන්ගෙ ලියවිලි නෙ... දැන් ඉතිං ආයෙ මේව මුද්‍රණය කරන්නෙත් නැහැ නෙව...’’ යැයි පැවසුවේ ප්‍රතිෂ්ඨගේ මෙන් ම සචේතනිගේ ද බලාපොරොත්තු බිද හෙළමිනි. එහෙත් ප්‍රතිෂ්ඨ යළි උත්සාහ කළේ ය.

‘‘නෑ හාමුදුරුවනේ.... මං මේ කියන්න හැදුවෙ...’’

‘‘ඔවු මහත්තයො කියන්න... පොත සල්ලිවලට ඉල්ලන්නෙ නැතුව වෙන ඕන යෝජනාවක් කරන්න. පුළුවං දෙයක් නං මං කරල දෙන්නං.’’

b46c8d0e247b3ef32fbb658075b7b77fහාමුදුරුවෝ එසේ පැවසු පසු ප්‍රතිෂ්ඨ, සිය අවධානය සචේතනී වෙත යොමු කළේ ඇගේ ප්‍රතිචාරය කුමක්දැයි අවබෝධ කරගනු පිණිස ය. නමුත් ඇගේ උවනේ ඊට අදාළ කිසිදු සටහනක් දක්නට නොලැබිණ. එබැවින් දැන් ඉතිරි සියල්ල තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම පැවරී ඇත්තේ තමාගේ උර මත බව ප්‍රතිෂ්ඨ අවබෝධ කරගත්තේ ය.

‘‘මේ යෝජනාව ගැන හාමුදුරුවො වැරදි අදහසක් ගන්න එපා. ඒ වගේ ම අපි ගැන අවිශ්වාසයක් තියාගන්නත් එපා...’’

‘‘හරි හරි... මට ඔය මහත්තෙයගෙ යෝජනාව කියන්නකො.... ඊට පස්සෙ බැරියැ තීරණයක් ගන්න...’’

ප්‍රතිෂ්ඨ සිය අදහස ප්‍රකාශ කිරීමටත් පෙර ම හාමුදුරුවෝ පැවසූහ.

‘‘අපි රුපියල් විසිපන්දාහක ඇප මුදලක් තියල පොත අරගෙන යන්නං. ගෙනිහිං ස්කෑන් කරල, පොතක් විදියට ම හදල, බයින්ඩ් කරල ලයිබ්‍රියට දෙන්නං. ස්කෑන් කරපු දවසට පහුවෙනිද ම අපි පොත ඔබවහන්සේට ගෙනල්ල දෙන්නං.’’

එය ඇසූ සැණින් සචේතනි විමතියට පත්වූවා ය. ඒ, ඇය රැගෙන විත් තිබුණේ රුපියල් පහළොස් දහසක් පමණක් වන බැවිනි. එහෙත් මේ නිමේෂයේ ඒ සම්බන්ධයෙන් කිසිවක් ම පැවසීමට ඇයට අපහසු ය. නමුදු යෝජනාවට හාමුදුරුවන්ගේ කැමැත්ත ලැබුණහොත් ඇල්පිටිය නගරයට ගොස් බැංකුවෙන් ඉතිරි මුදල් රැගෙන ආ හැකිය. එම අදහස සිතේ සනිටුහන් කරගත් ඇය ප්‍රතිෂ්ඨගේ උවන දෙස බලා ඔහුගේ අදහසට කැමති බවට ඉඟි කළා ය. එහෙත් හාමුදුරුවන්ගේ අදහස ඊට සපුරාම ප්‍රතිවිරුද්ධ විය.

‘‘කනගාටුයි මහත්තයො... ඔය මහත්තෙයයි නෝනයි අවංක වෙන්න පුළුවං. ඒත් මේ ලයිබ්‍රියෙ පොත් මොනම හේතුවක් නිසාවත් ලයිබ්‍රියෙන් පිටට දෙන්නෙ නෑ. හැබැයි ඕන ම කෙනෙකුට ඇවිත් පරිහරණය කරන්න පුළුවං. ඒ නිසා විසිපන්දාහ නෙවෙයි මහත්තෙයො ලක්ෂයක් ඇපේට තිබ්බත් මහත්තෙයගෙ යෝජනාවට කැමති වෙන්න බැ මහත්තෙයො...’’

හාමුදුරුවෝ ඍජුව ම උන්වහන්සේගේ අදහස ප්‍රකාශ කළහ.

දැන් ප්‍රතිෂ්ඨගේ මෙන් ම සචේතනීගේ ද සියලු බලාපොරොත්තු සුනුවිසුනු වී අවසන් ය. සචේතනීගේ බලාපොරොත්තුව පොත ලබාගැනීම පමණක් වුව ද වෙසෙසින් ම ප්‍රතිෂ්ඨ දැඩි පරායවකට ලක්විය. ඒ, ඔහු මෙතෙක් කළ සියලු දිගුකාලීන සැලසුම් ව්‍යර්ථ වී ඇති බැවිනි.

‘‘එහෙමනං මහත්තයො අපි යමු ද... මට අද වැඩ ගොඩගැහිල. මං කියපු විදියට කැමති නං මං අපේ සිරිදාසට කියන්නං මේ... පොතේ පොටෝ කොපි එකක් ගහල දෙන්න කියල. මට කරන්න පුළුවං එච්චරයි මහත්තයො.’’

 

මේ වන විට හාමුදුරුවෝ මේසය මත තිබු පොත අතට ගෙන, එය තිබු තැනට රැගෙන යාමට සුදානම්ව සිටියහ. සචේතනී පරාජිත උවනෙන් යුතුව ප්‍රතිෂ්ඨගේ උවන වෙත සිය දෙනෙත් එල්ල කළා ය. ඇගේ දෙනෙතේ ලියැවී තිබූ ආයාචනය කියවාගැනීමට ප්‍රතිෂ්ඨට අපහසු නොවිණ. තමා පරාජය වුව ද ඇගේ පරාජය දරාගැනීම ප්‍රතිෂ්ඨට අසීරුය. එබැවින් ඔහු අවසන් නිගමනයකට එළඹිණ.

 

‘‘හාමුදුරුවනේ... මං තව එක යෝජනාවක් කරන්නං... ඔබවහන්සේ ඒකට කැමති ද අකමැතිද කියන්නකො...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ ඍජුව ම හාමුදුරුවන්ගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් ග්‍රහණයට නතු කරගත්තේ ය.

‘‘හම්ම්ම්... මේ ශාලාවෙන් පිටට පොත ගෙනියන්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් තියෙනව නං කියන්න මහත්තෙයො. මං ඒ උදව්ව කරන්නං.’’

‘‘මේකයි හාමුදුරුවනේ මගේ යෝජනාව....’’

ඉවර නෑ...



නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/12/30 


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්


JW


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්