අමෝද්‍ය සහ මා විවාහ වී වසරකුත් දෙමසක් ගෙවෙන්නට පෙර අපි මවු - පිය පදවි ලැබුවෙමු. අපේ කුලුඳුල් දරුවා පුතෙකි. මගෙන් ද විමසා, ඉක්බිති අපේ කුලුඳුල් පුතණුවන්ට ‘‘කනිෂ්ක ජයලත්’’ යැයි නම් තැබුවේ ද අමෝද්‍ය ම ය.



දරුවා ඉපිද සමසක් ගෙවෙන තුරු අධිකාරිගම විසූ අප ඉක්බිති පදිංචියට පැමිණියේ කොළඹට නුදුරු කොට්ටාව නගරය ආසන්නයේ පිහිටි මත්තෙගොඩ නිවාස සංකීර්ණය වෙත ය. අමෝද්‍ය එම නිවස ලබාගෙන තිබුණේ පහසු ගෙවීමේ ක්‍රමයට බවත් පස් වසරක් තුළ එම නිවස අපට හිමි වන බවත් ඔහු මට පැවසුවේ ද එහි පදිංචියට පැමිණි පසුව ය.

අධිකාරිගමෙන් පිටත්වන බව අමෝද්‍ය මා හට පැවසුවේ එගමෙන් නික්ම එන්නට මසකට අඩු කාල සීමාවක දී ය. එගමෙන් බැහැරව කොළඹ ආසන්නයට පදිංචියට යන්නේ මන්දැයි විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ කනිෂ්ක පුතුගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි කොළඹට නුදුරු පෙදෙසක විසිය යුතු බවයි. අප එම නිවසට පදිංචියට යන බව දිවසත් අයියා හැර අන් කිසිවකුට දැනගන්නට ඉඩ නොතබන ලෙස ද අමෝද්‍ය මගෙන් ඉල්ලා සිටියේ ය. දිවසත් අයියාට ද අප අධිකාරිගම අත්හැර යන බව පැවසුවේ එගමෙන් පිටත්වන්නට සතියකට පමණ ඉහත දී ය. එසේ දැන්වූයේ ද අමෝද්‍ය ම ය. දිවසත් අයියා මා අමතාවි යැයි බලාපොරොත්තුවෙන් සිටිය ද එගමෙන් නික්ම යන තුරු ම එය ඉටු නොවිණ. ඊට බලපෑ හේතුව කුමක් ද යන්න මම නොදනිමි.

 

olksවසර එකහමාරකටත් වැඩි කාලයක් මගෙත් අමෝද්‍යගේත් දුක සැප වෙනුවෙන් කැපවූ රන්මලි නැන්දා අතහැර යාම මහත් කම්පනයක් ගෙන දුන්න ද ඇය අප සමග එන්නට කැමැත්ත පළ නොකළා ය. ඒ, ඇගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ගෙන් වෙන්ව ජීවත්වීම අපහසු බැවින් යැයි ඇය පැවසුවා ය. ඉදින් ඇගේ කැමැත්තට ඉඩ සලසනවා මිස ඇගේ අකමැත්තෙන් ඇය අප සමග කැඳවාගෙන යන්නට අපට නොහැකි ය. ඇය අප නිවසේ සේවයේ නියුතුව සිටිය ද, එහි රැයක් ගතකරන සෑම දිනක ම ඒ රැය ගෙවා දැම්මේ ඉතා අසීරුවෙන් බව මට හැඟිණ. ඈ ඒ සියල්ල කළේ ඇගේ පුතා වෙනුවෙනි; අමෝද්‍ය පුතා වෙනුවෙන් සලසා ඇති පහසුකම්වලට ණය ගෙවීමක් වශයෙනි. සැබැවින් ම එහි වෙසෙන තාක් මට ඇය දැනුණේ මගේ ම මව ලෙසිනි. ඇයට ‘‘අම්මා’’ යැයි නොපැවසුව ද, ඇය මට ‘‘දුවේ’’ යැයි නොපැවසුව ද මවකගෙන් ඉටු විය යුතු සියලු යුතුකම් ඇය මැනවින් ඉටු කළා ය. වෙසෙසින් ම කනිෂ්ක පුතු උපන් දා සිට එගමෙන් නික්ම යන තුරු ඇය ඒ වෙනුවෙන් ඇගේ සහයෝගය ලබා දුන්නේ හුදෙක් මෙහෙකාරියක ලෙස නොව මිත්තණියක ලෙසිනි. ඇගෙන් වෙන්ව යාම දැඩි වේදනාකාරි වුව ද ජීවිතයේ විවිධ කාලවකවානුවල දී සිදුවන වෙනස්කම්වලට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකි බැවින් ඒ සියල්ල දරාගැනීමට මට සිදු විය.

 

මත්තෙගොඩ නිවාස සංකීර්ණයට පදිචියට පැමිණෙන විට ද මීට වසර එකහමාරකට පමණ පෙර අධිකාරිගම නිවසේ පදිංචියට ගිය මොහොතේ මෙන් නොව තවත් බොහෝ ගෘහ භාණ්ඩ ද, මුළුතැන්ගෙයි උපකරණ ද නිවසට ගෙනවිත් තිබිණ. අධිකාරිගම සිට මාත්, අමෝද්‍යයත් දරුවාත් අමෝද්‍යගේ කාරයෙන් පැමිණි අතර නිවසේ භාණ්ඩ රැගෙන ආවේ ලොරි රථයකිනි. අප නිවසට එන විට එහි වයස අවුරුදු හතළිහකට ආසන්න කාන්තාවක පැමිණ සිටියා ය. ඇය ඒ වන විට නිවසට රැගෙන විත් තිබූ භාණ්ඩ සියල්ල පිළිවෙළට සකසා අදාළ ස්ථානවල තබා තිබිණ. අමෝද්‍ය ඇය මට හඳුන්වා දුන්නේ කාන්ති ලෙසිනි. බැලු බැල්මට ඇය රන්මලී නැන්දා තරම් කරුණාවන්ත යැයි නොපෙනුණ ද මතුපිටින් දක්නට නොලැබුණ කරුණා ගුණයක් ඇගේ අභ්‍යන්තරයේ රැඳී තිබිණ. ඇය අවිස්සාවේල්ල පෙදෙසේ කාන්තාවකි. අමෝද්‍ය ඇය සම්බන්ධ කරගෙන තිබුණේ ද අවිස්සාවේල්ලේ පිහිටි ඔහුගේ උපකාරක පංතියට සහභාගිවන දැරියකගේ මවගේ මාර්ගයෙනි.

 

Apartment Story sketch Paul Rosiak Realism Today scaled

මත්තෙගොඩ පදිංචියට පැමිණි පසු අමෝද්‍ය නිවසේ ගත කරන දින ගණන අධිකාරිගම දී ගත කළ දින ගණනට වඩා වැඩි විය. එනම්: ගාල්ල, මාතර, අවිස්සාවේල්ල යන නගරවල පිහිටි උපකාරක පංති පැවැත්වෙන හැම දිනක ම පාහේ මඳක් රෑ වී හෝ නිවසට පැමිණියේ ය. එහෙත්: ගම්පහ, නුවර, කුරුණැගල පිහිටි උපකාරක පංතිවලට සහභාගි වන දවස් ගත කළේ නිවසෙන් බාහිරව ය. ඔහු ඒ දිනවල නවාතැන් ගෙන සිටියේ නුවරත් කුරුණෑගලත් පිහිටි පංති සඳහා සහභාගි විය හැකි, එම නගර අතරමැද පිහිටි නවාතැනක යැයි හෙතෙම මට පැවසී ය. ඒ කොතැනදැයි නිශ්තව දැනුම් දීමේ වුවමනාවක් අමෝද්‍යට නොතිබිණ. එමෙන් ම එය දැනගැනීමේ දැඩි අවශ්‍යතාවක් මට ද නොතිබිණ. ඒ මා අමෝද්‍ය පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වු බැවිනි.

*         *          *          *          *          *          *          *          *

මේ වන විට අමෝද්‍ය ලංකාවේ ඉතා ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු මෙන් ම දේශකයෙකු ලෙස ද ප්‍රචලිතව සිටියේ ය. ඔහු: රූපවාහිනි නාලිකාවලට ද, ගුවන් විදුලි නාලිකාවලට ද YouTube නාලිකාවලට ද අත්‍යවශ්‍ය ම පුද්ගලයෙක් බවට පත්ව සිටියේ ය. මත්තෙගොඩට පැමිණ වසරක් ඉක්ම යාමට මත්තෙන් ඔහු සතුව පැවති කාර් රථය විකුණා නවතම TOYOTA LAND CRUISER 76  වර්ගයේ ජීප් රථයක් මිලදී ගත්තේ ය. එය ද ගෙවීමේ පහසු ක්‍රමයට ලබාගත් බව ඔහු පැවසී ය. ඔහු මේ සියලු දෑ කරන්නේ මාත් දරුවාත් වෙනුවෙන් නොවේදැයි සිතෙන වාරයක් වාරයක් පාසා මගේ හදවතේ ඔහු කෙරෙහි පැවති ආදරය තව තවත් වර්ධනය විය. මන්ද ඔහු නිවසේ නොසිටිය ද මම ජීවිතය විඳිමින් සිටියෙමි; මගේ යැයි කිසිවකු නොසිටිය ද ඒ පිළිබඳ අංශු මාත්‍රයක හෝ ළතැවිල්ලක් මට නොදැනිණ; මගේ මව සහ පියා ජීවතුන් අතර ද නැද්ද යැයි සොයන්නට පවා මට නොසිතිණ. ඒ, මගේ සමස්ත ජීවිතය ම මේ වන විට අමෝද්‍ය සහ කනිෂ්ක පුතු වෙනුවෙන් වෙන්ව ඇති බැවිනි.

 

The Telephone Call v2දිගු කලකට පසු දිවසත් අයියාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ මේ අතර ය.

‘‘හෙලෝ...’’

‘‘නංගි... මම දිවසත් අයිය...’’

‘‘ඔවු අයියෙ... කියන්න...’’

‘‘ඉතිං... කොහොමද නංගි...’’

‘‘ම්ම්ම්... කරදරයක් නැතුව ඉන්නව අයියෙ... ඉතිං... කොහොමද ඔයාට...? ඔයා ම කියල තියෙනව නෙ... ඔයා කතා කෙරුවොත් ඇරෙන්න කතා කරන්න එපා කියල... ඒ නිසා ඉතිං මමයි අමෝද්‍යයි දෙන් නම කතා කරන්නෙ නෑ. හැබැයි අපි මත්තෙගොඩට ආපු එක නම් ඔයාට කිව්ව කියල අමෝද්‍ය කිව්ව.’’

‘‘ආ... ඔවු ඔවු... මට ඒ ගැන විස්තර කිව්වා. මං මේ නංගිට කතා කරේ වැදගත් පණිවිඩයක් කියන්න.’’

‘‘මොකද්ද අයියෙ...?’’

‘‘මේක අහල ඔයා මං ගැන වැරැදි අදහසක් ඇති කරගන්න එපා. නමුත් මං මේක ඔයාට කියන්න ම ඕනෙ.’’

‘‘ඇයි අයියෙ... මං මොකට ද අයියෙ ඔයා ගැන වැරැදි අදහසක් ඇති කරගන්නෙ...? ඔයා මං වෙනුවෙන් වගේ ම අමෝද්‍ය වෙනුවෙන් කොච්චර උදවු කරල තියෙනව ද...? කියන්න අයියෙ... ඕනෙ ම දෙයක් කියන්න...’’

 

අනතුරුව දිවසත් අයියාගේ දුරකතනයෙන් මගේ සවනතට ගලා ආවේ මා කිසිදා නොසිතූ, නොපැතූ ආකාරයේ පණිවිඩයකි. ඒ සඳහා මා දැක්විය යුත්තේ කෙබඳු ප්‍රතිචාරයක් ද යන්න පවා මට අවබෝධ නොවිණ. එනිසා ම මා ‘‘අයියේ...!’’යැයි විමසා මඳ මොහොතක් නොව දිගු මොහොතක් නිහඬව ම දුරකතනය සවනෙහි තබාගෙන ම සිටියේ ය.

 

‘‘නංගි... නංගි... මං... මං... ඉස්සෙල්ලම කිව්වනෙ... මං ගැන වැරැදි විදියට හිතන්න එපා කියල. මං මේ ගැන තවම නැන්දටයි මාමටයි වචනයක් දීල නෑ. හැබැයි මං හරියට වචනයක් නොදුන්නොත්...’’

දිවසත් අයියා ඉතිරි වදන් පෙළගස්වන්නට ප්‍රථම මා මගේ අදහස ඉදිරිපත් කළේ ය.

‘‘අයියෙ... ඔයා... ඔයා මේ ගැන අමෝද්‍යට කිව්ව ද...?’’

‘‘ඇත්තට ම ඔවු නංගි... මං ගොඩක් වෙලා ට්‍රයි කරල දැන් ටිකකට කලින් අමෝද්‍යට කතා කරා...’’

‘‘ඉතිං අයියෙ... අමෝද්‍ය මොකද කිව්වෙ...?’’

*         *          *          *          *          *          *          *          *

‘‘මෙහෙමයි මල්ලි... මං අහිංසනා මගේ ළඟට ගත්තෙ ඔය කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒ එක්ක ම දැං එයා මගේ වයිෆ් තමයි. හැබැයි මේ වගේ තැනකදි මං කැමතියි එයාගෙ කැමැත්තට ඉඩ දෙන්න. මං ඒකෙන් අදහස් කරන්නෙ නෑ...’’

‘‘නැ නෑ... අයියෙ... මට තේරෙනව ඔයා කියන්න හදන දේ. ඇත්තට ම මටත් හිතට එකඟව මේ අදහසට කැමති වෙන්න බෑ. මොකද නංගිට එහෙම වෙනව නම් මමත් ඒකට වගකියන්න ඕනෙ නේද කියල මට හිතෙනවා. අනික අයියෙ...’’

‘‘නැ නෑ දිවසත් මල්ලි... ඔයා මං වෙනුවෙන් කොහොම උනත් අහිංසනා වෙනුවෙන් කරපු කැප කිරීම මමවත් අහිංසනාවත් කවදාවත් අමතක කරන්නෙ නෑ. ඔයාට ඕනෙ ම වෙලාවක ඕනෙ ම උදව්වක් කරන්න අපි දෙන්න ම ඉන්නෙ හුඟක් කැමැත්තෙං. ඒත් මල්ලි මේ ගැන තීරණේ කරන්න මට බෑ. ඔයා අහිංසනාගෙන් අහන්න. එයා කැමති ඕනෙම තීරණේකට මාත් ඕකේ...’’

*         *          *          *          *          *          *          *          *

p05k2yn1

අමෝද්‍ය දිවසත් අයියා වෙත පවසා තිබූ දෑ ඇසීමෙන් මම මහත් උද්දාමයට මෙන් ම අමෝද්‍ය පිළිබඳ තව තවත් ආඩම්බර විය; ඔහු මා කෙරෙහි කෙතරම් ගෞරවයක්, ආදරයක් දක්වන්නේ ද යන්න තව තවත් පැහැදිලි විය. එහෙත් මා නැවතත් ඔහුගෙන් මේ පිළිබඳව විමසිය යුතු යැයි සිතිණ.

‘‘අයියෙ... මට ටික වෙලාවක් දෙනව ද...? මං අමෝද්‍යට කතා කරල අයියට ගන්න ද...?’’

මා එබඳු තීරණයක් ගත්තේ දිවසත් අයියා පිළිබඳ හෝ අමෝද්‍ය පිළිබඳ සැකයක් නිසා හෝ කිසිදු තන්හා සිතුවිල්ලකින් නොවේ; සැබැවින් ම අමෝද්‍ය මා වෙත දක්වන ආදරයට ගෞරව කිරීම සඳහා ය.

මා ද පැය බාගයක් පමණ උත්සාහ කර අවසානයේ අමෝද්‍ය සම්බන්ධ කරගත්තේ ය. ඔහු දුරකතනය විවෘත කළ විගස ම ‘‘අහිංසනා... මං දන්නව ඔයා මට ගත්තෙ ඇයි කියල. මගෙං අහන්න දෙයක් නෑ පැටියො... ඔයා කැමති තීරණයක් අරගෙන ඒක දිවසත් අයියට කියන්න. ඔයා ගන්න ඕන ම තීරණේකට මං ඕකේ... ආයෙ ආයෙත් මේ ගැන කතා කරන්න කෝල් ගන්න එපා.’’ යැයි පැවසුවේ ඉතාමත් සැහැල්ලුවෙනි.

අමෝද්‍ය මට, මා කැමති තීරණයක් ගන්නැයි පවසන්නේ අන් කිසිවක් නිසා නොව ඔහුට අවැසි මා පමණක් වන බැවිනි. එය අවංකව ම දක්වන කැමැත්තක් බව මට හැඟිණ. ඉදින් තවත් කුමකට නම් ප්‍රමාද වෙන්නේදැයි අදහස් කළ මා එසැණින් ම දිවසත් අයියා ඇමතී ය.

‘‘ආ... ඔවු නංගි... කියන්න.’’

‘‘අයියෙ... අයිය... අයිය... මගේ අම්මගෙයි තාත්තගෙයි පළවෙනි අදහසට කැමති වෙන්න. එහෙම උණා කියල මං ආයෙ කවදාවත් ඕව ගැන අයිතිවාසිකම් ඉල්ලන්නවත්, අයියත් එක්ක අමනාප වෙන්නෙවත් නෑ. මොකද... දෙවෙනි තීරණේට කැමැත්ත දෙන්න එපා. ඔයා මං වෙනුවෙන් කරපු කැපකිරීම මට ඊට වැඩි හුඟක් වටිනවා අයියෙ...’’

මා දිවසත් අයියාට එසේ පැවසුවේ යටි සිතෙහි කිසිදු වෙනත් අරමුණක් සහිතව නොවේ. එය මගේ අවංක අදහස යි; අවසන් තීරණය යි.

‘‘නංගී...’’

‘‘ඔවු අයියෙ... කිසිම අවුලක් නෑ අයියෙ... ඔයා අපි කියපු විදියට කරන්න. එහෙම නොකරොත් තමයි මට හිතට දුක. ඒ නිසා ඔයා මේ දැන්ම ම මගේ අම්මටයි තාත්තටයි කෝල් කරල කියන්න එයාලගෙ පළමු යෝජනාවට ඔයා කැමතියි කියල... ඔයා දිගින් දිගට ම මේ ගැන මාත් එක්ක හරි අමෝද්‍ය එක්ක හරි කතා කරන්න ඕනෙ නෑ. හැම දෙයක් ම උනාට පස්සෙ අපිට දන්වන්න. ඒක මටයි අමෝද්‍යටයි දෙන්නට ම ලොකු සතුටක්’’ යැයි පැවසු මා දුරකතනය විසංධි කළේ මේ පිළිබඳ දිගින් දිගට ම දිවසත් අයියා සමග අදහස් හුවමාරු කළ හොත් මගේ දෙමාපියන්ගේ දෙවන යෝජනාව ස්වයංක්‍රීයව ම ක්‍රියාත්මක වන බැවිනි.

 

දින දෙකකට පසු නැවත මා ඇමතූ දිවසත් අයියා පැවසුවේ මගෙත් අමෝද්‍යෙගත් කැමැත්ත පරිදි මගේ දෙමාපියන් සතු මහ ගෙදර සහ ඉඩකඩම් සියල්ල ම දිවසත් අයියාගේ නමට ලියන බවට ඔහු කැමති යැයි මගේ මවටත් පියාටත් දැන්වූ බවයි. ඔවුන් දිවසත් අයියාට දන්වා තිබුණේ හැකි ඉක්මනින් දිවසත් අයියා තීරණයක් නොගතහොත් ඒ සියල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන රාජ්‍ය නොවන ආයතනයක් වෙත පවරන්නට මවත් පියාත් තීරණය කර ඇති බවයි.

 

ඉදින් මමත් අමෝද්‍යත් එකතුව ගත් තීරණය වඩා වටිනා තීරණයක් නොවේද... එහි මහඟු ඵලය කුමක්දැයි දැනගත හැකිවන්නේ අනාගතයේ දී ය.

ඉවර නෑ...



jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023/03/17    


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්